ලිට්රෝ මනි සහ දඹර හිමිගේ ගෑස්

රසික ගුණවර්ධන

මේ දේශපාලන ව්‍යාකූල බව ඉදිරියට ඇදෙන්නේ බොහෝ පිරුවටකාරයන්ගේ හෙළුව සමාජය ඉදිරියේ දිගහරිමිනි. පසුගිය දිනක සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමියන් ඒ කාලේ හැටියට යහපාලනය ගෙන ඒමටත් දැන් කියන හැටියට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමටත් මාසිකව රුපියල් අනූපන්දහස බැගින් ලිට්රෝ සමාගමෙන් ලබා ගත් බව හෙළිවූහ. උන්වහන්සේ ඇතුළුව එසේ ලිට්රෝ සමාගමේ රහස්‍යය ගිණුමකින් මුදල් ලබාගත් බවට හෙළි වූ ගණන 56 දෙනෙකි.

දඹර හිමිගේ මේ ක්‍රියාව මතක් කරවන්නේ බොහෝ දෙනකු එදා මී කඩා ඇත්තේ අත ලෙව කෑමට නොවන බවයි. ඇතැම්විට ජනවාරි 08 විප්ලවය ජයග්‍රහණය කරවූ ජනතාව මහින්දලා වෙනුවෙන් පෙනී සිටින ජනතාව මෙන් හොරකම් කළද පාරවල් හැදුවානේ වැනි තර්ක ගෙන ඒමට සූදානම් දැයි අපි නොදන්නෙමු. එහෙත් අප දන්නා සහ අප විශ්වාස කරන කාරණාව නම් දඹර හිමිගේ මේ ක්‍රියාව අශිෂ්ට, ගණයේ ක්‍රියාවක් බවයි.

දඹර හිමියෝ ඇතුළු පිරිස 2015 ජනවාරි 08 වැනිදා යහපාලන රජය බලයට පත්කර ඔවුන්ගේ යහපාලන ප්‍රතිපත්ති රෙද්ද අස්සේ ගහගත්තේ දින සීයේ වැඩපිළිවෙළ අවසන්වීමටත් ප්‍රථමයෙන්ය. ඔවුහු එදා පටන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති යහපාලන ප්‍රතිපත්ති නොව නොපෑහෙන දීගේ ගැටුම් වහගැනීමට සහ යහපාලන ක්‍රියාවලිය නන්නත්තාරයේ ගිය ගමන සාධාරණීකරණය කර ගැනීම උදෙසා වූ ප්‍රතිපත්තිය. එනම් ඔවුන්ගේ උත්සාහය යහපත් පාලනයක් ගෙන එනවාට වඩා වෙනස් එකක් වූ බව හවුල් ආණ්ඩුව බලය ආ 2015 ජනවාරි සිට ඔප්පු කරමින් සිටියේය.

විහිලු ප්‍රතිචාර

දඹර හිමි තමාට එල්ල වන චෝදනා මුලින් ප්‍රතික්ෂේප කළේ ඒවා විරුද්ධ පාර්ශ්වයන් තමන් වෙත එල්ල කරන මඩ ප්‍රහාර යැයි පවසමින්ය. එහෙත් තොණ්ඩුව බෙල්ලට වැටුණු වග හැඟුණු විට දඹර හිමි කියන්නේ තමා එම මුදල් ලිට්රෝ සමාගමෙන් තමන්ගේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා ඉල්ලූ මුදල් බවයි. එය එසේ නම් ලිට්රෝ අපූරු පුණ්‍ය සමාගමකි. මාසයක් පාසා රුපියල් අනූපන්දහස බැගින් සමාජ සත්කාර සඳහා වැය කිරීමට ලිට්රෝ ආයතනය ලැබිය යුතු ලාභය අතිවිශාලය.

දඹර හිමි ඇතුළු පිරිසට මාසික ගෙවා ඇති මුදල දළ වශයෙන් රුපියල් විසි හය ලක්ෂ තිස් නවදහස් හයසීයකි (රුපියල් 2,639,600). මෙසේ මොවුන්ට වසරක් ගෙවූවා නම් ඊට වැයවන මුදල රුපියල් තුන්කෝටි දාසය ලක්ෂ හැත්තෑපන්දහස් දෙසීයකි. (රුපියල් 31,675,200)

ඉතින් එහෙව් එකේ රටේ ජනතාව ගැන සිතන දඹර හිමිට තිබුණේ ලිට්රෝ සමාගම සමග කතාබහ කර සමාජ සත්කාර වෙනුවෙන් මාස්පතා දහස් ගණන් ලබා ගන්නවා වෙනුවට ගෑස් මිල අඩුකර සමස්ත මහජනතාවටම සහනයක් සැලසීම නොවේද? වඩා සාධාරණ සමාජයක් බිහිවන්නේ එවිට නොවේද? දඹර හිමි කියන විදිහට උන්වහන්සේ මේ මුදල් ගෙන ඇත්තේ තමාගේ සමාජ සත්කාර වැඩවලට සිය වෘත්තිය වන කථිකාචාර්ය වැටුප ඊට ප්‍රමාණවත් නොවන නිසා නම් කළ යුතුව තිබුණේ ඊට අවශ්‍ය මුදල ජනතාවගෙන් ඉල්ලනවා හෝ එකතු කරනවා විනා ජනතාවගේ මුදල් අශීලාචාර ලෙස ගැනීමද?
දඹර හිමි රටේ ලෝකේ නැති කතා කියා දැන් උත්සාහ කරන්නේ තමන්ගේ නිරුවත වසා ගැනීමට බව පැහැදිලිය. දඹර හිමිගේ මේ හේතු දැක්වීම්ද ඔවුන් දූෂිත යැයි කියා බලය තමන් වෙත පවරා ගැනීමට පෙර සිටි පාලකයන් තමන්ගේ හොරකම් අසුවුණාට පසු කරන හේතු දැක්වීම්වලද මහ ලොකු වෙනසක් ඇත්තේ නැත. දඹර හිමි අතේ පැළවෙන බව දැන මෙවැනි ප්‍රකාශ කරන්නේ තමන්ට ඇහුම්කන් දෙන්නන් අසම්බුද්ධික යැයි සිතා වන්නට ඇත.

දඹර හිමි පසුගිය දිනක පැවති රැස්වීමකදී කීවේ තමා වරදක් සිදුකර ඇත්නම් මහින්දලාගේ ආණ්ඩුවක් පවතින හෙයින් සීඅයිඩීය පැමිණ තමාව අත්අඩංගුවට ගන්නා ලෙසයි. දඹර හිමිගේ ඒ ප්‍රකාශය අපූරුය. ඒ අනුව දඹර හිමි කියන්නට උත්සාහ ගන්නේ තමාව අත්අඩංගුවට නොගන්නේ තමා නීතිමය වශයෙන් වරදක් කර නොමැති නිසා බවත් තමාට එරෙහිව එල්ල වන චෝදනා දේශපාලන වශයෙන් එල්ල වන අවලාද වන බවයි. දීර්ඝ කාලයක් තිස්සේ හොරුන් ආරක්ෂා කළ රජයක් රැකගත් දඹර හිමි ඇතුළු සාධාරණ සමාජයක් ඇති කිරීමට වලිකෑ පිරිස නීතියට හසු නොවී මේ වගේ දේවල් කරන හැටි දන්නේ නැත්නම් එයද අපූරු විහිලුවක් වනු ඇත. නීතියට හසු නොවන ටැක් ටික් දඹර හිමි දන්නා නිසා ලිට්රෝ ආයතනයේ යම් නිලයක් ඔහුට ලබාදී මේ මුදල් ඔහු වෙත ලබාදීමට කටයුතු කර ඇත. ආයතනයේ සේවකයකු ලෙස කටයුතු කරන අයකුට මුදල් ගෙවීම නීතිමය වරදක් නොවන බැවින් දඹර අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා වේදිකාවල නැග පාරම්බාන්නට දඹරට හැකිය. එහෙත් දඹර හිමි ප්‍රතිපත්තිගරුක බුදු පුතකු නම් දඹර හිමිට මේ කතා කියන්නට බැරිය. දඹර හිමි කර ඇත්තේ ආචාර ධාර්මික වරදකි. තමා විශ්වාස කළ ජනතාව නොමඟ යැවීමකි. ලැජ්ජා නැති වැඩකි.

සුදු පිරුවට

යහපාලනය නම් සුදු පිරුවටයෙන් වසා ප්‍රජාතන්ත්‍රවාදය වැනි නානාප්‍රකාර සුවඳ විලවුන් ගසා සුවඳවත් කර මෙතරම් කල් වසාගෙන සිට ඇත්තේ ගඳ ගසන අසූචි ගොඩකි. මේ අසූචි ගොඩෙන් මහින්දලාගේ අසූචි ගොඩ වෙනස් වූයේ මහින්දලාගේ අසූචිගොඩ වසා තබා ගැනීමට සුදු පිරුවට හෝ සුවඳ විලවුන් නොතිබූ බැවිනි.

විමල් වීරවංශ ඉස්සර කීවේ රනිල්ලාට කඬේ යන අයගේ බැංකුවලට ඩොලර් වැටෙනවා කියාය. එහෙත් එය බොරුවක් වග දැන් සනාථ වී තිබේ. රනිල්ලාට කඬේ යන දඹර හිමිට වැටෙන්නේ ඩොලර් නොව, ඔබේ ද මගේ ද රුපියල්ය. දඹර හිමි සේම යහපාලනයට විලිලැජ්ජා නැතුව තවත් කඬේ යන සෙස්සන්ට මෙන්ම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට ද දඹර හිමිට මෙන් හෙළි නොවුණාට මුදල් නොලැබුණේ යැයි විශ්වාස කරන්නේ කෙසේද? ඔක්කොම කුණු බේරේ වැවට කියන්නා සේ සියලු පව් දැන් ගලා යන්නේ දඹර හිමිගේ කර මතිනි.

ඔවුන් සුදු පිරුවට ගැසූ අට්ටාලයක සිට කළු කර පටි පැළඳ කරන සත්‍යග්‍රහය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවක් වෙනුවෙන් සිදු කරන්නක් නොවන්නේ එ හෙයිනි. ඔවුන් තවදුරටත් එකී සත්‍යග්‍රහය සිදු කරන්නේ යහපාලනය යැයි කියාගත් රනිල් ප්‍රමුඛ පිල ආරක්ෂා කර ගැනීම උදෙසාය. දඹර හිමි ඒ වේදිකාවට නැග සත්‍යග්‍රහ කරන්නේ තවත් ආයතන කිහිපයක රහස්‍ය ගිණුම් හරහා මුදල් ලබා ගැනීමේ පරම චේතනාවෙන් නොවේ යැයි කාට කිව හැකිද?