60%ට වඩා ණය ඉහළ යෑම අනතුරුදායකයි. මහාචාර්ය ලලිත් සමරකෝන් මහ ලේකම් – ජාතික ආර්ථික සභාව

සංවාදය – වින්ද්‍යා ගමගේ

පසුගිය කාලයේ ආර්ථිකය සම්බන්ධව විශේෂයෙන්ම කතාබහට ලක්වුණේ රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ණය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළ අගයකට වැටීම පිළිබඳවයි. මූඩීස් දර්ශකය (Moody’s) ෆිච් දර්ශකය  (Fitch) සහ ස්ටෑන්ඩර්ඞ් සහ පුවර්ස් දර්ශකය (Standard and Poor’s) යන ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක අතුරින් පළමුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙළනු ලැබීය.  මූඩීස් දර්ශකය මගින් B1 සිට B2 දක්වා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් අගය පහත දැමීය. අනෙක් ආයතන දෙක B+ සිට  B  දක්වා ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබුණි. මූඩීස් ආයතනයේ B1 යන්න අනෙක් ආයතන දෙකෙහි B+  යන්නටත්, මූඩීස්  B2 යන්න අනෙක් ආයතන 2 මගින් B යන්න ලෙසටත් සමානවෙයි. ඒ අනුව මේ ආයතන තුනම එකම ආකාරයෙන් ණය ශ්‍රේණිය පහත දැමීමක් සිදුවිය.

රුපියලේ අගය අවප්‍රමාණය වීම හා ණය ශ්‍රේණිය පහළ දැමීම යන කරුණු දෙක අද ඉස්මතු වී තිබේ. ඉහත සිදුවීම් දෙකටම අදාළ හේතු එක් අතකින් සම්බන්ධයි. රුපියලේ අගය පහත වැටීමට බාහිර කරුණු ලෙස ඇමරිකාවේ මහ බැංකුව (Federal Reserve Bank ) විසින් පොලී අනුපාතිකයන් ඉහළ දැමීම හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ විනිමය අනුපාතිකයන්ගේ අවප්‍රමාණයකට එය හේතුවිය. මෙය ගෝලීය සාධකයක්. මෙය අලුත් දෙයක් නොවේ. මෙය ඇමරිකාව විසින් 2015 දෙසැම්බර් මාසයේ සිටම මේ දක්වා 8 වතාවක් ඉහළ දමනු ලැබීය. එය අපට පුදුමවීමට කාරණයක් නොවේ. මන්ද එය අප 2015 සිට හොඳාකාරවම දැනගෙන සිටි දෙයක්. ඒ සඳහා පෙර සූදානමක් මේ රටේ තිබුණා නම් ඒ තුළින් ඇතිවූ බලපෑම මීට වඩා අඩුකර ගැනීමේ හැකියාව තිබුණි.

එහිදී මේ සඳහා බලපාන දේශීය එනම් අභ්‍යන්තර කරුණු වැදගත් වෙයි. දේශීය වශයෙන් ගත් විට අපේ රටේ ආර්ථිකය කාලයක් තිස්සේම නිධන්ගත රෝගවලින් පෙළෙන ආර්ථිකයක්. එනම් මෙම දේශීය හෙවත් අභ්‍යන්තර කරුණු අද ඊයේ, වසරක කාලයක් වැනි පරාසයක ඇතිවූ ගැටලු නොවේ. ඒවා ව්‍යුහාත්මක ගැටලු  (Stroctoral Problems) ලෙස හැඳින්විය හැකියි. මෙම ව්‍යුහාත්මක ගැටලු දිගු කාලයක් තුළ නිර්මාණය වූ ඒවා ලෙස දැක්විය හැකියි. අයවැය පරතරය ඉහළ යෑම, ගෙවුම් ශේෂ හිඟය ඉහළ යෑම මේ අතර ප්‍රධානතම ව්‍යුහාත්මක ගැටලු ලෙස දැක්විය හැකියි. මේවා ද්විත්ව හිඟයන්  (Twin Deficit) ලෙස හඳුන්වයි. පසුගිය වසරේ රටේ ආර්ථිකය වර්ධනය අඩුවීම නිසා මෙහි බලපෑම තවත් වැඩිවිය. 2017 වසරේ 3.3%ක් ලෙස වාර්තා වූ ආර්ථික වර්ධන වේගය බොහෝ කාලයකට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගයයි. මේ කරුණු ත්‍රිත්වය පවතින රටවල වැඩි වශයෙන් විනිමය අනුපාතය අවප්‍රමාණයකට ලක්වේ. ශ්‍රී ලංකාව එම සාධක තුනම සම්පූර්ණ කළ රටකි.
එනිසා ශ්‍රී ලංකාව වැනි රටකට ලෝක ආර්ථිකයේ කම්පනයක් ඇතිවන විට සහ කලින් කී ලෙස නිධන්ගත රෝග පවතින විට ඒවායේ බලපෑම වැඩිපුර දැනේ. එනම් ලෝක ආර්ථිකයේ බලපෑම අපට වැඩිපුර බලපානුයේ අප රටේ පවතින මූලික ගැටලු නිසයි. පසුගිය වසර තුන තුළත් මෙම නිධන්ගත රෝග/ගැටලුවල විශාල වෙනසක් ඇතිවූයේ නැත. එපමණක් නොවේ ආර්ථික වර්ධනයත් අඩු විය. මේ පවතින රෝගය තවත් උත්සන්නවීමට රටේ ණය තත්ත්වයන් බලපාන ලදි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 78%ක් පමණ රාජ්‍ය ණය තිබේ. මුළු ණය ප්‍රමාණයෙන් 51%ක් පමණ දේශීය ණය වන අතර ඉතිරිය විදේශීය ණයයි. 2014 අග සහ 2018 දැනට තිබෙන ණය සංසන්දනය කළහොත් 2014 අග වනවිට මුළු ණය රුපියල් බිලියන 7391ක් වන අතර, 2018 සැප්තැම්බර් අග වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 11,271ක් වේ. එවැනි තත්ත්වයක් පවතිද්දී එය පැහැදිලිවම බාහිර කම්පනයේ බලපෑම තවත් වැඩි කිරීමට බලපායි. මුළු ණය ප්‍රමාණයෙන් 49%ක් විදේශීය ණය ගණයට අයත් වේ. එනම් 2014 අග වන විට බිලියන 3113ක්ව තිබූ විදේශීය ණය 2018 සැප්තැම්බර් අග වන විට බිලියන 5469කට වැඩිවී තිබේ. මේ නිසා 2019-2023 වසර 5 තුළදී ශ්‍රී ලංකාවට වර්ෂයකට ඩොලර් බිලියන 5ක පමණ විදේශීය ණය ගෙවීම් කිරීමට සිදුවේ. සාමාන්‍යයෙන් ආර්ථිකයක ණය ප්‍රමාණය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%කට වඩා වැඩි වන විට එය අනතුරුදායක යැයි කියැවේ.

විදේශ ණය ගෙවීමට නම් යම් පමණකට අලුතෙන් ණය ගැනීමට සිදුවනු ඇත. මෙම තත්ත්වය මා මුලින් කී මූලික ආර්ථික ගැටලු හා අභ්‍යන්තර දේශපාලන කම්පනය යන සියලු හේතු එක්ව ගත් කල, ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කිසියම් අභියෝගාත්මක තත්ත්වයක් ඇතිවීමට අවශ්‍ය සියලුම සාධක අප විසින් සම්පූර්ණ කරගත හැකි බව කිව හැකියි.
එලෙසම සංචාරක ව්‍යාපාරය අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් වන නිසා විදේශිකයන්ගේ පැමිණීම මධ්‍යකාලීන හා දිගුකාලීනව අසුවීමක් සිදුවෙනවා නම් එය පැහැදිලිවම ආර්ථිකයට අහිතකර වේ.

අප අපනයනය මූලික ආර්ථිකයක් වන නිසා ආර්ථික සම්බාධක ඇති නොවන ආකාරයට කටයුතු කිරීමත් මෙහිදී වැදගත් වෙයි.
මෙම ගැටලු විසඳීම යම් තරමක අපහසු දෙයක්. මේ රටේ ආර්ථිකමය වශයෙන් ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න දිගු කාලයක් තිස්සේ ඇතිවූ ඒවායි. ඒ සඳහා ගත යුතු පිළියම් අපට කෙටිකාලීන හා දිගුකාලීන ලෙස දැක්විය හැකියි.

කෙටිකාලීන වශයෙන්, ඇමරිකාව විසින් සිය පොලී අනුපාත වැඩි කිරීම ඉදිරියේදී නිරන්තරයෙන්ම සිදුවන්නක්. මේ වසරේ දෙසැම්බර් මස 19 වැනිදාත් නැවතත් පොලී අනුපාතිකය වැඩි කිරීමට හැකියාව තිබේ. එපමණක් නොවේ ලබන වසරේත් තුන් වතාවක් ඇමරිකාව විසින් පොලී අනුපාත වැඩි කරන බව සඳහන් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ මේ ආර්ථික අභියෝග සඳහා කෙටිකාලීනව මුහුණදීමට නම් අප රට තුළ යම්කිසි සැලැස්මකට ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

විදේශ ආයෝජකයන් අපේ රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය කර තිබේ. එහෙත් අනෙක් රටවල පොලී අනුපාතිකයන් වැඩිවන විට එම රටවල ඔවුන්ට වඩා හොඳ ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇති නිසා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ මුදල් ඒ රටවලට රැගෙන යාහැකියි. ඒ නිසා අප රටේ ප්‍රාග්ධනය බාහිරට ගලා යෑම නිසා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ හැකියාවක් තිබේ. එවැනි අවස්ථාවකට මුහුණදීමට නම් අප කෙටිකාලීනව විදේශ සංචිතවලින් ශක්තිමත් විය යුතුයි. අපට දැනට තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වන අතර මාගේ මතය නම් එය ඩොලර් බිලියන 14ක් වත් ලෙස වර්ධනය කළ යුතු බවයි. මේ අවස්ථාවේ මහ බැංකුව හා රජය ණය පහසුකම් ලබාගැනීම ආදී ක්‍රම තුළින් රටේ සංචිත වැඩිකර ගැනීමෙන් ආර්ථික අර්බුදයකට මුහුණදීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. එය ඉතාම වැදගත් දෙයක්.

එසේම මේ රටට ලැබිය යුතු එහෙත් අපනයනකරුවන් විසින් මෙරටට නොගෙනෙන විදේශ විනිමය (එනම් රුපියල අවප්‍රමාණය වීම නිසා ඔවුන් විදේශ විනිමය රටට ගෙනඒම පමා කරනවා) මෙරටට සාධාරණ කාලයක් තුළ අයකර ගැනීමේ හරියාකාර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. ඒ සමගම විදේශ ප්‍රේෂණ (Foreign Remittances) එනම් මිනිසුන් පිටරට සිට මෙරටට එවන මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා කිසියම් දිරිමත් කිරීමක් කළ යුතුයි. අනේවාසික විදේශ මුදල් ගිණුම්වල පොලී වැඩි කිරීම, එසේ මුදල් ගෙන ඒම සඳහා ඔවුන්ට වෙනත් සහන ලබාදීම තුළින් එම ඍජු ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීම කළ යුතුයි. කළ යුතුම තත්ත්වයකට පැමිණියහොත් අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම පිළිබඳ කිසියම් සීමා පැමිණීමකට යොමුවීමට රජයට සිදුවිය හැකියි. මේ කෙටිකාලීන ක්‍රියාමාර්ගයි. ඒවා සීමිතයි.
මා කලින් කියූ ආර්ථික ගැටලු විසඳා ගැනීමට නම් දිගුකාලීන වශයෙන් මෙරටේ ආර්ථික වර්ධනය 8%ක්වත් විය යුතුයි. එනම් ආර්ථික වර්ධනය දැනට තිබෙන 4%ට ආසන්න ප්‍රමාණය මෙන් දෙගුණයක්වත් විය යුතුයි. එසේ වුවහොත් අප රටේ මූලික ආර්ථික ගැටලු විසඳිය හැකියි. එසේ වර්ධනයක් අත්කර ගැනීමට නම් නිෂ්පාදනයක් කර එය අපනයනය කළ යුතුයි. අපනයන මූලික දැවැන්ත වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. එසේ අපනයන නිෂ්පාදන කිරීමට නම් මුලින්ම අප රටට විදේශ ප්‍රාග්ධනය ගලා ආ යුතුයි. විදේශ ප්‍රාග්ධනය මෙරටට ගෙන ඒමට නම් දැනට වඩා විදේශ ආයෝජකයන් දිරිමත් කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒ සඳහා දැනට තිබෙන ආයෝජන මණ්ඩලය මෙයට වඩා ආයෝජකයන් දිරිගන්වන, යහපත් ක්‍රමයක් ඇති කළ යුතුයි. එසේම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට කඩිනමින් ඔවුන්ගේ ආයෝජන රට තුළට ප්‍රවේශවීමට අවස්ථාව ලබාදිය යුතුයි. අද අප රටට ආයෝජකයන් පැමිණියත් ඔවුන්ගෙන් එම ප්‍රයෝජන ලබාගැනීමට තරම් අපේ ආයතනික රටාව දියුණු වී නැත. එනිසා දිගුකාලීන වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම, ඔවුන්ට පහසුකම් සැලසීම, ඔවුන්ට දිරිගැන්වීම සඳහා ආයෝජන මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකර, යහපත් කළමනාකරණයක් ඇති කර, වර්තමානයට උචිත ලෙස වෙනස් විය යුතුයි. එසේ නොකර විදේශ ආයෝජකයන් ගෙන්වා ගත නොහැකියි. ඒ වගේම අප රටේ දේශීය ආයෝජකයන් හා දේශීය කර්මාන්ත දිරිගැන්විය යුතුයි.

අපේ රට සම්පූර්ණයෙන්ම විදේශ ආයෝජන හා අපනයන මත රඳා පැවතීම ආර්ථික වශයෙන් අවදානම්කාරී තත්ත්වයක් ඇති කරයි. එනිසා සමබර, තුළනාත්මක ආර්ථික සංවර්ධනයක් සඳහා සැලසුම් සකස් විය යුතුයි. දේශීය ආර්ථිකය කවර මට්ටමකින් දිරිගැන්විය යුතුද, විදේශීය වෙළෙඳාම කවරාකාරයකින් දියුණු කරගත යුතුද යන්න පිළිබඳව සූක්ෂ්ම සිතා බලන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රමවත්, විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. ක්‍රමවත් ආර්ථික සැලසුමක් මත ආර්ථික කළමනාකරණයක අවශ්‍යතාව සපුරාලීමට ජාතික ආර්ථික සභාව පිහිටුවා තිබේ. කවර ආණ්ඩුවක් පැමිණියත් ප්‍රතිපත්තිමය මට්ටමින් කටයුතු කරන ආයතනයක් අවශ්‍යයි.

නිදහසෙන් පසුව මේ දක්වා නියමාකාර ආර්ථිකයක් මේ රට තුළ ඇති නොවුණේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ ගැටලු හේතුවෙනි. ඒ පරතරය පිරවීමට, විශේෂඥයන්ගෙන් සමන්විත, දේශපාලනයෙන් තොර වෘත්තීමය ආයතනයක් ලෙසයි ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තීරණය වූයේ. ආර්ථික අභියෝගවලට මුහුණදීමට නම් ශක්තිමත්, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්ති සහිත ආයතනයක් අවශ්‍යයි. අප ආයතනය එසේ සකස් වී තිබෙනවා. ජනාධිපතිවරයා ආර්ථික සභාවේ නිල වශයෙන් සභාපතිත්වයට පත්වනවා. ආර්ථික සභාව ජනාධිපතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට වාර්තා කරයි. එනිසා ආර්ථික ප්‍රතිපත්ති ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීමට අපට ඉහළම මට්ටමින් බලතල තිබෙනවා. එවැනි දිගුකාලීන චින්තනයකින් තොරව දැනට තිබෙන ආර්ථික ගැටලු විසඳා ගැනීමට අපහසුයි.