කලාකාරයත් හරියට පොලිස්කාරයා වගේම තමයි – ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත

ටිරන් කුමාර බංගගමආරච්චි

අතෝල් ෆුගාඞ්ගේ Coming home  ‘වෙරෝනිකා ආපසු ඇවිත්’ ලෙස ප්‍රවීණ නාට්‍යවේදී බුද්ධික දමයන්ත වේදිකාවට ගෙනේ. මෙය මීට පෙර සිංදු කිරිල්ලී ලෙස වේදිකාවට ගෙනා නාට්‍යයේම දෙවැන්නය. එය දෙසැම්බර් 15 වැනිදා 6.30ට බොරැල්ල පුංචි තියටර්හි වේදිකාගතවේ. මේ ඒ අළලා බුද්ධික සමග කළ කතාබහකි.

බුද්ධිකගේ නාට්‍ය ජීවිතයට කොච්චර කල්ද?

දශක තුනකට කිට්ටුයි. අනූව දශකය මුල තමයි ආරම්භය. අනූ දෙක අවුරුද්දේ ජාතික තරුණ සේවා සභාව රංග කලාව පිළිබඳ පාඨමාලාවක් පටන් ගන්නවා. මේක අපි බොහෝ දෙනෙක්ගේ තක්සලාව කිව්වොත් හරි. අපේ පරම්පරාවේ හුඟ දෙනෙක් මෙතැනින් ගමන පටන් ගත් අය.

නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ම වෙනවා කියලද පටන් ගත්තේ?

මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. පාසල් කාලේ ඉඳලම ආශාව තිබුණේ රඟපාන්න. ඒක තමයි බලාපොරොත්තුව. ඒත් ඒ අවස්ථාව ගිලිහෙන කොට තමයි නාට්‍ය කරන්න පටන් ගන්නේ.
අනූ තුනේ තමයි මගේ මුල්ම නාට්‍ය ‘අධිපතියාගේ මරණ මංචකය’ මම කරන්නේ. ඒක යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට තේරුණා. ඒ නාට්‍ය විනිශ්චය කළේ සුගතපාල ද සිල්වා මහත්තයා. ඒ පන්නරයෙන් මම හිතුවා නාට්‍යකරුවෙක් විදිහට ගමනක් යනවා කියලා.

ඒ ගමන දිහා ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?

ජීවිතයේ හොඳම කාලය නාට්‍යවලටම ගෙවිලා ගියා. තවමත් ඒකම තමයි කරන්නේ. තරහා කේන්තිය තියෙන්නේ නාට්‍ය කිරීම ගැන නෙමෙයි. මේ වගේ තක්කඩි දේශපාලනයක් තියෙන කලාව, සංස්කෘතිය ගැන කිසිම වැටහීමක් නැති තක්කඩි නායකයෝ ඉන්න රටවල අපිට නාට්‍ය කරන්න වීම ගැනයි. මොකද අපි කරන්නේ ඇත්ත නාට්‍ය කලාව. ඒකයි දුක.

නාට්‍ය කලාව කරන්නේ මගේ කැමැත්තට. අනූව දශකය මුල නාට්‍ය කලාව තෝරා ගන්න කොටම අපිට තේරුණා මේක කළොත් කෙළවෙනවා කියලා. මොකද අපිත් භෞතික කාබනික ජීවිතය නඩත්තු කළ යුතුයිනේ. මේවා කරලා ඒක කරන්න බැහැනේ. ඒක හොඳටම දන්නවා. ඒත් මේකම කරනවා. ආස වැඬේනේ. ඇත්තම කියනවා නම් දන්න එකම වැඬේ මේක විතරයි. වෙන මෙලෝ මළදානයක් මම දන්නෙ නැහැ.

ලංකාවේ නාට්‍ය කලාවේ දියුණුවක් තියෙනවද?

එන්න එන්නම ආපස්සට යන්නේ. කිසිම දියුණුවක් නැහැ. මේක රටේ වැරැද්ද? අපේ රටවල තවම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැනේ. අවුරුදු පහෙන් පහට අපි ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න කතා කරනවා. ඒක මොකද්ද කියලා අපි දන්නෙත් නැහැ. දැන් බලන්නකෝ මහින්දගේ එක ප්‍රජාතන්ත්‍රවාදයක්. මෛත්‍රීගේ තව එකක්. රනිල්ගේ වෙන මාරම එකක්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? අපි මේ කොහෙද ඉන්නේ. නාට්‍යකාරයා කියන එක පැත්තකින් තියන්න. මාත් පුරවැසියෙක්නෙ. ඒ නිසා මේක කතා නොකර බැහැ. ඒත් හුඟක් නාට්‍යකාරයෝ මේක කතා කරන්නේ නැහැ. ෂේප් එකේ ඉන්නේ. සමහරු මේ කාටහරි සෙට්වෙලා ගාණ කපා ගන්නවා. ඉතින් කලාව පවතින්නේ කොහොමද? ලෝකයේ දියුණු රටවල නාට්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා ඒ අය ජීවිතයේ කොටසක් හැටියට නාට්‍ය කරන්නේ. අපිට කරන්න දෙයක් නැතිකමට කරන්න වෙලා තියෙන්නේ. මොකද මට නම් කුලී වැඩක්වත් කරන්න බැහැ. ඉතින් මම නාට්‍ය කරනවා.

ලංකාවේ නාට්‍ය බැලීමත් අනෙක් හැමදේම වගේ සීමිත පිරිසකට සීමාවෙලා නේද?

ලංකාවේ දේශපාලනයත් එහෙමනේ. ඔබත් මාත් කතා කරන මේ දේශපාලනය කොළඹ විතරනේ තියෙන්නේ. අද සියයට දෙසීයකට වගේ පිරිසකටනේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නත් ඕන. ඔය ඈත ගම්වලට ගියහම මොන ප්‍රජාතන්ත්‍රවාදයද? උන්ට තුන්වේල කෑම පිළිබඳ අරගලයක්නෙ තියෙන්නේ. අපි කොළඹ සමාජය ගන්නකෝ. කීපදෙනෙක් ආණ්ඩු පෙරළන්න හදනවා. ආණ්ඩු පිහිටුවන්න හදනවා. ඔය පිරිස උපරිම පන්සියයක් දහක් ඇතිනේ. ඉතින් නාට්‍ය බලන්න සුළු පිරිසක් එනවා කියන එක සාමාන්‍ය දෙයක්නෙ.

ඒ කියන්නෙ නාට්‍ය කලාව රටකට ඕන නැද්ද?

අපි කනවා, බොනවා. බුදියනවා. කසාද බඳිනවා. ළමයි හදනවා කියන එකද ජීවිතය. ඒ මුදලාලි සංකල්පය විතරක් ඇතිද ජීවත් වෙන්න. ජීවිතය එතැනින් එහාට ගෙනියන්නනේ කලාව ඕන. කවිය, නාට්‍ය, සිනමාව, සංගීතය නැතිව පැවැත්මක් නැහැනේ. එහෙම නැතිව පවතින්න බැහැ. එහෙම රටක් මළ රටක්. ගාර්සියා ලෝකා කියන නාට්‍යකරුවා කියනවා ‘තමන්ගේ නාට්‍ය කලාවට අනුබල නොදෙන ජාතියක් ඉන්නව නම් ඒ ජාතිය මළ ජාතියක්. එහෙම නැත්නම් මැරෙමින් පවතින ජාතියක්’ කියලා. ඒ තැනට තමයි අපිත් මේ තල්ලුවෙන්නේ.

බොහෝ අය වේදිකාව අතඇරලා ටෙලිනාට්‍ය කලාව තෝර ගත්තා නේද?

ඔව්. අපිට ඉහළින් හිටපු නාට්‍යකරුවෝ ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ අය ඩෝන් ගාලා වේදිකාව අත අරිනවා. මොකද ඒ අය අත අරින්න බලාගෙනමයි ඉන්නේ. ඔය කාලේ චැනල් පටන් ගන්න කාලේ. මේ අය ඒවයේ කොන්ත්‍රාත් අදිනවා. ගාණ කපන්න පටන් ගත්තහම ඒකනේ එකම වැඬේ. ඉතින් නාට්‍ය කරලා ආදායම් ලබන්න බැහැ. හැමෝම අතඅරින්නේ මේක. මට නම් මේක ආත්ම ප්‍රකාශන මාධ්‍යයක්. අපේ රටේ බංකොළොත් වුණාට ලෝකයේ දියුණු රටවල නාට්‍ය කලාව තියෙන්නේ අතිශයින්ම දියුණු මට්ටමක. ඉන්දියාව ගත්තත් නාට්‍ය කලාව ඉතා ඉහළ තැනක තියෙනවා. ඉන්දියාවේ ජාතික නාට්‍ය පාසල ගත්තහම විශාල ආයතනයක්. ඉන්දියාව වාර්ෂිකව විශාල මුදලක් වියදම් කරනවා.

අපි කොහෙද ඉන්නේ. ඉන්දියාවේ ජාතික නාට්‍ය පාසල පටන් ගන්නේ 1959දී. ලංකාවේ කලා මණ්ඩලය නාට්‍ය උත්සවයක් කරන්න පටන් ගත්තෙත් 1959දියි. අද කොහෙද කලා මණ්ඩලය. ඒකට හරියට පුටුවක්වත් නෑ. නිකම් ස්වේච්ඡා සංවිධාන. අපි එකම තැන.

නාට්‍ය කිරීම ගැන ඔබට තියෙන අදහස මොකද්ද?

අපේ පරම්පරාවේ නාට්‍ය කරන්න ඉතිරි වුණේ මමයි, රාජිතයි, තමයි. ගොඩාක් අය අත ඇරියා. මේක අතපය උලුක් වෙන වැඩක්.

නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට ලංකාවේ ක්‍රියාත්මකයි නේද?

ඔව්. ඒක බිස්නස් එකක්නේ. ඒකෙන් නාට්‍ය කලාව පෝෂණය වෙනව නම් මෙලහකට වෙන්න එපැයි. මේ විෂය ළමයි කරන්නේ නාට්‍යකරුවෙක් වෙන්න නෙමෙයි. පහසුවෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශයක් ලබාගන්නනේ. කැම්පස් ගියහම එම්.ඒ. එකක් ගන්න පුළුවන්. කැලණිය වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙත් නාට්‍ය කලාව හදාරනවා. අඩුම ගාණ් මේ ඉගෙන ගන්න පිරිසවත් නාට්‍යයක් බලන්න එන්නෙ නැහැනේ. මේ අය ඉගෙන ගෙන ගුරුපත්වීමක් අරගෙන ගමට ගිහිල්ලා ළමයින්ට මැටි වැඩ උගන්වනවා. ඕක තමයි කෙළවර.

මේ මොහොතේ ලංකාවේ දේශපාලනයට කලාකරුවෝ සක්‍රීය දායකත්වයක් දෙනවා නේද?

කලාකරුවෝ කියන්නේ අමුතු ජාතියක් නෙමෙයි, පුරවැසියෝමනේ. කලාකාරයත් හරියට පොලිස්කාරයා වගේම තමයි, අමුතු එකෙක් නෙමෙයි. උන් හැම වෙලාවෙම රැවටෙන්න කැමතියි. මේ වෙන්නෙ ඒක.

නාට්‍ය කලාව රැකෙන්න නම් මොනවා කළ යුතුයි කියලද ඔබ යෝජනා කරන්නේ?

නාට්‍ය කරන්න ඕන. ඒක තමයි අංක එක. මම මට හැකි පමණින් කරන්නේ ඒක. අපි හරි මෙහෙම කරන නිසානේ මේක රැකෙන්නේ. අමාරුයි. ඒත් කරනවා. මට වාර්ෂිකව කොහොමහරි නාට්‍යයක් පෙන්න ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒත් අලුත් පරම්පරාවට ඒ හයිය නෑ. ඒකයි දුක. ජෝන් ද සිල්වා එක වහලා අවුරුදු හතක් වෙනවා. එල්ෆින්ස්ටන් එක වහලා. ඔය දෙකම කැඩුවේ මහින්ද. ඒ කඩපුවා හදන්නනේ රනිල් – මෛත්‍රී ගෙනාවේ. ඒ අය ඊට හපන්. ඒ වගේ වටපිටාවක නාට්‍ය කරන එක වැඩක් තමයි.

ඔබ වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ස්වතන්ත්‍රවලට වඩා පරිවර්තන නාට්‍යවලට නේද?

මම නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මම හැම වෙලාවෙම උත්සාහ කළේ මට ගැඹුරින් තදින් දැනෙන විදිහට යමක් කරන්නයි. වාසනාවට ඒ ලොකු ලෝකය ඇතුලේ තමයි මට වැඩ කරන්න ලැබෙන්නේ.
මෙතනදි කියන්න ඕන නාට්‍ය කලාවේ විතරයි මේ විශේෂත්වය තියෙන්නේ. ඒ තමයි ලෝකේ කොයිතැනක හරි හොඳ නාට්‍යයක් කරනව නම් ඒක තවත් රටක කරනවා. අපි චිත්‍රපට කරන්න යන්නේ නැහැනේ. හැබැයි නාට්‍ය කරනවා. ඒ නාට්‍ය කපලා කොටලා අපිට ගැළපෙන විදිහට කරන්න පුළුවන්. මම කළෙත් ඒක. ලෝකේ නාට්‍ය කලාව දියුණු වෙලා තියෙන්නෙත් මේ සුවිශේෂී ගුණය නිසාම තමයි හුණුවටය ගත්තහම ඒක අපේ නොවුණට ඒක අපේම ප්‍රශ්නයක් වගේ. අපේ පපුවට දැනෙනවා. මගේ නාට්‍යයත් ඒ වගේ තමයි. ස්වතන්ත්‍රව කරන්න ඕන කියලා නැහැනේ.

නාට්‍ය හරහා ඔබ කරන ප්‍රකාශනය මොන වගේද?

ඒ ඒ කාලවල මට ජීවිතය දැනුණ විදිහ තමයි මම ප්‍රකාශ කරන්නේ. අද බලනකොට ඒ සමහර දේවලට මම එකඟත් නෑ. මම කරන දේවල් ගැන මහා ලොකු තෘප්තියකුත් මට නැහැ. වැඩ කිරීම විතරයි තියෙන්නේ. ඉන්නද? නහින්නද? කියලා හැම්ලට් නාට්‍යයේ දෙබසක් තියෙනවා. එහෙම කියලා අපිට නහින්නත් බෑ. මොකද අපෙන් යැපෙනවුන් ඉන්නවා. ඉතින් නැහෙන්නෙ නැතිව ඉන්න එක තමයි කරන්නේ.

නාට්‍යකරුවෙක් විදිහට නළු නිළියන් ගැන ඔබගේ අදහස කොහොමද?

බොහෝ නළු නිළියන්ට දැක්මක් නැහැ. නිකම් ශරීර කූඩු විතරයි. එයාලට මාව එක දවසකට වැදගත්. තව දවසක රාජිත වැදගත්. ටෙලිනාට්‍යවලට රිංග ගත්තහම වේදිකාව වැදගත්ම නැහැ. නාලිකා රොත්තටම සෙට්වොල බාල්දු වැඩ ඔක්කොම කරන්න ගත්තහම කිසිම දෙයක් ඒ අයට වැදගත් නැහැ.

ඒ වගේම තවත් වෘත්තියක් කරන ගමන් රංගනය කරන ඉතා දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ අය තෝරා බේරාගෙන මුදලට නෙමෙයි අපි වගේම තෘප්තියට වැඩ කරන අය. ඒ අය නිසා තමයි අපිටත් පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ. මාත් එක්ක වැඩ කරන සමහරු මගේ සාක්කුවට කීයක් හරි දාලා යනවා. ඒ අයත් හොඳ නළු නිළියෝ. දැක්මක් අදහසක් තියෙන. ඒ සීමිත පිරිස සම්පතක්.

ඔබට නාට්‍ය දැනෙන්නේ කොහොමද?

මගේ ජීවිතයත් නාට්‍යයත් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඔබ ඔය ඉඳගෙන ඉන්නෙ හැම්ලට් නාට්‍යයේ සිංහාසන උඩ. නාට්‍යවල සෙට් තමයි මගේ ගෙදර බඩුත්. මම දන්න වෙන දෙයක් නෑ, නාට්‍ය හැර. මම ජීවත් වෙනවා කියන්නෙත් නාට්‍ය කරනවා කියන එකම තමයි.

නාට්‍ය ජීවිතය ගැන තෘප්තිමත්ද?

මම කරන්නෙ මම කැමති දේ සහ මට පුළුවන් දේ නිසා මම තෘප්තිමත්. ඒත් මේක මේ පොළොවේ හරියට කරගන්න බැරි එක ගැන කනගාටුයි. අපිත් මිනිස්සුනේ. තුන්වේල කන්න ඕනෑ. ගෙදර ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න විසඳන්න ඕනෑ. ඒවා ඕනෑවට වඩා එනකොට අමාරුයි. අපි ආස වැඬේ කළාට ඒවා පිරෙන්නේ නැහැනේ. නාට්‍යකරුවෙක් කියලා සමාජ පිළිගැනීමක් ගෞරවයක් තියෙනවා. ඒත් ගෞරවය කන්නද? ඒකට බඩ පිරෙනවද? ඔය ප්‍රශ්න තියෙනවා. තෘප්තිමත් කියන්නත් බෑ. නැහැ කියන්නත් බැරි තත්ත්වයක් එනවා. නාට්‍ය වෙනමයි ජීවිතය වෙනමයි පටලව ගන්නේ නැතිව ගියා නම් දුකක් නැහැ. මගේ පැටලිලනේ. මොනා කරන්නද?

ඔබ සමාජය දෙස වෛරයෙන් බලන්නෙක්ද?

වෛරයක් නැහැ. කලකිරීමක් තියෙන්නේ. අපේ ආදර්ශනේ මුලදි ධර්මසිරි බණ්ඩාරනායකලා. අද ඒ අය කොතනද ඉන්නේ. ජනාධිපතිගේ සංස්කෘතික අධ්‍යක්ෂ ජනරාල්. එතන එයා ඉන්න එක අවුලක් නෑ. ඒත් එතන ඉඳලා මොනාද කරන්නේ කියන එකනේ අවුල. එයා එයාට දේවල් කරගත්තට අපිට කමක් නැහැ. ඒත් එයා කලාවට මොකද්ද කරන්නේ. අද තියෙන බස්නාහිර සෞන්දර්ය නිකේතනයට එදා මුල්ගල් තිබ්බේ ජාතික රංග කලා ආයතනයක් හදන්නනේ. චන්ද්‍රිකා මැතිනියයි, රෙජිනෝල්ඞ් කුරේයි එදා ඇවිත් මුල්ගල තිබ්බා. අපිත් ඒකට බැහැලා වැඩ කළා. ඒත් මහින්ද ඇවිත් විවෘත කරලා ඒක බස්නාහිර සෞන්දර්ය නිකේතනය කළා. හරි ආයේ මහින්ද ගිහින් චන්ද්‍රිකාත් ඉන්න ආණ්ඩුවක් ආවනේ. ඒක ගත්තද? රංග කලා ආයතනයට. නෑ.

නාට්‍යකරුවන්ට එකමුතු වෙලා මේ ප්‍රශ්න ජයගන්න බැරිද?

පුළුවන්. ඒත් කවුද එකමුතු වෙන්නෙ. ඒකනේ අමාරුම වැඬේ. ධර්මසිරි බණ්ඩාරනායක, කේ.බී. හේරත්, ජයලත් මනෝරත්න, බුද්ධික දමයන්ත, රාජිත දිසානායක පුළුවන් නම් එකතු කරන්න. ජීවිතයට එකතු කරන්න බෑ. කට්ටිය එකට සෙට් කරන්න පුළුවන් නම් හරි. ඒත් බැරිම වැඩෙත් ඒක තමයි.

මධු විතකටවත් සෙට් වෙන්නෙ නැද්ද?

එහෙම සෙට් වෙනවා. ඒත් ඉවර වෙන්නෙ මරාගෙන. කවදාවත් හරියන්නෙ නැහැ.

ඔබගේ අලුත් නාට්‍ය ගැන කතා කරමු.

ඒකෙ නම ‘වෙරෝනිකා ආපසු ඇවිත්’. මම මීට පෙර කරපු අතෝල් ෆුගාඞ්ගේ Coming home  (සිංදු කිරිල්ලි) නාට්‍යයේම දිගුවක්. ඒකේ අඩින් බලපුවහම බරපතළ දේශපාලනයක් පේන්න නෑ. ඒත් ඇතුළාන්තයට එබුණොත් එහි ගැඹුරු දේශපාලන කතිකාවක් දකින්න පුළුවන්.