වෙල්ගම විගඩම

රසික ගුණවර්ධන

කුමාර වෙල්ගමගේ දේශපාලන නාඩගම දෙස මතු පිටින් බලා සිටින්නකුට වෙල්ගම මැරී ඉපදුනාදැයි සිතෙන්නට පුලුවන. එහෙත් වෙල්ගම මැරී ඉපදී හෝ අමුතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වී නැත. ඔහු තවමත් සිටින්නේ මෙතෙක් කලක් ඔහු ළැග සිටි මඩ ගොහොරුවේය. වෙල්ගම දැන් සිටින්නේ මඬේ එක කකුලකින් සිටගෙනය. එක් කකුලකින් මඬේ සිටගෙන සිටියා කියා ඔහු මඬේ නොයිඳිනවා යැයි වන්නේ නැත. සිදු වන්නේ එක් කකුලක පමණක් මඩ නොගෑවීමය. වෙල්ගම කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ආණ්ඩුව ලබා දීම ජනාධිපතිවරයාගේ වගකීම බවයි. එනම් ඔහු නොකියා කියන්නේ එජාපය වෙත නැවත ආණ්ඩු බලය ලබා දිය යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදීවද ව්‍යවස්ථානුකූලවද වඩා නිවැරදිම කාර්යය එය වන අතර වෙල්ගමගේ කතාව එහිදී නිවැරදිය.

පොහොට්ටුව සහ යැපීම

එහෙත් අප අමතක නොකළ යුතු යමක් ඇත. එනම් වෙල්ගම තවමත් සිටගෙන සිටින්නේ පොහොට්ටුවේ බවයි. ඔහු තවමත් කතා කරන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ය. ඔහුගේ අවිඥ්ඥානික දේශපාලන ක්‍රියා කරන්නේ පොහොට්ටුව තුළය. සවිඥ්ඥානිකව ඔහු මාධ්‍යට කතා බහ කරන විට කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතිවී ඇති ගැටුම්කාරී තත්ත්වයට තමා අකමැති බවත්, ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළ නිවැරදි නොවන බවත්ය. එහෙත් ඔහුගේ අවිඥ්ඥානය ක්‍රියා කරන්නේ පොහොට්ටුවේ දෘෂ්ටිවාදය පෝෂණය කිරීම උදෙසාය. ඔහු යැපෙන්නේ පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගසන, අශීලාචාර ලෙස හැසිරෙන පොහොට්ටුවේ දේශපාලන ධාරාවේය. එ හෙයින් ඔහුගේ සැඟව ඇති දේශපාලන සත්වයා ගඳ ගසන කුණු වූ සත්වයෙකි. ඊට පැහැදිලි හා ප්‍රජාතන්ත්‍රීය හැසිරීමක් ඇත්තේ නැත.

රාවය පුවත්පතටම ලියුම්කරු සමඟ වෙල්ගම සිදු කළ සංවාදයකදී ඔහු පැවසූයේ තමා පොහොට්ටුවේ සාමාජිකයකු වන බවත් ඉදිරියටත් එය එසේම වන බවත්ය. ඒ අනුව ඔහු හරහා අවිඥ්ඥානිකව පොලා පනිමින් තිබූ ඔහුගේ සත්‍ය දෘෂ්ටිවාදය ඔහු තවදුරටත් සවිඥ්ඥානිකවද පෝෂණය කර පවත්වා ගැනීමේ උවමනාවකින් පෙළෙන බව පැහැදිලි වේ. කුමක් හෝ හේතුවකට වෙල්ගම විරුද්ධ පසෙකට නැමෙන්නට උත්සහ කළා වුවද ඔහුගේ මූලයන් සැබෑවටම තවමත් ඇත්තේ රාජපක්ෂලාගේ අශීලාචාර දේශපාලන ගුබ්බෑයමේය.

වෙල්ගමට ඇති ගැටලුව නම් තමාව පෝෂණය වන සහ ආරක්ෂා වන මහින්දගේ කණ්ඩායමෙන් ගැලවී යාමට ඔහුට නොහැකි වීමයි. එය තවදුරටත් පැහැදිලි වන්නේ වෙල්ගම තුළින්මය. වෙල්ගම මේ විකාරරූපී දේශපාලන අවුල් සහගත බව පිළිබඳව සියලු චෝදනා පටවන්නේ ජනාධිපතිවරයා වෙතය. ඔහු මහින්ද සාධකය අභිමුව හීලෑ කුලෑටි බළලෙකි. මේ දේශපාලන වියවුල් සහගත බව තවදුරටත් පවත්වාගෙන යෑම උදෙසා මහින්දගේ කාර්යභාරය ඔහුගේ විවේචනාත්මක දෘෂ්ටියට ගෝචර වී නැත. සරලවම ඔහුට මහින්ද වැරදී යන්න කිව නොහැක. ඒ ඔහුගේ පෙරකී පොහොට්ටුව හරහා සිදු වන යැපුම් මානසිකත්වය සහ ලබන්නා වූ රැකවරණය නිසාය.

එසේම වෙල්ගමගේ මේ හැසිරීම් රටාව දෙස බලන ඕනෑම අයකුට හැඟෙන පරිදි වෙල්ගමගේ පිල් මාරුවක්ද සිදුවිය හැකිය. එසේ වුවහොත් එය එජාපයට වීමේ සම්භාවිතාව ඉහළය. එහෙත් වෙල්ගම එජාපය සමඟ එකතු වුවහොත් පොහොට්ටුව හරහා ඔහු ලබා ගන්නා වූ පෝෂණය ඔහුට එජාපයෙන් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඒ එජාපයේ යැපුම් දේශපාලනය මේ වන විට අවලංගු වී ඇති බැවිනි. එය එසේ වී ඇත්තේ එජාපය යහපත් මහත්මා දේශපාලනයකට පිවිස ඇති නිසා නොව එජාපයට යැපීමට ඔවුනට පොළොවේ පැලවූ ඡන්ද පදනමක් මේ වන විට නොමැති බැවිනි. මේ පදනම පොහොට්ටුවට ලැබෙන්නේ මහින්ද හරහා වන අතර එජාපයට එය දිනෙන් දින රනිල් හරහා අහිමි වී යයි. එජාපය තුළින් රනිල් පරයා සජිත් මතුකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේද ඒ නිසාය. තවදුරටත් ඔවුන් පක්ෂයක් ලෙස තමන්ට අවශ්‍යය කරන යැපීම නැවත ඇතිකර ගත යුතුය. මෛත්‍රීට වෙල්ගම පහර දෙන්නේ මේ යැපීමේ සාධකය මෛත්‍රීගේ අහලකවත් නැති නිසාය.

අනාථ බව

මේ කාරණා හරහා හෙළි වන්නේ වෙල්ගමගේ දේශපාලන අනාත බවයි. වෙල්ගමට රැවුල සහ කැඳ යන දෙකම උවමනා කර ඇත. එහෙත් මෙහිදී රැවුල සහ කැඳ යන දෙකම ආරක්ෂා කර ගැනීමට නොහැකි වනු ඇත. රැවුල හෙවත් තමන්ගේ යැපීම තබාගෙන නිවෙන තෙක් කැඳ කෝප්පය දෙස බලාගෙන සිට එය විසිකර දැමීමට වෙල්ගමට සිදුවනු ඇත. වෙල්ගමගේ දළු අත්තක එල්ලී කරන මේ දේශපාලන විගඩම නිමා වන්නේ අත්ත කඩාගෙන කොන්දත් කඩාගෙන වීමට ඇති හැකියාව ඉතා ඉහළය.

පොදු සාධකය

වෙල්ගමට ඇත්තේ පාර්ලිමේන්තුව පැවැත්වූ ආසන්නතම දින කිහිපයේ පාර්ලිමේන්තුවේ තමන්ගේ සහචරන්ගේ වූ හැසිරීම පිළිබඳව ගොඩ නැගෙන සමාජ ප්‍රතිවිරෝධය නිසා ඇතිවූ විවේචනයකි. එය මහ දවල් මහ බැංකුව කොල්ල කෑ හොරුන් ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී කොළඹ මහ නගරසභාව ඉදිරිපිට සිදු කරන සත්‍යග්‍රහය වැන්නකි. වෙල්ගමගේ චින්තනයේද සත්‍යග්‍රහකරුවන්ගේ චින්තනයේද මහා ලොකු වෙනසක් ඇත්තේ නැත. වෙල්ගම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙන පිළ විවෙචනය කළද ඒ පිළෙහිම සිටගෙන සිටිති. සත්‍යග්‍රහකරුවෝ ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරුණු පිළ සාධාරනීකරණය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටී. මේ දෙකම නාඩගමක් විනා සැබෑ ප්‍රගතිශීලී මැදිහත් වීමක් වන්නේ නැත. එය එසේ වන්නේ මොවුන් පිළ වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බැවිනි.
වෙල්ගම අසූචි වළකට බැසගෙන එහි ලැග සිටින්නන්ගේ අසූචි තැවරී ඇති වගත් ඒවා ගඳ බවත් කීවද ඒ ගඳ ගහන අසූචි වළේ තමාද සිටින බවත් තමාගේද ඒ නිසා අසූචි තැවරී ඇති බවත් අමතක කර ඇත. ඒ නිසා වෙල්ගමගේ මේ හැසිරීම නාඩගමක් විනා අනෙකක් වන්නේ නැත.