මෛත්‍රී අභිමතානුසාරී බලය අපේක්ෂා කරන්නෙක්

විමලනාත් වීරරත්න

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින කාලයේ තීන්දු ගත්තේ රෑට සිතා එළිවන ජාමයේය. බොහෝවිට ඔහු ඒ සඳහා සිය සහෝදරයන් හා සමීපතමයන් බනවා තමා ගන්නට යන ඇතැම් තීන්දු ගැන විමසීමක් කළේය. ජනපති මෛත්‍රීගේ තීන්දුත්, මහින්ද හා සමාන වුවත් ඔහු දවල්ට සිතා රෑ ජාමයේ තීරණ ක්‍රියාත්මක කරන්නකු ලෙස පෙනී ගියේය. ඔහු එම තීන්දු ගැනීමේදී තම උපදේශකයන්ගෙන් විමසන බවක් නොපෙනේ. මෙහිදී කාරණා දෙකක් සිදුවිය හැකිය. එක්කෝ උපදේශකයන් ජනාධිපති ගැනීමට යන ඕනෑම පියවරකට එහෙයි කීමය. නැතහොත් උපදේශකයන්ටත් මේ කිසිවක් ගැන යථාවබෝධයක් නොමැතිවීමය. විෂය දන්නා ඉදිරිය දකින එක උපදේශකයකු හෝ ජනපතිගේ උපදේශක රෑනේ සිටියා නම් ඔක්. 26දා තීරණය මෙන්ම ඉන්පසු නොවැ. 09 පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කිරීම යන පියවරයන් දෙකටම යන්නේ නැත. හැමවිටම ඉන්පසුව කුමක් සිදුවන්නේද යන්න ජනපති හෝ ඔහුගේ උපදේශකයන් කල්පනා කරන බවක් නොපෙනේ.

පුදුම මිනිසෙක්

ජනපති කාගේවත් උපදෙස් නොගන්නා බව හෝ උපදේශකයන් එහෙයියන් බව හෝ ඔවුන් මේවා ගැන අටපහ නොදන්නා බව යන කවර හෝ දෙයකින් එකක් මෙහිදී සිදුවන බව පෙනී යන තවත් ප්‍රබල නිදසුනක් දැක්විය හැකිය. ඒ ජනපති මේ දිනවල රනිල්ට නම් අගමැතිකම දෙන්නේ නැත යනුවෙන් දිවුරමින් කීමය. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රනිල් නොව, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවකගේ විශ්වාසයක් දිනාගත් තැනැත්තා මහසෝනා නම් ඔහු ජනපති විසින් අගමැතිකමට පත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Viii වන පරිච්ඡේදයේ අංක (3) යටතේ මෙසේ දැක්වෙයි. පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේය.

සුළුතරයක විශ්වාසයක් සහිතව අගමැතිවරයකු පත් කරන ලද්දේ 19 වැනි සංශෝධනය බලාත්මකවීමට පෙරය. එය සහ වර්තමාන තත්ත්වය සැසඳීම ව්‍යවස්ථාව ඉක්මවා යෑමකි. එසේ බලන විට රනිල්ට නම් දෙන්නේ නැත යනුවෙන් ජනපති කීම ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයකි. ඔහු මෙහිදී උපකල්පනයක් පාවිච්චි කරනවා වන්නටද පුළුවන. එය නම් රනිල් කෙරෙහි මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසයක් ඇතැයි යන්න ජනාධිපති කල්පනා නොකරනවා නම් යන්නය. අප ජනපතිට කිවයුත්තේ අතාර්කිකව හා සංඛ්‍යා මගහැර ජනපතිට කල්පනා කළ නොහැකි බවක් වගන්තියක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවය. ව්‍යවස්ථාවක් ලියන්නේ තත්‍ය සංඛ්‍යානය මෙන්ම ස්පර්ශ කළ හැකි, විනිවිද දැකිය හැකි, තොරතුරු පදනම් තර්කය ලෙස රැගෙනය. ඉන් පරිබාහිරව අතාර්කික කරුණු හා සාවද්‍ය තත්ත්වයන් ව්‍යවස්ථාවකට පදනම් කරගන්නේ නැත. එසේ නම් ජනපති මේ නොකියා කියන්නේ ව්‍යවස්ථාව අදාළ නැත. මගේ චිත්තයේ සාධාරණය ප්‍රකාරව වැඩ කරන බවද? එවිට රටේ ඕනෑම කෙනකුට තමා කරන ඕනෑම දෙයක් හිතේ තර්කයට අනුව සාධාරණීකරණය කරගත හැකිය. සිතිජ සෞන්දර්ය, රවිඳු ගිම්හාන්ට පිහියකින් ඇණ මැරුවේ සිතිජගේ පෙම්වතියට රවිඳුගේ සොහොයුරකු කළ විහිළුවක් නිසා යැයි කියැවෙයි. රටේ නීතියට අනුව සිතිජට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනු ඇත. ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කෙනකුගේත් ඉරණම ජීවිතාන්තය දක්වා සිරදඬුවමය.

ජීවත්ව සිටින තුරු නොදීම

ජනපති වැඩිදුරටත් කියා තිබුණේ තමා ජීවත්ව සිටිනතුරු රනිල්ට හෝ ෆොන්සේකාට අගමැතිකම නොදෙන බවය. එසේ වීමට නම් 18 වැනි සංශෝධනය යළි බලාත්මක වී වත්මන් ජනපති දිගටම බලයේ සිටිය යුතුය. ජනපති මැරෙනතුරු බලයේ සිටීමට අදහස් කරන බවද එම ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. අනෙක් අතට වෙනත් ජනපතිවරයෙක් පත්වුවත් රනිල්ට අගමැතිකම නොදීමට මෛත්‍රීට හැකිද? ජනපති මෙවැනි හාස්‍යජනක ප්‍රකාශ නිකුත් කරන්නේ මන්ද? ඒවා ව්‍යවස්ථාවට පමණක් නොව ඕනෑම ආචාර ධර්ම පද්ධතියකට විරුද්ධ බව ඔහුට නොතේරේද? මේ අනුව ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් දැන් දැන් තත්ත්වය බරපතළවෙමින් තිබේ.

ද්විපාර්ශ්වික සම්මුතිවාදී ආණ්ඩුවක් පිළිබඳ අත්දැකීම ලංකාවට අලුත්ය. එහෙත් මෛත්‍රී රනිල් යන නායකයන් දෙදෙනාම ඒ තත්ත්වය තේරුම් ගැනීමට බැරිතරම් අතදරුවෝ නොවෙති. ජනපති දැන් කියන්නේ රනිල්, ආණ්ඩුවේ අසාර්ථක බවට හේතුවූ බවය. රනිල් එම ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූයේ වගකීම් විරහිතවය. ඔහුට ආර්ථිකය දියුණු කරන සැලසුම් නොතිබුණි. රනිල්ගේ ආර්ථික උපාය මාර්ග ගැන මෛත්‍රීට මුළුමනින් විරුද්ධ වීමට නොහැකි වුවත් ඔහුට පැවරී තිබුණු වැඩ කොටස ඔහු ඉටු නොකිරීමෙන් රනිල් සේ ම නාස්තිකවාදියකු ලෙස හෙතෙම තහවුරු විය. රාජපක්ෂ පාලනයේ වංචා, දූෂණ, මිනිස් ඝාතන හා අතුරුදන්කිරීම් පිළිබඳ නිසි පරීක්ෂණ සිදු කොට ඒවායේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන මග ඔහු හැර ගියේය. යුද වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පැහැර හැරියේය. රටට පොරොන්දු වූ වැඩසටහන්වලින් අර්ධයක් හෝ ඉටු කිරීමට ඔහුට හැකිවූවා නම් රනිල්ගේ දොස් දැකීමට ඔහුට සාධාරණ අයිතියක් තිබුණි. රනිල්, අසාර්ථකභාවය මෛත්‍රීට පමණක් භාර නොකරන්නේ මහ බැංකු වංචාව වැනි කුප්‍රකට සිදුවීම් තමා පත් කළ නිලධාරියා වෙතින් සිදුවීමේ වරද ඔහුගේ සිතේ බලපවත්වන නිසා විය හැකිය. එහෙත් රනිල්ගේ හෘදය සාක්ෂ්‍යය ඉස්මතුවී තිබෙන්නේ අශ්වයා ගියාට පසුවය. වැඬේ වැරදුණාට පසු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැසිවිලි නගන මිනිසකු රනිල් තුළින් දැක්ක හැකිය. රනිල් නම් වූ ජනතාව බුද්ධිමත් යැයි සිතූ නායකයා ඉකුත් වසර තුනහමාර තුළ බිංදුවට වැටුණේය. බිංදුවටම වැටෙන්නට හේතුව මෛත්‍රී එම කාලය තුළ බුද්ධිය ඔහුගෙන් උදුරා ගැනීම නිසා නොව, රනිල් අප්‍රායෝගික සිහින ලෝකයක ජීවත්වීමය. ඊට ප්‍රතිපක්ෂව මෛත්‍රී වෙනම ලෝකයක් හදා ගත්තේය. එය අතීතකාමී වැඩවසම්, වැඩ නොකර කයිවාරු ගසන, අඳ බාල ලෝකයකි. මෛත්‍රී, ජනපතිට අභිමතානුසාරී බලයක් නුවුවමනා බව ප්‍රසිද්ධියේ කිව්වාට හැමවිටම අභිමතානුසාරී බලයක් අපේක්ෂා කළ නායකයකු බව රනිල්ට නම් දෙන්නේ නැහැ සහ තමා ජීවත්ව සිටින තුරු රනිල්ව අගමැති නොකරන බව යන ප්‍රකාශවලින් තහවුරු වෙයි.