සිරිසේනට පළමු ගල ගැසිය යුත්තේ කවුද?

යහපාලනයේ පොදු අපේක්ෂකයා වී ජයගෙන වසර හතරක් සම්පූර්ණ වීමටත් පෙර යහපාලන රජය විසුරුවා නැවත ශ්‍රීලනිප හා පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට පාර කැපීම නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ සාමාජිකයන් ආධාරකරුවන් හා එහි දේශපාලන රසිකයන්ගේ කෝපයට වෛරයට හා අවමානයට පාත්‍රවී සිටින්නේය. මේ මෛත්‍රී විරෝධී දේශපාලන උත්තේජනය හරියටම විස්තර කළ පොදු දේශපාලන රසිකයෙක් අපට මෙසේ කීවේය. මේ පිටාර යන යහපාලන උද්වේගය හරියට සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයට බලාත්කාරයෙන් ඉල්ලලා දිනා ගත්තු කෙනෙක් හැටියටයි පෙන්නුම් කරන්නේ. මේ කාටත් එක දිගටම ජනාධිපතිවරණ හතරක් පරාදවූ යූඑන්පිය, එක දිගට ජනාධිපතිවරණ දෙකක් පරාදවූ රනිල් වික්‍රමසිංහට හා 2010න් පස්සේ කුලියට ගත්තු අශ්වයන්ගෙන් ජනාධිපතිවරණ වලට තරඟ වැදුණු එකල විපක්ෂයට තිබුණු විකල්පය මෛත්‍රීපාල සිරිසේන. එයා මේ කළු සුද්දන්ගේ කුස්සි කැබිනට් කෙරුවාව අවුරුදු හතරක් ඉවසගෙන ඉඳපු එකත් ලොකු දෙයක් අවුරුදු හතළිහක් විතර ගම්මට්ටමේ සිට දේශපාලනය කරපු ඔහුට දේශපාලන රූකඩයක් නොවී අවුරුදු හතරක් ඉවසීමට හැකි වීමත් ලොකු දෙයක්.

ලංකාවේ සිරගෙදරක දේශපාලන හිරකරුවෙක් හැටියට වසර එකහමාරක් ගෙවා රටේ ජනාධිපති තනතුරට පත්වෙන මුල්ම ලාංකිකයා මෛත්‍රීපාල සිරිසේනය. ඔහු සිරකරුවකු වන්නේ 1971 අප්‍රේල් තරුණ නැගිටීම සමඟය. ඔහු මේ තරුණ නැඟිටීම මෙහෙයවු රෝහණ විජේවීරගේ මෙන්ම ඔහු නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙක් නොවුණත් එකල වාම දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක් වී සිටීම මේ සිර ගත කිරීමට තුඩු දුන්නේය. බොහෝ විට තරුණ සිරිසේන කොමියුනිස්ට් පක්ෂය යටතේ පැවති සමස්ත ලංකා ගොවි සම්මේලනයේ පොළොන්නරු ශාඛාවේ ක්‍රියාකාරි හිතවතෙක් වූයේය. ඇතම් විට ගොවි සම්මේලනය තුළ ඒ වනවිටත් පීකිං හා මොස්කව් ලෙස ක්‍රියත්මක වූ කණ්ඩායම් දෙකෙන් ඔහු එන්. ශන්මුගදාසන්ගේ පිලේ සමීපතමයකු වන්නටත් ඇත. ජවිපෙ ආරම්භක නායක විජේවීර ද මොස්කව් බිඳවැටුණු අධ්‍යාපනයෙන් පසු දේශපාලනය ඇරඹුවේ එකල වඩාත් රැඩිකල් පක්ෂය වූ ශන්ගේ පීකිංවාදි කොමියුනිස්ට් පක්ෂයෙනි. තරුණ සිරිසේනද 1971 පොලිස් අත් අඩංගුවට ගෙන සිර ගත කරද්දී එන්. ශන්මුගදාසන්ද දේශපාලන සිරකරුවෙක්ව නව මැගසින් බන්ධනාගාරයේ සිටියේය.

කොළඹ කුලීන දේශපාලනයේ පිටස්තරයා

පසුගිය සියවසේ හයවැනි දශකය ලොව පුරා ජාතිකවාදය සමඟ මුසු වී කොමියුනිස්ට්වාදය පැතිරුණු යුගයකි. 1959 කියුබානු විප්ලවය ජයග්‍රහනය කිරිමෙන් පටන් ගැනුණු මේ වාම ජනප්‍රියවාදය වියට්නම් නිදහස් සටන හා අප්‍රිකාවේ ඇංගෝලා හා සිම්බාබ්වේ බඳු රටවල නිදහස් සටන්වලින් ඔපවත් වී තිබුණේය. තරුණ සිරිසේන මේ ජනප්‍රිය වාමවදයේ අනුගාමිකයෙක් වීම එකල වියලි කලාපයේ ගොවි ජනපදයක ජීවත්වූ රැඩිකල් තරුණයෙකුගේ යුක්තිය සඳහා වු තර්කනයේ කෙළවරය.

මේ තරුණයා මුල්ම රැකියාවෙන් ඉවත්වී දේශපාලනය නමැති තිත්ත කසාය වැළඳීමට එන්නේ උන්නතිකාමය, පීඩිතභාවය, ජාතිකවාදය යන කසාය වට්ටෝරුව පත අට එකට හින්දා බීමෙනි. ඔහුගේ මේ නව දේශපාලනය ජවිපෙ හැරදැමු බොහොමයක් සිංහල තරුණයන්ගේ තේරීම වූයේය. ඔවුහු එංගලන්ත රැජිනගේ පාලනයට විරුද්ධව නැඟී සිටි අතර ඔවුන්ගේ මෙරට සතුරා වී සිටියේ රැජිනගේ නියෝජිතයා වූ සිරිමා බණ්ඩාරනායක අගමැතිවරියයි. 1971 කැරැල්ලෙන් පසු සමඟි පෙරමුණ ආණ්ඩුව ව්‍යවස්ථා වෙනසකින් ලංකාව සමාජවාදි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කැරිණි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතකින් රටේ පුද්ගල ඉඩම් හිමිකම අක්කර 50 සීමා කැරිණි. විදේශීය සමාගම් සතු ඉඩම් රජයට පවරා ගත්තේය. මෙසේ පවරාගත් ඉඩම් සමුහ ගොවිපලවල් සඳහා, නිදහස් වූ කැරලිකරුවන්ට දුන්නේය. මේ නිසා 1971 කැරැල්ලේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරුවද අපරාධ යුක්ති විනිශ්චය කොමිසම වැඩ අරඹන විටත් කැරලිකරුවෝ බොහෝ දෙනෙක් පැරණි නායකයා හා පක්ෂය අත්හැර සමඟි පෙරමුණට එකතුවී සිටියහ. සිරගෙයින් නිදහස් වී පැමිණි තරුණ සිරිසේනද වඩාත් ජාතිකවාදි ශ්‍රීලනිපයට එකතුවන්නට ඇත.

ඔහුගේ මේ නව දේශපාලන ගමන ශ්‍රීලනිපේ මහාලේකම් තනතුර දක්වාත් කැබිනට් ඇමති තනතුරක් දක්වාත් ඉහළ නැඟීමට සැලසුවේය. එපමණක් නොව ඔහු දැන සිටි අගය කළ සිංහල ජාතිකවාදය වඩාත් ඔහුගේ දේශපාලන දර්ශනයේ ශක්තිමත් අර්ධයක් වීමටත් පාදම් වැටෙන්නට ඇත. බෙදුම්වාදී ඊලාම් යුද්ධය පැතිරීම හා ඔහු මායිම් දිස්ත්‍රික්කයක දේශපාලන නායකයෙක් වීම ඔහු වඩාත් ජාතිකවාදි දේශපානයක පිහිටුවීමට දැඩි බලපැමක් කරන්නටත් ඇත.

2014 දී ජනප්‍රිය යුදවීරයා පැරැද්දීමට දෙවන වතාවටත් උත්සායක යෙදෙන එජාපයට වරදින්නේ මෙතැනදීය. ඔවුන්ට සිංහල ඡන්ද ලබා ගැනීමට නම් දකුණට විකිණිය හැකි නායකයෙක් වුවමනා වී තිබුණේය. 2010 දි ඔහු දකුණට විකිණිය හැකි නායකයා කර ගත්තේ හිටපු හමුදාපතිවරයාය. මෙවර ඔහු නැවතත් යොදාගත නොහැකි නිසා අලුත් අශ්වයෙක් රේස් එකට තැබීමට උවමනා වූයේය. මෙහිදී රටේ ඔවුන්ට තිබුණු එකම විකල්පය වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ බලගතු ඇමතිවරයෙකු වූ හා පාලක ශ්‍රීලනීපයේ මහ ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේනය.

යූඑන්පියේ නායකයන්ට මොළ කළඳක් තිබුණේ නම් ඔවුහු කැබිනට් ඇමති සිරිසේන තමන්ගේ තරඟකරු හැටියට තෝරා නොගන්නේය. මන්ද ඔවුන් පුහුණු කළ ඔවුන්ට උවමනා වූ නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සිරිසේන ඇමතිවරයා කිසිම දිනක අනුදත් ආර්ථික ප්‍රතිපත්ති නොවුණේය. යුද්ධයේදී ඔහු පැහැදිලිවම ඊලාම්වාදයට වෛර කළේය, බෙදුම්වාදය කවර මිලක් හෝ ගෙවා පරාද කළයුතු යයි විශ්වාස කළේය. එබඳු දේශපාලන නායකයෙක් තමන්ගේ අපේක්ෂකයා කරගෙන ජයග්‍රහණයෙන් පසු එම විධායක ජනාධිපති ලවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීමට සිහින දැකීම පල් මෝඩයන්ගේ බලාපොරොත්තුවක් මිස පුහුණු දේශපාලකයන්ගේ බලාපොරොත්තුවක් නොවේ.

අනෙක් අතට සිරිසේන පවුලට දැන් නෑකම් කීමට රෝහාන් පල්ලේවත්ත බඳු කෝටිපතියන් ඉදිරිපත් වූවත් ඔහුට කොළඹ ඉහළ මැදපංතික ඥාතීන් නැත්තේය. ප්‍රධාන බල පවුල් සමඟ හිර ගනුදෙනු නැත්තේය. මේ නිසා ඔහුට තමන් කැමති දේශපාලන තීරණ ගැනීමෙදී නෑයන්ගෙන් හෝ බලවත් මිත්‍රයන්ගෙන් උපදෙස් හා අනුබලය අවැසි නොවන්නේය. මෙය වඩාත් තහවුරු වන්නේ ඔහු යූඑන්පීය සමඟ ගනුදෙනු කිරීමේදී බරපතළ සංස්කෘතික ප්‍රශ්න මතුවූ බව දේශපාලන දීගය බිඳ වැටුණු සැනෙන් කියා සිටියේය. හරියටම ඔහුට සිදුවන්නට ඇත්තේ කුරුඳුවත්තෙන් යෝජිත කසාදයක් කරගත් ගැමි ප්‍රභූවරයකුට අත්වෙන ඉරණමය. ඔබට මතක නම් මාර්ටින් වික්‍රමසිංහගේ යුගාන්තයේ වතුහාමි මුදලාලි සයිමන් කබලානගේ නිවසට පුතු අරවින්ද සමඟ ගිය දිනය මෙයට අපුරු ඉඟි සපයන්නේය. අවාසනාවට නුතන සැබෑ ලෝකයේ වතුහාමි මුදලාලිගේ පුතා අරවින්ද විහාරහේන කෙනෙක් නොවූවා මෙන්ම කබලානගේ පුතා මාලන් කෙනෙක්ද නොවුණේය. මේ නිසා මේ දික්වෙන දේශපාලන දීගයේ හෙවනැල්ලේ ඇදය පටන් ගනිද්දීම පෙනෙන්නට තිබුණේය.

සමහරවිට ඔහු යූඑන්පී කැබිනට්ටුව කුස්සි කැබිනට්ටුවක් බවත් එය පාලනය කරන්නේ කිසිම දිනක මහජන නියෝජිතයන් නොවූ චරිත රත්වත්තේ, පාස්කරලිංගම් බඳු රනිල්ගේ පාසල් මිත්‍රයන් කණ්ඩායමක් බව අවබෝධ කරගත් විට, පළමුව ජනාධිපතිවරයා නිහඬ වන්නට ඇත. දෙවනුව විවේචනය කරන්නට ඇත. තෙවනුව රන්ඩුසරුවල් කරන්නට ඇත. අවසානයේ වෙන්වීමට තීරණය කරන්නට ඇත. විධායක ජනාධිපතිවරයෙක් නොව ගොවි කුලීකරුවකුගේ පවුලක ගෘහ මූළිකයෙක්වත් ස්වකීය නායකත්වයට අවමන් කිරීම නොයිවසන්නේය.

නුතන ලංකා ඉතිහාසයේ මුල්වරට රටේ සමාන්‍ය පවුලක හෙවත් හූදී ජනයෙක් රාජ්‍ය නායකයා වන්නේ විජයාන්ද දහනායක යැයි විශ්වාසයක් පවතින්නේය. කාරණා දෙකක් නිසා ඔහුට ඉහත ඔටුන්න අහිමි වන්නේය. පළමුවැන්න ඔහු මහජන ඡන්දයෙන් බලයට පත්වූ අගමැතිවරයා නොවේ. අගමැති බණ්ඩාරනායක මරා දැමුණු පසු ඔහුට ජ්‍යෙෂ්ඨත්වය මත අගමැති තනතුර හිමිවුනේය. දෙවැන්න ඔහු ගාලු නගරයේ ප්‍රකට ප්‍රභූ පවුලක ඉපිද බලවත් ක්‍රිස්තියානි පාසලක අධ්‍යාපනය ලැබුවෙකි. මේ නිසා ඔහු අයත් වන්නේ යටත්විජිත කුලීන පවුලකින් පැවැතෙන්නන් කණ්ඩායමටය.

මේ ප්‍රවාදයේ දෙවැන්නා රණසිංහ ප්‍රේමදාසය. ඔහුට බලපිටියේ අහුංගල්ලට මුල් තිබුණත් ඔහුගේ නිජ භූමිය පිටකොටුවේ ඩයස් පෙදෙසය. ඔහු මහජන ඡන්දයකින් රටේ කිසිම දිනක අගමැති පදවියට පත්නූනේය. පක්ෂය ඔහු අගමැති ධූරයට නම් කළේය. ප්‍රේමදාස අගමැතිවරයා 1989 ජනාධිපතිවරණය ජය ගන්නේම සාධාරණ ක්‍රමයකට නොවේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඡන්දය වර්ජනය කිරීමට නියෝග කර තිබීමේ තතු යටතේ හොර ඡන්ද හා ඡන්ද පෙට්ටි උදුරා ගැනීම් අවසානයේ ඔහු සිරිමා බණ්ඩාරනායක පරාජය කරමින් ජය ලබා ගත්තේය. ඔහු ජනාධිපති තනතුර ලබන විටත් ලක්ෂ එකහමාරක ඉන්දීය හමුදාවක් බලාත්කාරයෙන් උතුරු නැගෙනහිර වාඩිලාගෙන සිටියේය. දකුණේ මුළුමනින්ම පැවතියේ දරුණු හමුදා පාලනයකි. මේ අර්ථයෙන් ගත්කල හුදී ජනයෙක් මහජන ඡන්දයෙන් රටේ නායකයා වීමේ එකායන කිරුළ හිමිවන්නේ සිරිසේන ජනාධිපතිවරයාටය.

දැන් ඔහු විධායක ජනාධිපතිවරයකුට හිමි දේශපාලන කඩුවේ මුවාත පිරික්සමින් සිටින්නේය. මේ බල කඩුවේ මුවාත අතීත විධායකයන් පිරික්සද්දී උල්පන්දන් දුන් කිසිවකුටත් දැන් සිරිසේන ජනාධිපතිවරයාට සදාචාරය ඉගැන්වීමට හෝ විවෙචනය කිරීමට කිසිදු අයිතියක් නැත. ගෝනවල සුනිල්ට සමාව දී මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාරයෙක් කරනවිට මේ දේශපාලන සදාචාර ඇදුරන් සිටියේ කොහිද? ඡන්ද සිතියම් අකුලා මහා මැතිවරණ පැවැත්වීම නවතා ලාම්පු කළගෙඩි සෙල්ලං නටද්දී මේ වීරයන් සිටියේ කොහිද? ලසන්ත වික්‍රමතුංගට හා බිරිඳට යකඩ ඇණ ගැසූ ලී වලින් ජනාධිපතිවරියගේම නිළ ආරක්ෂකයන් පහර දෙද්දී මේ ප්‍රජාතන්ත්‍රවාදීන් සිටියේ කොහිද? රාජ්‍ය නායිකාවගේ පෙම්වතා පාතාලයන් ලවා රෝහණ කුමාරට වෙඩිතබා මරද්දී මේ මානව හිමිකම් වීරයන් සිටියේ කොහිද? දැන් ඉතින් පළමු ගල ජනාධිපති සිරිසේනට ගැසිය යුත්තේ ඉහත කී පව් වලට හවුල් නොවූවන්ට පමණි.

රෝස මලේ වැඩක්.