කුමාරතුංගගේ ජාත්‍යන්තරවාදයට එරෙහි ගෙවිඳු කුමාරතුංගගේ ළිං මැඬි චින්තනය

චින්තක රණසිංහ

කුමාරතුංග මුණිදාස පඬිවරයාගේ ඥාති පුත්‍රයකු යැයි හඳුන්වා ගන්නා ගෙවිඳු කුමාරතුංග නමැති මහතෙක් මේ දිනවල යුතුකම අධ්‍යයන කවය නම් සංවිධානයක් මුල් කොට ගනිමින් මෛත්‍රී – රාජපක්ෂ (දැනටමත් අධිකරණය මගින් නෛතිකව බලයෙන් නෙරපන ලද) බල – හවුල සාධාරණීකරණය කිරීමට තැත් කරමින් සිටින බව පෙනේ. බෙදුම්වාදයට එරෙහිවීම, දේශීය චින්තනය වැනි තමන්ම නිර්මාණය කරගත් මහ පොළොවේ යථාර්ථයක් නොවන හා මේ මොහොතේ අතිශයින්ම පසුගාමී වන යල්පැනගිය දේවල් වෙනුවෙන් පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදෙමින් අනීතික, ඒකාධිපති පාලනතන්ත්‍රයක් ආරක්ෂා කිරීම ගෙවිඳුගේ දේශපාලනයේ පරම අභිලාෂය බව පෙනේ. මේ ලිපිය ලියන්නේ මහා පඬි, මහා කවි කුමාරතුංග මුණිදාසයන්ගේ චින්තනය තුළ පැවති ජාත්‍යන්තරවාදී, බහුවිධ ස්වභාවයට ගරු කරන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ කීපයක් පෙන්වාදීම සඳහාය. ගෙවිඳු කුමාරතුංගලා මතු කරන වර්ගවාදී, ප්‍රතිගාමී චින්තනයක් කුමාරතුංග සතු නොවූ අතර අද ඔහු සිටියේ නම් තමාට මෙබඳු වර්ගයේ ඥාති පුත්‍රයකු සිටීම පිළිබඳ ඉමහත් කනගාටුවට පත්වනු ඇත. දැන් අපි කුමාරතුංගයන් කී දෑ වෙත හැරෙමු.

“අපගේ දරුවෝ රටට කලට ගතියට ගැළපෙන හික්මීමක් නොලබති. අපගේ ගුරුවරු දුබලකමින් අගතැන් පැමිණ සිටිති. නින්දාවෙකි. මේ සා එළිය ඇති කාලයක මේ සා දීනව සිටින අනෙක් රටක් මිහිපිට ඇත්දැයි විමසිය යුත්තේය. ජාතියක් දීනයන්ගෙන්මැ යුක්ත විය හැකි නොවේ. වීරයෝ කොයි ගියාහුද?

ලක්මිණි පහන කතුවැකිය

කුමාරතුංග ගැඹුරින් සිංහලයාගේ ජාතික විපතේ චින්තනමය ඛේදවාචකය දකියි. දීනකම හා යල්පැනගිය ස්වභාවය දකියි. කුමාරතුංග එරෙහි වන මෙම පසුගාමී තත්ත්වය වර්තමානයේ විශාල වශයෙන් දැකිය හැක්කේ මහින්දවාදය හා මහින්දවාදයේ අනුගාමිකයන් තුළය. මහින්ද විරෝධය විවිධ මතවාදවලින් ගැවසී ගත් නමුදු එය රට ලෝකයත් සමග ඉදිරියට ගමන් කළ යුතුයැයි පවසන මතවාදයකි. ඒ තුළ ගැටුම් ඇත්තේත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය නිසාය. අද ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන්නේ කුමාරතුංග මතවාදය නොව ඊට පටහැනි මතවාදය බව මේ උදාහරණය අපට මැනවින් සිහිපත් කරයි.
තවත් උදාහරණයක් ගෙන බලමු.

“වේලාව පිරිමසා ගන්නට අපේ ඡන්දය නුසුදුස්සකුට දී ඒ නුසුදුස්සා මැති සබයට වැදැ, රටේ දියුණුවට ඒකාන්ත හානියක් වූ කලැ, මතු පරම්පරා යෙහි මතුවෙත් දුකට පැමිණෙති. අපගේ අපරාධයෙන් එබඳු දුකකට පැමිණුනු බව දැන ගනිති. අපරාධ කළවුන් මතක් කොට සුසුම් ලති. ශාප කෙරෙති. අපගේ මළ සිරුරු ලූ වළටද හෙණ වදින්නට මේ පාප කර්මය මඳ නොවේ.” ලක්මිණි පහන කතුවැකියෙනි.
එදා වේල සඳහා බඩු මිල අඩු කර, ගම්බද දුගී ජනයාගේ ප්‍රසාදය දිනාගෙන මැති සබයට යන්නෝ කවුරුන්දැයි රටම දනිති. එදාද එබඳුවුන් සිටි නිසා එබඳු උන්ගෙන් අනාගත පරම්පරාවට සිදුවිය හැකි විපත හා උන්ගේ සාපය කුමාරතුංගගේ විචක්ෂණ දෙනෙතට පෙනී ගියේය. එහෙත් කුමාරතුංගගේ ඥාති පරම්පරාව මේ මොහොතේ ආ වඩන්නේ ගම්බද දුගීන් රවට්ටන නීතිය කෙලෙසන, වැඩි නඩු ගණනාවක් සහිත පාලක පැලැන්තියක් ආරක්ෂා කරගැනීම සඳහාය. ඇතැම් ආසනවල ඡන්දයෙන් පවා පැරදී ශ්‍රීලනිපය රැකීමේ මෛත්‍රීගේ ජරාජීර්ණ ව්‍යාපෘතියෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් වර්තමානයේ දැඩි විනාශයක් සිදු කරති. කුමාරතුංග කීවේ අනාගත පරපුරේ සාපය ඔවුන් වෙත එල්ල විය හැකි බවයි. එහෙත් වර්තමානයේ අප අත්විඳින මහාම ඛේදවාචකය වන්නේ කුමාරතුංග ඉතා බලවත් පිළිකුලෙන් යුක්තව ඉවත දැමූ එබඳු පාලකයන්ගේ ආරක්ෂාව සඳහා කුමාරතුංගගේම පොත් පළකරමින් තම ජීවිකාව සලසා ගන්නා වූ ඥාති පුත්‍රයකු මුල්තැන ගැනීමයි. තවත් උදාහරණයක් වෙත පිවිසෙමු. 1934.12.25 ලක්මිණි පහනට ලියමින් කුමාරතුංග පවසන්නේ “බෞද්ධ – කෛ්‍රස්තව සම්බන්ධය තර කර – ගැනීමට සිංහල භාෂාව එක් මහ මගෙකි” යනුවෙනි. ඒ නත්තල් දිනය නිමිත්තෙනි.
කුමාරතුංගට අවශ්‍ය වූයේ සිංහල භාෂාව කතිකාවක් ලෙස ආගම් හා ජාති භේදයටත්, අසමගියටත් එරෙහිව වර්ධනය කිරීමටය. එතැන ජාතිවාදී, වර්ගවාදී ලෙස භාෂාව දෙස බැලීමක් හෝ පාරිශුද්ධවාදයක් නොමැත.

එහෙත් නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර, ගෙවිඳු කුමාරතුංග වැනි අන්තවාදීහු කුමාරතුංගගේ චින්තනයේ මෙම ගැඹුරු පදනම වර්තමාන පරපුරෙන් ඉවත් කළහ. එසේ ඉවත් කොට කුමාරතුංගයන් තමාට අවශ්‍ය මතවාදයට කොටුකර ගැනීමට උත්සාහ කළෝය. ගෙවිඳු මේ මොහොතේ නියෝජනය කරන්නේ එම භයානක අන්තවාදී දේශපාලනයයි. ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඔහු විවෘතව බෙදුම්වාදී ලේබලය අලවයි. ගෙවිඳුලා කුමාරතුංග චින්තනයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී බහුවිධ ස්වරූපය වළලා දමයි. අනාගත පරපුරට කුමාරතුංග චින්තනය මතුකර දියයුත්තේ එහි හරය වළලා දමා නොවන බව අපි මේ මොහොතේ උස් හඬින් පවසමු.

කුමාරතුංග ආගම දඩමීමා කරගනිමින් මිනිසුන් රැවටීම දැඩි ලෙස හෙළා දැක්කේය. එසේම බොරු භක්තිවන්ත ව්‍යාපාරවල ඇති ව්‍යාජයත්, ඒවා හසුරුවන දේශපාලනයත් ඔහු දැක්කේ බොරු සිල් ගැනීමක් ලෙසය. කුමාරතුංග මෙසේ ලියයි.

“මැති – ඇමතියනට එක් යාඥාවක් කෙරෙමි. ලක්ෂ ගණන් අසරණයන්ගේ බඩගිනි නිවෙන මගක් සැලසීම බොරු සිල් ගැනීමට වඩා උතුම් බව සලකත්වා.”
බොරු සිල් ගත්තේත්, බොරු සිල්වලින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරන්නේත් කාගේ ආණ්ඩුවේ ප්‍රධානත්වයෙන්ද යැයි දැන නොගැනීමට ගෙවිඳු තොත්ත බබෙක් නොවේ. එහෙත් ඒ බොරු භක්ති ව්‍යාපාරවලට ඔහු නතුවන්නේත්, ඒ නායකයන් සුරකින්නේත් කුමාරතුංගගේ කියුම් කෙරුම් සිහිනෙන්වත් අසා නැති අයකු ලෙසටය. මෙය එක්කෝ දැන දැන අයසට පත්වීමකි. නැතහොත් සවිඥානිකවම රට රැවටීමකි. මේ කුමක් වුවත් අප අවධාරණය කළයුත්තේ ගෙවිඳු මේ ක්‍රියාත්මක වන්නේ කුමාරතුංග චින්තනයට මුළුමනින්ම පටහැනි අන්තගාමී මාවතක බවයි.
කුමාරතුංග ලංකාවට ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ එහි ගරුත්වයත් මෙබඳු රටක එයට අත්විය හැකි ඉරණමත් මෙසේ ප්‍රකාශ කළේය. ඒ කවියෙනි.

“තොපට ලැබී ඇතසැඳ බලය සිහලුනි
නිවට කම නසන ගුරුකමෙකි
නොදවෙනි
අණට බණට මිලයට එය
දුන් නොතිනි
රටට කවර පිහිටද සලකව් නැණිනි”

අද පාර්ලිමේන්තුවේත් රටේත් ඇතිවී තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ අණට බණට හා මිලයට ඡන්දය විකිණීම හා හුවමාරු කිරීමයි. කුමාරතුංග මේ ප්‍රශ්නය එදා ගැඹුරින් දුටු අතර එසේ වුවහොත් රටට කවර පිහිටද යන්න ඇතුළු හදවතින්ම ඇසීය. එසේ ඇසූ කුමාරතුංගගේ ඥාතියා මේ මොහොතේ සේවය කරන්නේ ඡන්ද විකුණන මිලට ගන්න ප්‍රජාතන්ත්‍රවාදය මහා පරිමාණයෙන් විනාශ කරන දේශපාලන කඳවුරකට සේවය කරමිනි. මෙය මොනතරම් ඛේදවාචකයක්ද?

යුතුකම අධ්‍යයන කවය ප්‍රජාතන්ත්‍රවාදී – විරෝධී බලවේග සඳහා කෙතරම් භයානක ලෙස සේවය කරන්නේද යන්න ඔවුන් රට වටා අලවා තිබෙන එක් පෝස්ටරයකින් කියවේ. එහි සඳහන් වන්නේ (මහ මැතිවරණයකින් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” යන්නයි. මෙය අරුම පුදුම ඔල්මොරොන්දම් ප්‍රකාශයකි. හීනෙන් ඇහැරුණු වික්ෂිප්තභාවයකින් යුක්ත අයකුගේ ප්‍රකාශනයකි. මේ රටේ පාර්ලිමේන්තු බහුතරය තිබෙන අයට එය පෙන්වීමට ඉඩ නොමැති බවත්, සුළුතරය පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ගසමින්, වද දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යකා නටන බවත් මේ ‘යුතුකම කව’ සංවිධායක කුමාරතුංගගේ ඥාති පුත්‍රයාට අමතක වීම ඛේදවාචකයකි. මේ අනුව මහින්ද පිලට අවශ්‍ය ඕනෑම අනීතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් සඳහා ගෙවිඳු නොමිලේ සේවය කරයි. අහෝ අර ශ්‍රේෂ්ඨ කුමාරතුංගයන්ගේ ශ්‍රීනාමය මෙබඳු අයටත් පරම්පරාවෙන් පැමිණීම කෙතරම් නම් ඛේදවාචකයක්ද?

කුමාරතුංග කර්මාන්ත දියුණුව වෙත රට ශීඝ්‍රයෙන් රැගෙන යා යුතුය යන මතය තරයේ දැරූ එය එළිපිට ප්‍රකාශ කළ උගතෙකි. ඔහු මෙසේ ලියයි. කර්මාන්ත දියුණුව මේ රටේදී දක්නට නොලැබෙන්නෙකි. මේ ගොවි රටක්ය යනු සියල්ලන්ගේ පිළිගැනීමයි. ලෝකයෙහි අන්‍ය දේශයෝ දිනෙන් දින ඉදිරියට යෙති. ඒ දේශවල ඇතැම්හු දුර ළඟ කරන්නට උපාය උපයති. ඇතැම්හු නොහැකි යැයි කියන දෑ හැකි කරන්නට මං සාදති. එහෙත් සිංහලයා කුමක් කෙරේද?”

එදා කුමාරතුංග ඉල්ලා සිටියේ ජාත්‍යන්තරවාදී, කාර්මික දියුණුවෙන් උපලක්ෂිත විද්‍යාත්මක ඥානයෙන් ඵල ලබන නවීන රටකි. එහෙත් කුමාරතුංග ඥාති පුත්‍රයා මේ ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ පටු, දූපත් මානසිකත්වයෙන් යුත්, ඒකභාෂික, ජාත්‍යන්තර විරෝධී රටකි. සිංහලයා මාරයි – අපේ චූන් අපට චූන් සටන් පාඨය නිල වශයෙන් නඩත්තු කරන දේශපාලන දර්ශනයකි.
මේ මහා ඛේදවාචකය අනාගත පරම්පරාව දැනගත යුතුය. කුමාරතුංග චින්තනයෙන්, ගෙවිඳු කුමාරතුංග චින්තනයේත් වෙනස වටහා ගත යුතුය.