දුම්රිය කෞතුකාගාරයේ
දොරගුළු හරිමු
ටිරන් කුමාර බංගගමආරච්චි
ඡායාරූප – අසංක රූපංජන

සරු පොළොවක ඉසිනු පිණිස සුරැකිව මිට මොළවා ගත් බිජුවට ඇති දෑත් තැන් තැන්වලදී අපට හමුවේ.
ටෙක්නිකල් හන්දියේ පැරණි දුම්රිය ගබඩාව නවීන කර සරු ඵල නෙළන්නට බිජු වපුරනු ලබන එවන් දෑත් නොබෝදා දුටුවෙමු. වැඩි සද්ද බද්දයක් නැතිව සිදුවන මේ වැඬේ අනාගතයේ ලොකු සද්දයක් උපද්දවනු නියතය.

‘Railway Museum’  (දුම්රිය කෞතුකාගාරය) එයට ඇති නමය. ආරුක්කු හැඩයක ආරකට ඇස් දකින ගොඩනැගිල්ලේ මුහුණත වසාගෙන තවමත් ඉදිකිරීම්වලදී යොදන දැලකි. මේ ආවරණය අහකට කළ කල අනාවරණය වන්නේ ‘සංරක්ෂණය’ සහ ‘ආරක්ෂණය’ පිළිබඳ පාඩමය. එහි වැදගත්කමය. වටිනාකමය.

දුම්රිය කෞතුකාගාරයක් කුමකටද? එවැනි ප්‍රශ්නයක් කිසිවකු නොඅසනු ඇත. මන්ද දුම්රිය ඒ තරමට මේ සමාජයේ සංස්කෘතියක් නිර්මාණය කර ඇති බැවිනි. ප්‍රවාහනය දෙස බලන කල දුම්රිය ගමන යනු සැබැවින්ම චාරිකාවකි. මේ නිසා දුම්රිය කෞතුකාගාරයක් ඉදිකිරීම යන්නම අනාගත ඉතිරියකි. මේ ඉතිරියට අත පොවන්නේ මහජන බැංකුවය. ඒ ඔවුන් සතු ධනය පරිත්‍යාග කරමිනි. එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙහිදී කිසිදු වැයක් සිදු නොවේ. ඉදිකිරීම් සිදු කරනුයේ නාවික හමුදාවේ ඉංජිනේරුවන්ය. අධීක්ෂණය දුම්රිය කෞතුකාගාර කමිටුව මගිනි. කමිටුව මහජන බැංකුව, අමාත්‍යාංශ නිලධාරී, දුම්රිය සාමාන්‍යාධිකාරි, අගමැති කාර්යාලය, කෞතුකාගාර නිලධාරීන්ගෙන් සමන්විතය.

සැබැවින්ම මෙය විනිවිදව සිදුවන විධිමත් වැඩකි. එළියේ සිට තේ කෝප්පේ කුණාටු දකින අයට එහි ඇතුළට ගියහොත් සියල්ල නිරාවරණය කරගත හැකිය. එහි සියලු වැඩ විනිවිදය. අප එය කියනුයේ අත්දැකය.

අපේ දුම්රිය සේවය යනු සාඩම්බර ඉතිහාසයකි. එහෙත් එහි බොහෝ කරුණු කාරණා වැළලී ගොස්ය. එය නිරන්තර අධ්‍යයන මගින් සොයා පාදා ගත යුතු ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයකි. එබැවින් දුම්රිය කෞතුකාගාරයක් යන්නම ඊට ඇති කදිම විසඳුමය. මේ කෞතුකාගාරය ඉදිවන්නේ මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි පැරණි දුම්රිය ගබඩාවේය. අද එයට නව පණදී ඇත්තේ ගබඩාව සලකුණක් හෝ නැති ලෙස අපූරු අභිමානයක් ජනිත කරමිනි. කිසිවක් වෙනස් කොට නැත. සිදුකර ඇත්තේ එයට නව මුහුණුවරක් දීමය.

දුම්රිය කෞතුකාගාරයක අවශ්‍යතාව උපදින්නේ අද ඊයේ නොවේ. එහෙත් එම අදහස වදන්නට සෑහෙන කාලයක් කා දමන්නට සිදුවූයේ නිසි සහයක් ඊට නොලැබුණ නිසාය. මේ කෞතුකාගාරයේ වැඬේ පුරෝගාමියකු ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා හැඳින්විය හැකිය. අද ඔහු ආයෝජන මණ්ඩලයේ සභාපතිය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාය. ආරක්ෂක ලේකම්වරයාය. ඒ සියල්ල හකුළා පසෙක තැබුවත් ඊට වඩා බර ඔහුගේ කෝච්චි ප්‍රේමයය. ඔහු සතු මේ දුම්රිය ආලය නිම නොවන පෙමකි. ඔහු මීට පෙරද දුම්රිය කෞතුකාගාරයක් හදන්න සිය සහය ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිගෙන් ගත්තා මතකය. රත්මලාන වැඩපොළෙන් අක්කර දෙකහමාරක ඉඩක් ඊට ලැබුණාද මතකය. එහෙත් මොකද්දෝ කරුමයකට මීට පෙර එයට දැමූ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප විය. මුදල් වෙන් නොවීය. එහෙත් ඔහු එම උත්සාහය අත නොඇරියෝය. ඒ අන් කිසිවක් නිසා නොව කෝච්චි කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමය සහ භක්තිය නිසාය. මහජන බැංකුව තම ධනයෙන් රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිත්‍යාග කරන ආධාර හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකු සභාපතිවරයා ලෙස සිටියදී දුම්රිය කෞතුකාගාරයකට යොදවනුයේ එයද ජාතික අවශ්‍යතාවක් ලෙස සලකාය. ඔහුගේ කෝච්චි කැමැත්ත වෙනකකි. ඒ නිසා මෙය කිසිවකු ඔහුගේ බූදලයක් ලෙස නොගත යුතුය. ඔහුගේ කැමැත්තෙන් කැපවීමත් අවසානයේ එකතු කරනුයේ ජාතික ඉතිරියක්ව නම් අවැසි එපමණය. මෙය ඔහුට රැගෙන යා හැකි දෙයක් නොව ඔහුට ඉතිරියක් වේ නම් එය ඔහුගේ මානසික සංතෘප්තියට විනා වෙන කිසිවක් නොවනු ඇතිය.

දුම්රිය කෞතුකාගාරය ගැන ලියන්නට ගෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගැන ලියනුයේ ඇයිද යන්න මින් ටිකක් පැහැදිලිය. එනම් මේ ව්‍යාපෘතියේ පුරෝගාමියා ඔහුය. මේ දුම්රිය කෞතුකාගාරයේ කමිටුවේ සභාපතිවරයා ඔහුය. ඒ නිසාම බොහෝ අය මේ දෙස වපර ඇසින්ද බලනු නියතය. ඊට හේතුව මෙය ඉදිරියේදී පෞද්ගලික සමාගමකට හිමිවේද යන්නය. දැනට ඇති එකම සහතිකය එය එසේ නොවන බවය. මේ තාක් ඉතිහාසයක් තුළ දුම්රිය කෞතුකාගාරය දෙකක් මෙරට තිබුණි. ඒ කොළඹ සහ කඩුගන්නාවේය. එහෙත් ඒවා නටඹුන් ලෙස පෙනුණමුත් මිනිස් පහස ලබන ස්ථාන නොවූයේ ඇයි? ඒ ඒවාට නිසි ක්‍රමවේදයක් නිසි සැලැස්මක් නොතිබුණ නිසාය. අනෙක් අතට නිසි ප්‍රමිතියක් නොතිබූ නිසාය. එසේ නම් යමක් කළයුත්තේ ඊට කැමැත්තෝමය. නොනිමි ආශාවෙන් පෙළෙන්නෝමය. එවිට එය සාර්ථක වන්නේය. මෙවර හේමසිරි ප්‍රනාන්දු මහතාගේ කමිටුව හරහා ගොඩ නගන්නට උත්සාහ කරන්නේ එවන් අඩුපාඩු රහිත එක ජාතික දුම්රිය කෞතුකාගාරයකි. තැන තැන ඇති දුම්රිය සාප්පු වෙනුවට ලොව පිළිගත් ක්‍රමවේදයක් සහිත කෞතුකාගාරයකි. වැඬේ නිමවීමෙන් පසු එය ජනතා සන්තකය රජය සතු මහඟු දේපළක්ය. අනාගතය සතු මහඟු දායාදයක්ය. ප්‍රනාන්දු මහතාට ඉතිරි වුවහොත් ඉතිරි වන්නේද ඔහුගේ නමද කෞතුකාගාර ගතවීම පමණය. එය ඔහු නොව කවුරු කළද ඉතිරි වන්නකි. ඊට කුහකවීම උචිත නොවේ. තමන් කැමති දෙයකට දායකවීම මිනිස් ගතියකි. එයින් වන යහපත විනා වැරදිම දැකීම නොවටී. මෙරට දුම්රිය වංශ කතාව හෙන්රිවෝඞ් ආණ්ඩුකාරවරයා ආරම්භ කළැයි අපට අද ඔහු සමග දොසක් වේද?

අවුරුදු 150ක් වයසැති දුම්රිය ඉතිහාසය එක තැනක ගාල් කරනවාට එය ජාතික කෞතුකාගාරයක් ලෙස ඉදිකරනවාට දුම්රිය ළැදි කිසිවකු උරණවන්නේ නැත. එහෙත් ඉහත ටික ලීවේ පුද්ගල චරිතයක් ඉස්මතු කොටගෙන මෙයට අකුල් හෙළිය හැකි බැවිනි. ඒ මේ රටේ හැටිය. විරුද්ධවීමද උපන් ගතියක් වන බැවිනි.

අනාගතයේ මෙසේ විය හැකියැයි කියා වැඩට බාධා කිරීම නොකළ යුත්තකි. ඒ වෙනුවට එය රටට වැදගත් දෙයක් බැවින් ඉටු කරන්නට ඉඩදිය යුතුය. පළමු පියවර මේ කෞතුකාගාරය ඉදිකිරීමය. ඉන්පසු එය වෙන වෙන අය ලාභ ලබනවාද හිමිකර ගන්නවාද යන්න දෙවැනිව සොයා බැලිය යුත්තකි. එය එසේ නම් එතැන් සිට ඊට විරුද්ධවීම පළමු කාරණය කරගත යුතුය. අප සිටිනුයේ එතැනය. අධිවේගී මාර්ග හදද්දී දොස් කී අය අද ඊට හොඳ කියති. එය සාමාන්‍යයකි. දේශපාලන පාට පක්ෂ භේදයකින් තොරව මේ ජාතික සත්කාරයට සහය දිය යුතුය. එය ජාතියේ ඉතිහාසය කියා පාන්නකි. සුරක්ෂිත කරන තැනකි. මෙහි කෞතුක වස්තූන් ලෙස පැරණි එන්ජින් බලා පිටත්ව යායුතු තැනක් නොවේ. එයට ඓතිහාසික මෙන්ම සමකාලීනව දුම්රිය ගැන ලියවුණු ලියකියවිලි, පොත් පත්, ඡායාරූප මෙන්ම දෘෂ්‍ය විශේෂාංගද වැදගත්ය. කොටින්ම එහි පැය දෙක තුනක් නොව පැය පහක් වුව ගත කළ හැකි ඉඩක් නිර්මාණය වනු ඇත. සිහිවටන ලෙස දුම්රිය ඡායාරූප, එන්ජිමකට නැග එය ක්‍රියා කරන ආකාරය පමණක් නොව මීට අදාළ ලිපි පරිශීලනය කිරීමටත් අවැසි පොත් මිලදී ගැනීමටත් මෙහිදී හැකිවනු ඇත. මේ අපේ ඉතිහාසයේ ප්‍රවාහනයේ හරස්කඩකි. අපූරු දුම්රියේ පැටිකිරියය. ලහි ලහියේ දුම්රිය කෞතුකාගාරයේ වැඩ සිදුවේ. එය ලබන වසර අග ජනතාවට දැකිය හැකිවනු ඇත. එයට දේශපාලනයක් නැත. ව්‍යාපාරික යටි අරමුණු නැත. ඇත්තේ ඉතිහාසයකි. වැළලෙන්නට නොදී ගොඩගත් ඉතිහාසයකි. ඒ අපූරුව කඩිනමින් විඳීමට සැම සහය අවැසිය. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන්ය. දුම්රිය වෘත්තිය සමිති මගින්ය. සැමට විරුද්ධ වීම වෘත්තීය අයිතියකි. වෘත්තිය සමිති පවතින්නෙම විරුද්ධවීම් හරහාය. එය සැබෑවිය. එහෙත් හොඳ දේ ඉටු කරගෙන ඉන්පසු එය නියමාකාරයෙන් නොපවතින්නේ නම් ඊට එරෙහි විය යුතුය. මේ දුම්රිය කෞතුකාගාරය ගැන ලියන්නට ගොස් ඇතිවූ කතාබහවලදී අපට වැටහුණු බාධාවන්ය. මෙහි අන්තර්ගතය. ඉදිරිය මේ නිලධාරීන්ගේ කතාවල ඇතුළත්ය. අපේ සටහනේ අන්තර්ගතය. මෙය ඉතා කඩිනමින් සිදුකිරීම සඳහා පටු විරෝධතා හකුළා ගනිමු යන්නය. එයින් සිදුවන්නේ මෙතරම් වටිනා ඉදිකිරීමක් දිනෙන් දින පමාවීමය. එය මෙතෙක් පමා වූවා හොඳටම ඇතිය. කැබිනට්ටුවේ අනුමැතියද ලැබී ඇති මේ ක්‍රියාව ඉක්මනින්ම අවසන් කරගැනීම කඩිනම් කළ යුතුව ඇත. දුම්රිය ගමනාන්තය මෙය නොවේ. මෙය ආරම්භයය. සැබැවින්ම මෙරට දුම්රිය ආරම්භ කළ ස්ථානයද මෙයය. ඒ අනුව ස්ථානීය වැදගත්කම අතින්ද මේ තැන නියම තැනමය. සියල්ල හරියටම ගැළපී ඇති තැන, සියල්ල මනාව ඉටුවන තැන, විරෝධතා කුමටද? ඒ වෙනුවට අවැසි අත්පොළසන් නොවේද? පැසසුම් නොවේද?

ලාභය දුම්රිය දෙපාර්තමේන්තුවටයි
ගාමිණී සෙනෙවිරත්න
ගමනාගමන අධිකාරි
දුම්රිය දෙපාර්තමේන්තුව

කැබිනට් තීරණයක් අනුව තමයි මේ ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකරන්න ගත්තේ. මේකේ වැඩ පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට කිට්ටු ඇති.
ලංකාවේ ජාතික දුම්රිය කෞතුකාගාර එකයි තියෙන්න ඕන. මේ හදන්නේ ඒ අවශ්‍යතාව ඉටුකරන්නයි. මහජන බැංකුවේ සුබ සාධන අරමුදලින් තමයි මේ ඉදිකිරීම් සඳහා මුදල් යොදවලා තියෙන්නේ.
මේකේ සියලු වැඩ අධීක්ෂණය කරන්නේ කැබිනට්ටුව හරහා පත් කළ ජාතික කෞතුකාගාර කමිටුව හරහායි. මේකේ වියදම්, සැලසුම්, ක්‍රියාත්මක කිරීම් සියල්ල ඔවුන් සතුයි. මෙහි ඉදිරි පාලනයත් කමිටුව හරහාම තමයි සිද්ධ වෙන්නේ. මේක කමිටුව හරහා සිදුවනවා කිව්වහම සමහරු හිතනවා. ඒක පුද්ගලික අංශයට දීලා කියලා. මේ කමිටුවේ ඉන්නෙත් රජයේම නියෝජිතයෝ. මෙහි සියලු අයිතිය තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. මේකේ ටිකට් පවා ඉටු කරන්නේ දුම්රිය ස්ථානවල දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කරන විදිහටමයි. ඒ මුදල් එන්නෙත් අපට. මේකේ සියලු කටයුතු කරන්නේ දුම්රිය සේවකයෝ. විදේශිකයන් දැනුවත් කරන වැඩවලට විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගන්නවා.
ඉතාම වගකීමෙන් කියන්න ඕන මේකේ හැම මුදලක්ම බැරවෙන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවයි. මේක සියයට සියයක්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු වැඩක්. මේක දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන විශාල දායාදයක්. මේක ඉදිවුණහම දකුණු ආසියාවේ තියෙන ලොකුම සහ හොඳම දුම්රිය කෞතුකාගාරය බවට පත්වෙයි. ඒ තරම් විද්‍යානුකූලව මෙය ඉදිකරනවා.
මෙහි අද එංගලන්තයේ පවා නැති කෞතුක භාණ්ඩ තැන්පත් කරනවා. ඒවා දැනට තැන් තැන්වල දිරාපත් වෙනවා. මේකට විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙන බවට අපට ස්ථිරයි.
කවුරු මොනවා කිව්වත් මේකේ අභ්‍යන්තරයේ යටි අරමුණක් නැහැ. මේක පෞද්ගලික සමාගමකට දීමක් නැහැ.
කඩුගන්නාවේ දැනට ඇති කෞතුකාගාර ඉවත් කරලා මෙතැන හදනවට සමහරු විරුද්ධයි. ඒත් එතන එන්ජින් කිහිපයක් පමණයි තියෙන්නේ. ඒවා කිසිම ආවරණයක් නැතිව අව්වට, වැස්සට දිරනවා. එළිමහනේ තියෙන්නේ. එතන දැනට 18 දෙනෙක් වැඩ කරනවා. ඒ අයට පඩි ගෙවන්න විතරක් ලක්ෂ පහක් හයක් යනවා. ඒත් ඒකේ මාසික ආදායම ලක්ෂ එකහමාරක්වත් නෑ. එතකොට මේ පාඩු ලබමින් නඩත්තු කරන්නේ ඇයි?
කැබිනට් පේපර් එකෙන් කියනවා දුම්රිය කෞතුකාගාර එකක් ඇති කියලා. ඒ නිසා අපි ඒකෙ තියෙන භාණ්ඩත් මේකට ගෙනාවා. මේකත් අපේම තමයි. වෙන රටක එකක් නෙමෙයි.. මේ බොරු විරෝධ. අනෙක ඒ එන්ජින් පවා මෙහේ තිබුණු ඒවා. එවකට දේශපාලන වුවමනාවට එතන හයි කළේ.
මෙහි ටිකට් පත් නිකුත් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. මේකේ ආදායම එන්නේ අපට. ලබන අගෝස්තු වෙනකොටවත් මේකේ වැඩ ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මුළු ඉතිහාසයම මෙතන තියනවා
ලාල් ආරියරත්න
දුම්රිය අධීක්ෂණ මෙහෙයුම්
නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු,
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති

මේකට විරෝධතාවන් තියෙනවද? ඒ ඇයිද කියන්න මම දන්නෙ නැහැ. මම දන්න විදිහට මේක කෞතුකාගාර කමිටුවක් මගින් කරගෙන යනවා. ඒකට අපේ ප්‍රධානීන් පවා ඉන්නවා. මේකේ ඉන්නේ ආණ්ඩුවේම පිරිස්. මේකේ ආදායම දුම්රියේ ගිණුමට එකතු වෙන්න. දැනට මේ ඉදිකිරීම්වලට අපි කිසිදු මුදලක් දාලා නැහැ. ඒ අනුව මේක අපිට ලැබුණු සම්පතක්.
දුම්රිය දෙපාර්තමේන්තුවට දැන් අවුරුදු 150ක් වයසයි. ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මෙහි මිල කළ නොහැකි භාණ්ඩ තියෙනවා. උදාහරණයක් විදිහට අපි සතුව හිරු එළියෙන් කටු වැඩ කරන ඔරලෝසුවක් තියෙනවා. මුළු ලෝකයටම දෙකයි තියෙන්නේ. අපි සතුව තියෙන පැරණි එන්ජින් ඒවා නිර්මාණය කළ සමාගම්වලත් අද නෑ. මේවා රැකගන්න තමයි කෞතුකාගාරයක් හදන්නෙ. කඩුගන්නාවේ ඒවා නිකන් දිරනවා.
ඒක මෙතනටම ගෙනාවා. මෙතන කෞතුකාගාරයක් පැවතුණා. ඒ මෙතන ලංකාවේ පළමු දුම්රිය ස්ථානය නිසා. ස්ථානීය වැදගත්කම සලකලා. මෙතනටත් විදේශිකයන් එනවා බලන්න. අපි වෘත්තීය සමිතියක් විදිහට ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ආරක්ෂා කරගන්න. මෙවැනි යහපත් ක්‍රියාවකදි අපි ඊට සහාය වෙනවා. ජාතික දුම්රිය, කෞතුකාගාරයක් හදනවා නම් මෙතනම තමයි වැදගත්ම තැන කියලා අපි අද හිතනවා. අපි එදා කඩුගන්නාවේ හදද්දි පෙන්නලා දුන්නා එතන සුදුසු නැහැ කියලා. ඒක අද පිළිගන්න වෙලා තියෙනවා.
ඉදිරියේදී මෙරට දුම්රිය ඉතිහාසය ගැන සියල්ල මෙතනින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. අද දුම්රිය සේවකයකුවත් ඒවා දන්නේ නැහැ. එහෙම එකතුවක් නැති නිසා. මේක ඒ සියලු අඩුපාඩු හදන්න කරන්නේ.

දකුණු ආසියාවේ ලොකුම කෞතුකාගාරය
වජ්‍රරා මුතුකුමාරණ
ප්‍රධාන කෞතුකාගාර නිලධාරි

මෙතැන තමයි පළමු දුම්රිය ස්ථානය. 1864 දෙසැම්බර් 27 මෙතැන ඉඳලා තමයි පළමු දුම්රිය ගමන අඹේපුස්සට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මේක ක්‍රියාකාරී දුම්රිය ස්ථානයක් විදිහට අවුරුදු ගණනාවක් පැවතිලා තියෙනවා. පස්සේ කාර්ය බහුල තමයි ජනාකීර්ණත්වයයි සලකලා මරදාන, කොටුව කියන දුම්රිය ස්ථාන දෙකක් ඉදි කරලා තියෙනවා. මෙතන ඉඩමදි කියලා. ඒ කාලේ මෙතැන හඳුන්වලා තියෙන්නෙ දුම්රිය ස්ථානය කියලා.
කොටුව, මරදාන දුම්රිය ස්ථාන හැදුවට පස්සේ මේක වැහිලා. ඊට පස්සේ මේක පළමු දුම්රිය ස්ථානය විදිහට කෞතුකාගාරයක් විදිහට පවත්වාගෙන ගියා. මෙතැන ගබඩාවක් විදිහට අනෙක් ගොඩනැගිලි පාවිච්චි කළා. අද ඒ තුළම තමයි නව කෞතුකාගාරය හදන්නෙ. මෙතැන පැරණි දුම්රිය එන්ජින්, ගැල්, මැදිරි, ආම්පන්න, සන්නිවේදන උපකරණ, ලාම්පු හැමදේම දානවා. දුර්ලභ ලියකියවිලි, පොත්පත්, ඡායාරූපත් ඒවා මිලදී ගන්නත් ඉඩ හදනවා. එන්ජිමක් ඇතුළත නරඹන්න ඉඩ නිර්මාණ කරනවා. මේක ඉතාම ඉහළ ආකර්ෂණයක් ලබන තැනක් වේවි. අපිට කඩුගන්නාවේ වැසිකිළියක්වත් ඉදිකරන්න බැරිවුණා. විදේශිකයන් පවා ගියේ දුම්රිය ස්ථානයේ වැසිකිළිවලට.
ලෝකේ බොහෝ කෞතුකාගාරවල තියෙන්නේ අපේ රටේ තියෙන ඒවායේ ඩමි. ඒ නිසා අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේක දුම්රිය ගැන අධ්‍යාපනය ලබන්න පවා හොඳ ස්ථානයක් වේ. පැරණි පෙනුම ඒ විදිහටම රැකගෙන තමයි මේක නිර්මාණය වන්නේ. මේක දකුණු ආසියාවේ ලොකුම දුම්රිය කෞතුකාගාරය වේවි. ඒක රටට අභිමානයක්.

මේ වැඬේ වටිනාකම ගැන හිතන්න
විරාජ් නානායක්කාර
ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි

විදේශ විනිමය ගේන්න සංචාරක කර්මාන්තය දියුණු කරන්න මේක ඉතාම උපකාරි වේවි. දේශිකයන්ට වඩා විදේශිකයන් මේ වගේ තැන් බලන්න හරිම කැමතියි. ඉන්දියාවේ වගේම චීනයෙත් දුම්රිය කෞතුකාගාර තියෙනවා. ඒවා විදේශිකයන්ගෙන් පිරිලා. ඒ අනුව අපි ප්‍රමාද වෙලා හරි කරන ඉතාම හොඳ දෙයක් තමයි මේක. අපිට අවුරුදු 150ක දුම්රිය ඉතිහාසයක් තියෙනවා ආසියාවේ සමහර රටවල් අපි පටන් ගත්තට පස්සේ පටන් ගත්තේ. ඒක හරිම වැදගත්. එතකොට මේ ස්ථානය ඓතිහාසිකයි. එක දකුණු ආසියාවෙන් ගත්තත් සුවිශේෂී. පළමු දුම්රිය ස්ථානය. මෙතැන පුරා විද්‍යා භූමියක්. ඒ අය කිසිම දේකට පුරාවිද්‍යා ඉඩම් දෙන්නෙ නැහැ. ඒත් පුරාවිද්‍යා කටයුත්තක් නිසාම මේ සඳහා වෙන් කළා. අපිට අනෙක් රටවල වඩා සුවිශේෂී භාණ්ඩ තියෙනවා. ඒකට හේතුව අපේ පටු සහ පුළුල් කියලා මාර්ග දෙවර්ගයක් තිබුණා. ඒ නිසා මේක විශාල ව්‍යාපෘතියක්.

දුම්රිය වංශකතාවේ ඒ ඒ කාලවල සන්ධිස්ථානවල භාවිත කළ දුම්රිය එන්ජින් මොනවාද? ඒවා නඩත්තු කළේ කොහොමද? ඒ උපකරණ මොනවාද? හැමදේම මේ භූමියෙන් බලාගන්න පුළුවන්. ජාත්‍යන්තර කෞතුකාගාරයක තියෙන දැනුම මෙහිදී ලබාගන්න පුළුවන්.

පොත්පත්, ලිපි, ඡායාරූප මෙහිදී මිලදී ගන්න පුළුවන්. මේක සංචාරක ආකර්ෂණයකට ලක්වන ප්‍රධාන තැනක් වනවා ස්ථිරයි. මේක මෑත කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව කළ හොඳම පුළුල්ම ව්‍යාපෘතිය වේවි.
මේ භාණ්ඩ ආරක්ෂා කරන්න නම් එළිමහනේ තියලා බෑ. එළිමහනේ ඔහේ තියපුවා අද දිරලා. මේක ආවරණ සහිතව සියල්ල රැකගන්න විදිහට හදලා තියෙනවා.
දුම්රියට ආදරය කරන කිසිම කෙනෙක් මෙවැනි දෙයක් ඉදිකරනවට විරුද්ධ වෙන්නේ නැහැ. විවේචන පැත්තකින් තියලා මේ වැඬේ වටිනාකම ගැන හිතන්න කියලයි අපි මාධ්‍ය හරහා කියන්නේ. මේක රටටම ලැබෙන සම්පතක්. ඒක රටේ ජනතාවගේ සම්පතක්.