අත්තිවාරම කපන්න වෙන්නේ බිම් කට්ටි දෙකෙන් එකකයි – මහාචාර්ය සරත් විජේසූරිය

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

අගමැති මාරුවෙන් හටගත් දේශපාලන අර්බුදය නිමාකර ගැනීමට අධිකරණයේ යහපත් මැදිහත්වීමක් සිදුවෙමින් තිබුණත්, අධිකරණ තීන්දුවලට පවා හිස නොනමන තත්ත්වයකට අර්බුදයේ නිර්මාණකරුවන් දරදඬු වී ඇති බවක් පේනවා. මෙහි අවසානය කෙසේ විය හැකිද?

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසයි මේ අර්බුදය ඇතිවුණේ. දැන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කරලා දුන්නත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැති බව ජනාධිපතිවරයා කියා තිබෙනවා. එහෙම කියන්න පුළුවන් ව්‍යවස්ථාවකින් රාජ්‍ය පාලනය පිළිබඳ සීමා නිර්ණයන් හඳුන්වා දී නැති පුරාණ කාලේ රජ කෙනෙක් වගේ කෙනකුට. ජනාධිපතිවරයාගේ හැසිරීම ගමේ චණ්ඩියකුගේ හැසිරීම වගේ. “මම ඉන්නකම් මේ ගමේ පස් පාගන්න ඌට ඉඩ දෙන්නේ නෑ” කියා ගමේ චණ්ඩියෙක් කියනවා වගේ. මනමේ නාඩගමේ වැදි රජ්ජුරුවෝ වගේ ජනාධිපති සිරිසේනත් කල්පනා කරනවා මේක මගේ රාජ්‍යයය. මේකේ වැඩ වෙන්ඩ ඕනේ මට ඕනේ විදිහට කියලා. ඔහු තේරුම් ගන්නට ඕනේ ඔහුට ජනවරමක් ලැබුණේ මෙසේ ඒකාධිපතියකු ලෙස කටයුතු කරන්නට නොවේ. ඒකාධිපති පාලනයක් කරා යන ගමනක් වළක්වාලන්නට බව. අද ඔහු ඒ බව අමතක කරලා ජනවරමට පයින් ගහලා සදාචාරයට පයින් ගහලා කටයුතු කරනවා. මේකේ අවසානය රටේම විනාශයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට විධායකය හිස නැමිය යුතුමයි. එසේ නොවී මහින්ද රාජපක්ෂ එක්ක බලහත්කාරයෙන් රට පාලනය කරන්න උත්සාහ කරනවා නම් වෙන්නේ රට අරාජිකවීමයි.

අර්බුදය විසඳාගැනීමට නම් මැතිවරණයකට යාම හැර විකල්පයක් නැතැයි කියන මතවාදය ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සමාජගත කෙරෙනවා. ඔබ ඒ අදහස සමග එකඟද?

ජනාධිපතිවරයා කියනවා නම් මේ අවුල නිරාකරණය කරන්න මැතිවරණයකට යන්නට ඕනේ කියලා මැතිවරණයකට යන්න අවශ්‍ය වෙන්නේ නීතියෙන් ලැබිලා තියන ප්‍රතිපාදන මතයි. අවිනීත විදිහට රාජ්‍ය බලය කොල්ලකාගෙන, කිසියම් පාර්ශ්වයකට ඒ බලය භුක්ති විඳින්නට දීලා මැතිවරණයකට යාමෙන් සිදුවෙන්නේ විශාල විනාශයක්. 225 දෙනෙක් සිටින පාර්ලිමේන්තුවක ඡන්ද විමසීමකට ශීලාචාර ලෙස ඉඩ නොදීමෙන්ම මේක හොඳටම අපිට තේරෙනවා. කථානායකවරයාට මිරිස්කුඩු ගහන්න ගියේ, අතට අහුවෙන අහුවෙන දෙයින් දමා ගැසුවේ, ඒ අය තමයි ගම් දනව්වලට ඡන්ද කරන්න යන්නේ. මේගොල්ල ඡන්දයකට යන්නේ ප්‍රචණ්ඩත්වය හිස මත තබාගෙන. රාජ්‍ය බලයත් එක්ක ප්‍රචණ්ඩත්වය එකතු වුණාට පස්සේ සාධාරණ මැතිවරණයක් පවත්වන්නට බෑ. ඒ කෙසේ වෙතත් නීතියට අනුව නම් කලින් පැවැත්විය යුතු මැතිවරණය වන්නේ ජනාධිපතිවරණය මිස පාර්ලිමේන්තු මැතිවරණය නොවෙයි. ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩු කරන්නට බැරි නම් ඔහුට දැන් බලය තියනවා ජනාධිපතිවරණයකට යන්ඩ. ඔහු ජනාධිපතිවරණයකට ගිහිල්ලා තමන්ට මේ දක්වා පෙන්නුම් කරලා තියන ක්‍රියා කලාපයට තවදුරටත් ජන වරමක් තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්නට පුළුවන්. තවදුරටත් එහෙම ජනවරමක් තිබෙනවා නම් ජනාධිපතිවරයා පළමුවෙන්ම කළයුත්තේ එය ලබාගෙන පෙන්වීමයි. අපි සිවිල් සමාජය හැටියට යෝජනා කරන්නේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුත් පිළිගැනීමට නොහැකි නම්, නම්‍යශීලිව රාජ්‍ය පාලනය කිරීම සඳහා සිත හදාගැනීමටත් නොහැකි නම්, රට අරාජික නොකර වහාම ජනාධිපතිවරණයක් කැඳවන්නයි. තමන් මෙතෙක් කළ කී දේවල් ජනතාව පිළිගන්නවා නම් ජනතාව ඔහුට තවත් වතාවක් ජනවරමක් ලබාදෙයි. එතකොට ඔහුට පුළුවන් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. නීතියෙන් සහ ව්‍යවස්ථාවෙන් මේ සඳහා ඉතාම පැහැදිලි මාර්ග සිතියමක් ලකුණු කරලා තියනවා. ඒත් ජනාධිපතිවරයා මේවා තුට්ටුවකටවත් මායිම් නොකරන එකයි මෙතන තියන බරපතළ ඛේදවාචකය. අපිට පේන්නේ මෙතනදි රාජපක්ෂලාට බලය කොල්ලකා ගන්න ඉඩ දීලා, ඒ කොල්ලකාගත්ත බලය ආරක්ෂා කර දීම වෙනුවෙන් ජනාධිපතිවරයා කොන්දේසි රහිතව පෙනී සිටින බවයි.

මේ අර්බුදයේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට යටත් කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් ලෙස සලකා පුරවැසි සමාජය ඒ වෙනුවෙන් ඉදිරිපත් වුවත්, අනෙක් පැත්තෙන් එහි වාසිය රනිල් වික්‍රමසිංහට ලැබීම වැළැක්විය නොහැකියි. එහිදී හිටියාටත් වැඩි ශක්තිමත්භාවයකින් යුතුව රනිල් නැවත අගමැති වීම මගින් රට තුළ බිඳ වැටී ඇති යහපාලනය වඩාත් ශක්තිමත් වේයැයි විශ්වාසය තැබිය හැකිද?

කරුණු ගැඹුරින් විමසා බැලුවොත් සිරිසේන වගේම මේ අර්බුදය නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහත් හරි අඩකින් දායක වෙලා තියනවා. ඒකට හේතුව තමයි මේ රටේ ජනතාවට ජනවාරි 8 වැනිදා දුන් ප්‍රතිඥා ඉටු කිරීමට ඔවුන් දෙදෙනාම අසමත්වීම. ඒකට මේ නායකයන් දෙදෙනාම එක ලෙස වගකිව යුතුයි. බලය ලැබීමෙන් පසු දෙදෙනාම කටයුතු කළේ ඊළඟට තමන්ට තනි බලය ලබාගන්නේ කොහොමද කියන අදහසිනුයි. තමන්ට ලැබුණු වරම ගෞරවනීය ලෙස භුක්ති විඳිමින් ජනතා අභිලාෂ ඉටු කිරීමට දෙදෙනාම කටයුතු කළේ නෑ. ආර්ථිකය පැටවෙන්නේ රනිල් වික්‍රමසිංහගේ කරමත. විශාල ණය බරක් එක්ක හැප්පෙන්න තිබෙන වෙලාවක ජනතාවට ඒ සත්‍ය පහදා දීමට සහ යම් ආකාරයක පූර්වාදර්ශ සපයන්නට ඔහුට තිබුණා. ඒත් තීරු බදු සහන වාහන ලබාදීමේ සිට තමන්ගේ බලයේ පැවැත්ම පිණිස මහජන නියෝජිතයන් සන්තර්පණය කිරීමේ කටයුත්ත ඔහු මුලදීම පටන් ගත්තා. මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ඔස්සේ ඇතිවුණු අර්බුදයට පැහැදිලිවම අගමැතිවරයා වගකිව යුතුයි. රටේ වැදගත් තානාන්තරවලට අගමැතිවරයාගේ ගජමිතුරන්ව පත් කළා. වැදගත් අමාත්‍යාංශ එයාගේ ගජ මිතුරුන්ට ලබා දුන්නා. මෙතනදි අපි මූලිකවම ජනාධිපතිවරයා විසින් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්පූර්ණයෙනම් කොන්දේසි විරහිතව පරාජය කිරීමට අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළහොත් එයින් වැරදි පූර්වාදර්ශයන් ගණනාවක්ම රටට ලබාදෙනවා. ඒක සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය ව්‍යාකූල කරන තත්ත්වයක්. ඒ නිසා අපි කියන්නේ පළමුවෙන්ම ඔක්තෝබර් 25 වැනිදා තිබුණු තත්ත්වයට රට පත් කළ යුතුයි. ඒක කරන්න නම් රනිල් වික්‍රමසිංහට අගමැති පදවිය දෙන්නට ඕනේ.

රනිල්ට අගමැති ධුරය නැවත ලබාදීමෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳවත් මේ සමඟම යම් සිතා බැලීමක් කළ යුතු වෙනවා නේද?

උද්ගත වෙලා තියන තත්ත්වය අනුව විධායකය දිගින් දිගටම හිරිහැර කරන තැනක තමයි ඉන්නේ. ඒ නිසා රාජ්‍ය පාලනයේ අවුලක් ඇතිවෙනවා. ඒ නිසා රනිල් අගමැති කිරීමෙන් පසුව කළ යුතු දේ තමයි තුනෙන් දෙකක ඡන්දයෙන් මැතිවරණයකට යන එක. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය තීන්දුවක් ගන්න ඕනේ පක්ෂයක් විදිහට ජනවරමක් ගන්න මහජනතාව ඉදිරියට ගිහින් මොනවද කියන්නේ කියලා. ඒ පක්ෂයේ පහුගිය කාලේ ශේෂ පත්‍රය ජනතාවට ඉදිරිපත් කරන්න තරම් හොඳ වටිනා එකක්ද? මට හිතෙන්නේ ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්‍රාම ගැනීමක් අත්‍යවශ්‍යම වෙනවා. අපි පිළිගන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා පාලන කාලේ අගමැති වුණ අවස්ථාවෙත් ඔහුට සම්පූර්ණ කාලය පදවිය දරන්නට බැරිව යනවා. මේ අවස්ථාවෙත් ඒකමයි වුණේ. 19 වෙනි සංශෝධනය නැත්නම් එදා වෙච්ච දේම මීටත් කලින් සිද්ධ වෙනවා. එතකොට ඔහු රාජ්‍ය පාලකයකු ලෙස දෙවරක්ම අසාර්ථකත්වයක් පෙන්නුම් කරලා තියනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගන්න ඕනේ අපි ඵල නොදරන ගසකට තවදුරටත් වන්දනා කරනවා ද? ඵල දරන්නට පුළුවන් ගහක් සරුසාර කරගෙන ඉදිරියට යනවාද කියන එක. ඒක ඉතාම තීරණාත්මකයි.

දේශපාලන වෙනසක් සඳහා ජනමතය ගොඩනැඟීමේදී 2015 ජනවාරි 8ට පෙර එක්සත් ජාතික පක්ෂයට වඩා පුරවැසි බලවේගය සතුව වැඩි ශක්‍යතාවක් තිබුණත් අද වෙන කොට පුරවැසි බලවේගය එක්සත් ජාතික පක්ෂය තුළට අවශෝෂණය වූ බවක් පෙනෙනවා නොවේද?

ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. පළල් සංදර්භයක තියලා තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කළ යුතුයි කියන බලවේගයක් සමාජයේ ගොඩනැඟෙමින් තිබුණේ කාලාන්තරයක් තිස්සේයි. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට විරුද්ධ බලවේගය ගොඩනැඟුවේ එක්සත් ජාතික පක්ෂය පදනම් කරගෙන. ඒ වෙලාවේ සිවිල් ව්‍යාපාරවල දායකත්වය ලැබෙන්නේ ඒ බලවේගයට. ජනාධිපතිවරයාත් පසු අවස්ථාවක දකිනවා මේ සිවිල් බලවේගය එක්සත් ජාතික පක්ෂයේ බලවේගයක් විදිහට. ඒක ඉතාම අවිනීත නිගමනයක්. ජනාධිපතිවරයාට ලැබිලා තිබුණ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. ඒ නිසා එයා ඒ යථාර්ථය තේරුම් ගත යුතුයි. දැන් තියන තත්ත්වය ජනාධිපතිවරයා තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂය අමතක කරලා මහින්ද රාජපක්ෂගේ පනස් අට ලක්ෂය පැත්තට ගිහිල්ලා තියනවා. මේකට විරුද්ධව නැඟී සිටිය යුත්තේ එදා නැඟිට්ට බලවේගයමයි. එතකොට සිවිල් බලවේගයට එකට අත්වැල් බැඳගන්න වෙන්නේ සිරිසේන-රාජපක්ෂ පාර්ශ්වයට විරුද්ධ පැත්තේ අය එක්කයි. ඒකෙදි මේක යූඑන්පී කියා අවප්‍රමාණ කිරීම දේශපාලන වශයෙන් කරන දෙයක්. මේක දේශපාලන වශයෙන් විග්‍රහ කරලා බලපුවම අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ ජනතාව බහුතරය ශ්‍රී ලංකා සහ යූඑන්පී කියා කොටස් දෙකකට බෙදිලා ඉන්නේ. දිගටම මේ රට පාලනය කළේ මේ ප්‍රධාන පක්ෂ දෙක. ඉදිරියට වෙන්නෙත් ඒකම තමයි. මොකද තුන්වැනි බලවේගයක් ගොඩනැඟිලා නෑ. එවැන්නක් අවශ්‍යව තිබුණත්, ඒ සඳහා විවිධ පුද්ගලයන් කටයුතු කළත් ඡන්ද පදනම බෙදිලා තියෙන්නේ ශ්‍රී ලංකා සහ යූඑන්පී කියන දෙක අතරේ. එතකොට මේ බිම් කට්ටි දෙකෙන් එකක තමයි අනිවාර්යෙන්ම අත්තිවාරම කපන්න වෙන්නේ. ඒක අමතක කරලා අපිට අලුත් ගමනක් යන්න බෑ. එතකොට හැම තිස්සේම ජනාධිතිවරයාත් රාජපක්ෂලාත් තමන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ඇඟිල්ල දික් කරන්නේ යූඑන්පී කියලා. ඒක දේශපාලනික ක්‍රියාවක් බව ජනතාව අවබෝධ කරගත යුතුයි.

දේශපාලකයන්ට පමණක් නොවෙයි, ජනවාරි 8 වෙනසට නායකත්වය දුන් සිවිල් සමාජයේ නායකයන්ටත් මේ වන විට විවිධ දූෂණ චෝදනා එල්ලවී තිබෙනවා. ඒ නිසා එදා ඔවුන් කෙරෙහි තිබුණු ජනතා විශ්වාසයත් පළුදු වෙලා තිබෙන තත්ත්වයක් තුළ ඉදිරි මැතිවරණවලදී ජනමතය හැසිරවීමට ඔවුන්ට ඇති හැකියාවටත් සීමා පැනවී තිබෙනවා නේද?

2015 ජනාධිපතිවරණය ඉවර වුණාට පස්සේ පැනල ගිය, හැංගිච්ච අය ඔක්කොම පසුව නැවත එළියට ඇවිල්ලා දේශපාලනය කරන්න ගත්තා. බලය නැතිව වුවත් පවතින්න පුළුවන් මාධ්‍ය සංස්කෘතියක් ඒගොල්ලන්ගේ රාජ්‍ය පාලන සමය තුළ ඒගොල්ල ගොඩනඟාගෙන තිබුණා. එදා සිට අද දක්වා ඒ අය කරන ක්‍රියාවලියක් තමයි ඒගොල්ලන්ගේ පරාජයට හේතු වුණු සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් විවිධ ආකාරයෙන් ගර්හාවට හා චෝදනාවලට ලක් කිරීම. මගේ පොතක් දොරට වැඩීමේ උත්සවයකට මම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනුග්‍රහය ලබාගෙන තියනවා. පහුගිය මාස එකොළහ තුළ ඒ ආකාරයෙන් විවිධ පුද්ගලයන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ඒ ආයතනයෙන් මේ විදිහට අනුග්‍රහය ලබාගෙන තියනවා. ඉන් බහුතරයක් රාජපක්ෂලාට ළැදි, හිතෛෂී අය. මේ කියන හැටියට ඒ කිසිකෙනෙක් වරදක් කරලා නෑ. වරද කරලා තියෙන්නේ මම. මෙතන තියෙන්නේ ඒගොල්ල යම් කිසි දේශපාලනික කෝණයකින් මේ දිහා බලන එකයි. මම යම් කිසි ආකාරයක නීත්‍යනුකූල පදනමකින් අරගෙන තියෙන අනුග්‍රහය ආකාරයෙන්ම තමයි අනෙක් අයත් අරගෙන තියෙන්නේ. සමහර පුද්ගලයෝ මිලියන එක දෙක අරගෙන තිබෙනවා. එතකොට රාජපක්ෂවාදීන් නඟන චෝදනාව අපිට පිළිගන්න පුළුවන්. හැබැයි ජනවාරි 8 අපි අනුගමනය කළ දේවල් වෙනුවෙන් පෙනී සිටි අයටත් මේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ මම මේක ලබාගැනීම නොවෙයි. ඒගොල්ලන්ට නොලැබුණු දෙයක් මට ලැබීමයි. මෙතන තියෙන්නේ තනිකරම කුහකකම. යම් කටයුත්තක් කරන කොට ඒකට අවශ්‍ය දේවල් සපයා ගැනීම ඒ ඒ පුද්ගලයාගේ හැකියාව මත සිදුවෙන්නක්. ඒ ඒ පුද්ගලයා සතු කීර්තිනාමය මතයි ඒක තීරණය වෙන්නේ. එතනදි අනුග්‍රාහක ආයතන බලන්නේ ඒ හරහා තමන්ගේ ආයතනයටත් යම් ප්‍රචාරක් ලබාගැනීමටයි. ඒ සඳහා තමයි නීත්‍යනුකූලවම ඒ මුදල් ඒ ආයතන වෙන් කරලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක් තමයි ගායකයෙක් ගායිකාවක් නළුවෙන් නිළියක් එහෙම අනුග්‍රහයක් ලබාගත්තට කිසි වරදක් නෑ. හැබැයි සාහිත්‍යකාරයෙක් ලබාගත්තොත් විශාල වරදක්. ඇයි සාහිත්‍යකාරයකුට තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් එහෙම ලබාගත්තාම තිබෙන වරද මොකක්ද? මෙතන අනුග්‍රහය ලබාදීමට වැඩිය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ලබාදී තිබෙන අනුග්‍රහයේ වටිනාකම. මේකට මට විරුද්ධව මාධ්‍යවල අදහස් පළ කරන අයට තියෙන්නේ මා එක්ක පුද්ගලබද්ධ ප්‍රශ්නයක්. සමහර අයට අපේ තාත්තා කළ රැකියාව එහෙම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ලේඛකයෙක් හැටියට මම යම් කීර්තිනාමයක් රට තුළ ගොඩනඟාගෙන ඉන්නවා. ඒක නඩත්තු කිරීමේ ක්‍රියාවලියකත් මම නිමග්නව ඉන්නවා. අනික මම මාක්ස්වාදී නායකයෙක්වත් ඡන්දය ඉල්ලන පුද්ගලයෙක්වත් මුනිවරයෙක්වත් නොවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මම පොත්පත් ලියන්නේ පින් පිණිසත් නොවෙයි. යම් සමාජ ව්‍යාපාරයක නිමග්න වෙලා ඉන්න අය හැටියට අපි සමාජය ඉස්සරහට ගිහිල්ලා කතා කරනකොට අපිව විශ්වාස කරනවාද නැත්ද කියන එක තීරණය කරන්නේ ජනතාව. ජනතාව කල්පනා කළයුත්තේ අපි මොනවද කියන්නේ එක ගැනයි. ජනතාව විමසා බැලිය යුත්තේ අපි කියන කාරණාවල සත්‍යයක් තියනවාද, පදනමක් තියනවාද කියලයි. ජනතාවට අවශ්‍ය අපි කාපු බීපු හැටි වගේ පෞද්ගලික වෙනත් කාරණා නම් ඒක ඉතිං ජනතාවගේ ප්‍රශ්නයක්. අපි මතවාදයක් ගොඩනඟනවා මිස බලයක් ඉල්ලන්නේ නෑ.