අනාගතයට අබ සරණයි

එස්. නන්දලාල්
පසුගිය සතියේ පළ වූ ලිපියේ ම දිගුවකි.

පසුගිය දෙවැනිදා එක්සත් ජාතීන්ගේ දේශගුණ සමු`ඵව පෝලන්තයේ කැටොවයිස් නගරයේදී ඇරැඹිණි. එම සමු`ඵවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ ප්‍රවීණ පරිසරවේදී සහ පරිසරය පිළිබඳ විවිධ රූපවාහිනී වැඩසටහන් මෙන් ම ලිපි ලේඛන ද රැසක් සම්පාදනය කොට ඇති ඒ නිසාම නයිට් නාමයකින් පිදුම් ලැබූ සර් ඬේවිඞ් ඇටෙන්බරෝ විසිනි. කලකට පෙර ජාතික රූපවාහිනිය විකාශය කළ ‘මිහි මඬලේ රුව’ නමැති වැඩසටහනේ නිර්මාතෘ ඔහු ය.

වසර දහස් ගණනක් පුරා සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාස මානව වර්ගයාට මුහුණ දෙන්නට සිදුව ඇති මහා ම තර්ජනය බව දේශනය අරඹමින් ඔහු පැවසීය. ශිෂ්ටාචාර බිඳ දැමීමටත් ස්වාභාවික ලෝකයේ බොහෝ ප්‍රමාණයක් විනාශ කරන්නටත් එය හේතු කාරක විය. අප වහා ක්‍රියාමාර්ග නොගතහොත් එයින් ලොවේ ඉතිරි ටිකත් වනසා දමනු ඇත.
සර් ඇටෙන්බරෝ එසේ කීවත් පෘථිවිය දේශගුණික අර්බුදයකට මුහුණ දී සිටින බව බොහෝ දෙනාගේ වැටහීමෙන් බැහැරය. පසුගිය ලිපියේ පෙන්වා දෙන ලද්දේ අමෙරිකා එක්සත් ජනපදය පවා ඒ තත්ත්වයේ පසුවන බව සහ ලොවට ඉන් එල්ල වන තර්ජනය ඉතා අහිතකර බවය. මෙය මේ වනවිට ලොව පුරා මාධ්‍යවල වාර්තා වන අටෝරාසියක් ගැටලු, අර්බුද යනාදියට වඩා ඒ ගැන අවධානය යොමු කිරීම වඩා වැදගත් හා සුදුසු බව අපගේ අදහස ය.

දේශගුණික අර්බුදයට ඍජු හේතුව වනුයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට ඇති කෙරෙන අහිතකර බලපෑම් බව පුනර්වාචනය කිරීම අවශ්‍ය නොවේ. එය සියල්ලන් ම දන්නා දෙයකි. එහෙත් විවිධාකාර සාමාජිකයන් සිටින මනුෂ්‍ය සමාජයේ ඒ පිළිබඳ ආකල්පද විවිධය. දන්නා නමුත් නොදන්නා සේ හැසිරෙන, ඕවා අපට අයත් වැඩක් නොවේයැ’යි සිතන, අනෙකුන් කරනවා නම් අප කළාම දොස කිම්දැ’යි විමසන, පරිසරය ගැන හිතන්නට ගියොත් සාගින්නේ මියයන්නට සිදුවනු ඇතැ’යි කියන යනාදී විවිධාකාර මිනිස්සු අපට කොතෙකුත් මුණ ගැසෙති. එවිට ඒ අයගේ හඬට අනතුරු හැඟවීමේ සංඥා යටපත් වී වියැකී යයි.

පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින පුරා ආර්ජන්ටිනාවේ බුඅනෝස් අයර්ස් නුවර පැවැති 20 දෙනාගේ සමු`ඵවේ දී වත්මන් පාරිසරික ප්‍රශ්නය හා අනාගත අවදානම ගැන සාකච්ඡා වූ අතර අවසන් නිවේදනයට ද එය ඇතුළත් කැරිණි. අමෙරිකා එක්සත් ජනපදය හැර අනෙක් සාමාජිකයන් 19 දෙනාම ඊට සිය එකඟත්වය පළ කළෝ ය.
අමෙරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් බැහැරවීම පුනර්වාචනය කරමින් සිටින බවත් එහෙත් පැරිස් සම්මුතිය යනු ආපසු හැරවිය නොහැකි එකඟතා මාලාවක් බවත් දෙසැම්බර් 01 දින ඉදිරිපත් කොට ඇති සමු`ඵවේ අවසන් නිවේදනයට ඇතුළත් කරනු ලැබ ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත්තේ මේ කාරණයට අදාළව සිය රටට එරෙහි සන්ධානය දැන් පිරිහෙමින් පවතින බවයි. රැකියා අවස්ථා නැති කරන මෙම සම්මුතියට විරෝධය දක්වන රටවල් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. එය තමන් ලද ජයග්‍රහණයකි. උදාහරණයක් ලෙස රුසියාව, සෞදි අරාබිය සහ තුර්කිය යන රාජ්‍ය ඊට එරෙහි බවත් ආරම්භයේ දී ඔවුන් විරුද්ධ ව සිටියත් අත්සන් තැබූ බවත් ය. එහෙත් එම රාජ්‍ය තමන් එම සම්මුතියෙන් බැහැර වන බව දැන්වීමක් හෝ අදහස් ඉදිරිපත් කිරීමක් හෝ කර නොමැත.
මේ ගැන වාර්තාවක් පළ කරන rappler.com  නමැති වෙබ් අඩවියේ සඳහන් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය සිය විරෝධතාවේ ස්ථාවරයේ දිගටම සිටීමෙන් ජී20 සමු`ඵවේ දේශගුණික විපර්යාස පිළිබඳ වාර්තාවේ එකඟතා මත පැල්ලම් ඇති කළ බවයි.

ආරම්භයේ සඳහන් කරන ලද එක්සත් ජාතීන්ගේ දේශගුණ සමු`ඵව ඇරැඹුණේ එම සමු`ඵවට පසු දිනට පසු දින ය. මෙය COP24 යන කෙටි නමින් හැඳින්වේ. සහභාගිවන්නන්ගේ 24වන සමු`ඵව මෙය වන හෙයින් ඒ නම යෙදේ. ඊට අමතර වශයෙන් මෙය 1992 අත්සන් තැබූ ක්යොතෝ ප්‍රොටෝකෝලයෙන් පසු 14 වන හමුව ද 2015 පැරිස් සම්මුතියෙන් පසු ප්‍රථම හමුව ද වේ. දින 12ක් පුරා පැවැත්වෙන සමු`ඵවට සාමාජික රාජ්‍ය 190න් පැමිණෙන නිල නියෝජිතයන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්, පරිසර සංවිධාන සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යකරුවන් යනාදී වශයෙන් 20,000 පමණ දෙනා සහභාගි වනු ඇතැ’යි අපේක්‍ෂා කැරිණි.

03දා සමු`ඵව විවෘත කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගටරෙස් විසිනි. ‘දේශගුණ වෙනස්කම් නිසා ලොව පුරා වහා විපත් අපගේ ඇස් ඉදිරිපිට ම සිදුවෙමින් පවතිද්දීත් ඒවා වැළැක්වීමට අපි කිසිදු පියවරක් නොගෙන සිටිමු. වර්තමානයේ අප මුහුණදෙන ඉතාම වැදගත් අර්බුදය වන්නේ විනාශකාරී දේශගුණික වෙනස්වීම් ය.’

මෙහිදී මහ ලේකම්වරයා විසින් ලැන්සට් සඟරාව මගින් මෙහෙයවන ලද 27 දෙනකුගෙන් සමන්විත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් ගැන අවධානය යොමු කරවන ලදි. එම වාර්තාව සෞඛ්‍යය හා දේශගුණික වෙනස්වීම් පිළිබඳ ලැන්සෙට් අවරෝහණ ගණනය කිරීමේ වාර්තාව (The Lancet Countdown on Health and Climate Change) ලෙස හැඳින්වේ. ඊට අනුව පරිසරය ගැන දැන් සිටම ලෝකය සැලකිලිමත් නොවුවහොත් ඉදිරි දශකය හෝ දෙක අවසන් වන්නට මත්තෙන් ලොව පුරා ‘වෛද්‍යමය ආපත්තියක්’ (medical emergency) ඇතිවීම අනිවාර්යය. වසංගත රෝග ලොව පුරා පැතිර යනු ඇති අතර ආහාර සුරක්‍ෂිතතාව මෙන්ම පානීය ජලය රැක ගැනීම ද එක සේ දුෂ්කර වනු ඇත. දේශගුණයේ අයහපත් විපර්යාස සහ ඒවා නොසලකා හැරීම බිළිූඳුන්, බාලවයස්කරුවන්, වෘද්ධයන් සහ දිළින්දන් කෙරේ ඍජුවම බලපානු ඇත. වාර්තාව ඉදිරිපත් කළ මහාචාර්ය වෛද්‍ය රෙනී සේල්ස් පවසා යූඑස්ඒ ටුඬේ සඟරාවට දීර්ඝ විස්තරයක් සපයා ඇත.

ලැන්සෙට් වාර්තාව ද වෙනත් වාර්තා හා නිරීක්‍ෂණ ද පදනම් කැර ගනිමින් 24 සමු`ඵවේ දී ඒක්සත් ජාතීන් විසින් මේ වනවිට එළැඹ සිටින නිගමන අනාවරණය කැරිණි.
මේ සියවස අවසන් වනවිට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් 3-5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව විද්‍යඥයන්ගේ පුරෝකථනයයි. 2018 වසර, පසුගිය සියවස් එකහමාර තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අතින් සිව්වන ස්ථානයේ පිහිටයි. දේශගුණ විපර්යාස හේතුවෙන් තාප තරංග නිර්මාණය වනු ඇති අතර මෙය වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් නිරාවරණය විය හැකි විපර්යාස ප්‍රතිඵලයයි. වසරකට මිලියන 250 -300 අතර ලෝකවාසීහු මේවාට මුහුණ දෙති. වකුගඩු ආසාදන, හෘදය රෝග සහ ඒවා නිසා හෝ නොමැතිව මරණය තාප තරංගවල බලපෑම නිසා සිදුවිය හැකි ය. පාරිසරික ප්‍රශ්න නිසා පෘථිවිය උණුසුම්වීමෙන් ජල ගැලීම් පොදු ද ප්‍රකට ද විය හැකි ය. ලොව පුරා ස්වාභාවික විපත්වලින් සිදුවන මරණවලින් ඍජුවම 15% ජලගැලීම්වල ප්‍රතිඵල ලෙස සිදුවේ. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග සහ වෙනත් කායික රෝග ද මානසික රෝග ද ඇති කරයි.

දේශගුණික විපර්යාස නිසා පෘථිවි වාසීන්ට මුහුණ දෙන්නට සිදුවන තවත් ව්‍යසනයක් නම් නියඟය. මේ නිසා අස්වැන්න පාළු වන අතර පානීය ජලය හිඟවීමෙන් දුර්භික්‍ෂ තත්ත්වයක් ඇති කරයි. ජලය දූෂණය වන අතර විකල්ප නොමැති හෙයින් ඒවා පානයට ගන්නා මිනිසුන්ගේ මරණය පවා සිදුවනු ඇත. අපවිත්‍ර ජලයේ වැඩෙන ජලජ බැක්ටීරියා මාරාන්තික ආසාදන ඇති කරයි.
දේශගුණ විපර්යාස නිසා ඊට ම ආවේණික රෝග ද ඇතිවේ. ඩෙංගු ඉන් එකකි. සිකා නම් චර්ම රෝගය තවෙකකි. වයිබ්‍රො බැක්ටීරියා සමේ ආසාදන ඇති කරන අතර ඒවා ඔඩු දුවන තත්ත්වයට පැමිණීමෙන් මාරාන්තික විය හැකි ය.

මේ අතර දේශගුණික සරණාගතයන් ද ලොව පුරා දැකිය හැකි ය. ජලගැලීම්, මුහුද ගොඩ ගැලීම් සහ නියඟ නිසා උන් හිටිතැන් අහිමිවූවන් ප්‍රතිරූප දේශ සොයා යන ගමන කෙළවර වන්නේ කොතැනින්ද කියා ඔවුහු නොදනිති. සමහරවිට මරණයෙන් විය හැකි ය. මෙලෙස ගමන් කිරීම බිළිඳුන්ට සහ ගැබිණි මවුන්ට අතිශය අහිතකර ප්‍රතිඵල ළඟා කැර දෙන බව වාර්තාවල සඳහන් ය.

ඉහත සඳහන් සියල්ල දේශගුණ විපර්යාසවල ප්‍රතිඵල වන අතර වායු දූෂණය දේශගුණ විපර්යාසවලට බලපාන අනිවාර්ය සාධකයකි.
පැරිස් සම්මුතිය ආපසු හැරවිය නොහැක්කකි. ඒ අනුව කටයුතු කළහොත් සර් ඬේවිඞ් ඇටෙන්බරෝ මෙන් ම විවිධ විද්‍යාඥයන් විසින් ද පෙන්වා දෙන ව්‍යසනයෙන් යම්තාක් දුරකට ගැලවිය හැකි ය. එහෙත් ලෝක බලවතුන් විද්‍යාඥ මත නොපිළිගන්නේ නම් අනාගත පරපුරට ‘අබ සරණයි කියා සුබ පැතීම’ හැර වෙන කරන්නට දෙයක් නැත.