අර්බුදය ජයගැනීම හෙවත් දෙවැනි නිදහස් අරගලය

වික්ටර් අයිවන්

ලංකාවේ නිදහසේ සිට ඇතිවී විවිධ ස්වරූප ගනිමින් වර්ධනයවෙමින් තිබූ අර්බුදය මේ වනවිට ව්‍යවස්ථා අර්බුදයක ස්වභාවය ගනිමින් ලංකාවේ රාජ්‍යයේ පැවැත්ම මුළුමනින් බිඳ දමන තත්ත්වයකට වර්ධනයවෙමින් පවතී. අධිකරණය දෙනු ලබන තීන්දුව කුමක් වුවත් රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම වැළකිය නොහැකිය. ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී ක්‍රියාව රාජ්‍යයේ ඇතිවී තිබුණ බිඳ වැටීම පරිපූර්ණ අරාජික තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර නැවත ආණ්ඩු බලය තිබුණු පරණ තත්ත්වයට ගෙන ඒම, රට ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කිරීම රාජ්‍යයේ ඇතිවී තිබෙන මහා බිඳ වැටීම වැළැකීමට හේතුවන්නේ නැත.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ නැවත ආණ්ඩු බලය පරණ තත්ත්වයට පත්කිරීමට හේතුවන තීන්දුවක් ලැබුණද අගමැතිකමට රනිල් වික්‍රමසිංහ පත් නොකිරීමය. ඒ මගින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ රනිල් වික්‍රමසිංහගෙන් පළිගැනීම පමණක් නොව, එජාපය දරුණු අර්බුදයකට යවා එයට තිබෙන ශක්තිය හීන කොට එජාප තමන්ට පාලනය කළ හැකි තත්ත්වයකට ගැනීමය. මේ මොහොතේ අගමැතිකමට රනිල් හැර වෙන කොයි කවුරු තෝරා ගත්තද එම පක්ෂයේ බල ව්‍යුහය ගොඩනැගී තිබෙන ආකාරයට අනුව එම පක්ෂය තුළ ලොකු අභ්‍යන්තර අර්බුදයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එජාපයේ බලව්‍යුහය සකස් වී තිබෙන්නේ එහි නායකයාගේ විශ්වාසවන්ත සහචරයන්ට ප්‍රමුඛ වැදගත්කමක් ලැබෙන ආකාරයටය. මේ මොහොතේ එම පක්ෂයේ නායකත්වයේ ඇති කරන වෙනසක් එම බලව්‍යුහයේද ලොකු වෙනසක් ඇති කිරීමට හේතුවී එම පක්ෂයේ ලොකු අර්බුදයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. එය ජනාධිපතිවරයාගේ උපයාමාර්ගික දේශපාලන අපේක්ෂාව වන බවද පෙනේ.

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය

මීට පෙරද සලකා බලන ලද පරිදි ලංකාවේ එවකට තිබූ දේශපාලන පක්ෂ පිළිබඳව ඩොනමෝර් කොමිසම ප්‍රකාශ කළ එක් වැදගත් නිරීක්ෂණයක් වූයේ ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකි බවය. ඩොනමෝර් කොමිසමෙන් පසු අවුරුදු 80ක් තරම් කාලයක් ගෙවී ඇතත්, ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් රටේ දේශපාලන පක්ෂවල තත්ත්වයෙහි කිසිදු යහපත් වෙනසක් ඇතිවී නැත. වර්තමානයෙහි ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ දේශපාලන පක්ෂවල ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් නොව ඒකාධිපති ක්‍රමයකට බර තබා සකස් කළ ව්‍යුහයන්ය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන මූලධර්ම ක්‍රියාත්මක වන කිසිදු දේශපාලන පක්ෂයක් රටේ නැති තරම්ය. සියලුම දේශපාලන පක්ෂවල සංවිධාන ව්‍යුහයන් සකස් කර තිබෙන්නේ පක්ෂ නායකයාට ඒකාධිපති බලයක් ලැබෙන ආකාරයටය. තීන්දු ගැනීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමේ අයිතියක් පක්ෂ සාමාජිකයන්ට ලැබී නැත. පක්ෂ අරමුදල් විනිවිදභාවයෙන් තොරය. සියලුම දේශපාලන පක්ෂ නඩත්තු වන්නේ සාමාජික අරමුදල්වලින් නොව, කළු සල්ලිවලිනි. දේශපාලන පක්ෂවල ව්‍යවස්ථා සැලකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ලෙස නොව ඒකාධිපති ව්‍යවස්ථා ලෙසය. අවසාන විග්‍රහයේදී සියලුම දේශපාලන පක්ෂ සැලකිය හැක්කේ පක්ෂ නායකයන් ඒකාධිපති නායකයන් වශයෙන්ද පක්ෂ සාමාජිකයන් එම ඒකාධිපති නායකයන්ගේ සහචරයන් වශයෙන් ක්‍රියාකිරීමටද පුරුදු පුහුණු කරවන ආයතන ක්‍රමයක් වශයෙනි.

රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි ඒකාධිපති පන්නයේ පක්ෂ ක්‍රමයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා අරමුදල් විගණනය කරන ක්‍රමයක් නැත.

ලංකාව පසුකලෙක මහත් උජාරුවෙන් ඇති කරගත් මැතිවරණ කොමිසම පවා ඉන්දියානු මැතිවරණ කොමිසමට සාපේක්ෂව ගත් කල ඉතාමත් පසුගාමී මැතිවරණ කොමිසමක් ලෙස සැලකිය හැකිය. අඩුම වශයෙන් මැතිවරණ කොමිසම නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයන් එය සකස් කර තිබෙන්නේ ඉන්දියාවේ පවතින මැතිවරණ කොමිසම ගැනවත් හැදෑරීමකින් තොරවය. ඉන්දියාවේ පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් සඳහා දැඩි නීති තිබෙන අතර මැතිවරණ වියදම් සඳහාද දැඩි නීති පවතී. ඉන්දියාවේ පක්ෂ අරමුදල් හා පක්ෂවල මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය සේ ම පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන සොයා බැලීමේ බලයද ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ක්‍රම ක්‍රියාත්මක නොවන පක්ෂ තහනම් කිරීමේ බලයද එම කොමිසම සතුය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය ලංකාවේ මැතිවරණ කොමිසමට ලබාදී නැත. එම බලතල හිමිකර ගැනීමේ උනන්දුවක් ලංකාවේ මැතිවරණ කොමිසමට තිබෙන බවක්ද පෙනෙන්නට නැත.

කොල්ලකාරී ස්වභාවය

රටේ ලොකු කුඩා සියලුම දේශපාලන පක්ෂ පවත්වාගෙන යමින් තිබෙනුයේ දේශපාලන බලය අල්ලා ගැනීම හා එම බලයේ ඍජු සහ අනියම් ලෙස කොටස්කරුවකු වීම මගින් රටේ පොදු වස්තුව කොල්ලකෑමට හෝ අයථා ලෙස උපයා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා එම අවශ්‍යතාවට ගැළපෙන ලෙසය. එජාප හා ශ්‍රීලනිපය එම වස්තු කොල්ලයේ අයිතිය සඳහා තරග කරන ප්‍රධාන පක්ෂ දෙක ලෙස ක්‍රියා කරන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කුඩා පක්ෂ බලය ලබාගන්නා පාලක පක්ෂයට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් ඵල ප්‍රයෝජන ලබන පක්ෂ ලෙස ක්‍රියා කරති.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී කවර රටකවත් නැති ආකාරයට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමේ, කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියාකිරීමේ බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ හා ආණ්ඩුවේ දේපළ මිලදී ගන්නන් ලෙස ක්‍රියාකිරීමේ ඉඩ ලබාදෙන දූෂිත සම්ප්‍රදාය ඇති කරන ලද්දේ එජාපය වුවත් විපක්ෂය ලෙස ක්‍රියා කළ ශ්‍රීලනිපය හෝ අන් පක්ෂ එම දූෂිත සම්ප්‍රදායට කැමැත්තෙන් අනුගත වූවා මිස ඊට එරෙහි වූයේ නැත. ලංකාවේ හැර මොනම රටකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් හෝ එම වාහන සඳහා රජයේ වියදමෙන් ඉන්ධන ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බව අවධාරණයෙන් කිව යුතුය. ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය වැනි එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට “විප්ලවකාරී පෙනුමකින් පෙනී සිටින පක්ෂ පවා එම දූෂිත කොල්ලකාරී ක්‍රමයට අනුගත වූවා මිස, එම දූෂිත ක්‍රමයට අභියෝග කරන තැනකට ගියේ නැත. ඔවුන් එම දූෂිත ක්‍රමයට අනුගත නොවී ඊට අභියෝග කරන පිළිවෙතකට ගියේ නම් එම දූෂිත ක්‍රමය ලොකු අර්බුදයකට යන්නට ඉඩ තිබුණි.”

ලංකාවේ ගුවන් තරංග හෝ සංඛ්‍යාත විෂය දැවැන්ත වස්තු කොල්ලයක් සිදුවන ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය. ගුවන් තරංග පොදු මහජන අයිතියක් ඇති ලොකු වටිනාකමකින් යුතු දුලබ වස්තු විශේෂයක් ලෙස මුළු ලෝකය විසින්ම පිළිගැනෙන දෙයක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍යයක් සංඛ්‍යාත අලෙවි කරන්නේ වෙන්දේසි ක්‍රමයටය. ඒවාට ලැබෙන මිලද ඉහළම මට්ටමක පවතී. සංඛ්‍යාත මිලදී ගත් බලපත්‍ර ලාභියකුට ගුවන් විදුලි හෝ රූපවාහිනී විකාශනාගාරයක් පවත්වාගෙන යෑමේ අයිතිය ලැබෙතත් ගුවන් සංකේත මහජන දේපළක් ලෙස සැලකෙන නිසාම එම විකාශනාගාරය මහජන යහපතට හේතුවන ලෙස ඒ රට ලබාදෙන පිළිගත් රාමුවක් තුළ එය පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අයිතිකරුවා බැඳී සිටින්නේය. එහෙත් ලංකාවේ ගුවන් සංකේත විකිණෙන්නේ ප්‍රසිද්ධියේ නොව හොර රහසේය. භාණ්ඩාගාරයට යන්නේද එයට ලැබිය යුතු නියම මිල නොව නාමික මිලක් පමණය. භාණ්ඩාගාරයට යායුතු නියම මිල යන්නේද තුන්වැන්නෙක්ගේ සාක්කුවටය. ඊළඟ වැදගත් දේ ඒ මගින් ඇති කරන විකාශනාගාරය එහි හිමිකරු පවත්වාගෙන යන්නේද මහජන යහපතට හේතුවන ප්‍රතිපත්තිමය රාමුවකට යටත්ව නොව මහජන රසඥතාව හා විචාර බුද්ධිය හීන කිරීමට හේතුවන ආකාරයටය. රටේ ජනමාධ්‍යවල අවලස්සන ක්‍රියාකාරීත්වයද රාජ්‍යයේ කුණුවීම කෙරෙහි සේ ම මහජන සවිඥානකත්වය දුප්පත් හා අවිචාරවත් තත්ත්වයක තැබීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල හේතුවක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර ගණනාවක් ඇයට සමීප විශ්වාසවන්ත සහචරයකුට ලබාදෙන ලදි. හිරු ආයතනය මිලදී ගත්තේ එම බලපත්‍රයකි. ඇය පත් කළ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාද ආණ්ඩුව වෙනස් වන මොහොතේදී ගෙදර ගියේ තමන්ගේ නමට ලියා ගත් බලපත්‍රයක්ද සාක්කුවේ දමාගෙනය. එය ඩයලොග් සමාගමට විකුණන ලද බව කියන්නේ ඩොලර් මිලියන 05කටය. ගුවන් සංඛ්‍යාත විකිණෙන මිල ගැන ඉන් දළ අදහසක් ඇති කරගත හැකිය. ඒ මිල ලැබිය යුතුව තිබුණේ භාණ්ඩාගාරයට වුවත් එය ගියේ හිටපු සභාපතිවරයාගේ සාක්කුවටය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී 2005 ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඊට දායක වූ සමහර පුද්ගලයන්ට දේශපාලන ව්‍යාපාරවලට ඒ වෙනුවෙන් ගෙවීම් කරන ලද්දේ ගුවන් විදුලි විකාශනාගාර සඳහා බලපත්‍ර ලබාදීමෙනි. හෙළ උරුමයට, ජනතා විමුක්ති පෙරමුණට හා නාමාධාරී හිමිනමකට බලපත්‍ර ලබාදෙන ලදි. ඒ හිමිනම තමන්ට ලැබුණු බලපත්‍රය තේ සමාගමක හිමිකරුට විකුණන ලද්දේ රුපියල් මිලියන 40කටය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ මොහොතේ තමන්ට ආධාර කළ කුඩා පක්ෂ දෙකට හා හිමි නමකට රාජ්‍ය දේපළවලින් ගෙවන ලද මිලේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. එම මිලියන 120ද යායුතුව තිබුණේ භාණ්ඩාගාරයටය. ඒ මුදල් ගියේද හිමිනමකගේ හා පක්ෂ දෙකේ සාක්කුවටය. ලංකාවේ දේශපාලන තලයේ සිදුවන වස්තු කොල්ලයට විප්ලවකාරී පෙනුමකින් ක්‍රියාකරන කුඩා පක්ෂ දායක වන ආකාරය එම නිදර්ශනය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. එය මහජන දේපළවලින් ඔවුන්ට දෙන ලද අල්ලසක් බව තේරුම් ගැනීමට බැරි තරමට එම පක්ෂ දෙක නූගත් වී යැයි කිව නොහැකිය. වර්තමාන ජනාධිපතිවරයාටද තමන්ට ආධාර කරන විකාශනාගාරයක් පවත්වාගෙන යන සමාගමකට රාජ්‍ය විකාශනාගාරවලට පවා නැති තරමේ ධාරිතාවක් ඇති කර ගැනීමට හේතුවන ලෙස ගුවන් සංඛ්‍යාත ලබාදීමේ චෝදනාවක් එල්ල වී තිබෙන බවද අමතක නොකළ යුතුය.

පුනරුදය උදාකර ගැනීම

මේ වනවිට ව්‍යවස්ථා අර්බුදයක ස්වරූපය ගෙන තිබෙන අර්බුදය රාජ්‍යයද එහි ආයතන ක්‍රමයද බිඳ දැමීමට හා ක්‍රියාවිරහිත කරන තත්ත්වයක් ඇති කොට ලංකාව මුළුමනින් අරාජික තත්ත්වයකට තල්ලු කරමින් තිබේ. දැන් ලංකාවට අංගවිකල ව්‍යවස්ථාවක් මිස විධිමත් ව්‍යවස්ථාවක් පවා නැත. මෙම අර්බුදය තිබෙන සමස්ත පරණ ක්‍රමය මුළුමනින් බිඳ දැමීමට හේතුවිය හැකිය. ඒ සමග පරණ දේශපාලන පක්ෂ හා එහි නායකයන්ට තිබෙන පිළිගැනීමද අහෝසි කිරීමට හේතුවනු ඇති අතර මහජනතාවද අනෙක්විධ ආකාරවලින් පීඩාවන්ට පත් කරන අතර රටේ පවත්නා පරණ යල්පැනගිය ආකල්ප නැති කොට වඩා නවීන ලෙස හා තර්කානුකූලව සිතන සමාජයක් ඇති කිරීමටද හේතුවනු ඇත.

පුනරුද ව්‍යාපාරය නමැති දේශපාලන කළල බීජය ඇතිවී වර්ධනය වූයේ ලංකාව අරාජික තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙන්නේ යැයි කියන හා ජාතිය ගොඩනගා ගනිමින් දූෂණයෙන් තොර, අකාර්යක්ෂමතාවෙන් තොර නීතියේ ආධිපත්‍යය රජයන නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට එය අවස්ථාවක් කරගත යුතුය කියන මතවාදී ගර්භාෂයේය. එය රාජ්‍යයේ ඇතිවී තබෙන කුණුවීම දකින්නට සමත් වූවා සේ ම ඇතිවී තිබෙන ව්‍යවස්ථා අර්බුදය කල්තියා දැක්කේය. එය ආරම්භයේ සිට තම ප්‍රධාන අරමුණ කරගත්තේද වර්ග, කුල හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව ලංකාවේ සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා ගෞරවය ලබාදෙන ප්‍රවේශයක් තුළ සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනැගීම හා කුණුවී බිඳ වැටෙමින් තිබෙන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමය.
රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීමේ තරම අනුව මැතිවරණයකින් බලය අල්ලන ක්‍රියාමාර්ගයකින් ජය ගත්තද ජයග්‍රාහකයා කුණුවූ ක්‍රමයේ රුදුරු ගොදුරක් බවට පත්වනවා හැර ජයග්‍රාහකයාට කිසිදු ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි බවද එය දරන ලද මතය විය. රාජ්‍යයේ පූර්ණ විපර්යාසයක් ඇති කරගන්නා තෙක් මැතිවරණවලට තරග කරන ප්‍රතිපත්තියෙන් බැහැර වී සිටිය යුතු බවද වෙනස්කම් ඇතිකරගත යුතුව තිබෙන්නේද ඇතුළට ගොස් නොව, පිටත සිටිමින් බවද අවශ්‍ය කරන විපර්යාසයන් මහජනයා ලවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරවන ක්‍රමයකින් ඇති කරගත යුතු බව එය දරන ලද මතය විය. එවැනි මහජන මැදිහත්වීමක් සඳහා රාජ්‍යයේ බිඳ වැටීම අත්‍යවශ්‍ය වන අතර රාජ්‍යයේ ඇතිවෙමින් තිබුණු බිඳ වැටීම කිසියම් ඓතිහාසික මොහොතකදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන අවකාශය ලබාදෙනු ඇති බවද පුනරුදයේ විශ්වාස වී තිබුණි. ව්‍යවස්ථා අර්බුදය ඇතිවන්නට පෙර සිටම ජනාධිපතිවරණයට පෙර දේශපාලන සුනාමියක වේශයෙන් විනාශකාරී ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවන්නට නියමිත බව පුනරුද ව්‍යාපාරය ලිවීමෙන් හා වෙනත් ආකාරවලින් මහජනයා දැනුවත් කිරීමට උත්සාහ කළා පමණක් නොව, පිළිගත් තෝරාගත් විද්වතුන් පිරිසකගේද අත්සන් ඇතිව ඒකාබද්ධ වී ක්‍රියාකිරීමේ වැදගත්කම මහජන සංවිධානවලට අවධාරණය කරන ලියවිල්ලක් සකසා එම ලියවිල්ල මහජන සංවිධාන අතර බෙදා දෙන ප්‍රතිපත්තියක්ද අනුගමනය කළේය.
පුනරුදය කල්පනා කරන ආකාරයට සුන්බුන් තත්ත්වයකට පත්වෙමින් තිබෙන අයුක්තිය රජයන, අකාර්යක්ෂම දූෂණයෙන් කුණුවූ පරණ රාජ්‍යය වෙනුවට ජාතික සමගියේ අත්තිවාරම මත කාර්යක්ෂම, සාධාරණ, දූෂණයෙන් තොර හා නීතියේ ආධිපත්‍යය රජයන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජනයාගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී බහුත්වවාදී නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමේ ඓතිහාසික යුතුකම පැවරී ඇත්තේ දේශපාලකයන්ට නොව රටේ මහජනයාටය. රටේ මහජනයාට එම ඉලක්කය ජයගැනීමට හැකිවනු ඇත්තේ පහත සඳහන් මූලික කොන්දේසිය සපුරා ගැනීමට සමත් වන්නේ නම් පමණය.

මහජන සංවිධානවල බල මණ්ඩලයක්

එනම් මහජන සංවිධාන (වෘත්තීයවේදී සංවිධාන, වෘත්තීය සමිති, ගොවි, ධීවර හා හස්ත කර්මාන්තකරුවන්ගේ සමිති, වාණිජ හා ව්‍යාපාරික සංවිධාන, කලාව, සාහිත්‍යය හා සංස්කෘතියට සම්බන්ධ සංවිධාන හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන) එකට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් තුළ මහජන සංවිධාන බලමණ්ඩලයක් ඇතිකර ගත යුතුය. එම මහජන බල මණ්ඩලය

i. එම බල මණ්ඩලය මහජනයා දැනුවත් කොට ජාලගත කරන වැඩසටහනක් මගින් සමාජය අරාජකවීම, නීතියට පටහැනිව ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාකිරීම වළකන ඒ සඳහා අවශ්‍ය කරන අවබෝධය මහජනයාට ලබාදෙන විශේෂ ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කළ යුතුය.

ii. මහජනයා අතර තිබෙන වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීමද මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීමද නැති කිරීම පිණිස ක්‍රියාකරන බෙදී තිබෙන සමාජය ඒකාග්‍ර කොට ජාතිය ගොඩනැගීම පිණිස ක්‍රියාකරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කළ යුතුය.

iii. පොදු ජාතික දෘෂ්ටියක් තනා ගැනීමට හේතුවන ලෙස බලමණ්ඩලයට එකතුවී තිබෙන සංවිධානවල උනන්දුවට හේතුවී තිබෙන විෂයන්ද රටේ පැවැත්මට අදාළ වෙනත් විෂයන්ද ඇතුළත් වන ලෙස ජාතික මට්ටමේ සංවාදයක් ආරම්භ කොට පවත්වාගෙන යන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතුය. එහිදී පරණ රාජ්‍යයේ ගරා හැලීම හා කුණුවීම කෙරෙහි බලපෑ හේතු සොයා බලන ප්‍රතිනිර්මාණය කරගැනීමට සිහින දකින නව රාජ්‍යයේ අවශ්‍යයෙන්ම තිබිය යුතු වැදගත් ලක්ෂණ සොයා බලන ආයතන ක්‍රමයක් ලෙසද ක්‍රියා කළ යුතුය.

iv. නිදහසේ සිට වර්තමානය දක්වා රටේ සිදුවී තිබෙන බරපතළ වැරදි ගැනද, ඒ වැරදිවලින් පීඩාවට පත්ව සිටින මිනිසුන් ගැනද කරුණු සොයා බලන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කළ යුතුය.
ඩග රටේ සිදුකරන විපර්යාසයන් සඳහා ජනමාධ්‍යවල සහාය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන නිසා ජනමාධ්‍ය විෂයෙහි ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන හේතු, මහජනයාට වගකියන ජනමාධ්‍ය සම්ප්‍රදායක් ඇතිකර ගැනීම සඳහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන සොයා බලන හා එම ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා ක්‍රියාවට නගන මහජන වැඩසටහනක් වෙනුවෙන් ක්‍රියාකරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කළ යුතුය.

iv. දැන් රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැත. නව රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීම අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියකි. ලංකාව මෙතෙක් හදාගෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනම ව්‍යවස්ථා සම්පාදනයකදී අවශ්‍යයෙන්ම අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් නොසලකා ව්‍යවස්ථා සම්පාදනයකදී පවත්වාගෙන යායුතු නිසි ගෞරවය හා ගාම්භීරත්වය නැතිව පොදු යහපත වෙනුවට පටු දේශපාලන අභිලාෂ සඳහා මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමෙන් තොරව ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා සම්පාදනයන් ලෙස සැලකිය හැකිය. ඒ පරණ වැරදි ක්‍රමයෙන් බැහැර වී ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ක්‍රමයක් තුළ මහජනයාගේ ක්‍රියාකාරී දායකත්වයෙන් සැබෑ මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගන්නා ක්‍රමයක් හා ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික වැඩසටහනක් සකස් කරන එම වැඩසටහනට මගපෙන්වන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කළ යුතුය.

මෙවැනි විස්තීරණ මහජන ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකට ගෙන ඒමට මහජන වැඩසටහනක් සාර්ථක ලෙස ක්‍රියාකිරීමට සමත් වෙතොත් රෝගී තත්ත්වයක තිබෙන සමාජය සුවපත් කළ හැකිය. ඒ මගින් ඔවුන් තර්කානුකූලව සාධාරණ ලෙස හා බහුත්වවාදී ලෙස සිතන පතන නවීන සමාජයක් බවට පත් කළ හැකිය. වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැතිවී බෙදී සිටින සමාජය ඒකාග්‍ර කිරීමටත් නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීමටත් හේතු වේ. එම ක්‍රියාවලිය රටට පරිණත නායකයන් බිහිකිරීමට හේතුවනු ඇති අතර රටේ සමගිය හා දියුණුව සඳහා අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් ඇතිකර ගැනීමටද හේතුවනු ඇත. යුක්තිය හා සාධාරණත්වයද නීතියේ ආධිපත්‍යයද රජ කරන දූෂණයට හා අකාර්යක්ෂමතාවට ඉඩක් නැති ව්‍යුහයන්ගෙන් හා ක්‍රමවේදයන්ගෙන් සමන්විත නව රාජ්‍යයක් සඳහා වන මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.