බෘටස්, ජුදාස් සහ සුභගේ වර්තමාන භවය ජනපති සිරිසේනද?

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

සිරිසේනගේ වර්තමාන භවය කාගෙන් පටන් ගන්නේද යන්නද මට ගැටලුවකි. සුභගෙන්ද? බෘටස්ගෙන්ද? නැතිනම් ජුදාස්ගෙන්ද? ‘ත්‍රී ඉන් වන් ’ වීම මෙම දුෂ්කරතාවට හේතුවයි. එමනිසා අප ඓතිහාසික චරිත තුනම කළවමට ගෙන සිරිසේනගේ වර්තමාන භවය හඳුනා ගනිමු.

ක්‍රි. පූ. 1 ශ්‍රී ලංකාවේ රජ වූ සුභ නමැති fදාාරටුපාලයා, එම ශතවර්ෂයේම රෝමයේ සිටි සහ බෘටස් සහ ක්‍රි.ව.1 හී ජූඩියාහී ඉපිද ජේරුසලම්හී විසූ ජුදාාස් වැනි අවස්ථාවාදී කුමන්ත්‍රණ කරුවන්ගේ චරිත සහ ක්‍රියාවන් සමඟ සිරිසේනගේ ක්‍රියාවන් සමානවීමෙන් පෙන්වනුයේ ඔවුන්ගේ වර්තමාන භවය සිරිසේන බවද?. එය එසේ නම් අපට පැහැදිලි වනුයේ කුමක්ද?

බොරුවට, තක්කඩිකමට, වංචාවට, ජනතාවට රැවටීමට කාලයක් හෝ දේශයක් අනවශ්‍යය යන්න නොවේද? විනෝදකාමී යසලාලක තිස්ස රජු තමාගේ ම අනන්‍ය රූපය ඇති fදාාරටුපාල සුභ සිංහාසනයෙහි හිඳුවා ලැබීමට ගිය අහිංසක විනෝදය නිසා ඔහු සුභගේ අකෘතඥ, මේලේච්ඡ, ගෝත්‍රික අවස්ථාවාදයට බිලිවූවාසේ, යේසුස් වහන්සේ ජුදාාස් නමැති කුහකයා සහ පාවාදෙන්නා නිසා රෝමානු දුෂ්ඨ පාලකයින්ට බිලිවූවාසේ, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සුඛාන්තයක් කෙසේවෙතත් 2009 සිට 2015 දක්වා වසර 06 තුළ. විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂ ප්‍රමූඛ ඔහුගේ අවිනීත චෞර රැල විසින් ආදාාහනගාරයට දක්කමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදය යන්තමින් හෝ සුරැකීමට මහින්ද විරෝධි 62 ලක්‍ෂයක ජනතාව ජනාධිපති ලෙස පත්කළේ සිරිසේනවය. සිරිසේන ගේ එදාා පරම ජාති හතුරාවූ මහින්ද අද සිරිසේනගේ ජීව ශක්තිය වී ඇත. ගැළවුම්කාරයා වී ඇත. කශේරුකාව වී ඇත. මඟ පෙන්වන්නා වී ඇත. තමාගේ දෙවැනි ජනාධිපතිධූර සිහිනය ශාක්ෂාත් කරන සිහින කුමාරයා වී ඇත. මහින්ද සමඟ වසර 30 ක් එකට වැඩකළ නිසා “මහින්දව මා ඉතා සමීපව දන්නවා“ යැයි කියමින් ජනතාවට ඒත්තු ගන්වා ජනතාව මහින්දට එරෙහිව ගාල්කොට මහින්ද විරෝධීන්ගේ ජන්ද තමාගේ ගිණුමට බැර කරගත් සිරිසේන අද මහින්දව ඔඩොක්කුවට රැගෙන සුරතල් කිරීම සිරිසේනව බලයට ගෙනා ජන්දදායකයින්ට කෙසේනම් ඉවසිය හැකිද?

දේශපාලනික වශයෙන් එතරම් බැබළුණු නැති අයකු පොදු අපේක්ෂකයා ලෙස බාරගෙන ඔහු ජනාධිපති කිරීමට 40ලක්ෂයක් පමණ වූ තම පාක්ෂිකයින් දිරි ගැන්වූ රනිල්ට සිරිසේන කළේ සුභ යසට කළ දෙයයි. කැසියස් ගේ කුමන්ත්‍රණයට එකඟව බෘටස් ජූලියස් සීසර්ට කළ දෙයයි. (පසුගිය ඔක්තෝබර් 26 සිට දිගහැරෙන ජුලියස් සීසර් ගේ නාටකයේ ශ්‍රී ලාංකික පිටපතේ කැසියස්ගේ භූමිකාව මහින්ද කළ බවද පැහැදිලි කරුණකි.) 62 ලක්ෂයක ජනතාවගේ කැමැත්තෙන් ලෝක පූජිත තත්ත්වයට පවා පත්වූ සිරිසේනගේ අද ප්‍රධානම සහ එකම හතුරා වී ඇත්තේ රනිල්ය. රනිල් ගේ දේශපාලනය පිළිබඳව මෙම ලේඛකයාට කිසිම පැහැදීමක් නැති වුවද මෙහිදී බැලිය යුත්තේ සිරිසේන විසින් කරන ලද ක්‍රියාවය. මැනෙන්නේ සිරිසේනගේ ක්‍රියාවය. කරන ලද්දෙහි ගුණ අගුණය. ‘කෙනකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වෙනුයේ ජන්මයෙන් නොව ක්‍රියාවෙනි “යන බුද්ධ භාෂිතය සිරිසේන නොදන්නවා නොවිය හැකිය. එහෙත් ආරංවියේ හැටියට සිරිසේන අවධාරණයෙන් පවසා ඇත්තේ “මොන ම තත්ත්වයක් යටතේවත් රනිල්ව මම අගමැති කරන්නේ නැහැ“යන්නය. ‘නහී වේරේන වේරාණි’‘ යන අති උතුම් බෞද්ධ අනුශාසනය කිහිපවතාවක් දේශපාලන වේදිකාවේදී මෙන්ම ජන කේන්ද්‍රයන්හී උද්ධෘත කළ සිරිසේනද මේ? මෙම දැඩි ප්‍රකාශයෙන් සහ ප්‍රහාරයෙන් පෙනෙනුයේ එම ස්ථාවරය පෞද්ගලික වෛරයක් මිස දේශපාලන තීන්දුවක් නොවන බවය. එසේම එහි ගුණමකු බවේ මහා දෝංකාරයක්ද ආධ්‍යාහාරවී ඇත. ඊට අමතරව මෙම ප්‍රකාශයෙන් සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද වී ඇත. ජේ.ආර් වී ඇත. හේතුව ඔහුට ව්‍යවස්ථාවෙන් හිමි නොකරන ලද බලයක් සහ අයිතියක් ඔහු වෙත පවරා ගැනීම නොකළ යුතු නිසාය. කවරකු පත්විය යුතුද යන්නෙහි ව්‍යවස්ථාමය තීරකයා පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට යෝජනා කොට සම්මත වුවහොත් ජනාධිපති විසින් කළයුත්තේ ඔහුව හෝ ඇයව පත්කිරීමය. ඇත්තටම අද අවුල ඇත්තේද මෙතනය. මෙම ලේඛකයා නීති විශාරදයෙක් නොවේ. එහෙත් සදාචාරය නීතියට ඉහළින් ඇති බව සහ තිබිය යුතු බව පිළිගන්නෙකි. නීතිය සමහර අවස්ථා වල එසේ නොවුණද නීතිය යනු සදාචාරයේ කැඩපතයි. සදාචාරයට දෙන රූපික අර්ථයයි. එවැන්නක් තමන්ගේ හිතේ තිබුණත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශකොට ඇවිලෙන ගිනිගොඩට පිදුරු නොදැමිය යුතුව තිබිණ. සිරිසේන තක්කඩි හොරුන් අරක්ෂා කළ මහින්දව හොඳට හඳුනාගත් එකම මිනිසා තමන්යැයි වසර 3කට පෙර පුරසාරම් දොඩමින් මහින්දව විචාරය කළ සිරිසේන ඔක්තෝබර් 26 වැනි දින අගමැතිකමට ඔහුට සිටි එකම සුදුස්සා වූයේ එදා තමාගේ එකම හතුරාවූ මහින්දය. එයද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් මහින්දට ඇද්ද යන්න සාක්ෂ්‍ය සහිතව බලා නොව තමාට මහින්දට බහුතරයක් ඇතැයි තමා සිතූ නිසාය. මෙම පත්කිරීම සහ සිරිසේන මහතා විසින් මෙම වසරේ මුලදී ප්‍රසිද්ධ වේදිකාවක කළ ප්‍රකාශය අතර සමානකමක් පමණක් නොව ඒ තුළ කුමන්ත්‍රණයේ මූලබීජයන්ද තිබූ බව පෙනේ. කීවේ “දේශපාලනය තුළ සදාකාලික සතුරෝත් නැත, සදාකාලික මිතුරෝත් නැත“යන්නය.

බෘටස් මැරුවේ ජුලියස් සීසර්ව පමණි. සුභ හිස ගසා දැමුවේ යස රජුගේ පමණි. ජුදාාස් කුරුසය මත ප්‍රාණය නිරුද්ධ කළේ යේසුස් වහන්සේගේ පමණි. එහෙත් සිරිසේන මහතා එක රාත්‍රියකින් අළු බවට පත්කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬා වැටුණු හා තමා දැන් ඉන්නා තැනට රැගෙන ආ 62 ලක්‍ෂයක ජනතාවගේ බලාපොරොත්තුය. මෙම 62ලක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී සිහිනය සිරිසේන මහතා බොඳ කළේ 220 ලක්‍ෂයක ශ්‍රී ලාංකික ජනතාව ඉදිරියේ සහ බිලියන 4ක පමණ ලෝකවාසීන් ද ඉදිරියේය. සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන්නකුය යන්න සිතා ඔහුව ඉතා හරසරින් පිළිගත් ජගත් රාජ්‍ය නායක නායිකාවන් ඉදිරියේය. (නැවත සිරිසේනට තම රටවලට එන්නැයි ඔවුන් කිසිදා ආරාධනය නොකරනු ඇත). ඇත්තටම ඔහු ඝාතනය කළේ 62 ලක්‍ෂයක ජනතාවගේ පරමාධිපත්‍යය පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමස්ත සංකල්පයම ඔහු දංගෙඩියට යැව්වේ සිහිවිකල්ව මෙනි.

රෝම නීතිය අවඥාවට භාජනය කිරීම සඳහා යේසුස්වහන්සේ උට්ඨානණය වූයේ තම නිර්fදාා්ෂිභාවය, (මානුෂික) නීතිය, සාධාරණය සහ විමුක්තිය ජනතාවට නැවත ලබාදීමටය. එහෙත් සිරිසේන ඔක්. 26 වැනිදාා කළේ තෙමේමත් සුභ සහ බෘටස් සහ ජුදාාස්ට සමාන බව පෙන්වනවාට අතිරේකව සුභ ලා, බෘටස් ලා සහ ජුදාස් ලා වැනි අවස්ථාවාදී රංචුවකට සහ බුච් කැසිඩි, ජෙසී ජේම්ස්, බොනී සහ ක්ලයිඞ් ටත් එහා ගිය හොර රංචුවකට පණ දීමයි. (විශේෂයෙන් අර්ජුන මහේන්ද්‍රන් සහ ඇලෝසියස් වැන්නන්ද සිටි රටකට). එසේම රංචුවට ඇති නඩුවල අවසානයක් දැකීමටත් පෙර විනයක් නැති පිරිසකට ජනතාව බාරදීමයි. විනය තමන්ගේ ශරීරවල නැතිබව 14 සහ 15 යන දෙදින තුළ අප දුටුවෙමු. එවන් හැසිරීමක් ආසියාවේ තබා ලෝකයේ කිසිම පාර්ලිමේන්තුවක සිදු වීදැයි නොදනිමි. තමන් විසින් 2015 ජනවාරි 08 වැනිදාා වැළලු තිරිසන් දේශපාලනය සිරිසේන විසින්ම නැවත කැඳවා අභිෂේක කරන ලදි. එම දුර්දාාන්ත අදූරදර්ශි තීරණයේ ඵලවිපාක අප ඇස් පනාපිට දුටුවෙමු. තවම එය සමනය වී නැත. සමනය වෙන්නේයැයි සිතීමද උගහටය. අනාගත දේශපාලනයක් ගැන නොසිතා දේශපාලනයෙන් සමුගැනීමට හෝ හිරේ යාමට හිත හදාගෙන සිටි පිරිසකට සිරිසේන නව බලාපොරොත්තු දැල්වූහ. සිරිසේනට සියල්ලෝම ඇඟිල්ල දික්කරනුයේ මේ නිසාය.

ජුදාාස් විසින් යේසුස්වහන්සේ පාවාදීම.

ජුදාාස් බලාධිකාරීන් වෙත ගොස් මෙසේ ඇසිය. “යේසුස් වහන්සේ අල්ලා දුනුහොත් මට මුදලින් කියක් දෙනවාද? “ රිදි කාසි30 ක් දෙන්නම්.“ බලාධිකාරිය පොරොන්දු විය. (මැතිව්. 26)
සිරිසේන පමණක් නොව සමහර අවස්ථාවාදී මන්ත්‍රිවරුන්ද හැසිරුනේ ජුදාස්ලා ලෙසය. ජුදාස් මන්ත්‍රීලා හෝ මන්ත්‍රී ජුදාස්ලා සිරිසේන අධිකාරිය වෙත ගොස් ඇසුවේ “ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමට ඔබට සහයෝගය දෙන්නම්. අල්ලස් වශයෙන් කීයක් දෙනවද?”යේසුස් වහන්සේ විරෝධී ආගමික බළ අධිකාරිය මෙන් සිරිසේන ද කළේ රිදී කාසි 30ක් නොව රුපියල් කෝටි ගණනින් මෙම ජුදාස්ලාට ගෙවීමට එකඟවීම පමණක් නොව ඒ සඳහා එස්.බී වැන්නන්ට වැඩය බාරදීමය.

පාපන්දු ක්‍රීඩාවේ ‘ජුදාාස් මාරුව’ (Judas Transference in Foot-Ball) 

එක් කණ්ඩායමකට ක්‍රිඩා කරන ක්‍රිඩයෙකු එම කණ්ඩායමේ පරම හතුරු (ජන්මාන්තර වෛර) කණ්ඩායමකට එකතුවීම පාපන්දු ක්‍රිඩාවේදී හඳුන්වනුයේ ‘ජුදාාස් මාරුව’වශයෙනි. අර්ථය ‘පාවාදී මාරුවීම’ යන්නයි.
පාපන්දු ක්‍රිඩාව තුළ අතිශය පිළිකුළට නැතිනම් තේරෙන භාෂාවෙන් කිවහොත් ‘එපාම කරපු එකා’ ලෙස හඳුන්වනුයේ වෛර පිළට මාරුවී තමා ව නිර්මාණය කළ තමා ළෙන්ගතුව සිටි පිළ පාවාදෙන ක්‍රීඩකයාය. (ටොටම්හැම් පිළට ක්‍රිඩාකළ සෝල් කැම්බල් එහි පරම හතුරුපිළවූ ආසනල් පිළට එකතුවීම: බාසෙලෝනා පිළට ක්‍රීඩාකළ රොනාල්ඩෝ එහි සතුරුපිළවූ ‘රියල් මැඞ්රිඞ්‘ පිළට මාරුවීම). මෙම ද්‍රෝහී ක්‍රියාවට ‘ජුදාස් මාරුව‘ යන නම ලැබෙනුයේ ක්‍රිස්තුස්වහන්සේ පාවාදුන් ජුදාස් නිසාය.

අපේ දේශපාලනය තුළද නොබෝදාා සිදුවූයේ මෙවන් ‘ජුදාස් මාරුවක්ය.’ පරම සතුරු මහින්ද පිලට සිරිසේන මාරුවීම සහ පෙරළා පරම සතුරුවූ සිරිසේන පිළට මහින්ද එකතුවීම. මෙය ‘දේශපාලනයේ ජුදාස්‘ මාරුව ලෙස හැඳින්විය හැකිය. මෙවැනි මාරු ධනේශ්වර පක්ෂ දේශපාලනය තුළ සිදුවීම වැළැක්විය නොහැකිය. එහෙත් හොඳ, නිර්භීත, දූරදර්ශී පාලකයකුට මෙවන් මාරු නිෂ්ක්‍රීය කළ හැකිය. එහෙත් පාලකයාම මෙවන් මාරුවලට දිරිදෙන විට ‘ජුදාස් මාරුව‘ දේශපාලනය තුළ අරක්ගනුයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය.

ජුදාාස් සහ සිරිසේන අතර අතර සමීප සමානතා

ජුදාාස් යනු යේසුස් වහන්සේ ගේ අනුගාමිකයින් 12ගෙන් කෙනෙකි. ක්‍රිස්තියානි සහ කතෝලික ප්‍රජාව අතර සහ සාහිත්‍යය තුළ ‘අවසාන භෝජන සංග්‍රහය‘වශයෙන් සංකේතවන සංසිද්ධිය අකෘතඥ මිනිසුන්ගේ ස්වභාවය මනාව පැහැදිළි කරන නාට්‍යමය අවස්ථාවකි. ජුදාස් යේසුස්වහන්සේව සතුරන්ට පාවාදෙනුයේ ගොම්මන් වෙලාවකය. (මතක්කරදීමක් : සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදය එහි සතුරන්ට පාවා දෙනුයේද ගොම්මන් සන්ධ්‍යාවකය. සතුරන්ට වාසිවන පරිදි ප්‍රජාතන්ත්‍රවිරෝධීව පාර්ලිමේන්තුව විසිරවූයේද යක්ෂයාගේ හෝරාවේය). යේසුස් වහන්සේ සමඟ එකම රොටිය බෙදාගෙන කෑ ජුදාස් එදින සවස තම නායකයා පාවා දුන් පරිදිම තම නායකයා වූ මහින්ද සමඟ එකට ආප්පය කා ඔහු පාවා දුන්නේය. සිරිසේන ඊළඟට කළේ සුභ, යසට කළ දෙයය. බෘටස් සීසර්ට කළ දෙයය.
රෝම සොල්දාදුවන් යේසුස් වහන්සේගේ උර මත විශාල කුරුසියක් පටවා වද දෙමින් ඈත එපිට කුරුස මංචකය වෙත එතුමාව පයින් රැගෙන ගියාසේ සිරිසේන තම සහචර ජුදාස්ලා සමඟ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටිය 70 ලක්ෂයක පමණ ජනතා විරෝධතා මධ්‍යයේ දෙපස සිටින්නන්ට මරබිය දනවමින් සහ මළබෙර වයමින් සුසාන භූමිය වෙත රැගෙන යමින් සිටිති. එක දිනක ඇවෑමෙන් එනම්, ඔක්තෝබර් 26 දිනට පසුදිනම ප්‍රජාතන්ත්‍රවාදයේ මිනීපෙට්ටිය සුසාන භූමිය වෙත ගෙන ගොස් වැළලිය හැකියැයි සිතුවද අදට දින 24 ක් ගතව ඇති මුත් සිරිසේන සහ මහින්ද ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ගේ උර මත ප්‍රජාතන්ත්‍රවාදය ටොන් ගණනින් බරවෙමින් සුසාන භූමිය කරා ගෙනයාමට බැරුව විිපිලිසරව සිටිති. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන දේශීය සහ විදේශීය විරෝධකරුවන්ගේ නොනවතින උද්ඝෝෂණයන් නිසාය.

ජුදාස් එදා පාවාදෙනු ලැබුවේ යේසුස් වහන්සේව පමණක් නොවේ. එතුමාට පක්ෂපාතීව සිටි සියල්ලමත් ජුදාස් පාවාදෙනු ලැබීය- (මැතිව්:26). මෙදා සිරිසේන කර ඇත්තේ ද එදා ජුදාස් කළ දෙයමය. තමාගේ පෞද්ගලික වාසියට එක සිතුවිල්ලකින් තමාට හිතවත්වූ 62 ලක්ෂයක් වූ ජනතාව පාවාදීමය. සූභගේ අවස්ථාවාදයට නූතන අර්ථයක් දීමය. ඒ මගින් අමතකව ගොස් තිබූ සුභ නමැති අකෘතඥ දොරටුපාල-රජාව නූතන පරම්පරාවට මතක් කරදීමය.

එදා ජුදාස්ගේ එක පාවාදීමකින් යේසුස් වහන්සේ කුරුසය මත මියැදින. අද සිරිසේන ප්‍රමුඛ ජුදාස්ලා එක පාවාදීමකින් නොව පාවාදීම් රැල්ලකින් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වෙමින් සිටිති. මෙහි උත්ප්‍රාසය නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම බලයට පැමිණියවුන් ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමය. එක අතකින් බලනකල මෙය උත්ප්‍රාසයක්ද නොවේ. ඓතිහාසික සත්‍යයකි. හිට්ලර් බලයට ආවේ ද ප්‍රජාතන්න්‍රවාදී ජන්දයෙනි. බලයට පැමිණි පසු හිට්ලර් හැසිරුනේ අමන අ`ථගෝසුවකු ලෙසය. ඉතාලියේ මුසෝලීනි නමැති අධම පාලකයාද බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදීවය. හැසිරුනේ ඒකාධිපතියෙකුගේ වෙස් ගෙනය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට එන පාලකයින්ට වැළදෙන රෝගයකි. අප්‍රිකාවේන් මෙවන් උදාහරණ දුසිම් ගණනින් සොයාගත හැකිය.

සිරිසේනලා මෛත්‍රී සහගතව නොව හුදු අමෛත්‍රියෙන්ම, වේතනා පූර්වකවම, නිර්ලජ්ජීව, බල තණ්හාවෙන්ම කළ පාවාදීමක් නිසා වර්තමාන ශ්‍රී ලාංකිකයින් පමණක් නොව අනාගතයේදී මේ භූමියට ඉපදෙන සියල්ලම සිරිසේනගේ මේ ‘මහා පාවාදීමට’ (The Great-Betrayal Ever) කිසිම සමාවක් නොදෙනු ඇත. ඔස්ටි්‍රයාවේ ඇල්ෆ්‍රඞ් රෙඩල්, බි්‍රතාන්‍යයේ හැරල්ඞ් කෝල්, ඇ.එ.ජ යේ රොසෙන්බර්ග් සහ ඉංදියාවේ මිර් ජෆාර් වැනි මහා පාවාදෙන්නන්ගේ ලැයිස්තුවට සිරිසේනගේ නමද අනීවාර්යෙන්ම ඇතුල් වනු ඇත. ඉහත සියල්ලෝම යුද රහස් සහ යුදභුමි වලදී තම සේනාංක සමඟ තම රටවල් පාවාදුන් අය වෙති. සිරිසේන මෙම ලැයිස්තුවට ඇතුළත් වෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ පාවාදීමේ හේතුව නිසාය.

අද අපේ රටේ සිදුවීම් මාලාව දෙස බලන විට බෘටස් ලවා සීසර්ව මැරවූ කැසියස් කව්ද යන්න සිතාගැනීම අපහසු නොවේ. එසේම බෘටස් කව්ද? ජුදාස් කව්ද? ජුදාස්ලා කව්රුන්ද? යන්න හඳුනාගැනීම අපහසු නැත. මේ නාටකය මෙසේ දිගහැරෙන නිසා පාඨක ඔබට ශේක්ෂ්පියර්ගේ ‘ජූලියස් සීසර්‘ නාටකයේ අනුවාදයන් නැරඹීමට ලන්ඩන්හී  Bridge  රඟහලට හෝ පිලඩෙල්ෆියාහී  Sedgwick  රඟහලට හෝ යා යුත්තේ නැත. මෙහිදීම දිනපතා බැලිය හැකිය. එසේම නාටකයේ 2018 නූතන ඉංග්‍රීසි අනුවාදය ඇලේක්සෙන්ඩර් බර්න්සේගේ වුවද අද ලංකාවේ මේ මොහොතේ වේදිකා ගතව ඇති ‘ජුලියස් සීසර්’සහ ‘ජූදාස්ගේ පාවාදීම’ නමැති නාටක දෙකේම සම අධ්‍යක්ෂකවරු දෙදෙනා සිරිසේන සහ මහින්දය. නළු කැල ඔවුන් විසින්ම පුහුණුකළ අය නිසා නාට්‍යයෙන් එකවර මුදාහැරෙන ශේක්ෂ්පියර්ගේ නාට්‍යය තුළ නොතිබූ බීභත්ස්‍යය සහ භයානක යන රස ද්වය තීව්‍රය. කෙසේවෙතත් ශේක්ෂ්පියර් එම නාටකයෙන් දීමට අවශ්‍යවූ පණිවිඩය වූයේ “ජුලියස් සීසර්ට එම ඉරණම අත්වූයේ ඔහුගේ උද්ධච්ඡකම, ආක්‍රමණශීලීත්වය, අධිමානය සහ මහාභිලාශී (ambitious) බලාපෙරොත්තු තිබීම”යන දුර්ගුණයන් නිසාය. 2018 සිරිසේන-මහින්ද අධ්‍යක්ෂණයෙන් දොරට වැඩි ශ්‍රී ලාංකික ‘ජූලියස් සීසර්’ නාටකයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනාවූ සිරිසේන-මහින්ද යන දෙදෙනාටම ලාංකික ජනතාවට සහ සමස්ත ලෝකයටම ‘ජෝක්ස්’ නොසපයමින් හරිනම් බැරෑරුම් ලෙස බාරගතයුතුව තිබුනේ ශේක්ෂ්පියර්ගේ ඉහත ‘ඔරිජිනල්’ පණිවිවිඩයයි.
මොනවා වුවද ජුදාස්ගේ පශ්චාද් පාවාදීම් චර්යාවෙන් ප්‍රදර්ශනය වූ වරදකාරී විඥානය (guilt consciousness) නිසා සහ ඔහු කළ වරදට තම ජිවිතයෙන් වන්දි ගෙවා කළ පව් සමා කරගත්තේය යන්න සහ යේසුස් වහන්සේ කුරුසිය මතදී සිය පියාණන්ගෙන් කළ ඉල්ලීමටද ගරු කරමින් (ඉහත ලූක්ගේ උද්ධෘතය) ජුදාස්ව නිදොස්කොට නිදහස් කිරීමේ කතිකාවක්ද පසුව ගොඩනැඟුනා පමණක් නොව නාට්‍යකරුවන් පවා එම අදහස නාට්‍ය මගින් සමාජගත කරනු ලැබීය. උදාහරණ  The Passion යන හිසින් විකාශනය කළ බී.බී.සී. නාට්‍යය.

ජුදාස්ව එසේ නිදොස් කොට නිදහස් කළද සිරිසේන විසින් කරන ලද ක්‍රියාවට ශ්‍රී ලාංකිකයින් ඔහුව නිදොස්කොට නිදහස් කරාවිදැයි යන්න විශාල ප්‍රශ්නයකි. හේතුව ජුදාස් මෙන් තමන් වරදක් කළේය යන පිළිගැනීමක් මේ වනතෙක් නොකළ නිසා සහ එවැන්නක් පිළිබඳ ඡායාවක්වත් ඔහුගේ හැසිරීමෙන් නොපෙනෙන හෙයිනි.

කැසියස්ගේ කුමන්ත්‍රණ චර්යාවත් ඔහු බෘටස් ලවා කළ කා්රයයත් නිසා 14වැනි සියවසේ විසූ ඉතාලියානු කවියකු වූ Dante විසින් කැසියස්ව පව්කාරයින් තිදෙනාගෙන් එකකු ලෙස හැඳින්වීය. අනෙකා බෘටස්ය. Dante අපේ සුභ ගැන දැන සිටියේ නැත. දැන සිටියානම් ඔහුද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙනු ඇත. පව්කාරයකු පිළිබඳ සාම්ප්‍රාදායික නිර්වචනය ආගමික වුවද දේශපාලනයේදී එම වචනයෙන් බොහෝවිට කියැවෙන්නේ ‘ජනතාවට ද්‍රෝහීවන්නා’, ප්‍රජාතන්ත්‍රවාදය වළලන්නා’ ආදී වශයෙනි. ඇඩොල්ප් හිට්ලර් පව්කාරයකු ලෙස හැඳින්වූයේ මේ අර්ථයෙනි. සිරිසේන හිට්ලර් නොවුණද මහින්දව ඇසුරු කිරීමෙන්දෝ හිට්ලර්ගේ පැසිස්ට් රෝගී ලක්ෂණ සිරිසේන තුළින්ද විද්‍යමාන වෙන බව දැන් මු`ථ ලෝකයම දනී.

‘ඉතිහාසය නැවත මතුවෙනුයේ පළමුව ඛේදාන්තයක් ලෙස සහ දෙවනුව විගඩමක් ලෙසය’. කාල් මාක්ස්. අපේ ලංකාවේ විශේෂයෙන් පසුගිය වසර තුනේ ඉතිහාසය ගත්කල එය නැවත දිගහැරෙමින් යනුයේ ඛේදාන්තයක් සහ විගඩමක් ලෙස එකවරමය.

ක්‍රිස්තුස් වහන්සේ ජීවිතයෙන් සමුගන්නා අවසාන මොහොතේ සිය පියාණන්ගෙන් ඉල්ලා සිටියේ “ඔවුන්ට සමාව දෙන ලෙසය. ඔවුහු කළ දේ නොදනිති ”යන්න අවධාරණය කරමිනි. (ලූක්: 23-34). එහෙත් සිරිසේන විසින් අති පහත් ආකාරයට චේතනා පූර්වකවම කළ ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමට නම් ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.