අර්බුදය කෙළවර වනු ඇත්තේ මහා විනාශයකිනි

වික්ටර් අයිවන්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පෙර ජනාධිපති ධුරය හෙබවූ අය අතරින් ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ පදවියේ බලපරාක්‍රමය හා තේජස වැඩියෙන්ම ප්‍රදර්ශනය කළ ජනාධිපතිවරුන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. ඒ දෙදෙනාට එසේ කරන්නට අවශ්‍ය තරම් බලය ඔවුන් හොබවන ලද ජනාධිපති ධුරයෙන් ඔවුන්ට ලැබී තිබුණි.

ජේ.ආර්. ජයවර්ධනගේම වචනවලින් කියතොත් ජනාධිපතිට පුළුවන්කම නොතිබුණේ පිරිමියෙක් ගැහැනියක් කරන්නට හා ගැහැනියක් පිරිමියෙක් කරන්නට පමණය. ජනාධිපතිවරයකු පිස්සු වැටුණු තත්ත්වයකට පත්වුවහොත් ඔහු තනතුරෙන් ඉවත් කරන්නට දීර්ඝ කාලයක් ගතවන නිසා “අපට නුසුදුසු ජනාධිපතිවරයකු පමණක් නොව, පිස්සු වැටුණු ජනාධිපතිවරයකු ගැන පවා ඉවසිලිවන්ත වීමට සිදුවන බව” කීවේ ව්‍යවස්ථා විශාරදයකු වන කොල්වින් ආර්. ද සිල්වාය.

සුභ සහ යස

බලය ප්‍රදර්ශනය කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ මොහොතේදී රඟදක්වමින් තිබෙන සංදර්ශනය හිටපු ජනාධිපතිවරුන් කවරෙක්වත් මීට පෙර රඟදක්වා නැති අසමසම ගණයෙහිලා සැලකිය හැකි සංදර්ශනයක් ලෙස සැලකිය හැකිය. එම සංදර්ශනයේ තිබෙන මහජනයා හෝ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පොලිසිය හා ත්‍රිවිධ හමුදාව තවමත් හඳුනා ගෙන නැති වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සියල්ල එසේ කරමින් සිටිනුයේ එසේ කිරීමට අවශ්‍ය බලයක් නැතුව බවය. පරණ ජනාධිපතිවරුන් සමග ගත් විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැලකිය හැක්කේ බොහෝ දුරකට විධායක බලය අහිමි කරනු ලැබූ නාමමාත්‍රික ජනාධිපතිවරයකු වශයෙනි. 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තිබූ එම බලය අහෝසි කරන ලදි. ජනාධිපතිවරයා හැසිරෙන්නේ සිංහයකු ලෙසිනි. එහෙත් ව්‍යවස්ථාව අනුව ඔහු සිංහයකු නොව, සිංහ වෙස් ගත් පුද්ගලයකු පමණය. එහෙත් සිංහ වෙස් ගත් පුද්ගලයා සැබෑ සිංහයකු සේ ජනතාව බියගැන්වීමට සමත් වී තිබේ. මෙය ‘සුභ සහ යස’ නාටකයේ නිර්මාණශීලී නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය.

යස වෙනුවට රජවී සිටියේ සැබෑ රජු නොව දොරටුපාලයා වුවත් මහජනයා ඒ බව දැන නොසිටියේය. ඔවුන් සුභ දැක්කේ සැබෑ රජු ලෙසය. එම මංමුලාව මේ අර්බුදය තුළද ඊට වෙනස් ආකාරයකින් ක්‍රියාකරනු දැකිය හැකිය. 19 වැනි සංශෝධනයේ හොඳ නරක කුමක් වුවත් එම සංශෝධනය ජනාධිපතිවරයාට තිබෙන විධායක බලය ඉවත් කොට ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයකට පත් කළේය. මෙම ව්‍යවස්ථා සංශෝධනය අගමැතිවරයා තමන් වෙත බලය හිමිකර ගැනීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද්දක්වීම හේතු කොටගෙන ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට හේතුවූ මෙම ව්‍යවස්ථා සංශෝධන ගැනවත් බලතල විෂයෙහි එය ඇති කරන ලද වෙනස්කම් පිළිබඳවත් මහජනයාට කරුණු පැහැදිලි කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. අනෙක් අතට ජනාධිපතිවරයා තේරී පත්වී තිබුණේ පරණ ක්‍රමයටය. බලතල අහිමි කිරීමක් සිදුවූයේ ඉන්පසුවය. ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේද නායකයා වීම හේතු කොටගෙන බලතල අහිමිකර තිබියදීත් ධුරයට ආවේණික පරණ තේජස භුක්ති විඳීමට ජනාධිපතිවරයාට ඉඩදී තිබුණි. ඒ නිසා ජනාධිපතිවරයා පෙර භුක්ති විඳි බලතල රාශියක් අහිමි කිරීම තුළ ජනාධිපතිවරයා විශාල ප්‍රමාණයකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත් කර තිබෙන බව මහජනයා තබා රාජ්‍ය නිලධාරීහුවත් හරි හැටි නොදැන සිටියේය. කොටින්ම 2020 ජනාධිපතිවරණයට තරග කරන්නට උනන්දුවක් දැක්වූ අපේක්ෂකයෝ පවා එම යථාර්ථය දැන නොසිටියහ. 19න් බිහිවී තිබෙන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු මිස විධායක බලතල ඇති ජනාධිපතිවරයකු නොවේය කියන විවාදය පළමුවරට කරළියට ගෙනාවේ මෙම ලියුම්කරුය. ජනාධිපතිවරයා ආණ්ඩු වෙනසක් ඇති කරන ප්‍රාතිහාර්ය ක්‍රියාවට නගන ලද්දේද ඒ විවාදය පැවති කාලයේදීමය.

නැති බලයක් ආරෝපණය කරගැනීම

දැන් සියලුදෙනා විස්මයට පත්කිරීමට හේතුවන ලෙස ඉහළ අහසේ පියාඹමින් කරණම් ගසමින් සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පියඹා යන්නට නොහැකි වන ලෙස තටු කපනු ලැබූ ජනාධිපති කුරුල්ලාය. මීට පෙර සිටි ජනාධිපතිවරුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ ව්‍යවස්ථාවටවත් පාලනය කරන්නට බැරි තරමට ඔවුන්ට තිබූ අසීමිත බලය නිසාය. එහෙත් මේ ජනාධිපතිවරයා එසේ කර තිබෙන්නේ එවැනි බලයක් නොතිබියදීය.

පරණ ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයාගේ සිට කැබිනට් මණ්ඩලයේ සියලුදෙනා ඉවත් කොට තමන් කැමති අගමැතිවරයකු ඇතුළත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ බලය තිබුණි. පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය තිබුණු අතර පාර්ලිමේන්තුවේ කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසුව ජනාධිපතිවරයා කැමති ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද තිබුණි. එහෙත් 19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබෙන ජනාධිපතිට අගමැතිවරයා තීරණය කළ නොහැකිය. කැබිනට් මණ්ඩලය තීරණය කළ නොහැකිය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන පක්ෂයේ නායකයා අගමැති වන විට කැබිනට් මණ්ඩලය තීරණය කරන්නේද අගමැතිය. ජනාධිපතිවරයාට එසේ තේරී පත්වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙනස් කළ නොහැකිය. වෙනස් කළ හැක්කේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකින් පරාජය වන අවස්ථාවකදී පමණය.

ජනාධිපතිවරයා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු ප්‍රතිපක්ෂයට ආණ්ඩු බලය ලැබෙන ආකාරයට නව අගමැතිවරයකු ඇතුළු නව කැබිනට් මණ්ඩලයක් පත් කරන ලද්දේද, ඉන්පසු පාර්ලිමේන්තුව කල් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේද ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලයක් අනුව නොව, තමන් වෙත ආරෝපණය කරගන්නා ලද කෘත්‍රිම බලයකිනි. එය ව්‍යවස්ථාව ගැන හරි වැටහීමක් නැතිව කරන ලද වරදක් ලෙස පෙනෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ අභිලාෂය අවංක වී නම් මෙවැනි වැඩසටහනකට අතගසන්නට පෙර එවැනි ක්‍රියාමාර්ගයක් නීත්‍යනුකූලද, ව්‍යවස්ථාවට අනුකූලද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා දැනගැනීමේ හැකියාවක් තිබුණි. එම අවකාශය ප්‍රයෝජනයට නොගත්තේ බාධාවකින් තොරව තමන්ගේ හිතුවක්කාරී හා සාහසික වැඩසටහන ක්‍රියාවට නැගීමේ අරමුණින් වන බව තේරුම් ගැනීම අමාරු නැත.

ජනාධිපතිවරයා තෝරා ගත් මාර්ගය අසම්මතය. සදාචාර විරෝධීය. ප්‍රජාතන්ත්‍ර විරෝධීය. ඉතාමත් බිහිසුණු සේ ම පරමාණු බෝම්බයක් තරම්ම විනාශකාරීය. ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් රඟපාමින් තිබෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයකුගේ භූමිකාවට සමාන භූමිකාවකි. ජනාධිපතිවරයාගේ අලුත් වෛරක්කාරයා බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ පමණක් නොව, තමන් බලයට පත් කළ සියලු සංවිධාන හා එම ජනතාව සමඟත්, මේ මොහොතේ බොරු ආදරයක් මවාපාමින් වැලඳගෙන සිටින තමන්ගේ පරණ වෛරක්කාරයා වූ මහින්ද රාජපක්ෂත්, ඔහුගේ අනුගාමික ජනතාවත් තමන් සමගම මුළු රටත් විනාශ කිරීමේ හා ඒ සියලුදෙනාගෙන් පළිගැනීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද බිහිසුණු හා දුෂ්ට වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.

අර්බුදය කල්තියා දැකීම

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු කරලියට ගැනීම පිළිබඳ සංකල්පය මහින්ද විරෝධී බලවේගයන් කුල්මත් කරන මත් පෙත්තක් බවට පත්ව තිබුණු අවස්ථාවකදී එම සංකල්පය ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ එකම පුද්ගලයා මා විය හැකිය. මා ඒ ගැන සෝභිත හිමියන් හමුවී ඒ හිමියන්ටද අනතුරු ඇඟවීමක් කළෙමි. කොහෙන් හෝ ඇහිඳගෙ එන මිනිසකු යොදාගෙන මහින්ද පරාජය කළත් ජයග්‍රාහී මිනිසා ඊළඟට හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තැනකට ගියහොත් ඔහු පාලනය කරන්නට තිබෙන ක්‍රමය කුමක්දැයි මම සෝභිත හිමියන්ගෙන් ප්‍රශ්න කළෙමි. සෝභිත හිමියන් මා දෙස බලා සිටියා මිස මා නගන ලද ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. ඒ වනවිට මහජනයාගේ මහත් ආස්වාදයට හේතුවී තිබුණු සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළද මාගේ බලවත් විරෝධයට හා විවේචනයට හේතුවිය. සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ආණ්ඩු ක්‍රමයක් තුළ තිබෙන වැරදි හෝ අඩුපාඩුකම් නිවැරදි කළ හැකි වුවත් සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එක් ආණ්ඩු ක්‍රමයක් නැති කොට තවත් අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇති කළ නොහැකි බවත්, එය පිළිගත් ව්‍යවස්ථා සම්පාදන මූලධර්මයන්ට මුළුමනින් පටහැනි බවත් ජයම්පති වික්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන 19 වැනි සංශෝධනය මුළු මහත් ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත් කොට රට අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවනු ඇති බවත් මම කියා සිටියෙමි. ඒ අවස්ථාවේදීවත් මා කරන ලද අනතුරු ඇඟවීම තේරුම් ගැනීමට අවශ්‍ය හික්මීම හා පරිචය යහපාලන වැඩසටහන කරට ගත් නායකයන්ට නොතිබුණි. එම නිශ්චිත මොහොතේදී රාවය පවා නිල වශයෙන් පෙනී සිටියේ 19 වැනි සංශෝධනය වෙනුවෙනි. රාවය ඇතුළු බොහෝ විචාරකයන්ට 19 වැනි සංශෝධනය වෙලාගෙන තිබූ විනාශකාරී පිළිකාව නොපෙනුණේය. ඔවුන්ට පෙනුණේ බාහිර ආටෝපය සඳහා එයට එල්ලා තිබුණ තොරතුරු පනත, ජනාධිපතිගේ නිල කාලය අවුරුදු පහ දක්වා අඩු කිරීම, ජනාධිපතිගේ බලතල සීමා කිරීම වැනි දිළිසෙන දේවල් පමණය.
19 වැනි සංශෝධනය අවුල්සහගත ආකාරයට වුවත් සම්මත කරගැනීමෙන් පසුව ඊළඟට ඇතිවිය හැකි ලොකු අර්බුදයක් ගැන පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් රටට ලොකු අනතුරු ඇඟවීමක් කළෙමි. 19 වැනි සංශෝධනය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල තත්ත්වයකට පත් කොට සමස්ත ආණ්ඩු ක්‍රමය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන බවත්, ඒ නිසා ලංකාව ලොකු අරාජික තත්ත්වයකට තල්ලුවීමට ඉඩ තිබෙන බවත් කීවෙමි. ඉන්පසු ව්‍යවස්ථා අර්බුදය කරලියට එන්නට පෙර මාස කිහිපයක් තිස්සේම ජනාධිපතිවරණයට පෙර ලංකාවේ ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීමට ඉඩක් තිබෙන බවත් දැන් ලංකාව තිබෙන්නේ පූර්ණ අරාජකත්වයක මුව විට බවත් පුන පුනා කීවෙමි. පුනරුද ව්‍යාපාරය විසින් ප්‍රකාශිත එම අනාවැකියද දැන් හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය.

අවසානය

ජනාධිපතිගේ මරාගෙන මැරෙන දේශපාලන ක්‍රියාන්විතය දුරගොස් තිබෙන තරම අනුව එම වැඩසටහන පරාජය කිරීමේ හැකියාවක් නැත. ඔහු විසින් රට මත හෙළන ලද පරමාණු බෝම්බය එහි අවසානය දක්වාම පුපුරනු ඇත. ඉන් රටට සිදුවනු ඇති විනාශයද අතිවිශාලය. එය එක යුගයක් මුළුමනින් අවසන් කිරීමට හේතුවනු ඇත. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ පමණක් නොව පරණ යුගයේ සියලුම නායකයන්ද, කුණුවී තිබෙන රාජ්‍ය හා සියලු ආයතන ක්‍රමද ආණ්ඩු ක්‍රමය හා ව්‍යවස්ථාවද මුළුමනින් නැති භංග කිරීමට හේතුවනු ඇත. රටේ සමස්ත ආර්ථිකයද විනාශ කිරීමට හේතුවී රට පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී රටේ මහජනතාවද නොමරා මරණ තත්ත්වයකට පත්කිරීමට හේතුවනු ඇත.

ඊළඟ යුගය ආරම්භ කිරීමට සිදුවනු ඇත්තේ මහා විනාශයකින් පසු එය ඉතිරි කරන අළු දූවිලි හා සුන්බුන් මත්තෙහිය. සෑම දෙයක්ම අලුතෙන් ගොඩ නගා ගන්නා තැනකින් කටයුතු ආරම්භ කිරීමට රටට සිදුවනු ඇත. ජනතාවට ප්‍රඥාව තිබේ නම් ජපනුන්ට හා ජර්මනුන්ට මෙන් ඇතිවූ මහා විපත සැපතක් බවට හරවා ගැනීමේ පුළුවන්කමක්ද ඇත්තේය.

ව්‍යවස්ථාව උල්ලංඝනය

මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පළමු ජනාධිපතිවරයා ලෙස සැලකිය නොහැකිය. රාජපක්ෂ පාලන කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් පලවා හැරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව යොදා ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා මූලධර්ම උල්ලංඝනය කැරෙන ආකාරයටය. ඊට පෙර චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදීද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභී තත්ත්වයකට පත්ව සිටි නීතිපති සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේද ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයටය. ඊට පෙර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේද සහාය ලබා ගනිමින් ජනමත විචාරණයක් මගින් එම පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගත්තේද ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයටය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයක අනුමැතිය නැතිව ජනාධිපතිගේ බලතල අඩු කිරීමට හේතුවන ආකාරයට නීතිගත කර ගන්නා ලද 19 වැනි සංශෝධනයද සැලකිය හැක්කේ ව්‍යවස්ථාවට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව පමණක් නොව ව්‍යවස්ථාවෙ ආරක්ෂාව භාර ශ්‍රේෂ්ඨාධිකරණයද ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා පවතී. චන්ද්‍රිකා පාලන කාලයේදී විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මන්ත්‍රීකම අහිමි නොවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දු ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. ඉන් පෙනෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතළ වරදක් ලෙස සලකන දේශපාලන සදාචාරයක් හෝ රටේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නන්ට දඬුවම් දෙන සම්ප්‍රදායක්ද ලංකාවේ නොපවත්නා බවය. මෙය රටක තිබිය හැකි ඉතාමත් අවලස්සන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ පොදු යහපත සඳහා එම අවලස්සන තත්ත්වයෙහි යහපත් වෙනසක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් මෙතෙක් විටින් විට ජනාධිපතිවරුන් විසින්ද, පාර්ලිමේන්තුව හා අධිකරණය විසින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද අවස්ථා ගැන විධිමත්ව කරුණු සොයා බලන තැනකට යා යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් දඬුවම් ලැබිය යුතු වරදක් බව නීතිගත කොට මෙතෙක් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන සියලුදෙනාට (ජීවතුන් අතර ඇති හා නැති) දඬුවම් දෙන තැනකට යා යුතුය. හිතුවක්කාරී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන දේශපාලන සදාචාරයක් රටේ ඇති කරගත හැකි වනු ඇත්තේ එවිටය.