පැවැත්ම සහ සත්‍යය අතර ගැඹුරු ප්‍රශ්න කිරීමක් – කූඹියෝ

චම්මින්ද වෙලගෙදර

ශ්‍රී ලංකාවේ රූපමාලා නාටක ඉතිහාසයේ අපට මෙන්න අපේ රූපමාලා නාටක ලෙස කියාපෑමට ඇත්තේ අතළොස්සකි. එහෙත් එම අතළොස්ස වුවද මේ ක්ෂේත්‍රයේ ඉහළම පුරෝගාමිත්වයක් දරයි. කඩුල්ල -ඇල්ල ළඟ වලව්ව – තාරාදේවී – පළිඟු මැණිකේ – දඬුබස්නාමානය – වෙදහාමිනේ – දඩබිම – ගිරය හා තවත් නාටක කීපයක් අතර වෙයි.
එහෙත් සමාජ ක්‍රමයේ අවනතිය නිසා හෝ ‘පට් පට් ගා සම්තින්’ සෙවීමට යාම නිසා හෝ ගුණාත්මක නිර්මාණ පසෙකට ලා ජනප්‍රිය ධාරාවේ රූපමාලා නාටක කෙරෙහි නාලිකා මෙන්ම නිර්මාණකරුවන්ද සිතන්නට වූ බව පෙනේ. මේ සඳහා මෙරට විටෙන් විට ඇතිවූ ආණ්ඩු පෙරළි මත පත්වූ රූපමාලා බලධාරීහුද මූලික වූහ. එහිදී අනියම් ලෙසින් බලපෑම් කළ තවත් රැල්ලක් වූයේ ‘සුපර් ස්ටාර්ස්’ නම් වූ අනුකාරක වසංගතයයි.
මේ අනුව වර්තමානය වෙද්දී මෙරට රූපවාහිනියෙන් අප ඉන්දීය ජපන් හා කොරියන් නිර්මාණ සමගම ඒ ආරටම නිර්මාණය වෙන අපගේ රූපමාලා නාටකද බැලීමට පුරුදුව සිටිමු. ඉහත කී රටකින් මෙරටට එන සංචාරකයකුට ඔවුන් තමන්ගේ රටේ සිටින සිතුවිල්ලට ළංකරවීමට ඒ අනුව අපගේ රූපවාහිනී නාලිකා දැඩි තරගයක යෙදෙමින් සිටී.
මේ ගැටලුව වර්තමානයේදී නාලිකාවන්ට හෝ නිර්මාණකරුවන්ට නොවේ. එය ඇත්තේ මේ රට සිටින මිනිසුන්ගේ මානසිකත්වයටය. එහිදී ඔවුන් අතරමංවන්නේ,
සත්තු මරණ නිසා මිනිසුන් මස් මාළු අනුභව කරනවාද?
මිනිසුන් ඒවා අනුභව කරන නිසා සත්තු මරනවාද?
යන ගැටලුවටය. අවසානයේ ගැඹුරු නිර්ණායකය වන්නේ මස්, මාළු නොකා සිටීම නම් අද රූපවාහිනී ප්‍රේක්ෂකයාට තිබෙන සවිය වියහැක්කේද ඒවා නැරඹීමෙන් වැළකී සිටීමයි. එහෙත් එය සිදුවේ නම් හැමදාම බැනුම් අසන, හැමදාම හොර බොරු කරන දේශපාලකයන් යළි යළිත් බලයට පැමිණේද?
බහුරූ කෝලම් මවන රූපමාලා නාටක ගෙනෙන නාලිකා සේ ම අවිඤාණවාදී පුවත් මවන මුද්‍රිත මාධ්‍යයන්ද අද වනවිට ජනතාවගේ මානසික භූගෝලය කුරුවල් කරමින් සිටිති. ඔවුහු අතරින් පතර තමන්ගේ පැවැත්ම ජනතාව සමග යැයි පෙන්වීමට විටෙන් විට ඇතැම් ඉන්ද්‍රජාල මවති. එසේ මවා ‘මෙන්න සතා මෙන්න පොල්ල’ කියා මුනිවත රකියි. මෙලෙස කඩතුරා බඳින වත්මන් සමාජයේ ආර්ථික හා මානසික සංවර්ධනයෙන් සේ ම විනෝදාස්වාදයෙන්ද දුරස් වෙන රූපවාහිනී නාලිකා අතර මේ සිදුවන්නේ කුමක්ද යන්න මඳකින් හෝ සාකච්ඡා කරන්නට පෙළඹෙන රූපමාලාවක් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් බොහෝ ප්‍රේක්ෂකයන්ට ලැබුණු බව පෙනේ. එහිදී ඔවුන් අතින් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ‘මරන නිසාම කනවා’ යන නියතියයි. මෙහිදී වැදගත්ව මතුවන සමාජ සාධකය වන්නේ වත්මන් සමාජය නිද්‍රාවක වැටී ඇති අයුරක් පමණකි. ‘හාර කෝටිය’, ‘සහෝදරයෙක්’ වැනි නාටක ඔස්සේ ‘චෙස්’ නම් නාටකයද සමාජ කතිකාවතකට ඇරියුම් ලබන මොහොතක එහි මුලසුනට මෙරට ප්‍රේක්ෂකයා විසින් ඔසොවා තබනු ලබන්නේ ‘කූඹියෝ’ නම් රූපමාලාවයි. මේ නාටකය මෙරට වත්මන් විද්‍යුත් නාටක ධාරාවේ ‘ඔපෙරා සෝප්’ යන ලේබලයෙන් ගැලවී වෙනමම ආස්ථානයක සිට ගත්තේය. අද වනවිට සිය ගමන නිමා කළ ‘කූඹියෝ’ තමන් ආ ගමන් මග හලා දැමූ බොහෝ දේවල් සහ කර තබාගෙන ගිය දේවල් බොහෝය. මේ පිළිබඳව ඊයේ පෙරේදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීද, අගනුවරදීද යම් යම් කතාබස් ඇතිවිය. මෙවැනි නාටක මාලාවක් ගැන වත්මන් සමාජයේ අවධානය යොමුවිය යුත්තේ ඇයි?
එදා ධර්මසේන පතිරාජයන් විසින් ‘කඩුල්ල’ මගින් මෙරට වත්මන් දේශපාලන මුද්‍රාවේ පාදම නිර්මාණය වූ ආකාරය ඉතා ගැඹුරින් සාකච්ඡා කළේය. එය දේශපාලනික රූපමාලාවක් වුවද එහි තිබූ නිර්මාණශීලී ඕජෝ ගුණය නිසා ප්‍රේක්ෂක දැහැනින් එය තරව අල්ලා ගනු ලැබීය. ඉන්පසු දේශපාලනික රූපමාලා නිර්මාණය වුවද ඒවා එතරම් ග්‍රහණයකට සමාජය ගනු ලැබූ බවක් නොපෙනේ. එහෙත් ලක්මාල් ධර්මරත්න සහ දමිත්ත සාගර චන්ද්‍රසිරිගේ සම තිර රචනයෙන් බිහිවූ ‘කූඹියෝ’ වෙනස් කතාබහකට සමාජය යොමු කළේ ඔවුන් පළඳවා තිබූ කඩතුරාව ඉරා දමමිනි. ‘කූඹියෝ’ මෙතෙක් මෙරට බිහිවූ අංගසම්පූර්ණ වුද, කෘතහස්තවූද පරිපූර්ණ රූපමාලා නාටකය නොවේ. එහෙත් එසේ විය යුතු සමාජයකට තමන් අද ඉන්නා තැන කියා දුන් නාටකයක් විය. ‘කූඹියෝ’ සමාජ කතිකාවතකට යොමුවන්නේ එය වත්මන් සමාජයේ ප්‍රධාන භූමිකා කීපයක් නියෝජනය කිරීමේ අවස්ථාව සවිඥානිකව හෝ අවිඥානිකව ලබාගන්නා බැවිනි. ඒ අනුව ඔවුන්ගේ වියමන එම ප්‍රධාන සමාජ ස්ථර ඔස්සේ සෙමින් නමුත් ඉතා ව්‍යක්ත අන්දමින් ගමනක් නිර්මාණය කර ගනියි. එම ගමනේදී ඔවුන් සිය තේමාවට හා කංචුකයට අනුරූපීව විටෙන් විට අධි ධාවනයට ලක් කරන නගරයේ වාහන ධාවන රටාව අපට බටහිර නිර්මාණ කීපයක්ම සිහිපත් කළද සිය නිර්මාණය හා ඉතා හරවත්ව බද්ධ වෙයි.
1. ඕනෑම දෙයක් කිරීමට සූදානම් යටිතල පහසුකම් නොලැබූ පහළ ස්ථරය.
2. කොළඹ රම්‍ය නගරයයැයි සිතා එහි ගොස් කරන රැකියාව ජීවිතය ගොඩදමතැයි සිතන අර්ධ උගත් ගැමි තාරුණ්‍යය.
3. පාතාලයේ සහායෙන් තොරව දේශපාලනයේ පිහිටීම අපහසු යැයි සිතන දේශපාලන ප්‍රජාවේ පාතාලයෝ.
4. රැඳෙන්නට රුකුළක් සොයා යන ඉංග්‍රීසියම සිය මතු මහල ලෙස සිතන ප්‍රේමවන්තියෝ.
5. මේ සියල්ල සිය පාරිභෝගිකයා බවට පත්කරවා ගත හැකි ලෙස අලෙවි වෙන ප්‍රචාරක ජාලය වෙත ජාල සූත්‍ර මෙහෙයවීම.
‘කූඹියෝ’ දෙස විමසීමේදී එවන් පංචවිධ ස්ථරයන් මත ගොඩ නැගෙන කතාවක් විකාශය වෙයි. ශ්‍රී ලාංකික රූපමාලා ප්‍රේක්ෂකයාට මෙවන් නාටකයක් බැලීමට ලැබුණු මුල්ම අවස්ථාව ‘කූඹියෝ’ය. එහිදී ඔහු ගැට ගසා ගන්නා සියුම් හුය වන්නේ ‘ගේම්’ ගැසීමයි. මේ ‘ගේම්’ කාරිය ඔවුන් හඳුන්වන්නේ ‘ආතල්’ එකක් ගැනීම උදෙසා ගේම් ගසන බවකි. ඔවුන් යොදා ගන්නා බස වත්මන් සමාජයේ ඇතැම් ස්ථරයන් විසින් නිතර භාවිත වන යෙදුම්ය. ඒවා ඇතැම්විටක සමහර සමාජ කතිකාවත්වලින් බැහැර වන වචන වුවද ඔවුන් කරන කාරිය අනුව වෙනත් යෙදුමකින් එය නිරූපණය නොවන ගම්‍යමාන නොවන ආකෘතියක් විය හැකි යයි ඔවුන් සිතුවා විය හැකිය. එහෙත් ‘කූඹියෝ’ නාටකයේ ප්‍රති විමසීමද එයම වෙයි. එය නිර්මාණකරුවාට සමාජය විසින් පෙරළා එල්ල කරනු ලබන ප්‍රබල අභියෝගයකි. ගේම් ගැසීම ආතල් එකක් කරගැනීමෙන් ව්‍යසනයට පත්වෙන සමාජය දෙස බලා සිටීමෙන් ලැබිය හැකි ආතල් එක කුමක්ද යන්නයි එහි ප්‍රබල ප්‍රශ්න කිරීම එමෙන්ම වැඩපළ ආශ්‍රයෙන් මවන වැඩ වැරුම හා උද්ඝෝෂණය අස්සේ අහිංසක අනුගාමිකයකු මරා දැමීමෙන් ලබන ‘ආතල්’ එක කුමක්ද යන්නයි. එම ප්‍රශ්න කිරීමම වත්මන් සමාජය පිළිබඳ දැනුවත්භාවය ලැබීමක් යැයි මට සිතේ. එළවළුවලට වස විස ගසා එහි පැවැත්ම දිගු කරන, ඵලදාව වැඩි කරන, පලතුරු ඉදවන්නට කාබයිඞ් ගසන, ප්‍රමාණය විශාල කරගන්නට යූරියා බඳින, ලාභය ගන්නට කල් ඉකුත් වූ දිනය ඖෂධවල පවා වෙනස් කරන ගේම්කාරයන් ඉන්නා සමාජයක මේකද ගේම යැයි නිර්මාණකරුවන් පෙරළා අසන්නේ සමාජයෙනි. ඒ අනුවයි පැවසීමට සිදුවන්නේ විමසුම් ඇසකින් බලන්නකුට නිහඬව සිට, සිය විවේකී බුද්ධියෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමාජය දෙස බලන්නට කරන විවෘත ආරාධනාවකි ‘කූඹියෝ.’ එය ඔවුන් ප්‍රේක්ෂකයා බද්ධ කරනු ලබන්නේ සැබෑ ජන සමාජයේ දේශපාලන කඩතුරා විවර කරවමිනි. එම නිසාම එය කාලීන සංවාදයකට මෙරට නිද්‍රාශීලී ප්‍රේක්ෂකයා, යොමු කරවීමකි. එකින් එක ගැටුම් හා විවරණයන් බැඳී සිටින්නේ දම්වැලක පුරුක් මෙනි. එය කුහුඹු වැලක නොනවතින අනවරත ගමන මෙනි.
ඒ අනුව කූඹියෝ ජවලනය කළේ වත්මන් සිහින ලෝකවල ගිල්වා සිටි ප්‍රේක්ෂක චක්‍ෂු පථයයි. එම චක්‍ෂු පථය හරහා ඔවුන්ගේ පපු පෙදෙසටද අගුල් දමා ඇති සිරසටද ඇමතීමට දැරූ කුතුහලය නිසා ‘කූඹියෝ’ වඩාත් සාර්ථක වූ බව පෙනේ.
එහෙත් ‘කූඹියෝ’ නොකළ යුතු කටයුතු කීපයක්ම සිදුකිරීමට පෙළඹීම ඔවුන්ගේම ‘ගේම’ තුළ ගේම දියාරු කරන්නට හේතුවෙයි. ආරම්භයේ සිටම ජෙහාන් ප්‍රනාන්දු ලවා සියලුම ‘අනා ගැනීම්’, හා ‘අනා දැමීමක්’ අවසානයේදීම ‘මං මේකෙන් ගන්නේ ආතල් එකක්’ යැයි කීමෙන් ඔහු ලබන ආතල් එක කුමක්ද? සුපිරි වෙළෙඳ සැලකට නොගොස් එම භාණ්ඩම ආයතනයක් හරහා ගෙන්වා ගැනීමෙන් ‘නෝනා’ කෙනකු ලබන ‘ආතලය’ තමන් ගෙයින් පිටතට නොයා අවශ්‍යතාව ඉටුකර ගැනීම පිළිබඳ දැනුවත් වන ප්‍රේක්ෂකයා එයින් ජෙහාන් ලබන ‘ආතලය’ ගැන විමසිලි වෙයි. ඔහු සාධාරණ ආදායමක් සොයයි. එහෙත් එය ඔහුට සුඛෝපභෝගිත්වයක් හෝ අනුරාගයක් නොදෙයි. සාධාරණ ලෙස සඟරාවක් මුද්‍රණය කිරීමට යතුරු පැදිය උකසට බඳින ඔහු රුපියල් ලක්ෂ ගණන් ලබමින් යතුරුපැදිය හෝ බේරා නොගනියි. එපමණක් නොව එය එකම කූර්තාවට තවත් ඇඳුමක් හෝ එක් නොකිරීමකි. එසේ නම් ඔහු කියන, සොයන. ආතලය කිසියම් මානසික ඌනතාවක් සපුරා ගැනීමද? ඒ අනුව විමසා බැලීමේදී ජෙහාන් යනු මෑත කාලයේදී, එදා මාර්ටින් වික්‍රමසිංහයන් ‘වල්මත් වී හසරක් නුදුටිමි’ නවකතාවේ මැවූ වික්ටර් මෙන්ම ‘විරාගයේදී මැවූ අරවින්ද මෙන්ම, සිරිගුනසිංහගෙන් ‘හෙවණැල්ලේදී’ මැවූ ජිනදාස නම් චරිතයන්ගේ වත්මන් දිගුවක්ද?
අවසාන භාගය වෙද්දී ලාබය වැඩිකර ගැනීමට හෝ අලාභය අඩුකර ගැනීමට හෝ අපගේ ඇතැම් රූපමාලාකරුවන් කරන අතීතාවර්ජනය ‘කූඹියෝ’ තුළද දක්නට ලැබීම තුළ ප්‍රේක්ෂකයා ලබන ආතලයක් නැත. එසේම ප්‍රියන්තගේ ගම ගෙදර සිටියදී ඔහුගේ කිරිඅම්මාගේ චරිතය සති ගාණක සිදුවීම් විනාඩි ගණනකදී පෙන්වීමට යාමකි. එය ස්වරූප ගන්නේ කූඹියෝ එතෙක් ආ ගමනේ ඌනතා සටහනක් ලෙසය. එසේම සාර්ථක පෞද්ගලික ආයතනයක් තුළට වෘත්තීය සංගමයක් රිංගවීමෙන් රාජ්‍ය බලය හා ආණ්ඩු පෙරළියකට යාම නාටකය ඉදරියට ගෙනයෑමට රුකුළක් වුවද ප්‍රේක්ෂක විචාර බුද්ධියට කළ සත්කාරයක් නොවේ. එහෙත් එයින් මෙරට වාමාංශික හා දක්ෂිණාංශයේ දේශපාලනික දෙබිඩි මත යළිත් හඬගාකීමකි. එහෙත් එම දේශපාලන කඩතුරාව ඉරා දැමීම ආහ්ලාදයක් නොවන්නේ මෙරට වාමාංශිකයන්ගේ වංචනික ක්‍රියාවන් අද සමාජය විසින් දක්ෂිණාංශිකයන් ඉක්මවා ගොස් සිටින බව වටහාගෙන ඇති බැවිනි.
මේ සියල්ල මේ නිර්මාණශීලී තරුණයන් කීපදෙනා විසින් ගොඩනගන්නේ චරිත ස්වල්පයක් ඇසුරෙනි. එකම පසුතලයක හැමදාම සිදුවෙන ඒකාකාරී සිදුවීම් මාලාවක් වුවද ප්‍රේක්ෂක ග්‍රහණයෙක් එයින් මිදී නොයා රැක ගැනීම ‘කූඹියෝ’ තුළ අප දකින නිර්මාණනීය දෘෂ්ටි ප්‍රයෝගයයි. එය ගැඹුරින් රඳවා ගන්නේ තුමිඳු දොඩන්තැන්නගේ, කලණ ගුණසේකරගේ රංගනයන් නොවන හැසිරීම් රටාව සමග බද්ධව යන යුරේනි නොෂිකා, පීටර් අල්මේදා, සේනක ටයිටස් හා ඩබ්ලිව්. ජයසිරි හා අන් අයගේ දායකත්වයයි. අචල සොලමන්ගේ සංගීතයද කූඹියන්ට දෙනු ලබන්නේ අචල වූ සවියකි.
මේ සියලු කාර්යයන්හිදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ බොහෝ සිදුවීම් තාත්විකකරණය කිරීමෙහිලා මේ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදකවරයා ලබාදී තිබූ නිදහස හා පහසුකම්ය. එම නිසා බර්ට්‍රෝල් බ්‍රෙක්ට් සඳහන් කළ නරඹන්නේ නාටකයක් බවට ප්‍රේක්ෂක මතකයට සිහිනොවන තරමට මෙහි පසුබිම් සහ යටිතල පහසුකම් ඉහළ මට්ටමක රඳවා තිබුණි.
‘කූඹියෝ’ වත්මන් සමාජය සමග බද්ධ වී යන්නේ කතාවේ තිබූ ප්‍රබලත්වය තිර නාටකයෙන් ඔබ්බට ඔසවා ගෙන ගිය තුමිඳු හා කලණයි. ඔවුන් දෙදෙනා විසින් කාලය හා අවකාශය නම් වූ වෘත්තිය තුළ රංගනය හා ජීවිතය යන සත්‍ය හා මිථ්‍යාවට ගැඹුරු ප්‍රශ්න කිරීමකට ලක් කරයි. ඒ අනුව රංගනයෙන් තිර නාටකයද, තිර නාටකයෙන් රංගනයද ඔසොවා තබමින් ‘කූඹියෝ’ වත්මන් සමාජයට තමා ගැලී සිටින සිරවී සිටින වෙළෙඳ, දේශපාලනික මාෆියාවලින් ගොඩ ඒමට බලසාර ලෙස ඇරියුම් කරයි.