‘මමයි ආණ්ඩුව’ බලාධිකාරයට යටත් වෙනවාද?

විමලනාත් වීරරත්න

නබී නායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කර තිබුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ යන මහත්වරු කියා තිබුණේ නබීනායකතුමන්ගේ පරමාදර්ශය ප්‍රතිපත්තිය ජීවිතාදර්ශය අනුගමනය කළ යුතු බවත් එම ආදර්ශ රටේ පාලන තන්ත්‍රයට වුවමනා බවත්ය. ජනපති අගමැති මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙම ආදර්ශ රාජ්‍ය පාලන විෂයෙහි අභ්‍යාස කළෝ නම් රට අද වැටී තිබෙන තරමේ අගාධයකට ඇද වැටෙන්නේ නැත. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සඳහා තේරීම් කාරක සභාවක් පත් කර ගැනීමට යාමේදී රටේ ආණ්ඩුවක් නැති බව හොඳින්ම පැහැදිලි විය. මමයි ආණ්ඩුව කියන මට්ටමට පාර්ශ්ව දෙකම යද්දී මෙම තත්ත්වය බලු පොරයකට වඩා අන්ත බව ප්‍රත්‍යක්ෂ වූයේය. මෙම පොරයේ කර්තෘකාරකයා වූයේ නබීතුමාගේ පරමාදර්ශ ජීවිතය අවබෝධ කරගත යුතු බව කියන ජනාධිපතිවරයාය. ඔහු හදිසියේම ගත් මොට තීන්දු ඉතා ඉක්මනින් වැරදි බව පෙනී ගියත් ඒවා නිවැරදි නොකිරීමෙන් රට ගැලවීමට අපහසු උගුලක සිරවිය.

ජනපතිගේ විලෝපනය

ජනපතිට දෙවැනි වරටත් ධූරයේ රස බැලීමට චේතනාවක් පහල වීම ස්වාභාවික තත්ත්වයකි. ඒ සඳහා යහපාලන අභ්‍යාසය තුළ ඉතා හොඳින් ලකුණු රැස් කිරීමට නොහැකි වූ බවත් ඇත්තකි. ජනපති හා රනිල් වික්‍රමසිංහ නොපෑහෙන සංස්කෘතීන් වල ගැලුණු දෙදෙනකු ද විය හැකිය. මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිට එජාපයෙන් සහයෝගය නොලැබීමටද පුළුවන. එජාපයේ ඇතැමුන් දූෂිත ක්‍රියාවන්හි නිරත වූ නිසා ඒ සියලු මඩ ජනාධිපතිගේ ශරීරයේත් ගෑවුණා වන්නටද පුළුවන. එහෙත් මේ සියල්ලට උත්තරය රනිල් පෙරළාගෙන යා හැකි පුද්ගලයකු අගමැති කිරීම යැයි සාධාරණිකරණය කරන්නේ කෙසේද? ද්විපාර්ශිකව ගොඩනැගෙමින් තිබුණු එම අර්බුදය ජනපති හා අගමැති අතර ගැඹුරින් සාකච්ඡා වූවා යැයි සිතිය නොහැකිය. පක්ෂ දෙකේ තීරණ ගත හැකි මට්ටමේ බුද්ධිමත් කොටස් අතර මෙම විභේදනය විස්තීරණ ලෙස සාකච්ඡා වූවා යැයි සිතිය නොහැකිය. ජනපති තමාට හිතවත් මට්ටයන් වැනි කණ්ඩායමක් සමඟ මෙම ප්‍රශ්න සාකච්ඡා කර තීරණ ගත්තා දැයි සැක සිතේ. අනෙක් අතට ජනපති, මහින්ද සමඟ එක් වූයේ මීළඟ ජනපති අපේක්ෂකත්වය සඳහා නම් එය ඔහුටම ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද? ජනාධිපතිවරයා ඔක්. 26ට බොහෝ පෙර සිටම මහජන විශ්වාසය බිඳ ගත් නායකයෙකි. අලුත් වැඩ පිළවෙළ නිසා ඔහු පිළිබඳ ජනතාවට විශ්වාසයක් ඇති වනවා යැයි සිතයි නම් එය මුලාවකි. මහින්ද රාජපක්ෂ වේදිකාවට නැග මෛත්‍රීට ඡන්දය දෙන්න යැයි කියනු ඇත්ද? ඊළඟට වැදගත් කාරණය වන්නේ මහින්ද අගමැති වී දින කීපයක් ඇතුළත පොදු ජන පෙරමුණේ නායකත්වය ගැනීමය. ඔහු මඟ ගිය පිරිස එම පක්ෂයේ සාමාජිකයෝ බවට පරිවර්තනය වූහ. ඔවුහු ශ්‍රීලනිපය ලෙස එකට නොනැගිටියහ. දැන් යළි සිදුව තිබෙන්නේ ශ්‍රීලනිපය අල්ප පක්ෂය බවට පත් වීමය. ජනපතිත් පෙර පරිදිම අල්ප පක්ෂයේ සභාපති ලෙස සිටීමය. වත්මන් ජනපති මීළඟ ජනපති අපේක්ෂකයා වන්නේ නම් දැන් කළ යුත්තේ ඔහුත් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමය. එවිට මැද මාවතේ පක්ෂය බව කියන හා රට අගාධයට ඇද දැමූ ශ්‍රීලනිපය නම් වූ කවන්ධයේ ප්‍රශ්නයවත් අඩුම තරමින් අවසන් වනු ඇත.

මෙසේ සිතිය නොහැකිද?

ඉදිරි මහමැතිවරණයකදී ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරී පත් වී සහයෝගීතා ආණ්ඩුවක අර්ථයෙන් යළි රජයක් ස්ථාපිත කළහොත් එය සන්ධානයක් නිසා අමාත්‍ය ධූර 45 දක්වා යා හැකිය. එක් පක්ෂයකින් ඔවුන් ජයග්‍රහණය කළහොත් 19 සංශෝධනය ප්‍රකාරව අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදු වෙයි. ඉකුත් සතියේ ‘අරුණ’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ශ්‍රීලනිප ලේකම්වරයා කියා තිබුණේ නව වැඩපිළිවෙළක් සමඟ පොහොට්ටුවේ අය ශ්‍රීලනිපයට එන බව මුලින් කියා තිබුණත් සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්ත බවය. ඉන් පෙනී යන්නේ ජනපති, එජාපය සමඟ ගනුදෙනුවේදී මුහුණ දුන්නාටත් වඩා අප්‍රසන්න සහගත තත්ත්වයකට අලුත් දීගයේදී මුහුණ දීමට නියමිත බවද? එසේ වුවහොත් ඉන් එහාට ඔහුට ගමනක් නැති වෙයි. මාසයකට දෙකකට පෙර ජනපතිට නින්දා කළ මහින්දගේ කල්ලියේ සමාජිකයෝ මේ වන විට ඔහුට ප්‍රශස්ති ගායනා කරති. අතිගරු ජනාධිපතිතුමා වැනි වදන් වලින් ආමන්ත්‍රණය කරති. එබඳු වෙනස් වීම් සිදු වෙද්දී පවා ජනාධිපතිට මේවා මරණීය පිළිකාවක ලක්ෂණ බව නොවැටහීම පුදුමයකි. පොහොට්ටුවට හෝ ශ්‍රීලනිපයට මීළඟ ජනාධිපතිවරණයේදි වඩා හොඳින් දුවන්නට හැකි අශ්වයා තෝරා ගැනීමට සිදු වෙයි. එම අර්ථයෙන් වත්මන් ජනාධිපති යනු කකුළ කඩා ගත් අශ්වයකු නිසා ඔහුට කොහොමටවත් තරඟ කළ හැකි යැයි සිතීමට හේතු සාධක නැත.

ෂීසෙල්ෂ් ගමන

ජනපති ඔක්. 26 දා තීරණයට පෙර කඩිමුඩියේ ෂීසෙල්ෂ් රාජ්‍යයේ කෙටි සංචාරයක් නිමාකොට අවේය. මහින්ද රාජපක්ෂ ඇසුරු කළ රටවල් කියමින් ෂීසෙල්ෂ් දෙස වපර ඇසකින් බලමින් සිටි ජනාධිපතිවරයාට ඔවුන් සමඟ හදිසියේ ඇති වූ සම්බන්ධය කුමක්ද? මෙරට පිරිසක් එහිදී ජනපති හමුවී නව දේශපාලන වෙනසකට තුඩු දෙන බරපතළ සාකච්ඡාවක් කරන්නට යෙදුනිද? නැතහොත් ඊට පරිභාහිර දෙයක් සිදු වුණිද? මේ තීන්දුව ගැනීමේදී ඔහු සමඟ පණ එපා කියා ශ්‍රීලනිපයෙන් පැමිණි කිසිවෙක් ගැන ජනපති සිතා ඇති වගක් පෙනෙන්නට නැත. නිදසුනක් ලෙස ජනපති ගත් තීරණය නිසා දුමින්ද දිසානායක හිඟන කොල්ලාගේ තත්ත්වයට පත් වූයේය. කවදා කොතැනකදී හෝ මව්පියන් හමුවන තුරු ඔහුට මහින්දගේ බලාධිකාරය යටතේ ඩබ්. ඒ. සිල්වාගේ හිඟන කොල්ලාටත් වඩා නරක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවනු ඇත. රාජිත සේනාරත්න ගතහොත් ඔහුත් මෙම තීරණයෙන් බරපතළ තැති ගැනීමකට ලක් වූ දේශපාලනඥයෙකි. රාජිත බලවත් දේශපාලනඥයකු නිසා දුමින්ද තරම් නරක කළ දසාවක් උදා නොවනු ඇත. ජනපති, රනිල් පෙරළාගෙන යාම වැනි තුට්ටු දෙකේ බුල්ඩෝසර් සිහින වල පසුවනවා විනා මේ අර්බුදය පිරිසිඳ දැක විසඳුමක් සොයන බවක් නෙපෙනේ. දැන් ඔහුට කතානායකවරයා මහා හිසරදයක් වී ඇති නිසා කතානායක පෙරළාගෙන යා හැකි බුල්ඩෝසරයක් ඕනෑ වී තිබෙන්නට පුළුවන. එහෙත් උරුලෑවකු එම පුටුවේ ඉන්දවීමෙන් ප්‍රශ්න විසඳා ගත නොහැකි බවද ජනපති දැනගත යුතුය.

වර්තමාන ප්‍රශ්නය විසඳා ගැනීම

දැන් කවුරුත් බලා සිටින්නේ අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක්ය. පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්නය විසඳගන්නවා නම් අධිකරණයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් සෞඛ්‍යමය වශයෙන් හොඳය. එකිනෙකා ඉක්මවන තීන්දුවක් ලැබීම ඒ දෙකටම යහපත් නැත. එහෙත් පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනයක්ම ඉතාම අප්‍රසන්න දවසක් බවට පත් වන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් දෙන්නට පුළුවන. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තෙන් බරපතළ කාරණයක් වුවත් ප්‍රායෝගිකව මේ ගැන සිතා බැලීමේදී පළමුව පාර්ලිමේන්තුවේ මතුව ඇති අර්බුදය නිරාකරණය කර ගැනීමට හෝ සිදුවෙයි. ඒ සඳහා ඇතැම් විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ මැතිවරණය යෝජනා විය හැකිය. මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවට නව සාමාජිකයන් පත් වූවායින් පසු පක්ෂ අතර ආරවුල යම් පමණකට සමනය විය හැකි වුවත් ඉන් රටේ ප්‍රශ්න නම් විසඳෙන්නට විදියක් නැත. ඒවා පෙර පැවති පරිද්දෙන්ම තිබෙනු ඇත.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ නෙරපීම, නව අගමැතිවරයකු පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවීම, නව අගමැතිට එරෙහිව විශ්වාසභංගය සම්මත වීම දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ඔහු විසින් සති දෙක තුනක් ඇතුළත කරන ලද ව්‍යවස්ථා විරෝධි හා හිතුවක්කාරි ක්‍රියා හේතුවෙන් ඔහු සැලකිය යුතු මහජන ප්‍රතික්ෂේප වීමකට ලක්ව ඇත. අනෙක් අතට මෙම තත්ත්වය නිසා ලකුණු බිංදුවේ සිටි රනිල් වික්‍රමසිංහ සහ එජාපය යම් පමණකට ජනයා අතර හිස එසවූ බවක්ද දක්නට ලැබුණි. පාර්ලිමේන්තුව පැවැත්වුණු පසුගිය දින කිහිපය තුළ ඔවුන් හැසිරුණු මහත්මා විලාසය හා සන්ධාන මැති ඇමතිවරු හැසිරුණු පාදඩ විලාසය නිසා එජාපය කිසියම් මහජන කැමැත්තක්ද පසුගිය සති දෙක තුන තුළ දිනා ගත්තේය. ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ එජාපය සමඟ සීමා සහිත අවබෝධයක ක්‍රියා කළහ. මේවාද පුළුල් මහජන ව්‍යාපාරයක බැල්ම ඔවුන් වෙත රාශිගත වීමට හේතු කාරක වෙයි. එම අර්ථයන් ගත් කල සන්ධාන දේශපාලනය පරදා එජාප, ටීඑන්ඒ, ජවිපෙ, හා සිවිල් සංවිධාන ප්‍රමුඛ පාර්ශ්වය එළඹෙන මැතිවරණයේදී වැඩි බලයක් දිනා ගැනීමටද ඉඩ තිබේ. දැනටමත් ජනපති බිංදුවට වැටී සිටින බැවින් පාර්ලිමේන්තු ඡන්දය පරාජය වුවහොත් මහින්දගේ දේශපාලන ගමනටද එතැනින් තිත තැබෙනු ඇත. එජාපයට කරූ ජයසූරිය වැනි නායකයකු ඉදිරියට ගැනීමේ තැතක් ද තිබෙන බැවින් මහ මැතිවරණය කවර අතකට පෙරලේදැයි යන්න විවාදාපන්නය.

කවර අතට පෙරලුනත් මේ කිසිවකුටත් ජනතා ප්‍රශ්න ගැන හැඟීමක් තිබෙන බවක් නම් නොපෙනේ. ඔවුන්ට ඇත්තේ තම තමාගේ ගේම් හා ගෝල් පිළිබඳ හැඟීමකි. ජනතා ප්‍රශ්න ඔවුන්ගේ ගේම් හා ගෝල් වලට ප්‍රතිපක්ෂය. දේශපාලනඥයන් බැඳ තැබිය හැකි බන්ධනයක්ද ජනතාවට නැති නිසා තත්ත්වය තවත් බරපතළ වනු ඇත. බුද්ධිමතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා මජර දේශපාලනයේ නොගිලුණු මහජන ව්‍යාපාර දැන් නිශ්චය කරගත යුත්තේ මේ නියත අර්බුදය තුළ කළ යුත්තේ කුමක්ද යන්නය.