උත්තර අභිනන්දී ස්වර්ණලතාව හුදු චරිතාපදානයක් නොවේ

සම්පාදක- අනුර දහනායක

එන්. ලංකා මාගම්මන

උත්තර අභිනන්දී ස්වර්ණලතාව – ප්‍රවීණ නර්තනවේදිනී මිරැන්ඩා හේමලතා පිළිබඳ අනුර දහනායකගේ කියවීමේ පර්යේෂණාත්මක ග්‍රන්ථය දොරට වැඩීම සහ උපහාර උළෙල 2018 දෙසැම්බර් 16 සවස 5.30ට කොළඹ 05, ශ්‍රී සම්බුද්ධත්වජයන්ති මන්දිරයේදී පැවැත්වේ.

උත්තර අභිනන්දනී ස්වර්ණලතාව කෘතිය මිරුන්ඩා හේමලතාවන්ගේ ජීවන චරිතාපදානයද?

අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබුණු පරිදි සෞන්දර්ය විෂය ඉවත් කරන්න හදපු වේලාවේ ඊට එරෙහි වූ ප්‍රධාන චරිතය මිරැන්ඩා හේමලතා බව මට එකල ප්‍රවෘත්ති පත්‍ර මගින් දැනගන්නට ලැබුණා. එය සාකච්ඡා මාර්ගයෙන් සිදු වූ ක්‍රියාවලියක්. සෞන්දර්යය විෂය රැක ගත යුත්තේ මන්ද කියන වැදගත් ප්‍රශ්නයට ඇයට ඉතා සාර්ථක පිළිතුරක් තිබුණා. ඒ ඇයට ඒ වන විටත් තිබුණු දැනුම හා සෞන්දර්ය විෂය පිළිබඳ පරිචය නිසා. අනතුරුව ඇය මීපේ සෞන්දර්ය ආයතනයේ අධ්‍යක්ෂවරිය බවට පත් වුණා. කෙමෙන් කාලය ගෙවි යන විට ඇය පිළිබඳ මගේ අධ්‍යනය තව තවත් වර්ධනය වුණා. ඒ අතරතුර කාලයේදී ඇයගේ 60 වන ඡන්ම දිනය වෙනුවෙන් ඇගේ ජීවන පුවත කෘතියක් ලෙස සම්පදනය වෙන්න සූදානමක් තිබුණා. එය සාර්ථක වුණේ නැහැ. කෘතිය සමරු කලාපයට පමණක් සිමා වුණා. ඒ සමරු කලාපය මුද්‍රණය කරන විට ඇයගේ ජීව දත්ත රාශියක් මට කියවීමට ලැබුණා. කෙසේ හෝ ඉන් වසර විස්සක ඇවෑමෙන් ඇයගේ 80 ඡන්ම දිනය වෙනුවෙන් මෙම කෘතිය සමාජගත කරන්න අවස්ථාව මා හට පැවරුණා. ඇය පිළිබඳ අතීතයේ පටන් මාහට තිබුණු අධ්‍යයනය තමයි උත්තර අභිනන්දී ස්වර්ණලතාව ලෙස දොරට වඩින්නේ.

මිරැන්ඩා හේමලතා කියන සංකීර්ණ චරිතය ඔබ සංෂිප්ත කර ගන්නේ කොහොමද?

මුලින්ම කළේ ඇයගෙන් ලබාගත් කරුණු හා මා විසින් අධ්‍යයනය කරන ලද කරුණු එකට කැටි කොට මගේ මනසේ සැලසුමක් ගොඩනගා ගැනීමයි. ඒ සැලසුමට අනුව ඇයගේ ජීවන චරිතය ගලා ගිය පැතිකඩවල් කිහිපයක් හඳුනාගැනීමට ලැබෙනවා. එක පැත්තකින් ඇය නර්තන ශිල්පිනියක්. අනික් පැත්තෙන් ඇය ගුරුවරියක්. ඇය ඇතුළේ ජීවත් වන සාමාන්‍ය ගැහැනියක්ද සිටිනවා. මිරැන්ඩා හේමලතා කියන ශිල්පිනිය ඇතුළේ කුසලතා කීපයක් දැකිය හැකියි. නර්තනය, ගීත රචනය, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය, ඇඳුම් නිර්මාණය, වගේ හැකියාවන් රැසක් ඇයට උරුමයි. ඇය ළාබාල වියේදිම හේවුඞ් ආයතනයට සම්බන්ධ වෙනවා. ඇය මුලින්ම දේශපාලනයට පිවිසෙන්නේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයෙන්. මා දන්නා විදියට ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ නිර්මාතෘවරිය ඇයයි. ඉන් පෙර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය සටන්වල ගැහැනු චරිත දකින්න ලැබෙන්නේ නැහැ. ඇය ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය ගැහැනියක්. ඇය පසු කාලීනව මීපේ සෞන්දර්ය ආයතනය තුළ සෞන්දර්ය ගුරුවරුන්ට උගන්වනවා. ඇය සෞන්දර්ය ගුරුවරියක් ලෙස සේවයට බැඳෙන විට රටෙන්ම නර්තන, සංගීත, ගුරුවරු 300 සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. කන අත්සන් ගහන මට්ටමේ ගුරුවරු පවා ගුරු සේවයට බන්දගන්නත් සිද්ධ වෙනවා. ඒ ගුරුවරුන්ට විෂය නිර්දේශය හදාරන්න විෂයක් ලෙස මෙය රැක ගන්න. ඒ විෂය ඉදිරියට රැගෙන යන්න ඇය ලොකු අරගලයක් කළා. ඇය විසින් තවත් අභියෝගාත්මක කාර්යයක් සිදු කළා. ඒ තමයි කාන්තාවන්ට වෙස් පැළැඳ වීම. ඒ අතරතුර ඇයගේ ජීවිත කතාව තුළ තියෙන ගැටුම්, ඒ ගැටුම් වලට පාදක වන මහා දැවැන්ත චරිත. මේ ඉසව් ටික ගොනු කරගන්න මාහට සැලසුමක් තිබුණා. රචකයකු ලෙස රචකයාට තිබෙන ප්‍රධානතම අවස්ථාව තමයි මෙය පිළිවෙළකට එලාගෙන පිළිවෙළකට වියා ගැනීම.

මේ කටයුත්ත තුළ මා නියැලුණේ ඉතා පරිස්සමින්. කියන දේවල් පමණක් ලිවීම කර්තෘවරයකුගේ ලක්ෂණයක් නොවිය යුතු බවයි මගේ හැඟීම. විශේෂයෙන්ම ජීවන කතාවකදී. එතැනදී මා හට අනන්‍ය වූ විශේෂිත හැඩයකින් යුතුව මෙම කෘතිය රචනා කරන්න පෙළඹෙනවා. මගේම විශේෂිත වූ හැඩයට කලින් මා පරිශීලනය කරන ලද කිසිම චරිතාපදානයක නොතිබුණු දේ මා උපයෝගී කරගන්නවා. ඇත්තටම කියනවා නම් උත්තර අභිනන්දනී ස්වර්ණලතාව මේ චරිතය කියවීම පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක්.

මිරුන්ඩාගේ නර්තනයේ භාව ප්‍රකාශනය ඔබ කෘතියට ගේන්නේ කොහොමද?

මම ලියන්නේ නර්තන ශිල්පිනියකගේ චරිතය කොහොමද විකාශනය වුණේ කියලා. එයා නර්තනය හදාරන්නට එන යුගය අද වගේ යුගයක් නොවේ. කුලමාන්නයෙන් හිස උදුම්මවා ගත් අය නර්තයටත් කුල බේදය රිංගවූ යුගයක්. ඒ හින්දා නැටුම් කරන්නේ කුල හීනයන් කියලා ඇයට ඇගේ මව නර්තනය තහනම් කරනවා. එහෙනම් ඇයි ඇය නර්තනයට අවේ කියන ප්‍රශ්නය සමාජයට එනවා. එයා සමාජ සම්මතය බිඳගෙන මවගේ අකමැත්තත් එක්ක ඇය ආදරය කළ නර්තනය වැළඳ ගන්නවා.

ඇය කුඩා කාලයේ ඉඳලම තම මතයට ගරු කළ අයෙක්. ඇය කුඩා කාලයේ හැදුණු පරිසරය නර්තනයේ මූල බීජය පැළ වෙන්න බලපාලා තියනවා. ඒ වතු කම්කරුවන්ගේ දමිළ සංස්කෘතිය තමයි ඇයට පසු කාලීනව භාරත නර්තන හදාරන්න ආවේශය සපයලා තියෙන්නේ. එතනින් පටන් ගන්න ඇයගේ ගමනේ අවසානයේදී සිදු වූයේ සුළගේ ලෙල දෙන ශාක පත්‍රයක් බවට ඇයගේ ශරීරය හැසිරවිය හැකි ආකාරයට පත් වීමයි. ඒ හින්දා මම මේ පොතෙන් ඉදිරිපත් කරන්නේ සුළගේ ලෙළ දෙන ශාක පත්‍රයක් වන් නම්‍යශීලී නර්තන භාවයක් හිමි මිරැන්ඩා හේමලතා ගැනයි. ඇය නර්තනය හදාරණ වකවානුවේ බිඳ දැමිය නොහැකිව තිබූ නිම් වළලු ඇය වයස 63දී බිඳ දමනවා. ඒ තමයි කාත්තාවකට වෙස් බැඳීම. ඇගේ වීරවරිය වූයේ ඉන්දියාවේ රුක්මනී දේවී. අරුන්ඩෙල්, ලංකාවේ බිරින්හිල්ඩා, මේරියන් පීරිස් දැරණියගල, ලීලා තෙවරප්පෙරුම මෙතනදී තමයි ව්‍යාජ දේශීය අටෝප කරපින්නා ගත් පිරිස් මිරැන්ඩා මහත්මියට එලව එලවා ගහන්න පටන් ගන්නේ.

ඒ වගේම තමයි මිරැන්ඩා මහත්මිය එයාගේ මතය නිවැරදියි කියන තැන ඉඳලා කියන්න තියෙන දේ දෙසැරයක් හිතන්නේ නැතිව කියලා දානවා. එතැනදී ඒ වචන වලට සමහරුන්ගේ ශරීර තුවාල වෙනවා. එයා අවංක ගැහැනියක්. හොරකම් කරලා නැහැ. මීපේ අක්කර 15ක කැලෑවක් සුද්ද කරලා ආසියාවේ තියන හොඳම සෞන්දර්ය අධ්‍යාපන ආයතනය හදනවා. එක සතයක් හරි හොරකම් කළා නම් ඒ විදියේ ආයතනයක් මේ පොළවේ හදන්න බැහැ. සමාජයේ හොරකම් කරන පිරිස් වැඩියි. ඒ හින්දා එයාට බනින පිරිස් වැඩියි. ඇගේ නර්තන භාව ප්‍රකාශනයෙහි පදනම මෙම අවංක ජීවිත පැවැත්මයි කියලයි මම හිතන්නේ.

මිරැන්ඩා හේමලතා මහත්මිය අධ්‍යාපන ක්ෂේත්‍රයට කරලා තියන සේවය පිළිබඳ ඔබේ තක්සේරුව මොකක්ද?

ඒක පටන් ගන්නේ ගුරු වෘත්තියෙන්. මුලින්ම ගුරු පත්වීමක් ලැබිලා යන්නේ කොළඹ වනාතමුල්ල මහ විiාලයට. කොළඹ ප්‍රධාන පාසල් වලට අභියෝගයක් වෙමින් වනාතමුල්ලෙ ළමයි ඇය ඉදිරියට ගෙනාවා. ඊළඟට ඇය ගුරු විදුහල් කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. ඊළඟට විදේශගත වෙනවා ශිෂ්‍යත්වයකට. විෂය නිර්දේශය හදන්න ඇයට ආරාධනය ලැබෙනවා. විභාග ප්‍රශ්න පත්‍ර හදන්න සිද්ධ වෙනවා. නර්තන ප්‍රායෝගික පරීක්ෂණ නිවැරදි දිශාවකට ගෙන එනවා. නර්තන උපකරණ සංගීත භාණ්ඩ උපකරණ පාසල් අතර බෙදීම නිවැරදි දිශාවකට ගෙන යනවා. ඇය තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් නර්තන විෂය ඉවත් කරන්න හදපු වෙලාවේ සෞන්දර්ය විෂය ගත්තේ කියලා මම මේ කතාබහ ආරම්භයේදි කිව්වා. ඇත්තටම ඒක තමයි ඇත්ත. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයා මේ පිළිබඳ සාකච්ඡාවක් කැඳවලා තිබුණා. ඊට ඉහළ පෙළේ නිලධාරීන් ඇවිත් හිටියා. එයාලා හැමෝම කිසිම සූදානමකින් ඇවිත් තිබිලා නැහැ. එයාලා හැමෝම කියලා තියෙන්නේ මේ විෂය තේරුමක් නැහැ කියන එක මිසක් සංවර්ධනය කිරීම ගැන නෙවෙයි. මිරැන්ඩා මහත්මිය මේ සකච්ඡාවට ඇවිත් තියෙන්නේ හොඳට සූදානම් වෙලා. ඒයා එතනදි තේරුම් කරලා දීලා තියෙනවා සෞන්දර්යය විෂයන්හි ඇති වැදගත්කම හා එය නොතිබුණොත් වෙන විනාශය. එතැනදි ඇමතිවරයා එක පාරටම කියලා තියෙන්නේ දැන් මට හේතු තියනවා එය ඉවත් නොකිරීමට කියලයි.