මීගමු කළපුවෙන් කරවල වන මිනිස්සු

රසික ගුණවර්ධන

‘අප පෝෂණය කළ අපේ කළපුව කරවල ව්‍යාපාරය නිසා දූෂිතව අවසන් ගමනේ, නිහඬව බලා සිටිමුද?’ මීගමුව නගරයේ තාප්ප මත අලවා ඇති කළු සුදු පෝස්ටර වල සඳහන් වන්නේ එසේය. නිහඬව නොසිට අපිද පෝස්ටරයේ කියන අවසන් ගමන ගැන කතාව සොයා මීගමුවට ගියෙමු.

මීගමුව හඳුනා ගැනීමට ඇති ලෙහෙසිම ක්‍රමය නම් අවට සුළඟ මදක් ඉවකර බැලීමයි. එහි මාළු කුයිල දැවටී ඇත. ඒත් ඔබ මේ සමයේ මීගමුවේ සුළඟ ඉවකර බැලුවොත් මාළු කුයිල පරදන ගන්ධයක් මීගමු සුළඟේ දැවටී ඇති වග ඔබට හැඟෙන්නට පුලුවන. කුණු පිරුණු දූෂිත මීගමු කළපුව ඔබේ හැඟීමට හේතු සපයනු ඇත. රිජිෆෝම් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, පොහොර කවර ඇතුලු තව බොහෝ දේ කළපුවේ ඉවුරු ආසන්නයේ ගොඩගසා ඇත. කළපුවේ වතුර කළු පැහැතිය. කිසිඳු ප්‍රියමනාප බවක් එහි නැත.

අපි කළපුව අද්දරින් පිටිපන දෙසට ඇදුනෙමු. අප යන මාර්ගයේ කළපුවට ජලය ගලායන ඇළ මාර්ග බොහෝය. පසු කරන සෑම ඇළ මාර්ගයක්ම පාසා නහයට එක් කරන්නේ අප්‍රසන්න ගන්ධයකි.

කළපුව විනාශයි

අප නිශාන්තගේ නිවසට යන විට ඔහු පෙරදා රාත්‍රියේ මුහුදු ගොස් පැමිණ තවම නිදිය. එහෙත් අප පැමිණි බව දැන්වූ විට ඔහු අවදිව පැමිණියේය. ‘ඉස්සර මීගමුවේ සුන්දර බව වැඩි කරපු එක සාධකයක් තමයි මීගමුව කළපුව කියන්නේ. අපේ අම්මලා තාත්තලා අපට පීනන්ඩ පුරුදු කළේ මේ කළපුවට දාලා. දැන් කළපුවේ පීනන්ඩ නෙවෙයි බහින්ඩවත් බෑ. මම දැන් මුහුදු ගියාට අපේ මාපියෝ අපිව උස් මහත් කරේ මේ කළපුවෙන්. ඉස්සර කළපුවෙන් හම්බකරපු මාපියන්ට දැන් කුලී වැඩ කරලා තමන්ගේ දරුවන්ට කන්ඩ දෙන්ඩ වෙලා තියනවා.’ නිශාන්ත ජීවත් වන්නේ උතුරු පිටිපන ප්‍රදේශයේය.
අප නිශාන්තගේ නිවසට පැමිණ සිටින බව දැන ජෝසප්, නිශාන්තගේ නිවසට ගොඩ වූයේ ඔය අතරතුරය. ජෝසප් මීට කාලයකට පෙර සිය ප්‍රධාන ආදායම් මාර්ගය ධීවර වෘත්තිය බවට පත් කරගෙන සිටි අයෙකි. එහෙත් දැන් ජෝසප් ඉඳි ආප්ප විකුණා සිය ජීවිකාව සරිකරගනී.

‘දැන් කළපුවේ ඉස්සන් මාලු නැතුව ගිහිල්ලා. ඉතින් රස්සාවකුත් ඕනේ හින්ද දැන් නෝනත් එක්ක ඉඳි අප්ප තම්බනවා. ඉඳලා හිටලා කළපුවට ගිහිල්ල එනවා. මට තිබුණ පර්චස් අනූවක විතර පොකුණක්. ඒකේ මම ඉස්සර අවුරුද්දට රුපියල් ලක්ෂෙක විතර මාලු අල්ලනවා. අද කීයක් වියදමට ඕනේද, ඒ ගාන හොයාගෙන තමයි පොකුණෙන් ගොඩට එන්නේ. දැන් ඒකත් මුඩු බිමක් වෙලා.’ ධීවරයෝ යනු තනිව ස්වාධීනව නැගීසිටි පිරිසකි. එහෙත් ඒ ධීවරයන්ට අද අත්ව ඇති ඉරණම ඛේදජනකය. ඒ අතර නිශාන්ත නැවත කතා කරන්නට විය.

‘මහ කළපුවෙන් පුංචි ඉස්සෝ අල්ලගෙන ඒ ඉස්සෝ මුහුදු ගෙනියනවා ඇමක් විදිහට. හැබැයි ඒකට උන් පණ පිටින් ඉන්ඩ ඕනේ. ඒකට ඉස්සර අපේ ධීවරයො රෑට ඉස්සන්ව අල්ලගෙන ඇවිල්ල තමන්ගේ ගේ ළඟ ඇලේ ඉස්සෝ හිටවනවා. හැබැයි දැන් එහෙම කරන්ඩ බෑ. මේ ඇළවල් වල ඉස්සෝ හිටෙව්වොත් ඉස්සෝ ටික මැරෙනවා. එහෙම ඉස්සෝ ටික මැරුණොත් දෙතුන් දාහක් පාඩුයි. පණ තියන ඉස්සෝ කූඩයක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. හැබැයි උන් මැරුණට පස්සේ රුපියල් දාහක්වත් ගන්ඩ බෑ,’

මේ ධීවරයන්ට අනුව කළපුවේ වර්තමාන තත්ත්වයට හේතුව වී ඇත්තේ කළපුව ආශ්‍රිතව කඩොලාන දූපත් වල ඉදිකර ඇති කරවල වාඩිය. ඒ ගැන කියන්නේ ජෝසප්ය. ‘කෙනෙකුට අහන්ඩ පුලුවන් මාළු අපද්‍රව්‍ය විතරමද මීගමු කළපුවේ විනාශයට හේතු වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි විඳවපු විඳවිල්ලයි, අපේ අත්දැකීම් එක්ක කියන්ඩ පුලුවන් මාලු අපද්‍රව්‍ය තමයි කලපුවේ විනාශයට ප්‍රධානම හේතුව කියලා.’

කළපුවේ මේ විනාශයත් සමඟම කළපුව පෝෂණය කළ ඇළ මාර්ග, ගංගා පවා විනාශ වූ බව සාන්ත මරියා කට්ටුදැල් ධීවර සමිතියේ සභාපති ඔස්කා ප්‍රනාන්දු පැවසීය. ‘කුඩා ගඟේ ඉස්සර ඉස්සෝ මාළු යහමින් හිටියා. ඒකට තමයි කරවල වාඩි වලින් ඉස්සල්ලම මාළු අපද්‍රව්‍ය දාන්ඩ ගත්තේ. එහෙම අපද්‍රව්‍ය දාන්ඩ පටන් ගත්තට පස්සේ ඒකේ ඉස්සෝ මාළු නැති මුඩු බිමක් බවට පත් වුණා. ඊට පස්සේ රොන් මඩ අයින් කළහම මේක හරියනවා කියලා රජයෙන් මේක අඩි හතක් විතර හෑරුවා. දැන් ඒ හාරලා අවුරුදු එකහමාරක් විතර ගියා හැබැයි තාමත් ඒක මුඩු බිමක්.’

එරනවල

ඒ එරනවලයි. එරනවලින් කළපුව පෝෂණය කරන ඇළමාර්ගයක් ගලා යයි. එය දිස් වනුයේ ඇළ මාර්ගයක් ලෙස නොව, කුණු ඇළක් ලෙසය. එහි ජලජ ජීවීන් හැර අනෙකුත් සෑම දෙයක්ම ඇත. පොලිතින්, පොහොර උර, රිජිෆෝම් පෙට්ටි, මාළු අපද්‍රව්‍ය මේ හැම දෙයකින්ම ඇළ පොහොසත්ය. ඇළ මාර්ගය අසල ඇති කරවල වාඩි වල සියලු අප ජලය මුදා හරින්නේ එම ජල පෝෂකයටය.
අපි ගොඩ වැදුනේ ශානිකාගේ නිවසටය. එහි ගොඩවැදුනු විගස හමා ආවේ ප්‍රියමනාප ගන්ධයක් නොවේ. අවට පරිසරයම පිරී ඇත්තේ කුණු ගඳෙනි. ඒ ගඳ හමන්නේ මේ නිවාස වටා පිහිටා ඇති කරවල වාඩි වලිනි. ශානිකාගේ නිවසට ඉදිරියේ තුෂාරිගේ නිවස ද ඒ අසලම ශර්මිලාගේ නිවස ද සචිනි හා රීනා ගේ නිවෙස් ද පිහිටා ඇත. කරවල වාඩි පිහිටා ඇත්තේ මේ නිවෙස් මැදි කරගෙන ඒ නිවෙස් වටාය.
‘ළමයකුට කෑම ටිකක් කන්ඩ නෑ. අප්පිරියාවට වමනේ යනවා. පාඩමක් කරගන්ඩ නෑ.’ ශානිකා කීවාය.

‘වෙලාවකට මේගොල්ලො ගඳ යන්ඩ කියලා කජු ලෙලි පුච්චනවා. එතකොට ඊට වැඩිය අමාරුයි. කරවල කටු ගිනි තියනවා. පොලිතින් ගිනි තියනවා. අපි කෑගහපුවහම නවත්තනවා. හැබැයි ආය ටිකකින් පටන් ගන්නවා.’ තුෂාරි කියයි.

‘අපේ දරුවන්ට හැමදාම ලෙඩ. උණ හෙම්බිරිස්සාවට වැඩිය බෙහෙත් ගන්ඩ යන්නෙ බඬේ අමාරුවට. මගෙ දරුවට ඊයෙයි පෙරේදයි වමනේ. කන්ඩ ගිහිල්ල මේකෙ ආපු ගඳට කන්ඩ බෑ කියල වමනෙ දැම්ම.’ රැස්වූ පිරිස අතුරින් මතුවන අදහස් කවුරු පවසන්නේද යන්න හඳුනාගැනීමට නොහැකි වන තරමත එක මත එක අදහස් පතිතවේ. රැස්වූවෝ තමන් විඳින දුක වචන බවට පෙරළති.
‘ඒ ගොල්ලො මාළු ගෙනල්ලා කපලා වැඩකරන අයට සල්ලිත් දීලා ගෙවල් වලට යනවා. අපිට උයාගන්ඩත් බෑ, උයාගත්ත දෙයක් කන්ඩත් බෑ. ඒ මිනිස්සුන්ගේ ගෙවල් මෙහේ නෙවේනේ තියෙන්නේ ඒ හින්දා ඒගොල්ලන්ට මේ දුක දැනෙන් නෑ’ නිහැඬියාවකින් පසු සචිනි පැවසුවා.

අපට හෝරාවක් දෙකක් දරාගත නොහැකි ගඳ ඔවුන් දැනට බොහෝ කාලයක් දරාගනිමින්ද සිටීම සුළුපටු නැත.

‘කපුටෝ වාඩියෙන් මාළු ජරාව ගෙනල්ලා හැමතැනම දානවා. අද උදේ අතුගාද්දි තනිකරම මිදුල පුරා තිබුණේ මාළු ජරාව.’ රීටා කියයි.
මේසා අප්‍රසන්න සිදුවීම් හමුවේ මොවුන් තවදුරටත් තමන් කුණු ගොඩක ජීවත් නොවන්නේ යැයි සිතන්නේ කෙසේද? තමන්ගේ ගෙවල් වටේ ඇති කරවල වාඩි පරිසරයට ද මිනිසුන්ට ද විශාල හානියක් සිදු කරමින් කිසිදු නීතිමය වාරණයකට ලක් නොවී තිබෙන්නේ ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ආරක්ෂාව එම කරවල වාඩි වලට ඇති නිසා බව ගම්මුන්ගේ අදහසයි.

‘අපි පොඩිකාලේ මේ කළපුවේ තමයි නෑවේ, සෙල්ලම් කළේ. හැබැයි අපේ දරුවන්ට ඒ දේ කරන්ඩ බෑ. අපි පුංචි කාලේ ඉඳලා මේ පරිසරයේ ජීවත් වුණ මිනිස්සු. මේ සුන්දර පරිසරයට වෙලා තියන දේ ගැන අපට ඇත්තටම දුකයි.’ ශානිකා එසේ කියයි. කලපුවට අපද්‍රව්‍ය දමන කරවල වාඩි මේ විනාශ කරමින් පවතින්නේ මීගමුවේ මිනිසුන්ගේ ඒ සුන්දර අතීතයයි.

‘අපේ ගෙවල් වලට මනුස්සයෙක් ආපුවහම යන්නේ කොයිවෙලාවෙද කියලා බල බල ඉන්නේ. ඇයි මනුස්සයෙකුට උහුලන්ඩ පුලුවන් ගඳක්ද මේක’ මැද පිටිපන, මියුරින් හාමි එසේ කියයි. ඒ කතාවට ඇගේ සැමියාද හවුල් වේ. ‘මිනිස්සු හිතන්නේ අපේ ගෙයින් කුණු ගඳ එනවා කියලනේ. කරවල වාඩියෙන් මේ ගඳ එන්නේ කියලා ඒ මිනිස්සුන්ට නිච්චියක් නෑ.’ ජුසේ ප්‍රනාන්දු කියයි. ඔවුන් දෙදෙනාම තවම ධීවර වෘත්තියේ නියැළේ. ධීවර වෘත්තියේ නියැලී ඔවුන් සාදාගත් නිවස ද ඔවුන්ගේ සිහින ද ගෞරවය ද කරවල වාඩියේ සුළඟ විත් දූෂණය කරයි.

කුණු මාළු කරවල, රින්සෝ සහ පෙට්‍රල්

‘මීට කලින් මේ පැත්තේ මිනිස්සු කරවල වේලුවේ නැද්ද?’ අපි ඔවුන්ගෙන් ඇසුවෙමු.
‘මොකද නැත්තේ. ඉස්සරත් අපි කරවල වේලුවා. දැනුත් වේලනවා. හැබැයි මේ කරවල වාඩි වල වගේ කුණු මාළු නෙවෙයි. මේ වාඩි වලට ගේන්නේ ලංකාවෙන් පිටරට යවල එහෙන් අයින් කරන මාළු. ඒව කුණු වෙලා ගඳ ගහනවා. ඒක තමයි මේ උහුලන්ඩ බැරි ගඳ.’ ඔවුහු කියති.

‘කුණු වෙච්ච මාළු කොහොමද කරවල කරන්නේ. ඒවගේ පණුවෝ එහෙම ඉන්නවනේ?’ අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
‘මාළු සුද්ද කරලා මාළු වලට පෙට්‍රල් ටිකක් ස්ප්‍රේ කරලා වේලෙන්ඩ දානවා. එතකොට පෙට්‍රල් කුයිලට මැස්සෝ එහෙම එන්නේ නෑ. පණුවෝ ඉන්නවා නම් කරන්නේ රින්සෝ දාපු වතුර එකකින් මාළුවා හෝදලා වේලෙන්ඩ දාන එක. ඊට පස්සේ පණුවෝ ගහන්නේ නෑ’ ගම්මු එසේ කියා අපට උපදෙසක් දීමටද අමතක නොකළහ. ‘ලොකු කරවල ජාති මුකුත් කන්ඩ එපා. හාල් මැස්සො නම් කෑවට කමක් නෑ.’
සිය නම සඳහන් කරනවාට අකමැති වූ පිටිපන එක් වයෝවෘද ධීවරයකු එදා කරවල කර්මාන්තය අද දක්වා වර්ධනය වීම පිළිබඳව පැහැදිලි කළේ මෙසේය.

‘ඉස්සර මෙහෙ කරවල කර්මාන්තය කළේ එදා අල්ලන මාළු වල වැඩි ටික කරවල කරපු එක. ඒකෙදි කරවල වලට ගත්තේ දවසේ මාළු. හැබැයි දැන් ගන්නේ මාස ගාණකට කලින් අල්ලපු ලෝකේ වටේ ගිහිල්ලා අයින් කරන මාළු. මීගමුවේ එහෙම තිබ්බ කරවල කර්මාන්තයට ඒ හින්දම හොඳ ඉල්ලුමක් තිබ්බා. ඒත් එක්කම ක්‍රමානුකූලව මීගමුවට විශාල කරවල වාඩි ආවා. ඒවගේ කරවල කර්මාන්තය කළේ මහා පරිමාණව. එයාලට ඒකට මීගමුවේ මාළු ප්‍රමාණය මදි වුණා. ඒකට එයාල මුලින් කළේ ලංකාවේ වෙනත් පළාත් වලින් මීගමුවට මාළු ගෙනල්ලා කරවල කරපු එක. ඊට පස්සේ එයාලට ඒකට වියදම් කරපු ගාණට වඩා අඩු ගාණකට පිටරටවල මාළු හම්බවෙන්ඩ ගත්තා. දැන් තනිකරම කරවල කරන ලොකු මාළු පිටරට යවල අයින් කරන මාළු.’
මාළු කරවල කිරීම සඳහා ඒ මාළු ලුණු ජලයේ බහා තැබීම සිදු කරයි. ඒ සඳහා මේ කරවල වාඩිවල විශාල ටැංකි තනා ඇති අතර යම් කාලයක් තිස්සේ ඒ වතුර භාවිත කිරීමෙන් පසු ඒ ජලය බැහැර කරන්නේ කළපුවේ ජල පෝෂක වලට සහ කළපුවටයි. ‘දැන් ඇළවල් වල වතුර එක එක වෙලාවට එක එක පාට. වෙලාවකට රතු පාටයි. වෙලාවකට කොළ පාටයි. වෙලාවකට රෝස පාටයි. දේදුන්නක් වගේ’ එසේ කියන්නේ සුසිත් ය.

මීගමුව, කුණු නගරය

මීගමුවේ උසාවි සංකීර්ණයද, නිවුස්ටඞ් කාන්තා විද්‍යාලයද, ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි තානායමද, ධීවර අධ්‍යක්ෂ කාර්යාලයද ඇතුලු නගරයේ බොහෝ රජයේ ආයතන සහ ජනතාව ගැවසෙන ජනාකීර්ණ ස්ථාන පිහිටා ඇති මීගමුවේ නගරයේ තැනක කරවල ව්‍යාපාරය සිදු කරන ස්ථානයක් වෙයි. එයින් හමන අප්‍රසන්න ගන්ධය මේ කියන ස්ථාන සෑම තැනකටම පාහේ දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

අපට පිටිපනදී විදුහලේ සංවර්ධන සමිතියේ ලේකම් අජිත් සුරංග මුන ගැසුණි.
‘ඉස්කෝලෙට කරවල වාඩියෙන් එන ගඳ දරාගන්ඩ බෑ. අලුතෙන් එන ටීචර්ස්ලා හැම වෙලාවෙම සාරියෙන් මූණ වහගෙන ඉන්නේ. සාරියෙන් මූණ වහගෙන මේගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ. හරියට ළමයකුට උගන්න ගන්ඩවත් බෑනේ. එහෙම වුණහම ළමයිනුත් අනාතයි, එන ගුරුවරුත් අනාතයි. ළමයිට කෑමක් කන්ඩ බෑ. ළමයි වමනේ කරන වෙලාවල් තියනවා, බඩඑලිය යන වෙලාවල් තියනවා. ඉස්කෝලයක් කියන්නේ පිරිසිදුව තියෙන්ඩ ඕනේ තැන්නේ. ඒවගේ තැනකට කරවල වාඩියක් ආවහම ලොකු ප්‍රශ්නයක්.’

මීගමුව නගරය ගඳ ගස්සවන මේ කරවල වාඩිය මෙහි තවදුරටත් තිබීමට හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ උවමනාව බව ප්‍රදේශවාසීහු පවසති. ඒ බව අපට සනාථ වූයේ මේ පිළිබඳව නගරයේ බොහෝ දෙනකු සමඟ කතාබහ කළද ඔවුන් මේ පිළිබඳව යමක් පැවසීමට මැලිවූ බැවිනි.

කුණු කළපුවට

අප මීගමුව කළපුවට ධීවරයන් සමඟ ගමන් කළ අතර එහිදී අපට ඔවුන් කී කාරණාවල සත්‍යතාව වැටහුණි. කළපුව වටා පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය කපා එළිපෙහෙලි කර ඒවායේ කරවල වාඩි ඉදිකර ඇත. එසේම කරවල වාඩි වලින් පිටකරන අප ජලය ඍජුවම මුදාහරිනු ලබන්නේ කළපුවටය. ඒ ජලය රතු පැහැතිය. රතු පැහැ ජලය කළපුවට එකතු වූවායින් පසු කිරි පැහැයට සමාන රෝස පැහැයක් ගනී. එසේම ඒ ජලය වැටෙන ස්ථාන වල විශාල පෙණ බුබුලු සමූහයන් දැකගත හැකිය.

එසේම මාළු ඔලු, හම් කැබලි ඇතුලු අනෙකුත් අපද්‍රව්‍ය කළපු ජලයේ තැන තැන පාවේ. ජලය කළු පැහැතිය. ඒ හරහා කළපුවේ අඩිය නොපෙනේ. අප සමඟ සංචාරය කළ ධීවරයන් පැවසූවේ කළපු පතුලේ ‘කාවාඩි’ නම් සත්ත්ව විශේෂයක් සිටින බවයි. ඒ නිසා කළපුවට බැසිය නොහැකි බවත්, බැස්සහොත් කකුල් කැපෙනා බවත්ය. එසේම කළපු ඉවුරේ කළපුව තුළට වන්නට ගොලු බෙල්ලන් වැනි සත්ව විශේෂයක් සිටින බව අපට නිරීක්ෂණය විය. ධීවරයන් ඔවුන්ට පැවසූවේ ”ඌරි” යනුවෙනි. මේ ආකාරයට ඌරි සහ කාවාඩි මීට පෙර කළපුවේ නොසිටි බවත් ඔවුන් කළපුවට පැමිණියේ කරවල කර්මාන්තය ආශ්‍රිත අප ජලය කළපුවට මුදා හැරීම් පටන් ගත්තායින් පසුව බවත් ධීවරයෝ පැවසූහ.

මීගමුවේ කළපු ධීවරයන්ගේ සේම, මුහුදු ධීවරයන්ගේ ද හෙට දවස තීරණය වන්නේ කළපුවේ හෙට දවස අනුවය. ඒ නිසා කළපුවේ හෙට දවස යහපත් විය යුතුව ඇත. මීගමුවේ ධීවරයන්ගේ ද අභිලාශය හෙට දිනයේ පිරිසිදු කළපුවක් බිහිවනු දැකීමයි.