19 සංශෝධනයෙන් මානව හිමිකම් තහවුරු වුණා – ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ

නිමල් අබේසිංහ

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සකස් කළ කණ්ඩායම නව දෙනෙක්ගෙන් සමන්විත වුණා. ඔවුන් ලෝකයේ වෙනත් වෙනත් සංස්කෘතීන්වල එකතුවක්. මේ අද මතු වන ගැටලු කිසියම් ආකාරයකින් මේ ලේඛනය සකස් කිරීමේදීත් මතු වුණා.මේ කණ්ඩායමට අවශ්‍ය වුණා ලෝකයේ සියලුම රටවල් පිළිගන්න විදියට මේ විශ්ව ප්‍රකාශනය සකසන්න.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් හැකි වුණා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එක්කෙනෙක් හැර අනෙක් සියලුම දෙනාගේ ඒකමතිකභාවය ලබා ගන්න. අද පාර්ලිමේන්තුවෙන් පිට දේශපාලන වේදිකාවේ විශේෂයෙන්ම මුඛ්‍ය වශයෙන් මතු කරන ප්‍රශ්නය තමයි මේ ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා තිබෙනවා. ඒ නිසා ජනතාවට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගන්න තිබෙන අයිතිය ජනතාව ඉල්ලුවා කියන විදියට තමයි මේ පාර්ලිමේන්තුව හැසිරෙන්නේ.

මැතිවරණයක් ලෙස අපි හඳුන්වන්නේ දේශපාලනමය වශයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමයි.මේක අපි පරමාධිපත්‍යයේ කොටසක් වශයෙනුත් හඳුන්වනවා. මේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය සාමකාමීව ප්‍රකාශ කිරීමට ඉඩ තිබිය යුතුයි කියලත් අපි පිළිගන්නවා. පෙඩරල් ක්‍රමය ගැන වෙන්න පුළුවන් වෙනත් මතයක් වෙන්න පුළුවන් ඒ මතය තිබෙන අයට ඒ මතය කියන්න ඉඩ තිබිය යුතුයි. ඒ මතය සඳහා භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තිබෙනවා. එතකොට අපි ආගමික වශයෙන් නොයෙකුත් ආගම්වලට අයත් හෝ ආගම් විශ්වාස කරන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒත් අපේ හාමුදුරුවරු හැසිරෙන ආකාරය ගැන කතිකාවතක් සමාජයේ ඇති වෙන්න ඕනේ. ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න කෙනකුට අයිතියක් තිබෙනවා. ඒ වගේම හමුදා බුද්ධි අංශවල අය යොදවලා විවිධ දේවල් කෙරුවා. ඒවා ගැන කෙනකුට සිතේ අදහසක් ඇති වුණහම ඒ ගැන කතා කරන්න අයිතිය තිබෙන්න ඕනේ. ඒ වගේම යුද්ධය පිට දාලා වෙච්ච ඝාතන දෙපැත්තටම වෙච්ච හානි, උතුරේ හෝ දකුණේ වේවා සිදු වන ඝාතන ගැන කතා කරන්න අයිතියක් තිබෙනවා. අද ඒ දේ කතා කරනකොට අපි දකින ප්‍රධාන දෙයක් තමයි මහජන නියෝජිතයින් යම් කිසි කොටසක් සිංහලෝත්තමවාදී මතයක සිටිනවා. ඒ නිසා මම කැමතියි ඒ ගැන උත්තරයක් දෙන්න. එය මගේ වචන වලින් නොවෙයි. අපි දන්නවා දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂික හමුදාවල අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කළේ අයිසන් හවර් කියන ජෙනරල්වරයා. ඔහු පසුව ඇමරිකාවේ 34 වැන ජනාධිපතිවරයා වුණා. ඔහුට ඉතා ගෞරවණීය පිළිගැනිමක් තිබුණා. ඔහුගේ මව යුද්ධය පිළිබඳ ඉතාම විරෝධාකල්ප මතයක් තිබුණ කෙනෙක්. අයිසන් හවර් අවුරුදු 15, 16 දී මව එතුමාට බලන්න දුන්නේ යුද්ධයෙන් ලෝකයට වෙච්ච විපාකයන් ගැනයි. ඔහු පසු කලෙක මිත්‍ර පාක්ෂික හමුදාවේ අණ දෙන නිලධාරියා වුණා. යුද්ධය ජයග්‍රහණය කළාට පසු ඔහු දේශපාලන ලෝකයට අවතිර්ණ වුණා. ඔහු දිහා ලෝකය බැලුවේ ඉතාමත් වැදගත් මහත්මයෙක් ලෙසටයි. තම ජාතියේ සාරධර්ම හා ඉදිරියට ගෙන ගිය යුතු වරප්‍රසාද තවත් ජාතියක් යටපත් කිරීම විපතක් කියා ඔහු කියනවා. අද තමන්ගේ ජාතිය සිංහල බෞද්ධ කියලා කතා කරන උදවිය ඔක්කොම කරන්නේ විපතකට රට ඇද දැමීමයි.

අද කාටද මැතිවරණය ඕනේ. මම දන්න විදියට මැතිවරණය ඕනේ බලය නැතිව සිටින උදවියටයි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා එකක් තියනවා. ඒකේ තිබෙනවා මැතිවරණයක් තැබිය යුතු ආකාරය. ජනාධිපතිවරණය අවුරුදු පහකට වරක්. මහ මැතිවරණයකුත් අවුරුදු පහකට සැරයක් තිබෙනවා. අවුරුදු හතරහමාරකට පසුව ජනාධිපතිවරයාට මැතිවරණයක් තියන්න පුළුවන්.

අපි හිතනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්න ඕනේ ජනාධිපති, පාර්ලිමේන්තුව විතරයි කියලා. එහෙත් ජනතාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැඳී සිටිනවා. ඒ නිසා ජනතාවට අයිතියක් නෑ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඉල්ලීමක් කරන්න. එහෙම නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා නම් මැතිවරණයකට යන්න. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ කොටස වෙනස් කරන්න වෙනවා.

සමහර වේලාවට අපි හිතන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩිය උඩින් ඉන්නේ ජනතාව, එහෙම එකක් නෑ. ජනතාවට පරමාධිපත්‍ය තිබුණාට ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ නීතිය අනුව.
මේ දවස්වල ටි්‍රවිටර් මැසේජ් වලින් සමාජ ජාලා වලින් මැසේජ් එනවා මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතුගා දැමිය යුතුයි කියලා. 19 නැත්නම් මොකද වෙන්නේ කියලා බලමු.

ප්‍රධාන කාරණා 10ක් තිබෙනවා. එක, ජනාධිපතිට අගමැතිවරයා ඉවත් කරන්න බලය ලැබෙනවා ආපහු. දෙවැනි කාරණය ඕනෙම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපතිට බලය ලැබෙනවා. ඒක සමහරවිට අපට නොතේරෙන්න පුළුවන්. මොකද ජනාධිපතිවරයා පත් වෙන්නෙත් ඡන්දෙන්. අගමැතිවරයා පත් වෙන්නෙත් ඡන්දෙන්. ඡන්දෙන් පත්වුණු කෙනකුට තවත් ඡන්දෙන් පත් වුණු කෙනකු ඉවත් කරන්න බෑ. තුන, ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු හයක් කිරීම. හතර, මානව හිමිකම් කොමිසම ඇතුළුව ස්වාධීන කොමිසම් ප්‍රබල ලෙස ස්ථාපනය වීමේ සිද්ධාන්තයක් 19 ට ඇතුළු වුණා. මේ කොමිසමකට සමාජිකයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත් කර යැව්වහම ජනාධිපතිට ඒක ස්ථීර නොකර ඉන්න විධියක් නෑ. පුළුවන් එකම දේ නැවත ආපසු එවීම. නැවතත් එව්වොත් පත් නොකර ඉන්න බෑ. නොකළොත් දවස් 14 කට පස්සේ පත්වීම ස්ථීර වෙනවා. පස්වැනි කාරණය පොලිසිය ස්වාධීන කිරීමේ හැකියාවක් තිබෙනවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. කලින් පොලිසිය ලව්වා හැම තිස්සෙම නීතිය ආරක්ෂා කිරීමට වඩා නීතිය නැති කරන එකයි කෙරුණේ. අයි. පී. නිශාන්තද සිල්වා සී අයි ඩී එකෙන් මාරු කරපු අවස්ථාවේ මිනිස්සු පාරට බැස්සා. ජනාධිපති ගත්තු තීන්දුව එතුමාට අකුල ගන්න සද්ධ වුණා. ඊට පස්සේ හමුදා සේවයේ ඉඳලා නීතිඥයකු වුණු අයෙකුත්, පාර්ලිමේන්තුවේ එහාට මෙහාට පැනපු අයකුත් කියලා තිබුණා මේ නිලධාරියා දෙමළ කියලා. එතකොට මේ ජාතිය අදින්නේ මොකටද? කෙනෙකුට අභියෝග කරන්න දෙයක් නැතිනම් ඇදගන්නේ ඔහුගේ ජාතිය හෝ ආගම ගැන. පොලිස් ඉතිහාසය තුළ රහස් පොලිසිය ඉතාම ස්වාධීනව කටයුතු කළේ මේ කලයේදියි. හය වැන්න, ස්වාධීන මැතිවරණ කොමිසම. ස්වාධීන මැතිවරණ කොමිසම කොතරම් සාධාරණ ද කියනවා නම් ජනාධිපතිවරයාට ඕන වෙලාවට මැතිවරණ තියන්න බැරි බවට එක සමාජිකයකු උසාවියට ගිහිල්ලා අභියෝග කළා.

ඊළඟ කාරණය අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයාට ඕන විදියට පත් කරන්න නොහැකි වීම. ඉස්සර විධායක ජනාධිපතිවරයාට පුළුවන් තමන්ට ඕනේ පුද්ගලයෙක් පත් කරන්න. දැන් ඉන්න ජනාධිපතිවරයාට ඇමතිකම් තුනකුත් තියාගන්න පුළුවන්. ඒත් ඊළඟ ජනාධිපතිවරයාට ඇමතිකම් එකක්වත් තියාගන්න බෑ. ඒ නිසා ඔහු රාජ්‍ය නායකයා පමණයි. මෑත කාලයේදී මානව හිමිකම් හා පාර්ලිමේන්තුවේ අධීක්ෂණය ඉතාම සිඝ්‍රයෙන් වැඩි වීමට හේතුවක් තමයි මේ බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබීම. අවසාන කාරණය ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න නොහැකි වීම. මේ බොහෝ කාරණා මානව මිහිකම් වලට බද්ධ වෙච්ච කාරනා විදියටයි කියන්න තිබෙන්නේ.

මම කාරණා තුනක් මානව හිමිකම් දිනය වෙනුවෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. අද සුවිශේෂ මානව හිමිකම් බද්ධ වෙච්ච අපරාධ නඩු රාශියක් විභාග කරන්න මේ අවස්ථාවේ ඉඩ සැලසිලා තිබෙනවා. ඒ නිසා පොලිසියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රධාන වගකීමක් අපට තිබෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනතාවට. දෙවැනි ඉල්ලීම තමයි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයේ ලොකු වගකීමක් මාධ්‍යට තිබුණත් ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ප්‍රවෘත්ති විකාශනයක් දිහා බැලුවහම ඒක සිදු වන්නේ නැති බව පේනවා.

ඒ වගේම උඩුගම්බලා පීනමින් මානව හිමිකම් වෙනුවෙන් ඉතාමත් වැදගත් කාර්යයක් කරන ජනමාධ්‍යවේදීන් ඉන්නවා. මම හිතන්නේ ඔවුන් ආරක්ෂා කිරීම වගේම මේ අනෙක් ජනමාධ්‍ය ඔස්සේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ අපි එළිපිට කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ජාතිවාදි මඩගොහොරුව ව්‍යාප්ත කරන්නේ ජනමාධ්‍ය තුළින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සිය කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක තේරුම් ගන්න විශාරදයින් ඕනේ නෑ. අපොස උසස් පෙළ දේශපාලන විiාව 13 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ පොතේ ඒක තිබෙනවා. 19 වැනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වීමෙන් වසරක් ගිය විට විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබුණා. 19 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එහි නිල කාලය වසර 4 1/2ක් යාමෙන් පසුවයි. ඒක ඉතා පැහැදිලි කාරණයක්.

(මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වූ දේශනයකිනි.)