ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මොකටද?

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ධම්මික මුතුගල මහතා වැඩ භාරගත් බවට පළවූ ප්‍රවෘත්ති ඇස ගැටුණේ නොබෝදාය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු වැඩ භාරගන්නාමුත් වැඩ කරන අයුරක් නම් පසුගිය කාලය පුරාම දක්නට නොලැබුණි. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමති ලෙස සිටින කල රංජනී ජයකොඩි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කළ අතර මෑතකදී අවැඩට හෝ සක්‍රීය වූයේ ඇය පමණි. ඉන්පසු රුවන් චන්ද්‍ර, සමන් බණ්ඩාර සහ අවසානයේ සිටි බුවනෙක දක්වා නම් කිහිපයම වැඩකට ඇති අධ්‍යක්ෂ ජනරාල්ලාද යන්න ඔවුන්ම ඔවුන්ගෙන් විමසිය යුතුය.
අප දන්නා ක්‍රීඩා ඉතිහාසය තුළ ක්‍රීඩා අමාත්‍යවරයා ඇරුණු කොට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ප්‍රබලතම තනතුර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරය. එස්.එල්.එස්. ද සිරිසූරිය යුගය ගැන අත්දැකීම් නැතිමුත් ඔහු ඉතා ඉහළින් තම රාජකාරිය ඉටුකර ඇති බව අසා ඇත. එකල ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ඔහු ඉදිරියේ පූස් පැටව් මෙන් ක්‍රියා කළ බව අසා ඇත.

අපගේ මාධ්‍ය භාවිතාව තුළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් භූමිකාවක් ලෙස වැඩදායිව දැක්කේ මිල්ටන් අමරසිංහ චරිතයය. ඔහු හරි හරියට වැඩ කළා මතකය. මොනතරම් අඩුපාඩු තිබුණද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් භූමිකාවට ගාම්භීරත්වයක් වටිනාකමක් ඔහු එක් කළා ස්ථිරය.

එහෙත් ඉන්පසු ආ ගිය හැම නිකම්ම නිකම් නමට චරිත විය. ඇමතිවරුන්ගේ රූකඩ විය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරය මේ තරම් මෑත කාලයේදී හෑල්ලු වූයේ ඇයි? ක්‍රීඩා ඇමති ඇරුණු කොට ප්‍රබලම තනතුර ක්‍රීඩා සංගම් තඹේකට මායිම් නොකරන තැනට තල්ලු වූයේ ඇයි? අප ඒ ගැන සිතිය යුතුමය. පසුගිය කාලය දෙස බලද්දී ක්‍රීඩා ඇමති එනවිට ඔහුට ගැළපෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කෙනකුද රැගෙන එන තැනට පත්විය. ක්‍රීඩාව ගැන මෙසේ මළදානයක් නොදැන එන ඇමති ඔහුටත් වඩා අන්ත ඔහුගේ එහෙයියෙක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ගෙන ඒම හරහා ක්‍රීඩාව ගැන කවර කතාද? මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිව සිටියදී රංජනී ජයකොඩිව ගෙනාවේ තම ගමේ හිතවත්කමටය. අවසානයේ මේ දෙපළ එකතු වී කළේ හවුලේ ක්‍රීඩාව කාබාසිනියා කිරීමය. ඉන්පසු ආ ඇමතිවරුන්ට සරිලන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරය වෙනස් විය. මේ වත්මන් ධම්මික මුතුගල යනු අපට වටහාගත හැක්කේ ෆයිසර් මුස්තාපාගේ තේරීම බවය.

පසුගිය කාලය තුළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා සංගම්වලට උඩින් සිටිනු වෙනුවට ඔහු කළේ බොහෝ ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සමග එක්ව රට සවාරි යෑම, මුදල් යටිමඩි ගසා ගැනීමය. මේ නිසා ඇතැම් සංගම්වලට එරෙහිව නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීය. සාධාරණ පරීක්ෂණ සිදු නොවීය. මේ නිසා ක්‍රීඩා සංගම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ව ගණන් නොගන්නා තැනට පත්විය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තම වෘත්තීය ගැන මනා අවබෝධයක් ඇත්තෙක් විය යුතුය. මන්ද ක්‍රීඩාව පරිපාලනය කිරීම ඔහුගේ රාජකාරිය වන බැවිනි. ක්‍රීඩා පරිපාලනය කිරීමට ඔහු මනාව දතයුත්තේ ක්‍රීඩා පනතය. ක්‍රීඩා පනතට අනුව හරියාකාරව ක්‍රියා කළේ නම් පසුගිය කාලයේ ක්‍රීඩාව අරබයා ඇතිවූ ප්‍රශ්න ගණනාවක්ම අහවරය. ඒ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩාව ගැනත් අවබෝධයක් ඇත්තෙක් නම් එය ක්‍රීඩා සංවර්ධනයට ඉතා වටී. එහෙත් ක්‍රීඩාව කෙසේ වෙතත් පසුගිය කාලයේ ආ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු ක්‍රීඩා පනත අමතකම කොට ක්‍රියා කළේය. ක්‍රීඩා පනතේ සම්පූර්ණ බලය පාවිච්චි කිරීමේ බලය ඇත්තේ ක්‍රීඩා ඇමතිට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ටය. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු ක්‍රියා කළේ අන්ධයෝ ගාණටය. ඒ අය එවැනි රූකඩ බවට පත්වූයේද නිකම් දේශපාලන හෙංචයියන් නිසාය. ක්‍රීඩා ඇමති කියන දේ කරන රූකඩ නිසාය. ඔවුන්ට නිවැරදි තීරණයක් ගතහැකි දැනුමක් නොවීය. මුල් කාලවලදී මේ තනතුරු සඳහා පත් කොට ඇත්තේ පරිපාලන සේවයේ දක්ෂයන්ය. එහෙත් ක්‍රීඩා ඇමතිවරු කළේ තමන්ට හිතවත් නිලධාරියකු එම තනතුරට ගෙන ඒමය.

එය කොතෙක් නරක තැනට තල්ලුවීදයත් පසුව ආ ඇමතිවරු සෙසු තනතුරුවලටද තම හිතවතුන් ඇතුළත් කරන තැනට තල්ලු විය. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිවරයා ලෙස එලෙස ක්‍රියා කළ අයෙක් බව පැවසේ. අවසානයේ අදටත් සිටිනුයේ ඔහුගේ ගණකාධිකාරී කෙනකු බව පැවසේ. එමෙන්ම තනතුරු ගණනාවකම ඇත්තේ ඔහු ගෙනා පිරිස් වීම නිසා අදටත් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක වන්නේ ඔහුගේ අණට යැයි පැවසේ. මේ තත්ත්වයන් තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ ඇමති මාරු වුවද ගමන් කරනුයේ පරණ තාලයටය. මෙයට විකල්පය ලෙස ඒ අය ඉවත් කර ෆයිසර්ගේ පිරිස් දාගැනීම හරියනු ඇත්ද?
ඒ අයුරින් බලන කල ක්‍රීඩාව පැත්තෙන් ගනු ලබන බොහෝ තීරණ පය බරවාට පිටිකර බෙහෙත් බැඳිල්ලක් වැනිය.

නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වන්නේ මෙවන් වටපිටාවකය. ඔහු ක්‍රීඩා පනත මෙන්ම සමස්ත ක්‍රීඩා ගැනද අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් මැනවිය. පනත ගැන අවබෝධය උපරිම ක්‍රීඩාව ගැන අවබෝධය අඩුවන විට ඒ හිස්තැනට රිංගනුයේ වික්‍රමසිංහ වැනි තක්කඩිය. පසුගිය කාලය පුරා ක්‍රීඩාව කා දමන කුරුමිණියන් වූයේ සජිත් සහ වික්‍රමසිංහය. මේ අය ක්‍රීඩාවේ නාමයෙන් උපරිම වැජඹෙන ඉහඳ පණුවන්ය. මොවුන් පෝෂණය වන්නේ ක්‍රීඩාව කාගෙනමය. මේ තත්ත්වයන් තුළ මෑතකදී කවුරු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වුවද ඔහු රූකඩ වී මේ අය ඉදිරියට එන අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ද සංගමයකට හේත්තු වී රට යන, සල්ලි ගහන යටි කූට්ටු වැඩ කරගෙන සිටින තැනට තල්ලු වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය ඇත්තේ ක්‍රීඩාවේ යහපතටය. එහි ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩාවේ භාරකාරයෝය. ඔවුන් එම භාරකාරත්වය මනාව ඉටු නොකරන තාක් ක්‍රීඩාව වළපල්ලේය. ක්‍රීඩා පනතක් ඇත්තේ ඔවුන්ට පහසුවටය. එහෙත් එන අය කරනුයේ පනත අමතක කොට ඒ අයට රිසි සේ ක්‍රියා කිරීමය. ඒ වැඩ නිසා ක්‍රීඩාව විනාශ වූවා මිසක වෙන දෙයක් නොවීය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වැඩ භාරගත්තාට කම් නැත. විමසිලිමත් වූයේ වැඩ කරනවාද කියාය. පසුගිය කාලයේ සිටි අය සිටියාදවත් කාටවත් මතක නැත. ඒ නිසා මුතුගල මුතුද තිරිවානද කියා ඉදිරියේදී බැලිය හැකිය.