මහින්ද කරන වැඬේ අශිලාචාරයි – නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

සංවාදය – රසික ගුණවර්ධන
ඡායා – ටී. නඩරාසා

වර්තමාන දේශපාලන ව්‍යාකූල බව ගැන ඔබේ අදහස මොකක්ද?

මේක අපි බලාපොරොත්තු වෙච්චි තත්ත්වයක්. මොකද මහින්ද වගේම සිරිසේනත් ඊනියා සිංහල බෞද්ධ ජාතිවාදී සහ ආගම්වාදී දෘෂ්ඨිකෝණයක් තුළ තමයි වැඩ කරගෙන යන්නේ. සිරිසේන එවලෙ තිබිච්ච බලපෑමට යහපාලනයට ආවට ඇත්තටම ඒකෙන් මිදිල නෙවෙයි ආවේ. ඔහුට මහින්දත් එක්ක ආරවුල් තිබ්බේ දෘෂ්ඨිය උඩ නෙවෙයි. එයාට අඩුතැනක් දීල තියනවා, එයාට හරි තැන දුන්නේ නෑ, සමහර දේවල් කරන්න දුන්නේ නෑ ආදී වශයෙන් මහින්දගේ තිබ්බ දඩබ්බර පිළිවෙතට තමයි විරුද්ධත්වය ප්‍රකාශ කළේ. ඔහුට යට වෙන්නේ නැතුව ඉන්න ඕනේ වුණ නිසයි ඔහු යහපාලනයට ආවෙ.
හරි අරමුණෙන් බැහැරව ජනාධිපතිවරයා ගමන් කරද්දි ඔහුව බලයට ගේන්ඩ කටයුතු කරපු ඔබ ඇතුලු පිරිසගෙන් ජනාධිපතිවරයාගේ ඒ ක්‍රියාවලීන් විවේචනය කරමින් නැවත නිවැරදි මාර්ගයට ගෙන එන්න උත්සුක කරන සැබෑ මැදිහත් වීමක් දකින්න තිබුණේ නෑ.

යහපාලනය ගේන්න කටයුතු කරපු සමාජසේවා සංවිධාන කිහිපයත් දේශපාලන පක්ෂ කිහිපයත් අපි වෙන වෙනමත් ඒකාබද්ධවත් මේකට පොර ඇල්ලුවා. ආණ්ඩුවත් එක්ක හැප්පුනා, රැස්වීම් වලදි තරයේ ප්‍රකාශ කළා ඇත්ත යහපාලනය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. අපට පුලුවන් ආකාරයට අපි ප්‍රහාරය දුන්නා. ඒවට රනිල් වික්‍රමසිංහ ඇතුලු නායකයන් පසු බහිමින් උත්තර දුන්නා.
අන්තිමේදි ඒ නිසාම තමයි ජනාධිපති මේ විදිහේ සැලැස්මකට ආවේ. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔහුට ජාතිවාදී පදනමකින් ඔලුව උස්සන්න ඉඩක් ලැබුණා. ඒක වුණෙත් එක්සත් ජාතික පක්ෂයේ දුර්වලකම නිසා. ඒගොල්ලො ජාතිවාදයට විරුද්ධව ප්‍රාදේශීය සභා තුළ සටන් කළේ නෑ. ශ්‍රී ලංකා එක දෙකට කැඩිල තිබ්බ නිසා එහෙන් මෙහෙන් ඡන්ද ටිකක් ලැබෙයි කියලා එයාලා බලාගෙන හිටියා. එතනින් වාසිය ගත්ත මෛත්‍රී හිතුවා එයාට මහින්ද එක්ක ලොකු බලයක් ගොඩ නගන්න පුලුවන් කියලා. ඊට පස්සේ ඒ දෙපිරිස අතර තිබ්බ බෙදීම ඔවුන් අඩු කරගත්තා.

ඔබ කියන විදිහට මේ පිපුරුමට පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය හේතු වුණා.

ඔව්. ඒක එක හේතුවක් තමයි. පොදුවේ ගත්තහම තවත් හේතූන් දකින්න පුලුවන්. ඇත්තටම මේ ලිබරල්වාදී ගොණුවට බෑ විප්ලවකාරී පියවර ගන්න. ට්‍රොස්කිවාදීන් විදිහට අපේ තියන දර්ශනය තමයි ලිබරල්වාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් කරන්න බෑ කියන එක. ඒක නිසා තමයි මේක ඉදිරියට යන්නේ නැත්තේ.

ඔබ ඔහොම කීවට ඔබත් එක්ක හිටපු වාසුදේව නනායක්කාර ධනපති පක්ෂයකට එකතු වෙලා ඔහු එහි නියෝජිතයෙක් වෙලා ඉන්නවා, මෙහෙම ගිහින් ඔබටත් අන්තිමේදි ඒක වෙයිද?

නෑ. මම එහෙම සහයෝගයක් දෙන්න ඇවිල්ල නෑ. මේගොල්ලන්ගෙන් නිලයක්හරි වෙන මොකක්හරි අපි භාරගෙන නෑ. රනිල් ලිබරල් න්‍යාය පත්‍රයක් විදිහට ජාතික ප්‍රශ්නය වෙනුවෙන් පියවරක් ගන්න උත්සාහ කරන කෙනෙක්. මම කරන්නේ ඒකට අතදීම. ව්‍යවස්ථාවක් තුළ පොලිස් බලතල ඉඩම් බලතල තියන තත්ත්වෙකට ගෙනියන්න තමයි අපි උත්සාහ කරන්නේ.

කොහොම වුණත් ව්‍යවස්ථා සංශෝධන දැනට දහනවයක් තියනවා. අන්තිම එක ගෙනාවේ රනිල්ගේ පිරිස.

මේ දේශපාලන ගැටුම ආරම්භ වෙන්නෙම ව්‍යවස්ථාවට විරුද්ධව. ඒකෙදි රනිල් තදින්ම ඉන්නවා ඒක ක්‍රියාත්මක කිරීම පැත්තේ. ඉතින් එතකොට අපිට එයාව ඉක්මවා යන එකෙන් වැඩක් නෑනේ. අපි සමාජවාදෙට යන්න නෙවෙයි උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවක් හදන්න. මොකද ඒකෙන් රටට ජාත්‍යන්තරවත් වැදගත් බලපෑමක් වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදයටත් හොඳ පියවරක් වෙනවා. අපි ලෝකයේ දැකලා තියනවා දකුණු අප්‍රිකාව වගේ රටවල් විප්ලවයකට නොගිහින් විශාල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග වලට යොමුවෙලා තියනවා. මැලේසියාවෙත් මහතීර් මොහොමඞ්ට පුලුවන් වුණා විශාල එකමුතුවකට ගෙනල්ල රට සංවර්ධනීය පදනමකට ඒකාබද්ධ කරලා භාෂාව ඉංග්‍රීසි කතා කරන තැනට ගෙනල්ල ලොකු වෙනසක් කරන්න. මොකද ඒ හැම දේකටම ලෝකයේ පන්ති බලවේගයන් උදව් වුණා.
එතකොට කම්කරු පක්ෂයේ සංවිධානවල බළකිරීම නිසාම ඇමරිකාවේ, යුරෝපයේ තානාපතිවරු ජනාධිපතිට ඇවිල්ල කියලා තියනවා ප්‍රජාත්‍රන්ත්‍රවාදය යළි පිහිටුවල යන ඉදිරි ගමනක් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපිට ප්‍රබල ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා.

පාර්ලිමේන්තුවේ දැනට තියන තත්ත්වය බොහොම ව්‍යාකූලයි. මේ තත්ත්වය නිරාකරණය කරගන්න වෙන්නේ කොහොමද?

මේක හිතාමතා ඇති කළ ව්‍යාකූල බවක්. පාර්ලිමේන්තුව කඩා කප්පල් කරලා පාර්ලිමේන්තුවට තීන්දු ගන්න නොදී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම වැඩ කරනවා. කියනවා පාර්ලිමේන්තුවට ගෙනියන්න කියලා. ගෙනිච්ච ගමන් තීන්දුවක් ගන්න නොදී කඩාකප්පල් කරනවා. මේක සියලුදෙනා සංවිධානාත්මක වෙලා සැලසුම් සහගතව කරන දෙයක්. මේ හරහා සිද්ධ වෙලා තියන දේ තමයි පාර්ලිමේන්තුව තීන්දු නොගන්න ජනාධිපතිවරයා තීන්දු ගන්න තත්ත්වයකට පත්වෙලා තියන එක.

මේ වෙලාවෙ අධිකරණමය තීන්දුවකට යන එක වැදගත්. ඒ වගේම ජනතාව විශාල ලෙස පාරට බැහැල ශක්තිමත් මැදිහත් වීමක් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ව්‍යාකූල බව නැතිකිරීමේ හැකියාව මේ වෙලාවේ මහජනතාව කරන්න ඕනේ.

පාර්ලිමේන්තුවේ තියන හොර කැරලිකාරීත්වය යටකරගෙන යන ජනතාවගේ බලයක් ඕනේ. ඒක මේ වෙලාවේ නැගිටගෙන එන බවක් පේනවා. මේ වෙලාවේ හැම සීලාචාර මනුස්සයෙකුටම දැනිලා තියනවා මහින්දල කරන වැඬේ හරි නෑ කියන එක.

ඔබ කියන විදිහට මහින්ද ප්‍රමුඛ පිල පාර්ලිමේන්තු කටයුතු දිගින් දිගටම මේ විදිහට කඩාකප්පල් කරන ආකාරයට හැසිරුණොත් එකම විසඳුම වෙන්නේ මැතිවරණයකට යාම නේද?

නෑ. කොහොම වුණත් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තුනෙන් දෙකක් ඕනේ. කවුරුවත් එකට එකඟ වෙන්නේ නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් ඉතිරි අවුරුදු එක හමාරට කවුද අගමැති කියන එක තෝරන්ඩම වෙනවා. හැබැයි මේ වෙලාවේ අපි මැතිවරණයට කැමතියි කියලා යූඇන්පී එක යටත් වුණොත් ඒක මහින්දලාගේ ජයග්‍රහණයක් වෙනවා.

ඕක තමයි හිට්ලර්ගේ ගමන්මගේ මාවත. එක්කෙනෙක් යටත් වෙන්ඩ සූදානම් වුණහම මිනිහ තව වැඩියෙන් එකක් ඉල්ලනවා. ඒක තමයි පැසිස්ට්වාදීන්ගේ ගතිගුණය. ඒ නිසා මම හිතන්නේ නෑ රනිල් මහින්දලාගේ ඒ හිස් ඉල්ලීම් පිළිගනී කියලා.