පිහි ඇනුමකට පෙර

ටිරන් කුමාර බංගගමආරච්චි

නොවැම්බර් 24දා දහවල් මාතර ඇලවේල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී 19 හැවිරිදි පාසල් සිසුවකුට තවත් සිසුවකු එල්ල කළ පිහි පහරින් මරුමුවට පත්විය. මෙය රටේ කාගෙත් කතාබහ අලුත් කළ අතර රටේ ප්‍රශ්න බොහොමයක් හීනියට අමතක කළේය. පරීක්ෂණවලින් පැහැදිලිවන්නේ පිහි පහර එල්ල කළ ප්‍රධාන චූදිත සිසුවා තවත් සිසුන් දෙදෙනකු සමග කල්වේලා ඇතිව යතුරු පැදියකින් පැමිණ කල්මරා සැලසුම් සහගතව මේ ඝාතනය සිදුකර ඇති බවයි. මෙම සිද්ධියෙන් පහර කෑ තවත් සිසුවෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඝාතනය කළ සිසුවා සහ ඊට අනුබල දුන් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නට පොලිස් කණ්ඩායම් හතරක් යෙදෙව්වද නොහැකි විය. අවසානයේ ඔවුහු නීතිඥයන් මාර්ගයෙන් පොලිසියට භාර විය. ඝාතනයට හවුල් අය රක්ෂිත බන්ධනාගාර ගතවද්දී මියගිය සිසුවාගේ දෙන පොළොවට පස් කොට හමාර වුවද මේ පිහි ඇනුම සමාජ ජාල හරහා නිතර නැරඹිය හැකිය. එය නිතර ඇස ගැටෙන සරල දසුනක් බවට පත්වී ඇත. එහෙත් මෙය බලන කාගේ වුව ඇස්වලින් මැකී ගියද මියගිය සිසුවාගේ පවුලේ අයගේ සහ ඔහුගේ ඥාතීන්ගේ හදවත් තුළින් කිසිදා නොමැකෙනු ඇත. එය සදාකාලික වෛරයක්ම ඉතිරි කරනු නියතය. එසේ නැතහොත් තවත් ඝාතන වැලක ආරම්භයක් අරඹනුද හැකිය. මියගිය සිසුවා මෙන්ම ප්‍රධාන වින්දිතයාගේ ජීවිතයද අඳුරු වූ මුත් මියගිය පාර්ශ්වය පැත්තෙන් කවදා හෝ එලෙස සාධාරණ විනිශ්චයක් හෙළනු ඇද්ද?

නැරඹීම

ඕනෑම සිද්ධියක් කැමරා කෝණ හරහා නැරඹීම සුලබව සිදුවන්නකි. අද හැමදේම කැමරාවකට හසුවී හමාරය. එය ලිංගිකත්වයේ සිට ඝාතනය දක්වා පුළුල් වී ඇත. ඇතැම්විට ඝාතනය කළ සිසුවා තම වීරකම පෙම්වතිය දකින බැවින් මෙය කැමරාවට හසුවීම ගැන ආඩම්බර වනවාද විය හැකිය. එහෙත් ඒ පෙම්වතිය නොව මොන පෙම්වතියක් හෝ ඔහු අත ගන්නට මැලිවනවා නියතය. තරුණියකගේ මාපියන් ඔහුට දියණියක් දීමට කැමති වෙතැයි සිතිය හැකිද? අනෙක් අතට මේ ඝාතනයට සම්බන්ධ චූදිතයා නිදහස් වී ආ කල මේ පෙම්වතිය ඔහුව හැර ගොස් සිටියහොත් ඔහුට අත්වන ඉරණම කුමක්ද? වර්තමානයේ සැවොම වීරයෝ වීමට වලිකති. කාන්තාවන් පවා කැමති එවැනි වලියට බර වීර තරුණයන්ටය. ඒ නිසාම ප්‍රේමයන් වෙනුවෙන් ගැටුම් ඇතිවීම අද දවසේ බහුලව සිදුවන්නක් වී ඇත. උපකාරක පන්ති අසල නිතර දෙවේලේ ගැටුම් අසන්නට ලැබේ. එය මුලදී යාළුවන් අතර වුවත් පසුව එය පාසල් මට්ටමින්ද ව්‍යාප්ත වේ. එහි මුල සොයා යනවිට හමුවන්නේ ප්‍රේම පලහිලව්වකි. පාසල් යන අතර වලියක් නම් එහි මුල තරුණියක්ය. මේ සිද්ධියේ හේතු කාරක වන්නේ වින්දිතයාගේ පෙම්වතියට මියගිය තරුණයාගේ සහෝදරයකු විහිළු කළ බව හෝ ඇය දිනා ගැනීමට උත්සාහ කළ බවය. කුමක් වුව එය ඝාතනයකින් කෙළවර කරන්නට කරුණක්ද? ඕනෑම ගැටුමක මුල පුංචි පැනයකි. එය යුද්ධ දක්වා ගත්තද එලෙසය. ඒ නිසා තම පෙම්වතිය තුළ වීරයා වන පෙම්වතා තම නිවස වුව අමතක කරන කල ඇයට විරුද්ධව වචනයක් හෝ කියන අය වෙනුවෙන් ක්‍රියාකරනුයේද වීරකම ඇතිවය. ප්‍රේමවන්තයන් වීරයන් වන සමාජයේ විවාහකයන් අසරණ වී ඇත්තේ වීරත්වය තුළම ජීවිතයද පහසු යැයි අරුත් ගන්වාගෙන සිටි බැවිනි.

මාතර ගැම්ම

ලංකාවේ දකුණ කිව් කල බෙන්තර ගඟෙන් එපිටය. උතුරට සාපේක්ෂව අනෙක් අන්තය දකුණ වුවද බෙන්තර ගඟෙන් එපිට ඈයෝ ඒ නෑකමට මැලිවූයේ, ඔවුහු තනියම වීරයන්වෙමිනි. මහින්ද රාජපක්ෂ සමග දකුණ තවත් ආඩම්බර විය. ප්‍රභාකරන් මරා දැමීමත් සමග සමස්ත දකුණම වීරයෝ වූහ. ප්‍රභාකරන් මරා කිරිබත් කෑ සිංහලයෝ ඉන්පසු තම තමන් ඇන ගත්හ. අපරාධ බුරුතු පිටින් සිදුවන විට ඒ පිටුපස සිටියේ යුද්ධයෙන් වීරයන් වූ රණවිරුවන්ය. ඔවුහු යුද්ධයෙන් උගත් පාඩම් යුද්ධයක් නැති කල සමාජය හමුවේ අත්හදා බැලූහ. ඕනෑම අපරාධයක්, ඝාතනයක් පිටුපස හමුදාවෙන් පැන ආ අයකු විය. ඒ තරමට තත්ත්වය නරක් වෙද්දී අවසානයේ අවුරුදු දාහතේ දහඅටේ කොල්ලා දක්වා චණ්ඩිකම සාමාන්‍ය විය. ආයුධයක් සමග ගැටුමකට යන ඕනෑම අයකු තුළ ඝාතනය සාමාන්‍ය බව සිහි තබා ගත යුතුය. එබැවින් කිසිවක් අත් වැරදි නොව හිතාමතාම කරන වැරදි බව හිතාගත යුතුය. ප්‍රශ්නය මේ ප්‍රශ්නවලදී සමාජය නිද්‍රාශීලීව සිටීමය. දකුණේ ගැම්ම මේ පිහි ඇනුම වේලාවේදී තිබුණේ මේ තරුණයා ළඟ පමණද? අවට සිටිවුන් බලා සිටීම හැර මාතර ගැම්ම හෝ ඇම්ම නොපෙන්වූයේ ඇයි? දැන් කිසිවෙක් කිසිවකට අත දමන්නට කැමති නැත. අම්මා තාත්තා මරා ගත්තද දරුවන් කරනුයේ ඉවත්ව යෑමය. ඊට හවුල් වූ පුත්තු තාත්තලා අතින් මියගිය සිද්ධි කිහිපයක්ම පසුගියදා වාර්තා විය. ඒ එක පැත්තකි. තවත් පැත්තකින් උස් මහත් වූ තරුණයකුට අත එසවීමට පියකුට හෝ බැරිය. මන්ද එහි රිටන් එක ආ කල පිය පදවිය අහවර වන බැවිනි. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය කිරීමට උතුර නොව දකුණද ඇතුළත් බව සියල්ලෝ අමතක කළහ. අද දකුණේ මෙන්ම උතුරේද අපරාධ එක ලෙසටමය. මෙවන් සිද්ධියකදී කවුරු හෝ අත දැම්මා යැයි කියමු. එය ඔහුට පෙරළා ආ කල ඔහු රැකගන්නේ කවුද? එසේ නැතහොත් මෙම සිද්ධිය නවත්වන්නට පිහිය ගෙන සිටින තරුණයාට පොල්ලකින් පහර දුන් කල ඔහු මියගියේ නම් එහි වගකීම කාටද? අනතුරක් සිදුවූ කල කිසිවකු අනතුරට ලක්වූ අය රෝහලට ගෙනියන්නට මැලිවන්නේ ඇයි? එතැන් සිට රෝහලට ගිය පුද්ගලයා ලෙඩාගේ සියලු වගකීම් කරගැසිය යුතු බැවිනි. මේ අහක යන ප්‍රශ්න තමන් අතට ගන්නට දැන් කවුරුත් කැමති නැත. එබැවින් දැන් හැමදේම පෞද්ගලික වී ඇත. කවුරු කාව මැරුවද ජීවත් වන අය බලනුයේ තමන් ගැන පමණය. රට පාලනය කළ සහ කරන හැත්ත අවසානයේ පුරුදු පුහුණු කළේ ඒ යථාර්ථයය. නීතිය දේශපාලනයට වහල් වූ කල අපරාධ ඇස් පියාගෙන සිදුවිය. නීතියේ දෙවඟනද ඇස් පියාගෙන නිසා තරාදිය සමබරද යැයි සිතන්නටවත් නොහැකි විය. දැන් හැමදේම අවුල් වී ඇත. උතුරේ ‘ආවා’ ගෲප් රැල්ලට දකුණු ඉන්දීය චිත්‍රපට බලපෑවා යැයි කතාවක් විය. පුංචි දේටත් කැපිලි කෙටිලි දෙමළ චිත්‍රපටවල බහුලය. මෙරට තරුණ පිරිස් බොහොමයක් වැටෙන්නට හැරියේද මේ දෙමළ චිත්‍රපටකරණයත් සමගය. ඕනෑම මාධ්‍යයක් හරහා ඇඩික් විය හැකිය. එය කුඩු ගසන්නට, මත්පැනට පමණක් පොදු නොවේ. මේ තරුණයාගේ පිහි ඇනුම වුව තව බොහෝ පිරිස් ආදර්ශයට ගත හැකිය. ඒ මියගිය අය පවා කියන්නා සේ ම ඝාතකයා වීරයන් කොට දකින සමාජය බහුල බැවිනි.

මාකඳුරේ මධුෂ්

ජනමාධ්‍ය ඉවක් බවක් නැතුව මාකඳුරේ මධුෂ් කෙනකු ගැන ලියති. ඔහු පාතාලයේ නායකයාය. ගෝඞ් ෆාදර්ය. මේ නාමකරණ කාගේද? මාධ්‍ය සතු නොවේද? මධුෂ් කෙනකු පුම්බා නොසිටින්න ඔහු මෙතරම් වීරයෙක් වේද? අද මධුෂ් වන්නට කීදෙනෙක් කැමතිද? අනෙක් අතට බොහෝ අය මධුෂ්ට අනියමාර්ථයෙන් බියක්ද ජනිත කරගෙන නැද්ද? අවසානයේ ජනපති ඝාතනයක් මධුෂ්ගේ ගිණුමට දාන තැනට මෙරට ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යයද කටයුතු කළේ සැබැවින්ම කාගේ වුවමනාවටද? මේ බොහෝ චරිත පැළ කරනුයේ පොලිසිය සහ මාධ්‍ය විසින්ය. ඒවා මහා ගස් කරනුයේ ඔවුන්මය. මේ විනාශයන්ට තිත තබන්නට නම් මාධ්‍ය මේ දහජරාව වළදාන සංස්කෘතිය මුලින්ම අවසන් කළ යුතුය.

තවත් එකක්

මාතර සිද්ධියට සමගාමීව බේරුවල මරක්කලවත්ත ප්‍රදේශයේ තවත් සිසුවකුගේ පහරකෑ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කොළඹ රෝහලේදී මිය ගියේය. එහෙත් එය මාතර සිද්ධිය තරම් මාධ්‍යයට ගොදුරක් නොවීය. එයට හේතුව පහරදෙන අයුරු සීසීටීවී කැමරාවල නැත. අද දවසේ කියනවාට වඩා පෙන්නන්නට සාක්ෂි වුවමනාය. මිනිස්සු අහනවාට වඩා බලන්න කැමතිය. නරඹන්නට ප්‍රියය. බේරුවල සිද්ධිය ඒ අතින් වැඩකට නැති විකිණිය නොහැකි මරණයකි. එහෙත් මාතර සිද්ධියේ සැකකරුවකු ඇල්ලුවද ඇල්ලීමට ප්‍රමාද වුවද පුවත දිග හැරෙනුයේ පිහි ඇනුම වීඩියෝව ප්‍රදර්ශනය කිරීමෙනි. මෙය මියගිය අයගේ පවුලේ අය සහ ඥාතීන්ව නැවත නැවත ඝාතනය කිරීමක් බවත්, මියගිය අය වළදමා අවසන් කළ නොහැකි වෛරයක් බව මේ ප්‍රදර්ශනකාමීහු අමතක කරති. මේ රටේ බොහෝ විනාශයන්ට මාධ්‍ය ඍජුවම වගකිව යුතුය.

උකුස්සකු හම ගසන අයුරු වීඩියෝ කළ අය අත්අඩංගුවට ගත්හ. සීගිරියට පස්ස පෙන්නුවායැ’යි මහා කෙඳිරියක් නැගුණි. එහෙත් තරුණියක ගෙල සිරකර මරා දමන අයුරු වීඩියෝ කරන වීඩියෝවත් සමාජ ගතවෙයි. බේරා ගන්නට එකකු යෝජනා කළ විට අනෙක් අය කියනුයේ පොලිසිය පවා අනුන්ගේ ප්‍රශ්නවලට අත නොදමන ලෙස අවවාද කර ඇති බවය. තකතීරු දේශපාලකයන් වෙනුවෙන් මරාගෙන මැරෙන පාක්ෂිකයෝ තව කෙනකුගේ ජීවිතයක් ගැන වගේ වගක් නැත. එලෙස වීඩියෝ කරන පිරිස මෙය මුදා නොහරින්න එය සමාජගත නොවේ. එහෙත් එවැනි වීර ක්‍රියාවලට කට්ටිය හරි කැමතිය. මේ හැමදේටම සමාජයක් ලෙස අප සැම වගකිව යුතුය. සැවොම බලනුයේ ඇඟ බේරා ගන්නටය. කාට කෙළ වුවද තමන් ගොඩ යන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු වෙන්නයි අඬ ගසන අය ප්‍රජාතන්ත්‍රවාදය කියා කියනුයේ කුමක්ද? බොරු කියන්න යැයි කියන අය කියනුයේ ඇත්තද? රටේ ප්‍රධාන පක්ෂ දෙක ජනතාව ඉදිරියේ සදාකාලික වෛරක්කාරයන් වී ඇත. එහෙත් රෑට සාදවලදී මේ අය එක පිලකි. එහෙත් සමාජය තුළ මහින්ද විරයා රනිල් ද්‍රෝහියා කර ඇත. රටේ අභිමානය, සාරධර්ම, සංස්කෘතිය සියල්ල රකින්නේ මහින්දය. කන්නේ රනිල්ය. මේ බොරුව නිර්මාණය කර ඇත්තේද මාධ්‍යම විසින්ය. සෑම විනාශයකටම මේ දෙපිරිසම හවුල්ය. පාර්ලිමේන්තුවේ බොරු ආවේගයට වඩා සමාජයේ ඇත්ත ආවේගය වෙනස්ය. රනිල් සහ මහින්දලා එකට රහසේ හමුවද්දී එළියේ සමාජය ඔවුන් වෙනුවෙන් මරා ගන්නේ ඒ නිසාය. සමස්ත බොරුවට අසුවීමෙන්ය. මේ බොරුව පරාජය කළ යුතුවන්නේ මේ හැම දෙයක් ගැනම සවිඥානිකවීමෙන් විනා පාට කණ්ණාඩි පැළඳීමෙන් නොවන බව සහතිකය. මියගිය අය මෙන්ම වින්දිතයන් ගැනද කතිකාව අවැසිය. මන්ද මේ දෙපිරිසම මේ සමාජයේම කොටස් බැවිනි.