විධිමත් විශ්වාසභංගයකින් දිනනතුරු ආණ්ඩුව වලංගුයි

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

නොවැම්බර් 16 වැනිදාට පාර්ලිමේන්තුව පැවැත්වීමට කල් තැබීමට හේතු වශයෙන් ඔබ රජය කියා සිටියේ අතුරු අයවැය සම්පාදනය කිරීමට කාලය අවශ්‍ය බවයි. අද නොවැම්බර් 20 වැනිදා. අතුරු අයවැය මේ වනවිට සම්පාදනය කර තිබෙනවාද? එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද?

පාර්ලිමේන්තුවක් කල් තැබූවිට නැවත රැස්වුණාම ස්ථාවර නියෝග යටතේ තේරීම් කාරක සභාවත්, එමගින් අනෙක් සියලුම ස්ථාවර කමිටු පත්කිරීම සිදුකළ යුතුයි. ඉන්පසු අනිත් සියලු වැඩ කටයුතු ආරම්භ වන්නේ එම කමිටු හරහා. ඉන්පසුව ජනාධිපතිවරයා තවත් නිවේදනයක් නිකුත් කරමින් නොවැම්බර් 16 වැනි දිනය වෙනස් කරමින් නොවැම්බර් 14 වැනි දිනට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළා. එසේ තිබියදී නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඉතුරුවන්නේ භාරකාර ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට අයවැයක් ගෙන එන්න පුළුවන්කමක් නැහැ. පාර්ලිමේන්තුවක් තියෙන්න අවශ්‍යයි, අයවැයක් ගෙන ඒමට. ඒ නිසා අයවැය කාරණය මතුවන්නේ නැහැ.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනයට එරෙහිව නොවැම්බර් 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කර තිබුණා.

ඒ පෙත්සම්වල මූලික කාරණා විමසා නොවැම්බර් 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නා. එම නියෝගය දෙසැම්බර් 7 වැනිදා දක්වා වලංගුයි.
එවැනි තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබුණත්, නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම නැවතුණේ නැහැ. එය ජනාධිපති නිවේදනය අනුව කැඳවූ එකක් මිස කතානායකවරයා විසින් කැඳවන ලද එකක් නොවේ. එදින අගමැතිවරයා සහ ආණ්ඩුව පිළිගන්නේ නැහැ කියලා. කතානායක කරු ජයසූරිය කියා සිටියා. ඒ අනුව ස්ථාවර නියෝග අත්හිටුවලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කඩිමුඩියේ සකස් කරගන්නා ලද යෝජනා දෙකක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඒ වෙලාවේදීම භාරදී ස්ථාවර නියෝග යටතේ අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් අනුගමනය නොකර කටහඬින් ඡන්දය විමසුවා. ඉන්පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) යටතේ විශ්වාසභංග යෝජනාවක් ඡන්දයකින් විමසා සිටි බව කතානායකවරයා ජනාධිපතිට දන්වා තිබුණා. ජනාධිපතිවරයා එය පිළිගත්තේ නැහැ. ඒකට හේතුව වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා දෙකෙන් පළමුවන එකෙන් කියැවෙන්නේ ඔක්තෝබර් 26 වැනි දින හිටපු අගමැතිවරයා ඉවත් කිරීම, අග්‍රාමාත්‍යවරයකු පත්කිරීම යන වාරවසාන කාලය සම්බන්ධ ගැසට් නිවේදන තුනේ කිසිදු වලංගු භාවයක් නොමැත කියායි.

ඔවුන්ගේ දෙවන යෝජනාවේ පළමුවන යෝජනාවේ සඳහන් අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ පත් කිරීම සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන විශ්වාසයක් නොමැති බව කියන හේතු දක්වා තිබෙනවා. එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එතුමාගේ විධායක කාර්යයක් පාර්ලිමේන්තුවට අභියෝගයට ලක් කිරීමට බැරි බව කියා සිටියා. ඒ අනුව පළමුවැනි යෝජනාව බලරහිතයි. පළමුවැනි යෝජනාව බලරහිත වන විට ඊට ඈඳා තිබෙන දෙවන යෝජනාවද බලරහිතයි. මේ යෝජනා දෙකම සම්මත කරගත්තේ බහුතරයේ කටහඬ තීරණය මතයි. එහෙත් ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා ගෙනෙන විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ස්ථාවර නියෝග යටතේ සිදුව නොමැති බැවින් එම විශ්වාසභංග යෝජනා ස්ථිරත්වය පිළිගැනීමට නොහැකි බව ජනාධිපති විසින් සියලු පක්ෂ නායකයන් කැඳවා ප්‍රකාශ කර තිබුණා.

ඊළඟ දවසේදී ආපසු පාර්ලිමේන්තුව කැඳවා කතානායකවරයා නිල ආසනයේ අසුන් නොගෙන සෙංකෝලයද නියමිත ස්ථානයේ නොතබා පෙර කියන ලද පළමුවැනි යෝජනාව කටහඬින් ඉවත් කිරීමට එකඟතාව ලබාගෙන දෙවන යෝජනාවට කටහඬින් සම්මත කරගනු ලැබුවා.

පළමුවැනි යෝජනාව අයින් කළ විට දෙවන යෝජනාවට පැවැත්මක් නැහැ. මොකද දෙවැනි යෝජනාව පටන් ගනු ලබන්නේ ‘ඉහත සඳහන්’ කියලා. එවිට පළමුවැනි යෝජනාව නොමැති කල ‘ඉහත සඳහන්’ ප්‍රකාශයට වලංගුභාවයක් නැහැ. ඉන්පසු පාර්ලිමේන්තුව නොවැම්බර් 23 වැනි දින කැඳවීමට තීරණය කළා. මෙම රැස්වීමට (නොවැම්බර් 19) ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා සහභාගි වූයේ නැහැ. නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාමකාමී ලෙස පාර්ලිමේන්තුව රැස්වෙලා කමිටු සකස් කිරීම සඳහා දින නියම කිරීමද සිදුවුණා. දැන් පාර්ලිමේන්තුව කල් තබා තියෙනවා. අද පවතින තත්ත්වය අනුව අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව වලංගු විශ්වාසභංග යෝජනාවක් නොමැති බව නියෝජ්‍ය කතානායකවරයා විසින් කමිටු පිහිටුවීම සඳහා නම් එවන ලෙස දැනුම්දීම තුළින් පෙනී යනවා. ඇත්ත වශයෙන්ම යථාර්ථයද එයයි.

ඒ අනුව ඉදිරි දිනයකදී ස්ථාවර නියෝග අනුව විධිමත් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත්, එම යෝජනාව ජයග්‍රහණය කරන තෙක් ජනාධිපති විසින් කරන ලද පත්වීම් සහ ආණ්ඩුවේ වලංගුභාවය පවතිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) අනුව මාස තුනක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය තිබෙනවා.

අත්සන් 122 මගින් පාර්ලිමේන්තුව තුළ බහුතරයේ විශ්වාසයක් නව අගමැතිට නොමැති බව තහවුරු කර තිබෙනවා. එය පිළිගැනීමට ඔබ රජය මැලිවන්නේ ඇයි?

විධිමත් ලෙස සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාවක් නොමැති බැවින් අගමැති මහින්ද රාජපක්ෂගේ පත්වීම මෙන්ම කැබිනට් මණ්ඩලයේ පත්වීමත් නීතියෙන් වලංගුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කර අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙන අතර දෙසැම්බර් 7 වැනිදා වන විට බොහෝ දුරට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසාන තීන්දුවක් ප්‍රකාශයට පත් කරයි. ඒ වන තෙක් ඉවසා සිටීමට සිදුවෙනවා. මෙහිදී ලබාදිය හැකි තීරණ දෙකක් ඇති බව පේනවා.

(1) අතුරු තහනම් නියෝගය ස්ථාවර කිරීම, එවිට පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියා ලෙස සැලකේ.
(2) පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල බවට තීරණය කිරීම. එවිට අගමැති මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයෙන් සමන්විත භාරකාර ආණ්ඩුවක් පමණයි පවතින්නේ. ඉන්පසු මැතිවරණ ක්‍රියාදාමය නැවත ආරම්භ වේවි. ඒ අනුව දින වකවානු නැවත සකස් වේවි.
අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයේ විශ්වාසය තිබෙන බවට සනාථ කිරීමට හැකියාවක් තිබෙන බවට ඔබ රජය නිතර – නිතර කියා සිටියද ඒ බව සනාථ කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළකට යොමු නොවන්නේ ඇයි?

ඒක පාර්ලිමේන්තුවේ නීත්‍යනුකූලතාවක් නොමැති තාක් කල් එවැනි කාර්යයක් ප්‍රායෝගිකව කිරීමට දුෂ්කරයි. එහෙත් ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුව යථා පරිදි පවත්වාගෙන යෑමේදී ආණ්ඩුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව උදාවෙනවා. අනිත් පැත්තෙන් 2015 ජනවාරි 9 වැනි දින සිට අගෝස්තු 17 දක්වා රනිල් සහ ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කළේ නැහැ. ඒ වගේම විපක්ෂය එදා එසේ කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාරගත් නිසා මිසක් රට හෝ ආර්ථිකය අස්ථාවර කිරීමට විපක්ෂයට අවශ්‍ය වුණේ නැහැ.

පසුගිය සතිය තුළ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් හැසිරුණු ආකාරය බොහෝ දෙනකුගේ පිළිකුළට ලක්වුණා. විරුද්ධ මතවාද ඉවසීමට නොහැකි, ශීලාචාර ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරීමට නොදන්නා අය පාර්ලිමේන්තුවට යැවීම තුළින් මෙරට ජනතාව විසින් රටට සිදුකර තිබෙන්නේ අපරාධයක් නේද

එම සිද්ධි අවස්ථානුකූලව ඇතිවූ දෙයක් මිස එය හැමදාම සිදු නොවන දෙයක් බව ඊයේ (නොවැම්බර් 19) පාර්ලිමේන්තුව සාමකාමීව පැවතීම තුළින් සනාථ වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනතාවගේ අභිමතය පරිදි ඔය සියලු කරුණු සැලකිල්ලට ගෙන නැවත මහජන නියෝජිතයන් එවන්න කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රුපියල් මිලියන 600කට අලෙවි වන තත්ත්වයක් රට තුළ උදාවී තිබෙනවා. බලතණ්හාව නිසා පක්ෂ මාරු කරන බලලෝභී දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

ඒ සම්බන්ධයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කළ හැකියි:-
(1) පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා එවැනි අයව අයින් කරලා සුදුසු අය පත්කිරීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි.
(2) අනාගත පාර්ලිමේන්තුවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් එවැනි අවස්ථාවලට තිබෙන ඉඩකඩ අසුරුවාලීම කළ හැකියි.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ලබාදෙන ලද අතුරු තහනම් නියෝගය වැරදි තීන්දුවක් ලෙස ඔබ රජය සලකනවාද?
එහෙම සලකන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ කාරණයක් සම්බන්ධයෙන් හදිසියේ ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාග කරලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ පටිපාටිය අනුගමනය කරමින් අවසාන තීන්දුවක් ලබාදීම සඳහා ඉඩකඩ සලසාදීමක් තමයි කර තිබෙන්නේ.

ඔබ රජයට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉල්ලා සිටීමට ඔබ රජය තීරණය කළේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය කෙරෙහි ඔබ රජයට විශ්වාසයක් නොමැතිකම නිසාද?

රජයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමක් සිදුවී නැහැ. මෙම පෙත්සම් මගින් නීතිපති වැනි පුද්ගලයන් නම් කිරීම සිදුවෙනවා. මේක විධායක ක්‍රියාවක්.
ඉතිහාසය තුළ වුවද මෙවැනි බරපතළ වගන්ති අර්ථනිරූපණය කරමින් නීතියේ මූලධර්ම භාවිත කරමින් සෑම පාර්ශ්වයකටම අයත් නීතිඥයෝ කරුණු දැක්වීමක් සිදු කරනවා. ඒ නිසා මෙම නඩු විභාගය සහ අවසාන තීරණය බැලූ බැල්මට සාධාරණ සහ යුක්තිසහගත විය යුතු අතර මේ හා සමාන අවස්ථාවලදී ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 5, 7 හෝ 9 යනාදී වශයෙන් නඩු ඇසීම සිදුකර තිබෙනවා. ඒ සඳහා උදාහරණ කීපයක් දැක්වුවහොත්:-

(1) 1987 ඉන්දු – ලංකා ගිවිසුම සම්බන්ධයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාව. එහිදී විනිසුරුවරු මඬුල්ලේ 9 දෙනකු හිටියා. පහට හතර ලෙස තීන්දුව බෙදී ගියා.
(2) මේ නඩුවේ ඉදිරිපත් කරන ලද නඩු මූලයටම සම්බන්ධ වන 2002/09/06 දින ඉදිරිපත් වූ එවකට 19 වන සංශෝධනය ලෙස පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වර්ෂයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිට තිබූ බලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙනාවා. එම අවස්ථාවේදී එවකට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව වූයේ විධායකය පත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අනුව රටේ ජනතාවගේ ඡන්දයෙන් වන අතර එම විධායකය සතු බලය 4 (අ) යටතේ පත්වන ව්‍යවස්ථාදායකයට පැවරීම ජනතාවගෙන් විමසා නොකළ යුතු බවයි.
(3) අද මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් විවාදයට භාජනය වී තිබෙන නීති තර්ක බොහොමයකට එම සත්දෙනාගෙන් යුක්ත විනිසුරන්ගේ නඩු තීන්දුව ඉතා වැදගත් වෙනවා.

සිංග්පපූරු ගිවිසුම, ජපන් ගිවිසුම සහ එට්කා ගිවිසුම කඩිනමින් අවලංගු කර දැමීම සඳහා ඔබ රජය කටයුතු කිරීමට අපේක්ෂා කරනවාද?

මම දන්නා ආකාරයට සිංගප්පූරු ගිවිසුම අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වූයේ නැහැ. ඒ වගේම අනිකුත් ගිවිසුම් තියෙන්නෙත් සාකච්ඡා මට්ටමක. ඒ ගැන නැවත සමාලෝචනය කර රටට අවාසිදායක නොවන අයුරින් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලය ඉදිරියේදී කටයුතු කරනවා.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අවලංගු කරන බවට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පවසා සිටියා. ඒ කාර්යය ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරනවාද?

මූල්‍ය අපරාධ කොට්ඨාසය අවලංගු කිරීම ගැන තවම තීන්දුවක් ගෙන නැහැ. මේ සම්බන්ධව අදාළ අංශ මගින් සියලු තොරතුරු ලබාගත් පසුව ආණ්ඩුවක් හැටියට ඒ ගැන තීරණයක් ගනීවි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔබ රජය ගන්නා පියවර කුමක්ද?

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තු යොදාගෙන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක්වී තිබුණා. ඒ හා බැඳුණු පනත් කෙටුම්පත්ද තිබුණා. එහෙත් ආනුෂංගික පනත් ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම මහ බැංකු වාර්තාවෙන් ඉදිරිපත් වී තිබෙන සාක්ෂි නඩුකරයක් ඇති කිරීම සඳහා යොදා ගත හැකියි. ඒ සම්බන්ධයෙන් වන නෛතික කටයුතු කඩිනමින් කිරීමට අපිට පුළුවන් වේවි.