අර්බුදයේ මුල තේරුම් ගැනීම

වික්ටර් අයිවන්

මේ වනවිට අපේ රටේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය තිබෙන්නේ දූෂණයෙන් කුණුවී ජරාජීර්ණ තත්ත්වයකට පත්වීම තුළ රාජ්‍යයක තිබිය යුතු ක්‍රියාකාරී ශක්තිය මුළුමනින් අහිමි කර ගනිමින් රාජ්‍යය අභාවයට යන තත්ත්වයකය. එම අර්බුදයේ තවත් වැදගත්ම ලක්ෂණයක් වී තිබෙන්නේ රාජ්‍යයට තිබෙන මහජනයාගේ පරමාධිපත්‍යය බලයද රාජ්‍යයේ ආයතන ක්‍රමය හා ඒවාට තිබෙන වගකීම්ද විස්තර කරන, රාජ්‍ය පාලනයට මගපෙන්වන්නා, ලෙස ක්‍රියා කරන හා රටේ උත්තරීතර නීතියද ලෙස ක්‍රියා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද මරණයකට පත්වෙමින් තිබෙන තත්ත්වයක තිබීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති දෙවඟන ජනාධිපතිවරයාගේ පහරදීම් නිසා මරණාසන්න තත්ත්වයකට පත්වන්නට පෙර රාජ්‍ය පාලකයන් අතින්ද, නීති සම්පාදකයන් අතින්ද ඇගේ ආරක්ෂාව භාර අධිකරණය අතින්ද විටින් විට තනි තනිවත් සාමූහිකවත් ඇය කෙලෙසීමට ලක්ව තිබුණි. දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ පාලකයාට මගපෙන්වන්නකු නැති පූර්ණ අරාජක තත්ත්වයකය. ඒ මගින් රාජ්‍යයේ බිඳ වැටීම පරිපූර්ණ දෙයක් බවට පත්කර තිබෙන්නේ යැයි කිව හැකිය.

දැන් ලංකාවේ සිංහල දකුණේ ඇතිවී තබෙන තත්ත්වය අභ්‍යන්තර යුද්ධයේ අවසානයත් සමග දෙමළ උතුර ඇද වැටී තිබුණු අවාසනාවන්ත තත්ත්වයට සමානය. අභ්‍යන්තර යුද්ධය අවසන් වනවිට දෙමළ උතුර දේශපාලන අර්ථයෙන් ගත්විට තිබුණේ බොහෝ දේ අහිමි කරගත් නන්නත්තාර වූ තත්ත්වයකය. ස්වභාවයේ සමහර වෙනස්කම් ඇතත්, ව්‍යවස්ථා අර්බුදයෙන් පසු සිංහල දකුණ තිබෙන්නේද ඒ හා සමාන තත්ත්වයකය. ඒ නිසා දැන් ලංකාවේ සියලු ජනවර්ග එක සමාන තත්ත්වයකට පත්ව සිටින්නේ යැයි කිව හැකිය. ලංකාවේ රාජ්‍යයේ පූර්ණ බිඳවැටීමක් ඇතිවන්නේ ප්‍රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යය පරාජය කොට එහි පැවැත්ම අවසන් කොට කෙටි කාලයක් ගතවීමෙන් පසුවය. එහි තිබුණ උත්ප්‍රාසජනක දෙයක් ලෙස සැලකිය හැක්කේ ප්‍රභාකරන්ගේ සාහසික බෙදුම්වාදී වැඩසටහන පරාජය කිරීමෙන් උද්දාමයට පත්ව සිටි දකුණේ සිංහල හා මුස්ලිම් ජනයා එම ජයග්‍රහණයෙන් පසුව තමන්ගේ රාජ්‍යයද පූර්ණ බිඳ වැටීමක මුවවිට තිබෙන බව නොදැන සිටීමය.

ප්‍රචණ්ඩ ගැටුම් ඇති කළ විනාශය

සිංහල දකුණේත්, දෙමළ උතුරේත් ඇතිවූ ප්‍රචණ්ඩ අරගලවලින් රාජ්‍යයට බරපතළ හානි ඇතිවිය. සිංහල දෙමළ කැරලිකරුවන් රාජ්‍යය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමේ අරමුණින් පහර දුන්නේ රාජ්‍යයටය. රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන සිංහල දෙමළ කැරලිකරුවන් මර්දනයකොට පරාජය කරන්නට රාජ්‍යය සමත් වුවත් රාජ්‍යය බෙලහීන කරන්නට හා අබල දුබල කරන්නට එම සටන් හේතුවිය. මෙම සටන්වලදී සිංහල දෙමළ කැරලිකරුවන් උපරිම මට්ටමේ සාහසිකත්වයක් හා කෲරත්වයක් මුදාහරින ලද අතර ඔවුන් පරාජය කිරීම සඳහා කැරලිකරුවන් මුදාහරින ලද සාහසිකත්වය හා කෲරත්වය ඉක්මවා ගිය සාහසිකත්වයක් හා කෲරත්වයක් මුදාහැරීමට රාජ්‍යයට සිදුවිය. සටන් පැවති දීර්ඝ අශීලාචාර කාලය තුළ කැරලිකරුවන්ට සේ ම රාජ්‍යයටද නීතිය නොසලකා ක්‍රියා කරන්නට සිදුවිය. දීර්ඝ කාලයක් රටේ කැලේ නීතිය රජ කරන තත්ත්වයක් පැවතීම රාජ්‍යයේද එහි දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේද සුජාතකභාවය කෙලෙසීමට හේතුවිය. රාජ්‍යය භාරයේ තිබෙන වස්තුව එහි භාරකරුවන් මංකොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූයේද එම අශීලාචාර කාලයේදීය. රාජ්‍යයට තිබෙන පෙනුම වෙනස්වෙමින් එය මාංශභක්ෂක චෞර රාජ්‍යයක පෙනුම හිමිකර ගනිමින් තිබුණේ යැයි කිව හැකිය. රටේ පැවති ප්‍රචණ්ඩ අරගල රාජ්‍යයේ ආයතනික පද්ධතිය දුර්වල කොට විකෘති කරන ලද අතර රාජ්‍යයේ සමාජ පදනමද දුර්වල කොට විකෘති කිරීමට හේතුවිය. රටේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් නිසා පුරවැසියන් කිසියම් විශාල සංඛ්‍යාවක් කායික වශයෙන් මරණයට පත්වන විට කායික වශයෙන් මරණයට පත් නොවී ජීවත්වීමේ වාසනාව හිමිකරගත් සමස්ත සමාජයද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මළ සමාජයක් බවට පත්වූයේය.

ප්‍රචණ්ඩ ගැටුම් අවසන්වීමෙන් පසු ප්‍රචණ්ඩ අරගල කාලය තුළ ඇතිව තිබූ මහා විනාශය ගැනත්, ඒ කෙරෙහි බලපා තිබෙන හේතු පිළිබඳවත් අවංක ලෙස කරුණු සොයා බලන තැනකට යමින් අයුක්තිය, අකාර්යක්ෂමතාව හා දූෂණය රජ කරන තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යයත් රෝගීව හිරිවැටුණු තත්ත්වයකට පත්ව තිබූ සමාජයත් ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යායුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හා ධෛර්යය අභ්‍යන්තර යුද්ධය අවසන් කළ නායකයාට සේ ම ඔහු පරාජය කරමින් ඊළඟට බලයට පත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් දෙදෙනාටද නොතිබුණි. කබලේ බැදෙමින් තිබුණු ලංකාව ළිපට වැටෙන තත්ත්වයකට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නිදහසේදී හෝ ඉන්පසුව නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමේ ප්‍රශ්නය ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. නූතන ජාතිය ගොඩනගනවා යන්නෙහි සැබෑ තේරුම පරණ සමාජයේ පැවති වර්ග, කුල හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව ඒ සියලුදෙනාට ලංකාවේ සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ රට ගැන වන බලවත් පොදු හැඟීමකින් බැඳුණු හා සමගියෙන් ක්‍රියාකරන ජාතියක් ප්‍රතිනිර්මාණය කරගැනීමය. ඉන්දියාව ඒ දේ ඉතාමත් විධිමත් ආකාරයකටත් සිංගප්පූරුව ඊට වඩා වෙනස් ආකාරයකටත් සම්පූර්ණ කරගත් රටවල් දෙකක් ලෙස සැලකිය හැකිය.

එම ප්‍රශ්නය පිළිබඳව අපේ රටේ මුල්කාලීන නායකයන්ට (පොන්නම්බලම් අරුණාචලම්, ඩී.ඇස්. සේනානායක හා බණ්ඩාරනායක වැනි) ඉන්පසු බිහිවූ ජාතික නායකයන්ටවත් ගැඹුරු දේශපාලන වැටහීමක් නොතිබුණි. එම නායකයන්ගේ චින්තනය කෙරෙහිද වර්ගය, කුලය, ආගම යන සාධක බලපෑවේය.

කුලයේ භූමිකාව

ලංකාවට ගැළපෙන ආණ්ඩුක්‍රමයක් යෝජනා කිරීම පිණිස ඩොනමෝර් කොමිසමේ සාමාජිකයන් ලංකාවට පැමිණියේද, දින 17ක සංචාරයක් සඳහා මහත්මා ගාන්ධි ලංකාවට පැමිණියේද එකම දිනයකදීය. ඒ 1927 නොවැම්බර් 12 වැනිදාය.

ගාන්ධි සිය සංචාරයේදී 1927 නොවැම්බර් 12 වැනි දින ලංකා ජාතික සංගමය මාලිගාකන්ද පිරිවෙනේ සංවිධානය කළ පිළිගැනීමේ රැස්වීමක් අමතා කෙටි කතාවක් කළේය. ගාන්ධි ජාතික සංගම් නායකයන් අමතා කළ කතාවේ වාර්තාවක් ගෝපාල් ක්‍රිෂ්ණ ලියා තිබෙන Gandhi and Sri Lanka  නමැති කෘතියට ඇතුළත්ව ඇතත්, එම රැස්වීමට සහභාගිවූවන් පිළිබඳ විස්තරයක් ඊට ඇතුළත්ව නැත. සම්පත් බණ්ඩාරගේ මහත්මා ගාන්ධි ලංකා ගමනය හා ලාංකීය දේශපාලනය නමැති කෘතියෙහි ලංකා ජාතික සංගමය වෙනුවෙන් එහි එවකට සභාපතිව සිටි ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඩී.ආර්. ජයතිලක, ජේම්ස් පීරිස්, වික්ටර් කොරයා, ඩබ්ලිව්.ඒ. ද සිල්වා, එෆ්.ආර්. ඔබේසේකර, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා ඩී.එස්. සේනානායක ඇතුළු පිරිසක් විසින් එහිදී ගාන්ධිව පිළිගන්නා ලද බව සඳහන්ය. ගාන්ධි සහභාගි වූ ලංකා ජාතික සංගමයේ එම රැස්වීමට එම සංගමයට සම්බන්ධ සියලුම වැදගත් නායකයන් සහභාගිවන්නට ඇතැයි සිතිය හැකිය.

ගාන්ධි එහිදී ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය හා ලංකාවේ නිදහස් ව්‍යාපාරය එකම නමකින් හැඳින්වුවත් ඒ දෙක එකිනෙකට වෙනස් දෙකක් මිස එක සමාන ව්‍යාපාර දෙකක් නොවන බව කියන්නටද අමතක නොකළේය. ඔහු එහිදී ලබාගන්නට අපේක්ෂා කරන ලංකාවේ නිදහසට අදාළ ඉතා වැදගත් මූලධාර්මක ප්‍රශ්නයක් මතු කළේය. ඉන්දියාවේ අස්පර්ශනීය ගණයෙහිලා සැලකෙන ජන කණ්ඩායමක් සිටින බවත් තමන්ට ලංකාවේ සමාජය පිළිබඳව තියුණු අවබෝධයක් නැතත්, අස්පර්ශනීය ගණයෙහිලා වැටෙන රොඩියා නමින් සමාජ කණ්ඩායමක් ලංකාවේද සිටින බවත්, ලංකාවේ ජාතික සංගමය අපේක්ෂා කරන නිදහසේදී ඒ ගණයෙහි ලා සැලකෙන මිනිසුන්ටද නිදහස ලැබෙන්නේදැයි ප්‍රශ්න කරමින්, ඔවුනට ඒ නිදහස නොලැබේ නම් ලංකාවේ ජාතික සංගමය දිනාගන්නට අපේක්ෂා කරන නිදහස සැබෑ නිදහසක් ලෙස සැලකිය නොහැකි බව මහත්මා ගාන්ධි එහිදී කියා තිබෙන්නේය. මහත්මා ගාන්ධිගේ එම කියමනෙහි තිබුණු ගැඹුරු දේශපාලන අර්ථය තේරුම් ගැනීමට ලංකා ජාතික සංගම් නායකයන් සමත් වන්නට ඇතැයි සිතිය නොහැකිය.

ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන්ගේ Caste in Mordern Ceylon  නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර තිබෙන පරිදි 1925 පමණ දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව, විවිධ කුලයන් අතරය. ක්‍රමයෙන් කුල අතර තිබුණ ගැටුම් යටපත් වී වර්ග අතර තිබෙන ගැටුම් ප්‍රමුඛ තත්ත්වයක් ගනිමින් ඉස්මත්තට ආවද කුල ගැටුම් කෙරෙහි බලපෑ මූලයන් යටපත්වීමක් මිස අහෝසිවීමක් සිදු නොවීය. ලංකාවේ ඓතිහාසික විකාශනය හා ඇතිවී තිබෙන ගැටුම් කෙරෙහි බලපා තිබෙන හේතූන් ගැන බී.එච්. ෆාමර් ලියා තිබෙන  Ceylon – A Divided Nation   යන කෘතියෙහි ස්ථිරසාර ස්වරයකින් කියා තිබෙන්නේ (ෆාමර් එම කෘතිය ලියන ලද්දේ 1963දීය.) කුලය අදත් ලාංකික දේශපාලනයේ ප්‍රබල බලවේගයක් වශයෙන් පවත්නා බවය. ෆාමර් එසේ ලියන විට ලංකාව නිදහස ලබා අවුරුදු 15ක් ගතවී තිබුණි.

ප්‍රබල සමාජ උත්සාහයකින් තොරව තෑගි වශයෙන් ලැබෙන්නට නියමිත නිදහස දෙස සුළු වාර්ගික නායකයන් බලන ලද්දේ සැකයෙනි. බි්‍රතාන්‍ය ආධිපත්‍යය අවසන්වීමෙන් පසු සිංහල ආධිපත්‍යයක් ඇතිවී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බියක් සුළු වාර්ගික නායකයන් තුළ ඇතිවී තිබුණි. නිදහසෙන් පසු ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇතිවී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවිය හැකිය කියන බියක් සිංහල හා දෙමළ සමාජයේ පීඩිත කුලවල නායකයන් තුළද ඇතිවී තිබුණි. මේ දෙපිරිසම වෙන් වෙන්ව තමන්ගේ දුක්ගැනවිලි කියන්නට ඩොනමෝර් කොමිසම හා පසුව සෝල්බරි කොමිසම වෙත ගියේය.

නිදහසට පෙර කුල පීඩනයක් මිස වර්ග පීඩනයක් නොතිබුණි. මහත්මා ගාන්ධි ලංකා සංචාරයේදී ඉවෙන් මෙන් තේරුම් ගෙන තිබුණ ආකාරයටම ලංකාවට නිදහස ලැබීම පීඩිත කුලවලට නිදහස ලබාදෙන දේශපාලන සංසිද්ධියක් වූයේ නැත. නිදහස විහාර දේවාලගම් හා නින්දගම් වැනි වැඩවසම් ඉඩම්වල ප්‍රවේණිදාස ස්වරයෙන් සේවය කළ නිල පංගුකාරයන්ට ඔවුන් ජීවත් වූ එම අසරණ තත්ත්වය වෙනස් කිරීමට හේතුවූයේ නැත. නිදහස, සිංහල හා දෙමළ සමාජයේ පැවති කුල ක්‍රමය විසින් මනුෂ්‍ය ගෞරවය හා මනුෂ්‍ය අයිතිවාසිකම් අහිමි කරනු ලැබ සිටි පීඩිත කුලවල ජනයාට එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කරන දෙයක් වූයේ නැත.

ලංකාවේ ජාත්‍යානුරාගය

මහත්මා ගාන්ධි ලංකාවට පැමිණි දිනයේදීම ලංකාවට පැමිණි ඩොනමෝර් කොමිෂන් සභාවද ලංකාවේ පැවති ජාත්‍යානුරාගය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැනද ඉතා වැදගත් නිරීක්ෂණ ගණනාවක් ඉදිරිපත් කළේය. කොමිෂන් සභාවේ එම නිරීක්ෂණ අදටත් වලංගුය.

ලංකාව ස්වජාතික සමාජයක් දක්වා වර්ධනය වී නැති බවත්, ලංකාවේ ගොඩනැගී තිබුණු ජාත්‍යානුරාගය වර්ගය, කුලය හා ආගම මුල් කරගත් දෙයක් මිස, රටේ පොදු සුබ සිද්ධිය පදනම් කරගත් දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු ක්‍රමයක් සඵලවීමට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී ශික්ෂණයක්ද නොපවත්නා බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය හැකි පක්ෂ ක්‍රමයක් පවා රටේ ඇතිවී නැති බවත් කොමිසමේ මතය විය. ඒ නිසා අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් සඳහා අවශ්‍ය සමගියක් හෝ සාමූහික හැඟීමක් රටේ නැති බවත්, ඒ නිසා මේ මොහොතේ ලංකාවට ලබාදිය යුත්තේ ජාතිය සමගි කිරීමට හේතුවන හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමාජ අවබෝධය වර්ධනය කිරීමට හේතුවන ආණ්ඩුක්‍රමයක් බවත් ඩොනමෝර් කොමිසමේ නිගමනය විය.
ඒ කාලයේ ලංකාවේ ප්‍රධාන ජාතික නායකයන් ලෙස සැලකිය හැකි සියලුදෙනා (පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ඩී.එස්. සේනානායක සේ ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක දක්වා) සර්වජන ඡන්දය ලබාදෙනවාට තරයේ විරුද්ධ වූහ. ඔවුන් කෙරෙන් පළවූ එම විරෝධය කෙරෙහි පන්ති ආකල්ප සේ ම කුල ආකල්පද බලපෑවේය. ඩොනමෝර් කොමිසම ලංකාවේ පසුගාමී ලෙස සලකන ලද බොහෝ දේවල් සර්වජන ඡන්ද බලය නිසා අහෝසි වනු ඇතැයි විශ්වාස කළේය. කොමිසම කාරක සභා ක්‍රමයක් මත පදනම් වූ විශේෂ ආණ්ඩුක්‍රමයක් රටට හඳුන්වා දෙන ලද්දේ පටු භේදවලින් තොරව සමගියෙන් හා ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාකිරීමට අවශ්‍ය ශික්ෂණයක් සමග අධ්‍යාපනයක් අපේ රටේ දේශපාලන නායකන්ට ලබාදීම සඳහාය.

වර්ගයේ භූමිකාව

වර්ග පීඩනය කරළියට ආවේ නිදහසින් පසුවය. සිංහල දෙමළ භේදය විසඳා ගැනීමට පහසු නැති ලේ වැගිරෙන මහා අවුලක් බවට පත් කළ නායකයා ලෙස සැලකිය හැක්කේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති යටත්විජිත ආධිපත්‍යය නිසා ස්වභාෂාවන්ට තිබෙන පිළිගැනීම පහත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබුණු අතර එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. බණ්ඩාරනායක බලය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගත්තේ සිංහල භාෂා ප්‍රේමීන්ට අනුගතවෙමින් ඔවුන්ගේ කරපිටිනි. දෙමළ ජනයා සිංහල ජනයාටත් වඩා තමන්ගේ භාෂාව සමග බැඳුණු ජන ප්‍රජාවක් ලෙස සැලකිය හැකිය.

විය යුතුව තිබුණේ සිංහල හා දෙමළ භාෂාවන්ට නව පිළිගැනීමක් ලබාදී සිංහල මිනිසුන්ට සිංහල භාෂාවෙන්ද, දෙමළ මිනිසුන්ට දෙමළ භාෂාවෙන්ද රජය සමග ගනුදෙනු කරන්නට ඉඩ ලබාදෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන අතර ඉංග්‍රීසි භාෂාවට ලැබෙන වැදගත්කමද අමතක නොකර අධ්‍යාපනයේදී ද්වි භාෂා ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමය. ඒ වෙනුවට බණ්ඩාරනායක කළේ සිහංල රාජ්‍ය භාෂාව කොට ඉංග්‍රීසි භාෂාව කුණු බක්කියට විසිකිරීමෙන් නොනැවතී දෙමළ මිනිසුන්ට දෙමළ භාෂාවෙන් රජය සමග ගනුදෙනු කිරීමට තිබෙන අයිතිය නැති කිරීමය. ඒ මගින් දෙමළ ජනයාට තිබූ මනුෂ්‍ය ගෞරවය අහිමි කැරිණි.
ලංකාවේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හා ලේ වැගිරීම් කෙරෙහි වර්ගය හා කුලය යන සාධක දෙකම බලපෑවේය. පළමුවෙන්ම කැරලි ගසන තැනකට ගියේ සිංහල දකුණේ තරුණයන් මිස දෙමළ උතුරේ තරුණයන් නොවේ. 71 කැරැල්ල පිළිබඳව රජයේ බලධාරීන් ඇති කරගෙන තිබූ නිරීක්ෂණයන් වූයේ ඒ කෙරෙහි පන්තිය පමණක් නොව කුලයද බලපා තිබෙන බවය. කැරැල්ල නිසා අත්අඩංගුවට ගත් සියලුදෙනාගේ කුලය ගැන සොයා බලන තැනකට යන්නට බලධාරීන්ට සිදුවූයේ ඒ නිසාය. කුලය ගැන සමීක්ෂණයක් කෙරුණු පළමු අවස්ථාවද එය විය හැකිය.

ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු තරුණ කැරලි කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලා වාර්තා කිරීම පිණිස ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පත් කරන ලද තරුණ අසහන කොමිසමේ නිරීක්ෂණයන් වූයේද ලංකාවේ සිංහල දෙමළ කැරලි කෙරෙහි කුලයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවය. රටේ ඇතිවූ ප්‍රචණ්ඩ කැරලි සමාජය කෙරෙහිද රාජ්‍යය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය. ඒවා සමාජය විකෘති කොට රෝගී කරන්නටත්, රාජ්‍ය දූෂිත කොට බෙලහීන කිරීමටත් හේතුවිය. ඒ සියල්ල එසේ වූයේ නිදහසේදී හෝ ඉන්පසුව නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසාය. ජාතිය ගොඩනගා ගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යෑමේ හැකියාව ලංකාවට නැත.

විශාල විනාශයකින් පසුව ප්‍රමාද වී හෝ නූතන ජාතිය සාර්ථක ලෙස ගොඩනගා ගැනීමට ලංකාවට පුළුවන්කම ලැබෙනු ඇත්තේ වර්ග භේදයට, කුල භේදයට, ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව සියලු මිනිසුන්ට සමාන ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් මගිනි. අභාවයට ගොස් තිබෙන රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගත හැකිවනු ඇත්තේද ජාතිය ගොඩනගා ගැනීමේ අරමුණ සපුරා ගැනීමට සමත් වේ නම් පමණය.