ජනාධිපතිට මඩු වලිගයක් ඕනෑ කර තිබේ.

මහින්ද හත්තක

හැළිය කළුය කියා කේතලය විහිළු කෙළේයැයි කියමනක් ජනවහරේ පවතී. ජනාධිපති සිරිසේන මහතා ඔහු විසින් ඉවත් කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දූෂණ වංචා චෝදනා නැගීමද එවැන්නකැයි සිතේ. විශේෂයෙන් ලිබරල් ආර්ථික න්‍යාය පත්‍රය රාජ්‍ය ප්‍රතිපත්තිය වීමත් සමග මහජන මුදල් අයථා පරිහරණය සියලු දේශපාලකයන්ගේ ප්‍රධාන වෘත්තිය බවට පත්විය. එකකු අනකකු කරන දූෂණ වංචා ගැන චෝදනා නැගුව ද කිසිවිටෙක වැරදි කරුවන්ට දඬුවම්දීමක් හෝ එවැනි ක්‍රියා නැවත සිදුවීම වැළැක්වීමට පියවරක් ගත්තේ නැත. පනස් හයේ බණ්ඩාරනායක සමයේ පත් කරන ලද වෝල්ටර් තලගොඩපිටිය අල්ලස් කොමිසමෙන් පසුව මේ දක්වා එවැනි කොමිසමක් කිසිම ආණ්ඩුවකින් පත්කර නැත. එදා මෙදා කිසිම දේශපාලකයකුට අල්ලස් ගැනීම පිළිබඳ චෝදනාවක් ඉදිරිපත් කොට දඬුවම්දීමක් සිදුනොවීමෙන් පෙනීයන්නේ ඉන්පසු කිසිම දේශපාලකයකු අල්ලස් නොගත්තේය යන්නද?

එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කෙළේ ඔහු දූෂණ වංචාවල යෙදීම නිසායැයි පැවසීම දේශපාලකයන්ගේ තවත් කයිවාරුවකට වඩා වැඩි දෙයක් නොවේ. විදෙස් ජනමාධ්‍යකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේ තමාගේ නිදොස් බව ලෝකයට කියාපෑමට විය හැකිය. ඉන් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි අගමැතිවරයකු හිටි අඩියේ තනතුරෙන් ඉවත් කිරීම ගැන ලංකාව ගැන විදෙස් රටවල පවතින මතය වෙනස් කිරීමට ඔහු අදහස් කරන්නට ඇත. ඔහුගේ මෙම ස්ථාවරය තවත් ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ කාල සීමාවේදී කරන ලද වංචා දූෂණ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බවට ද පොරොන්දු වූයේය.

රනිල් වික්‍රමසිංහ මහතාත් සෙසු ඇමතිවරුත් කරන ලදැයි චෝදනා කෙරෙන සියලු අකටයුතු පිළිබඳව ජනාධිපති කොමිසමක් හෝ කොමිසම් කීපයක් පත් කිරීම ඉතාමත් වැදගත් ය. එවැනි කොමිසම් සභාවලින් හෙළි කෙරෙන තොරතුරු සහ නිර්දේශ මත ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසයක් රඳවා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීමටත් වඩා අසීරු කාර්යක් වුවද එම තොරතුරු ජනතා කතිකාවට වැදගත්ය. ජනාධිපති සිරිසේන මහතා විසින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇතැයි චෝදනා කෙරෙන අකටයුතු ගැන විමර්ශනය කිරීමට පත් කළ කොමිසම ඉදිරියේ හෙළි වූ තොරතුරු අනුව චෝදනාවලට ලක්ව සිටින නිලධාරියකු ඔහුගේ නව අගමැති විසින් එම ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කිරීමට කිසිම බාධාවක් නොවූවත් රටේ ජනතාවට එම නිලධාරියා ගැනත් එම පත්වීම කළ තැනැත්තා ගැනත් කිසියම් අදහසක් ඇතිකර ගැනීමට හැකිවිය. පත්වීම ලැබූ පුද්ගලයාම ඉන් ඉවත්වීම දූෂණ චෝදනා නාට්‍යයේ තවත් ජවනිකාවක් පමණි.

දූෂණ තමා නොඉවසන බව ජනාධිපති සිරිසේන මහතා විදෙස් ජනමාධ්‍යකරුවන් ඉදිරියේ පැවසුව ද ඔහුගේ ක්‍රියා කලාපය ඊට හාත්පසින්ම වෙනස් බව විදෙස් රටවල ජනතාවට කෙසේ වෙතත් රටේ ජනතාවට පැහැදිලිය. ඒ පිළිබඳ හොඳම උදාහරණය ජනමාධ්‍යවේදීන් සහ තවත් පුද්ගලයන් පැහැර ගෙන ගොස් වධ හිංසාවලට ලක් කිරීම සහ තරුණයන් එකොළොස් දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම ගැන විමර්ශන කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරියා, ඔහුගේ වගකීම් ඉවත් කොට සේවා අවශ්‍යතා මත වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත්තේ ද පොලිස්පතිවරයා විසින්ම සඳහන් කරන ආකාරයට ජනාධිපතිගේ උපදෙස් අනුවය. ඔහුගේ විමර්ශන අනුව දැනට සිටින මාණ්ඩලික හමුදා ප්‍රධානියා අපරාධ ගැන සැක කරන පුද්ගලයා රටින් පිට කිරීමට ආණ්ඩුවේ මුදල් යෙදවූ බව හෙළිවී ඇත. එහෙත් එම පුද්ගලයාට එරෙහිව මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන නැත.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කිරීමට හේතුවූයේ ඔහු විසින් කරන ලදැයි දූෂණ කටයුතු නම් පළමුව කළ යුතුව තිබුණේ ඒ ගැන විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමය. ඒ සඳහා ඔහු විසින් නොසලකා කටයුතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ප්‍රතිපාදන පවතී. එවැනි කොමිසමක හෙළි කිරීම් මත රනිල් අගමැති තනතුරෙන් ඉවත් කෙළේ නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් විය හැකිව තිබිණ. රනිල් ආරක්ෂා කිරීමට ඔහුගේ සගයන්ට හෝ ඉදිරිපත්විමට අවස්ථාවක් නැති වන්නට තිබිණ. දැන් ජනාධිපති සිරිසේන මහතා සිදු කර ඇත්තේ දඬුවම් ලබා දී නඩුව ඇසීමේ ක්‍රියා පිළිවෙතකි. එය කිසිසේත් ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැත.

දූෂිත රනිල් ඉවත් කර අගමැති තනතුරට පත් කර ඇත්තේ ද දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයකු බව ජනාධිපති සිරිසේන මහතා දැන නොසිටියේයැයි කිව නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති තනතුරේ සිටියදී කරන ලදැයි කියන දූෂණවලට අමතරව මෑතකදී හෙළි වූ දූෂණ චෝදනාව හෝ ජනාධිපති සිරිසේන මහතාගේ මතකයේ රැඳී තිබෙනු නිසැකය. 2018 ජුනි මස නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළ වූ වාර්තාවක් අනුව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට චයිනීස් හාර්බර් ඉන්ජියරින් කෝර්පරේෂන් නම් සමාගම ඩොලර් මිලියන 7.6ක් ලබා දී ඇත. මෙම චෝදනාව රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන නමුත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම හෙළිදරව්වේ නිවැරදිතාව ගැන සහතික කරයි. මෙවැනි අවස්ථාවක කළ යුතුව තිබුණේ එම චෝදනාවල නිරවද්‍යතාව තහවුරු වන තෙක් හෝ මෙම පත් කිරීම අත්හිටුවීම ය. සැබෑ දූෂණ විරෝධියෙකු නම් ගත යුතුව තිබුණේ එවැනි පියවරකි.

මෙවැනි අයථා මුදල් ගනුදෙනුවක් සිදු කෙළේයැයි නම් කර ඇති චයිනීස් හාබර් ඉන්ජියරින් කෝර්පරේෂන් සමාගමට කොළඹ වරායේ ජයා කන්ටේනර් පර්යන්තයේ නව ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ද වාර්තාවේ.

එවැනි තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දූෂණ නිසා ඔහු ඉවත් කොට ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කිරීම ඉතාමත් සරලව ඉඟුරු දී මිරිස් ගත්තාට දෙවැනි වන්නේ නැත.
අනිත් අතට රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු ලෙස ජනාධිපතිවරයා විවිධ අවස්ථාවල විවිධ කරුණු දැක්වීම එම පියවර ගැනීමට හේතු වූ සැබෑ කරුණ යටපත් කිරීමේ උත්සාහයන්දැයි සැක සිතේ. පළමුවෙන්ම ඔහු කීවේ තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය ගැන සිදුවෙමින් පවතින පොලිස් පරීක්ෂණවලට රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදැක්වීම මෙම පියවරට හේතු වූ බවය. මෙම ඝාතන චෝදනාව වඩාත් බරපතළ වන්නේ ඊට ඉන්දියානු රජයේ රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානයේ ද සම්බන්ධතාවක් තිබීම ය. පසුව තමා එවැනි ප්‍රකාශයක් නොකළ බව ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. කෙසේ වුවත් මාස ගණනාවක් තිස්සේ දිග්ගැසෙමින් පවතින මෙම සිද්ධිය තවමත් අධිකරණය ඉදිරියට ගෙනැවිත් නොතිබීම කාගේත් අවධානයට ලක් විය යුතු කාරණයකි.

ඉන් පසුව ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තු වටරවුමේ පැවති රැස්වීමේ දී පැවසු තවත් අන්දරයක් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා අතර පවතින සංස්කෘතිමය වෙනස්කම් නිසා ආණ්ඩුව පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වූයේය යන්නයි. ගොවි ජනපදයක ඉපිද සිංහලයෙන් අධ්‍යාපනය ලත් තමා සහ බටහිර පන්නයට හැදී වැඩුණ, ඉංග්‍රීසිය වඩාත් හුරු රනිල් අතර පවතින්නේ නොගැළපීමකි. මෙය වඩාත් පිළිකුල් සහගත තත්ත්වයකට පත්වූයේ රනිල්ගේ ලිංගික හැසිරීම ය. මෙම කතාවේ සත්‍යාසත්‍යභාවය කුමක් වුවත් දශක හතරක පමණ කාලයක් තිස්සේ දේශපාලනයේ යෙදී සිටි පුද්ගලයකු වශයෙන් මෙම නොගැළපීම් තේරුම් ගත යුතුව තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත් සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීමට පෙර ය. වසර තුන හමාරකට පසුව එම නොගැළපීම දැක්වීමෙන් අදහස් වන්නේ රනිල් අගමැති තනතුරෙන් ඉවත් කිරීමට සැබෑ හේතුව එය නොවන්නේය යන්නයි.

ජනාධිපති සිරිසේන මහතා එම පුවත්පත් සාකච්ඡාවේ දී දැක් වූ තවත් කරුණක් වූයේ පසුගිය දා පළාත් පාලන ආයතන සඳහා පැවති ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පරාජයට පත්වීමෙන් ආණ්ඩුව අනුගමනය කරන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නිසා රනිල් අගමැති තනතුරෙන් ඉවත් විය යුතුයැයි ඔහු ඉල්ලීමක් කළ බවය. රනිල් එම ඉල්ලීම සැලකිල්ලට නොගත් නිසාත් වැඩි වෙමින් පවතින මහජන විරෝධය නිසාත් අගමැති තනතුර මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට සිදු විය. පළාත් පාලන ආයතන සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ආණ්ඩු වෙනස් කිරීමකට හේතු නොවන නමුත් ඉන් ආණ්ඩුව කෙරේ වූ ජනතා අප්‍රසාදය පළ වූ නිසා එය සැලකිල්ලට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී යහ ගුණයකි. ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පරාජයේ වගකීම භාරගෙන අගමැති තනතුරෙන් කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් හෝ ඉවත් විය යුතුව තිබිණ. ඒ පිළිබඳව පක්ෂය තුළද මතයක් ගොඩ නැගෙමින් තිබිණ. එය සැලකිල්ලට නොගැනීම ජන මතය නොසැලකීමකි. ඒ ගැන කිසිදු විවාදයක් නැත.

එහෙත් මෙම මිණුම් දණ්ඩ යෙදිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන ජනාධිපති සිරිසේන මහතා ද මෙම වගකීම භාර ගත යුතුය. පළාත් පාලන ඡන්ද ප්‍රචාරක රැස්වීම්වලදී පක්ෂයේ තවත් නායකයකු වන ඇස් බී දිසානායක මහතා ජනාධිපති සිරිසේන හැඳින්වූයේ ඡන්ද මැෂිමක් සේය. එම නිසා පරාජයේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් පැවරීම බොළඳ තර්කයකි. පක්ෂය ලත් පරාජයේ වගකීම බාර ගැනීම සැබෑ නායකත්වයේ උතුම් ලක්ෂණයකි. පසුගිය ඉරිදා ලංකාව වැනි කුඩා දූපතක් වන තායිවානයේ පළාත් පාලන ආයතන සඳහා පැවති ඡන්ද විමසීමේදී පාලක ප්‍රජාතන්ත්‍ර ප්‍රගතිශීලී පක්ෂය විපක්ෂයේ කුවොමින්තාන් පක්ෂයට පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රගතිශීලී පක්ෂයට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන ගණනාවක් ඔවුන්ට අහිමි විය. එහෙත් ලැබුණු ඡන්ද ප්‍රමාණය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට හතර දක්වා පහත වැටුණේ නැත.

පරාජයේ වගකීම භාර ගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ නායිකාව වූ ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් ප්‍රතිඵල නිකුත්වීමත් සමග ජනාධිපති තනතුරෙන් නොව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වූවාය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු වන්නේ නම් ජනාධිපති සිරිසේන මහතාත් එවැනි පියවරක් ගත යුතුව තිබිණ. ඒ වෙනුවට ඔහු පක්ෂයේ මහ ලේකම් තනතුරේ සිටි දුමින්ද දිසානායක මහතා ඉවත් කර ඒ වෙනුවට ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටි විශ්වවිද්‍යාල ඇදුරකුට එම තනතුර භාර දුන්නේය. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ද සිදු කෙළේ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා ඉවත් කර වෙනත් කෙනකුට එම තනතුරු පැවරීමය. ඒ අර්ථයෙන් සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් අතර වෙනසක් නැත.

ජනාධිපති සිරිසේන මහතාගේ තවත් ප්‍රකාශයක් වූයේ තමා කුමන තත්ත්වයක් යටතේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් නොකරන්නේය යන්නයි. ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිරිසේන මහතා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අමතරව ප්‍රබල සම්ප්‍රදායන් ද පවතින නිසා තමා ක්‍රියා කරන්නේ සම්ප්‍රදායට අනුකූලවයැයි කීවේය. බි්‍රතාන්‍යය වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉතා උසස් කොට සලකන රටවල නීතියට වඩා ප්‍රබල වන්නේ සම්ප්‍රදායයි. එහෙත් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්ප්‍රදාය තඹ දොයිතුවකටත් ගණන් නොගන්නා බව පසුගිය දා පාර්ලිමේන්තුව තුළදීම මුළු රටටත් ලෝකයටත් පෙන්නුම් කළහ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සාහසික ලෙස කඩා දැමීම ගැන ජනාධිපති සිරිසේන මෙතෙක් කිසිම පියවරක් ගෙන නැත. සංගීත සංදර්ශනයකදී ගායකයාගේ ගැයුමෙන් උත්කර්ෂයට පත් කාන්තාවක් තම තන පටිය ගලවා වේදිකාවට විසි කිරීම අපගේ සංස්කෘතියට නොගැළපෙන අශික්ෂිත ක්‍රියාවක්යැයි හැඳින්වූ ජනාධිපති සිරිසේන මහතා ඔවුන්ට මඩු වලිගයෙන් තැලීමට යෝජනා කෙළේය. එම නියායෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායත් රටේ ව්‍යවස්ථාවත් කඩ කරන අයට ද තැලිය යුත්තේ මඩු වලිගයෙන් විනා වෙනකකින් නොවේ.