අරාජිකත්වය හා රාජ්‍යයේ බිඳ වැටීම

වික්ටර් අයිවන්

රාජ්‍යයද විශේෂ වර්ගයක යන්ත්‍රයක් ලෙස සැලකිය හැකිය. එම යන්ත්‍රය හා එහි ක්‍රියාකාරීත්වය හොඳින් පරීක්ෂා කරන කෙනකුට එහි ඇති දෝෂ හා කල් පැවැත්ම කල්තියා ප්‍රකාශ කිරීම දුෂ්කර දෙයක් වන්නේ නැත. එල්ටීටීඊ කැරැල්ල අවසාන වනවිට ලංකාවේ රාජ්‍යය තිබුණේ හොඳටම අබල දුබල වූ තත්ත්වයකය. යහපත් ඉදිරි ගමනක් සඳහා ලොකු ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබුණද ලංකාවේ පාලකයන්ට ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රඥාව නැති බව පෙනුණු විට ලංකාව ලොකු අරාජක තත්ත්වයකට තල්ලු වී යනු ඇති බව මගේ නිරීක්ෂණය විය. 2011දී මම ඒ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ‘ලංකාව ගලවා ගැනීම’ යන හිසින් පොතක්ද ලියා පළ කළෙමි. මා එම පොතෙන් තර්ක කළේ ලංකාව ලොකු අරාජක තත්ත්වයකට තල්ලු වී යන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි බැවින් එම අවාසනාවන්ත තත්ත්වයෙන් ලංකාව ගලවා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලංකාවේ දේශපාලන පක්ෂවලට නැති නිසා අහිංසාව හා ප්‍රජාතන්ත්‍රවාදී ගුණධර්ම මත පදනම් වූ නව පන්නයක සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවය. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට මහින්ද විරෝධී බලවේගයන් ලැබූ ජයග්‍රහණයෙන් පසුද එවැනි විපර්යාසයක් සිදු නොවන බව ඒ පාලනයේ ආරම්භයේ සිටම පෙනෙන්නට තිබුණි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙන් ණයට ගෙන යහපාලන ආණ්ඩුව ක්‍රියාවට නගන ලද සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහනද මට පෙනුණේ රට අරාජකත්වය කරා යන ගමන වේගවත් කරන මෝඩ වැඩසටහනක් වන බවය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාගේ බලවත් විවේචනයට ලක්වූ ව්‍යවස්ථා සංශෝධනයක් වන අතර ව්‍යවස්ථා සංශෝධනයකින් ආණ්ඩුක්‍රමයක තිබෙන දෝෂ නිවැරදි කළ හැකි වුවත් එක් ආණ්ඩු ක්‍රමයකින් ඉවත් වී ඊට වෙනස් අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීම නව ව්‍යවස්ථාවකින් මිස ව්‍යවස්ථා සංශෝධනයකින් කළ නොහැකි බවත් එවැනි උත්සාහයක් අවසානයේ කෙළවර විය හැක්කේ රට අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවන ව්‍යවස්ථා අර්බුදයකින් බවත් මගේ මතය විය. මා ඒ ගැන ලියා ඇත්තෙමි. මෙම ව්‍යවස්ථා අර්බුදය ඇතිවන්නට වසර එකහමාරකට පමණ ඉහත රටේ ඇතිවන්නට නියමිත අරාජකත්වයට මුහුණදෙමින් ව්‍යුහමය විපර්යාසයක් වෙනුවෙන් පෙනී සිටින පුනරුදය නමින් වන සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමට අපට හැකිවී තිබුණු අතර රට අරාජක කරන දේශපාලන සුනාමියක් ගැන මහජනයාට අවබෝධය ලබාදෙන වැඩසටහනක එම ව්‍යාපාරය නිරත වී සිටියේය. මෙම දේශපාලන සුනාමිය ඇතිවන්නට පෙර මාස දෙක තුනකට ඉහතදී ඇතිවන්නට යන විනාශකාරී තත්ත්වයට මුහුණදීම සඳහා මහජන සංවිධාන එකට එකතු වී වැඩ කිරීමේ වැදගත්කමද මහජන සංවිධානවලට ඒත්තු ගැන්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරමින් තිබුණි. අවසානයේ අපේක්ෂා කළ දේශපාලන සුනාමියද කඩා වැටුණි.

එය රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය සුන්බුන් ගොඩක් බවට පත්කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. දැන් විධායකය හා ව්‍යවස්ථාදායකය තිබෙන්නේ මුළුමනින් බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. අධිකරණය නව ජීවයකින් ක්‍රියාකරන තත්ත්වයකට පත්වෙමින් තිබුණද අධිකරණය දෙන නියෝග නොපිළිගන්නා තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන අතර එසේ වුවහොත් අධිකරණයේ පැවැත්මද බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවී අරාජකත්වය පරිපූර්ණ වන තත්ත්වයක් ඇතිවිය හැකිය.

දැන් ඇතිවී තිබෙන අරාජකත්වය ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා පමණක් ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකීම වැරදිය. රාජ්‍ය තිබුණේ ගරාහැලෙමින් බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. පූර්ණ බිඳ වැටීමකට යන්නට පෙර ප්‍රතිනිර්මාණය කරගැනීමක් සිදු නොවීය. ඒ සඳහා වන දැක්මක් දේශපාලකයන්ට තබා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතුන්ට පවා නොතිබුණි. ඒ නිසා ස්වාභාවික බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිවිය. ජනාධිපතිවරයාගේ ක්‍රියාවෙන් සිදුවූයේ පූර්ණ බිඳ වැටීමකට යමින් තිබූ රාජ්‍යයට බලවත් අතිරේක පීඩනයක් එල්ලවීම තුළ බිඳ වැටීම ඉක්මන්වීම පමණය.

ලංකාවේ රාජ්‍යය පූර්ණ බිඳ වැටීමකට ගොදුරුවෙමින් තිබෙන මෙම මොහොතේදී ගැලවීම සඳහා දැක්මක් ඇති කර ගැනීම සඳහා රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම හා බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන හේතු සලකා බැලීම ඉතා වැදගත් විය හැකිය.

කැරලි රඟපෑ භූමිකාව

සාමාන්‍යයෙන් නූතන ජාතික රාජ්‍ය ගොඩනගනු ලබන්නේ නූතන ජාතිය නමැති අත්තිවාරම මතය. එහෙත් ලංකාවේ රාජ්‍යය ගොඩනගන ලද්දේ එවැනි අත්තිවාරමක් නැතිවය. ගොඩනගා ගන්නා ලද රාජ්‍යය භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලුදෙනා කෙරෙහි එක සමාන පිළිගැනීමක් හා ගෞරවයක් ලබා දුන් රාජ්‍යයක් නොවීය. එය වාර්ගික බහුතරයට, කුල බහුතරයට හා ආගමික බහුතරයට වැඩි සැලකිල්ලක් ලැබුණු වාර්ගික කුල හා ආගමික සුළුතරයන්ට අඩු සැලකිල්ලක් ලැබුණු රාජ්‍යයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා වර්ග, කුල, ආගම් භේද නිසා ඇතිවූ ගැටුම් රාජ්‍යයේ දුර්වල අත්තිවාරම තවදුරටත් දුර්වල කොට රාජ්‍යයේ සැකිල්ලද දුර්වල කිරීමට හේතුවිය.

රාජ්‍යයේ පොදු යහපත නොසලකා පාලකයන්ගේ බලලෝභී හා ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහා ආණ්ඩුක්‍රමයේ ඇති කළ වෙනස්කම්ද රාජ්‍යයක තිබිය යුතු ඒකාග්‍රතාව හා මනා පිළිවෙළ නැති කොට රාජ්‍යය අබල දුබල කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයෙන් ඉවත් වී ජනාධිපති ආණ්ඩු ක්‍රමයකට මාරුවීමෙන් පසු රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුන අතර තිබිය යුතු සමබරතාව මුළුමනින් බිඳ වැටී ව්‍යවස්ථාදායකය හා අධිකරණය විධායකයට යටහත් පහත් තත්ත්වයකින් ක්‍රියාකරන බල මණ්ඩල දෙකක් බවට පත්වුණි. එම තත්ත්වය රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය දුබල කොට අධිකාරිවාදී ස්වරූපය වර්ධනය කළේය. සාමකාමී ලෙස විරෝධය පළකරන්නට තිබෙන හැකියාව නැතිවී ප්‍රචණ්ඩ අරගල මාවතකට රට තල්ලු කිරීමට හේතුවිය.
රටේ ජාතික නායකයන් නිදහස් අරගලයක් ඔස්සේ ගොඩනැගුණු පරිණත නායකයෝ නොවූහ. කැරැල්ලක් ඇතිවන්නට පෙර එය කල්තියා දකිමින් කැරැල්ලක් ඇතිවීම වළකන්නට අවශ්‍ය දූරදර්ශීභාවය හෝ කැරැල්ලක් ඇතිවූ පසු එයට දුරදිග යන්නට ඉඩ නොදී එය ඉක්මනින් මැඬ පැවැත්වීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් හෝ අපේ නායකයන්ට නොතිබුණි. එසේම කැරැල්ලක් මැඬ පැවැත්වීමෙන් පසුව පරාජිතයා තුළ ඇති කරන දුක් වේදනා පැසවන හා දීර්ඝකාලීන දෙයක් බවට පත් නොකොට ඒවා සුවපත් කරන හා කැරැල්ලක් ඇතිවීම කෙරෙහි බලපෑ හේතු සොයා බලා ඒවාට පිළියම් කිරීමට අවශ්‍ය කරන ප්‍රඥාවක් හෝ ශික්ෂණයක්ද අපේ නායකයන්ට නොතිබුණි.

ජේවීපී දෙවැනි කැරැල්ල සේ ම එල්ටීටීඊ කැරැල්ලද පරාජය කරනු ලැබුවේ එම කැරලි ජයගැනීමට ආසන්න තත්ත්වයකට වර්ධනයවීමෙන් පසුවය. කැරලි දිග්ගැස්සෙන්නට ඉඩ හැරීම නිසා පමණක් රාජ්‍යයට හා සමාජයට සිදුවූ හානිය දෙගුණ තෙගුණ කිරීමක් සිදුවී යැයි කිව හැකිය. 83 කළු ජූලිය දුර දිග ගියේද එය වහාම මැඬලීමේ ඇත්ත හැකියාවක් තිබියදීය. සිංහල දෙමළ කැරලිකරුවන් අතිවිශාල කෲරත්වයක් රාජ්‍යය හා සමාජය මත මුදාහරින ලද අතර රජයේ ආරක්ෂක හමුදා එම කැරලි දෙක ජයගත්තේද එම කැරලිකරුවන් මුදාහරින ලද කෲරත්වය ඉක්මවා ගිය කෲරත්වයක් මුදාහැරීම මගිනි. කැරලි මැඬ පැවැත්වීමෙන් පසුව විපතට පත්වූවන්ගේ දුක් වේදනා ඉක්මනින් සුවපත් කිරීමක් සිදුවූයේ නැත. සිංහල, දෙමළ තරුණ පරපුර වෙන් වෙන්ව යක්ෂාවේෂවී ක්‍රියාකරන තත්ත්වයකට පත්වූයේ ඇයිද කියා සොයා බලන තැනට ගොස් එම ගැටලුවලට විසඳුම් ලබාදීමක්ද සිදු නොවීය.

බොහෝ ප්‍රමාද වී ඉතා රළු පරුෂ ආකාරයකට එම කැරලි දෙක පරාජය කරන්නට රාජ්‍යය සමත් වුවත් එහිදී රාජ්‍යයට සිදුවූ බරපතළ හානි නිසා ලැබූ ජයග්‍රහණයෙන් පසුව ජයග්‍රාහකයාද පූර්ණ අබල දුබල හා ක්‍රියාවිරහිත තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. එහිදී රාජ්‍යයට සිදුවූ දේ නයි මුගටි සටනකින් පසු නයා පරාජය වී මරණයට පත්වීමෙන් පසුව ජයග්‍රාහී මුගටියාද නයි විස නිසා ක්‍රියාකාරීත්වය අහිමි කරගත් අබ්බගාත තත්ත්වයකට පත්වීමට සමානය.

ව්‍යවස්ථාදායකයේ පරිහානිය

දශක තුනක් තරම් දීර්ඝ කාලයක් පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා යම් පමණක හෝ නීතියේ ආධිපත්‍යයක් රටේ තිබුණේ නම් රටේ පැවති අශීලාචාර වටපිටාව එහි පැවැත්මද මුළුමනින් බිඳ දමන්නට හේතුවිය. ඒ සමග රාජ්‍යයට, පාලන පක්ෂවලට, රාජ්‍ය නිලධාරීන්ට හා සමාජයට නීතියට අනුකූලව ක්‍රියාකිරීමට තිබුණු හැදියාවේද ලොකු බිඳ වැටීමක් ඇතිවිය. පාලක පක්ෂය භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වන්නේද එම අශීලාචාර කාලයේදීය. 1977ට පෙර බලයට පත් පාලකයන්ගේ හොඳ නරක කුමක් වුවද ඔවුහු කොල්ලකාරී භූමිකාවක් රඟ නොපෑහ. එවැනි භූමිකාවකට නීතියෙන් ඉඩක්ද නොතිබුණි. ඒ නිසා ඒ කාලේ දේශපාලකයෝ දේශපාලනය නිසා දුප්පත් වූවා මිස ධනවත් නොවූහ. ඒ කාලයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම සපුරා තහනම් විය. එසේ කරන අයගේ මන්ත්‍රීකම් අහිමි කැරිණි. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය නම් 1977දී ගාල්ල ආසනයට එජාපයෙන් තේරී පත්වූ ඇල්බට් සිල්වාට ඔහුගේ නමට භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසා අධිකරණය විසින් ඔහුගේ මන්ත්‍රීකම අහිමි කිරීමය. මෙය ලංකාවේ පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වන ධර්මතාවකි.

“ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක යහපැවැත්ම සඳහා නැතුවම බැරි මෙම ධර්මතාව ක්‍රියාවිරහිත තත්ත්වයකට පත් කළ පාලකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ඔහු එහිදී ආදර්ශයට ගත්තේ නැපෝලියන්ය.” ඔහුගේ පරමාදර්ශී වීරයා වූයේද නැපෝලියන්ය. නැපෝලියන් යුරෝපය දිග්විජය කරන ලද්දේ කුලී හමුදාවන් යොදාගෙනය. කුලීහමුදාවේ සටන්කාමී ජීවය පවත්වාගෙන යෑම සඳහා ඔවුන් විසින් අල්ලා ගන්නා නගරවල තිබෙන වස්තුව කොල්ලකන්නට නැපෝලියන් ඔවුන්ට ඉඩ දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා යොදා ගැනුණු ප්‍රතිපත්තියද ඊට සමාන විය. ඒ සඳහා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම වළකන ආකාරයට ක්‍රියාත්මක වූ නීතිය යටපත් කොට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමේ අයිතිය ඔවුන්ට ලබාදී ඒ මගින් ඔවුන්ට ධනවතුන් බවට පත්වීමේ පුළුවන්කම ලබා දුන්නේය. ජනාධිපති ජයවර්ධන මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් ලබාදීම සඳහා තමන්ට තිබුණු නිසරු පොල් ඉඩමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ සරුසාර පොල් ඉඩමකට හුවමාරු කරගත්තේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබූ වතු ඉඩම් ඉතා අඩු මුලකට ලබාගැනීමේ හැකියාව ලබාදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් වතු වැවිලිකරුවන් බවට පත් කළහ. ඊට අතිරේකව බොහෝ මන්ත්‍රීවරු ආණ්ඩුවේ වැලි, ගල්, දැව බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් බවට පත් කැරිණි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන ලද අතර ඒ නිසා සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ඍජු ලෙස හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවට පත්කිරීමට හේතුවිය. මෙම දූෂිත ක්‍රමය මන්ත්‍රීවරුන්ගේ පැවැත්ම දූෂිත කිරීමෙන් නොනැවතී රාජ්‍ය හා එහි සමස්ත ආයතන ක්‍රමයද දූෂිත කිරීමට හේතුවිය.

දේශපාලකයා හා අපරාධකාරයා

රටේ නමගිය අපරාධකාරයන් රාජ්‍යයට අනුයුක්ත පිරිසක් ලෙස ආයතනගත කිරීමද රාජ්‍යයේ පරිහානිය කෙරෙහි බලපෑ ප්‍රමාණවත් තරමින් විචාරකයන්ගේ අවධානයට ලක්වී නැති වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රවනතාවයේ ආරම්භය විශ්ලේෂණය කිරීමේ ගෞරවය මහාචාර්ය ගණනාථ ඔබේසේකරට හිමිවිය යුතුය. ඔහු ඒ සඳහා ලියන ලද පත්‍රිකාවෙන් විමර්ශනයට ලක් කර තිබුණේ ජේවීපී දෙවැනි කැරැල්ලට පෙර කාලය පිළිබඳවය. ශිෂ්‍ය උද්ඝෝෂණ, කම්කරු වැඩ වර්ජන මර්දනය කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී අපරාධකාරයන් යොදාගත හැකි ආකාරයට ඔවුන් විවිධ රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කර ඔවුන්ට වැටුප් ලබාදෙන ක්‍රමයක් ඇති කර තිබුණි. ඔවුන් සේවයට වාර්තා කිරීමක් නොකළ අතර ඔවුන්ගෙන් ලබාගත් එකම සේවය වූයේ උද්ඝෝෂණ මැඬලීමට මැර බලය අවශ්‍ය අවස්ථාවලදී ඒ බලය ඔවුන්ගෙන් ලබා ගැනීම පමණය.

අපරාධකාරයන් ආයතනගත කිරීමේ ක්‍රියාවලියේ බලවත් වර්ධනයක් ඇතිවන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල ඇතිවීමත් සමගය. කැරලිකරුවන් වෙතින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මරණ තර්ජන එල්ල වන්නට වීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික හමුදා ඇති කොට පවත්වාගෙන යෑමේ අයිතිය ඔවුන්ට ලබාදෙන ලදි. එසේ තනන ලද පුද්ගල හමුදාවලට එකතු කරගන්නා ලද්දේ බොහෝවිට ප්‍රදේශයේ නමගිය අපරාධකාරයන්ය. එම පුද්ගලික හමුදාවන්ට යුද හමුදාව විසින් අවි පුහුණුවක් ලබාදී ඔවුන්ට අවශ්‍ය ගිනි අවිද ලබාදෙන ලදි. ඒ සමග දේශපාලකයන් අපරාධකාරයන් මතත්, අපරාධකාරයන් දේශපාලකයන් මතත් යැපෙන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග අපරාධකාරයෝ රාජ්‍යයේ රැකවරණය ලබන රාජ්‍ය යන්ත්‍රයේ වැදගත් දැති රෝදයක් බවට පත්වූහ. ඔවුහු රාජ්‍යයේ රැකවරණය ලබාගනිමින් දේශපාලකයන් සතුටු කිරීම සඳහා කැරලිකරුවන් දඩයම් කරන අතර තමන්ට හුරු පුරුදු දඩයම්වලද (කොල්ලකෑම, කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම) යෙදුණෝය. ඔවුන් රාජ්‍යයේ රැකවරණය ලබන සුවිශේෂ පිරිසක් වීම නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්හරින්නට පොලිසියට සිදුවිය. උසස් පොලිස් නිලධාරීන්ට දේශපාලකයන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන අපරාධකාරයන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයකට යන්නට සිදුවිය. රාජ්‍යයේ රැකවරණය ලබන මෙම අපරාධකාරයන් පොලිසිය කෙරෙහි පමණක් නොව දේශපාලකයන් කෙරෙහිද බලපෑවේය. සමහර දේශපාලකයෝ අපරාධකාරයන් සමග එකතු වී කැරලිකාරයන් දඩයම් කරනවාට අතිරේකව කැරලිකරුවන් මර්දනය කිරීමේ මුවාවෙන් ඔවුන්ගේ දේශපාලන විරුද්ධාවදීන්ද දඩයම් කළෝය. තවත් සමහරෙක් ඔවුන් සමග සිටින අපරාධකරුවන් සමග එකතු වී අපරාධකරුවන් කරන මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය වෙළෙඳාම්වලින් ආර්ථික වාසි ලබන්නන් බවට පත්වූහ.

ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසුත් එල්ටීටීඊ කැරැල්ල තවදුරටත් පැවතීම නිසා දේශපාලනඥයන් හා අපරාධකාරයන් අතර ගොඩනැගී තිබුණු සන්ධානය තවදුරටත් පවත්වාගෙන යන දීර්ඝකාලීන දෙයක් බවට පත්විය. තෝරාගත් අපරාධකාරයන් පිරිසකට රාජ්‍යයෙන් ලැබී තිබුණු රැකවරණය නිසා පුද්ගලික හමුදා සඳහා බෙදා දෙන ලද ගිනි අවි නිසා පාතාල ලෝකයේ වේගවත් වර්ධනයක්ද රටේ සිදුවන අපරාධවල වේගවත් වර්ධනයක්ද ඇති කිරීමට හේතුවිය. ජේවීපීය, එල්ටීටීඊය හා ආරක්ෂක හමුදා අතහැර පලායන්නන්ගෙන් කිසියම් කොටසක්ද පාතාල ලෝකයේ එකතුවීමද අපරාධකාරයන්ගේ ලෝකය ප්‍රසාරණයට හේතුවූ තවත් වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. “ජේවීපී කැරැල්ල කාලයෙන් ආරම්භ වී අද දක්වා පවතින දේශපාලකයා හා අපරාධකාරයා අතර පවතින සහසම්බන්ධය දේශපාලකයා කිසියම් ප්‍රමාණයකට අපරාධකාරයකු බවටත්, අනෙක් අතට අපරාධකාරයා කිසියම් ප්‍රමාණයකට දේශපාලකයකු බවට පත්කිරීමටත් හේතුවිය.” රාජ්‍යයෙන් ලැබුණු රැකවරණයද නිසා හිරගෙවල්වල සිටිය යුතු සමහර අපරාධකාරයන් රටේ ලොකු ධනවතුන් බවට පත්කිරීමට හේතුවිය. දේශපාලකයන්ගේ නිවාස පමණක් නොව, රාජ්‍ය නායකයන්ගේ මාලිගාද නමගිය අපරාධකරුවන් ලැගුම් ගන්නා තිප්පළවල් බවට පත්විය. මෙම ක්‍රියාවලිය රාජ්‍යයේ ගතිලක්ෂණ පමණක් නොව, පෙනුමද වෙනස් කළේය. රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පෙනුම අහිමි වී මාංශ භක්ෂක, චෞර රාජ්‍යයක පෙනුම ලබාගනිමින් තිබුණේය.
ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන මෙම කුණුවීම කෙරෙහි සාමාන්‍ය වශයෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත්, විශේෂයෙන් ලංකාවේ ජනමාධ්‍ය ක්‍රමයත් බලපා තිබෙන ආකාරයද හැදෑරීම වැදගත්ය. ■