රවින්ද්‍රගේ රෙදි ගැළවුණු නිශාන්තගේ ‘බී’ වාර්තාව

රසික ගුණවර්ධන

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරු හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රැකවරණය ලබා දුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඞ් භාරයට පත් කර සිටින වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට විරුද්ධව විභාග වන නඩුවට අදාළව පසුගිය 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති අයි. පී. නිශාන්ත සිල්වා කොළඹ මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’වාර්තාවේ රවීන්ද්‍ර විජේගුණරත්න විසින් පැමිණිලිකාර පාර්ශ්වයට, සාක්ෂිකරුවන්ට හා පරීක්ෂණ නිලධාරියා වන ඔහුට බලපෑම් සිදු කරන බවත් ඒ හරහා එකී පාර්ශ්වයන්ට බරපතළ අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවත් රවීන්ද්‍ර විජේගුණරත්නට එසේ ක්‍රියා කිරීමට අධාර අනුබල දෙන්නන් පිළිබඳව විමර්ශන කළ යුතු බවත් සඳහන් වේ.

එම වාර්තාවේ ඔහු තවදුරටත් සඳහන් කරන්නේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුගිය 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන තෙක් තමා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා බලාපොරොත්තුවෙන් සිටි නමුදු ඔහු නොපැමිණීම නිසා තමා දහවල් 12.15 පමණ දුරකතනයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ඇමතු බවයි.
එම ඇමතුමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ලේකම් කපිතාන් සමරනායක පිළිතුරු දී ඇති අතර ‘බී’ වර්තාවේ සඳහන් එම දුරකතන සංවාදය මෙසේය.

නිශාන්ත සිල්වා : මම අයි. පී. නිශාන්ත සිල්වා. කපිතාන් සමරනායක මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරලා දෙන්න.

කපිතාන් සමරනායක : මම කපිතාන් සමරනායක

නිශාන්ත සිල්වා : සර් මම අයි. පී. නිශාන්ත සිල්වා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ 10.00 ට එනවා කිව්වා. තවම ආවේ නැහැ.

කපිතාන් සමරනායක : නිශාන්ත අපි හිතුවේ ඔයා කටඋත්තරේ ගන්න මේ ඔෆිස් එකට එනවා කියලා. ඔයාට කවුරුත් උපදෙස් දුන්නේ නැද්ද?

නිශාන්ත සිල්වා : නැහැ සර් මට කවුරුත් ඒ ගැන කිව්වේ නැහැ. මම අත්සන් කරලා සර්ට දුන්න කොලේ තියෙන්නේ අද දින 10.00ට සී. ඩී. එස්. එකට එන්න කියලානේ. මම බලාගෙන ඉන්නවා සීඅයිඩී සර් එනකම්.

කපිතාන් සමරනායක : නිශාන්ත මම සී. ඩී. එස්. සර්ගෙන් අහලා කියන්නම්.

නිශාන්ත සිල්වා : හොඳයි සර්. මගේ දුරකතන අංකය 011 2…………

ඉන් අනතුරුව කපිතාන් සමරනායක ගෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත දුරකතන ඇමතුමක් ලැබේ.

කපිතාන් සමරනායක : අයි. පී නිශාන්ත සිල්වාට කතා කරන්න පුළුවන්ද?

නිශාන්ත සිල්වා : සර් මම නිශාන්ත තමයි.

කපිතාන් සමරනායක : මම කැප්ටන් සමරනායක. මම සී ඩී එස් සර්ට කතාකළා. එතකොට එතුමා කිව්වා අයි ජී පී සර්ට, සෙකටි්‍ර ඩිෆෙන්ස්ට කියලා තියෙන්නේ සී අයි ඩී එකට මෙහාට එන්න කියලා. ඔයාලට ඒ අයගෙන් අහන්න කිව්වා.

නිශාන්ත සිල්වා : හා සර්. මගේ උසස් නිලධාරීන්ට දැන්වීමට කටයුතු කරන්නම්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා එම දුරකතන සංවාදය උපුටා දක්වමින් සිය ‘බී’ වාර්තාව හරහා ප්‍රකාශ කරන්නේ ඒ අනුව 2018 නොවැම්බර් මස 27 වැනිදා පෙරවරු 10.00ට මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බව ඔහුගේ ලේකම් වශයෙන් කටයුතු කරන කපිතාන් සමරනායක මාර්ගයෙන් දැනුවත්ව සිටි බවයි. එසේම අද්මිරාල්වරයා තමාට ලැබුණු නියෝගය පිළිබඳව තේරුම් ගැනීමට නොහැකි මට්ටමක පසුවීම හරහා සිදු කර ඇත්තේ විමර්ශන කටයුතු වලට සහය නොදී ඔහුට අවශ්‍ය අභිමතය පරිදි කටයුතු කිරීම බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එසේම 2018 නොවැම්බර් මස 09 වන දින කොළඹ කොටුව මහේත්‍රාත් විසින් සිදු කරන ලද නියෝගය පරිදි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තමා විසින් කටයුතු සැලසුම් කරමින් තිබියදී පොලිස්පතිවරයාගෙන් තමාට ස්ථාන මාරුවීමේ නියෝගය ඇතුළත් ලිපියක් මානව කළමනාකරණ අධ්‍යක්ෂ අධිකාරී පණ්ඩුල වීරසිංහගේ අත්සනින් නොවැම්බර් මස 18 වන දින පස්වරු 6.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය වෙත ෆැක්ස් පණිවිඩයක් හරහා ලැබුණු බවත් එහි තවදුරටත් සඳහන් වේ.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩි. ඩබ්. ආර්. බී සෙනවිරත්න, පොලිස්පතිවරයාට ලිපියක් යවමින් නිශාන්ත සිල්වා එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධව කටයුතු කරන බවට මේ වන තෙක් තොරතුරු ලැබී නොමැති බවත් වෙනත් අපරාධ හෝ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී නොමැති බව දැන්වූ බවත් ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් 2018 නොවැම්බර් මස 13 වන දින ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී හා 2018 නොවැම්බර් මස 16 වන දින දුරකතනයෙන් පොලිස්පතිවරයා අමතා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ නිලධාරියකු බවට සිදු කර ඇති චෝදනා සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේශසහගත චෝදනාවන් බවට පැහැදිලිව පෙනී යන බවත් මෙම චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් නිශාන්ත සිල්වා වෙත ඉදිරිපත් වී නොමැති බවත් ඒ හරහාද තමාගේ නිරික්ෂණය තහවුරු වන බවත් සඳහන් කර ඇත.

එකී ලිපිය මගින් තවදුරටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් සිදු කළ ඉහත චෝදනාව සැකකරුවකු විසින් ඔහුට එරෙහිව පවත්වාගෙන යනු ලබන විමර්ශනයට බලපෑම් එල්ල කිරීමට ගත් උත්සාහයක් ලෙසය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එකී ලිපියෙන් පසු නැවත පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව කොට්ඨාසය වෙත තමාට ලබා දී තිබූ ස්ථාන මාරුවීමේ නියෝගය සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළේ යැයි තමාට දැන් වූ බව නිශාන්ත සිල්වා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන් කරයි.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ධූරයෙන් ඉවත් කිරීමට පළමු උත්සාහය ගෙන ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික රැස්වීමේදීය. එහිදී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නිශාන්ත සිල්වා එල් ටී ටී ඊ සාමාජිකයකු බවට ප්‍රකාශ කර ඇත. රවින්ද්‍ර විජේගුණරත්න විසින් පොලිස්පතිවරයා දුරකතනයෙන් අමතා නිශාන්ත සිල්වා එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ නිළධාරියකු බව ප්‍රකාශ කර ඇත්තේ ඉන් අනතුරුවය.

තවදුරටත් නිශාන්ත සිල්වා විසින් සිය වර්තාවේ සඳහන් කරන්නේ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ මෙම ක්‍රියා කලාපය තුළ තමාට හා සිය පවුලේ සාමාජිකයන්ටද බරපතළ අවදානමකට මුහුණ දීමට සිදු වී ඇති බවයි. එසේම එය 2013 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ පනතේ 08 (4) (අ), (ආ) වන වගන්තිය යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිදුකර ඇති බවත් එම පනතේ 10 (1) (අ) (ආ) යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු විසින් සිදු කර ඇති බවත් නිශාන්ත සිල්වා සිය වාර්තාව හරහා අධිකරණයට දැනුම් දී ඇත.

2018 නොවැම්බර් සම 25 වන දින මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවකු වන නාවික හමුදාවේ ලුතිතන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නමැත්තා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි නාවික නිලධාරීන්ගේ නිවස්නයේ වූ මත්පැන් හලේ ලුතිතන් කමාන්ඩර් ප්‍රේමරත්න සමඟ මත්පැන් පානය කරමින් සිටින අතර තුර දවල් 2.30 පමණ එම ස්ථානය අසලදී රවින්ද්‍ර විජේගුණරත්න සහ ඔහුගේ ආරක්ෂක නිලධෘරීන් විසින් ඔහුට පහර දී පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ සම්බන්ධව ලුතිතන් කමාන්ඩර් ගලගමගේ විසින් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇත.

එසේම ඒ සම්බන්ධව ගලගමගේ විසින් 2018 නොවැම්බර් මස 27 වන දින අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. එහිදී ඔහු බියට පත් වී ඇති බව තමාට නිරීක්ෂණය වූ බව නිශාන්ත සිල්වා විසින් සිය වාර්තාවේ සඳහන් කරන අතර එයින් උපුටා ගත් ලුතිතන් කමාන්ඩර් ගලගමගේ ප්‍රකාශයක් මෙසේය.

‘…..පැය 14.30 පමණ බාර් එක වසා දැමූ අවස්ථාවේ බාර් එකෙන් පිට වීමට බාර් එකේ දොර සමීපයට පැමිණි විටදී නිලධාරී නිවස්නයේ පිළිගැනීමේ කවුන්ටරය අසල සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න හා ඔහුගේ ආරක්ෂක නිලධාරින් දුටු බවත්, එවිට පිළිගැනීමේ නිලධාරියාගෙන් බාර් එක ඇතුළේ සිටින්නේ කවුදැයි උස් හඩින් විමසූ බවත්, එවිට පිළිගැනීමේ නිළධාරියා විසින් ලක්සිරි මහතා සිටිනවා කියා කියූ බවත්, ‘ඔය ප….යාට එන්න කියනවා’ කියලා උස් හඬින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කරවා තමාට ඇසුණු බවත් ‘ඒයි මෙහේ වරෙන් ප…යා’ යනුවෙන් තමාට ඇමතූ බවත් ‘අර ප….යා ඇදගෙන වරෙන්’ කියලා උස් හඬින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළ බවත්, එම අවස්ථාවේ තමා පසුපසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිස්තොලය තමා දෙසට එල්ල කරගෙන පැමිණි බවත්, එම අවස්ථාවේ තමාට මරණ භයක් ඇති වූ බවත්, එම පිස්තෝලය අතැතිව සිටි නිලධාරියාට තමා විසින් පා පහරක් එල්ල කළ බවත්, එවිට ඔහු ඇද වැටෙනවා දුටු බවත්, ඒ සමීපයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න සිටිනවා දුටු බවත් ‘නැවතියන් ප….යා’ යනුවෙන් නැවත උස් හඬින් කෑ ගැසූ බවත් එම සිදු වීම නිසා ඇති වූ බිය නිසා තමාට හැකි උපරිම වේගයෙන් දිව ගොස් ප්‍රධාන දොරටුවෙන් මහා මාර්ගයට පැමිණ කොටුව පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ බවත් ……’
ඉහත උපුටා දැක්වීම අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ සහ 1996 අංක 22 දරන තුවක්කු (සංශෝධිත) පනත යටතේ 1994 අංක 22 දරන වධ දීමට හා අනෙකුත් කෲර අමානුෂික වධ දීමට හෝ නිශ්චිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහිව වු පනත යටතේ මෙන්ම 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ පනත යටතේ වැරදි සිදු කර ඇති අතර මේ අනුව දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු විසින් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් සිය ‘බී’ වාර්තාව හරහා කොළඹ මහේත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.