තාජුඩීන් මියගියේ රිය අනතුරින්මද?

ටිරන් කුමාර බංගගමආරච්චි

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ පුද්ගලයන් අතර මියගිය මොහොමඞ් වසීම් තාජුඩීන්ද ඇතුළත්ය. විශේෂත්වය තාජුඩීන් ඒ දායකත්වය සපයනුයේ මියගොස් සිටියදී වීමය.
2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට පාර්ක් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මහ මග මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස පිළිස්සී මියගිය තාජුඩීන්ගේ මරණය එකල සාමාන්‍ය රිය අනතුරක් විය. මේ රාජපක්ෂ සමයය.

එහෙත් තාජුඩීන් මියගියා නොව මිය පරලොව ඇරි බව ඇතැම් අයගේ කුසුකුසුව වුවත් එය එළිපිට කියන්නට කිසිවෙක් ඉක්මන් නොවූයේ එවැනි වීරකම් කරන්නට ගොස් තාජුඩීන්ගේ ඉරණම ඔවුන්ටද අත්විය හැකි බැවිනි. රාජපක්ෂ ආණ්ඩුව පෙරළා යහපාලනය බලය අල්ලන්නට සැරසෙන කල ඒ අයට තාජුඩීන් යනු නියම රස බොජුනක් විය. ඇත්ත නම් හැම දේශපාලකයෙක්ම මළකුණු කර තබා ගනුයේ බලයට ඒමට මිස, ඉන්පසු කර තබාගෙන යන්නට නොවේය.

යහපාලන ආණ්ඩුව තාජුඩීන්ගේ දේහය ගොඩගැනීමද කළේය. ඒ හැම උනන්දුවක් හරහාම ජනිත කළේ වහ වහා අපරාධකරුවන් අල්ලා කූඩු කරන බවය. එහෙත් තාජුඩීන් මියගොස් දැනට හය වසරකටත් වැඩිය. යහපාලනය බලය ගෙන සිව් වසරකටත් කිට්ටුය. තවමත් තාජුඩීන් ඝාතනය කළ අයකු නැතිය.

තාජුඩීන් ඝාතනය රාජපක්ෂ පුත්තුන්ගේ වැඩක් බව යහපාලන සමයේ හරි හරියට කතාවිය. එහෙත් ඒ කිසිවක් සනාථ කළ නොහැකිව යහපාලනය අනාථ වූ බව මේ වනවිට තහවුරුය. රාජපක්ෂලාට එල්ල කළ චෝදනා අතර තාජුඩීන් ඝාතනය ප්‍රධානම විය. ඊට රාජපක්ෂ ආර්යාවගේ නමද ඈඳුණි. එහෙත් ඒ සියල්ල අද වනවිට හුදු දේශපාලන වේදිකා දෙවනත් කළ දේශපාලන කතාම විය.

තාජුඩීන් ඝාතනය ගැන දිග හැරුණු කතා ජනතාවගේ ඇඟ ලොමු ඩැහැ ගන්වන තරම් විය. ජනතාව රාජපක්ෂ කෙරුවාවත් මෙබඳු යැයි කතා කළේ ජුගුප්සාවෙනි. එහෙත් ඒ සියල්ල යහපාලනයේ වසර හතරක් කිට්ටු තැන බොරු බේගල් බවට පත්වී ඇත. එදා තාජුඩීන් ඝාතනය කළැයි චෝදනා ලද රාජපක්ෂවරුන්ගේ ප්‍රධානියා යළි අගමැති වූයේය. ජනපති සිරිසේන එදා තාජුඩීන් ඝාතනයටත් පින්සිදු වන්නට බලය ලද බව අද ඔහුට අමතකය. ඒ නිසාම අද ඔහුම අගමැති බවට මහින්ද රාජපක්ෂ පත්කර ඇත. මේ අනුව බලන කල රාජපක්ෂලාට මඩ ගසන්නට තාජුඩීන්ම තමාට පහරදීගෙන මිය ගියේද?

මහින්ද රාජපක්ෂ අගමැති වන විට තාජුඩීන් නඩුව උසාවියේ තව වරක් අසනු නොබෝදා දක්නට ලැබුණි. එහිදී අධිකරණයෙන් ඇසෙනුයේ තාජුඩීන් ඝාතනයේ සැබෑ ඝාතකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. මෙලෙස කියනුයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතාය. දැන් මෙම ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ඉටු කරනු ඇත්ද? වසර හතරක් පමණ තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලා ගැනීමට නොහැකි වූ සැබෑ අපරාධකරුවන් මේ අල්ල පනල්ලේ දඩි බිඩියේ අල්ලා ගනු ඇත්ද?

ඝාතනයක් බව සැබෑය

රාජපක්ෂ සමයේ රිය අනතුරක් වූ තාජුඩීන් ඝාතනය මේ වනවිට ඝාතනයක් බව ඕනෑවටත් වඩා තහවුරු වී තිබේ. එහෙත් එය සත්‍යයක් වුවද එය කළේ කවුද යන්න තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව සාක්ෂි අනුව අවසන් නිගමනය වූයේ මෙය පැහැදිලිවම ඝාතනයක් බවය. ඒ අනුව අත්අඩංගුවට ගැනීම්ද සිදුවිය. අත්අඩංගුවට ගත්තේ කාවද? ඝාතනයේ සාක්ෂි වසන් කිරීම හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ සැකකරුවන් පමණි. එසේ නම් එයින්ම එක් කරුණක් මනාව පැහැදිලිය. සාක්ෂි වසන් කිරීම වෙනුවෙන් යම් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නම් ඔහු එලෙස සාක්ෂි වසන් කළේ කාගේ වුවමනාවටද යන්නය. අනෙක් අතට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ අය අත්අඩංගුවට ගත්තේ නම් ඔහු එලෙස කළේ ඇයිද යන්න කීමට ඔහු බැඳී නැද්ද? එය දැනගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැඳී නැද්ද?

කූඩු වූවෝ

තාජුඩීන් ඝාතනයට සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පොලිස් පරීක්ෂක සුමිත් ධම්මික පෙරේරා හා මහාචාර්ය ආනන්ද සමරසේකර යන සැකකරුවන්ය. මේ අය අත්අඩංගුවට ගනු ලැබුවේ සාක්ෂි වසන් කිරීම හා ව්‍යාජ ලේඛන සකස් කිරීම යන කරුණුවලටය. මේ චෝදනා යටතේ මොවුන්ට විරුද්ධව චෝදනා ගොනු කොට නඩු පැවරිය හැකිය. එයද තවම ඉටුවී නැත. එහෙත් එසේ වූවා කියා තාජුඩීන්ගේ සැබෑ අපරාධකරුවන් හසුවන්නේද?

අනුර සේනානායක යනු රාජපක්ෂ සමයේ ප්‍රබල පොලිස් චරිතයකි. රාජපක්ෂලාගේ ඕනෑම කුණු ගොඩකට කරගසන මට්ටමේ චරිතයකි. ආනන්ද සමරසේකර යනු ප්‍රධාන මරණ පරීක්ෂකය. එසේ නම් මේ මරණය වැසිය හැකි ප්‍රධාන තැන්වලින්ම එය වසා දමා ඇත. එනම් පොලිසිය හා මරණ පරීක්ෂක විසිනි. මේ අය මේ ආකාරයට තාජුඩීන් ඝාතනය වසා දැමුවේ කාගේ නම් එළිවේයැයි කියාද? එසේ නැතිනම් කාව ආරක්ෂා කරන්නට මේ අයට මේ ලෙස ක්‍රියාකරන්නට සිදුවීද? මේ අය ඒ බව නොදන්නවා විය නොහැකිය. එසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතැනින් එහාට යා නොහැකිද?

සාක්ෂි

තාජුඩීන් ඝාතනය ගැන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගත් පසු මේ දක්වා පුද්ගලයන් 1200කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. දුරකතන ඇමතුම් ලක්ෂ 22ක විශ්ලේෂණ ලබාගෙන ඇත. ඒ අනුව දීර්ඝ විමර්ශනද සිදු කළ බව සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා අධිකරණයට පන්වා දී තිබුණි.

එයින්ද නොනැවතී ඝාතනය සිදුවූ දින හැව්ලොක් මාර්ගයේ ලාෆ් ගෑස් සමාගම් හන්දියේ සිට මරණකරු ගමන් කළ වාහනය හඹා ගිය වාහනයක ගමන් කළ සැකකාර පුද්ගලයකු ඇඳ සිටි ටීෂර්ට් එකේ සටහන් වී තබූ අංකයක් සහ නමක් ඔස්සේ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයිද ඔහු අධිකරණයට පෙන්වා දී තිබුණි. එම ඝාතනය සිදුවූ දින ඊට අදාළ කාලය තුළ එම ප්‍රදේශයේ ගමන් ගත් වාහන හා පුද්ගලයන් නිශ්චිතව හඳුනා ගැනීම සඳහා නාසා ආයතනයෙන් චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගැනීමට පියවර ගෙන ඇතැයිද පවසා තිබුණි.

මෙතරම් පරීක්ෂණ කිරීමෙන් පවා හසුනොවන ඝාතන පිරිස ලේසි පහසු වූවන් නොවන බව පැහැදිලිය. අනෙක් අතට සරලවම උපකල්පනය කළහැක්කේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් එපිටට තාජුඩීන් ඝාතනය රැගෙන යා නොහැකි බවය. නියෝජ්‍ය පොලිස්පතිවරයා එකල ක්‍රියා කළේ පොලිස්පති මට්ටමටය. ඔහුට එතරම් බලයක් ආරූඪ වී තිබුණේ ඔහු රාජපක්ෂවරුන්ගේ කිට්ටුමවන්තයෙක් නිසාය. එසේ නම් ඔහු තාජුඩීන් ඝාතනය වසන් කළේ නම් ඒ කාගේ වුවමනාවටද යන්න ඉතා පැහැදිලිය. ඉතිරි පරීක්ෂණවලදී ව්‍යාජ ලේඛන සැකසෙන්නේ නම් ඒ ඇයිද යන්නත් පැහැදිලිය. එසේම මින් ඉදිරියට තාජුඩීන් ඝාතකයන් නොඇලේලෙන බවද මනාව පැහැදිලිය. තාජුඩීන්ලා ඡන්දවලට ගත් ගුණ්ඩු බව අපි මීට බොහෝ කලකට පෙර ලීවෙමු. එවිට ආ චෝදනාව එය එසේ නොවන බවය. නියම ඝාතකයන් හෙළිදරව් කරනවා පමණක් නොව, ඔවුන්ට දඬුවම්ද පමුණුනවා යන්නය. දැන් සියල්ල අහවරය. තාජුඩීන්ගේ ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස මින් මත්තට සිතීම හැම අතින්ම හොඳය. යහපාලන ආණ්ඩුව කළේද මිනිස් ජීවිත සමග බොරදියේ මාළු බෑමය. සිව් වසරකට ආසන්න යහපාලන පාලනය තුළ නොකළ කෙරුවාවල් ඉදිරියේ වෙතැයි සිතන්නට මිනිස්සු මෝඩද?

අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාජුඩීන්ගේ සැබෑ ඝාතකයන් වහාම හෙළි කරන්නැයි කීවද එසේ කරනුයේ කෙසේද? අප දන්නා බොහෝ දේ නොදන්නා ගාණට සිටීම ජීවත්වීමට ඇති පහසුම ක්‍රමයය. ජනපති සිරිසේනට රාජපක්ෂලා හොඳ නම්, රනිල් බලය තියාගෙන මේවා නොසොයා බොරු රඟපෑම් කළේ නම් තාජුඩීන් ඝාතනය ඝාතනයක් නොවී රිය අනතුරක්ම වූවා යැයි කීවද? දොසක් වේද?