පොල්කිච්චා මැරුණා විජේවීර බේරුණා

රෝහිත මුණසිංහ

සාකච්ඡා කළේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග
රෝහිත මුණසිංහ ප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු එවක ජවිපෙ අභ්‍යන්තරය පිළිබඳව කතා කරයි.

ඔබ ජවිපෙ පූර්ණ කාලීනයකු වෙන්නේ කොහොමද?

මම මුලින්ම අර්ධ කාලීනව වැඩ කළ සාමාජිකයෙක්. 1980 දී විතර පක්ෂයේ නායකයන්ගේ ගමන් බිමන් සඳහා කාර් කිහිපයක් ගත්තා. රෝහණ සහෝදරයට එකක්, බෝපගේ සහෝදරයට එකක් වශයෙන්. දවසක්, මාතර උයන්වත්ත පිට්ටනියේ පවත්වපු මහා රැස්වීමකට ආපු රෝහණ සහෝදරයා මේ කාර් එකෙන් රැස්වීම් භූමියටම ඇවිල්ල බැස්ස. ”පොල්හේනේ යසන්තල” වගේ මෝටර් සයිකල් තිබුණ සහෝදරවරු කාර් එක ඉදිරියෙන් සහ දෙපසින් ආරක්ෂක භටයෝ වගේ ආව. කවුද සහෝදරයෙක් පැනල ලොකු මහත්තයට බහින්න දොරත් ඇරලා දුන්න. මේවා රෝහණ සහෝදරයා කියල කරපු දේවල් නෙවි. අනිත් අයට හිතිලා කරපු දේවල්. හැබැයි එයා ඒවා ඉවසුවා. ඒත් මේ අපි පාරවල් ගානේ කැටවලට සල්ලි එකතු කරන කාලේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න රැස්වීම් භූමියටම ඇවිල්ල කාර් එකෙන් බහින එක මට ලස්සනට පෙනුණේ නෑ. එතකොට වැලිගම සංවිධායක” නෙත්තිකුමාර.” මම මේ කාර් ප්‍රශ්නය ගැන නෙත්තිට තද විවේචනයක් ඉදිරිපත් කරලා ඒ විවේචනය පක්ෂ මුලස්ථානයට ලිඛිතවත් ඉදිරිපත් කළා. ඒක පත්තු වෙලා ගිහින් මාතර දිස්ත්‍රික් කමිටුවෙත් ලොකු කැළඹීමක් ඇතිවෙලා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කේ ආසන හතේම අර්ධ කාලීන- පූර්ණ කාලීන සියල්ල රැස් කරලා අභ්‍යන්තර සාකච්ජාවක් තියල රෝහණ සහෝදරයා පැහැදිලි කළා ඇයි වාහන පාවිච්චි කරන්නේ කියල. ”සහෝදරවරු කියනවා නම් මම වෙනද වගේ කෝච්චියේ, බස් එකේ යන්නම්. මට දුක මේවා අපේ සහෝදරවරු ම කියන එකටයි කියල හොඳටම ඇඬුවා. අපිටත් කඳුළු වැටුණා. ඊට පස්සේ රෝහණ සහෝදරයා මට කිව්වා,” රෝහිත සහෝදරයා අද ඉඳන් පූර්ණ කාලීනව පක්ෂේ වැඩ කරන්න ඕන” කියල. මම මේ කියන කතාව ඇත්ත බව දන්න කිහිප දෙනෙක් ඉන්නවා. ලයනල් බෝපගේ, කතරගම නෙත්තිකුමාර, අමරදාස කුරුප්පු, ආරියදාස රණවක යන සහෝදරවරු සහ කුසුමා බුද්ධිකෝරාළ සහෝදරිය.

ඔබ ජවිපෙ තුළ කොපමණ කාලයක් හිටියද? ඔබගේ ප්‍රධාන අත්දැකීම් මොනවාද?

1976 සිට 1993 දක්වා. අවුරුදු 16 ක් පමණ. 1984 සිට 89 දක්වා සිටියේ ත්‍රස්තවාදයට හා පුද්ගල ඝාතන වලට එරෙහි වූ පාක්ෂිකයකු ලෙස. එසේ සිටිමින් එවිට පැරිසියේ ගොඩ නැගෙමින් තිබූ ජවිපෙ හිතවාදී කණ්ඩායම සහ පක්ෂය අතර සම්බන්ධීකරණ කටයුතු කළේ මම. අද පරපුර නමින් හා පින්තුර වලින් පමණක් දැන සිටින ”රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, දයා වන්නිආරච්චි, සෝමවංශ අමරසිංහ, ඇල්ගිරියේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, කතරගම සිරිපාල නෙත්තිකුමාර, තල්පාවිල ධර්මේ, සහ වෙනත් නායකයන් සමග වැඩ කිරීමට ලැබීම. පොලිසි,හිරගෙවල්,හමුදා කඳවුරු, වධකාගාර වල අත්දැකීම් ලැබීම. (භාවිතාව) ජවිපෙ දෙස පිටත සිට බලා සිටින කෙනකුට පෙනෙන ඉහළ තක්සේරුව මායාවක් බව එහි අභන්තරයට ගියවිට අත්විඳ ගැනීමට ලැබීම ප්‍රධානයි.

ජවිපෙ අභන්තරය විස්තර කරන්න පුලුවන්ද?

පොතක් ලියන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඉහළම නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබුණේ අධිතක්සේරුව, අතිශයෝක්තිය, ප්‍රදර්ශනාත්මක බොළඳ බව හා තමන්ම ඒ සිහින මායාවේ ගිලී සිටින ස්වභාවය. ගුණ යහපත්, අවංක, එඩිතර සහෝදර සහෝදරියන් රාශියක් හිටියා. කාගේත් ඉංග්‍රීසි දැනුම, න්‍යායික දැනුම අන්තිම දුර්වලයි. තර්ක ශාස්ත්‍රය සහ කටින් ගසා ජය ගැනීම හරි ඉහළයි. කැපවීම අනර්ඝයි. ප්‍රධාන සූත්‍රය තමයි නායකයන් කියන දේවල් කමිටු හරහා පහළට ගලා එමින් පුනරුච්චාරණය වීම සහ යට තියන සංඛ්‍යා ලේඛන ඉහළට ගොස් නායකයන් මුලාවීම. පහළ සාමාජිකයන් හිතාගෙන හිටියේ නායකයන් සියලු දේ දන්නවා කියල. නායකයන් හිතාගෙන හිටියේ පහළ සාමාජිකයන් හැමදෙයම ඉටු කරයි කියල. අන්තිමට බලන කොට දෙගොල්ලන්ම දන්නේ නැහැ.

බිම් මට්ටමේ සාමාජිකයන් සහ නායකයන් අතර වෙනස කුමක්ද?

නායකයන් ළඟ නිලධාරිවාදය ගොඩ නැගීමේ මූලික අවස්ථාව ඇතිවී තිබුණා. පසුව ඝාතනයට ලක් වුණත් 88-89 කාලේ වුවත් නායකයෝ තම දරු පවුල් සමග ගෙවල් දොරවල් වල හොඳින් හිටියා. ඔවුන්ට පහසුකම් සැපයීම වෙනුවෙනුත් සාමාජිකයෝ දිවි පිදුවා. එක් අයකු තමයි “තල්පාවිල ධර්මේ” බිම් මට්ටමේ සාමාජිකයෝ කන්න දෙයක්, නිදා ගන්න තැනක්, අතේ සතයක් නැතිව මාරාන්තික දුකක් එක්ක නායකයෝ කියන කියන විදියට සටන් කළා. ඒක අදත් එහෙමයි.

රෝහණ විජේවීර පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද? ඔහුගේ දක්ෂතා සහ දුර්වලකම් මොනවාද?

මම මේ ප්‍රශ්න දෙකටම එක පිළිතුරක් දෙන්නම්. රෝහණ විජේවීර කියන්නේ (අපිට) සිංහලෙනුයි ග්‍රීක් වලිනුයි ලියපු පොතක් කියවනවා වගෙයි. ඔහු අසාමාන්‍ය චරිතයක්! අපි සාමාන්‍ය මිනිස්සු ඒ වගේ අසාමාන්‍ය චරිත ඇතුළේ තියෙන්නෙත් අසාමාන්‍ය චරිත ලක්ෂණ. ඔහු අතිශය දක්ෂ වගේම දුර්වල මනුෂ්‍ය ආත්මයක්!

ඔබගේ පොතෙන් හෙළි කරනවා විජේවීර ඇසුරු කළ බව කියන කාන්තාවක් ගැන! අවසානයේ ඇයට CIA කාර්ඞ් එකක් ගසා පලවා හරිනවා. මොකක්ද මේ සිද්ධිය?

රෝහණ සහෝදරයා මුහුණ හෝදපු වතුර බේසමට වස දාලා ඔහු මරන්න යොදවපු සැකකාරියෙක් අහුවුණා. ඔහු මුහුණ හෝදන්න කලින් බේසමෙන් වතුර බීපු පොල්කිච්චෙක් මැරිලා වැටුණ නිසා ඔහුගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වුණා. මේ 1981 හෝ 82 දී අපේ කමිටු හරහාම පක්ෂයේ ඉහළින් අපිට එවූ කතාවක්. පක්ෂයේ සාමාජිකයන් සියයට 99ක් මේ කතාව විශ්වාස කළා. ඒත් මෙතැන තියෙන්නේ වෙන කතාවක් කියල මට තොරතුරු ලැබුණේ මගේ මිතුරකු ගෙන්. ඔහු තමයි එවිට ජවිපෙ ‘RED POWER’  ඉංග්‍රීසි පත්‍රයේ සියලු ලිපි සකස් කළේ. ඔහු පක්ෂෙට දුන්නේ මමයි. 2006 දී මගේ ”ජවිපෙ සැඟවුණ ඉතිහාසයන් බිඳක්” පොත පිට වුණා. එහි මෙම සිද්ධිය ඇතුළත් වුණා. ඕස්ටේ‍රලියාවේ පළ කරන ”සන්නස” සිංහල පුවත් පතේ මගේ පොත කොටස් වශයෙන් සම්පුර්ණයෙන් පළ වුණා. ‘ලයනල් බෝපගේ’ සහෝදරයා පදිංචි ඕස්ටේ‍රලියාවේ නිසා මගේ පොතේ ඔහු ගැන වූ වෙන සටහනකින් සිත රිදවා ගෙන අපි දෙදෙනා අතර ඇතිවූ විවාදයේදී මේ සිද්ධියේ අපි නොදැන සිටි කරුණු සම්පූර්ණයෙන් හෙළි කරමින් පොල්කිචි කතාවට සුජාත භාවයක් ලබා දුන්නේ ඔහුයි. බෝපගේ එහිදී ප්‍රකාශ කරනවා එවිට සිටි ප්‍රධාන ලේකම් වශයෙන් විජේවීරට විරුද්ධව විනය පරීක්ෂණය පැවැත්වූයේ ඔහු බව හා දෙදෙනාගේම කැමැත්තෙන් ඒ අනියම් සම්බන්ධය පවත්වා ගෙන ගිය බව රෝහණ සහෝදරයා පිළිගත් බව. එය සාධාරණීය කරන්න තර්ක රාශියක් ඉදිරිපත් කරලා බැරි වුණාට පස්සේ. එම කාන්තාව පව්කාරිය කරලා ගල් ගැහුවා. බලය ලැබුණට පස්සේ මේ ආණ්ඩුවල ඉන්න සල්ලාලයෝ කරන දේවල් වලයි බලයක් නැතුවම ජවිපෙ නායකයෝ කරපු දේවල් වලයි වැඩි වෙනසක් නැහැ.(හැමෝම නෙවෙයි)

රෝහණ සහෝදරයාගේ අංක එකේ සගයකු වන දිසා ලේකම් කෙනකු 80 ගණන් වලදී පක්ෂ නායකයකුගේ නංගි කෙනකුගෙන් මට කිස් එකක් දෙන්න පුලුවන්ද කියල අහල ඒ සහෝදරී එය මම හිටිය ආසන කමිටුවට පැමිණිලි කළා. පසුව දිස්ත්‍රික් කමිටුව තීරණය කළේ එය ඒ සහෝදරීයගේ බොරුවක් කියල. මේ සටහන දුටුවොත් ඒ සහෝදරී පිළිගනීවි මම කියන්නේ ඇත්ත කියල.

ජවිපෙ නායකයකු වූ නලින්ද ජයතිස්ස සමරිසියන් ගේ අයිතිවාසිකම් හෙළා දකිනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ඒක එයාගේ පුද්ගලික මතය හෝ ජවිපෙ මතය වුණත් ඒක ලංකාවේ දුප්පත් ජනතාවගේ දැවෙන ජීවන ප්‍රශ්නයක් නෙවි නිසා මට නම් එය වැදගත් නැහැ.එහෙම ඇසුරකට කවුරු හරි කැමති නම් ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒවා මිනිස්සුන්ගේ නිදන කාමරවල ප්‍රශ්න! පැරිසියේ, ශතලේ ප්‍රදේශයේ ”මෝවේස් ගාර්සොන්” මාවත තියන මුළු කලාපෙම ප්‍රසිද්ධ සමලිංගික ඇසුර ප්‍රිය කරන අය මුණ ගැසෙන කලාපයක් ලෙස. ප්‍රංශයට ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද මේවා නියම සිස්ටම් එකකට දුවන දියුණු රටවල්. ලංකාවටත් ඕන හොඳ සිස්ටම් එකක්. එතකොට ඕවා ප්‍රශ්න නෙවෙයි. මම පොඩි කතාවක් කියන්නම්. ජවිපෙ හිටපු දිසා ලේකම් කෙනකු වන ”රන්ජිත් පීරිස්” සම ලිංගික ඇසුරට තදින් ඇබ්බැහි වුවකු බව විජේවීරත් දැනගෙන හිටියා. විජේවීරට එය ප්‍රශ්නයක් වුණේ නැහැ.දවසක් මොකක් හරි වැඩකට රන්ජිත් පීරිස් හෝ තවත් අයකු යවන්න ඕන වුණ වෙලාවේ ” හරි කවුද යන්නේ කියල බලන්න අපි ගලද? මලද? කියල බලමු.” කියල අත් දෙක මිට මොලවා ගෙන කතිරයක් වගේ තියා ගත්ත විජේවීර, ”තමුසේ නම් ඉතින් කොහොමත් තෝර ගන්නේ ගල තමයි කිව්වලු. විජේවීර ඒ වගේ විහිළු කරන කෙනෙක්.

ජවිපෙ ෆුල් ටයිමර් කෙනකුගේ ජීවිතය විස්තර කරන්න පුලුවන්ද?

ෆුල් ටයිමර් කෙනෙක් කියන්නේ පක්ෂේ සංවිධාන ව්‍යුහය ඇතුළේ ඉන්න කාඩර්වරයෙක්. ඔහු අඩුම තරමින් ආසන කමිටුවේ නියෝජිතයෙක් වෙන්න ඕන. මූලික පන්ති පහට පස්සේ දින 8 අධ්‍යාපන කඳවුර, හැකිනම්, සති 4 ජාතික කඳවුර ට සහභාගී වෙන්න ඕන.පක්ෂය කියන ඕනෑම ප්‍රදේශයක වැඩට යා යුතුයි. පවරන ඕනෑම කාර්යයක් කළ යුතුයි. කිසිම ගෙවීමක් නැහැ. පුළුවන් තරම් ”කොකු” ගහල සාමාජිකයෝ එකතු කරගෙන ඔවුන් දෙන කෑම බීම වලින්,ඇඳුම් පැළඳුම් වලින්, බස් ගාස්තු වලින් යැපෙන්න ඕන. ධර්මය ප්‍රචාරය කරන ගමන් පිණ්ඩපාතයෙන් යැපෙන භික්ෂූන්ගේ ආදර්ශ චර්යාවෙන් තමයි පූර්ණ කාලීනයා කියන චරිතය ගොඩ නැගුවේ. අද විහාරස්ථාන වලට වෙලා දානය ලැබෙන තුරු බලා ඉන්න හාමුදුරුවරු මිසක් පිණ්ඩපාතේ වඩින්නේ කීයෙන් කී දෙනෙක්ද? විවාහ නොවුන තරුණ සාමාජිකයන්ට ෆුල් ටයිමර් දුක කාලයක් දරා ගන්න පුළුවන්. විවාහක, දරුවන් ඉන්න, වෙන ආදායමක් නැති අයට හැමදේම අනුන්ගෙන් ලැබෙන තුරු බලාගෙන ඉන්න පුලුවන්ද? ඒක මොන ජීවිතයක්ද? ජවිපෙ නායකයෝ තමයි තමන් යැපෙන්නේ එහෙමයි කියන්නේ!!!. ඒක පට්ටපල් බොරුවක්. කිසිම ප්‍රායෝගික බවක් නැති, තර්කානුකූල නැති කතාවක්.

විප්ලවය පිට දමා කළ මිනීමැරුම්,, මංකොල්ල කෑම් සහ පුද්ගලික උවමනාවන් වලට ඒවා කළ පිරිස් ගැන ඔබගේ අදහස?

විප්ලවය වෙනුවෙන් මංකොල්ල කෑම් කරන මිනිස්සු ඒවා කරන්නේ තමන්ගේ ජීවිතය පවා විප්ලවය වෙනුවෙන් පූජා කරමින්! ඒක සෙල්ලමක් නෙවි. එතකොට, මහජනයා ගේ ජන්ද වලින් බලයට ඇවිල්ල නීත්‍යනුකූල විදියට තෙල් සංස්ථාව, සතොස, මහා බැංකුව සහ රටේ වෙනත් දේවල් කෝටි ප්‍රකෝටි වලින් මංකොල්ල කාල කිසි දඩුවමක් නැතුව යහතින් ඉන්න දේශපාලුවෝ ගැන මොනවාද හිතන්න ඕන? ඒ දෙකෙන් වඩාත් අවලස්සන, නිර්ලජ්ජිත, පාහර වැඬේ මොකක්ද?

ජවිපෙන් ඉවත් වන පුද්ගලයන් ද්‍රෝහීන් ලෙස ලේබල් කිරීම සහ සමහරක් විට ඔවුන්ව ඝාතනය කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ලංකාවේ වෙන දේශපාලන පක්ෂවල ද්‍රෝහියෝ නැහැ. ඔවුන් වෙන් වෙනවා. එකතු වනවා. තරහ වෙනවා. යාලු වෙනවා. සදාකාලික වයිරක්කාරයෝ නැහැ. ඔය ද්‍රෝහියෝ කියන වචනය තොග ගණනින් නිෂ්පාදනය කරන ෆැක්ටරිය අයිති ජවිපෙට. 1971 ලොකු අතුලගෙන් පටන් අරගෙන 1989 දී ජවිපෙ නියෝග නොතකා බස් එලවපු ඩ්‍රයිවර්ලා, තේ දළු නෙලපු කම්කරුවෝ, ගෙවල් වල ලාම්පු පත්තු කරපු මිනිස්සු සේරම ද්‍රෝහියෝ වුණා. ඒත් සැබෑම ද්‍රෝහියෝ හිටියේ ජවිපෙ ඇතුළෙමයි. දිගට හරහට පාවා දීල මුළු දේශපාලන මණ්ඩලයයි, මධ්‍ය කමිටුවයි හමුදාවට අල්ලලා දුන්නේ කවුද? ජවිපෙම නායකයෝ. එතකොට එයාල ද්‍රෝහියෝ නෙවෙයිද? හමුදාවෙන් පඩි අරගෙන පාවා දෙන ජොබ් එක කරපු වාස් තිලකරත්න කවුද? ජවිපෙ නිෂ්පාදනයක්! හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්! සෝමවංශ අමරසිංහ ජවිපෙන් ගිහිල්ල අනුර කුමාරට ප්‍රසිද්ධියේම තක්කඩියෙක්, බොරුකාරයෙක් කියල බැන්න. (දෙරණ 360) වෙනම පක්ෂයකුත් හදාගෙන අන්තිමට මහින්දගේ වේදිකාවටත් නැග්ග. අන්න එතැනදී විතරක් සෝමවංශට ද්‍රෝහියා කියන්න ජවිපෙ බයවුණා. කුමාර් ගුණරත්නම් ආණ්ඩුවට අල්ලලා දෙන්න අනුර කුමාර ගෝඨාභය රාජපක්ෂට ඔත්තු දුන්නා. එතකොට අනුර කුමාර මොකෙක්ද? හබරාදුවේ ජෝර්ජ් රත්නායක, නන්දන මාරසිංහ, විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ද්‍රෝහියෝ කියල මරල දාන්න ජවිපෙට තිබුණ අයිතිය මොකක්ද? ඒ කරපු කාලකණ්නි අපරාධ වල සාපය අද පවා ජවිපෙ පසු පස්සේ පන්නගෙන එන්නේ නැද්ද?