ක්‍රීඩාව, ව්‍යාපාර, දේශපාලනය සහ ඩන්කන් වයිට්

ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට ක්‍රීඩාවට සිදුවූයේ කුමක්ද? ක්‍රීඩා අමාත්‍යාංශයක් ඒ වෙනුවෙන්ම ස්ථාපිත කළද ක්‍රීඩා ඇමතිවරයකු පත් කළද ක්‍රීඩාව සංවර්ධනාත්මක ගමනක් නොගියේ ඇයි? පැහැදිලිවම ඒ අයට දැක්මක් සැලැස්මක් නොතිබූ නිසාය. ක්‍රීඩා සංගම් අවුරුදු ගාණක්ම එකතැන පල්වනුයේ අන් කවර හේතුවක් නිසා නොව වසර ගණනාවක්ම එකම පාලනයක් පුටු මාරු කරමින් පවත්වාගෙන යන නිසාය. ඕනෑම වෘත්තියකට සමුදිය යුතු කාලයක් ඇතත්, ක්‍රීඩා සංගම් නිලධාරීහු මියැදෙන තෙක් ඒවා අත නොහරිති. ක්‍රීඩාවට සේවයක් කළ හොඳ ක්‍රීඩා ඇමතිවරු මෙන්ම ක්‍රීඩා සංගම් නිලධාරීන්ද සිටි බව කිව යුතුය. ඔවුන්ගේ කාලවල ක්‍රීඩාව ඉහළින් බැබලුණු බවද කිව මනාමය. එහෙත් බලයට, ධනයට රට සවාරිවලට කෑදරකමින් ඉන්පසු මේ හැම එකකම අරක් ගත්තේ හොර තක්කඩීන් වීම නිසා ක්‍රීඩාවට අභාග්‍යයම උදාවිය. එහෙත් තවමත් අපිට අභිමානයෙන් කතා කළ හැකි ක්‍රීඩා වටපිටාවක් අප සතුව පවතී. මතුකර ගත හැකි පැහැදිලි අනාගතයක්ද ඉතිරි වී ඇත. එහෙත් ඒ අනාගතය පාදා ගැනීමක් නැත. ඒ වෙනුවට ඉතිරි වී ඇත්තේ බඩ වඩා ගන්නවුන්ගේ කාබාසිනියා ප්‍රතිපත්තිය.

මෙරට ක්‍රීඩාව නගා සිටුවන්නට නම් අපි වගා කළ යහපත් අස්වැන්නේ ඵල භූක්ති විඳිය යුතුමය. ඉතිහාසයේ මුල්වරට ලංකාවට ඔලිම්පික් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ගෙන ආවේ ඩන්කන් වයිට් නම් වූ බි්‍රටිෂ් සිලෝනීස් ක්‍රීඩකයාය. ඒ ජයග්‍රහණ ලද ආරම්භය කොතරම් වැදගත්ද? ලංකාවේ ක්‍රීඩකයන්ටද ලොව දිනිය හැකි බව දැනවූ හැඟවුම ඩන්කන් වයිට්ය. ඩන්කන් වයිට්ගෙන් පසු නැවත ඔලිම්පික් පදක්කමක් දිනන්නට අපිට අඩ සිය වසරකට වඩා කල් ගියේය. ජයග්‍රහණය සපුරා ගත්තද යහපත් ගුණ වගාවක් නොවීය. විනයක් නැතිම විය. ඩන්කන් වයිට් කළ හපන්කම කළේ සුසන්තිකා ජයසිංහය. කාන්තා ලකුණක් ලෙස ඇගෙන් පසු මෙරට ක්‍රීඩා ගමන ලාලිත්‍යයෙන් ගම්‍ය වෙතැයි සිතුවද ඒ වෙනුවට ඇතිවූයේ අද අප මේ අත්විඳින නාස්තිකාර බඩජාරි ක්‍රමයය. ඩන්කන් වයිට්ගේ ජයග්‍රහණය රටට අභිමානයක් මෙන්ම ගෞරවයක් වන විට ඩන්කන් වයිට් එයින් ලබන්නට ඇත්තේ රටට යමක් කළ ක්‍රීඩකයකු ලෙස සියුම් සතුටකි. එහෙත් සුසන්තිකාගේ කාලය වන විට සමාජ සංස්කෘතික හර පද්ධතීන් සියල්ල කණපිට හැරී ඇති නිසා සුසන්තිකාගේ ජයග්‍රහණයත් සමග සමාජ ගතවූයේ කීර්තිය, අභිමානය මෙන්ම පදක්කම යනු වෙන්දේසි කොට මුදල් මැවිය හැකි ඉල්ලමක් යන්නය. මේ නිසා ඩන්කන් වයිට්ගේ සුදු යුගය වෙනුවට අප වැලඳ ගත්තේ සුසන්තිකාගේ කළු යුගයය. ඩන්කන් වයිට් නම් සොඳුරු මිනිසා වෙනුවෙන් පදනමක් බිහිකර ඒ හරහා සුසන්තිකාට විශාල අත්වැලක් සැපයූමුත් සුසන්තිකාගේ දැමූ පදනම් හරහා වූයේ කාලෙන් කාලයට ඇයට මුදලක් එකතු කරගැනීමය. අප අමාරුවෙන් හෝ රැකගත යුතුව තිබුණේ අසූවට පෙර යුගයය. එනම් ඩන්කන් වයිට් හරහා ඇරඹි යුගයය.

උස පැනීමෙන් දෙවරක්ම ආසියාව තරණය කළ නාගලිංගම් එදරිවීරසිංහම් ලංකාව නියෝජනය කළ සොඳුරු ඉගිල්ලෙන්නෙකි. දෙමළ ජාතිකයකු වූ ඔහු රැකගත්තේ ලාංකේය අනන්‍යතාවයය. අද ඇමරිකාවේ වෙසෙන ඔහු තම උස පැනීමේ ක්‍රීඩාව අගයනු වස් මෙරටින් ඇමරිකාවට රැගෙන ගොස් උස පැනීමේ පුහුණුව ලබා දුන්නේ වත්මන් උස පැනීමේ ශූර මංජුල කුමාරටය. එහෙත් මංජුල වගා නොකරගත් දෙය නම් එදිරිවීරසිංහම් ළඟ ඇති මනුස්සකමය. අපට අත ඇරුණේ ඒ යහපත් ලක්ෂණය. එදා පිරිස් පරිත්‍යාගශීලී වන විට අද පිරිස් කරනුයේ හැකිනම් බදාගැනීමය. ලොරේන් ඊ. රත්නම් සහ සෙල්වගෞරි වර්ධකුමාර් ආසියාතික තරග වෙනුවෙන් කඩුලු පැන්නේද එම්.ජේ.එම්. ලාෆිර් ලෝක ආධුනික බිලියට් ශූරතාව දින්නේද මේ කොදෙව්වෙන් යස ඉසුරු බලාගෙන නොවේය. මොරිස් කුමාරවේල් 1960 රෝම ඔලිම්පික් උළෙලට බයිසිකල් පැද්දේ ලංකා අභිමානය වෙනුවෙන් මිසක අර්ජුන, සුසන්තිකා, සනත්, ඩිල්ෂාන් මෙන් පසුව දේශපාලකයෙක් වී රට හප කරන්නට නොවේය.
කර්නල් දයා රාජසිංහ නඩරාජසිංහම් ඔලිම්පික් ආසියානු තරගවලද, සැල් චිමමි ඔලිම්පික් තරගවලද ඉලක්කයට වෙඩි තබන්නේ මුරලිදරන් කියන පරිදි සුළු ජාතික චින්තනය ඔළුවේ තබාගෙන නොව, ලාංකේය කියන අභිමානය ඇතිවය. රටක් වෙනුවෙන් මිස රට පාලනය කරන දේශපාලකයන් වෙනුවෙන් නොවේය.
ටාරා බෝලිං, ජුලියන් බෝලිං මෙන් පිහිනුම් මුදලාලි කෙනෙක් නොවන්නේ ඇය පිහිනුම් වටහා ගන්නා විදිහත්, දකුණු ආසියානු ජයග්‍රහණවලින් පසු ජුලියන් එය වටහා ගන්නා විදිහත් අනුවය. පුතාට පිහිනුම් ඉගැන්නුවද එය ලාභ ලබන ව්‍යාපාරයක් කරනොගන්නැයි උපදෙස් දෙන්නට මවට නොහැකි වීම අවුලකි. දීපිකා චම්මුගම් එහිදී ජූලියන්ට වඩා වෙනස් වන්නේ එතැනදීය. ඇය ටාරා බෝලිං අනුව ගියා විය හැකිය. කොන්ඩුඞ් ෆැන්සිස්ට මේ පොළොවේ පැවැත්මක් නැත්තේද ඔහුද ලාභය හැරුණු කොට පිහිනුම් ක්‍රීඩාව යනු ආදරය කළයුතු රැකගත යුතු ජීවිතයේ අංගයක් ලෙස නොසලකා මුදලටම දියවෙන්නට ගිය නිසාය.
ටී.එෆ්. අලෙයිලිමා සිය ක්‍රීඩාව ව්‍යාපාරයක් කරගන්නා විට ලංකාව එම ඉසව්වෙන් ඉදිරියට ගියේ මන්දගාමීවය. යගුලියත්, කවපෙත්තත් විසිකිරීමේ ශූරයා ලෙස ඔහු වගාකර ගත්තේ ඔහුගේ ව්‍යාපාරයට (ව්‍යායාම මධ්‍යස්ථානවලට) කට්ටිය ආකර්ෂණය කරගැනීමය.

ෆසිල් මරිජා සහ අම්ජාඞ් බක්ෂ් මෙරට රගර් ක්‍රීඩාව වෙනුවෙන් දහඩිය හලද්දී ෆසිල් මරිජාගේ ශක්තිය, ජවය සියල්ල රාජපක්ෂලාගේ ශරීර වසා ගත්තේ ඒ මොහොතේ ඇගයිය යුතු වටිනාම ක්‍රීඩා සම්පතක් වැඩි කතාබහට නතු නොකර අහකට කරමිනි. දේශපාලනය නිසාම ක්‍රීඩා කළ හැකි යැයි සිතන අභාග්‍යසම්පන්න මානසිකත්වය වනසන්නේ සැබෑ දක්ෂයන්ය. රන් පදක්කම් දිනූ කේෂිය සුහයිල් කෙනෙක් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් අභිමානයක් ගෙනාවද අද ඔහු ගැන වගේ වගක් නැත.

මේ සුපිරිතමයන් බෞද්ධයන් සිංහලයන් නොවුණට රටට කීර්තිය ගෙනා සිංහ කොඩිය ලෝකය හමුවේ බැබලීමට ලක් කළ පිරිස්ය. එහෙත් මෑතකදී රාජපක්ෂලා වපුරන මේ ජාතිවාදයෙන් රිද්දන්නේ මේ සැමට නොවේද? අම්රිතා මුත්තයියා සහ දිනේෂ් කාන්තන් තංගරාජන් ඬේවිස් ටෙනිස් කුසලානය සඳහා අනූව දශකයේ තරග වැදි මෙරට පතාකයන්ය. ඉන්පසු ජයන්ති සෝමසේකරම් සහ තර්ජනී සිවලිංගම් දැල්පන්දුවෙන් සේවය කරන්නේද ජාතියට නොව රටටය.

ක්‍රීඩාවට ජාති, ආගම් භේද නැතත් දේශපාලකයන්ට ඇත. මේ නිසා මෙරට ක්‍රීඩාව පවා සිංහලකරණය වී ඇත. මුරලිදරන් මෙන් සිංහල දෙමළ වූ අයට හැරුණු විට මේ ක්‍රීඩා පිටිය අනෙක් අයට දුරස්ත වී ඇත. අප ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ නම් සංස්කෘතිකවම අප දියුණු විය යුතුය. ඒ නිසා අප තෝරාගත යුත්තේ සුසන්තිකාගේ යුගය නොව ඩක්කන් වයිට් යුගයය. ඉහත නම් සඳහන් අය අතරින් ඩන්කන් වයිට් යුගයට අයත්, සුසන්තිකාගේ යුගයට අයත් පිරිස් මනාව වටහා ගත හැකිය. සුගතදාස මහතාට සුගතදාස ක්‍රීඩාංගණය හදන්නට තිබූ දැක්ම අදටත් කිසිදු ක්‍රීඩා ඇමතිවරයකුට නොමැති වූ බැවින් සුගතදාස එක හැර කිසිදු විකල්පයක් අපට ඉතිරි වී නැත. කඩිමුඩියේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයක් මහින්ද රාජපක්ෂ හැදුවද, අද එයට අත්ව ඇත්තේ නැවත අලුතින්ම ඉදිකරන තත්ත්වයක්ය. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ප්‍රේමදාස මහතාට මනාව ඉදිකර අදටත් ප්‍රයෝජනය ගත හැකි තත්ත්වයට ගෙන ඒමට හැකි වුවත් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය වල්බිහිවී ඇත. කළ යුතු දේ කළ යුතු විදිහට නොකිරීමේ විපාක මෙබඳුය. එසේ නම් ඩන්කන් වයිට් යුගයේ සාරය පෙරාගෙන නව ක්‍රීඩා සංස්කෘතියක් හැදීමේ කාලය උදාකර ගත යුතුව ඇත.