සරල වින්දනයේ සරල කම

රසික ගුණවර්ධන

පසුගිය දා මාතර ප්‍රදේශයේ සමවයසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු පිහි ඇණුම් කා මිය ගිය සිදුවීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය පුරා කතා බහට ලක් වූයේ මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වන ප්‍රසිද්ධ මෙගා ටෙලි නාට්‍යයක අනිසි බලපෑම මෙම මරණයට ඍජු හෝ වක්‍ර ලෙස බලපා ඇති බවයි. එහිදී ඊට සම්බන්ධ ලිපි වල වැඩි වශයෙන් සඳහන් වූයේ අදාළ මෙගා ටෙලි නාට්‍යයේ පාසල් සිසුන්ගේ ගැටුම්කාරී දර්ශන සහ සිදුවීම් මෙම සිදුවීමට උත්ප්‍රේරකයන් වී ඇති බවයි. අදාළ මෙගා ටෙලි නාට්‍යය සහ මෙම ගැටුම අතර සබනධතාව විග්‍රහ කරනවාට වඩා වැදගත් වනුයේ ඒ සංවාදය හරහා මතු වන වර්තමාන තාරුණ්‍යය බහුලව යොමුවෙමින් පවතින කලාව පිළිබඳව යම් විමර්ශනයක් සිදුකර ගැනීම යැයි අපගේ හැඟීමයි.

තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ නිෂ්පාදන, භාණ්ඩ හා සේවා බිහිවනවා දැකගත හැකිය. එසේ වෙළෙඳපොළට සාපේක්ෂව ඍජුව හා වක්‍රව ඊට උපකාරී වන ලෙස කලාවද හැඩ ගැසෙමින් පවතී. ඒ වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින කලාව හරහා බිහිකරවනු ලබන සමාජය හා ඊට අනුරූපව නිර්මාණය වන සංස්කෘතීන්ද ඍජුවම ඉලක්ක ගත කරනු ලබන්නේ තරුණ ප්‍රජාවය. එසේ නිර්මාණය වන සමාජ සංස්කෘතීන් නිර්මාණය කරන කලාව මේ වන විට ප්‍රඥා උත්පාදන වින්දනයේ සිට සරල වින්දනය දක්වා විතැන් වී ඇත. ඒ හරහා බහුතර තාරුණ්‍යය සරල වින්දනීය කලාව වටා ගොනු වී ඇත.

මාතර සිදුවීම හා සමාජජාල විසින් සම්බන්ධ කර දැක් වූ මෙගා ටෙලිනාට්‍යය අයත් වන්නේ ඉහත සඳහන් කළ ”සරල වින්දන” කලා නිර්මාණ ගණයටමය. එම මෙගා ටෙලි නාට්‍ය සරල ප්‍රේම කතාවක් තේමාකර ගන්නා අතර ඊට සහසම්බන්ධ වන ලාභ සමාජ වටපිටාවක් පසුබිම් කර ගනිමින් ගොඩ නැගේ. මෙවැනි ගණයේ එකම ටෙලි නාට්‍ය මෙය නොවන අතර මේ හා සමාන බොහෝ ටෙලි නාට්‍ය ප්‍රමාණයක් සෑම රූපවාහිනී නාලිකාවකම පවා ප්‍රදර්ශනය වේ. මේ සෑම නිර්මාණයකම දැකගත හැකි පොදු සරල එකඟතාවක් ඇත. මේවා බොහෝ විට තාරුණ්‍යය ඉලක්ක අර ගනිමින් වීරත්වය ප්‍රේමය මතුකරවන නමුදු ඊට කිසිදු සමාජ දේශපාලන ගැඹුරක් ඇතුළත් වන්නේ නැත. ඒවා හරහා නිර්මාණය කරන්නේ හුදෙක් ෆැන්ටසිමය, සමාජ දේශපාලන සහ ආර්ථිකමය සන්දර්භයකි. මේ ටෙලි නාට්‍ය මුසලෝනිගේ කාලයේ නිෂ්පාදනය වූ white telephone films  හි ආභාසය යම් තරමකට උකහාගෙන ඇති බව යමෙකුට තර්ක කළ හැකිය.

කෙසේ වෙතත් මෙවැනි සන්දර්භයේ ටෙලි කතා බොහෝ ප්‍රමාණයකට විශාල තරුණ පිරිසක් ආකර්ශනය වී අවසන්ය. මෙගා ටෙලි නාට්‍යය සේම වර්තමාන ගීත කලාවද හරසුන් හා අරුත්සුන් ගීත නිර්මාණය කරමින් පෙරකී සරල වින්දන කලා නිර්මාණ ගණයට පත් වී ඇත. ඒ හරහා කලාව මතින් තාරුණයේ විතැන් වීම දැකගත හැකිය. මීට කාලයකට පෙර නිර්මාණ වූ බොහෝ ගීතවලට යම් වින්දනීය අවකාශයක් තිබුණි. ඒවා ආමන්ත්‍රණය කරන සමාජ දේශපාලනයක් තිබුණි. එහෙත් දැන් ඇත්තේ හුදු ශබ්දය පමණි.
මෙහිදී ලියුම්කරුට සරල වින්දන කලා නිර්මාණ පිළිබඳව කිසිදු ගැටලුවක් හෝ අමනාපයක් ඇත්තේ නැත. පඥා උද්පාදන කලා නිර්මාණ සේම සරල වින්දන කලා නිර්මාණ ද පැවතිය යුතුය. සරල වින්දන කලා නිර්මාණ නොමැතිව ප්‍රඥා උද්පාදන කලා නිර්මාණ පමණක් ඇත්නම් එයද නිර්මාණය කරන්නේ අවුල් සහගත පැටළිලි සහගත අතිශය සංකීර්ණ සමාජයකි. මෙහි ගැටලුව ඇත්තේ බහුතර තාරුණ්‍යය කලාව සරල වින්දන කලාව ලෙස හඳුනාගෙන ඊටම අනුගත වීමය, නැතිනම් වහල් වීමය.

සමාන්‍යය ලෙස විග්‍රහ කළද සරල වින්දන කලා නිර්මාණ වල ඇත්තේ මතුපිට ස්පර්ශයක් පමණි. ඒවාට ගැඹුරු හා වඩා ප්‍රයෝජනවත් කියැවීමක් ඇත්තේ නැත. ඒ නිසා ඒ නිර්මාණ රස විඳීමෙන් රස විඳින්නාගේ ප්‍රඥාව අවදි වන්නේ නැත. ඔහුට ඒ මොහොතේ හෝ යම් වින්දනයක් පමණක් ලැබිය හැකිය. උදාහරණයක් ලෙස වර්තමානයේ රූපවාහිනී නාලිකාවල රූප රචනා ලෙස ප්‍රදර්ශනය වන ‘නව පරපුරේ’ විරහ ගීත ගත හැකිය.

‘නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ. මං කරපු වරද ආදරේද නුඹට පණ වගේ. ඇස් වැහුණු දාට සුභ පතන්න සුභ ගමන් කියා. සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා.’
මෙහි ප්‍රේමය අහිමි වූ පෙම්වතකු සිය පෙම්වතියට හඩා වැලපෙමින් ලියන පෙම් හසුනකින් උපුටා ගත් විලාපයක් බඳුය. මෙහි ඒ විලාපය පරයා ගිය ගීතමය රසයක් ඇත්තේ නැත. මෙය රස විඳින්නාට විඳිය හැකි විරහ රසයක් ඇත්ද? පද වල ලියැවී ඇති හුදු පෞද්ගලික ශෝකය පොදු රසය හා සවිඤ්ඥානික වී නැත. එහෙත් මෙය විශාල ලෙස ප්‍රසිද්ධියේ නිතර ශ්‍රවණය වේ. මෙය එක් ගීතයක් පමණි. මෙවැනි ගීත බොහෝ ප්‍රමාණයක් ඇත. මෙවැනි ගීත අසන්නකු ප්‍රේමයෙන් පැරදුණු විට ඔහුට සිදු වන්නේ සිය දිවි නසා ගැනීමට මිස අන්කවරක්ද?

එහෙත්, ‘මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව. නන්නාඳුනනා ඔබගේ අත් අකුරෙන් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනව.’ පෞද්ගලික විරහ වේදනාව පොදු විරහ රසයක් වන්නේ එසේය. මෙය අසන ප්‍රේමයෙන් පැරදුණු අයකුට තමාගේ ප්‍රේම විරහව රසයක් බවට පෙරළා දෙන්නේ එසේය.

සරල වින්දනය තුළ ඇත්තේ ඉතාම කෙටි බවකි. ඩිජිටල් ලෝකය ඉතාම කෙටිය. ට්විටර් ගිණුමක පළ කළ හැකි වන්නේ එක් වරකට වචන 140 පමණය. මුහුණු පොතේ විශාල වචන ප්‍රමාණයක් පළ කළ හැකි වුවද බොහෝ දෙනකු කියවන්නේ හකුලුවා ලීමට පෙර ඇති වචන 50 – 60 පමණ වන ප්‍රමාණයයි. එසේම යූටියුබ් වැනි සමාජ ජාල වීඩියෝ මාධ්‍යය ද විනාඩි කිහිපයකට සීමා වී ඇත. වර්තමානයේ බොහෝ වීඩියෝ පට මුල් තත්පර හය හත ඇතුළත තව දුරටත් නරඹනවාද නැද්ද යන්න තීරණය කරන තත්ත්වයකට ලෝකය කෙටි වෙමින් පවතී. මෙසේ කෙටි වෙමින් පවතින අතරතුර ඩිජිටල් ලෝකයේ ජීවත් වන තරුණ ප්‍රජාවද මේ කෙටි වීමට ලඝු වී ඇත. ඔවුහු තමගේ ලඝු වීම තුළ තමගේ වින්දනයද ලඝු කර ගනිති. ප්‍රඥා උද්පාදන කලාව රස විඳීමට ද එය ගෝචර කර ගැනීමටද දිගුවක් අවැසිය. ඒ දිගුවට විඳින්නාද දිගු වීමට අවැසිය. ඒ හේතුව නිසාම ඩිජිටල් ලෝකය තුළ සිට තරුණ ප්‍රජාව ඒ කෙටි වීම් හරහා ප්‍රඥා උද්පාදන වින්දනයෙන් සරල වින්දනය කරා විතැන් වී ඇත.

ගැඹුරක් නැති වර්තමාන කලාව හරහා එය විඳින්නාට හිමිවන සමාජ දේශපාලන කියැවීමක් නැත. එය ඔහුට සිය ඉදිරි ගමන ආලෝකමත් කිරීමට නොව අඳුරු කිරීමට හේතු වන අතරම කියැවීමක් නැති සමාජ ජීවියකු බිහි කරවයි. එසේ අවිඤ්ඥානික තරුණයා හරහා සමාජ ප්‍රගමනයක් ද බලාපොරොත්තු විය නොහැකි වනවා එම සංදර්භය තුළ අනාගත ලෝකය පිළිබඳව යහපත් චිත්‍රයක් ද මවාගත හැකි වන්නේ නැත.
කෙසේ වෙතත් ප්‍රඥා උද්පාදන වින්දනය සේම සරල වින්දනයද අවැසිය. වැදගත් වන්නේ එකී ද්විත්වය සවිඤ්ඤානිකව අවබෝධ කරගනිමින් කලාව විඳීමය.