ශ්‍රී ලංකාවේ බොල් පොළොවට දේශපාලනය ගෙනා අනුර කුමාර දිසානායක

චන්ද්‍රරත්න බණ්ඩාර

ශ්‍රී ලාංකිකයනට නොවැම්බරය (ඉල් මාසය) වැදගත් වන්නේ එය ලංකාවේ එක්තරා දේශපාලන යුගයක් අවසන් වීම හේතුකොට ගෙනය. 1935 දිනෙක මහා මානවවාදී ව්‍යාපාරයක් ලෙස ලංකා සමසමාජ පක්ෂය උපත ලැබීය. එය විසින් අවදි කරන ලද ජන හඬ විසිවන සියවස පුරාත් අද දවසේත් බොහෝ දේවල් තීරණය කරමින් තිබේ. එහෙත් අද වන විට සම සමාජ පක්ෂය වැහැරුණු කඩමාල්ලක් බවට පත්ව තිබෙන නමුත් එදා ඊට නායකත්වය දුන් සියල්ලෝම පාහේ මේ රටේ ඇති හැකි පවුල්වලට අයත් නියමාකාර බටහිර අධ්‍යාපනයක් ලැබූ වියතුන් පිරිසකගෙන් සමන්විත වූහ.

එහෙයින් ඔවුනට බෙහෙවින් ආරක්ෂිතව තම ව්‍යාපාරය මේ පොළොවේ පිහිටුවන්නට හැකි විය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින් ම ශ්‍රී ලංකාවේ මහපොළොවේ සිදු වූ අරගලයක ප්‍රතිඵලයක් ලෙස මතුවූ එකක් නොවීය. එය එකල එංගලන්තයේ මතුවෙමින් ආ ප්‍රගතිශීලී දේශපාලන නැඹුරුව නිසා ඇති වූවකි.

ලැබුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අඬු කැඩීමට කැපවූයේ එක්සත් ජාතික පක්ෂය හා එහිම විභේදනයක් ලෙස පසු කලෙක ස්ථාපිත වූ බණ්ඩාරනායක නිර්මාතෘවරයාව තැණුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහෙත් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අර්ථවත් කිරීමටත් එය ඡන්ද බලයකට එහා ගිය සාමාන්‍ය මිනිහාට, දුගී දුප්පතාට එමගින් ලබාගත හැකි සෙත සලසා දීමටත් දායක වූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයයි. 1948 සිට 77 දක්වා වැඩවසම් පවුල්වාදය තුළ එතුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාව පාලනය කළේය. එතැන් සිට 1977දී ජේ ආර් ගෙන් ආරම්භ වී මහින්ද රාජපක්ෂ ගෙන් හා ඉනික්බිති අද දක්වා කුළුගැන්වෙන්නේ ඒකාධිපතිත්වයට බර ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ පාලන ව්‍යුහයන් දෙකෙහිම අධිකාරිත්වයට එරෙහිව ඒවායේ ගැබ්වූ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වැදුණේ ලංකාවේ පැරණි හා නව වාමාංශික ව්‍යාපාරයයි. මේ කාලය තුළ නැගීම් වැටීම් වලට ලක්වෙමින් අඛණ්ඩව ඉදිරියට ආවේ එකම වාමාංශික ව්‍යාපාරයක් නොව එහි ප්‍රභේදයන් ය.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගෙඩි පිටින් ආණ්ඩු බලය නොගත්තත් ලංකාවේ ශේෂව හෝ පවතින දේශපාලන ශිෂ්ටත්වය වනාහි වාමාංශික නිමැවුමකි. ඔවුන්ගේ ධෛර්යයේ හා අවංකභාවයේ ප්‍රතිඵලයකි. මා අද විශ්වාස කරන පරිදි ලංකාවේ පරණ වම දෘඩ මාක්ස්වාදී ව්‍යාපාරයකට වඩා කිට්ටු වන්නේ වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකටය. එයට යකඩ තිරයක් නොවිණ. විරුද්ධවාදීන් හා ගනුදෙනුව ලේ හැලෙන මෘග එකක් නොව සංවාදශීලී එකක් විය. ගුටි කෑවෝ මිස ගුටි දුන්නෝ නොවූහ. එහෙත් එතෙක් ආ අනර්ඝ ඉතිහාසයෙන් කැඩී වෙන් වෙමින්, 1964 ජාතිවාදී කුණු සැරව ද සහිත දක්ෂිණාංශික ව්‍යාපාරයක් සමග දීග නොයන්නට, ලංකාවේ පරණ වමට, නිදහසත්, ඡන්ද බලයත්, රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ගොඩ නැගෙමින් පැමිණි ආයතන පද්ධතියත් සමග අපූරුවට නූතන ශිෂ්ටත්වය ගොඩනැගීමේ කාර්යය මීට වඩා සාර්ථක කරගන්නට ඉඩ තිබුණි. එය සමහරවිට ලෝක ආදර්ශයක් වන්නට ද ඉඩ තිබුණි. ඇතැම් විට එමගින් ලංකාව, දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ ආසියාවේ දිදුලන තාරකාව වන්නටද ඉඩ තිබිණ.
පරණ වමේ ව්‍යාපාරයේ 1964 දක්ෂිණාංශික අත්වැල් බැඳ ගැනීම නව වාමාංශික ව්‍යාපාරයනට උපත වූ අතර එයම ජනතා විමුක්ති පෙරමුණේ උපතට ද හේතු වූයේ ය. ජවිපෙ නියෝජනය කළ සිංහල ග්‍රාමීය බලවේගය බණ්ඩාරනායකගේ සිංහලකරණය කරන ලද අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වූ අසම්පූර්ණ උගතුන්ගෙන් (ප්‍රමාණාත්මක විශ්ව දැනුමෙන් වියුක්ත වූ) සමන්විත විය. රැකියා විරහිතභාවය හා දරිද්‍රතාව තමන් පෙලූ වේගයෙන්ම අවස්ථා දෙකකදීම මේ නව වාමාංශික තරුණයන් විසින් දේශපාලනයේදී ත්‍රස්ත වේෂයෙන් මුදාහැරියේය. ඔවුන්ගේ වාචික භාෂාව, ශරීර භාෂාව ත්‍රස්ත එකක්ම විය. විරුද්ධවාදියා කෙරෙහි ඔවුන් සානුකම්පිත නොවීය. පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ඇසුරෙන් තමන්ගේ ප්‍රාර්ථනාවන් වඩාත් නිර්මාණාත්මකව ඉෂ්ට කර ගන්නා ආකාරයක් ගැන ඔවුන් සිතුවේ නැත. එසේ සිතීමට අවශ්‍ය දැනුමද ශික්ෂණය ද ඔවුන් සතු වූයේ ද නැත. එමෙන්ම දරිද්‍රතාවයද, තම ඇස් ඉදිරිපිට ඇති තමන් වෙලාගත් සමාජ අසාධාරණය ද ස්වයංව ඒ දැනුම ලබාගැනීමට ඔවුනට ඉඩ දුන්නේද නැත. කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී වටාපිටාවක් නොතිබුණු රටවල ඇති වූ කොමියුනිස්ට් විප්ලවය පමණක්ම ඔවුන්ගේ පරමාදර්ශය විය. එහෙයින් තරුණයන්ගෙන් පමණක් සමන්විත වූ ජනයාගෙන් වියෝ වූ දේශපාලනයක් 1971 දී ද 1989 නොවැම්බරයේ දිී ද ලෙයින් යකඩින් මර්දනය වී ලේ වැකි මතකයන් සමඟ නිහඬ විය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නැවත උපත ලබන්නේ 1989 අහවර වූ ව්‍යාපාරයේ නායක කාර්යභාරයක් නොකළ, එවකට පාසල් වියේ හෝ එවන් ලාබාල වියේ සිටි ගැටවරයන් තරුණයන් වූ අවධියකය. සංකේතමය වටිනාකමක් දීම උදෙසා පැරණි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවූ එකම එක්කෙනා (සෝමවංශ අමරසිංහ) නායකත්වයට පත් කළත් ඔහුගේ විසුළු රංගනය කුමක්දැයි වටහා ගැනීමට ඉඩ සලසා අනතුරුව මියගියේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි අවධියේ සිය පක්ෂය ඇද දැමිය හැකි හැම අගාධයකටම ඇද දැමීමට තරම් අඥාන විය. ඔහු අපට පසක් කර දුන්නේ පූර්ව ජනතා විමුක්ති පෙරමුණේ නොගැඹුරු බව හා පටු බවයි.

අද ජනතා විමුක්ති පෙරමුණ විජේවීරගේ, ගමනායකගේ හෝ සෝමවංශ අමරසිංහගේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ. එහි චේෂ්ටාවන් එහි ක්‍රියාමාර්ග සපුරා වෙනස්ය. මේ වෙනස්වීම ජනතා විමුක්ති පෙරමුණ විවිධ හේතු මත හැරගිය උදවියට දේශපාලනික කොන්ද බිඳ ගැනීමක් වුවත් ලෝකයේ හා ලංකාවේ දේශපාලන බල දිශානතිය වටහාගත් උදවියට එය එම පක්ෂයේ නව්‍ය හා ඉදිරි පිම්මකි. පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ ඡන්ද වර්ජනය කළ නමුත් ඡන්දය පාවිච්චි කරන උදවිය මරා දැමු නමුත් කාලයාගේ ඇවෑමෙන් ලද අවබෝධය හේතුවෙන් අද ජනතා විමුක්ති පෙරමුණ ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ද ඡන්ද අයිතිය පමණක් නොව දේශපාලන ශිෂ්ටත්වයේ ද ආරක්ෂකයා බවට පත්ව තිබේ.

විජේවීර පරම්පරාවේ නායකත්වය යටතේ ඔඩු දුවා තිබූ ජාතිවාදය පමණක් නොව, වාමාංශික ව්‍යාපාරයකට තරම් නොවන වර්ගවාදීත්වය සමනය කරන්නට පමණක් නොව කවර තරමේ අවදානමක් දරමින් වුවද ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින්නටද සමත් වෙහෙසකර අරගලය ජයගන්නට ඔවුහු අද වන විට සමත්ව සිටිති. මේ විපර්යාසය හා මේ ජයග්‍රහණයන් සියල්ල ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකත්වයේ කැපවීම මත සිදු වන බව සැබෑ නමුත් ඒ යහගුණයන්ට නායකත්වය දීමට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමත්ව තිබේ. ලියාපදිංචි පක්ෂ තිස්පහක් පමණ වන ලංකාවේ පක්ෂ සමුදායේ නායකත්වයේ කැපවීම යන්නේ අංක එක ඔහුය.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී කොළ කැබැල්ලක්වත් නොබලා පැයකට අධික කාලයක් තොරතුරු බහුල සාධාරණ විරෝධයන්ගෙන් යුක්ත අනුර කුමාර දිසානායකගේ හැඟුම්බර කතාව මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ ඇසුණු වැදගත්ම කතාව බව බොහෝ අදේශපාලනික මධ්‍යස්ථ මතධාරීන්ගේ පවා අදහසය. සමහරවිට එය 1978 පසු පාර්ලිමේන්තුවේ කෙරුනු හොඳම කතාව විය හැකිය. 1977ට පෙර යුගයේ ඇන්.ඇම්. – කොල්වින් වැනි දේශපාලනඥයන් මෙවැනි හා මීටත් වඩා සාරගර්භ කතා ඕනෑ තරම් පවත්වා ඇති බව එකල හැන්සාඞ් වාර්තා දෙස් දෙයි.

ආචාර්ය සරත් අමුණුගම ස්වයංචරිතාපදානයකට කිට්ටු ‘අන්තිම සටන’ නම් ග්‍රන්ථයේ පැරණි වාමාංශික දේශපාලනයට අයත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන හා බර්නාඞ් සොයිසා හඳුන්වන්නේ ‘එකම පක්ෂයකට කුෂාග්‍ර බුද්ධිමතුන් මෙතරම් විශාල ප්‍රමාණයක් එකවර ඒකරාශි වූ ලෝකයේ එකම වාමාංශික දේශපාලන ව්‍යාපාරය ලංකා සමසමාජ පක්ෂය විය හැකි බවයි.’ ඒ වාර්තාව බිඳින්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිදා සමත් නොවනු ඇති. නාගරික ධනේශ්වර පංතියට ලැබිය හැකි වරප්‍රසාදිත අධ්‍යාපනයේ ද, දුර්ලභ අවංක භාවයේ ද මාහැඟි ප්‍රතිඵල වූ එකී වාමාංශික නායකයන් වැනි උදවිය ලංකා දේශපාලනයෙන් යළි බිහි නොවුන බව සත්‍යයකි. වාමාංශික දේශපාලනයේ පමණක් නොව කුමන ලාංකික දේශපාලන ව්‍යාපාරයකටවත් එකී පැලැන්තියෙන් පැමිණි වරප්‍රසාදිත අධ්‍යාපනයක් ලැබූ දේශපාලන උගතුන්ට එවැනි කෘතහස්ත පෞරුෂයක් හෝ කිසිදා උදාකරගත හැකි මානවවාදයක් නැති බව ඒ උද්ධෘතය ලියූ ආචාර්ය සරත් අමුණුගමම සිය ජීවිතයෙන්ම පෙන්වා සිටී. වැඩිමනත් උදාහරණ ලෙස මහාචාර්ය ජී ඇල් පීරිස් ,මහාචාර්ය තිස්ස විතාරණ ආදීන් ගත හැකිය.

අනුර කුමාර ද ඔහුගේ අගනා සගයන් ද අයත් වන්නේ අවවරප්‍රසාදිත ග්‍රාමීය නිර්ප්‍රභූ පැලැන්තියට අයත් පිරිහුණු ලාංකීය අධ්‍යාපන රටාවේ සීමාසහිතකම් මධ්‍යයේ බිහිවූ උගතුන් පිරිසක් ලෙසටය. අවාසනාවට ඔවුන් කිහිප දෙනා හා තවත් දෙතුන් දෙනකු හැර එවැනි උගතුන්වත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. එහෙත් ඔවුන් සරත් අමුණුගමට, ජී.ඇල්. පීරිස්ට හෝ තිස්ස විතාරණට වඩා ස්වකීය හෘදය සාක්ෂියටත් සමාජ හෘදය සාක්ෂියටත් සමීපය. අවනතය. තමන් වෙත ලැබුණු සිංහල කේන්ද්‍රීය සීමාසහිත අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ලෝකය හඳුනා ගැනීමට වෙර වීරිය දරන්නෝ ය. තමන්ගේම අතීත නායකයන් තමන් වෙත පතිත කළ ජාතිවාදයෙන් වර්ගවාදයෙන් පමණක් නොව දේශපාලන පටු බවින්ද ,යාන්ත්‍රික බවින්ද මිදෙන්නට තරම් සවිඤ්ඤාණක බවක් ඇත්තෝය. එමෙන්ම අප අනුමත නොකලත් 71 සහ 89 කැරලි වලින් මියගිය අතීත සටන් සගයන් මුදාහල වීරත්වය හා කැපකිරීමේ උරුමයේ කොටස්කරුවන් වන්නට ද සමතුන් ය.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හරහා දේශපාලන ලෝකයට එන අනුර කුමාර 1989 භීෂණ සමය වනවිට විසි හැවිරිදි තරුණයෙකි. ඒ වයස් කාණ්ඩයේ ජීවත් වූ ඔහුට එකල භීෂණ සමය හා නිසර්ග වගකීමක් තිබිය නොහැකිය. එහෙත් ඔහු නායක කාර්යභාරයක් දක්වා යන දිගු ගමන ඇරැඹෙන්නේ 1989 භීෂණයට වගකිවයුතු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ව යුගයේ නිමාවත් සමග ය. ඒ වැරදුනු අතීතය පිළිබඳව සවිඥ්ඥානිකව ය. අතීතයේදී වැදගත්, අදූෂිත හා අවංක දේශපාලකයන් බහුල වශයෙන් වම-දකුණ භේදයක් නැතිව සෑම දේශපාලන පක්ෂයකම පාහේ සිටියහ. එහෙත් අද එවැන්නන් නැතිවන තරමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිරිහී ආලා පාලු වී තිබේ. පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගෙන එන, අනින්නට පිහි අරන් එන පාදඩ තැනට පාර්ලිමේන්තුව වැටී ඇති බව ලංකාවේද ලෝකයේ ද ජනයා නිර්වස්ත්‍ර ලෙස දැකගත්හ. එවන් කිලිටි දේශපාලන පරිසරයක පිපුණු රතු නෙළුමක් ලෙස අනුර කුමාර හැඳින්විය හැකිය