මම සිතමි, එම නිසා මම වෙමි.“-(දාර්ශනික ඬේකාර්ට්ස් (1637) “මම සිතමි, එම නිසා මම වෙමි.” (පැසිස්ට් සිරිසේන (2018)

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

අපේ රටේ අද මෝදුව ඇති කරුණු කාරණා මතුපිටින් මෙන්ම භාවාත්මකවද කියවිය හැකිය. විශේෂයෙන් දේශපාලනය අද භාවාත්මක විෂයක් වී ඇති නිසා බොහෝවිට මේවා ගැන ලියැවෙනුයේ භාවාත්මකවය. පක්ෂක්ග්‍රාහීවය. අද මතුපිටට පැමිණ ඇති දේශපාලන ක්‍රියාවලිය සමහරු ශාස්ත්‍රීය ලෙස කියවමින් සිටිති. එය සතුටට කරුණකි. මෙම ලිපිය එම ලැයිස්තුවට එකතු කරන තවත් එක කෙටි ලිපියකි. ශීර්ෂය ඉහත පරිදි ලියැවී ඇත්තේ ඒ නිසාය.

“මම සිතමි එමනිසා මම වෙමි.” දාර්ශනික ඬේකාර්ට්ස්

සුප්‍රසිද්ධ ප්‍රංශ දාර්ශනික රෙනේ ඬේකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය තරම් පසුගිය වසර 400 තුළ මෙය තරම් දාර්ශනිකයින් උද්ධෘත කළ ප්‍රකාශයක් තවත් නැති තරම්ය. ඒ දර්ශනයට නොසෙල්වෙන පදනමක් දීමේ ඬේකාර්ට්ස්ට එදා තිබුණු උවමනාවේ තාර්කික නිගමනයයි. ඒ පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ කරුණු හා මතවාද නිසාවෙන් දර්ශන විෂය ක්‍ෂේත්‍රය පුළුල්වීම සහ ස්වාභාවය වෙනස්වීමක් සිදුවිය. ඬේකාර්ට්ස්ගේ ඉහත දැැක්මේ ධනාත්මක ඵලයක් එය විය. ඬේකාර්ට්ස් දර්ශනය විෂයට කළ දායකත්වය එය විය.

ඬේකාර්ට්ස්ගේ ඉහත වාක්‍යය තුළ තාර්කික දෝෂ ඇත. අනුභූතික වශයෙන්ද එය අසම්පූර්ණය. එපමණක් නොව බොහෝ විවරණකරුවන් නොදුටුවද ඬේකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය තුළ අත්තනෝමතික, අන්‍යයන් නොසලකා හරින පැසිස්ට්වාදි අර්ථයක්ද ගැබ්වී නැතුවා නොවේ. එහෙත් ඬේකාර්ට්ස් සිය ප්‍රකාශය පැසිස්ට් දේශපාලන තේරුමකින් ඉදිරිපත් කළේ නැත. ඇත්ත. ඬේකාර්ට්ස්ගේ එම නිගමනය ඥනවිභාගාත්මක වශයෙන් පැසිස්ට්ය. පුද්ගලවාදීය. අන්‍යයන්ගේ පැවැත්ම සුළුකොට නැතිනම් නොසලකා හැර තමා හෙවත් ‘මම’ ඉහළ නංවා ගැනීමට යොමුවී ඇති නිසා ඬේකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය පැසිස්ට් දර්ශනයකට පදනම් වාක්‍යයක් ද විය හැකිය. හේතුව මුසෝලිනී (ඉතාලියේ), හිට්ලර් (ජර්මනියේ) ෆ්‍රැන්කෝ (ස්පාඤ්ඤයේ) ඉඩිඅමින් (උගන්ඩා), පොල්පොට් (කාම්බෝජයේ), බැටිස්ටා (කියුබාවේ) ආදීන් සිතුවේ සහ ක්‍රියා කළේ “මම සිතමි, එම නිසා මම වෙමි” හෝ “මම පමණක් වෙමි’ යන මෝඩ සිතුවිල්ල හිත සහ හිස දරාය. හිට්ලර්ගේ “මගේ අරගලය” (Mein Kampf-1925) කෘතියෙන් මෙවන් ‘මම පුම්බන” ප්‍රකාශන ගණනාවක් අවශ්‍ය කෙනකුට සොයාගත හැකි අතර හිට්ලර් සිය අමානුෂික මුරණ්ඩු සහ ප්‍රචණ්ඩ දේශපාලනය කළේද “මම සිතමි, එම නිසා මම වෙමි” හෝ “මම සිතන නිසා මම පමණක් වෙමි” යන ආප්තයේ උද්ධච්ච ලෙස පිහිටමිනි.

මම උත්කර්ෂණය කොට පෙරමුණට ගැනීමෙන් ඬේකාර්ට්ස් උත්සාහ කළේ අනෙකුන්ටද ගරුත්වයක් දෙමින් අනෙකුන් සමග යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් නොව (කාල්මාක්ස්ට සහ පසුව ඇල්ෆ්‍රඞ් ෂට්ස් සහ විශේෂයෙන්ම බර්ජර් සහ ලක්මන්ට අනුව යථාර්ථය යනු සමාජ ගොඩ නැඟීමකි.  (Social Construction of Reality 1966 ) (තමාගේ යථාර්ථයේ එවැන්නක් තිබේ නම්.) එහෙත් තමාගේ යථාර්ථය කියා යමක් නැත. එහෙත් පැසිස්ට්වාදීන්ට ඇත.ඇත්තටම ඔවුනට ඇත්තේ එයම පමණි. ගොඩනඟා ගැනීම පමණි. “මම සිතමි. එම නිසා මම වෙමි.” යන ප්‍රකාශ හෝ මානව විරෝධි සහ ඒකාධිපති වනුයේ පටන්ගනුයේම අන්‍යයන් “තමා” තුළට අවශෝෂණය කරමිනි. ඬේකාට්ස්ගේ භාවනාවේ සැඟවුණ එළියට නොගත් සහ නොපැමුණුනු ඇත්ත අර්ථය එයයි. මෙය ඌනනවාදය  (reductionism) ලෙස හැඳින්විය හැකිය. මෙයම පැසිස්ට්වාදීය. අන්‍යයන් මත තමන් බලෙන් උපරිපතනය (superimposition) වීමය. ඒකාධිපති මුසෝලීනි, ෆ්‍රැන්කෝ සහ හිට්ලර් නියැලී සිටියේ මෙම කාර්යයේය.
සිරිසේන ඔහුගේ තරමින් සහ ඔහුගේ මට්ටමින් අනුන්ගේ පිහිටෙන් හෝ 62 ලක්ෂයක ඡන්දයෙන් ජනාධිපති වීමෙන් පසු ‘මම’ පිළිබඳව ඔහු තනාගෙන ඇති අර්ථයෙන් සිරිසේන දැන් නියැලී සිටින්නේ එම කාර්යයේමය. සිරිසේන මුසෝලිනි හෝ හිට්ලර් නොවන බව කවුරුත් දනිති. එහෙත් අප වැනි ප්‍රමාණයෙන් කුඩා දිවයිනකට ප්‍රජාතන්ත්‍රවාදයේ කඩතොලු වරින් වර අත් දුටුවද මිලියන 20ක අහිංසක ජනතාවක් වෙසෙන කුඩා දිවයිනකට ෆැසිස්ට් ලිලි පුට්ටෙකු වුවද අනවශ්‍යයය. හේතුව පැසිස්ට්වාදයක් අපට දැරීමට බැරි හෙයිනි. මහින්ද සමයේ (2010 -2014) සිදුවූ දෑ මතකයට එන විට මහින්දව ‘රිප්ලේස් ‘කිරීමට හෝ මහින්ද අබිබවා යාමට පෙරට එන පැසිස්ට් ‘ලිලි පුට්ටන්’ ගැන අප බියවිය යුතුය. ඇරත් ජේ. ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව ගැන එන්. එම්. පෙරේරා කරපු ප්‍රකාශය මතක් වනවිට ඉහත භය දෙගුණ තෙගුණ වේ. එනම් “පිස්සෙකු ජනාධිපති වුවහොත් රටට කුමක් වේද?” මෙය මගේ ප්‍රකාශයක් නොව කෘත්‍යඥ දේශපාලනඥයකුගේ උද්ධෘතයකි. එන්.එම්. පෙරේරා කෙසේ නම් 2018 ගැන පුරෝකතනය කළේද?
“මම සිතමි. එම නිසා මම වෙමි’ – ෆැසිස්ට් සිරිසේන

නොබෝදා සිරිසේන ‘තකතීරු, හාස්‍යජනක එහෙත් අති භයානක ප්‍රකාශයක් කළේය. (ඇත්තටම මෙය මගේ කන වැකුණු විගස මට ඇතිවූයේ මා ගැනත් අපේ අනාගත දරු පරපුරත් ගැන දුකකි. හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ මනුස්සයා කියවා නැතුවා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ගැන මොහු ඔහුගේම භාෂාවෙන් කිවහොත් ‘මොන බම්බුවක්වත්’ නොදන්නා බව මෙම ප්‍රකාශයෙන් ඔප්පුවූ හෙයිනි.) සිරිසේන මෙසේ කීය. “පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් මම රනිල්ව අගමැති කරන්නේ නැහැ.” ව්‍යස්ථාවේ වගන්තියක් වූ ‘ජනාධිපතිට ‘හැඟෙන’ හෝ ජනාධිපති ‘කැමැති’ යන වචනයද (සමහරවිට නීති උපදෙස් මත විය හැකිය) ඔහු නිර්වචනය කරගෙන හැසිරුණේ ‘මම සිතමි’ ‘මම හරි’ යන උද්ධමන හෙවත් ‘පිම්බුණු’ අහංභවයකිනි. (inflated Ego) නොඑසේනම් බැලිය යුතුව තිබුණේ පුද්ගලික ‘පුළුවන්කම’ ගැන නොව ව්‍යවස්ථාවේ විෂයබද්ධ අර්ථය දෙසය. හේතුව ප්‍රාජාතන්ත්‍රවාදී අර්ථය ඇත්තේ විෂයබද්ධය තුළ බැවිනි. ජනතා පරමාධිපත්‍යය නිර්වචචනය වෙනුයේ එහි බැවිනි. එනම් ‘බහුතරයේ කැමැත්ත’ නමැති වාක්‍ය ඛණ්ඩය තුළ බැවිනි. හේතුව ‘බහුතරය’ විෂයබද්ධය බැවිනි. ‘ජනාධිපති කැමැති’ යන වාක්‍ය ඛණ්ඩය ව්‍යවස්ථාවේ එනුයේ ‘බහුතරයේ කැමැත්ත’ යන වාක්‍ය ඛණ්ඩයට පසුවය. එසේනම් ‘බහුතරයේ කැමැත්ත’ පස්සට ගියේ කෙසේද? මේ ලියන මොහොත වනවිටත් එම වැදගත් වාක්‍ය ඛණ්ඩය නොසලකා හැර ඇත්තේ ඇයි? වෙනත් බලපෑම් සහ කරුණු කාරණා තිබුණද සුවිශේෂ වූයේ ‘මම සිතමි එම නිසා මම වෙමි’ යන අතාර්කික සහ පැසිස්ට්වාදී සිතිවිල්ල නිසාය. එහෙත් සත්‍යය නම් ‘අන්‍යයන් (62 ලක්ෂයක්) ඔහු ගැන නොසිතුවේ නම් ඔහුට ‘මම’ කියා උජාරුවෙන් තමාව පුම්බාගත නොහැක. එසේ සිතියද නොහැක. සිරිසේන ජනාධිපති වූයේ සිරිසේන සිතූ නිසා නොවේ. අනෙක් අය සිරිසේනව විශ්වාස කොට සිරිසේන ගැන සිතූ නිසාය. සිරිසේනට නොතේරෙනුයේ මෙම සරල සත්‍යයයි.
ඬේකාර්ට්ස්ගේ “මම සිතමි. එම නිසා මම වෙමි” යන්න සිරිසේනගේ මනෝ විද්‍යාවට නම් යස රඟේට ගැළපෙන මුත් සිරිසේනට වඩා ගැළපෙනුයේ ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජෝන් පෝල් සාත්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයයි. එනම් “මම යනු මම කරනු දෙයයි.”  (I am what I do )  කරන දෙයින් ‘මම කව්ද’ යන්න පමණක් නොව බුදුන්වහන්සේට අනුව නම් ක්‍රියාව කෙනෙකුගේ ජන්ම වර්ගයේ කැඩපතක්ද වේ. “කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රහ්මණෝ”(වසල සූත්‍රය)

කුමන දුර්වලකම් තිබුණද ඬේකාර්ට්ස්ගේ ප්‍රකාශය දාර්ශනිකය. සිතන්නට බොහෝ දේ ඇත. ඇත්තෙන්ම පෙර’පර දෙදිග දාර්ශනිකයින් ශත වර්ෂ 4ක් පුරා මෙම ආප්තය ගැන සිතා ඇත. ලියා ඇත. එම නිසා එය දාර්ශනිකය. එහි උමතු ප්‍රජාතන්ත්‍ර විරෝධීකමක් නැත. එහෙත් සියලුම දුර්වලකම් සහිත සිරිසේනගේ “225 ම අත්සන් කළත් මම රනිල්ව අගමැති නොකරමි” යන ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර-ඝාතක භයානක වාක්‍යය තුළ අන්තර්ගත ‘කොජිටෝව’ හෙවත් ‘දමනය නොකරන ලද සුපිරි අහංභවය’ පැසිස්ට්වාදීය. හිට්ලරියානුය. එම අවධාරණය පැසිස්ට් වනුයේ සිරිසේන එය ප්‍රකාශය කළ සංදර්භය, ප්‍රකාශ කළ ආකාරය සහ එහි ශාරීරික භාෂාව, ඔහුගේ පෙර හා පසු හැසිරීම සහ මේ මොහොතේ වුවද ඔහුගේ නොසැලකිලිමත් සහ උදාසීන  (indifferent & aloof&)  එනම් ‘වගේ වගක් නැති’ ’නීරෝ’ හැසිරීමට සාපේක්ෂකව කියවන කලය.

“පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් මම රනිල්ව අගමැති කරන්නේ නැහැ.”

1. සිරිසේනගේ ඉහත ප්‍රකාශය වාදරහිතවම අන්තවාදීය. ප්‍රජාතන්ත්‍ර විරෝධීය. පැසිස්ට්වාදීය. එය පැසිස්ට් වනුයේ 225 ටම වුව ඇහුම්කන් දීම ඔහු ප්‍රතික්ෂේප කරන හෙයිනි. හිට්ලර්ගේ පෞරුෂය තුළද මෙම ලක්ෂණය තිබිණ. හිට්ලර්ගේ ක්‍රියාකලාපය ගැන අගනා ග්‍රන්ථයක් (The Anatomy of Human Destructiveness 1973) ලියූ මනෝවිශ්ලේෂණවාදියෙකු වූ එරික් ෆ්‍රොම් හිට්ලර්ගේ හැසිරීම හැඳින්වූයේ මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකුගේ හැසිරීමක් ලෙසය.

2. සිරිසේනගේ ඉහත ප්‍රකාශය පරිණත දේශපාලනඥයකුගේ ප්‍රකාශයක් නොව “උන්ගේ මුළු ගෑන්ග් එකම ආවත් මම සෙකන්ඞ් වෙන්නෙ නෑ මල්ලි” වැනි පාතාලයකුගේ වහසි බසකට වැඩි දෙයක් නොවේ. තමා විසින්ම ඔක්තෝබර් 26 ඇති කළ ගින්නට ඔළුව පාවිච්චි නොකොට දැමූ පිදුරු මිටියකි. චතුරිකා සිරිසේන ‘ජනාධිපති තාත්තා’ පොතින් තාත්තාට කුඔුරු ගිනි තැබීම් පිළිබඳ අත්දැකීමක් තිබූ බව පවසා ඇත. එහිදීද සිරිසේන ඔළුව පාවිච්චි කර නැත.

3. සිරිසේනගේ ඉහත ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනිදා සිට ඔහු ගත් සියලු තීරණයක්ම සහ කළ සියලු කාර්යයක්ම අසාර්ථකවීම නිසාවෙන් ඇතිවූ හීිනමානය පියවා ගැනීමට කරන ලද ‘පුහු’ වීර ප්‍රකාශනයක් මිස ව්‍යවස්ථාව හැදෑරූ පරිණත ජනාධිපතිවරයකුගේ ප්‍රකාශනයක් නොවේ. ‘මම සිතමි, එම නිසා මම වෙමි යන්න’ සිරිසේනගේ දාර්ශනික නිගමනයක් නොව දේශපාලන පැසිස්ට් මනෝභාව ප්‍රකාශනයක් පමණි.

4. සිරිසේනට ‘මම සිතමි, එමනිසා මම වෙමි’ යන්න හුදු ඒකාධිපති පැසිස්ට්වාදී තේරුමක් දෙන වාක්‍ය ඛණ්ඩයක් පමණි. ඒකාධිපතියා නිර්චචනය වනුයේ මෙසේය. ‘තමාට සිතෙන පරිදි වැඩ කරන, ජනතාව ගැන නොසිතන, අන්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, කිසිවිට ගත් වැරදි තීරණයකදී තමාට වැරදුනූ බව පිළිගෙන සමාව නොයදින අහංකාර මෝඩයෙකි.“ (Oxford, Collins, Webster Dictionaries ) 5. සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු වාක්‍යය හෝ නිර්දේශය වන ‘පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියැයි ජනාධිපතිට සිතෙන හෝ හැ`ගෙන කෙනෙක් පත්කිරීම නමැති වගන්තිය ‘මම සිතමි. එම නිසා මම වෙමි, පමණක් නොව “මම පමණක් ම වෙමි “යන මුග්ධ අර්ථ කථනයකට පරිවර්තනය කරමින් ඔක්තෝබර් 26 සහ නොවැම්බර් පාර්ලිමේන්තුව විසුරුවීම කළේද ‘මම සිතමි එම නිසා මම වෙමි’ යන ආප්තය මත පිහිටාය. ඇල්බට් අයින්ස්ටයින් වරක් මෙසේ ලියා තැබීය.


“පරිකල්පනය බුද්ධියට වඩා දහස් වාරයක් බලවත්ය.”
“මම සිතමි එම නිසා මම වෙමි” යන නිගමනයෙන් ප්‍රේරණය වී හැසිරීමෙන් සහ ඉහත “225 ම අත්සන් කළත්,” යන ප්‍රකාශනය විසුරුවා හැරීමෙන් පැහැදිලිවනුයේ අයින්ස්ටයින් සඳහන් කරන මිනිසාගේ උත්තරීතර ලක්ෂණ දෙකම, එනම් පරිකල්පනය සහ බුද්ධිය යන දෙකම සිරිසේනට නැති බවය. සිරිසේනගේ දේශපාලන ගමන රටට අහිතකර නිසා ඔහුව විශ්‍රාම ගැන්වීම ජනතාවගේ යුතුකමක් වනුයේ මේ නිසාය.