නැට්ටුවා Dancer

එරික් ඉලයප්ආරච්චි

පාරම්පරික උඩරට නැටුම් කලාවේ ප්‍රවීණයකු හා නර්තනවේදය පිළිබද කෘතහස්ත ලේඛකයකු වූ ජේ.ඊ. සේදරමන් සූරීන් නැටුම් කලාව විස්තර කරන්නේ ලීලොපෙත අංගචලනය ලෙසිනි. ප්‍රාසාංගික ලලිත කලාවක් ලෙස වර්ධනය කෙරෙන මිනිස් ශරීරයේ නර්තන විභවතාව වන්නා වූ නැටුම නම් කලාත්මක මිනිස් ක්‍රියාකාරීත්වයේ පෘථුලත්වය පුරාණෝක්තිවේදය ඇසුරෙන් පැහැදිලි කරන එතුමන් පවසන්නේ ඊශ්වරයා විසින් විශ්වකර්මයාට දෙන ලද බෙරය ගසමින් දෙතිස් රාගයක් නව නැටුමක් ඒ දෙවියන් විසින්ම කරන ලද බව ය. නාට්‍ය ශාස්ත්‍රය අනුව නෘත්ත, නෘත්‍ය හා නාට්‍ය වශයෙන් තෙවැදෑරුම් වූ ව්‍යවහාරික නෘත්‍යවේදය තුළ සංගීතයෙන් හෝ නාට්‍යවේදයෙන් හෝ ව්‍යවතිරේකයක් නොලබා ස්වකීය කලාත්මක විශිෂ්ටත්වයෙන් නැගී සිටින නැටුම හෙවත් නෘත්ත මිනිස් ශරීරයේ කලාත්මක චලන හැකියාවේ පරම පාරිශුද්ධ ප්‍රකාශනය වේ. රොඩෑන්ගේ මෙම මූර්තිය එහි පරම මූර්තිධර ප්‍රකාශනයකි. එය සංගීතය හා ආංගික අභිනය මගින් භාව ප්‍රකාශනයෙහි යෙදෙන නෘත්‍ය හෝ කථාවක් ගොඩනගන නාට්‍ය හෝ නොව පරම පවිත්‍ර අසමසම මිනිස් අංග චලනයයි. එම ශුද්ධ නෘත්ත කලාවේදී මිනිස් ශරීරය සංගීතයේ එල්ලීමක් හෝ ඒ ශරීරය ලවා භාවාර්ථ ප්‍රකාශනයක් හෝ කථාවක් පැවසීමක් හෝ සිදු නොවන අතර කලාව ශුද්ධ නැටුමක් බවට පත්වුණු මිනිස් ශරීරය තුළ රාශිගත වේ. එහෙයින් එය නර්තන කලාවේ සකලවිධ පාපයන්ගෙන් විනිර්මුක්ත වේ. ගී සින්දුවලට නැටීම, ප්‍රභූ අභිනන්දනය වෙනුවෙන් නැටීම, රූපවාහිනියට හෝ සිනමාවට හෝ සේවා සැපයීම හෝ එමගින් සිදු නොවේ. රොඩෑන්ගේ ලෝකඩ නැට්ටුවා එකී ශුද්ධ නැටුම වෙනුවෙන් සාක්කි දරන්නේ නූතනවාදී නටරාජ (modernist dance of Shiva) ප්‍රතිමාවක් ලෙසිනි. විලාසිතා කලාවේ  (fashion design) දී මිනිස් ශරීරය හඳුනා ගනු ලබන්නේ ඇඳුම් මෝස්තරය එල්ලනු ලබන හැන්ගරයක් හා කොක්කක් ලෙසිනි. එනයින් නැටුමේදී මිනිස් ශරීරය හුදෙක් නැටුම එල්ලා ඇති කොක්කක් පමණි. එය කිසිවක් කැඩිය හැකි කෙක්කක් නොවේ. එය කරෙයිකාල් අම්මයර් (කොළඹ කෞතුකාගාරය) මෙන් දෙවියන් ඉදිරියේ මහලුවන තුරු නටනවා පමණි.
මූර්ති ශිල්පියා වූ ඔගස්ටේ රොඩෑන් මෙන්ම මෙහි නිරූපිත සැබෑ නැට්ටුවා වූ රුඞ්ලොෆ් නුරියෙව් ද මේ මූර්තිය සම්බන්ධයෙන් වැදගත් වේ. රතු භට හමුදාවේ මේජර්වරයකුට දාව සයිබීරියානු රුසියාවේ උපත ලද නුරියෙව් රුසියාවේ මෙන්ම පැරීසිය ඇතුළු සංස්කෘතික යුරෝපයේ ද එක ලෙස කීර්තියට පත්වුණු අග්‍රගණ්‍ය මුද්‍රා නැටුම් ශිල්පියෙකි. හංස විල, රෝමියෝ ජුලියට්, දොන් කුඕටේ, ඔතෙලෝ ආදි ප්‍රකට බැලේ නිර්මාණවල නැටූ ඔහු තම පරපුරේ ශ්‍රේෂ්ඨතමයා විය. ඔහුගේ චරිතාපදානය රචනා කළ ජෝන් පාසිවල්ට අනුව සයිබීරියානු ටාටර්වරුන් වූ ඔහුගේ පවුල රුසියානු විප්ලවය විසින් පොදු ජනතාව වෙනුවෙන් විවෘත කර දෙන ලද අසීමිත අවස්ථා නිසා දියුණුවට පත්වුණු අතර නුරියෙව් එහි ප්‍රතිලාභයක් වූ නමුත් පසුව රුසියාව හැර දමා යුරෝපයට පැමිණ පැරිසියේ ඔපෙරා බැලේ සමාගමේ කලා අධ්‍යක්ෂ විය. ඔහු ඒඞ්ස් රෝගයට ගොදුරු වුණු කලාකරුවන් අතරින් ප්‍රථමයෙකි. ඔහු වාට්ටුවක නොව දුවන දුම්රිය දී මෙලොව එළිය දැකීම ඔහුගේ අසහාය නර්තන කායවේදයට ගැළපෙන රූපකාර්ථවත් සත්‍ය සිද්ධියකි.
මූර්තිය නිසල රූපයක් වූවත් එහි ගතිකත්වය හා ජවය ඉතා වැදගත් කොට සැලකූ රොඩෑන් කිසියම් රූපයක චින්තනයේ හා සිතුවිල්ලේ ජවය පවා කායික ව්‍යුහය මගින් නිරූපණය කිරීමට උත්සුක විය. චලනයේ උපස්ථිතිය (impression of movement) ඔහුගේ මූර්තිවලින් පළවන අතර ඔහු එය තම ශිල්පයේ අංගයක් ලෙස සැලකුවේ ය. ඔහුගේ ආදර්ශ රූපයන් හෙවත් මොඩලයන් සක්‍රීය ඒවා වන අතර ඔවුන්ගේ චලනය හා ආකල්ප තේරුම් කර ගැනීම සඳහා ඔහු මූර්ති නිර්මාණයට පෙර දී කටු සිතුවම් ඇන්දේ ය. ඔහුගේම වචනයෙන් කියතහොත් “ මූර්තියක විවිධ කොටස් කාලයේ විවිධ අනුක්‍රමික අවස්ථා (different parts of a sculpture represented at successive moments in time) නිරූපණය කරන අතර එමගින් සැබෑ චලනය පිළිබඳ මායාවක් ජනනය කරයි.” නැටුම ඔහුගේ අවධානය දිනා ගත්තේ ඔහු ඒ තුළ තම මූර්ති කලාව දකින්නට සමත් වුණු බැවිනි. ඔහුගේ සිත් ගත්තේ සාම්ප්‍රදායික සම්භාව්‍ය නැටුම නොව 1890න් පසුව දියුණු වුණු නූතනවාදී නැටුම (modernist dance) , ජන නැටුම්, පෙරදිග නැටුම්, ප්‍රංශ කැන්කැන්, කැබරේ යනාදියයි. ඉසඩෝරා ඩන්කන් වැනි නූතනවාදී නැටුම් ශිල්පිනියන් සමග ඔහුට සමීප ඇසුරක් තිබුණි. ජපන් නැටුම් ශිල්පිනියක් වූ හනාකෝ ද ඔහුගේ ආදර්ශ රූපයක් විය. එවකට ප්‍රංශ යටත්විජිතයක්ව පැවති කාම්බෝජයේ සිසෝවත් රජුගේ රාජකීය නැටුම් කණ්ඩායම පැරීසියට පැමිණි විට ඔහු අමන්දානන්දයට පත්විය. ඔවුන් ආපසු සිය රට බලා පිටවුණු අවස්ථාවේ ඔහු පැවසුවේ මුළු ලෝකයේම ලස්සන ඔවුන් විසින් රැගෙන යන ලද බවයි. මානව ශරීරයේ විභවතා, අවකාශය තුළ කාය ස්කන්ධයේ විහිදුම, සමබරභාවය හා අසමබරභාවය, ශරීර ව්‍යුහයේ ආතතිමය දෝලනය යනාදිය ඔහු මූර්ති කලාව වෙත කැඳවූයේ මයිකලැංජිලෝගේ රූපමය ගතිකත්වය නූතනවාදය කරා කැඳවා ගනිමිනි. නූතන නැටුමේ නිසැක සුධීමතියක වූ මාර්තා ග්‍රැහැම් නර්තන වේදිකාවේ සංකේතික විශ්වය පැහැදිලි කළේ මෙලෙසිනි. “නැටුම යනු සංවේදනයයි… පැහැදිලිව, සුන්දරව හා අනිවාර්යණීය ලෙස දෙඩීමේ මහා ආශාවයි. එය නිර්මාණාත්මක සන්තතියකි. නර්තන වේදිකාව නම් ආශ්චර්යජනක ස්ථානය විසින් ඉල්ලා සිටිනු ලබන බලසම්පන්නකමින් හා සම්පූර්ණ පරිණතභාවයෙන් අනූනව එය ග්‍රහණයට ගැනීම සඳහා ඔබ ඔබේ ආත්මතාවේ ද්‍රව්‍ය සම්භාරය පරිහරණයට ගැනීමෙන් (handling of the material of the self) ජනනය වෙයි. නැට්ටුවා යථාර්ථවාදියෙකි. ඔහුගේ ශිල්පිය විසින් එය ඔහුට කියා දෙනු ලැබේ. පාදයක් ඉදිරියට විහිදනවා ද ? නැද්ද ? … කොයිතරම් සිහින දුටුවත් එය ඔබට දැනගත නොහැකිය. එයට ශික්ෂණය වුවමනා ය. සරඹ නොවේ. එය බාහිරින් ඔබ මත පටවන්නක් නොව ඔබ ඔබම විසින් ඔබ මතම ඇති කර ගනු ලබන ශික්ෂණයයි. ”
එය හුදු විනෝද සංස්කෘතිය වෙනුවෙන් ශාලාවක හෝ රූපවාහිනී වේදිකාවක හෝ නටන්නියකගේ නර්තනවේදයට සපුරා වෙනස් බව තහවුරු කළ යුතු ආකාරයට පුද්ගල නර්තන ශරීරය හා නර්තන ආත්මය මත සිදු කරනු ලබන චාරිත්‍රයක් (ritual) වැනි ය. සරුව පිත්තල නැටුමේදී වේදිකාවක බැබළීම, නැටුමෙන් විනෝදය සැපයීම, ප්‍රභූන් පිනවීම හා බාල කලාවේ සරල සරඹ වන්නම ප්‍රාසාංගික කිරීම පෙරටු කර ගත් යථාභූත (positivist) ශරීර ක්‍රියාවක් මගින් නැට්ටුවාගේ තීව්‍රතර ප්‍රකාශනාත්මක චලන මහෝඝය නිශේධනය කරනු ලැබේ. එය ලිබරල් ධනේශ්වර ක්‍රමය ලෙස හැඩගැසී ඇති ප්‍රාග්ධනයේ   (Capital) සුවිශද වුවමනාව වෙනුවෙන් නර්තන ශරීරය විෂයෙහි සිදු කරනු ලබන පරපීඩා කාමයකි. එයින් නැට්ටුවාගේ සෞන්දර්ය පූජාව, වඩාත් න්‍යායිකව කියතහොත් නැට්ටුවාගේ ආත්ම පරිත්‍යාගී ආත්ම පූජා සෞන්දර්යවේදය  (sacrificial aesthetics) සහමුලින් අතුගා දමා ප්‍රාග්ධනයේ නර්තනය ප්‍රතිභාපූර්ණ කලාකරුවා මත පටවනු ලැබේ. රොඩෑන් සිය වේදනාකාරී මූර්තියෙන් අභිනන්දනය කරන්නේ ප්‍රාග්ධනයේ යථාභූතවාදයේ අණ පැනවීම තඹයකට මායිම් නොකර, අසිරිමත් චුම්භක ක්ෂේත්‍ර විපර්යාසයක් නිසා මහත් වේගයකින් ආපසු ගල මුදුනකට ඇදී යන දියඇල්ලක් වැනි ප්‍රති-දෘෂ්ටිවාදාත්මක   (anti-ideology) කාය මානසික භාවිතයකි. එහි දී මූර්ති ශිල්පියා නර්තනයේ නග්න ප්‍රවේගය හා මානුෂික විභූතිය කෙරෙහි කොයි තරම් ආවේගශීලී වන්නේ ද යත් සාම්ප්‍රදායික ඇනටොමිය  (anatomy) හෙවත් කාය ව්‍යුහ විද්‍යාව නොසලකා හරියි. ඔහුගේ මේ ලෝකඩ නුරියෙව් නර්තන මූර්තිවේදයේ අසහාය නිපැයුමකි.