රාජ්‍ය මූල්‍ය විනයට පෙරවදනක්

විපුල කරුණාතිලක

මේ ලිපියට ප්‍රස්තුත වන්නේ පසුගිය සතියේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදනකු වූ මහාචාර්ය සරත් විජේසූරිය හා දඹර අමිල හිමි ලොතරැයි මණ්ඩලයෙන් හා ලිට්රෝ ගෑස් සමාගමෙන් තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය ලබාගැනීමය. මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් ලෙස මේ දෙපළ අර්ථකථනය කිරීමට යෙදුණත් මෙහි ඇති බැරෑරුම්කම වන්නේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් පසුගිය ආණ්ඩුවේ දේශපාලන සදාචාරය සම්බන්ධ ගැටලුවේ වලංගුතාව අර්බුදයට යන නිසාය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍යය මූල්‍යය දේශපාලන අධිකාරියේ පෞද්ගලික අභිමතය අනුව යොදවමින් තම හිතවතුන්ට අනුග්‍රහය දක්වමින් තිබුණි. ඒ සම්බන්ධ විශාල සමාජ විරෝධයක් ගොඩනැගීමට කටයුතු කළ පිරිසම නව ආණ්ඩුවෙන් පෞද්ගලික අනුග්‍රහය ලබාගැනීමට අහිංසක කටයුත්තක් නොවෙයි. සරත් විජේසූරිය නොදැන සිටියාට ලංකාවෙ අඩු ආදායම්ලාභීන් වැඩිම බදු මුදලක් ආණ්ඩුවට ගෙවන්නේ දිනපතා මිලදී ගන්නා ලොතරැයි මගිනි. ඔවුන් ලොතරැයි මිලදී ගන්නේ තමන්ගේ එදිනෙදා වියදමට ඇති අමාරුවෙන් හම්බ කරගන්නා මුදලිනි. ඒ සූදුවක් ලෙස නොවේය. එදිනෙදා හම්බ කරන මුදලින් ලබාගැනීමට නොහැකි දේ ලොතරැයි මගින් ජයගත හැකියි යන කුඩා විශ්වාසය මතය. දැනට සතියකට ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි 15ක් පමණ පවත්වමින් රජයට ආදායම් ලබාගන්නේ ජනතාවගේ ආර්ථික අවිනිශ්චිතතාව මත පදනම්වෙමිනි. දැනට ලොතරැයිවල පවතින ඉලක්කම් පරාසය තුළ රුපියල් 50 හා 100 හැර අනෙක් ජයග්‍රහණයන් ලබාගැනීම ඉතා අසීරුය. ඒ බව ඔවුන් දන්නේ නැත. ඒ අනුව ලොතරැයි මණ්ඩලයේ ආදායම යනු ජනතාවගේ බිඳුණු සුසුම් රැල්ය. සරත් විජේසූරිය පොත් එළිදැක්වීමට අනුග්‍රහය ලැබෙන්නේ දුප්පත් ජනතාවගේ බිඳුණු බලාපොරොත්තු තුළින් බව මහාචාර්යවරයකු වන ඔහු නොදැන සිටිනවා විය නොහැකිය. දඹර අමිල හිමිද රජය සතු ලිට්රෝ ගෑස් සමාගමෙන් අනුග්‍රහ ලබන්නේ රාජ්‍ය ව්‍යාපාර ගණනාවක් පාඩු ලබමින් ඇති අවස්ථාවකය. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර මගින් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑමයි. සිවිල් සංවිධාන මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ යුගයේ රජයේ ව්‍යාපාර පාඩු ලැබීමට හේතුව ලෙස පෙන්වා දුන්නේ එවකට ආණ්ඩුව විසින් ඔවුන්ට අභිමත පරිදි රාජ්‍ය ව්‍යාපාර මගින් හිතවතුන්ට අනුග්‍රහ දැක්වීමයි. එම විවේචනයේ වලංගුභාවයද මේ දෙදෙනා උල්ලංඝනය කර ඇත.

දඹර අමිල හිමි හා සරත් විජේසූරිය යනු තම රැකියාවෙන් මාසයකට රුපියල් ලක්ෂ දෙකකට වඩා පඩි ගන්නා අයය. එවැනි අය තම පෞද්ගලික අවශ්‍යතා මත රාජ්‍ය මුදල් ගසාකෑම ඉතා නින්දිතය. ඔවුන් අසනීපයකට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම ඉවසිය හැකිය. එහෙත් මෙයට සමාවක් දිය නොහැකි වන්නේ රටේ ප්‍රමුඛ අවශ්‍යතා ගණනක් ඇති නිසාය. උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ රටේ පාසල් දරුවන්ගෙන් 25%ක් මන්දපෝෂණයෙන් පෙළෙයි. මැදපෙරදිග සේවයට ගොස් අතරමංවී ලංකාවට නැවත ඒමට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට නොහැකි කාන්තාවන් එම රටවල ලිංගික සේවිකාවෝ වශයෙන් මුදල් අමාරුවෙන් සොයා ගනිමින් සිටිති. උතුරේ කාන්තාවෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිව සිය දිවි හානි කරගනිති. වතු කම්කරුවෝ රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලති. රාජ්‍ය ව්‍යාපාරවලට සාමූහික සමාජ වගකීම් ඉෂ්ට කිරීමට අවශ්‍ය නම් පානීය ජලය නැති පාසල්වලට පානීය ජල පහසුකම් ලබාදිය හැකිය. මැදපෙරදිග සේවයේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් ආපදා අරමුදලක් ඇති කළ හැකිය. සාහිත්‍යයට සේවයක් කිරීමට අවශ්‍ය නම් ඈත දුෂ්කර පාසල්වලට පුස්තකාල පොත් ටිකක් ලබාදිය හැකිය. එසේ නොමැතිව ධනවත් පොත් ප්‍රකාශකයකු හා රුපියල් ලක්ෂ 2 1/2ක් මාසිකව පඩි ගන්නා මහාචාර්යවරයකුට අනුග්‍රහ දැක්වීම් සාමූහික සමාජ වගකීමක්වන්නේ නැත.

මේ දෙදෙනාට මූල්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලයටද අප්‍රසාදය පළ කළ යුතුය. පසුගිය දශක 04 තුළම රාජ්‍ය මූල්‍ය යොදාගනු ලැබූයේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ නියෝජිතයන්, නියෝජිතයන්ගේ ඥාතීන් හා හිතවතුන් වෙනුවෙනි. ජනාධිපති අරමුදල ගතහොත් ජේ.ආර්. ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා යොදා ගනු ලබන්නේ ජනාධිපතිගේ පෞද්ගලික අභිමතය පරිදි හිතවතුන් වෙනුවෙන් වැය කිරීමටය. මේ පෞද්ගලික වැය කිරීම සාධාරණීකරණය කරනු ලබන්නේ හෘදය රෝගීන්ට හා වෙනත් රෝගවලට කරන සොච්චම් වියදමිනි. කෙහෙළිය රඹුක්වැල්ලට, රාජිත සේනාරත්නට රුපියල් මිලියන 10 ගාණේ ලැබෙන විට හෘදය රෝගියකුට ලැබෙන්නේ සොච්චමකි. අමාත්‍යාංශවල හා සංස්ථාවල සිදුවන්නේ මේ හා සමාන තත්ත්වයකි. ව්‍යවස්ථාපිත ආයතනවල (සංස්ථා, මණ්ඩල, අධිකාරී) මුදල් අධ්‍යක්ෂ මණ්ඩල අභිමතය පරිදි යම් සීමාවකට යටත්ව වැය කළ හැකිය. ඒ අනුව එසේ අධ්‍යක්ෂ මණ්ඩලය අභිමතයට යටත්ව කරන අනුග්‍රහයන් නීත්‍යනුකූල වැය කිරීමකි. රජයේ විගණනයකදී මෙය වරදක් ලෙස නිර්වචනය කරන්නේ නැත. දේශපාලන අධිකාරිය විසින් රාජ්‍ය මූල්‍ය තම අභිමතයට යොදා ගන්නේ නිලබලතන්ත්‍රයේ ඉහළම ස්ථරයද පිනවමිනි. අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ලබන වරප්‍රසාද දෙස බැලීමේදී මෙය අවබෝධ කරගත හැකිය. කොළඹින් නිල නිවාස අතිසුඛෝපභෝගී වාහන, විදේශ සංචාර, කාර්යය මණ්ඩලය මෙයට නිදසුන්ය. 1974 රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමට පෙර රජයේ මාණ්ඩලික නිලධාරියකුගේ වගකීම් හා වරප්‍රසාද අද මාණ්ඩලික නිලධාරියකුගේ වගකීම් වරප්‍රසාද අතර ඇත්තේ විශාල වෙනසකි. ඇත්තේ වරප්‍රසාද පමණි. වගකීම් අඩුවී ඇත. රජයේ මූල්‍යය රෙගුලාසිවල රිංගායෑමේ හිල් ඕනෑතරම් ඇත. දේශපාලන අධිකාරිය දක්ෂ නිලධාරීන් ලෙස තෝරා ගන්නේ මේ රිංගීමට දක්ෂයන්ය. මේ නිලධාරීන් හා දේශපාලනඥයන් දැනගත යුත්තේ රජය විසින් රැස් කරන සෑම සතයකටම අයිතිය ඇත්තේ රැස් කරන ව්‍යාපාරය පවත්වාගෙන යන අයට හෝ දේශපාලන අධිකාරිය දරන අයට නොවේද?

රජය ඍජු බදු, වක්‍ර බදු හෝ ව්‍යාපාර මගින් ලබන ආදායම් අයිතිය ඇත්තේ සමස්ත ජනතාවටය. එම මුදල් වැය කිරීමට ජනතාවට වගකිවයුතු මූල්‍ය විනයක් දේශපාලන අධිකාරිය විසින් ඇති කළ යුතුය. මේ ලියුම්කරු දන්නා තරමට ලංකාවේ දැඩි මූල්‍ය විනයක් වෙනුවෙන් පෙනී සිටියේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා පමණි. ඔහු රජයේ සෑම වැය කිරීමකටම අවශ්‍ය වගවීම වෙනුවෙන් පෙනී සිටියේය. රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳව යම් සංවාදයක් ඇති කළ යුතුය. පසුගිය මාසය තුළ ජනාධිපතිතුමාගේ ක්‍රියාව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන සංවාදයක් ඇතිවී මහජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනගත්තා සේ ම සරත් විජේසූරිය හා දඹර අමිල හිමි ආණ්ඩුවෙන් මූල්‍ය වාසි ලබාගැනීම හරහා රාජ්‍ය මූල්‍යය වගකීම හා වගවීම සම්බන්ධව සංවාදයක් ඇති කළ හැකි නම් එය රටට වැඩදායකය.