අද ජනාධිපති තනතුරේ සිටින්නේ 2015 ජනවාරි මස දිව්රුම් දුන් මෛත්‍රිපාල සිරිසේනම ද?

මහින්ද හත්තක

වංචා දූෂණ ගැන චෝදනා ලැබ සිටින රාජපක්ෂ යුගයේ ප්‍රධානීන් අධිකරණ ශාලාවකින් පිට වෙත්ම ඔවුන්ගෙන් ඉදිරිපත්ව ඇති චෝදනා ගැන නොව පවතින දේශපාලන තත්ත්වය ගැන අදහස් විමසීමට විද්‍යුත් මාධ්‍යවේදින් තුළ ඇත්තේ බලවත් ආශාවකි. ඒ අනුව පසුගිය දා සිය පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කිරීමට අයථා ආකාරයෙන් රජයේ සම්පත් භාවිත කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් පිටවෙත්ම මාධ්‍යකරුවෝ ඔහු වටලා ගත්හ. ඔවුන්ට අවශ්‍ය වූයේ ජනාධිපති සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගත නොහැකි මහින්ද රාජපක්ෂ මහතා හිතුවක්කාර ලෙස අගමැති තනතුරට පත් කිරීමෙන් මතුව ඇති අර්බූදය සම්බන්ධයෙන් ඔහුගේ මතය විමසීම ය.

තමන් පවසන ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමෙන් තොරව ජනතාව භාර ගන්නේයැයි විශ්වාස කරන දේශපාලකයන් මෙන් ගෝඨාභය මහතා ද තම බහුශ්‍රැත ඥානය විදහා දැක් වූයේය. ඔහු දේශනා කරන ආකාරයට දැනට රටේ ඇතිව තිබෙන අර්බූදකාරී තත්ත්වයට එකම හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එම සංශෝධනය හඳුන්වා දීමට පෙර, 1978 ජේ ආර් ජයවර්ධනගේ රජයෙන් සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිම ගැටලුවක් නැතිව දශක ගණනාවක් ක්‍රියාත්මක විය. මේ සියලු අර්බුද මතුව ඇත්තේ එම ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෑම නිසාය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර අගමැති හා ඇමති මණ්ඩලය පත් කිරීමට, අස් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු සීමාවක් තිබුණේ නැත. ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය පවා හැසිරවීමේ බලයක් එම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයාට ලැබී තිබිණ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අසීරුතාවයට පත් කෙරෙන නඩු තීන්දු ලබා දුන් අග්‍රවිනිශ්චයකාරවරිය එක රැයෙන් ගෙදර යැවීමට ජනාධිපතිට හැකියාව තිබිණ. මෙම තත්ත්වය රටේ ජනතාවත් ආණ්ඩුවේ නිලධාරිනුත් හොඳින් දැන සිටි නිසා ගෝඨාභය රාජපක්ෂ වැනි අයට ගැහැනියකු පිරිමියෙකු කිරීම හැර අන් ඕනෑම දෙයක් කිරීමට හැකියාව තිබිණ. සිය පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කිරීමට මහජන මුදල් වැය කිරීමට ඔහුට මුදල් රෙගුලාසිවලින් සීමාවක් නොවීය. ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි වූ අයට හැර අන් කිසිවකුට එම පාලනය යටතේ කිසිම බාධාවක් හෝ සීමාවක් තිබුණේ නැත.

අද පවතින අර්බුදයට හේතුව ජනාධිපතිවරයාට එසේ තමන් රිසි දේ කිරීමට එරෙහිව ව්‍යවස්ථා සීමා පැනවී තිබීමය. එය ඔහු දකින ආකාරයට රටේ ඉදිරි ගමනට බාධකයකි. ඒ අනුව රට ඉදිරියට යෑමට කළ යුත්තේ ජනාධිපති ගේ බලතල සීමා කිරීමට ඇති ව්‍යවස්ථා සීමාවන් ඉවත් කිරීමය.

අවාසනාවකට මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව වත්මන් ජනාධිපති සිරිසේන මහතා සහ ඔහුගේ සගයෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තම දේශපාලන පොරොන්දුව බව අමතක කරති. 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව ඔහුගෙන් ඉවත්ව නව ජනාධිපති සිරිසේන මහතා යටතේ ඇමති තනතුරු ලබා ගත් අය ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු දකිති. ඔවුන් සිතන්නේ ජනාධිපතිට පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිමි වූ බලතල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ද තිබිය යුතුය යන්නයි. නැතිනම් එසේ තිබෙන්නේය යන්නයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අර්ථ විවරණ කරන්නේ ද ඒ අනුවය. පුදුමයට මෙන් ව්‍යවස්ථා සංශෝධනයට මුල් වූ ජනාධිපති සිරිසේන මහතා ගේ අදහස ද එයයි. නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබා දෙන්නේ නැත.

ඇත්තෙන්ම ජනාධිපති සිරිසේන මහතාත් ඔහුගේ පොහොට්ටු මිතුරනුත් ක්‍රියා කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෝ බල පවත්නේ නැති ආකාරයට ය. පාර්ලිමේන්තු සැසි වාරයක් පැවැත්වෙන අතර තුර අගමැති තනතුරට අලුතින් කිසිවකු පත් වන්නේ නම් කළ යුතු මූලික කටයුත්ත ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ඇත්දැයි විමසීමය. වැදගත් වන්නේ එය කට වචනයෙන් ප්‍රකාශ කරන්නේ ද ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් සඳහන් කරන්නේ ද යන්න නොවේි. එසේ බහුතරයකගේ සහාය නැතිනම් කිසිම පුද්ගලයකුට අගමැති තනතුරක් දැරීමේ ව්‍යවස්ථානුකූල හෝ සදාචාරමය අයිතියක් නැත. ගරු කටයුතු දේශපාලකයකු නම් තමාට බහුතරයක් නැති බව දැනගත් වහාම කළ යුත්තේ රීති ප්‍රශ්න මතු නොකොට තනතුරෙන් ඉවත්වීමය. ඒ වෙනුවට කතානායකගේ ආසනය පෙරළා දැමිම හෝ මිරිස් කුඩු දියර ඉසීම කිසිම ආකාරයකින් ජනමතය විමසීමක් නොවේ. එවැනි දේ කරන අය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහජන ඡන්දයක් ඉල්ලීම හාස්‍යයට කරුණකි.

දැන් සිදුව ඇත්තේ ජනතාවගේ ස්වෛරී බලය පැවරී ඇතැයි කියන උත්තරීතර සභාවට එම බලය යෙදවීමට අවස්ථාවක් ලබා නොදී අධිකරණයේ පිහිට පැතීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොපැහැදිලි කරුණක් ගැන අධිකරණයේ මතය විමසීමට ප්‍රතිපාදන පවතින නමුත් කිසියම් පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ බහුතරයක් පවතිද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ අධිකරණයෙන් නොව එම සභාව විසිනි. එය නොසලකා කටයුතු කිරීම මහජන කැමැත්ත හෝ පරමාධිපත්‍යය නොසැලකීමකි. දැනට ආණ්ඩු පක්ෂයැයි කියා ගන්නා අය දිගින් දිගටම පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පෙන්වන්නේ තමන් ඒ කිසිත් නොසලකන පිරිසක් බවය.

කනගාටුවට කරුණ වන්නේ මෙම නොසැලකීම හෝ නොදැනුවත්කම ජනතාව තව දුරටත් මුලා කිරීමට යොදා ගතහැකියැයි පාලකයන් සිතීම ය. ජනාධිපතිට අගමැති හා ඇමතිවරුන් පත් කිරීමට බලතල ඇතැයි පසුගිය දා පොහොට්ටුවට එක්ව සිටින කලින් පැවති ආණ්ඩුවේ ඇමතිවරයකු මෙන්ම වෘත්තියෙන් නීතිඥයකු වන දේශපාලකයකු පැවසුවේය. ඇත්තෙන්ම 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පැවති ව්‍යවස්ථාව අනුව ද මහ රැජිනගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයාට එම බලතල තිබිණ. එය අමුතු දෙයක් නොවේ. වැදගත් වන්නේ රාජ්‍ය නායකයා හෝ නායිකාව එම පත්වීම් කරන විට ක්‍රියා කළ යුතු ආකාරය ගැන ව්‍යවස්ථාවට අමතරව ජන සම්මතයන් පැවතිමය. ඒවා අමතක කිරීම ජන සම්මතයට පිටු පා ඒකාධිපති ලක්ෂණ විදහා දැක්වීමකි.

පවතින අර්බූදයට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ආකාරයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව වත්මන් දේශපාලකයන් නීති රීති හෝ ජන සම්මතය නොසකලකා කටයුතු කරන නරුම පිරිසක් වීම ය. පාර්ලිමේන්තුවට අපහාස කිරීම ගැන බෙහෙවින් සැලකිලිමත් වන මෙම පිරිස් රූපවාහිනී කැමරා ඉදිරියේ පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළත මැරවරයන් සේ හැසිරුණේ එම නරුම ගතිගුණ නිසාය. එවැනි අය නැවත වරක් පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම පැවැත්විය යුතුයැයි ඉල්ලා සිටින්නේ මහජන මුදල් නැවත වරක් කාබාසිනියා කිරීමට නොවේ ද? පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොසැලකිම නිසා අද සිදුව ඇත්තේ අගමැති පත් කිරීමේ සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිත්‍යානුකූල භාවය විසඳා ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමය. අධිකරණය මේ පිළිබඳව සාධාරණ විනිශ්චයක් ලබා දෙනු ඇතැයි අපෙක්ෂා කළ හැකි නමුත් එය පවතින අර්බූදයට විසඳුමක් නොවන බව පැහැදිලි ය. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සඳහා ජනතාව මුළා කොට ව්‍යවස්ථාවට තමන් කැමති අර්ථ ගැන්වීම් කළ හැකියැයි සිතන පිරිසක් දේශපාලනය අරක් ගෙන ඇති නිසාය.

රටේ ජනතාව මුළා කිරීම දේශපාලකයන්ගේ එකම අරමුණ බව පෙන්වීමට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය දා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රැස්වීමක දී පක්ෂයේ සභාපති, ජනාධිපති සිරිසේන මහතා කළ කතාවෙනි. ඔහු පෙන්වා දුන් ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම සහ ඉන් දින කිපයකට පසු එය විසුරුවා හැරීම හොඳින් සිතාමතා රට වෙනුවෙන් ගත් තින්දු ය. ඒ සියල්ල ඔහුගේ හෘද සාක්ෂියට අනුව රටේ යහපත වෙනුවෙන් ගත් තීරණයන් ය. ඒ සියල්ලට පාක්ෂිකයෝ උත්කර්ෂවත්ව අත්පොළසන් නැංවූහ.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සවස් කාලයේ ඇරඹුණ ක්‍රියාදාමය කිසිසේත් රටේ යහපතට හේතු නොවු බව පැහැදිලි කිරීමට උදාහරණ අනවශ්‍ය ය. පළමුවෙන්ම ඔහුගේ මෙම හිතුවක්කාර කටයුතු නිසා රටේ නිතියක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නැති බව තහවුරු විය. පාර්ලිමේන්තුව හරහා තමන් කැමති පාලකයකු පත් කර ගැනීමට අවස්ථාවක් නැති බව ඔහු තප්පුලමින් පැවසුවේය. පාර්ලිමේන්තුවේ මංත්‍රීන් 225 දෙනාම (මහින්ද රාජපක්ෂ ද ඇතුළත්ව) රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීමට ඉල්ලිමක් කළ ද එය කිරීමට ඔහු සූදානම් නැත. වැදගත්ම කාරණය වන්නේ ඔහුට මෙම අත්තනෝමතික බලය ලැබී ඇත්තේ කොතැනින්ද යන්නයි. ඔහු ද මහජනතාවගේ කැමැත්ත අනුව පත් වූවෙකි. පාර්ලිමේන්තුව තෝරා පත් කරන්නේ කෙතරම් අඩපාඩු මධ්‍යයේ වුවද මහජන කැමැත්තෙනි. එවිට ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන මතය නොසලකා සිටීමේ බලය ලැබුණේ පැරණි රජවරුන්ට මෙන් දෙවියන් වහන්සේගෙන් ද?
ජනාධිපති සිරිසේන මහතා තම නිවැරදි භාවය තහවුරු කිරීමට කිසිම වග විභාගයක් නැතිව කරුනු ඉදිරිපත් කිරීම ද නිතර සිදු කරයි. පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත නොහැකිව සිටින මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඊනියා කැබිනට් මණ්ඩලයට අධිකරණයෙන් වාරණයක් පැනවීමත් සමග රට අරාජික තත්වයට පත්ව ඇතැයි යන චෝදනාවට ඔහු පිළිතුරු වශයෙන් පැවසුවේ ජර්මනියේ සහ ඉතාලියේ මහා මැතිවරණ පැවැත්වීමෙන් පසුව මාස හයක් ගත වන තෙක් ආණ්ඩු පිහිටුවීමට නොහැකිවීම මෙන් මෙම තත්ත්වය ද සාමාන්‍ය කරුණක් බවය. එහෙත් ලංකාවේ පවතින්නේ රාජ්‍ය නායකයා වන ඔහු හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු බහුතරයක් නැති අගමැති කෙනෙක් පත් කිරීම නිසා උද්ගත වූ තත්ත්වයකි. ජර්මනියේ සහ ඉතාලියේ නව ආණ්ඩු පිහිටුවීමට නොහැකි වුවත් භාරකාර ආණ්ඩුවට පරිපාලනය පවත්වා ගැනීමට අභියෝගයක් තිබුණේ නැත. ලංකාවේ අද පවතින්නේ භාරකාර ආණ්ඩුවක් හෝ වෙනත් ආණ්ඩුවක් නැති තත්ත්වයකි. ආණ්ඩුවේ එදිනෙදා පැවැත්ම සඳහා ගත යුතු තීන්දු ගැනීමට ද නීත්‍යනුකූල ව්‍යුහයක් නැති තත්වයකි.

රාජපක්ෂ යුගයේ පැවති අකටයුතු තුරන් කොට ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කෙරෙන යහ පාලකයක් ඇති කිරීමට ජනවරමක් ලබා බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම අපට නිතැතින්ම සිහිපත් කරන්නේ නයිජීරියාවයි. නයිජීරියාවේ වත්මන් ජනාධිපති මොහොමදු බුහාරි බලයට පැමිණියේ ද ඊට පෙර පැවති ගුඞ්ලක් ජොනැතන්ගේ පාලන සමයේ තිබු හොර මැරකම් තුරන් කොට යහ පාලනයක් ඇති කිරීමට ය. එහෙත් බලයට පැමිණ වැඩි කලක් යෑමට පෙර ඔහු ද කලින් සිටි ජනාධිපති ජොනැතන්ගේ අඩි පාරේම ගමන් කිරීමට සූදානම් වන බව පෙනිණ. හදිස්යේම රෝගාතුරවූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දිගු කලක් රටින් පිටව සිටීමට සිදු විය. සුවය ලබා ආපසු පැමිණි ඔහු ගේ පාලනයට බරපතළ දූෂණ වංචා එල්ල විය. ඔහුගේ මෙම හැසිරීම නිසා පුදුමයට පත් නයිජීරියානුවන් දැන් බලයේ සිටින්නේ ඔවුන් ඡන්දය දී පත් කළ තැනැත්තා නොවන බවට සැක පහළ කළහ. සමහර අයගේ මතය වූයේ දැන් සිටින බුහාරි කලින් සිටි බුහාරිගේ හැඩ රුව ඇති වෙනත් පුද්ගලයෙකුය යන්නයි. මෙම ප්‍රචාර කෙතරම් ප්‍රබල වූයේ ද යත් ජනාධිපති බුහාරිට ජනතාව ඉදිරියට පැමිණ තමා නියම බුහාරි බව පැවසීමට සිදු විය.

අද ශ්‍රී ලංකාවේ අපට නැගීමට ඇත්තේ ද එවැනි ප්‍රශ්නයකි. අද ජනාධිපති සිරිසේන නමින් පෙනී සිටින්නේ ඇත්තෙන්ම 2015 ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේනම ද යන්න ගැටලුවකි. ජේ ආර් ජයවර්ධනගේ ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත දමා නැවතත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ජනවරමක් ලබා ගත් පුද්ගලයා අද ජේ ආර්ගේ ව්‍යවස්ථාව ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන බව පැහැදිලිය. අපට අනුමාන කළ හැක්කේ 2015 ජනවාරි අට වැනිදා ජනවරම ලබා ගත් පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු ජනාධිපති නමින් පෙනි සිටින්නේය යන්නයි. එසේ නොවන බව තහවුරු කළ හැකි වන්නේ 2015 ජනවාරි මස සපථ කළ ආකාරයට කටයුතු කිරීමෙන් පමණි.