අධිකරණයේම පිහිට පැතීමේ අවසානය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

රටේ පවත්නා අර්බුදය, අවසානයේ විසඳා ගැනීමට හැකිවන්නේ දේශපාලන මුහුණුවරකින් මිස, වෙනත් මගකින් නොවන බව අපැහැදිලි නැත. එය පළමුව විධායකය සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) අතර ගැටුමක් සේ පෙනුණද අනතුරුව අධිකරණයද මීට මැදිහත් කර ගත්තේය. ඒ අනුව සියල්ලෝ අධිකරණය දෙස බලා සිටින්නට පටන් ගත්හ.

රටක තුලිත පාලනයක් උදෙසා විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය එකිනෙකට ස්වාධීනව සහ සම්බන්ධිතව පැවතිය යුතු වුවද ඒවායින් ඍජු ජනතා නියෝජනයක් පවතින්නේ විධායකය සහ පාර්ලිමේන්තුවට පමණි. විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ඍජුවම තේරී පත්වන්නේ රටේම ජනතා ඡන්දයෙනි. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තේරී පත්වන්නේද ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජනතා ඡන්දයෙනි.

අධිකරණයේ තීන්දු පාර්ලිමේන්තුව සහ විධායකය පිළිනොගත් ප්‍රකට අවස්ථා දෙකක් මෙරට මෑත ඉතිහාසයේ තිබේ. ඉන් එකක් අනුර බණ්ඩාරනායක කතානායකවරයා විසින් ගනු ලැබූ තීන්දුවක් වන අතර දෙවැන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූවකි.

2001 වසරේ ජූනි 20 වැනිදා, එවකට කතානායකවරයා ලෙස කටයුතු කළ අනුර බණ්ඩාරනායක ලබා දුන් තීන්දුවකින් කියැවුණේ අධිකරණ නියෝග පිළිගැනීමට පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ඔහු බැඳී නොසිටින බවය. එවකට අගවිනිසුරු වූ සරත් එන්. සිල්වාගේ විෂමාචාර පැවැත්ම පිළිබඳ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි, විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියමිත සංඛ්‍යාවකගේ අත්සනින් යුත් යෝජනාවක් කතානායක අනුර බණ්ඩාරනායක වෙත ලබාදී තිබිණි. එහෙත් ඒ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති මූලික අයිතිවාසිකම් පෙත්සමක් හේතුවෙන් එය විභාග කර අවසන් වන තෙක් අදාළ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු නොකරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය. එහෙත් අනුර බණ්ඩාරනායක කතානායකවරයාගේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තුවට එරෙහිව එවැනි අතුරු තහනමක් පැනවීමේ බලයක් අධිකරණයට නොමැති බවත්, එම නිසා අධිකරණ නියෝග පිළිපැදීමට තමන් බැඳී නොසිටින බවය. ඒ සඳහා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ඔහු පදනම් කර ගත්තේය.

දෙවැන්න, 2007 වසරේ අග භාගයේ සහ 2008 වසරේ මුලදී වූ, සිදුවීමකි.
ඛනිජ තෙල් සම්බන්ධ ‘හෙජින් ගිවිසුම’ අත්හිටුවමින් පළමුව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුව ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 දක්වා අඩු කරන ලෙස හා තෙල් සංස්ථා එවක සභාපති අසන්තද මෙල් සේවයෙන් ඉවත් කරමින් 2007 දෙසැම්බර් 17 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. තීන්දුව ලබාදී මාසයකට වැඩි කාලයක් ගත වුවද විධායකය නැතහොත් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තෙල් මිල අඩු කිරීම ක්‍රියාත්මක කළේ නැත. පසුව එවකට අගවිනිසුරු වූ සරත් එන්. සිල්වා සහ ශිරාණි තිලකවර්ධන මෙන්ම කේ. ශ්‍රී පවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, එම අතුරු තහනම 2008 ජනවාරි 27 වැනිදා ඉවත් කළේ, අධිකරණය ලබාදෙන තීන්දු, විධායකය ක්‍රියාත්මක නොකරන නිසා එවැනි නියෝග තවදුරටත් ලබාදීමෙන් පළක් නොවන බවට ප්‍රකාශයක්ද කරමිනි.

මෙවර ඇතැම්විට එම තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් පෙන්නුම් කළද ඇතැම්විට සමාන තත්ත්වයක්ද පෙන්නුම් කරන්නේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122කගේ බහුතර මතය පිළිනොගෙන, කලින් පත් කළ අගමැති හා ඇමති මණ්ඩලය කටයුතු කරන්නේ යැයි කියමින්, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු අභියාචනාධිකරණයේ පිහිට පැතූහ. ඒ අනුව මහින්ද රාජපක්ෂට අගමැති ධුරයේත්, ඇමති මණ්ඩලයට අමාත්‍ය ධුරවලත් කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනමක් පනවනු ලැබූ අතර එයට එකඟ නොවූ මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිසේන ජනාධිපතිවරයා ගත් තීන්දුව සඳහා ඔහුට ව්‍යවස්ථාමය බලයක් නොමැති බවට වන පෙත්සම්ද එවැනි බලයක් ඇති බවට වන පෙත්සම්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධ තීන්දුවද ලබාදීමට නියමිතව තිබිණි.

අවසානයේ සිදුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයත්, මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයත්, රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයත් විසඳුම් පතා අධිකරණය දෙස බලා සිටීමය. රටක නීතියේ ආධිපත්‍යය තහවුරුවීම අවශ්‍යයෙන්ම විය යුත්තක් වන්නා සේ ම ප්‍රධාන බල කණු තුනෙන් කිසිදු බලකණුවක් තවත් බලකණුවකට යටත් වන /යටත් කරන තත්ත්වයක් උදාවීම රටකට හිතකරවන්නේ නැත. විශේෂයෙන්ම විධායකයේ සහ පාර්ලිමේන්තුවේ ගැටලු අධිකරණය මගින් පමණක්ම විසඳා ගැනීමට යෑම උචිත වන්නක් යැයි සිතිය නොහැක.

වඩා භයානක තත්ත්වය නම් මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හි, විධායකය හෝ පාර්ලිමේන්තුව, අධිකරණයේ ඇතැම් තීන්දු පිළිනොගන්නා තත්ත්වයක් උදාවීමට ඉඩ තිබීමය. අනෙක් පැත්තෙන් ඍජුව ජනතා ඡන්දයෙන් පත් නොවූ සහ ඉදිරියේදීද ඍජුව ජනතා ඡන්දයකට මුහුණ නොදෙන අධිකරණයට, රට නිශ්චිත විසඳුමක් ඉල්ලා සිටින අවස්ථාවකදී ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට නොහැකිවීමට ඇති ඉඩකඩය. පවතින නීතියේ සීමිතකම් ඉක්මවා යෑමට අධිකරණයට හැකියාවක් ඇත්තේ නැත.

රටක අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මෙන්ම හැකිනම්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ද ක්‍රියාත්මක නොවන තත්ත්වයක්, අධිකරණය හරහා හෝ උදාකර ගැනීමට කිසිවකු උත්සාහ දරන්නේ නම් එසේ සිදු කරන්නේ දේශපාලන තීන්දු මත බව අපැහැදිලි නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මෙන්ම බහුතරය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුවද සම්පූර්ණයෙන්ම අයත්වන්නේ දේශපාලන අරමුණු සපුරා ගන්නට ගත් තීන්දු ගොන්නටම නොවේයැයි කිව හැකිද?

විවිධාකාර විචිත්‍ර වාක්‍ය සහ තර්ක අතර තම තීරණ සාධාරණ යැයි ඒත්තු ගැන්වීමට විධායකයේ සහ පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වයන් දරන උත්සාහයන් නිමාවන්නේ අර්බුදය, ඛේදවාචකයක් බවට පෙරළමින් වීම නොවැළැක්විය හැකිය. මේ නිසා අවසානයේ ලැබිය යුතුව ඇත්තේ දේශපාලන විසඳුමක් වන්නා සේ ම එය සියලු පාර්ශ්වයේම පෞද්ගලික අභිමානයක් කැප කළ පොදු යහපත උදෙසා වන්නක්ද විය යුතුය.