සුත්තර පුංචාගෙන් ප්‍රවේසම් වෙනු

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ මොහොතේ මෙරට දේශපාලනයේ වඩාත් සතුටුවන්තයා, වාසනාවන්තයා කවුද යන්න ගැන හිතුවහොත් විවිධ නම් ඔළුවට ආ හැකි වුවත් මාගේ නිගමනය නම් ඒ අන් කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ බවය. අද ඇතිවී ඇති දේශපාලන ව්‍යාකූලතාවයේ පවා දිනෙන් දින වැඩෙනුයේ රනිල් වික්‍රමසිංහගේ මතුවීමය. ඔක්තෝබර් 26 වැනිදා ජනපති මෛත්‍රීපාල, රනිල් වික්‍රමසිංහව අගමැතිකමෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පත්කිරීමත් සමග රනිල්ගේ අවාසනාවත් මහින්දගේ වාසනාවත් පෑදුණා යැයි සිතූ අය අද ගැඹුරට කල්පනා කරන්නේ නම් සිදුව ඇති සන්තෑසිය මනාව වටහා ගන්නවා නියතය.
එනම් ජනතාව තුළ ඉහළ ආකර්ෂණයක් ලබාගෙන සිටි මහින්ද රාජපක්ෂ ලබන වසරේ ඡන්දයට ආ කල මහින්දගේ නම යටතේ පොහොට්ටුවට ඉහළ ජයග්‍රහණයක් ලබන්නට ඇති ඉඩකඩ සැකසී තිබූ මොහොතක මහින්දගේ අධික තණ්හාව නිසා ලබා ගත් අගමැති ධුරය හේතුවෙන් ඔහු සෙලවී ගිය බව පැහැදිලිය. නිතරගයෙන් තිබූ බොහෝ දේ තරගයට පෙරලුණි. මේ වනවිට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමත් සමග මහින්ද ප්‍රමුඛ කැබිනට්ටුව කුස්සිය මුල්ලට තල්ලු වී ඇත.

මේ හැම ආරාවුලකින්ම අවසන මහින්දට අයත් වන්නේ කඩා වැටීම බව පැහැදිලිය. එහෙත් රනිල්ට සිද්ධ වූයේ එහි අනිත් අන්තයයි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමත් සමග ඔහු අරලියගහ මන්දිරයට කොටුවීමත් සමග ජන මනස ඔහු දෙස අනුකම්පාවෙන් මෙන් බලන්නට විය. ජනතාව රනිල්ව දුටුවේ සිරිසේන ජනපතිවරයා උඩට නැඟි ඉණිමග ලෙසය. සිරිසේන ජනාධිපතිවරයා ඒ ඉණිමගටම පයින් ගැසූ බව ජනතාව විශ්වාස කළෝය. මේ නිසා රනිල් එකවරම සුදනකු වී අපූරු චරිතයක් විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය විය. ලිබරල් රනිල් දැන් ප්‍රජාතන්ත්‍රවාදී රනිල් වී ඇත.

අධිකරණය මගින් ලබාදෙන තීන්දු මහින්දගේ සායම යවන අතරම රනිල්ගේ දීප්තිය වැඩි කරන්නට හේතුවී ඇත. මේ හැම එකකින්ම ඔප්පු වන්නේ ජනපති සිරිසේනගේ පිස්සු නිසා රනිල් දැහැමි වී ඇති බවය.
රනිල් දෙස නිරීක්ෂණාත්මකව බලන්නේ නම් ඉන් ජනිත වන්නේ අන් කාටත් වඩා ඒකාධිපතියෙක් බව පැහැදිලිය. රනිල් වචනාර්ථයෙන්ම සූත්තර පුංචෙකි. එහෙත් ඒ ඉතා හීනියටය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් නටන නාඩගම විකාරය. පිළිකුල්ය. හිරිකිතය. කිසිදු විවාදයක් නැත. එහෙත් ඔහුව ඒ තැනට පත් කළ පුද්ගලයා රනිල් බව අවිවාදිතය. මේ යහපාලනය ජනතාවගෙන් ඈත් කළේ මෛත්‍රීට වඩා රනිල්ය. ඒ රනිල් හැමදාම මෙන්ම සුපුරුදු නාඩගම නටමිනි.

රනිල්වාදීන්ට අනුව රනිල් තරම් දැක්මක් ඇති මොළයක් ඇති දේශපාලකයෙක් මෙරට නැත. එහෙත් ගෙවුණු අවුරුදු තුනහමාර තුළ ඔහු තරම් නිකමෙක් බොරු මවා පෑ අයෙක් නැති බව පැහැදිලිය. ඔහුට කළ හැකි කෙන්ගෙඩියක් නැත. ඔහු දන්නේ තවකකු බලයට ගෙනවිත් ඔහුගේ බලය තම සිරුරට පොම්ප කරගන්නා ආකාරය පමණි. සැබැවින්ම රනිල් යනු ඩ්‍රැකි්‍යුලා කෙනෙකි. ඔහු ඉතා සූක්ෂ්ම වෙස් මාරු කරගෙන අවශ්‍ය මොහොතේදී ලෙයින් කුස පුරවා ගන්නෙකි. මේ විවේචනය රළු වුවත් ඇත්ත රනිල් යනු එවැන්නෙකි.

යහපාලන නාමයක් අටවාගෙන සිරිසේන කරේ තියාගෙන රනිල් රට වටා ගියේ අවශ්‍ය දේ වූ පසු සිරිසේනගේ කරේ නැග ඔහු රට වටා යන්නය. පසුගිය වසර තුනහමාරක පමණ කාලය තුළ රනිල් ඒ දේ අපූරුවට කළේය. මහ බැංකු හොරකම රනිල් අනුදැනුම මතම වූවක්ය. ඒ ගැන විවාදයක් නොපවතී. ඉන්පසු කළ හැමදේම ඔහු ඒකාධිපති ස්වරූපයෙන් කළ බව පැහැදිලිය. 19 වැනි සංශෝධනය ඔහුගේ යහපතට ඔහුට වුවමනා පරිදි ජයම්පති නම් යූඑන්පීකාරයා ලියූවකි. ඒ රනිල්ගේ මතු දවස වෙනුවෙනි. මෙහිදී කෙනකුට ප්‍රශ්න කළහැක්කේ රනිල් නැති වුවද එය කාගෙත් අතට හුවමාරු වන බලයක් බවය. එය එසේ වුව හැකි වුවත් රනිල්ට වුවමනාද මහින්ද මෙන්ම හැමදා බලයේ ඉන්නටය. ඒ සඳහා ඔහු ඉත්තා කරගත්තේ මෛත්‍රීවය. ඒ අතින් අද සැවෝම මෛත්‍රීට බැණ වදුණද? ඔහුව මේ තත්ත්වයට පත් කළේ රනිල්ය. රනිල් සිටිනුයේ වෙනම ලෝකයකය. එනම් තම කෙටි සමාගම සමගය. ඒ යාලු මිත්‍රකම්වලට එහා ගිය ලිංගික සබැඳියාවකි. ඒ නිසා රනිල් සහ මේ පොකුර කාටවත් මෙල්ල කළ නොහැකිය. සමස්ත එජාපයම රනිල් නටවනුයේ මේ කුඩා කණ්ඩායමට වුවමනා පරිදියි. රනිල්ගේ හැම වැඩකටම ඇති මහ කෙරුමන් මේ නම් කිහිපයයි. මේ අයත් එක්ක රනිල් යන ගමන රටට හානිකරය. ඒ ගැන විවාදයක් නැත. එජාපය තුළ පවා කොතෙක් දක්ෂයන් හිටියද? ඒ කාටවත් තැන දෙන්නට රනිල් කැමති නැත. සැහැල්ලුවට සිටියද? සැබැවින්ම ඔහු බියගුල්ලෙකි. එහෙත් තමාට අවැසි බලය පවත්වාගෙන යන්නට ශූරයෙකි. එජාපය අතහරින්නට ඔහු කැමති නැත. පහුගිය ටිකේ නැවත රනිල් ප්‍රතික්ෂේප කර සජිත් හෝ තව කවුරු හෝ නායකත්වයට ගෙනා යුතුයැයි හඬක් මතුවිය. එහෙත් දැන් එක හඬින් කියනුයේ රනිල් හැර එජාපය කාව හෝ පත් නොකරන බවය. ජනපති සිරිසේන එක හඬින් කියන විට රනිල්ට දෙන්නේම නෑ යන්න. රනිල්ගේ පාර්ශ්වයෙන් ඇහෙන්නේ නෑ රනිල්ට දිය යුතුමයි යන්නය. එයින් ගම්‍යවන්නේ මේ ප්‍රශ්නයේදී දෙපැත්තම පියවරක් ආපස්සට නොගන්නා බවය. සිරිසේනට නොදෙමියි හිතුවක්කාරකමක් මෙන්ම ඒකාධිපතිකමක් රනිල් පෙන්වන මුත් එය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් එළියට ඒ. මේ නිසාම දැන් සැමට නියම රනිල් කවුද යන්න අමතක වී ඇත.

බලය ඇති කල රනිල් වට කොට සිටින ලිංගික නඩය අද රනිල් වටා නැත. ඒ වෙනුවට ඉන්නේ විටෙක රනිල් එලවන්නටම වලි කෑ අයය. ඒ අයට අවැසි ඇම විදිහට රනිල් සජිත්ව ළංකර ගෙන සිටී. සජිත් ද මේ මොහොතේ රනිල් ළඟ පතාක යෝධයා වී ඇත. මේ රනිල්ගේ සුපුරුදුම සෙල්ලමය. එනම් බලය ලැබුණු කල තම සුපුරුදු නඩය සමග පිස්සු කෙළිමින් බලය නැතිව අනාථ වනවිට පොළොවේ දේශපාලනය කරනවුන් අල්ලාගෙන ඔවුන් ලවා තැන රැකගැනීමය.

ජනපති සිරිසේන රනිල් වෙනුවට එජාපයේ කාට හෝ අගමැතිකම දෙන්නෙ යැයි කීවද? එය ගෙන මේ ප්‍රශ්නය විසඳීමට රනිල් කැමති නැත. එවිට රනිල් පහළට වැටෙන්නේ අගමැති කවුරු වුවද ඔහු එජාපයේ නායකයා ලෙස පෙනෙන නිසාය. එය කාට හෝ දී සුබ සහ යස නාටකය බලන්නට රනිල් කැමති නැත. එය කවුරු ගත්තද ඔහුද සිරිසේන මග යනවා නියතය. ඒ නිසා කෙනකුව එජාපයේ නායකයා සිරිසේන තෝරන්නේ කොහොමද යන්න දුව දුව වුව විමසිය හැකිය.

රනිල් සමග වැඩ කළ නොහැකි යැයි කියා මහින්ද තෝරා ගැනීමෙන්ම ජනපති සිරිසේන නොකියා කියනුයේ කුමක්ද? මහින්දටත් වඩා රනිල් භයානක බවය. එය අපිද එකෙන්ම අනුමත කරමු. මේ මොහොතේ දේශපාලනය කරන චරිත අතරින් සූක්ෂ්තම තක්කඩියා රනිල් වික්‍රමසිංහය. ඔහු ජේ.ආර්.ට වඩා කපටියෙකි.

අද ජවිපෙ සහ දෙමළ සන්ධානය මොනතරම් වාක්‍ය තම දේශපාලන වේදිකාවල කීවද ඔවුන් කරනුයේ රනිල් රැකගැනීමය. ඔවුන් කියන කුමන තත්ත්වයක් යටතේ වුව රැකෙනුයේ රනිල්වය. වසර තුනහමාර තුළ රනිල් දෙමළ ජාතිය වෙනුවෙන් කළේ කුමක්ද? එහෙත් දෙමළ ජාතික සන්ධානයට රනිල් අතහැර මහින්ද ළඟට යා නොහැකිය. ඒ ඒකාධිපති වියරුව මහින්ද පෙන්වන විට රනිල් එය යටපත් කරගෙන වෙන මුහුණුක් දමාගෙන සිටින බැවිනි.

නැවත එජාපය රනිල් සිය භුක්තියටම සරිකර ගත්තේය. අගමැතිකම ගන්නටද හැකි හැම වෙරම දමන්නේය. ඔහු වැඩකරුවෙක් නම් ඒ බව පෙන්වීමට ඔහුට ගෙවුණු වසර තුනහමාර ඕනෑවටත් වඩා වැඩිය. එහෙත් ඔහු දක්ෂයකු නොවේ. ඔහු සාමූහික ආතල් ගන්නකු පමණය. හෙට නැවත ඔහු බලය ගත්තද ස්ථිරයටම වන්නේ ඔහු නැවත පරණ පුරුදු නඩය සමගම විකාර නැටීම ආරම්භ කිරීමය. ඔහු වෙනස් වන පුද්ගලයකු නොවේ. ප්‍රශ්නයක් වන හැම මොහොතකදීම ඔහු පෙන්වනුයේ අවසානයේ එජාපයට ඔහු හැර තවමත් විකල්පයක් නැති බවය. එලෙස ඔප්පු කරන්නේද විකල්ප යැයි සිතා සිටින අය ලවාමය.
රනිල් විධායක ජනාධිපති නොවූ එකම රටේ වාසනාවකි. ඔහුට ජනපති විය නොහැකි නිසාම ඔහු කළේ සිරිසේන ජනපති කොට ඔහුගේ ලේ තම සිරුරට පොම්ප කරගැනීමය. 19 වැනි සංශෝධනය එයය. 19ය හරහා සිරිසේනගේ තටු කැපූ රනිල් අද සිරිසේන උඩකරණම් ගසන කොට සිනාසෙන්නේ අත්පුඩි ගසමින්ය. එහෙත් සිරිසේන බිම පත බෑවෙන්නේ මේ බොහෝ අයගේ ඔළුගෙඩිවලටම බව සිහිතබා ගත යුතුය. ගෙදර ඇති කළ බල්ලා වුව මස් කට්ටක් කන කල ළංවන්නේ නැත. කවුරු වුව බලය සමග සෙල්ලම් කරන කල හපා කන මොහොත තීරණය කිරීම අපහසුය. රනිල් එලවන්නට රනිල්ගෙන් පළිගන්නට ජනපති සිරිසේනට මහින්ද වැලඳ ගත හැකිනම් මේ සෙල්ලම මේ තරම් සරලව නොසිතන්න.

එමෙන්ම රනිල් යනු අසරණයා නොවේ. ඔහු සැවොම අසරණ කොට අසරණයා ලෙස පෙනී සිටින සූක්ෂ්ම කපටියාය. අද සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිස් හැට දෙලක්ෂයක් ඡන්දවලට සිරිසේන කළ ද්‍රෝහීකම ගැන කෑගසති. එහෙත් එයට සිරිසේනට වඩා රනිල් වගකිවයුතුයැයි නොකියති. නොසිතති. ගෙවුණු වසර තුනහමාර පාලනය කළේ රනිල්ය. මේ සියලු අඩුපාඩු, අනාථභාවයන් ඇතිවූයේ ඔහු හරහාය. ඒ වසර තුනහමාර තුළ සිරිසේන යනු පඹයෙකි. රනිල් කළේ තම සරු වගාවන් රැක ගන්නට ඔහුට අන්දවා තැබීම පමණය.

2020 ඡන්දය සුපුරුදු පරිදි පැවැත්වී නම් එතැනදී රනිල් සිරිසේන ඉවත් කොට ඔහු හෝ වෙනකකු ආදේශ කරන්නට ඉඩ තිබුණි. ඊට පෙර සිරිසේන ඉක්මන් විය. ඔහු මහින්ද වැලඳ ගත්තේ ඔහු දන්නා යකා නිසාය. මේ සියලු ප්‍රශ්න හමුවේ ජනපති සිරිසේන කියනුයේ තව දින හතක් ඇතුළත් මේ අර්බුදය අහවර කරන බවය. අප එතෙක් බලා සිටිමු. ප්‍රශ්න ඇති කළ අයට ප්‍රශ්න විසඳීම වටිනේය. කවුරු කුමක් කළද ඉදිරියේදී ඇතිවන දේශපාලන කුණාටුව අතිභයංකාර බව සහතිකය. එය කල්තබා කිව හැකි මට්ටමේ නැත. සියලු ප්‍රශ්න ඒ මොහොතේ පැන නැගි ගිනි ගන්නා ඒවාය. ඒ අතර අපි කියනුයේ සිරිසේනත්, මහින්දත්, රනිලුත් තිදෙනාම විශ්වාස කළ නොහැකි තක්කඩින් බවය. එහෙත් බොහෝ අය රනිල් මේ මොහොතේ සුදනකු කර ඇත. ඉතිහාසය පුරාම වූයේ එයය. බටලන්දේ රනිල්ට වඩා ගෝඨාභය භයංකර වූයේ ඒ නිසාය. නියම රනිල් නිතරම සිටිනමුත් හසුවන්නේ නැත. මන්ද ඔහු වටා සිටින අය ඔහු වෙනුවෙන් නොව තමන් අරගල කරන්නේ වෙන වෙන දේවල් නිසා යැයි කියන නිසාය. සැවොම තම අරගලවලට කුමන නම් කුමන හේතු ඉදිරිපත් කළද ඒ සැවොම රනිල්වාදීන්ය. ඒ බව රනිල් නම් ඕනෑවටත් වඩා දන්නේය. එහෙත් නොදන්නා ගාණට ඔහුද ඉන්නේය. එසේ ඉඳ බලයක් ලද සැණින් ඔහුගේ කැළට එකතු වී ඒ අය සමග වැඩ අරඹන්නේය. එයට හේතුව කාටවත් රනිල් බේරා ගත්තේ තමන් යැයි කිව නොහැකි බැවිනි. රනිල්ගේ ලකුණ අලියාය. ඔහුගේ වැඩද අලි වැඩමය. අලියා යනුයේ එකම මගකය. තමා ඉදිරියේ ඇති බාධක කුමක් වුව ඌ ඒවා පොඩි පට්ටම් කරමින් ඉදිරියට ඇදෙයි. එහෙත් මිනිස්සු අලින්ට කැමතිය. ඌ සුවිශේෂී නිසාය. ළඟට යන්නට බැරි වුවත් භයානක වුවත් ඈතින් සිට හෝ බලන්නට රැක ගන්නට කැමතිය.

රනිල් යනු මේ මොහොතේ මෙරට සතුටින්ම සිටින දේශපාලකයාය. සිනාසෙමින් වගේ වගක් නැතිව ඉන්නා දේශපාලකයාය. අන් හැමට වඩා භයානකම සහ කපටියාද ඔහුම බව කිව යුතුය.