වසන්ත ඩී.එස්.ගේ පරපුරේද? ඩී.එස්.ගේ අශ්වයාගේ පරපුරේද?

ටිරන් කුමාර බංගගමආරච්චි

එක් ගමක සිටි උගතකු සහ මෝඩයකුට තම දෙපළගෙන් වඩා දැනමුත්තා කවුද යන ප්‍රශ්නය මතුව ඇත. එය තීරණය කිරීම ගම්මුනට භාර දුන් මේ දෙපළ ජනමතය විමසීම සඳහා ප්‍රසිද්ධියේ වාදයක් ආරම්භ කර ඇත. වාදය ජයටම ඇවිළෙන කල වඩා අසරණ වී ඇත්තේ තීන්දුව දෙන්නට ආ ගම්මුන්ය. ගම්මුන්ට වාදය දුටු කල දැනමුත්තා කෙසේ වෙතත් මේ දෙපළගෙන් කවුද උගතා, කවුද මෝඩයා කියා සොයා ගැනීම පවා වෙහෙසකර වී ඇත.

ලංකාවේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් රටේ ජනතාව පත්ව ඇත්තේද මෙවැනිම අලකලංචියකටය. එජාප පිරිසේ කතා අසන විට එය සත්‍ය ලෙස පෙනෙන අතර රාජපක්ෂ පිරිසේ කතා අසන විට එය සත්‍ය ලෙස පෙනේ. දෙපිලටම ඇත්තේ බලය පිළිබඳ නොනිමි ආශාව බව අවසානයේ පෙනේ.

මහින්ද

පොදුවේ ප්‍රශ්නය එසේමුත් දැන් රාජපක්ෂ පාර්ශ්වය හැසිරෙන හැටි බලන කල ඇතිවන්නේ විස්මයාර්ථයකි. ජාතිය අමතන මහින්ද රාජපක්ෂගේ වැහැරුණු මුහුණ පෙන්වනුයේ බලයට ඇති ඔහුගේ කෑදරකමේ උපරිමයය. කොටින්ම මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝල බාලයන් දැන් දැන් පෙනී සිටිනුයේ ඔහුව ඡන්දයකින් අගමැති කර ආණ්ඩුව පත්වූ ගාණටය. රනිල් වික්‍රමසිංහ සමග ඇතිවූ පෞද්ගලික ආරාවුල් රටේ ප්‍රශ්න බවට පත් කළ ජනපති සිරිසේන අද සැමට වඩා තොත්ත බබකු වී ඇත. අද ඔහු හැසිරෙනුයේද ජනතාව අලුතින් තම ආණ්ඩුව පත් කළ ගාණටය. කාට අගමැතිකම දුන්නද රනිල්ට නොදෙන බව කියන ජනපති සිරිසේනගේ උඩඟු ප්‍රකාශ පිරික්සන විට ඇතිවන හිරිකිතය නම් රනිල් එපා කියා ඔහු ඒ තැන දුන්නේ කාටද කියන පැනයය. ජනතාව ප්‍රතික්ෂේප කොට පරාජය කොට පලවා හැරි මහින්දට අගමැතිකම දීම තරම් මුග්ධ ක්‍රියාවක් තවත් තිබිය හැකිද? එහෙව් කළ සිරිසේන රනිල්ට හැර ඕනෑම කෙනකුට දෙනවා කියන ඉඟියට වඩා ගැළපෙන්නේ මහින්දට අගමැතිකම දුන් පසු සිරිසේනගේ භාවිතය ගැන කවර කතාද යන්නය.

මහින්ද මහත්තයා ඉවරයි

මීට පෙර මහින්ද මහත්තයා යනුවෙන් ලිපියක් ලියුවේ ඔහුට ජනතාව තුළ ඇති බැඳියාව පෙන්වන්නටය. එය අදටද ග්‍රාමීය ජනයා තුළ තිබිය හැකිමුත් ඔහු ගොඩනගා ගත් මහත්තයා කෑල්ල නම් අවභාවිත කරගත් බව කිව යුතුය. මහින්ද මහත්තයකු නම් ජනපති සිරිසේනගෙන් අගමැතිකම බලාපොරොත්තු නොවිය යුතුය. මහින්ද පිලේ අය කියන විදිහට මහින්ද සිංහයකු නම් තණකොළ නොකන තැන සිටිය යුතුව තිබුණි. එහෙත් මේ සිංහයා තණකොළ බුදින සිංහයකු බව දැන් රටම දනිති. එහෙව් මහින්ද තවදුරටත් මහත්මයකු වන්නේ කෙසේද? අද ඔහු අගමැතිකම මහජනතාව දුන් වරමක් ලෙස හැසිරෙයි. ඡන්දයට යමුයි කියන රාජපක්ෂ නඩය ඡන්දයට යන්නට තිබුණේ තමන් පරාජය කළ සිරිසේන ලවා ඔටුනු පලඳවාගෙන නොවේ. වැදගත් විදිහටය. යන එන මං නැතිව සිටි ජනපති සිරිසේන පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටුව ලද ජය තමාගේ ඉදිරි ගමනට හරවා ගන්නට අසූචි වුව වළඳන තැනට තල්ලු විය. මෑත ඉතිහාසයේ දේශපාලනිකව පජාතම චරිතය සිරිසේන බව ලෝක ඉතිහාසයෙන් උදාහරණ ගත්තද පැරදවිය නොහැකි වනු ඇත. ජනපති සිරිසේනද අද ජනතාවගේ කැමැත්ත විමසුමැයි කියනුයේද, ජනතා කැමැත්තට පිටුපා ජනතාව පැරදවූ කෙනාට බලෙන්ම බලය ලබාදීමෙන් පසුවය. සිරිසේන නොදන්නා කරුණ නම් ඡන්දයට ගිය පසු මුලින්ම ඉවර වන්නේ සිරිසේනම බවය. ලබන ඡන්දයට මහින්ද පාර්ශ්වය සිරිසේන කරලාගෙන ආවොත් එය ඔවුන්ගේ ගමනටද බාධාවක් බැවිනි. සිරිසේන යනු මේ මොහොතේ දේශපාලන අනාථයෙකි. එවන් අනාථයකු කර ගසාගෙන යෑමම බංකොළොත්ය. තාම සෙල්ලම පටන් ගත්තා පමණය. ජනපති සිරිසේන මතක තබාගත යුත්තේ තවම සෙල්ලමේ ක්‍රීඩා කර ඇත්තේ ඔහු පමණක් බවය. රාජපක්ෂ තවම සෙල්ලම පටන් ගත්තේ නැත. ඡන්දයකට දොර හැරුණු පසු මහ මැතිවරණයමයැයි සිතමු. එයින් පොහොට්ටුව දින්නහොත් ඊළඟට ජනාධිපතිවරණයෙන් සිරිසේන කෙසේ හෝ ජනපති කළ යුතු යැයි මහින්ද සිතනු ඇත්ද? එවන් ලෙඩක් රාජපක්ෂලාට තිබිය නොහැකිය. සිරිසේනගෙන් බැට කා සියල්ල අහිමි කරගත් රාජපක්ෂ වත්මන අගමැතිකම ගන්නේද? සදාකාලික බලයට ඇති කෑදරකම නිසා මිසක සිරිසේන ගලවාගෙන රට මුදාගැනීමට නොවන බව කිව යුතුය.

ගෝලයෝ

රාජපක්ෂ ගෝලයෝ අද කතා කරනු දුටු විට හිරිකිතෙන් නොනැවතී ඔක්කාරය දනවන තරම්ය. විමල් වීරවංශ තරම් ලුම්පන් දේශපාලකයකු තවත් නැති තරම ඔහුම ඔප්පු කොට අවසන්ය. ඔවුන්ගේ දේශපාලනය හැලි වළං හෝදනවාට වඩා වැසිකිළි සේදීම බව ඔප්පු කොට අවසන්ය. අද වීරවංශට සිරිසේන පොළොන්නරු දෙවියාය. අනේ අයියෝ විමලෝ කියනු හැර තවත් කුමක් කියමුද? ඩලස් අලහප්පෙරුමද අමුතු කතා කියමින් සිටී. මේ සිරිසේන කීදෙනෙක්ව දේශපාලනිකව බංකොළොත් කළාද යන්න වෙනම ගණන් හැදිය යුතුය. එවිට නම් 113 අත උඩින්ය. සැවොම සිතනුයේ සිරිසේන දේශපාලනිකව අනාථ කළේ රනිල්ම බවය. එහෙත් රනිල් සමග එජාපයත් මෙන්ම මහින්ද සමග පොහොට්ටුවත් මේ ජනපති සිරිසේන අනාථම කළේය. ඒ සියල්ල අනාථ කළ සිරිසේන තමන් කොතරම් පජාතද යන්න වැඩිකල් නොගොස් අවබෝධ කර ගන්නේ ජනපති පුටුව නැතිවූ සැණින්ය.

ගෝඨාගේ බයිලා

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල අමුතු කතාවක් කියමින් සිටී. එනම් 19 වන සංශෝධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂට නැවත ඉල්ලීමට නොහැකි තත්ත්වයක් උදා කරන්නට බව ඒ ප්‍රධාන කතාවය. ගෝඨාභය එසේ කීවද එය අවංක නැති බව කිව යුතුය. 19 වන සංශෝධනය ගෙනාවේ මහින්ද 18 ගෙනැවිත් ඇති කළ ඒ මජර ක්‍රමය නැති කරන්නටය. එය පෞද්ගලික පළිගැනීමකින් ගෙනාවද හොඳ දෙයකි. එසේ නොවී නම් මහින්ද මැරෙනකම් මෙරට ජනපති වී මේ රට රාජපක්ෂ පවුලේ බූදලයක්ම වී අහවර වන්නේය. වැඩක් කරන්නේ නම් වාර දෙකක් හොඳටම ඇතිය. අනෙක් අතට පහුගිය කාලයේ ‘වියත් මඟ, ‘එළිය’ ලෙස නම් දමාගෙන ගෝඨාභය එළියට බැස නැටුවේද අනාගත ජනාධිපති ආශාවටය. 19 වැනි සංශෝධනය නොගෙනෙන්නට ගෝඨාභයට එවැනි සිහින දැකිය හැකිද? 19 වැනි සංශෝධනය ගෙනාවද, ඒ අස්සේ වුව ජනපති සිරිසේනට මහින්ද එකතු වූයේ ගෝඨා ඒම වළකන්නටය. මේ බව ගෝඨාභය දනී. එහෙත් නොදන්නා ගාණට විකාර බහුබූත කියවමින් සිටී.
ඔහු කියන අනෙක් කතාව ද්විත්ව පුරවැසියකුට ජනපතිකම සඳහා තරග කළ නොහැකි වගන්තිය ගෙනාවේ තමන් ඉලක්ක කරගෙන බවය. මේ පෞද්ගලික පළිගැනීම් බවය. ගෝඨාභයට මෙරට නායකයා වන්නට වුවමනා නම් මේ රටට ආදරේ නම් තවත් රටක පුරවැසිභාවය තබාගෙන ඉන්නේ ඇයි? දෙපැත්තේ කකුල් දෙක තබාගෙන දේශපාලනය කරනුයේ ඇයි? ඇමරිකාවට බනින රාජපක්ෂලා වඩා ආලය කරන්නේද ඇමරිකාවටම වීම පුදුමයක් නැත.

නඩු මගහරින්නද?

රාජපක්ෂ අගමැතිකම ගත්තේ තම පවුලට එරෙහි නඩු යට ගසා ගන්නටද? මෙය එජාපයේ මෙන්ම තවත් පිරිස් නගන චෝදනාවකි. එය නම් මුලාවකි. වසර තුනහමාරටම යට ගැසූ නඩු ලබන වසරේ එළියට ගන්නට නියමිත වීද? රාජපක්ෂලාගේ නඩු යට ගැසුවේ සිරිසේනට වඩා රනිල්ය. ඒ නිසා කාගේවත් නඩු එළිනොවන බව පැහැදිලිය. රනිල් සම්බන්ධ කොමිසම් පත්කිරීමත් එබඳුය. ඒවා දේශපාලන කතා මිස අරුත් ඇති ඒවා නොවේ. මේ පක්ෂ දෙකම තම තමන්ගේ ජාතික ඡන්ද කාලයට කතා කරනමුත් ඉන්පසු ඒවා අමතක කොට සමගියෙන් වෙසෙති. එබැවින් හොරු ඇල්ලීම මෙන්ම හොරු යැයි හංවඩු ගැසීම් හුදු දේශපාලන වේදිකා කතා මිස අධිකරණ බෙන්ච් එකේ ඇති කතා නොවන බව කිව යුතුය. ලංකාවේ මේ කිසිදු දේශපාලකයකු පෝරකයට කෙසේ වෙතත් හිරේවත් නොයන බව පැහැදිලිය. ජනපති සිරිසේනට පසුගියදා එකකු දෙන්නකු හෝ පෝරකයට යැවීමේ බලවත් ආශාවක් තිබුණි. නොවැම්බර් 26 වැනිදා කළේ එය විය යුතුය. එනම් රනිල් පෝරකයට යැවීමය.
දැන් දැන් මේ දේශපාලන සෙල්ලම ජනතාවටත් පිළිකුල්වෙමින් පවතී. මේ ආකාරයට ඇදීම තුළින් සිරිසේන රාජපක්ෂලා සේ ම රනිල්ලාද ජනතාව අතර පිරිහෙමින් පවතී. එක් පිරිසක් තව පිරිසක් විනාශ කරනවා යැයි සිතුවද? සිදුවෙමින් පවතිනුයේ හැම පිරිසක්ම විනාශවෙමින් යාමය. මෙරට දේශපාලනය අලුත් මාවතකට තල්ලු විය නොහැක්කේද? අලුත් මාවතක් නැති බැවිනි. එබැවින් බැඳගත්ත බෙරේ ගහන්නා සේ මේ අය සමගම මේ අයම තෝරාගෙන ඉදිරියටත් දේශපාලනය කරන්නට සිදුව ඇත. දෙසැම්බර් හත්වැනිදා ලැබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් දැන් ඡන්දයට යෑම හැර කාටවත් විකල්ප නැති ගාණය. අධිකරණය සිරිසේනගේ ක්‍රියාපිළිවෙත අභියෝගයට ලක් කර තීන්දුවක් දුන්නද සිරිසේනගේ තනතුරට බලය කිසිදු බාධාවක් නොවේ. මේ නිසා ඔහු නැවත වටයකින් රනිල්ට වැඩ කළ නොහැකි පසුබිම හදනවා නියතය. අද තමන් අවංක පිරිස යැයි පාර්ලිමේන්තුවේ කෑගැහැව්වද? එජාපයට කළ හැකි වෙන කෙන්ගෙඩියක් වේද? අරලියගහ මන්දිරයේ සිටියා යැයි කවුරු හෝ රනිල්ව අගමැති ලෙස බාර ගනිත්ද? එජාප නාඩගමද සැබැවින්ම දැන් ඕනෑවටත් වඩා වැඩිය. බොරු සත්‍යග්‍රහ පවත්වා රවටනුයේ කාවද? මේ ඔක්කොම දේශපාලන නාටකය. ඒ සියල්ල එජාප නිෂ්පාදනය.

පෙනී සිටීම්

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය රනිල් සමග එක්ව මහින්දලාට එන්න නොදෙන සෑමදේම කළත් රනිල් අගමැති ලෙස පිළිනොගන්නට පරිස්සම් වේ. එලෙස පරිස්සම් නොවී එකෙන්ම රනිල්ව තෝරා ගන්නේ නම් අහවර නැද්ද? රනිල් සමග ප්‍රජාතන්ත්‍රවාදය කතා කිරීමට කැමති මේ අය රනිල් සමග අගමැතිකම කතා කරන්නට මැලිය. මේ අනෙක් දේශපාලනික ගුණ්ඩුවය. දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජවිපෙද තම ඡන්ද පදනම රැකගැනීමට කාටත් නැති අතරමැදි තැනක සිටී. එහෙත් ඔවුන් ඉන්නා තැන ඕනෑවටත් වඩා පැහැදිලිය. එහෙත් එය පිළිනොගනී. ඒ අතින් මහින්ද වෙනුවෙන් පෙනී සිටින අය මහින්ද වෙනුවෙන් එළිපිටම දිවිදීමට වුව සූදානම්ය. සැබැවින්ම ඔවුන්ගේ පෙනී සිටීම් අවංකය. එහෙත් රනිල් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන පවා රනිල්ට වඩා රනිල්කරණය වුවද එළිපිට කීමට මැලිය. මේ අබල දේශපාලනික මැදිහත්වීම් හැමදාම රනිල් අසරණයකු කර ඇත. තමා රනිල් නැවත බලයට ගෙනවිත් මිස මේ සටන අත්නොහරින බවට වික්‍රමබාහු ප්‍රකාශයක් කර තිබුණි. වාසු මෙන්ම බාහුද පව්ය. මේ දෙදෙනාම මහින්දගේ මෙන්ම රනිල්ගේ වහල්ලු වී සිටිති. වික්‍රමබාහු සටනක් කරන බව දන්නේ එලෙස කී විටය. එහෙත් සටන කුමක්දැයි නොපෙනේ.

වසන්තගේ ජාතකය

මේ සියල්ල අස්සේ අමුතුම දේශපාලන ආශ්වාදයක් ජනතාවට ලබාදෙනුයේ වසන්ත සේනානායකය. ඔහු එජාපයටත්, මහින්ද ගාවටත් පනිමින් සිටී. දැන් ඔහු නැවත එජාපයට පැමිණ ඇත. මේ දෙපිරිසම ඔහුව ප්‍රතික්ෂේපද නොකරති. කුකුල් ගූත් බේතට ඕන වෙනවා කියන්නා සේ මොවුන්ද කරබාගෙන ඔහුව එන එන විට බාර ගනිති. මේ දේශපාලන වටහා ගැනීමෙන්ම මේ ලිපිය අවසන් කරමි. මෙරට වත්මන් දේශපාලනය කොතරම් අගනා ලෙස වටහා ගන්නට වසන්තම කදිම උදාහරණයය. වසන්තගේ පැනිල්ල ගැන බොහෝ දෙනා බොහෝ දේ කියතත් ඇත්ත එය නොවේ. ඇත්ත නම් මේ හැසිරීමට හේතුවයය. එය තේරුම් ගැනීම හරහා බොහෝ දේ තේරුම් ගත හැකිය. එනම් වසන්ත සේනානායක යනු ඩී.එස්. සේනානායක පරපුරේ කෙනකු නොව ඩී.එස්. සේනානායකගේ අශ්වයාගේ පරපුරේ කෙනෙකි.