දකුණේ වලිය

ටිරන් කුමාර බංගගමආරච්චි

යකඩ ගිනිගත් නිවසක පුළුන් ගැන කවර කතාද කියන්නා සේ ලංකාවේ පාර්ලිමේන්තුවේ තත්ත්වය සියැසින් දකින ලෝක ප්‍රජාව රටේ ජනතාව ගැන කුමක් නොසිතනු ඇද්ද? ඔවුහු සිතනුයේ රටේ ජනතාව තම නියෝජිතයන් ලෙස තෝරා ගනු ලබන්නේ රටේ හොඳම පුද්ගලයන් බැවින් ඔවුහු මෙසේ හැසිරෙයි නම් ඊට පහළ ජනතාව කෙබඳු විය හැකිදැයි නොවේද? විදෙස්ගතව අපි ශ්‍රී ලාංකිකයන් බව අභිමානයෙන් කිව හැකිද? ඒ වලංගුභාවය මේ දේශපාලකයන් අවලංගු කරන්නේ නැද්ද? මෙහේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ පාර්ලිමේන්තුවල තත්ත්වය මේ සමානයි කියමින් වීඩියෝ දර්ශන පෙන්වීම අපගේ අය කළ නොමනාකම් වසාගත හැකි ප්‍රතිකර්මද? අනෙක් පාර්ලිමේන්තුවලත් ගහමරා ගන්නේ යැයි කී පසු අපගේ පාර්ලිමේන්තුවේ සිද්ධි සාධාරණය වන්නේද? එසේ සිතීම මොනතරම් අසාධාරණද? අසාධාරණය කතා කළහැකි සාධාරණ සමාජ, දේශපාලනික වටපිටාවක් අපට ඇත්ද?

මෙරට පාර්ලිමේන්තුවේ ඉන්නේ පිහිකාරයෝය. මිරිස් කුඩු කාරයෝය. අතට හසුවන දෙයින් දමා ගසන මානසික පිස්සෝය. ඉදිරියට එන කාට වුව කනට ගහන උන්මත්තකයෝය. ලවක් දෙවක් නැත. පිස්සන් කොටුවට දෙවැනි නැත. රන්ජන් රාමනායකට දැන් මේවා පාර්ලිමන්ට්ස් ජෝක්ස් යැයි කිව හැකිද? මේවා ජෝක්ස් නම් අප සංකීර්ණව ගත යුත්තේ මොනවාද?
පාර්ලිමේන්තුව නඩත්තු කරන්නට දිනකට රුපියල් ලක්ෂ 257ක් වියදම් වන බව ගණන් බලා ඇත. ඒ අනුව දින තුනක් පාර්ලිමේන්තුවේ ජෝගී නටන්නට මහජන මුදල් රුපියල් ලක්ෂ 771ක් වැය කොට ඇත. එසේ නම් ඒවා ගණන් හැදුවා කියා ඇති පළක් වේද? ගණන් හදා බැලිය යුත්තේ මේ විනාශය ගැනය.

කිරි පොවා හැදීම

පාර්ලිමේන්තුව තුළ අප දැක්කේ ක්ෂණික දර්ශනද, නැතහොත් කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කළ හරඹද යන්න අප සිතිය යුතුය. මෙය අද ඊයේ නිර්මාණය වූවක් නොවේ. පාර්ලිමේන්තුවට හොරු, ස්ත්‍රී දූෂකයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, පාතාලයෝ මෙන්ම තක්කඩියෝ ආවේ ජනතාව දැනුවත්ව ජනතාවගේ මනාපයෙන්මය. එබැවින් මේ අප නෙළනුයේ අපම වගා කළ අස්වැන්නය. එහි ඇති අනිටු විපාකය නම් ජනතාව මනාපය දුන්නද? ජනතාව මනාපය දුන්නේ පක්ෂ දේශපාලනයට ගැති නිසා බවය. එසේ නම් මේ නරක ප්‍රතිඵලවලට වගකිවයුත්තේ ජනතාවට වඩා ඒ ඒ පක්ෂ නායකයන්ය. ඔවුන් මේ කුඩුකාරයන්ට, කසිප්පුකාරයන්ට, දූෂකයන්ට, මාල කඩන්නන්ට, පාතාලයන්ට නාමයෝජනා නොදුන්නේ නම් ජනතාව පක්ෂයේ නාමයෙන් මොවුන්ට කැමැත්ත නොදෙනවා නියතය.

ජනතා කැමැත්ත ශක්තිමත්ද?

රාජපක්ෂ පාර්ශ්වය මෙන්ම සිරිසේන පාර්ශ්වයද ඉක්මනින්ම ඉල්ලා සිටිනුයේ ඡන්දයක්ය. එයට හේතුව ජනතාවගෙන් කැමැත්ත විමසා තීන්දු තීරණ ගැනීමටය. මේ මොහොතේ උද්ගතව ඇති අර්බුදය හමුවේ සුදුසුම දෙය එය විය හැකි බව බොහෝ දෙනාගේ මතය වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය පවා දෙසැම්බර් 07 වැනිදාට එවැනි තැනකටම තල්ලු විය හැකිය. ඒ විශ්වාසය මතම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිරිසේනලා රාජපක්ෂලා කල් මරනවාද විය හැකිය. කුමක් වුවත් ජනතා කැමැත්ත අංක එකද? මෙතෙක් මේ රටේ දේශපාලකයන් හැසුරුණේ එලෙස සිතාද? අඩු වැඩි වශයෙන් හෝ යම් ගරු කිරීමක් ජනතාවට තිබුණේ නම් ඒ තැනද නැති කළේ ජනාධිපති සිරිසේනම බව අමතක නොකළ යුතුය. එනම් කිසිදු විලි ලැජ්ජාවක් නැතිව ජනාධිපති සිරිසේන ජනතාව පරාජය කොට ගෙදර යැවූ අයව නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර අද මේ කුමන්ත්‍රණ කරන ප්‍රධාන වුන් සියල්ලෝම පාහේ වූහ. එස්.බී, ඩිලාන්, තිලංග ඒ අතර ප්‍රධානය. මේ තක්කඩි රැළ ජනතාව ප්‍රතික්ෂේප කළ වුන්ය. එහෙත් ජනපති සිරිසේන මහජන මතයට පයින් ගසා ඔවුන් නැවත ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගත්තේය. යහපාලනය නාමයෙන් යම්කිසි එකඟතාවක් තිබුණේ නම් එජාපය ඒ සැණින් ඊට විරුද්ධ වී ජනතා කැමැත්තට ගරු කළ යුතු බැවින් එලෙස නොකරන්නැයි බලකොට ප්‍රජාතන්ත්‍රවාදය නොරැක්කේ ඇයි? අද අරලියගහ මැදුරේ සිට රකින ප්‍රජාතන්ත්‍රවාදය එදා ඇස නොගැටුණේ මන්ද? ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගෙන ඇමතිකම් දී ඔවුන් කෙරුමන් කිරීමේ කරුමය රටට පළදී ඇත.

වරද කාගෙද?

මාසයක් වැනි කාලයක් තුළ වන පෙරළි නිසා මෙරට දේශපාලනය අවිනිශ්චිත වී ඇත. නිශ්චිතවම කිවහැක්කේ යහපාලනය ලෙස යා හැකි ගමන ඉවර බවය. එසේ වූයේ ජනාධිපති සිරිසේන නිසාම යැයි කියා අත පිසදා ගත හැකිද? ජනතා කැමැත්ත ලක්ෂ හැට දෙකක්ම ලබාගෙන රාජපක්ෂලා ගෙදර යැවූ යහපාලනය ගෙවුණු වසර තුන තුළ අතහැර දැමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයම නොවේද? ආණ්ඩුව පිහිටුවීමත් සමගම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළේ ඇයි? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොගෙනාවේ ඇයි? ඊට වඩා ඒ අයටත් වැඩ තිබුණි. මහ බැංකුව කොල්ලකන්නට හදිස්සි විය. මහින්ද රාජපක්ෂ සහ සිරිසේන අතර භේදය දිග් ගස්සවා ගන්නට රනිල් කළේ මහින්ද රාජපක්ෂට ඇති චෝදනාවල විමර්ශන ප්‍රමාද කිරීමය. එයින් සිද්ධ වූ විශාලම දේ නම් ලෝක හොරු ලෙස 2015දී හංවඩු ගැසුණු රාජපක්ෂලා 2018 වන විට ඉතාම හොඳ මිනිසුන් බවට නැවත පත්වීමය. අපි ෆොන්සේකා කුදලාගෙන ගිය ලෙසට ක්‍රියා නොකරන බව ප්‍රකාශ කරමින් මේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුව කළේ රාජපක්ෂලා සුදනෝ කිරීමය. ඒ අනුව අද මේ පැන නැගී ඇති අර්බුදයට සිරිසේන මෙන්ම රනිල්ද වගකිව යුතුය. හැට දෙලක්ෂයට වගකියන්නේ නම් එය සිරිසේන පමණක් නොව, රනිල්ද වගකිව යුතුය. යහපාලනය පටන් ගත් තැන සිට සිරිසේනට හොරා රනිල්ට සුදනා කළ හැකිනම් එලෙස සුදනා කළ මහින්දව වැළඳ ගැනීමට තමන්ට නොහැක්කේ මන්ද යන්න සිරිසේන හිතන්නට ඇත.

අප අද මහා මතවාද ගෙනහැර දක්වමු. සිරිසේනගේ සදාචාරය ගැන කතා කරමු. එසේ නම් එදා 2015දී සිරිසේන කළේද මේ දේමය. එනම් මහින්ද ළඟ පක්ෂයේ මහ ලේකම්ව හිඳ බෙල්ල කැපීමය. එහෙව් අයකු සමග මහින්දටත් එකතු විය හැකිද? වැනි ප්‍රශ්න කුමටද එකතු වී හමාරය. අද ඔවුහු උපන් දින සමරති. රනිල් සමග හොදි පැකට් ඇඟේ හලා නොගෙන කඩා ගත යුතුයැයි කී ජනාධිපති සිරිසේන අද ඇඟිලිවල අයිසින් තවරාගෙන කේක් කති. හොදි හැලුණු කල අවුල්මුත් අයිසිං නම් දේශපාලනයට වුවමනාමය.

ගෝඨා පව්

බලයට කොතරම් කෑදරමුත් මහින්දට බලයට එන්නට කිසිදු මාවතක් නොවීය. එදා 18 ගෙනවිත් සදාකාලිකව බලයේ ඉන්නට පාර කපා ගන්නා විට අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සැවොම අත උස්සා ඊට අනුමැතිය දුන්නෝය. අද 19 අවුල්යැයි කියන සැමද ඒ ආකාරයටම 19 ගෙනා කල අත උස්සා අනුමැතිය දුන්නෝය. ඒ නිසාම මහින්ද රාජපක්ෂගේ ගමන අතරමග නැවතුණි. ඒ අතරතුර එකවරම ගෝඨාභය මතුවූයේ විදුලි වේගයෙනි. මහින්ද රාජපක්ෂ වටා සිටි බොහෝ අයගේ 2020 තේරීම ගෝඨාභය විය. කොටින්ම ශ්‍රී ලංකා එකේ පවා බහුතරය යටි සිතින් ආශා කළේ සිරිසේන ප්‍රමුඛව ගෝඨාභය හවුල් කරගෙන ගමනක් යෑමටය. නියත ජයක් 2020දී ගෝඨාභයට ඇති බව ඔවුහු විශ්වාස කළෝය. එසේ විය හැකි ඉඩ ඕනෑවටත් වඩා වැඩියෙන් වූ බවද කිව යුතුය. මහින්ද රාජපක්ෂ තරම් ඊට විරුද්ධ වූ කෙනෙක් නැති බව කිව යුතුය. ගෝඨාගේ මතුවීමට වඩා අකමැති වූයේ ඔහුය. ඒ නිසාම ඔහු කළේ කිසිදු හිරිකිතයකින් තොරව ජනපති සිරිසේනව වැළඳ ගැනීමය. මෙය ජනපති සිරිසේනගේ තනි කැමැත්තට වූවා යැයි සිතිය නොහැකිය. දයාසිරිලා ගෝඨා සමග ගමනකට ලෑස්ති වෙද්දී එස්.බී.ලා කළේ ඉක්මනින් සිරිසේන සහ මහින්ද අතර ගමනක් හැදීමය. 19 වන සංශෝධනය අනුව අගමැති බලපුළුවන්කාරයෙක් වෙද්දී මහින්දට පිදුරු ගහ අතටම හසුවිය. එනම් ජනාධිපතිකමට ඉල්ලීමට නොහැකි වුවත් අගමැතිකමට ඔහුට ඒමට බාධාවක් නොවීය. මේ නිසා කුමන හෝ ගැට ගසා ගෝඨා ඒමත් වළකා රනිල්ගේ ගැටවලිනුත් බේරී මහින්ද – සිරිසේන දෙපළ ගොඩ ගියේය. දෙදෙනාම ගැලවිය යුතු තැන් දෙකක හිරවී සිටියේය. ඒ මහින්ද ගෝඨා තුළ සහ සිරිසේන රනිල් තුළය. දෙකට ඇති විසඳුම මේ දෙපළ එකතුවීමය. දැන් එය සිදුවිය. අප කැමති වුවත් අකමැති වුවත් නැවත යහපාලන ගමනක් නැත. රනිල් කියන විදිහට තමන් සිරිසේන ජනාධිපති සමග නැවත වැඩ කරන්න කැමති කීවද? ඊට ජනාධිපති සිරිසේන කොහෙත්ම කැමති වේද? රනිල්ට ඔහු සමග වැඩ කිරීමේ ප්‍රශ්නයක් නොවිණි. මන්ද රනිල් සිරිසේන කෙනෙක් සිටියාද සිතන්නට වූයේ මේ තීන්දු ගත්තාට පසුවය. එතෙක් රනිල් ක්‍රියා කළේ තමන්ගේ ආණ්ඩුවක තමන් ප්‍රබලයා ලෙස සිතාය. අප අද කොතෙක් ජනාධිපති සිරිසේනට බැණ වැදුණද ඔහුව මේ තැනට තල්ලු කළේ රනිල්මය.

සිංහල වලිය

මුලින් ප්‍රශ්නය ඇතිවූ සැණින් කතාබහ තිබුණේ මහින්ද අගමැති බවට 113ක් පෙන්නා බලය ලබා ගන්නා අභියෝගයයි. එය ඉටුකර ගත නොහැකි වූ තැන එය කරකවා රනිල් වෙත ඔවුන් ගසා දමනුයේ අපිට බැහැ නොකියා පුළුවන් නම් රනිල්ට කැමතිය කියා 113 පෙන්වන ලෙසටය. මෙය අද දෙපැත්තටම ජයගත නොහැකි ක්‍රීඩාවක් වී ඇත. මහින්ද සල්ලිවලට මන්ත්‍රීවරු බාගන්නවා යැයි සිතුවද? එය ඉටු නොවුණේ මන්ත්‍රීවරු මුදලට නොවිකිණෙන නිසා නොව මිල අධිකම වූ නිසාය. රනිල් සිතා සිටියේ දෙමළ සන්ධානය සහ මුස්ලිම් කැමැත්ත තමන්ට ලැබෙනු ඇති බවය. එහෙත් එය එසේ නොවීය. ඊට හේතුව මේ හටගෙන ඇත්තේ දකුණේ සිංහල නායකයන් දෙපළක් අතර තරගයකි. එයට දෙමළ, මුස්ලිම් සහාය ලබාදීම ඉදිරියේදී ඔවුන්ට අවාසිය. මේ මොහොතේ රනිල් දිනෙව්වද ඉදිරියේදී මැතිවරණවලදී මහින්ද දිනිය හැකිය. එවිට එක සිංහලයකුගේ පැත්ත ගෙන ඇන ගන්නට දෙමළ සහ මුස්ලිම් නායකයෝ කැමති නොවෙති. එබැවින් ඔවුහු මහින්ද මෙන්ම රනිල් අගමැති ලෙස තබා ගත යුතුය කියන තැන නැත. අනෙක් අතට දකුණේ දේශපාලකයන්ටත් වඩා ඔවුහු උතුරේ ඡන්දදායකයන් අතරට යාමට නොහැකි තැනට අසරණ වී සිටිති. ඒ අන් කිසිවක් නිසා නොව සම්බන්ධන් මෙන්ම සුමන්තිරන්ද රනිල් පන්නයේම නායකයන් වන නිසාය. ඔවුන් දෙමළ අයගේ ප්‍රශ්න තබා දෙමළ සිරකරුවන් බේරා ගන්නට හෝ හඬක් නොනැගූහ. ඒ නිසා මේ අයට තවත් මෝඩ තීරණ ගෙන උතුරේ ජනතාව තුළින් ප්‍රතික්ෂේප විය නොහැකිය. එබැවින් ඔවුන් කරනුයේ ස්වාධීනව හිඳ ජාමේ බේරා ගැනීමය. දෙමළ, මුස්ලිම් ඡන්ද යනු ඉදිරියේදී වාසි සහ පවතින ආණ්ඩුවත් සමග යන තැනට තල්ලු වනු නියතය. තොණ්ඩමන්ලාගේ ගමනම උතුරේ නායකයන්ද මුස්ලිම් නායකයන්ද තෝරා ගනු නියතය. තම ජනතාව වෙනුවෙන් හොඳම ක්‍රමය එයය.

ඡන්දය

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ඡන්දය සුවිශේෂි මෙන්ම සාමකාමී වෙතැයි සිතිය නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව අලුත් ගමනක ආරම්භය එය වන බැවිනි. රනිල් වික්‍රමසිංහ ජය ගත්තද නැවත ජනපති සිරිසේන ඔහු සමග වැඩ කරාවිද? සිරිසේනගේ ඒකායන පැතුම රාජපක්ෂලා සමග ගමනක් ගොස් නැවත ජනපතිවීමය. රාජපක්ෂගේ ගමන බලය ලබාගෙන තුනෙන් දෙකේ බලයක් හදාගෙන 19 ඉවත් කර නැවත පරණ සෙල්ලම පටන් ගැනීම විය හැකිය. රනිල්ද නැවත බලය ලබා ගැනීම සඳහා සජිත් වැනි කසකාරයකු ඉදිරියට දමා පසුව සුපුරුදු සෙල්ලමම කරනු ඇත. මේ පක්ෂ දෙකට නැවතත් බලයට එන්නට නම් දෙමළ සහ මුස්ලිම් මනාප වුවමනා වනු නියතය. එය මේ මොහොතේ ජයග්‍රාහකයාට ලැබෙනු නියතය.

රාජපක්ෂලාට තිබූ කැමැත්ත මේ සිද්ධීන් සමග අඩුවූ බව පෙනෙනමුත් එය කෙතෙක් පවතීද යන්න දැන්ම සිතිය නොහැකිය. අයියා මලෝ සියල්ල කරළියට බැස තරග කරන විට ඒ තත්ත්වය වෙනස් විය හැකිය. මහින්ද ජනාධිපති වී ගෝඨා අගමැති කරනවා යැයි කිවහොත් තත්ත්වය තවත් වෙනස් විය හැකිය. මන්ද සජිත්ට වඩා ගෝඨා තුරුම්පු ආසියකු වන බැවිනි.

ලංකාවේ දේශපාලනය අද වන විට හිතාගත නොහැකි වසංගතයක් මෙනි. එය ශීඝ්‍රයෙන් පැතිරෙනුයේ සමාජයම ලෙඩ කරමිනි. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් මෙය සමනය වන බව පැහැදිලිය. තරගය එළිපිට සිදුවන විට ප්‍රශ්න බොහොමයක් සමනය වනු ඇත. එමෙන්ම මෙවර හැංගිමුත්තන් කෙළිය නොහැකි වනු නියතය. එනම් පොදු අපේක්ෂක කතා දැන් හමාරය. එජාපය එවැනි තැනකට තල්ලු වුවහොත් එයම ඔවුන්ගේ පරාජයේ ආරම්භය වනු ඇත. අනෙක් අතට චම්පික කියන පරිදි නායකත්ව මණ්ඩලයකින් මේ ගමන යා නොහැකිය. සැවොම නායකයන් වන්නට ගොස් කැඳ හැලිය ඇඟටම හලාගෙන ඇඟම පුච්චා ගනු නියතය. නායකයන් දෙදෙනෙක් සමග වැඩ කරන්නට ගොස් මේ ඇන ගත් තරම හොඳටම ඇතිය. ලංකාවේ දේශපාලනයේ සැබෑ වෙනසක් අවැසි තැනට පත්වී ඇත. එයට හොරු, තක්කඩි නැති පාර්ලිමේන්තුවක් කීම විහිළුවකි. දැන් සිටිනුයේම හොර, තක්කඩි බැවිනි. වඩා හොඳ හොර-තක්කඩි තෝරා ගමු. කිසිවකු හොඳයි කියා ගේනවාට වඩා ඉතා නරකවුන්ගෙන්ම තෝරා ගැනීම හොඳ වී ඇත්තේ 2015 හොඳයි කියා ගෙන පැමිණි අය ජනතාවට හොඳටම බැටදී ඇති බැවිනි.