තිබුණු ආණ්ඩුව නැවත පිහිටුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි, ධම්ම දිසානායක – කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීලාල් සෙනෙවිරත්න

පාර්ලිමේන්තුව තුළ දැන් ඇතිවී තිබෙන අර්බුදය මොකක්ද?

පාර්ලිමේන්තුවේ අර්බුදයේ ආරම්භය ඔක්තෝබර් 26 වැනිදා නම් නොවේ. එදා තමයි අර්බුදය පුපුරා ගිය දවස. අර්බුදය ආරම්භ වෙන්නේ 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ. කවර තත්ත්වයන් යටතේ වුවත් 2015 අලුත් ජනාධිපතිවරයෙක් යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටවුවා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ සුළුතරයක් තිබුණු පක්ෂයක නායකයකුට ජනාධිපතිවරයා අගමැති ධුරය බාර දෙන කොට ‘ජනවාරිවරු’ ව්‍යවස්ථාව අරගෙන අවධාරණය කළා ජනාධිපතිවරයා ‘සිතන’ කෙනා අගමැති ලෙස පත් කළ හැකියි කියන කෑල්ල. තවත් මේකට එක් කළා “හැම මැතිවරණ රැස්වීමකදීමත් අපි කිව්වා දිනපු ගමන් රනිල් අගමැති කරනවා කියා අපි කිව්වා” කියලා. ව්‍යවස්ථාව උත්තරීතරයි කියලා කට්ටියක් කිව්වා වුණත් ඒ අනුව එදා ව්‍යවස්ථාවට වඩා මැතිවරණ ප්‍රකාශනය බලවත්. ඒත් අද කියනවා එහෙම නෑ කියලා. එතන ගැටලුවක් තියනවා.

ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ක්‍රියාත්මක කරගැනීමට දෙවනුව සාදාගන්නා උපකරණයක් වෙනකොට, ජනවාරි 8 වෙනසේ ජනතා අභිලාෂයට සහ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට මුල් තැන දීමේ වරද මොකක්ද?

හැමදේටම ඉහළින් ජනතා පරමාධිපත්‍ය තිබෙනවා වුවත්, එය විවිධ අයට හිතෙන හිතෙන අර්ථකථන ඇතුලේ ක්‍රියාත්මක කරන්න බෑ. ජනතා පරමාධිපත්‍ය රටක ඉන්න දෙකෝටි විසි ලක්ෂයක් දෙකෝටි විසි ලක්ෂ ආකාරයකට අර්ථකථනය කරගෙන වැඩ කරන්න ගියොත් රට මුළුමනින්ම ව්‍යාකූලභාවයකට පත්වෙනවා. ව්‍යවස්ථානුකූලවාදය එන්නේ ඔතනින්. ව්‍යවස්ථාව පිළිබඳ මූලික නිර්වචනය අනුව එයින් නියෝජනය විය යුත්තේ රටේ ජනයාගේ පොදු අභිමතය කියන එක මිස අභිමතවල එකතුව නොවෙයි. හැමෝටම එකඟ වෙන්න පුළුවන් අභිමතයට. ඒ අනුව ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් විසින්ම සම්මත කරගත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙ නැතිවයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හල ආකාරය ගැන ඔබගේ විග්‍රහය මොකක්ද?

ජාතික අර්බුදයක් මතුවූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් එයට විසඳුම් ලැබෙනවා නම් එසේ කරන්න හැකිවෙන්නයි අවුරුද්දකින් පසුව ආණ්ඩුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලයක් පවරා තිබුණේ. 19 සංශෝධනයෙන් ඒක අයින් කළා. ජනවාරි 8 වෙනසින් පසුව එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම පාහේ දිගින් දිගටම කිව්වේ අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන එක. ඇත්තටම ගත්තොත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ආණ්ඩුව කරගෙන යාම කියන එක අති දැවැන්ත හිසරදයක් වෙලා තිබුණා. අදටත් එහෙමයි තියෙන්නේ. සන්ධාන ආණ්ඩු හරියන්නේ නැත්නම් පැහැදිලි බහුතරයක් අරගෙන රටකට ස්ථාවර පාලනයක් අවශ්‍ය නිසා මේක විසුරුවිය යුතුයි. ඒත් 19 සංශෝධනය නිසා ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරක් යනකම් විසුරුවන්න බලයක් නෑ. බලයක් තිබුණානම් පෙබරවාරි මාසේ මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට තිබුණා. ඊට කලිනුත් අවස්ථා තිබුණා. බැඳුම්කර සිද්ධියට ආණ්ඩුව සම්බන්ධයි කියලා හෙළිවුණ වෙලාවේ විසුරුවන්න තිබුණා. ඒත් 19න් පාර්ලිමේන්තුව ස්ථාවර කළා. අනෙක් පැත්තෙන් ජනාධිපති ධුරය කියන එක වෙනම මැතිවරණයකින් රටේම ජනයාගේ ඡන්දෙන් පත්වෙන ආයතනයක්. ඒ ආයතනය රටේ තැන් තැන්වලින් තේරීපත්වෙන අයගේ වාසස්ථානය වන පාර්ලිමේන්තුවේ බලයෙන් එක්තරා විදිහකට යටපත් කළා. කලින් තිබුණේ ඕකේ අනික් පැත්ත. 78 ව්‍යවස්ථාවෙන් කළේ පාර්ලිමේන්තුව රුපියල වගේ බාල්දු කළ එක. 19 න් ජනාධිපති ධුරය පත්වුණාට වැඩක් කරන්න බැරි තැනකට පත් කළා. අපේ රටේ තියෙන්නේ අර්ධ ජනාධිපති පාලන ක්‍රමයක්. ඒකෙදි තියෙන්න ඕනේ සංවරණ සහ තුලනයක්. එකක් අනෙකට උඩින් යන්න හෝ යට වෙන්න බෑ. ඒක හරියට හදා ගත්තේ නැති නිසා ජනප්‍රිය තලයේ අදහසක් මතු වුණා මොන ව්‍යාකූල තත්ත්වයක් ආවත් පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් ඇදන් යන්න පුළුවන් කියා. දැන් ඒක එහෙම නෙවෙයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු අවස්ථා මග හැරීම කියන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්.

රනිල්ව මොහොතකට අමතක කරමු. ජනාධිපතිවරයාගේ භූමිකාව තුළ ඔහු ජනවාරි 8 ඔහුට ලැබුණු ජනවරමට කොතරම් අවංක වුණාද?

මට හිතෙන්නේ ජනාධිපතිවරයා අසරණ වුණා. ඔහු ගියේ ඔහුට නොතේරෙන දේශපාලන කලාපයකට. ඔහුම කියන විදිහට ඔහු අවුරුදු පනස් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කෙනෙක්. පටන් ගැනීමේ ඉඳලාම නොපෑහීමක් තිබ්බා. ඒත් පසුවත් ඔහු උත්සාහ ගත්තා ප්‍රමුඛ පොරොන්දු ඉටු කරන්න. මහ බැංකු බැඳුම්කර සිද්ධියත් එක්ක ඔහු තේරුම් ගත්තා මම ආවේ එකකට, ඒත් දැන් වෙන්නේ මොකක්ද කියන එක. කෙසේ වුවත් ඒ සිදුවීමේදී ජනාධිපතිවරයා ක්‍රියා කළ ආකාරයත් ඉතාම වැදගත්. රනිල් සහ මෛත්‍රී කියන්නේ දෘෂ්ටිමය වශයෙන් මුළුමනින්ම එකිනෙකට වෙනස් කලාප දෙකක දෙන්නෙක්. සුළුතර ආණ්ඩුවක් වුවත් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ 106ක් තිබුණා. අනෙක් පැත්තේ තිබුණු බෙදීම් නිසා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කේවල් කිරීමේ හැකියාව තිබුණේ අඩු මට්ටමක. එජාපෙ විවිධ ප්‍රශ්න තිබුණත් තීරණාත්මක අවස්ථාවල එකට සිටියා. ඒ නිසා පාර්ලිමේන්තුවෙත් පිටතදිත් වැඩ කරන්න යාමේදී මෛත්‍රීපාල සිරිසේනගේ බලය එක්තරා විදිහකට අඩුවුණා. ඒ නිසා වැඩ කළේ නෑ කියනවාට වඩා ඔහුට වැඩකරන්න පුළුවන් පරිසරයක් ඒක ඇතුලේ තිබුණේ නෑ කියන්න මම කැමතියි.

පොදු අපේක්ෂකයා වශයෙන් ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිවරයාට ඔය කියන ආකාරයේ සීමාවන් සහ නොහැකියාවන් රාශියක් තිබුණත් ඔහුගේ රහසිගත න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන්න නම් ඒතරම් අපහසුතාවක් තිබිලා නැති බවක් අගමැති මාරු කළ ආකාරයෙන් පවා පෙනෙනවා නේද?

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බත්තරමුල්ලේදි ජනාධිපතිවරයා කළ කතාවෙදි ඉතා වැදගත් කතාවක් ඔහු කීවා. ඒ තමයි අගමැති ධුරය භාරගන්න කියා ඔහු මුලින්ම කිව්වේ කරුට සහ සජිත්ට කියන එක. ශ්‍රී ලංකා එකේ යූඑන්පීකාරයෝ ඉන්නවා වගේම යූඑන්පී එකේ ශ්‍රී ලංකාකාරයොත් යම් පිරිසක් ඉන්නවා. කරු ජයසූරිය, මහින්ද රාජපක්ෂ සමඟ එකතුවෙන්නේ එල්ටීටීඊයට විරුද්ධව කරන සටනේදි උදව් කරන්න. ඒකෙන් පේනවා යූඑන්පී එකේ හිටියට එක්තරා විදිහක වෙන ස්වදේශිකවාදී ජාතික පදනමක් ඔහුට තියනවා. සජිත් ප්‍රේමදාස කියන්නේත් ඒ වගේ විශේෂිත කෙනෙක්. ඒ නිසා ඒ දෙදෙනා ගැන ඔහුගේ අවධානය යොමුවීම ශ්‍රී ලංකාකාරයෙක් විදිහට හරි කියලා මම හිතනවා. තව කතාවක් කියවුණා මම ශරීරයක් පුටුවක් නෙවෙයි මාරු කළේ දර්ශනයක් කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂකාරයෙක්ගේ දර්ශනයත් එක්කයි ඔහු ආවේ කියන එක. ලංකාවේ නියම ශ්‍රීලංකාකාරයකුටයි නියම යූඑන්පීකාරයකුටයි එකට දේශපාලනය කරන්න බෑ. එහෙම කරන්න නම් ශ්‍රී ලංකාකාරයා ළඟ පොඞ්ඩක් හෝ යූඑන්පීකාරකමත්, යූඑන්පිකාරයා ළඟ පොඞ්ඩක් හෝ ශ්‍රී ලංකාකාරකමත් තිබිය යුතුයි.

ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වාදීම සඳහා පොදු අපේක්ෂකයාට ලැබෙන ජනවරමකින් බලයට පත්වුණු අයකු වන ජනාධිපතිවරයා පසුව ඒ ජනවරමට සපුරා පටහැනි දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාම කවර දේශපාලන න්‍යායකට හෝ සදාචාරයකට අනුගතද?

රටේ මිනිස්සු ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන්න හේතුවයි, ඔහු පොදු අපේක්ෂකයා කිරීමට එකතු වූ කණ්ඩායම ඡන්දය දුන්න හේතුවයි එකක් නොවේ දෙකක්. පොදු අපේක්ෂකයා වශයෙන් සලකා ඡන්දය දුන් අය කල්පනා කළේ කොහොමද මහින්ද රාජපක්ෂගෙන් මේ බලය ගලවන්නේ කියන එකයි. ඔවුන්ගේ පැත්තෙන් ඒ හැකියාව තියන කිසිම කෙනෙක් හිටියේ නෑ. ටීඑන්ඒ, මුස්ලිම් ඡන්ද නැතිව ඒක කරන්න බෑ කියලාත් ඔවුන් දැනගෙන හිටියා. ඒ උදව්ව ඔවුන්ගෙන් ගත්තත් කොහොමද මහින්ද රාජපක්ෂට විරුද්ධව සිංහල ඡන්ද විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ කියන කාරණය එතනදි මතුවුණා. ජනවාරි 8 වෙනසේ ප්‍රධාන චරිතයක් වුණු අශෝක අබේගුණවර්ධනගේ යුග පෙරළිය පොත කියෙව්වම මේක හොඳට තේරුම් කරගන්න පුළුවන්. එයාලා මෛත්‍රීපාල සිරිසේනව ගත්තේ පොඩි වැඩකට. ඒක එහෙම කිව්වා නම් මෛත්‍රීපාල සිරිසේන එන්නෙත් නෑ. එහෙම කවුද එන්නේ? බලය කියන්නේ මිනිස්සුන්ගේ අංක එක. ඒක අතාරින්න කවුරුත් කැමති නෑ. හැබැයි මෙයාලගේ අරමුණ වුණේ ඒක. හැබැයි ඔහු ආවේ ඒකට නෙවෙයි, රටේ ජනාධිපතිවෙන්න. ඒක සාධාරණයි නේ. රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් ඔහුට දින 100ක් ඉඳලා යන්න කියන පදනමින් නෙවෙයි. මහින්ද රාජපක්ෂට, රනිල්ට විකල්ප නායකත්වයක් විදිහට. ඒ නිසා ඒ පොඩි වැඬේ කරලා යන්ඩ මෛත්‍රීපාල එයි කියා අපි දේශපාලන වශයෙන් බලාපොරොත්තු නොවිය යුතුයි.

ඔහු එහෙම ඔහුගේ න්‍යාය පත්‍රයක් සමග පොදු අපේක්ෂකයා වෙන්න ආවා නම් මැතිවරණ ව්‍යාපාරයේදී එය ජනතාවට ඉදිරිපත් කළ යුතුව තිබුණා නේද? එසේ නැතිව බලය ලබාගෙන තමන්ගේ රහසිගත සැලසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමම බරපතළ ජනතාද්‍රෝහී වැඩක් නේද?

මට හිතෙන්නේ රහසිගත සැලැස්ම තිබුණේ අනෙක් පැත්තේ. ඔය මැතිවරණ ව්‍යාපාරයෙන් පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කිව්වා අපි ලංකාවේ ඉලෙක්ෂන් එකට ඩොලර් මිලියන පන්සීයක් වියදම් කළා කියලා. ඒ මොකටද වියදම් කරන්න ඇත්තේ? ලංකාවේ මැතිවරණ කොමිසම ඒ විදිහට මැතිවරණ අය-වැය ගැන කීවා නම් ප්‍රශ්නයක් නෑ. ඬේවිඞ් කැමරන්, එරික් සොල්හෙයිම් මොකක්ද කිව්වේ? ඒගොල්ලත් මැතිවරණ ව්‍යාපාරයේ හිටියා කියලා. බලාගෙන ගියාම අපේ ඉලෙක්ෂන් එක. ගොඩක් අය පිටිපස්සෙන් ඉඳලා තියනවා. 2015 ජනවාරි ආණ්ඩුව හයිබි්‍රඞ් එකක්. ඉන්දියාවත් සහිතව අති දැවැන්ත විදේශීය බලවතුන් ප්‍රමාණයක් මේකට මැදිහත් වුණා. ලෝකය තනි යායට වැඩකරන වෙළෙඳපොළක් වෙනකොට ලංකාවත් සති පොළක් වෙනවට ඒ අය කැමතියි. හැබැයි මෛත්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් ගත්තාම ඔහු එන්නේ තනියම. ඔහු සමග ආව අනෙක් කට්ටිය හුදු බල ව්‍යාපෘතිවල ඉන්න අය මිස දේශපාලන අරමුණක් තියන අය නෙවෙයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දේශපාලන මතයක්. ඒ මතයත් එක්ක ඔහුටත් තිබුණා හිටපු ආණ්ඩුව සම්බන්ධ විවේචනයක්. ඒකට ප්‍රතිචාරයක් ලෙස ඔහු ආවා මිසක් රහසිගත වැඩපිළිවෙළක් ඇතුලේ ආවා කියා විශ්වාස කරන්නට සාධක නෑ.

ඔහු අවංක සත්‍යවාදී පුද්ගලයෙක් නම් පොදු අපේක්ෂකයා ලෙස ජනතාවට ඒ ගැන ප්‍රකාශ කළ යුතුව තිබුණා. එහෙම දෙයක් සිදු නොවීමෙන් පැහැදිලි වන්නේ ඔහු රහසිගත න්‍යාය පත්‍රයක් රැගෙන පැමිණි බව. ඒ බව තහවුරු කෙරෙන සිදුවීම් තව බොහොමයක් තියනවා. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දා මධ්‍යම රාත්‍රියේ ඔහු ආරක්ෂකයන් පවා නොමැතිව රහසිගත ස්ථානයකට ගොස් එහිදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හමුවී ඔවුන් ආරක්ෂා කරන බවට පොරොන්දුවී තිබෙනවා. ඒ කියන්නේ රාජපක්ෂ රෙජීමය පරාජය කළ දිනට පසුදාම ඔහු රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂකයා බවට පත්වෙනවා. එහෙම පුද්ගලයෙක් නේද මේ තවදුරටත් ‘මම සුදනා’ වගේ වේදිකාවල කතා පවත්වන්නේ?

ඔහු එහෙම රාජපක්ෂ පවුලට ආරක්ෂාව දෙන බවට පොරෙන්දුවක් වුණා කියන එක ඇත්ත නම් ඊට පස්සේ ඒ වෙනුවෙන් ඔහු දිගටම පෙනී සිටීමක් පෙනෙන්න ඕනේ. හැබැයි රාජපක්ෂ පවුලේ අයට එරෙහිව ගත්ත නෛතික ක්‍රියාමාර්ගවලදි සහ ඊට පසුව දිගින් දිගටම වේදිකාවල කළ කතාවලදි මෛත්‍රීපාල සිරිසේන කතා කළ හැටි සහ හැසිරුණ හැටි දැක්කාම අරක හුදු ‘බයවෙන්ඩ එපා ගහන්න දෙන්නේ නෑ’ කියලා බිය නැති කරන්න කළ ප්‍රකාශයක් විය හැකියි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ එයාලට එරෙහිව තියෙන පැමිණිලිවලින් එයාල ආරක්ෂා කරනවා කියන එකක්. මොකද ඒවා දිගටම ආවා. මෛත්‍රීපාල සිරිසේන අවංක නම් කියන ප්‍රශ්නයේදි මම නම් බලන්නේ ඔහු අවංක විය යුත්තේ කාටද කියන එක. ඔහු අවංක විය යුත්තේ රටටයි, රාජ්‍ය ව්‍යුහයටයි මිස හැට දෙලක්ෂයට නොවෙයි. මොකද ඔහු ජනාධිපති වෙන්නේ මුළු රටටමනේ. හැට දෙලක්ෂයට විතරක් නොවෙයි. එහෙම ගත්තම ඔහු ආණ්ඩුවේ දූෂණ හොයන්න කමිටු පවා පත් කළා. ඔහුගේ පැත්තෙන් ගත්තොත් ඔහු දේශපාලනිකව සහ ජාතිකව අවංක වුණා කියන එක තමයි මගේ හැඟීම. එහෙම නොවුණා නම් ආණ්ඩුව දිගටම යනවා මෙහෙම නොවී.

කවර තත්ත්වයන් හමුවේ වේවා දැන් පවතින පාර්ලිමේන්තුවේ අර්බුදය මහා විනාශයකින් කෙළවර වෙන්නට යා නොදී ජයගත හැක්කේ කෙසේද?

මේ ව්‍යාකූලතාවයෙන් ගොඩ එන්නට නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුමයි. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාගැනීමට අපහසුවක් දැනෙනවා නම් මම උපක්‍රමයකුත් කියලා දෙන්නම් දිනාගන්න. එජාපෙයි, ටීඑන්ඒ එකයි, ජේවීපී එකයි, මුස්ලිම් කොංග්‍රසයයි එක සන්ධානයකින් ඉල්ලන්න. පස්සේ ආසන ටික බෙදාගන්න. එතකොට ඒ අයට ප්‍රබල ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. අනෙක් අයට ප්‍රබල විපක්ෂයක් එනවා. ඒ හැර විකල්පයක් මට පෙනෙන්නේ නෑ.