අගතියට පත් මියුසියස් දරුවා ගැන ඒක පාර්ශ්වික පරීක්ෂණයක්

රසික ගුණවර්ධන

කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකට එම විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් සිදුකළ හිංසාවන් පිළිබඳව අප පසුගිය සැප්තැම්බර් මස දෙවන දින ලියූ වාර්තාවට අදාළව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අප පුවත්පතේ අදාළ සිදුවීම වාර්තාවීමට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත හිංසනයට පත් දැරියගේ මව පැමිණිලි කර තිබුණද එම කොමිෂන් සභාව ඇයගේ පැමිණිල්ල පරීක්ෂණයට යොමුකර තිබුණේ නැත. කෙසේ හෝ අවසානයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම පැමිණිල්ලට අදාළව පරීක්ෂණ ආරම්භ කිරීම වැදගත්ය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදාළ පරීක්ෂණවලට අනුව අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙත දන්වා ඇත්තේ ඊට අදාළව පරීක්ෂණයක් සිදු කර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි. ඒ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එකී පරීක්ෂණය සිදුකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දෙන්නේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදාය. එකී පරීක්ෂණය සිදු කරන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) පී. එම්. සලාහුදීන් වන අතර එකී වාර්තාවට අනුව ඔහු කොළඹ මියුසියස් විද්‍යාලයට ගොස් එහි විදුහල්පතිතුමිය මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ අනුව එකී සාකච්ඡාව මත දෙපිරිස එනම්, අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) සහ මියුසියස් විදුහල්පතිතුමිය එකඟ වූ කරුණු එහි දක්වා ඇත. එහෙත් එම එකඟතාවන්ට ඔවුන් එළැඹී ඇත්තේ ඒකපාර්ශ්විකව වන අතර එම එකඟතාවන් තවදුරටත් ගැටලුව දිග්ගස්සනු ලබයි.

ප්‍රායෝගික නොවීම

කෙසේ වෙතත් එකී සාකච්ඡාවලදී එළඹ ඇති එකඟතාවන් දැරියගේ පාර්ශ්වයේ සිට බලන විට ප්‍රායෝගික එකඟතාවන් වන්නේ නැත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්තාවට අනුව එකී එකඟතාවන් මෙසේය, i. දරුවාට පාසලට පැමිණීමට බාධාවක් නොමැති බව.  ii. දරුවාගේ මානසිකත්වය හා අවශ්‍යතාව සලකා බලා ඇය දැනට ඉගෙනුම ලබන පන්තියේ නොව වෙනත් සමාන්තර පන්තියකට වුවද ඇතුළත් කිරීම.  iii. දරුවාගේ මානසිකත්වය යහපත් අන්දමින් නංවාලීමට පාසල් උපදේශන සේවාවේ සේවය ලබාදීම.
එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) එකී එකඟතාවන්ට එළැඹෙන විට සම්පූර්ණයෙන්ම පාහේ දැරියගේ මවගේ පැමිණිල්ල හිතාමතාම අමතක කර දමා ඇති බව මෙකී එකඟතාවන් දෙස බැලීමේදී තහවුරු වේ.

මවගේ පැමිණිල්ලට අනුව ඇය එහිදී සඳහන් කරන්නේ පාසලේ සිය දියණියගේ පන්තිභාර, අංශභාර ගුරුවරුන් සහ අනෙකුත් ගුරුවරුන් විසින් සිය දියණියට හිංසාවන් සිදු කරන බවයි. එසේම පංතියේ ගුරුවරුන්ගේ කෑම කා ඉතිරිවන කෑම කොළ දමන ස්ථානය වී තිබුණේ ද මේ කියන දැරියගේ මේසය අසලයි. එසේම එම දැරිය පන්තියේ අනෙකුත් දැරියන්ගෙන් කොන්කර වෙනත් ස්ථානයක තැබීමටද එකී ගුරුවරුන් කටයුතු කර තිබූ බව දැරියගේ මව සඳහන් කරයි. තත්ත්වය කෙතරම් දරුණු වූවාදයත් අනෙක් දැරියන්ට හිංසාවට පත්කරන ලද දැරිය සමග කතාබහ කිරීම සෙල්ලම් කිරීම සහ ආශ්‍රය කිරීම පවා ගුරුවරු විසින් වළක්වා තිබූ බව අදාළ දැරිය සමග අප සිදු කළ කතාබහකදී ඇය අපට පැවසුවාය.

ඒ අනුව අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) මියුසියස් විදුහල්පතිනිය සමග දරුවාට පාසල වෙත පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බවට වන එකඟතාවට එන්නේ කුමන පදනමකින්ද? දරුවාට මෙතෙක් කාලයක් පාසලට පැමිණීමට නොහැකි වූයේ පාසල විසින් එම දරුවාට පාසලට පැමිණීම වැළැක්වීමට කටයුතු කළ නිසා නොව, පාසල විසින් දරුවාට සිදු කළ හිංසාවන් හේතුවෙන් ඇයට තවදුරටත් ඒ හිංසාවන් දරා ගැනීමට සහ ඉවසා ගැනීමට නොහැකි වූ නිසා ඇය පාසල් ගමන නතර කළ නිසා බව අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්)ට අමතක වූයේ කෙසේද? එසේ නම් මෙවැනි කාරණාවකට එකඟතාවකට එළඹෙන විට අවම වශයෙන් එකී හිංසාවන් සිදු කළ ගුරුවරියන් තවමත් පාසලේ ඉගැන්වීම්වල පවා නිරත වීම පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) විසින් සොයා නොබැලීම පුදුමසහගතය. එයින් තහවුරු වන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මෙම ගැටලුව පිළිබඳව නිසි අවබෝධයකින් තොරව මීට සම්බන්ධ වී ඇති බවයි.

අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සහ මියුසියස් විද්‍යාලය අතර පැවති සාකච්ඡාවලදී එළඹ ඇති දෙවන එකඟතාව අනුව දැරිය දැනට ඉගෙනුම ලබන පන්තියෙන් වෙනත් සමාන්තර පන්තියකට ඇතුළත් කිරීමට එකඟ වේ. මෙයද කිසිදු ප්‍රායෝගික විසඳුමක් වන්නේ නැත. මක්නිසාදයත් දැරියට හිංසාවන් කළ අංශ භාර ගුරුවරිය ඇය පන්තිය මාරු කළද එම අංශයේම තවදුරටත් අංශභාර ගුරුවරිය වන බැවිනි. ඒ අනුව දැරියට එල්ල වන අවදානම එයින් වැළකී යන්නේ නැත.

මියුසියස් විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තුන්වනුව එකඟවී ඇති එකඟතාව යම් ආකාරයක විහිළු සහගත බවක් ගනී. එහිදී ඔවුන් කියන්නේ දරුවාගේ මානසික තත්ත්වය යහපත් මට්ටමකට ගැනීම සඳහා පාසලේ උපදේශන සේවයේ සේවය ලබාදීමට සූදානම් බවයි. එනම් මෙහිදී කාරණා දෙකක් නිගමනය කළ හැකිය. පළමු කාරණය පාසල විසින් දරුවා මානසික ආබාධයකින් පෙළෙනවා යැයි නිගමනය කිරීමය. නැතිනම් දෙවැන්න, පාසලේදී දරුවාට සිදූවූ හිංසාවන් හේතුවෙන් දරුවා යම් මානසික පීඩනයක සිටින බව නිගමනය කිරීමය. මෙයින් දෙවනි කාරණය තුළ පාසල සිටිනවා නම් තත්ත්වය බරපතළය. එනම් පාසල විසින් තමන් දරුවාට හිංසාවක් සිදු කළ බවට එහිදී සිදු කරන පිළිගැනීමයි. එසේ නම් දරුවකුට හිංසා කිරීමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙයම ප්‍රමාණවත් වනු ඇත.

ඒකපාර්ශ්විකයි

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඊට අදාළ මූලික කාරණාවක් වන්නේ එකී පරීක්ෂණයට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් එකී කාරණාවට අදාළව කරුණු විමසීමක් සිදු කිරීමයි. එහෙත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහිදී එකී මූලික කාරණාව පිළිබඳව හෝ සලකා බලා නැත. එනම් මෙහි වින්දිතයා වන දැරියගේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධව වන කිසිදු විමසා බැලීමක් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සිදු කර නැත. එසේ සිදු කළා නම් මේ කාරණාව පිළිබඳව සුළු හෝ අවබෝධයක් ලබාගෙන පාසල සමග යම්තාක් දුරකට හෝ සාධාරණ හා ප්‍රායෝගික එකඟතාවන්ට එළැඹීමට හැකියාව තිබුණි. ඒ නිසා මානව හිමිකම් කොමිසම වෙත අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අදාළ ලිපිය සාධාරණ පරීක්ෂණයකින් පසු ඉදිරිපත් කළ ලිපියක් නොවන්නේය.

වරද කාගෙද

අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද එම පරීක්ෂණයට අනුකූලව එහි වැරදිකරුවා කවුරුද යන්න ව්‍යංගයෙන් තහවුරු කිරීමට උත්සාහ ගෙන ඇති බව පැහැදිලි වේ. එකී ලිපියට අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල කිසිදු වැරැද්දක් සිදුකර නොමැති යැයි යන ස්ථාවරයක සිට කටයුතු කර ඇති බව පැහැදිලිය. ඒ බව තහවුරු වන්නේ එකී ලිපියේ අවසානයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) විසින් දියණිය නැවත කොළඹ මියුසියස් විද්‍යාලයේම අධ්‍යාපන ලැබීම යෝග්‍යය වන්නේ යැයි සඳහන් කිරීම මගිනි. අධ්‍යාපන අමාත්‍යාංශය මේ සිදුකර ඇති ක්‍රියාව සිංහ ලෙනකට ගොස් සිංහයන් සමග එකගතාවකට පැමිණ හා පැටියකු එයට ගෙන ගොස් දැමීම වැනි මෝඩ ක්‍රියාවකි. ඔබේ දරුවා යමකු විසින් හිංසාවට පත් කළහොත් නැවත ඔබට සිය දරුවා ඔහු වෙත යැවිය හැකිද?

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෞද්ගලික පාසල් අංශයේ ප්‍රධානියා වන මෙම සාකච්ඡාවට සහභාගි වී මානව හිමිකම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ පී. එම්. සලාහුදීන් නමැති අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණක් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබුණි. එසේ පරීක්ෂණයක් සිදු කළේ නම් ඔහුට මෙකී කාරණාව සම්බන්ධව නිවැරදි නිගමනයට ඒමට හැකියාවක් තිබුණි. එවිට ඔහුට එකඟතාවන්ට එළැඹීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් ඔහු එම අවස්ථාව හිතාමතාම මඟහැර ඇත.

එසේම අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) විසින් එකී ලිපියේ අවසානයේ සටහන් කරන්නේ මාපියන් විසින් දරුවා නැවත මියුසියස් විද්‍යාලය වෙත යැවීමට අකමැති නම් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මාපියන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉල්ලීමක් කර පුරප්පාඩු සහිත රජයේ පාසලක් ලබා ගැනීමට කටයුතු කළ හැකි බවයි. මෙහිදී අධ්‍යාපන අධ්‍යක්ෂ (පෞද්ගලික පාසල්) ගේ හැසිරීම අනුව මතුවන්නේ මෙහිදී වැරැද්ද කර ඇති පුද්ගලයා දරුවා බවයි. එනම් මෙහිදී ඔහු හැසිරෙන්නේ මෙකී සියල්ලට දරුවා හෝ මාපියන් වගකිව යුතු බවත් පාසල සම්පූර්ණයෙන් නිර්දෝෂී වන ආකාරයෙනුත්ය. එසේ නොමැති නම් උක්ත එකඟතාවන් තුනට එළැඹීමට හැකියාවක් නොලැබෙනවා සේම, දරුවා නැවත මියුසියස් විද්‍යාලය වෙත යැවීම වඩා යෝග්‍යය කාරණය ලෙස සඳහන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ ද නැත.
මෙකී ලිපියේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පවසන පරිදි පුරප්පාඩුවක් පවතින ඕනෑම රජයේ පාසලකට දරුවා යැවිය නොහැකිය. කවුරුන් කෙසේ තර්ක කළ ද ලංකාවේ පාසල් තවමත් සමාජ ප්‍රභේද මත වර්ග වී පවතී. ඒ නිසා මියුසියස් විද්‍යාලයට ගිය දරුවාට ඒ හා සමාන පාසලක් ලැබිය යුතුය. එසේ නොමැතිව ලංකාවේ පාසල් සියල්ල සමාන කැරෙන පුහු තර්ක ගෙන ආයුතු නැත. එසේ නොවන්නේ නම් සිදු වන්නේ පාසලෙන් තමාට සිදු කළ හිංසාවන් නිසා මානසිකව පීඩා විඳිමින් සිටින දරුවාට නැවත වතාවක් එය මානසික පීඩාවක් වීමය. එවිට දරුවාට තමා වැරැද්දක් සිදු කළා යැයි හැඟීමක් පහළ නොවනු ඇතැයි සිතන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් මානව හිමිකම් කොමිසම වෙත ලිපියකින් පසුගිය සිකුරාදා දින දැනුම් දීමක් සිදුකර ඇති අතර එහිදී ඇය සඳහන් කර ඇත්තේ මෙකී පරීක්ෂණය තමාට පිළිගත නොහැකි බවත්, එකී පරීක්ෂණය හරහා තමාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවත්ය.

අප දන්නා තරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත්තේ රටේ දරුවන්නේ අනාගත සුරක්ෂිත කරනු පිණිසය. එසේ නොමැතිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ව්‍යාපාරිකයන්ට මුවා වී රටේ දරුවන්ගේ අධ්‍යාපනය උකසට තබයි නම් එය එම දෙපාර්තමේන්තුවට උචිත නොවන්නා සේම රටේ හෙට දවසට ද එය විනාශකාරී වනු ඇත. ඒ නිසා මියුසියස් විද්‍යාලයෙන් හිංසාවට පත් වූ දරුවා නැවත එම විද්‍යාලයටම යැවීමට කටයුතු නොකර ඇයට ගැළපෙන වෙනත් පාසලකට යැවීමට කටයුතු කරනු ඇති බවට වන විශ්වාසයෙන් දැරියගේ මව තවමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙසට දෑස් දල්වාගෙන සිටී.