හිතන්න තරම් උණුසුමක් තිබුණෙත් නැහැ

ජගත් ප්‍රේමචන්ද්‍ර

එදා 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානයත්, 2014 වසරේ දී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයත් රැගෙන ආ මතකයන් ද සමගින් 2018 වසරේ දී නැවත අපට ක්‍රිකට් ලෝක කුසලානයක් දායාද වුණි. ඒ පසුගියදා ඉන්දියාවේ දී නිමා වූ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිතවූවන්ගේ ලෝක කුසලානයයි. එම කණ්ඩායමේ නායක ගිමඳු මැල්කම් පසුගියදා තම කණ්ඩායම ලැබූ ජයග්‍රහණය ගැන පැවැසුවේ හස්ත සංඥාවෙනි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ද සිටි ඒ මාධ්‍ය හමුවේදී ගිමඳු කියූ බොහෝ දේවල්වලට වඩා වැඩි දෙයක් අපේ හදවත්වලට දැණුනි. එහෙත් අපිට ඒ ජයග්‍රාහී උණුසුම ඔබට ලබා දීමට ගිමඳු අල්ලා ගැනීමට නොහැකි වුණි.  එහෙත් ගිමඳු වඩාත් ගෞරවයෙන් නිතර නිතර සංඥා භාෂාවෙන් සිහිපත් කළ කණ්ඩායමේ පුහුණුකරු උෂාන්ත ගුණරත්න මහතා අප හා එක් විය. ගිමඳු ව මේ පිටුවට එක් කර ගැනීමට පෙර අපි මේ පුහුණුකරු රාවය ක්‍රීඩා පිටුව වෙනුවෙන් කෙටි පිළිසඳරකට එක් කර ගත්තා.

මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබගේ සිතුවිලි?

රට වෙනුවෙන් මේ කළ සේවය ගැන සතුටුයි. ඇත්තට ම මේ ජයග්‍රහණය සුවිශේෂී වුණා. මොකද අපි මේ තරගාවලියට සහභාගි වුණේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියාගෙන. අපිට ටේ්‍රනර් කෙනෙක් නෑ, සම්බාහකයෙක් නැහැ. අත්‍යවශ්‍ය බොහෝ දේවල් තිබුණේ නැහැ. ඒ වුණත් අපි සහභාගි වුණේ ලෝක කුසලානය දිනාගෙන එනව ම කියන හැඟීමෙන්. අපිට තිබුණේ ඒ විශ්වාසයත්, ක්‍රීඩකයන්ගේ දක්ෂතාත් විතරයි. ඔවුන්ගේ කැපවීම සුවිශේෂීයි. පුහුණුවීම්වලදීත් තරගවලදීත් ඔවුන් එකාවගේ කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ මේ තරගාවලියේ දී අපේ දක්ෂතා ලෝකයට කියන්න. ඔවුන් ඒ දේ කළා.
මීට පෙර අර්ජුන රණතුංගත්, ලසිත් මාලිංගත් මෙරට ට ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් දිනා දුන්නා. මේ ඊට පසුව අප රට ට හිමි වූ ක්‍රිකට් ලෝක කුසලානයක්. ඒත් එහි උණුසුම එතරම්ම නෑ නේද?
වෙන්න පුළුවන්. ඒත් මේ ජයග්‍රහණය කිසිසේත්ම අවතක්සේරු කරන්න බැහැ. මීට පෙර දිනා ගත් ක්‍රිකට් ලෝක කුසලාන සේ ම මෙම කුසලානය ද එක සේ වැදගත්. මේ ජයග්‍රහණය ලබා දුන් ක්‍රීඩකයෝ මේ රටේ පමණක් නොවේ ලෝකයේ ම විශේෂ අවධානයට ලක්විය යුතු කොටසක් සේම ලක්වෙමින් පවතින පිරිසක්. ඔවුන් මේ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. හරියට පුහුණුවීම් වෙන්න ස්ථිර තැනක් හෝ නැතිවයි ඔවුන් මේ ජයගහ්‍රණය කළේ. අනිත් එක ඔවුන්ද නියෝජනය කළේ මේ රට. ඉතිං මේ ජයග්‍රහණය කිසිසේත් ම අනෙකුත් කුසලානවල අගයට අඩු වෙන්නේ නෑ.

තරගාවලිය සඳහා ඉන්දියාව සමග එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය යන රටවල් ද සහභාගි වෙනවා. එම රටවල තත්ත්වය කෙසේද?

අපි මේ තරගාවලියේදී පළමු වටයේදී දකුණු අප්‍රිකාවට පරාජය වෙනවා. ඒත් අනෙකුත් සෑම තරගයක්ම ජයග්‍රහණය කරනවා. අනෙකුත් රටවල පහසුකම් ගැන බැලුවොත් අපිට වඩා පහළින් හිටියේ නේපාලය විතරයි. අනෙක් සෑම රටකටම උපරිම පහසුකම් තිබුණා. මම කලින් කිවුවා වගේ අපේ අයට තිබුණේ ආත්ම විශ්වාසය පමණයි. ඒත් අපි ඒ සෑම රටක් ම පරාජය කළා.

මේ ජයග්‍රහණයත් සමග ක්‍රීඩා ඇමති පොරොන්දු වෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන සියලුම පහසුකම් මේ කණ්ඩායමටත් ලබාදෙනවා කියලා?

ඇත්තටම ඒක ඉතා විශාල සද්කාර්යයක්. මොකද මම කලිනුත් කිව්වා මේ ක්‍රීඩකයෝ විශේෂ අවධානයට ලක්විය යුතු පිරිසක් කියලා. මේ ක්‍රිකට් සංගමය වුණත් මේ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඔවුන්ගේ පෞද්ගලික දේවල් පවා අමතක කරමින් සහ ඒවා ප්‍රමාද කරගනිමින් මේ වෙනුවෙන් කැප වෙනවා. අනෙක් අතට මේ කණ්ඩායමේ රැකියාලාභීන් ඉන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් පමණයි. ඇතැමුන්ගේ රැකියාව දිනපතා පඩි ලැබෙන ඒවා. ඔවුන් ඒ දේවල් පවා කැපකරලයි පුහුණුවීම්වලට සහභාගි වුණේ. අම්මල තාත්තල සහ පවුලේ අය ඔවුන් වෙනුවෙන් විශාල වෙහෙසවීමක් කරනවා. ක්‍රීඩා ඇමැතිතුමා මේ කරන දෙයින් ඔවුන් මේ ක්‍රීඩාවේ තවදුරටත් රැඳී සිටිනවා වගේම තවත් පිරිසක් මේ සඳහා යොමුවීමක් වේවි. කොටින්ම මේක ඒ ක්‍රීඩකයන්ට ආශිර්වාදයක්.

ඔබ කොහොම ද මේ ක්‍රීඩකයන් හා අදහස් හුවමාරු කරගෙත්තේ?

මුලින් ම කියන්න ඕන මම මේ කණ්ඩායම බාර ගන්නෙ තරමක් අදිමදි කරලා. ඒකට විශේෂිතම හේතුව වුණේ අපි අතර අදහස් හුවමාරු කර ගන්නේ කොහොමද කියන ඔබ මතු කරපු ප්‍රශ්නයමයි. භාෂාවෙ ඒ අවුල තිබුණෙ ටික කාලයයි. ඔවුන්ගේ භාෂා විලාසය මම දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ට මම කියන දේ තේරෙන්නේ නැහැ. ඒත් අපි දෙගොල්ල ම ක්‍රිකට් දැනගෙන හිටියා. අන්තිමට මම ක්‍රිකට් භාෂාවක් අපි දෙගොල්ල අතරට හදාගත්තා. ඒක තනිකර ම බොඩි ලැන්ග්වේජ් එකකින් නිර්මාණය වුණ එකක්. මේක දවසෙන් දෙකෙන් අල්ලල ගියා. මට ඉතා පහසුවක් දැණුනා. අපේ අය හදනවට වඩා මේ අය හදන්න පහසු වුණා. ඔවුන්ගේ අඩුවකට තියෙන්නේ ශාරීරික ආබාධය විතරයි. ඒත් ඔවුන්ගේ හිත් ඉතා ශක්තිමත්. දෙයක් පෙන්වූ පමණින් ඔවුන් එය ධාරණය කර ගන්නවා.”

කොහොමද තරගාවලියට සහභාගි වෙද්දී ලත් අත්දැකීම්?

මේ තරගාවලියට සහභාගි වෙන කොට ලොකුවට හිතාගෙන ගියේ නැහැ. ඇත්තට ම එහෙම හිතන්න තරම් උණුසුමක් තිබුණෙත් නැහැ. ඒත් ගියාට පස්සෙ තමයි දැනගත්තේ මේක ලොකු ඉවන්ට් එකක් කියලා. අනෙක් එක කණ්ඩායම සූදානම් කළත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන අනෙකුත් කණ්ඩායම් ගැන දැන නොසිටීමත් ටිකක් විතර අවුලක් වගේ දැණුනා. මොකද අපි අනෙකුත් තරගවලට යන්නේ අපේ ප්‍රතිවාදී කණ්ඩායම් ගැන දැනගෙන. ඒත් මෙතැන එහෙම දෙයක් තිබුණේ නැහැ. අනිත් එක අපිට තිබුණ අඩුපාඩු අපිව ටිකක් පිටු පස්සෙන් තිබ්බා. ඒත් මම තරගාවලියට සහභාගි වෙන විට සංගමයේ නිලධාරීන්ට කිව්වා ලෝක කුසලානය ගේනවාමයි කියලා. මම එහෙම කිව්වේ මට අවශ්‍ය වුණේ ඔවුන් අවුරුදු ගණනාවක් පුරා මේ අය කරපු සේවාවට ගරු කිරීමක් කිරීමටයි. ඒ වගේ ම මම මගේ කොල්ලන්ටත් ඒක ම ඒත්තු ගැන්වූවා. කොල්ලො ටිකත් හොඳ මොරාල් එකෙන් තමයි ගමන ගියේ.”

තරගාවලියේදී ලත් අමතක නොවන අත්දැකීම් මොනවද?

මුල්ම එක තමයි කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා සේ ම තරගාවලියේ වැඩිම පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කළ තරගය ලෙසින් අපේ ක්‍රීඩකයෝ නේපාලයට එරෙහි ව තැබූ වාර්තාව. ඒ පළමු වටයේ දී. ඊට පස්සෙ තමයි අපි ලොකු අමාරුවක වැටුණෙ. එක් ක්‍රීඩකයෙක් තරගාවලිය පුරාවට ම සහභාගි කරගන්න බැරි විදිහට අනතුරකට ලක්වුණා. තවත් කිහිප දෙනෙක්ට උණ ගැණුනා. දෙවැනි වටය පටන් ගනිද්දි අපේ නිලධාරීන් වැඩිදෙනා හිටියෙ ඉස්පිරිතාලවල. මොකද සැරින් සැරේ එක එක්කෙනා ඉස්පිරිතාලෙට ගෙනියන්න වුණා. සමහර අය ක්‍රීඩා කරන්න බැරි තත්ත්වයේම හිටියා. ඒත් ඔවුන්ට අපේ අවශ්‍යතාව මතක් කළාට පසුව අමාරුවෙන් හරි ඔවුන් සෙල්ලම් කරන තැනට වැටුණා. ඒක අමතක කරන්න බැරි මතකයක්. ”