වෙළඳපල ආර්ථිකයේ අදිසි හස්තය

ප්‍රභාස්වර

රටක ජාතික ආර්ථිකයක් මෙහෙයවීමේදී එදිනෙදා ගත යුතු තීන්දු තීරණ දශලක්ෂ ගණනාවක් ඇත. ඒ අනුව, අප නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ මොනවාද? පොදු ජනයා වෙත කුමන සේවාවන් ලබා දිය යුතුද? කෙතරම් භාණ්ඩ හා සේවාවන් නිපැයිය යුතුද? ඒවායේ ප්‍රතිලාභ යා යුත්තේ කා වෙතද? කිනම් මිලකටද? යනාදී තීරණ වෙත නොපමාව එළඹිය යුතුය. ඉහත තීරණ සියල්ල තමන් වෙතින් ගත යුතු යැයි තීරණය කළ ‘අඥා ආර්ථිකයක්’ සහිත ආණ්ඩු වල දැඩි ආර්ථික අර්බුද වලට මුහුණ දෙන්නට සිදු විය. 1990 දශකයේදී සිදු වූ සෝවියට් දේශයේ බිඳ වැටීම, වත්මන් උතුරු කොරියානු හා කියුබානු ආර්ථිකයන් මේ සඳහා වන උදාහරණය කිහිපයක් ලෙස උපුටා දැක්විය හැකිය. එම නිසා මූලික ආර්ථික තීන්දු තීරණ ගත යුත්තේ රාජ්‍ය විසින් නොව, ඒ පිළිබඳව හොඳ සංවේදී බවක් තිබෙන පොදු ජනයා විසින් බව අද ලොව බහුතරයක් රටවල් පිළිගෙන ඇති සත්‍යයකි. වෙළඳපොළ යනු වෙළෙන්ඳන් හා පාරිභෝගිකයන් හමු වන ස්ථානය හෙවත් ඉල්ලුම හා සැපයුම විසින් මිල නිර්ණය කෙරෙන තැනයි. වෙළඳපොල ආර්ථිකයක් තුළ වෙසෙන ජනයා, විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල නියැලී ආදායම් සහ ලාභ උපයන්නේ කෙසේදැයි හොඳින්ම දනිති. වෙළඳපළ තුළදී සිය තරඟකරුවන්ට වඩා දක්ෂයකු වුවහොත්, තමන්ට දිගු කාලීන ජයක් ලැබෙන වග දුර දක්නා ව්‍යවසායකයා අවබෝධ කර ගනී. එහෙයින් වෙළඳපළ ආර්ථිකය යනු මිනිසුන්ගේ පෞද්ගලික තීරණ සහ තරඟය මත පදනම් වූ ආර්ථිකයක් සේ හැඳින්විය හැකිය.

ආණ්ඩුවේ කාර්යභාරය

කෙසේ වෙතත් වෙළඳපළ ආර්ථික ක්‍රමයක මූලික රාමුව වන මහාමාර්ග, වරාය සහ ගුවන් තොටුපල, මූලික අධ්‍යාපනය හා ආරක්ෂාව යනාදී යටිතල පහසුකම් රජය විසින් සැපයිය යුතු වේ. තම දේපල හා ශ්‍රමය සම්බන්ධයෙන් නිදහස් තීන්දු තීරණ ගැනීමේ අවකාශයද,වෙළඳ ගිවිසුම් හා කොන්ත්‍රාත්තු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පසුබිමද, පොදු ජනයාට තිළිණ කිරීම රජය සතු වගකීමකි. මෙම වෙළඳපළ ආර්ථික තරඟයට සහභාගී වීමට නොහැකි ආබාධිත අය හා මහළු පුරවැසියන්ට රක්ෂණ හරහා හෝ සහන සැළසිය හැකි ආරක්ෂක දැලක් ස්ථාපිත කිරීමටද ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. සමහරු වෙළඳපල ආර්ථිකය විවේචනය කරන්නේ, එය කෑදරකම හා තණ්හාව මත පදනම් වූ ක්‍රියාවලියක් ලෙස හඳුන්වමිනි. එළු පට්ටියක් හදන පුත්තලමේ වෙසෙන සිංහල, බෞද්ධ ගොවි මහතා එම සතුන් සියතින් ඝාතනය කොට එළු මස් ලෙස අලෙවි කිරීම පිළිකෙව් කරයි. එහෙයින් ඔහු තම පට්ටියේ වැඩුණු එළුවකු රුපියල් 50,000කට පුත්තලම නගරයේ වෙසෙන මුස්ලිම් මස් කඩ මුදලාලිට විකුණයි. ආගම් භේදයකින් තොරව එළු මස් අනුභව කිරීමට කැමති සියළු පාරිභෝගිකයෝ මස් මුදලාලි හරහා සිය අවශ්‍යතාවය ඉටු කර ගනිති. මෙතැනදී ගොවියා තම එළුවන් එළෙවි කරන්නේ ලාභය අරමුණු කරගෙනය. මුදලාලි ඌ මස් කර විකුණන්නේ ඔහුටද ලාභයක් ඉතිරි කරගෙනය. එහෙත් මේ දෙදෙනා සපයන සේවාවන් නිසා එළුමස් පරිභෝජනය කරන පුද්ගලයන්ගේ ආශාවක් සංසිඳෙයි. ගොවියා හා මුදලාලි ලාභ ලැබුවද ඔවුන්ගේ ව්‍යාපාර හේතුවෙන් පාරිභෝගිකයන්ට ලැබෙන තෘප්තිය අති විශාලය. පාරිභෝගික තෘප්තිය ගැන නොදැන, ලාභය සෙවීම පිණිස සිදු කරන ව්‍යාපාර වලින් වුව විශාල සමාජ සේවයක් සැළසෙන නිසා මෙය ‘අදිසි හස්තය’කි.

ආත්මාර්ථකාමීත්වය හා ස්වාර්ථය

තෝමස් එඩිසන් (1847-1931) නව නිපැයුම් 1000කට අධික සංඛ්‍යාවක් ලොවට හඳුන්වා දී ඒ සියල්ල සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගත් ධනවතෙකු වුවද, ඔහු වෙළඳපලට නිකුත් කළ විදුලි බල්බය නම් අසමසම නිෂ්පාදනය, ලාභය අභිබවා යන ‘අදිසි හස්තයක්’ සේ අදටත් ලෝකය බබලවයි. ජෝන් ස්ටුවර්ට් මිල් නම් දාර්ශනිකයාට අනුව, රට වැසියකු හෝ රට වැසියන් කණ්ඩායමක් අනෙක් රට වැසියන්ට හානි කරන අවස්ථාවකදී එය වලක්වාලීමේ අයිතිය ආණ්ඩුව සතු වුවත්, එතැනින් ඔබ්බට ගොස් මහජනයාගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගැසීමේ අයිතියක් ආණ්ඩුවට නැත. එහෙයින්, වෙළඳපොල ආර්ථිකය තුළදී තමන් මිලට ගත යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමේ අයිතිය හා බලය ආණ්ඩුව විසින් පාරීභෝගිකයා වෙත ලබා දිය යුතුය. රජයක් අනාගමික වීමේ වැදගත්කම මතුවන්නේ මෙතැනදීය. තම පට්ටියට ආර්ථික වශයෙන් ඵලදායි නොවන ගවයකු සිටීනම් ඌව මුදලාලිට දී රුපියල් ලක්ෂයක් පමණ උපයා ගැනීමේ අයිතිය කිරිගොවියා සතුය. එම මුදලින් ඔහුට ඵලදායිතාව ඉහළ සතුන් මිලදී ගත හැකිවේ. හරක් මස් නොකන බෞද්ධ භික්ෂුවකට හෝ එම භික්ෂුව සරණ යන නිර්මාංශ පාලකයකුට, හරක් මස් අනුභව කිරීමෙන් වැළකී සිටින්නැයි මහජනයාට බල කළ නොහැකිය. වෙළඳපළ ආර්ථිකයක් තුළ හොඳ තරඟයක් දී ඉහළ ලාභ ලබන ව්‍යාපාරිකයා ආත්මාර්ථකාමියකු ලෙස හංවඩු ගසන්නේ වෙළඳපළ බලවේගයන් ගැන නොදන්නා අඥානයින්ය. බේකරි හිමියා පාන් නිපදවා ඉන් ලාභ ලැබුවද ඔහුගේ නිපැයුම පාරිභෝගිකයා හට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. පාන් විකුණා තම දරු පවුල රකින බේකරි හිමියා සිය ව්‍යාපාරය මගින් ස්ථාවරය සලසා ගනී. ස්වාර්ථය හා ආත්මාර්ථකාමීත්වය අතර ඇත්තේ විශාල වෙනසකි. මහජන පුස්තකාලයට යන පුද්ගලයකු තමාට අවශ්‍ය යැයි සිතෙන වැදගත් කරුණු ඇතුළත් පොතක පිටුවක් ඉරාගෙන එය ගෙදර ගෙන යයි. පොදු වැසිකිළියක තිබෙන ‘ටොයිලට් පේපර් රෝල’ හොරකම් කරයි. පොදු උiානයක තිබෙන මල් පැල ගලවාගෙන යයි. ආත්මාර්ථකාමියා යනු කොතැනකට ගියත්, තමාගේ අර්ථය සලසාගෙන අන්‍යයාගේ යහපත නොතකන පුද්ගලයායි. ස්වාර්ථය සලසා ගන්නා තැනැත්තා කිසි කලෙක අනුන්ට අයහපතක් නොකරයි. අනුන් තලා පෙලා කටයුතු නොකරයි. පුද්ගල පරිගණකය සඳහා අවශ්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය 1985 නොවැම්බර් 20දින ලොවට හඳුන්වා දුන් බිල් ගේට්ස් 2018 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 95.4 ක් උපයාගෙන, ලෝකයේ දෙවන පොහොසත්ම පුද්ගලයා ලෙස ස්වාර්ථය සලසා ගත් නමුදු නව තාක්ෂණයේ ප්‍රගමණය පිණිස වින්ඩෝස් සිදු කළ මෙහෙවර මිල කළ නොහැකිය.

සමාගම් සංස්කෘතිය

ඉහළ ලාභ ලබන පෞද්ගලික සමාගමක් සිය ආයතනය සඳහා පුද්ලයන් බඳවා ගන්නේ ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සොයාබලා ඒ අයව සම්මුඛ පරීක්ෂණ ගණනාවකට බඳුන් කරමිණි. සමාගමේ ආයතනික අභිලාෂයන් අත් පත් කර ගැනීමේ අරමුණ ඇතිව එහි පාලකයෝ සිය සේවක මණ්ඩලය වෙත විවිධ ව්‍යාපාර ඉලක්ක වසර මුදලීම පිරිනමයි. ඉලක්ක හඹා ගොස් ජය ගන්නා සේවක, සේවිකාවන් හට වැටුප් හත අටක බෝනස් සහ උසස්වීම්ද ලබාදෙති. ඉලක්ක සපුරාලීමට අපොහොසත් වන අයට බෝනස් නොලැබෙන අතර ඵලදායි නොවන පුද්ගලයන් සේවයෙන් නෙරපා හැරෙයි. පාලකයින් යහමින් දිරි දීමනා හා අතිකාල තිළිණ කරන විට සතියේ දින වල රෑ බෝවන තුරුද සති අන්තයේ නිවාඩු දින වලද වෙහෙස නොබලා වැඩ කිරීමට සේවකයෝ පෙළඹෙති. මෙහිදී සමාගම තුළ ගොඩ නැගී ඇත්තේ කොටස් හිමියන්ගේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ, කළමනාකාරීත්වයේ, සේවක මණ්ඩලයේ සහ ගනුදෙනුකරුවන්ගේ ස්වාර්ථය සලසනු ලබන වැඩ සංස්කෘතියකි. දරුණු ආර්ථික කුණාටු හමුවේ වුවද ලොව හොඳම බහු ජාතික සමාගම් දිගින් දිගටම ලාභ ලබන්නේ වෙළඳපළ ආර්ථිකයේ ‘අදිසි ස්වාර්ථ හස්තය’ ඔවුන්ගේ ආයතනික සංස්කෘතිය තුළ මැනවින් ක්‍රියාත්මක වන හෙයිනි. සමාගම් කළමනාකාරීත්වය තම ආයතනයේ බහුතරයක් සේවකයන් අවංක අය ලෙස නිරායාසයෙන් විශ්වාස කරන නමුත්, පැමිණීම සටහන් කරන ඇඟිලි මුද්‍රා යන්ත්‍ර, සී.සී.ටී.වී. කැමරා සහ විනය නීති සමාගම තුළ ස්ථාපිත කර තිබෙන්නේ හොර වැඩ කරන සුළුතරය අල්ලා ගැනීම සඳහාය. බි්‍රතාන්‍ය ආර්ථික විiාඥ ආතර් සෙල්ඩන් (1916-2005) වෙළඳපළ ආර්ථිකයේ කාර්යක්ෂම අදිසි හස්තය පිළිබඳව සිය අදහස් දක්වන්නේ මේ අයුරිනි. ‘අධික ලාභ ලැබීමට ගිජුකමක් දක්වන ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෝ නිදහස් වෙළඳපළ ආර්ථික ක්‍රමයට කිසිසේත්ම කැමති නැහැ. මන්ද, තම භාණ්ඩ හා සේවා පාරිභෝගිකයින්ට සීමා සහිතව විකිණීමට මෙන්ම ඒවායේ මිල හිතූ හිතූ විට ඉහළ නැන්වීමට වෙළඳපළ තුළ තිබෙන තරඟකාරීත්වය ඔවුන්ට ඉඩ දේන්නේ නැහැ. මෙවැනි ව්‍යවසායකයින් තම ව්‍යාපාරය තරඟකාරීත්වයෙන් මුදවා ඒකාධිකාරයක් සේ පවත්වාගෙන යාමට ඉඩ දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එවිට පාරීභෝගිකයාට සිදු වන්නේ තමන් කැමති වුවත් නැතත් මොවුන්ගේ (බාල) නිපැයුම් වලින් සෑහීමකට පත් වෙන්නයි. වෙළඳපළ ආර්ථිකය බහුතරයකගේ ස්වාර්ථය සලසන ක්‍රමවේදයක් වන හෙයින් එය ලොව රටවල් බහුතරයකගේ පිළිගැනීමට ලක්ව තිබෙනවා.’

මූල්‍ය උපයෝගීතාවය

1923 වසරේ එක් දවසක ඇමරිකාවේ චිකාගෝ නුවර පිහිටි එජ්වෝටර් බීච් හෝටලයේදී එරට එවකට සිටි ධනවත්ම පුද්ගලයන් අට දෙනා සුහද හමුවක් සඳහා එක් වූහ. මුළු ඇමරිකානු ආණ්ඩුවම සතු ධනස්කන්දයට වැඩි මුදල් සම්භාරයක් එකල ඔවුන් සතුව තිබිණි. වසර 25කට පසුව (එම සුහද හමුවේ සිටි ) ඇමරිකාවේ දැවැන්ත වානේ කම්හලේ සභාපතිවරයා වූ චාල්ස් ෂ්වැබ් බංකොලොත් වූවකු ලෙස මරණයට පත් විය. උතුරු ඇමරිකාවේ විශාල ගෑස් සමාගමේ සභාපති වූ හොවඞ් හොප්සන් හට පිස්සු හැදුනි. නිව්යෝක් කොටස් වෙළඳලපලේ සභාපති රිචඞ් විට්නි මහලු නිවාසයක් වෙත යැවුණි. රටේ කැබිනට් මණ්ඩල සමාජිකයකු වූ ඇල්බට් ෆෝල් සිරගෙදරදි මරණාසන්න වූ හෙයින් සමාව දී නිවස වෙත යවනු ලැබිණි. වොල් වීදියේ ජය කෙහෙළි නැංවූ කෝටිපති ව්‍යාපාරික ජෙසී ලිවර්වෝල් සියදිවි නසා ගත්තේය. අනෙත් ධනවතුන් දෙපළ වූ අයිවර් කෲගර්, හා ලියෝන් ෆ්රේසර් සියදිවි තොර කර ගත්හ. මේ අය ධනය ජනනය කිරීමට සමත් පුද්ගලයින් වුවද, එම සල්ලි ස්වර්ථය හා පරාර්ථය පිණිස මැනවින් පාවිච්චි කිරීමේ කලාව ප්‍රගුණ නොකළ හෙයින් වසර 25ක් ඇතුළත නන්නත්තාර වීම නොවැළැක්විය හැකි විය. ධනය හාම්පුතකු ලෙස නොව තම සේවකයකු සේ සලකා, එය අන් අයගේ හා තමාගේ යහපත පිණිස යොදාගත යුතුය. ‘ව්‍යාපාරය යනු අන් කිසිවක් නොව ගනුදෙනුකරුවා උපරිම ලෙස තෘප්තිමත් කිරීමයි.මේ කාර්යය ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා මුදල් ඉපැයීමේ අභිලාෂය අභිබවා යන දැඩි කැමැත්තක්/ආශාවක් තමා සපයන සේවාව හෝ නිපදවන භාණ්ඩය ගැන අදාල ව්‍යවසායකයා සතුව තිබිය යුතුය. ළමයින් වැඩියෙන් කැමති කුමන දේටද යන්න සොයා බලා ඔවුන් ඒ සඳහා යොමු කිරීම ඔස්සේ ස්වර්ථය හා පරාර්ථය පිණිස ධනය ජනනය කළ හැකියි’ -බී.සී. ෆෝබ්ස්.