ජනපති මැරුණොත් ව්‍යවස්ථානුකූල ජනපති මහින්ද

ජ්‍යෙෂ්ඨ නීතිවේදී – එල්මෝ පෙරේරා

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

අගමැති ධුරය කිසිසේත්ම නැවත රනිල් වික්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ දැඩිව ප්‍රකාශ කොට තිබෙනවා. එවැනි ස්ථාවරයක් ගැනීමට සහ එසේ කටයුතු කිරීමට ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් කිසියම් ආකාරයකින් හෝ බලයක් පැවරී තිබේද?

අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතවම පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා සිතන මන්ත්‍රීවරයකු අගමැති ලෙස පත් කරන්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එහෙත් එලෙස පත්කරන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබෙන බව තහවුරු කිරීමක් පිළිබඳ ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය නැති මන්ත්‍රී කෙනෙක් වුවත් ‘බහුතර විශ්වාසය ඇතැයි සිතා’ අගමැති ධුරයට පත් කරන්න. ඇත්තවශයෙන්ම එවැනි අවස්ථාවකදි ජනාධිපතිවරයා කුමක් සිතා ඒ පත් කිරීම කරනවාද කියා කියන්න ඔහු හැර වෙනත් කිසිවෙක්ම දන්නේ නෑ. මොකද ඔහු සිතන දේ දන්නේ ඔහුම පමණක් නිසා. ඒ නිසා ඔහුට පුළුවන් තමන් සිතන දේට වෙනස් යමක් වුවත් සිතන දේ යැයි කියා ප්‍රකාශ කරන්න. එතකොට වෙනත් කාටවත් ඒක තාර්කික පදනමකින් ප්‍රශ්න කරන්න පුළුවන්කමක් නෑ. ඒක ව්‍යවස්ථාවේ තිබෙන එක දුර්වල ස්ථානයක්. 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කෙරුණේත්, පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කෙරුණේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති ඒ බලය අනුවයි. අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ ආකාරයෙන් හෝ සඳහන්ව තිබුණත් අගමැතිවරයකු පත් නොකර සිටීමේ බලයක් පිළිබඳ යම් සඳහනක් ව්‍යවස්ථාවේ ඇතුළත්ව නෑ. ව්‍යවස්ථාව තුළ ඒ ගැන සඳහනක් නෑ කියන්නේ එවැනි බලයක් නෑ. ජනාධිපති ධුරය සතු බලය එය දරන පුද්ගලයාට පැවරෙන්නේ ව්‍යවස්ථාවෙන් පමණයි. බලය පැවරෙන වෙනත් ආකාරයන් ඇත්තේත් නැහැ.

ව්‍යවස්ථාවෙන් පැවරී නැතත් ජනාධිපතිවරයා එවැනි බලයක් ආරෝපණය කරගෙන කටයුතු කරන බව ඔහුගේ ප්‍රකාශවලින් මෙන්ම ක්‍රියාවෙන්ද පැහැදිලි වෙනවා. එවැනි අවස්ථාවක ඒ ක්‍රියාවන් අභියෝගයට ලක්කළ හැකි ආකාරයක් තිබේද?

ව්‍යවස්ථාවෙන් පැවරී නැති බලයක් ආරෝපණය කරගෙන ජනාධිපතිවරයා කටයුතු කරනවා නම් එවැනි අවස්ථාවල ඒවා අභියෝගයට ලක්කළ හැකි අවස්ථා සීමිතයි. තියන ඒවත් කොතරම් දුරට සාර්ථක කරගත හැකිද කියන එකත් ගැටලුවක්. ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කරලා ඔහුගේ ධුරය අහිමි කළ හැකියි. නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත බොහෝ සංකීර්ණ සහ කල්ගත වෙන එකක්. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණ වෙලාවේ අපි දැක්කා දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම කියන එක කොතරම් දුෂ්කර එකක්ද කියන එක. මුලින්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ඕනේ දෝෂාභියෝගයක් ගේන්න. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය බැලුවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා තුනෙන් දෙකක් කැමැත්ත ගැනීමට ඔහුට විරුද්ධ පාර්ශ්වයට හැකියාවක් තියෙයි කියා හිතන්න බෑ. ජනාධිපතිවරයා පත් කරන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට අභියෝග කරන්නත් පුළුවන්. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේදි විශ්වාසභංග යෝජනා සම්මත කිරීමෙන් සිදුවුණේ ඒක. ඒත් එතනදිත් මතුවෙන ප්‍රායෝගික ගැටලු දැන් අපිට පේනවා. විශ්වාසභංග දෙකක් සම්මත කරලාත් අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය තවදුරටත් ආණ්ඩුවක් කරගෙන යනවා. ඒ එක පැත්තක්. එහෙම නොවී ඒ පිරිස ධුරවලින් ඉවත් වුණා කියමුකෝ. ඊළඟට අගමැතිවරයෙකු පත් කරන්නේත් ජනාධිපතිවරයාමනේ. ඔහුට නැවතත් අවස්ථාව තියනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති කෙනෙක් අගමැති ධුරයට පත් කරන්න. එතකොට පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා ඒ අගමැතිවරයාට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරන්න. එතකොට ඒ පත් කිරීමත් අවලංගු වෙනවා. ඊළඟ අගමැති පත් කිරීමත් කරන්නේ ජනාධිපති. තුන්වැනියට හතරවැනියට ආදී වශයෙන් මේ විදිහට ජනාධිපතිට පුළුවන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ බහුතරය නැති අයවම අගමැති ධුරයට පත් කරන්න. ඒ පත්කරන වාරයක් පාසා විශ්වාසභංග යෝජනා සම්මත කරමින් ඒවා අවලංගු කරන්න පාර්ලිමේන්තුවට සිදුවෙනවා. ගැටළුව වෙන්නේ මේ ක්‍රියාදාමය නතර වෙන්නේ කොතනින්ද? රනිල් සහ ෆොන්සේකා දෙදෙනා හැර අනෙක් සියලු මන්ත්‍රීවරුන් අගමැති ධුරයට පත් කිරීමෙන් පසුවද? ඊට පස්සේ හරි ජනාධිපතිවරයාට සිදුවෙනවානේ ඒ දෙදෙනාගෙන් කෙනෙක් පත් තරන්න. එතකොට මොකද කරන්නේ? මේ විදිහේ ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන්ට අභියෝග කිරීමට පුළුවන්කම තිබුණත් ඒවා ජයගැනීමට ඇති හැකියාව ගැන මෙතනදි බරපතළ සීමාවන් තිබෙන බව මේවායින් පැහැදිලි වෙනවා.

දැනට ආණ්ඩු බලය දරනවා යැයි කියන කණ්ඩායම කියනවා විශ්වාසභංග යෝජනා සම්මත කළ ආකාරය පිළිගන්න බැරි නිසා ඔවුන් ඉවත් වෙන්නේ නෑ කියා. නිසි විදිහට විශ්වාසභංග යෝජනාවක් සම්මත කළොත් එය පිළිගන්නවා කියා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගන්නා ආකාරයන් කිහිපයක්ම තිබෙනවා. හඬ අනුව සම්මත කරගැනීම කියන්නේත් ඒ අතරින් එක් ආකාරයක්. මීට පෙරත් ඒ විදිහට යෝජනා සම්මත කරගත්ත අවස්ථා තිබෙනවා. ඒ කිසිම අවස්ථාවක හඬ අනුව සම්මත කිරීම පිළිගත නොහැකි ක්‍රමයක් කියන කාරණය මතු වෙලා නෑ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත යුත්තේ නමින් ඡන්ද විමසීමක් මගින්මයි කියා ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල හෝ සඳහනකුත් නෑ. එය අවස්ථානුකූලව කථානායකවරයාට තීරණය කළ හැකි දෙයක්. ඒ අනුව බැලුවාම පෙනෙන්නේ පහුගිය අවස්ථා දෙකේදීම ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනා සම්මත කරගත් ආකාරයේ වරදක් නැති බව. ඒත් මේ අවස්ථාවේදී යම් පිරිසක් කියනවා නම් සම්මත කරගත් ආකාරය වැරදියි කියලා ඒ අය කළ යුත්තේ ඒ ගැන අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම. එතකොට අධිකරණය කරුණු විමසීමක් කරලා විශ්වාසභංග සම්මත කිරීම සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් දෙයි. ඒක පිළිගෙන දෙපාර්ශ්වයටම කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතිව පාර්ශ්වකරුවන් විදිහට ඔවුන්ම විනිශ්චයක් දීලා පාර්ලිමේන්තුවට ඒ අනුව කටයුතු කරන්න කියා කියන්න ඔවුන්ට බෑ.

අගමැති මාරුවෙන් පසු ඇතිවූ දේශපාලන අර්බුද සියල්ල විසඳාගැනීමේ අවසන් මාර්ගය ලෙස සියලු පාර්ශ්ව අධිකරණය වෙත යොමුවී සිටිනවා. එය කොතෙක් දුරට නිවැරදි සහ සුදුසු යැයි ඔබ සිතනවාද?
ඒ හැර දැන් මේ අර්බුදය විසඳා ගැනීමට වෙනත් මාර්ගයක් පෙනෙන්නට නෑනේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ අධිකරණයටත් විශේෂ කාර්යභාරයක් පැවරෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ආයතන තුනෙන් එකක් අධිකරණය. අනෙක් ප්‍රධාන ආයතන දෙක වන විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හටගෙන තිබෙන අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන ආකාරයෙන් එය විසඳාදීමට අධිකරණයට එයට මැදිහත්වීමේ අවස්ථාව මේ නඩු පැවරීම් තුළින් උදා වෙලා තියෙනවා. ඒ නිසා ඒක හොඳයි. සුදුසුයි.

අධිකරණයට අර්ථ නිරූපණ සහ තීන්දු දීමේ බලය තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය නෑ. රාජපක්ෂ පාලන කාලයේ ඉන්ධන මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව විධායකය කටයුතු නොකළ අවස්ථාව උදාහරණයක්. මේ අවස්ථාවේ අධිකරණයෙන් ලැබෙන තීන්දු සම්බන්ධයෙනුත් විධායකය එලෙස කටයුතු කළහොත් මොකද වෙන්නේ?

මේ දේශපාලන අර්බුදය මිනිස් ඝාතන සහ ලේ හැළීම්වලින් තොරව අවසන් කර ගැනීමට ලැබෙන අවසාන අවස්ථාව අධිකරණ තීන්දු පිළිඅරගෙන සියලු පාර්ශ්ව ඒ අනුව කටයුතු කිරීමයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ආකාරය ව්‍යවස්ථාවට එකඟද නැත්ද කියන එක සම්බන්ධයෙන් හත්වැනිදා වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පවත්වාගෙන යන ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීරණයත් තව දින කීපයකින් ලැබේවි. රට මහා විනාශයකින් මුදා ගන්න නම් දැන් කරන්න තියන එකම දේ ඒ අධිකරණ තීන්දු අනුව කටයුතු කිරීමයි. එහෙම කටයුතු නොකර ඔබ කියන ආකාරයෙන් තමන්ගේ මතයම ක්‍රියාත්මක කරමින් ඉඳීමේ හැකියාවකුත් ජනාධිපතිවරයාට තිබෙනවා. එහෙම කළා කියා ඊට එරෙහිව ගත හැකි වෙනත් නෛතික ක්‍රියාමාර්ගයක් නෑ. එහෙම වුණොත් මේ අර්බුදය වඩා නරක සහ භයානක තැනකට ගමන් කරයි. මිනිස්සු පාරට බහින්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒවා කොතනින් කෙළවර වෙයිද කියා හිතාගන්නත් බෑ. අධිකරණ තීන්දුවලටත් ජනාධිපතිවරයා ඇහුම් කන් නොදෙනවා නම් මිනිස්සුන්ට පාරට බහින එක හැර ගන්න වෙනත් ක්‍රියාමාර්ගයක් ඇත්තෙත් නෑ. විදේශ මැදිහත්වීම් මගින් ආර්ථික සම්බාධක පැනවීම වගේ ක්‍රියාමාර්ග ගැන හිතා බලන්න පුළුවන් වුවත් ඒ මගින් පවතින අර්බුදයට අමතරව තවත් අර්බුද ගණනාවක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.

අධිකරණ තීන්දුවලට සියලු පාර්ශ්ව හිස නැමීමෙන් මේ අර්බුදය කිසියම් සුබවාදී අවසානයක් වෙත එළඹුණොත් මේ දක්වා සිදුවූ දේවලින් රාජ්‍ය පාලනය තුළ ඇතිකෙරුණු විකෘතීන් පසුව හෝ නැවත ප්‍රකෘති කරගත හැකිද? උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ අගමැති ධුරය දැරීම නීති විරෝධියි කියා අධිකරණය තීන්දු කළොත් මේ වන විට ඔහු අගමැතිවරයා වශයෙන් ක්‍රියාත්මක කරමින් සිටින කටයුතු සහ ඔහුගේ නියෝග අනුව රාජ්‍ය නිලධාරීන් කරමින් සිටින කටයුතු සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය මොකක්ද?

ඒක සංකීර්ණ තත්ත්වයක්. මේ අවස්ථාවේ ඔහු අගමැතිවරයා වශයෙන් සහ ඔහුගේ ඇමැති මණ්ඩලය ආණ්ඩුව වශයෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවෙනවා. හේතුව අගමැතිවරයාගේ සහ ඇමති මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය විමසා ඒ අනුව කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට බලයක් නැති නිසා. අධිකරණ තීන්දුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල බවට ප්‍රකාශ වුණොත් ඔවුන් මේ දක්වා කළ කාර්යයන් පිළිබඳව හෝ ඔවුන්ගේ නියෝග අනුව රාජ්‍ය නිලධාරීන් කළ කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන්නේ නෑ. ඒත් මහින්ද සහ ඔහුගේ ආණ්ඩුව බල රහිත බව අධිකරණය තීන්දු කළහොත් ඔවුන් මේ දක්වා කළ සියලු කටයුතුත් බල රහිත වෙනවා. නීතිය ඉදිරියේ ඒ සියල්ල බල රහිතයි. ඒ අනුව වෙනස් කළ හැකි යම් යම් දේවල් තිබිය හැකි වුවත් වෙනස් කළ නොහැකි දේවලුත් තිබිය හැකියි. ඒවා අනීතික වුවත් වෙනස් කළ නොහැකි නිසා පිළිගන්න වෙනවා. පිළිගත්තත් නැතත් ඒවා ඒ ලෙසම පැවතීම සිදුවෙනවා. ඒවා වෙනස් කරන්න ක්‍රමයක් නෑ.

ජනවාරි 8 වෙනසට මුල් වූ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සෝභිත හිමියන් සමඟ එක්ව වැඩකළ ප්‍රමුඛයෙක් විදිහට පොදු අපේක්ෂකයාගේ වත්මන් හැසිරීම ඔබ දකින්නේ කෙසේද?

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා විදිහට අපි තෝරාගත්තේ වෙනත් කෙනෙක් නැතිකමට. මාස හයක් තුළ නිශ්චිත වැඩ කොටස අවසන් කරලා ධුරයෙන් ඉවත්වීමට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාමුදුරුවන්ට ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම තමයි අවසන් කාලයේ ප්‍රබලව මතුවුණේ. හාමුදුරුවෝ ඒකට කැමති වුණේ නෑ. ඊට පස්සේ අපි යෝජනා කළේ කරු ජයසූරියව. ඒකට රනිල් කැමැති වුණේ නෑ. රනිල් ඉදිරිපත් කරනවාට කවුරුවත්ම කැමති වුණේ නෑ. ඔය විදිහට කිසිම කෙනෙක් නැති නිසා තමයි අවසානයේ මෙයාව ඉදිරිපත් කළේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පස්සේ ඔහු කළ බරපතළම අඥාන ක්‍රියාව තමයි ඔක්තෝබර් 26 වැනිදා කළේ. ඔහු කළේ මොකක්ද කියා අඩුතරමේ ඔහුවත් දන්නේ නැති බවයි පෙනෙන්නේ. බොහොම හදිසියෙන් මහින්ද රාජපක්ෂ සමඟ සමීප සම්බන්ධයක් ඇතිවෙලා ඔහුව අගමැති ධුරයට පත් කරනවා. ඒක යට අපට නොපෙනෙන බොහෝ ගනුදෙනු තිබෙනවා විය හැකියි. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ඔහුට ලැබෙනවා වෙන්නත් පුළුවන්. එසේ වුවත් නොවුවත් මේ වෙලාවේ ජනාධිපතිවරයා හදිසියේ මරණයට පත්වුණොත් ජනාධිපති ධුරයට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ. ඔහුට ගැටලුවකින් තොරව ඉදිරි අවුරුද්දකට වැඩි කාලයක් රටේ ජනාධිපති වෙන්න පුළුවන් ව්‍යවස්ථානුකූලවම. මොකද එකම පුද්ගලයකුට තුන්වතාවක් ජනාධිපති ධුරය දැරීමට නොහැකියි කියන කාරණයක් එතනදි අදාළ වෙන්නේ නෑ. එහෙම එකක් ව්‍යවස්ථාවේ නෑ. ඒක අදාළ වෙන්නේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකුගේ සුදුසුකම්වලට. අපි හිතුවොත් මහින්ද රාජපක්ෂගේ සහායෙන් දෙවැනි වරටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට තරග කරලා කුමන ආකාරයෙන් හෝ ජයගන්නවා කියලා. එතකොටත් මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා නම් ජනාධිපති සිරිසේනගේ දෙවැනි ධුර කාලයේ ආරම්භයේ ඔහුගේ හදිසි මරණයක් සිදුවුවහොත් ඒ ධුර කාලයේ ඉතිරි වසර ගණනාවක් ව්‍යවස්ථානුකූලවම ජනාධිපති ධුරය මහින්ද රාජපක්ෂට හිමිවෙනවා. මේක අතිශය භයානක තත්ත්වයක්. මේ වෙනකොට අර්බුදය ගමන් කරමින් තිබෙන දිසාව වෙනස් කරන්නට අර්බුදය නිර්මාණය කළ අයට පවා හැකියාවක් නෑ. දැන් සිදුවීම් පෙළගැසෙමින් තිබෙන්නේ ඔවුන්ගේ පාලනයෙන්ද බැහැරවයි.