ප්‍රජාතන්ත්‍රවාදය පත්වී ඇති අනතුර

ජයදේව උයන්ගොඩ

ලංකාවේ දැනට උග්‍රවන දේශපාලන අර්බුදය තුළ ක්ෂණිකව අනතුරට පත්වෙමින් පවතින්නේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා දියත් කර ඇති වියරු ව්‍යාපෘතියට එරෙහිව සටන් කරන දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ව්‍යාපාර සහ සමාජ හා විකල්ප මාධ්‍යයයි. මේ අතර ජනාධිපතිවරයාගේ වියරු ව්‍යාපෘතියේ නෛතිකභාවය තීන්දු කිරීමේ වගකීම පැවරී ඇති අධිකරණයට, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහ අනාගතය තීරණය කිරීමේ අතිශයින්ම තීරණාත්මක ඓතිහාසික වගකීමද පැවරී තිබේ.
මෙම පසුබිමෙහි සිට බලන විට, මෙම සතිය සහ දෙක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම තීන්දු කරන කාලයක්ද වනු ඇත.

මේ දිනවල ප්‍රදර්ශනය වන ජනාධිපති සිරිසේන මහතාගේ දේශපාලන තීන්දු සහ චර්යාව ඒ මහතා තනියම, හිතුමතේ කරන දෙයක් නොවේ. ඒවා වනාහී, රාජපක්ෂ පවුල, පොහොට්ටු පක්ෂය, ශ්‍රීලනිපයේ කොටස්, කොළඹ අලුත් ව්‍යාපාරික පන්තිය යන අයගෙන් සමන්විත, ලංකාවේ දේශපාලනය තුළ පසුගිය අවුරුදු කිහිපය තුළ ගොඩ නැගුණු නව දක්ෂිණාංශික – අධිකාරිවාදී සන්ධානයේ අලුත්ම නියෝජිතයා ලෙස ඔහු සිදු කරන දේය. කාලයක් ප්‍රජාතන්ත්‍රීයකරණ සමාජ හා දේශපාලන සන්ධානයක නියෝජිතයාව සිටි සිරිසේන මහතා, පසුගිය මාස කිහිපය තුළදී මෙම දක්ෂිණාංශික – අධිකාරවාදී සන්ධානයට බැඳීමත්, එහි ප්‍රධාන ක්‍රියාධරයා වීමත් සම්බන්ධව, රනිල් වික්‍රමසිංහ සහ එජාපයද වගකිව යුතුය.

2014-2015 ප්‍රජාතන්ත්‍රීයකරණ සන්ධානය ගොඩ නගන ලද්දේත්, එය මැතිවරණ ජයග්‍රහණ කරා මෙහෙයවන ලද්දේත්, අතිශයින් දුෂ්කර සහ අවාසිසහගත පසුබිමකය. එය රැකගෙන, ප්‍රජාතන්ත්‍රවාදීකරණ පොරොන්දුව ඉදිරියට ගෙන යෑමේ සාර්ථකත්වය මූලික වශයෙන්ම රැඳී තිබුණේ යහපාලන සභාගය ශක්තිමත්ව පවත්වා ගැනීම, ජනාධිපති සහ අගමැති අතර සුහද සහ ඵලදායී බලසම්බන්ධතාවක් පවත්වාගෙන යෑම සහ යහපාලන ප්‍රතිසංස්කරණ පොරොන්දු ඉටුකිරීම යන සාධක මතය. මේ සාධක නොසලකා හැර, සන්ධාන ආණ්ඩුව අභ්‍යන්තරයෙන් කෑලි ගැලවී යන තත්ත්වයට පත්වීමේ අනතුර ගැන, 2016 වසරේ සිටම කොයිතරම් අනතුරු ඇඟවීම් කළත්, ඒවා රනිල්වත්, සිරිසේනවත් සැලකිල්ලට ගත්තේ නැත. දැන් අප දකින්නේ එම යහපාලන අත්හදා බැලීම ඛේදාන්ත නාට්‍යයක් බවට පත්වීමෙන් පසුව රඟදැක්වෙන එහි අවසාන ජවනිකා කිහිපයයි.

ඛේදාන්තය

මේ අවසාන ඛේදාන්ත ජවනිකාවලදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම දරුණුම ප්‍රහාර එල්ල කර ඇත්තේ ජනාධිපති සිරිසේන මහතා වීම තාර්කික ලෙස විග්‍රහ කළ නොහැකි තරම් වන සංසිද්ධියකි. මෙහිදී ඒ මහතා, කිසිසේත්ම සිදු නොකළ යුතුව තිබුණු කාර්යයන් තුනක් පසුගිය සති හය තුළ සිදුකර ඇත. පළමුවැන්න, දේශපාලන වශයෙන් අසමගියෙන් සහ ව්‍යාකූලව සිටි දක්ෂිණාංශික සහ අධි – අධිකාරවාදී බලවේග එකතු කර, ඒවාට ආණ්ඩු බලය ත්‍යාග කිරීමයි. දෙවැන්න ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකපාක්ෂිකව නග්න ලෙස උල්ලංඝනය කිරීමයි. තුන්වැන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ නීති, සම්ප්‍රදාය සහ භාවිත අපහාසාත්මකව නොසලකා හරිමින් කඩා බිඳ දැමීමයි.

මේ පසුබිම තුළ සහ මේ ලියන මොහොත වන විට ලංකාව පවතින්නේ, එහි නූතන ඉතිහාසය තුළ මුහුණ දෙන ඉතාම දරුණු, තියුණු සහ පරිමාව ගැන සිතීමට පවා බිය උපදවන දේශපාලන අර්බුදයකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ වැටීම, ආණ්ඩුකරණය කඩා වැටීම, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති විවෘත ගැටුම සහ දේශපාලන බලඅරගලයට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර ඇති පසමිතුරු ප්‍රතිවිරෝධතාව සෑම නව දිනයකදීම තියුණුවීම, බියකරු දේශපාලන ප්‍රතිඵල ඇති කරන සාධකයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සම්පූර්ණයෙන් පෙරළා දැමීමට මාන බලමින් සිටින දක්ෂිණාංශික බලවේගවල මැදිහත්වීම් සිදු නොවේවා! යන යාඥාව කිරීම හැර වෙන ක්ෂණික විකල්පයක් මෙරට පුරවැසියන්ට නැති බවද පෙනේ.

ඒකපාක්ෂික විසඳුම්

මේ අතර, දැනට තියුණු වන මෙම බල අරගලය සහ ගැටුම තව තවත් තියුණු වීම හැර වෙනත් දිසාවකට ගමන් කිරීමේ විභවතාවක් තවමත් නැති බව, ජනාධිපති සිරිසේනගේ චර්යාවෙන් පැහැදිලිවම පෙනේ. ඔහු උත්සාහ දරන්නේ, තමාම නිර්මාණය කළ මේ උග්‍ර ගැටුම, තමාගේ ඒකපාක්ෂික කොන්දේසි මත පමණක්, තමාගේ අභිලාෂ තෘප්තියට පත්වන ආකාරයෙන් පමණක් අවසන් කිරීමටය. මන්ත්‍රීවරුන් 225ම ඉල්ලුවද, රනිල් අගමැති නොකරමි යන ඔහුගේ වියරු ස්ථාවරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ බලය, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධය සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ගැන කිසිදු තැකීමක් නැති, අතිශයින්ම භයානක ලෙස දේශපාලන පරිහානියට පත්වූ, ඒ නිසාම තමන් මුළු රටටම කරන දේශපාලන විනාශයට වඩා තම ආත්මාඩම්බරයට ප්‍රමුඛත්වය දෙන, ඒකාධිපති පාලකයකු පිළිබඳ නිදසුනක් පමණි. ලංකාවේ අවුරුදු 80කට වඩා දීර්ඝ වූ නූතන ප්‍රජාතන්ත්‍රවාදය විසින් අවසානයේදී බිහිකර ඇත්තේ මෙවැනි රාජ්‍ය නායකයකු වීම ප්‍රජාතන්ත්‍රවාදයටත්, ලංකාවේ පුරවැසියන්ටත් මොනතරම් නින්දාවට කරුණක්ද?

මේ වනාහී ලංකාවේ දේශපාලන ඉතිහාසය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත යන කරුණේ තියුණු බව මෙරට පුරවැසියන්ට සිහිපත් කර දෙන්නකි. අප රටේ දේශපාලනය මීට පෙර මේ තරම් අනතුරුදායක මොහොතෙකට හසුවී නැත.

මෙම තියුණු වන ගැටුමේ තවත් සිත් කළඹවන ලක්ෂණයක් තිබේ. එය නම් බලඅරගලයට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර, ඒකපාක්ෂික නොවන, ද්වි – පාක්ෂික, හවුල් සහ අතරමග සමාදානවාදී විසඳුමකට අවකාශ නැතිවීමයි. ද්‍රවිඩ එක්සත් ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා අතරමැදි විසඳුමක් සඳහා විශාල ප්‍රයත්නයක් ගෙන තිබුණත්, ජනාධිපති සිරිසේන මහතා එවැන්නක් සඳහා කිසිසේත්ම සූදානම් නැත. රාජපක්ෂ පාර්ශ්වයද එවැන්නකට සූදානම් නැත. තමන්ට ත්‍යාගයක් මෙන් ලැබුණු ආණ්ඩු බලයේ ග්‍රහණය සුළුවෙන් හෝ බුරුල් කරගැනීමට රාජපක්ෂ කණ්ඩායම සූදානම් නොවනු ඇත.

මොහොත

මේ අවස්ථාව වනාහී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සතු ශක්තියක්, පුරවැසියන් සතු කැමැත්ත සහ අධිෂ්ඨානයන්හි තීරණාත්මක පරීක්ෂණයට ලක් කරන මොහොතක්ද වෙයි. ලංකාවේ ආණ්ඩු කරන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා වශයෙන් සිටින්නේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. විධායකය මාධ්‍ය කොටගෙන ව්‍යවස්ථාදායකයට දිගින් දිගිටම පහරදෙමින් එය දුර්වල කිරීම සිරිසේන – මහින්ද පාර්ශ්වයේ උපක්‍රමය බව පෙනේ. එජාපය කැඩීමේ ප්‍රයත්නය එහි කොටසකි. රනිල් හැර වෙන කෙනකුට අගමැතිකම දී, පාර්ලිමේන්තුව හීලෑකර ගැනීම එහි අරමුණයි.
මේ අතර තවමත් ඔවුන්ගේ ප්‍රහාරයට ගොදුරු නොවූ එකම ආයතනය අධිකරණයයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම දැන් පවතින්නේ ස්වාධීන, නිර්භීත සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කැක්කුමක් ඇති අධිකරණයක් මගින් පමණක් වීම දෛවෝපගත වර්ධනයකි. ස්වාධීන අධිකරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේත්, පුරවැසි නිදහසේත් අවසාන බලකොටුව යැයි තරුණ කාලයේ උසස් පෙළ පන්තියේ දේශපාලන විද්‍යා පාඩමේදී උගත් පිරුළ, මේ හැම දිනකම මගේ මතකයට නැගේ.