සංවර්ධනයෙන් පිළිස්සෙන හම්බන්තොට මිනිස්සු

සටහන, ඡායා- රසික ගුණවර්ධන

පුළුස්සා දමන්නට තරම් චණ්ඩ හිරු රැස් හම්බන්තොටට පතිත වේ. හම්බන්තොටට පැමිණෙන කොයි කවුරුත් ඒ චණ්ඩ හිරු රැසින් පිලිස්සී යා යුතුය. හම්බන්තොට නියමය එයයි. අප හම්බන්තොටට ගියේ ඒ හිරු රැසින් හැමදාම පිලිස්සෙමින් ජීවත් වන්නට සිදු වී ඇති හම්බන්තොට වාසීන් සොයා ගෙනය. මේ එසේ මිනිසුන් පිළිස්සෙන හම්බන්තොට වාසීන්ගේ කතාවයි.

කාලයක් තිස්සේ සංවර්ධන කටයුතු යැයි හැඳින්වුණු බොහෝ ව්‍යාපෘතින් සිදුවූයේ හම්බන්තොට කේන්ද්‍ර කරගනිමිනි. හම්බන්තොටට යන්නකුට ඒ සංවර්ධන කටයුතු නමින් හැඳින්වුණු ව්‍යාපෘතීන් අද ද දැකගත හැකිය. කෙළවරක් නොපෙනෙන කලාතුරකින් වාහනයක් දෙකක් ගමන්ගන්නා විශාල මාර්ග, අක්කර ගණනක කෑළෑවක් මැද හැදූ ගුවන්තොටුපළ, පාලුවට ගිය සම්මන්ත්‍රණ ශාලාව, ගොඩ බිම කපා රට තුළ හැදූ වරාය. මේවා තවමත් දෘෂ්‍යමානය. හම්බන්තොටට ආඩම්බරයක් ගෙනෙනවා යැයි කී සංවර්ධන ව්‍යාපෘතීන් අද හම්බන්තොට මිනිසුන්ට ව්‍යසනයක් වී ඇති වග කීවේ හම්බන්තොට වාසීන්මය. ඒ ව්‍යසනය තව තවත් තීව්ර කරන්නට හම්බන්තොට ඉදිවීමට යන විදුලි බලාගාරය හේතු විය හැකිය. මේ කතාව සංවර්ධනයේ මුවාවෙන් වසා දමන්නට යන මිනිසුන්ගේ වේදනාව පිළිබඳවයි.

වරාය

විදුලි බලාගාරය පිළිබඳව පැවසීමට පෙර හම්බන්තොට ඉදිවූ විශාලම ව්‍යාපෘතිය වන හම්බන්තොට වරාය පිළිබඳව පැවසීම වැදගත්ය. හම්බන්තොට වරාය ඉදිකළ මහින්ද රාජපක්ෂ රජය එකල පැවසූවේ මේ වරාය නිසා හම්බන්තොට මිනිසුන්ට ඝෘජු සේම වක්‍ර රැකියා දහස් ගණනක් හිමි වන බවයි. එහෙත් වර්තමානයේ සිදුවී ඇත්තේ අනෙකකි. ඔවුන්ට තිබුණු රැකියාද අහිමි වී ඇත.

වරාය ඉදි වීමට පළමුව කොළඹ කතරගම මාර්ගය වැටී තිබුණේ සිංහපුර හරහාය. එකල එම නගරය ජනාකීර්ණ නගරයක් විය. නිතර දෙවේලේ දිවෙන බස් රථ ද වන්දනා ගමන් යන නඩ ද නතර වී ගිමන් හැරියේ ද අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්තේද සිංහපුරයෙනි. එහි එකල ෆාමසි, සිල්ලර බඩු කඩ, නවාතැන් ගත හැකි හෝටල් කාමර, ආහාර පාන මිලදී ගත හැකි දිවා රාත්‍රී කඩ, තැබෑරුමක් ආදී නගරයකට අවශ්‍ය සෑම අංගයක්ම තිබුණි.

එහෙත් වරාය ඉදි කිරීමට එම මාර්ගය වසා දැමීමත් සමඟ එම මාර්ගය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය. ඒ හරහා සියලුම පෙරකී ව්‍යාපාර ඇනහිටියේය. එතෙක් ස්වාධීනව ව්‍යාපාර කරගෙන ජීවත් වූ සිංහපුර බොහෝ දෙනෙක් දැන් ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.

කතරගම කොළඹ මාර්ගය වසා දැමීමට පෙර සිංහපුර නගරයේ නිවාඩු නිකේතනයක් කළ රත්නකුමාර ඒ ගැන මෙසේ පැවසූවේය.
“මට ඉස්සර මාසෙකට ලක්ෂ එකහමාරක විතර ආදායමක් තිබ්බා. සේවකයො හය හත්දෙනෙක් වැඩ කළා. ඒ ඔක්කොම නැතිවෙලා ගියා මේ පාර වහපු එකෙන්. අපි රජයටවත් කාටවත් බරක් නැතුව අපේ උත්සාහයෙන් ජීවත් වුණ මිනිස්සු. දැන් අපිට නෙවේ අපේ දරුවන්ටවත් අනාගතයක් නැති වෙලා තියෙන්නේ. අද වෙනකන් වන්දියක් දීල නෑ.” රත්නකුමාර එසේ කියන විට ඊට එකතු වූ ඔහුගේ බිරිඳ සුනේත්‍රා පැවසුවේ මෙවැන්නකි. “ඉස්සර වඬේ ටිකක් හදල නැත්තන් ගහක හැදෙන අඹ ටිකක් කපල මිරිස්කුඩු ටිකක් දාල පාර අයිනෙ තියාගෙන හිටියත් දවසේ ගාන හොයා ගන්නවා. හැබැයි පාර වැහුවයින් ඒ මුකුත් නැති වෙලා.”

සිංහපුර ළඟම කඬේ එකල සිංහපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකි. කතරගම බලා ධාවනය වන බස් විශාල ප්‍රමාණයක් තේ පානය කිරීමට නැවැත්වූවේ රාජාගේ ළඟම කඬේය. ගමේ මිනිස්සු රාජා කීවාට රාජාගේ නියම නම ජෙයිනුදීන්ය. ඔහුගේ කඩයට ද දැන් උරුම වී ඇති ඉරණම ශෝචනීයය. එකල දිනකට මිනිසුන් සිය ගණනක් ගැවසුණු රාජාගේ කඬේ අද එක් මේසයකටත් පුටු හතරකටත් සීමා වී ඇත. ඒ දැනට කරගෙන යන සුළු ආප්ප ව්‍යාපාරය සඳහාය.

“පාර වැහුවයින් අපි අනාථ වුණා. අපි කවුරුත් හිතුවෙ නෑ මෙහෙම වෙයි කියල. මේ ගොල්ලො අපි හැමෝටම හීන මවල තිබ්බෙ. අපි බලාගෙන හිටියේ සංචාරකයෝ එද්දි බතික් කඩයක් හරි දාගෙන අලුත් බිස්නස් එකක් පටන් ගන්ඩ. ඒ හින්ද පාර වහනවට කවුරුත් අකමැති වුණේ නෑ. දැන් කඬේට එන්නේ ගමේ අය විතරයි. මේ ආප්ප විකුණල දවසට හම්බ වෙන්නෙ රුපියල් දෙසීයක් විතර, සමහර දවස් වලට ඒකත් නැහැ. මගේ බිරිඳයි ළමයිනුයි ඔක්කොම බලාගන්ඩ ඕනේ මේ මුදලින්.” රාජාගේ කඩය ඉදිරියෙන් යන්නේ යතුරු පැදිත් ඉඳහිටක යන ත්‍රීරෝද රථයකුත් පමණි. ඒවාද මේ කඬේ ළඟ නවත්වන්නේ කලාතුරකිනි.

ඉර්ෂාන් ද සිංහපුර ගමේ සිටි තවත් ව්‍යාපාරිකයෙකි. ඔහු එකල සපත්තු හා සෙරෙප්පු කඩයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහුටද මේ මාර්ගය වැසූ නිසා සිය වෘත්තිය අහිමි වී ගොසිනි. ”අපට පාර වහද්දි කීවේ වරාය හැදුවහම පිටරටින් එන සුද්දන්ට තැඹිලි ගෙඩියක් විකුණල හරි දියුණු වෙන්ඩ පුලුවන් කියලා. අන්තිමට සුද්දන්ට නෙවේ ලංකාවේ මනුස්සයකුටවත් තැඹිලි ගෙඩියක් විකුණගන්ඩ අපිට බැරිවුණා.” ඉර්ෂාන් දැන් කුඩා වඬේ කඩයක් එම පාර අසල දමාගෙන ජීවත් වීමට වෙර දරයි.

වරායේ තෙල් ජැටිය අසල එනම්, හම්බන්තොට නාවුක හමුදා කඳවුරට මුහුණලා ජීවත් වන ගම්වාසීහු බොහෝ පීඩාවට ලක්වෙති. “තෙල් නැව ඇවිල්ල ජැටියට ගහල තෙල් බානකොට අපේ ගෙවල් වල ජනෙල් දොරවල් පවා දෙදරුම් කනවා. දුම එනව, හුස්ම ගද්දි තෙල් ගඳ නහයට දැනෙනවා. මේ ගෙවල් වල පොඩි දරුවො ඉන්නවා. ඒ දරුවන්ට මේව කොච්චර බළපෑමක් ඇද්ද?” කුමාර අපෙන් විමසයි. කුමාරලාගේ ජීවිත වලට උත්තර ගේනවා යැයි කියා මේ ව්‍යාපෘති ආරම්භ කළ රාජපක්ෂලා මේවා නෑසූ කන් ඇතිව සිටින්නේ ඔවුන්ටද මේවාට උත්තර නැති නිසාය.

සිංහපුර වැසියන්ගේ ජීවිත සුනු විසුණු කළ වරාය ව්‍යාපෘතිය සේම LNG නම් විදුලි බල ව්‍යාපෘතියක් හම්බන්තොටට එන්නේ ඔවුන් ඉතුරු කරගත් සොච්චමද සුන්නද්දූලි කර දමන්නටය.

LNG ව්‍යාපෘතිය

2018 සැප්තැම්බර් විසිනව වනදා එවකට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළ බව උපුටා දක්වමින් colombopage නම් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඊළඟ මාසයේ එනම් ඔක්තෝබර් මාසයේ චීන රජය සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව හම්බන්තොට ප්‍රදේශයේ  LNG විදුලි බලාගාරයක් ඉදිකරන බවයි.

එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට දැනට යෝජනා වී ඇත්තේ මිනිසුන් ස්ථීරලෙස පදිංචි වී සිටින හම්බන්තොට බටහිර ග්‍රාමනිළධාරී වසමයි. ඊට ඉදිවින්න, ගෙවල් 35, ගෙවල් 18, තාගට් පාර ඇතුලු ගම්මාන විශාල ගණනක් අයත් වේ. මෙහි දළ වශයෙන් පවුල් 230 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර මේ ප්‍රදේශය හම්බන්තොට වරායේ තෙල් බහාලුම් පර්යන්තය අසල ඇති ආසන්නතම ගම්මාන කිහිපයයි.
හම්බන්තොට සිදු කළ සංචාරයෙන් අප දුටුවේ ජීවත් වීමට ඉතාම සුදුසු භූමිය මේ ප්‍රදේශය බවයි. හම්බන්තොටට ආවේණික වියලි කාලගුණය මේ ප්‍රදේශයේ නැත. ගම්මානයේ වවා ඇති විශාල ගස් ගම්මානයට සිසිල සලසයි. එසේම මේ ප්‍රදේශයේ ජීවත් වන්නේ රාජ්‍ය විශ්‍රාමික සේවකයෝය. ඔවුන් සිය රාජකාරී නිමාකර ජීවිතයේ සැඳෑ සමය විවේකීව ගෙවීමට තිබූ බලාපොරොත්තු එල්.එන්.ජී. ව්‍යාපෘතිය පැමිණ උගසට තබා තිබිණ.

“අපි වයෝවෘද්ධයි. අපි විශ්‍රාමිකයො. මේ ගොල්ලො කියනව ඉඩම් වලට ඉඩම් දෙන්ඩ විදිහකුත් නෑ, වන්දියක් දෙන්නම් කියල. අපට දැන් ගිහිල්ල ගෙවල් හදන්ඩ කාලෙකුත් නෑ. අපි ලෙඩ ගානේ ඉන්න මිනිස්සු.” එසේ කියන්නේ විදුලි ව්‍යාපෘතියෙන් ගම ගිලගන්නවාට විරුද්ධව කටයුතු කරන මතඟවීරය.

බටහිර හම්බන්තොට ටාගට් පාරේ දකුණු ඉව්රේ නිවාස සියල්ලම පාහේ මේ වන විට කඩා ඉවත් කර ඇත. නිවාස ඉවත් කර ඒ ඉඩම හම්බන්තොට වරායට පවරාගෙන ඇත. ඉතිරිව ඇත්තේ වම් ඉව්රේ නිවාස කිහිපයත් වම් පස ගම්මානය තුළට වන්නට පිහිටා ඇති නිවාසත්ය. මේ කියන මිනිස්සු එම ප්‍රදේශයේ ජීවත් වෙති.

“අපට තව තැනකට ගිහිල්ල මුල ඉඳල දුක් විදින්ඩ බෑ. අපි හම්බකරල දුක් මහන්සියෙන් හදාගත්ත ගෙවල් මේව. මේ ගමේ මිනිස්සු හැම කෙනෙක්ම එහෙමයි. ඇයි වෙන තැනක් නැද්ද මිනිස්සු ඉන්න ගමේම මේක හදන්ඩ යන්නේ? මේක හැදුවොත් අපිව ගිහිල්ල කැලේට දායි. ඒකෙ අලි, අපිට රෑ එළිවෙනකන් අලි එළව එළව ඉන්ඩ වෙන්නෙ.” ඔහු නමින් ධර්මදාස වන අතර ඔහු දැනට රජයේ විශ්‍රාමික ලිපිකරුවෙකි.
වර්තමානයේ ගමේ වෙසෙන බොහෝ දෙනකු මේ ගමට පැමිණ තිබෙන්නේ මීට බොහෝ කාලයකට පෙරය. ඒ කාලයේ පටන් වූ ඔවුන්ගේ කැපවීම හා උත්සාහය මත මේ ගම ගොඩ නැගුණු ඔවුහු කියති. “මේ ගමට අපි ඉස්සල්ල එද්දි මේ ඉඩම් වල තිබ්බේ කටු පඳුරු. අපි ඇවිල්ල සුද්ද කරල වතුර දාල තමයි මේ ගස් කොළන් හදා ගත්තේ” එසේ කියන මතඟවීරගේ ඉඩමේ විශාල ගස් කොළන් පිරී ඇත. ඒ අනුව මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති බිම සශ්‍රීක භූමියක් බව පෙනී යයි.

මිනිසුන් අතර ගොඩනැගෙන සංස්කෘතියක් පවතී. එය එකිනෙකා අතර සුහදත්වය නිර්මාණය කරන අතර සමීප බවද වර්ධනය කරවයි. ගමේ බොහෝ දෙනකුට එකිනෙකා අයියලාය, මල්ලිලාය, නැතිනම් අක්කලා නංගිලාය. මේ සුහදත්වය සහ සංස්කෘතිය නිර්මාණය වන්නේද ඔවුන් එකිනෙකා සමඟ බැඳීමෙන් ජීවත් වන නිසාය. ලෙඩක් දුකක් වෙලා කෑ ගැහුවත් ළඟ අහළ පහළ අය තමා දුවගෙන එන්ඩ ඉන්නෙ. හදිස්සියක් වුණොත් නම කියල කෑ ගහන්ඩ හරි අපි මේ ගමේ කට්ටියව දන්නවා. හැබැයි අපිව වෙන තැනකට ගිහිල්ල දැම්මොත් මොකද වෙන්නේ. අපි කොහොමද ජීවත් වෙන්නේ.” ගලප්පත්ති එසේ කියයි. ගලප්පත්තිලා හම්බන්තොට පාරම්පරික ඉඩම් හිමියෝය. ඔවුන් උපයාගත් දේද උකහා ගත දේද ඇත්තේ ඔවුන් ජීවත් වන තමන්ගේ ඉඩම් වලය. ගලප්පත්තිලාට ඇත්තේ භූමිය හා බැඳුනු සංස්කෘතියකි. ඔවුන් ඒ භූමියෙන් ගලවා දමන තැන එය වේදනාවක් වන්නේ ඒ නිසාය.

මේ හම්බන්තොට බටහිර ග්‍රාමසේවා වසමේ හම්බන්තොට ශාන්ත මරියා විදුහලද, හම්බන්තොට ප්‍රාථමික විදුහලද, හම්බන්තොට ජාතික රෝහලද, හම්බන්තොට රජයේ හෙද විදුහලද පිහිටා ඇත. විදුලිබලාගාර ව්‍යාපෘතිය පැමිණියහොත් මේ සියල්ල මේ භූමියෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත. එහෙත් ඊට ගැලපෙන විකල්ප වැඩපිළිවෙළක් තවම ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නැත. ප්‍රධාන මාර්ගය වැසූ නිසා ව්‍යාපාර අහිමි වූ බොහෝ දෙනෙක් එදාවේල හොයා ගන්නේ හෙද විදුහලේ සිසුවියන්ට නවාතැන් පහසුකම් දීමෙනි.

මානව හා පරිසර අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජයවර්ධන, විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ගමට හා ගමේ මිනිසුන්ට සිදු වීමට යන හානිය වළක්වා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිට වැඩ කරන අයෙකි. ඔහු කියන්නේ මෙවැන්නකි. “මේ වගේ ව්‍යාපෘති ලෝකෙ අනිත් රටවල් වල කරන්නේ මිනිස්සු නැති ජනශූන්‍ය ප්‍රදේශ වල. මේ වගේ සරුසාර සශ්‍රීක ප්‍රදේශ මේවට ලෝකෙ කොහෙවත් යොදාගන්නෙ නෑ. දුර දිග නොබල සිද්ද කරන මේ වැඩ වලින් ඉදිරියෙදි හානි වෙන්නෙ මිනිස්සුන්ටමයි.”

ප්‍රින්සි මේ ගම නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඇය පාසල් ගුරුවරියකි. ප්‍රින්සි අපට කීවේ ගමේ මිනිස්සු අපට කීවාට වඩා වෙනස් කතාවකි. “මේ ව්‍යාපෘතිය වරායත් එක්ක ආපු අනු ප්‍රොජෙක්ට් එකක්. මේක වරායෙන් ඈතට ගෙනිහිල්ල කරන්ඩ පුලුවන් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. මේ හරියෙන් ගත්තොත් තමයි හානිය අඩු. ඔය කියන අනිත් පැති ඉදිරියේදී ජනාකීර්ණ වෙන පැති, සංවර්ධන ව්‍යාපෘති ගැන හිතුවොත් එහෙම මිනිස්සු ඔයිට වඩා දේවල් දාල ගියා. ඒ ගොල්ලො මෙතන විදුලි බලාගාරය ගහන එකේ අපට නම් මහාලොකු අවුලක් තේරෙන්නේ නෑ.”

පාරිසරික බලපෑම

මෙම විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් මේ ප්‍රදේශයේ පවතින විශාල ජෛව විවිධත්වයට ද බලපෑම් එල්ල විය හැකිය. ව්‍යාපෘති සිතියමේ ආරක්ෂක කලාපය යනුවෙන් නම් කළ කලාපයක් ඇත. එම සීමාව තුළ භූමිය නිරීක්ෂණයේදී දැකගත හැක්කේ එම භූමිය තුළ කළපුවකුත් වගුරු බිමකුත් ඇති බවයි. “මේ බිමට කාලෙකට පිට රට ඉඳලා කුරුල්ලෝ වර්ග එනවා. ලංකාවේ විවිධ පැති වලින් කුරුල්ලෝ එනවා. මිනිස්සු මේ කලපුවෙන් විවිධ ප්‍රයෝජන ගන්නවා. මේ කලපුව හම්බන්තොට තියන වැදගත් පරිසර සම්පතක්.” මානව හා පරිසර අයිතීන් සුරැකීමේ සංවිධානයේ ජයන්ත එසේ කියයි.

චීන කොළනිය

මේ ව්‍යාපෘතියට භූමිය වෙන් කිරීමේදී විශේෂත්වයක් දැකගත හැකිය. එනම්, ඊට යොදා ගැනීමට නියමිත භූමිය සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාසය. ඒ ජනාවාස කිහිපය ඉවත් කළ විට තනිකරම ඒ ප්‍රදේශය ජන ශූන්‍යය වේ. මේ ප්‍රදේශය දූපතක් වැනිය. ව්‍යාපෘතියට යොදා ගැනීමට යෝජිත ප්‍රදේශය හා හම්බන්තොට එකතු වන්නේ මොඹුවැටිය පාලමෙනි. ඒ පාලම ඉවත් කළ හොත් මේ ප්‍රදේශය දූපතක් බවට පත් වේ.
ප්‍රදේශවාසීන්ගේ අදහසට අනුව මේ උත්සාහ කෙරෙමින් පවතින්නේ අදාළ භූමියෙන් ජනතාව ඉවත් කර භූමිය චීන සමාගමකට බදු දීමටය. “මිනිස්සු හිටියහම ඒ ගොල්ලන්ට බෑනේ මේ ඉඩම් ගන්ඩ. ඒ හින්ද ඒ කට්ටිය ඉස්සල්ලම මිනිස්සු ඉන්න ඉඩම් අයින් කරනවා. මොකද මේ ව්‍යාපෘතියට ඕනෙ නම් මිනිස්සු නැති කැලේ ඉඩම් ඕනේ තරම් තියනවා. ඒව නොගන්නේ මේ ඉඩම් ටික චීනෙට දෙන්ඩ මෙයාලගේ බලාපොරොත්තුවක් තියන හින්ද” එසේ කියූ ගම්වැසියකු සිය නම සඳහන් කරනවාට කැමති වූයේ නැත.

ඒ අනුව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම පාහේ ජන ජීවිතය ඉවත් කිරීම මේ විදුලි බල ව්‍යාපෘතිය හරහා සිදු වුවහොත් ගමේ මිනිසුන් කියන පරිදි චීනයට වේවා, ඕනෑම ව්‍යාපෘතියකට සින්නක්කරයටම මේ භූමිය දීමට හැකියාවක් ඇත. එසේ දීමට ඇති ප්‍රධානතම හැකියාව නම් මේ භූමිය දූපතක් ලෙස පිහිටීමත් ඒ හරහා බාහිර බාධකයන්ගෙන් තොරව සියලු කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබීමත්ය. එසේම මෙම විදුලි බල ව්‍යාපෘතිය සිදුකරන සමාගම චීන සමාගමක් වන අතර එයද ගම් වැසියන්ගේ සැකය තහවුරු කරන තවත් සාධකයක් බවට පත් වී ඇත.
එසේම හම්බන්තොට පැවති පරිපාලන නගරය තිබූ තැනින් ඉවත් කර ඇත. එය ඉවත් කර ඒ ප්‍රදේශයේ රුහුණු මාගම්පුර ජාතික කෞතුකාගාරය

ඉදිකර ඇත. ඉවත් කළ පරිපාලන නගරය ගෙන ගොස් ඇත්තේ හම්බන්තොට උතුරු කොණටය. එහෙත් තවමත් බස් නැවතුම්පළ හා පොදු වෙළඳපොළ ඇත්තේ පැරණි ස්ථානයේමය. අවශ්‍යතාවන් සඳහා රජයේ ආයතන වලට පැමිණෙන ජනයාට තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිළදී ගැනීමට ද බස් රථයකට ගොඩ වීමට මේ නිසා කිලෝමීටර තුන හතරක අමතර දුරක් යාමට සිදු වී ඇත.
එසේම හම්බන්තොට බටහිර ප්‍රදේශයේ තිබූ බොහෝ රාජ්‍ය ආයතන ඒ ස්ථාන වලින් මේ වන විට ඉවත් කර ඇත. ජාතික දැව දෙපාර්තුමේන්තුව, පළාත් ආදායම් බදු දෙපාර්තුමේන්තුව, විදුලි බල මණ්ඩලය, කම්කරු කාර්යාලය, සුරා බදු කාර්යාලය, ඒ අතුරින් ප්‍රධාන රාජ්‍ය ආයතන වේ.

විකල්ප ඉඩම්

මෙම ව්‍යාපෘතිය තමන්ගේ ගම්මානයේ ඉදිකර තමන්ගේ ගම්මානය සහ තමන්ගේ ගේදොර ද ජීවිත ද විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින මිනිස්සු ව්‍යාපෘතියට සුදුසු භූමියක්ද පෙන්වා දෙති. ඔවුන් කියන ඉඩම මේ වන විට රජයටම අයත් ඉඩමකි. එය 2018 සැප්තැම්බර් මස දාහත් වැනිදා එවකට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් අංක 2089/12 දරණ අති විශේෂ ගැසට් පත්‍රය හරහා ආයෝජන මණ්ඩලයේ කාර්යයන් සඳහා රජය වෙත පවරාගෙන ඇත. මොවුන් ඒ කියන ඉඩමද වරායේ සිට එතරම් දුරකින් පිහිටා නැත. එය වරායට ආසන්න භූමියකි. එහි මේ වන විට කිසිඳු ජනාවාසයක් නොමැති අතර එය පවතින්නේ කැළෑ වැදීය. ගම්වාසීන් පෙන්වා දෙන්නේ විදුලි ව්‍යාපෘතිය සඳහා එම භූමිය ඉතාම සුදුසු වන බවයි.

එම ඉඩමට අමතර ඔවුහු තවත් භූමියක් ද පෙන්වා දෙති. එය අලුතින් නිර්මාණය කළ භූමියකි. එනම් මීට කාලයකට පෙර හම්බන්තොට වරායේ ගලක් තිබූ බවට පැතිර ගිය ප්‍රචාරය ඔබට මතක නම්, මේ භූමිය හැදී ඇත්තේ එම ගලෙනි. එම ගල ඉවත් කර ඒ අපද්‍රව්‍ය මුහුදේ ගොඩ ගසා මේ භූමිය, හෙවත් දූපත නිර්මාණය කර ඇත. එය හම්බන්තොටට මදක් ඊසාන දිශාවට වන්නට පිහිටා ඇති අතර එහි භූමි ප්‍රමාණය අක්කර එකසිය පහක් පමණ වේ.

එම භූමිය යොදාගත හොත් එහිදී ආරක්ෂාව අතින්ද පරිසර හානිය අතින්ද අවම බළපෑමක් වන බව ගම්වාසීන්ගේ අදහසයි. එහෙත් අපට දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව ඒ භූමිය කොළඹ පෝට් සිටි වැනි ව්‍යාපෘතියක් සඳහා වෙන්කර එය චීනයට ලබා දීමට සැලසුම්කර ඇත.

සංවර්ධන ව්‍යාපෘතීන් රටකට අවශ්‍යය. එහෙත් ඒවාහි ප්‍රතිලාභ විදින්නට මිනිසුන් ජීවත් විය යුතුය. රටේ පිරිසකට සැප විඳින්නට තවත් පිරිසක් දුක් විඳිය යුතුද නැත. හම්බන්තොට මිනිසුන් ඉල්ලා සිටින්නේ තමන් දුක් මහන්සියෙන් උපයාගෙන ඉදිකරගත් තමන්ගේ නිවාසද තමන් රැකගත් පරිසරයද විනාශ නොකර ජනාවාස වලින් ඈත තැනක අදාළ ව්‍යාපෘතිය ඉදි කිරීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම අනාගතයේදී නොපිලිස්සෙන ඉරක් හම්බන්තොටට පායන තුරු ඔවුහු බලා සිටිති.