අබ කෑවා නම් මොළේ දනවාමයි

උපාලි කොළඹගේ

ජනාධිපති සිරිසේන දැන් ටික දවසක සිට පුතයා වෙලාය. තැන තැන විවෘත කිරීම්ය. රජයේ සේවකයන්ට නීති රෙගුලාසි දමයි. ආයතනවලට ගොස් සොයා බලයි. වසර 3 1/2කට පසු නින්දෙන් අවදි වූවකු ලෙස ආණ්ඩුවේ උත්සවවලට මුදල් නාස්ති නොකරන ලෙස කියා සිටී.

පසුගිය මාසයකටත් වැඩි කාලය තුළ ඔහු හැසිරුණු ආකාරය අනුව මේ අර අඳින්නේ කුමකටදැයි යන්න පිළිබඳව කුකුසක් හටගැනීම ස්වාභාවිකය. ඊටත් එහා ගිය භීතියක් සිත්හී අමු අමුවේ උල්ලංඝනය කිරීමෙන් ඒකාධිපති වියරුවේ පූර්විකාව ඔහු දැනටමත් සනිටුහන් කර හමාරය. මෙය ශ්‍රී ලංකාවාසී අපහට අලුත් අත්දැකීමකි. පූර්වගාමීන් ව්‍යවස්ථාමය රෙගුලාසි නැව්වා මිස කුඩු පට්ටම් කෙළේ නැත. ගොවි පුතකු අතින් මෙසේ සිදුවීම ඛේදයකි.

අද සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයනටම මැක්කන් සමග නැගිටීමටය.
කෙසේ වුවත් සිරිසේන දැන් හුදෙකලා චරිතයකි. ඔහු විසින්ම රනිල්ව පන්නා දමා ඇත. ජාතික ගීයට අත වනන විටකදී අත පල්ලෙහා දැමීමට සිටි මහින්දද අද එතැන නැත. කෙසේ වුවත් මෛත්‍රී – මහින්ද හොර මඟුලට එතරම් ආයුස නැති බව දැන් දැන් සිදුවන දේ අනුව පෙනේ. අබ කෑ මිනිසාට මොළේ දැවිල්ල නොහැදෙනවා නම්ය පුදුමය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට තමා සූදානම් බවට සිරිසේන මහතා කළ ප්‍රකාශය තුළද ඇත්තේ මෛත්‍රී – මහින්ද දීගයේ පුපුරා යෑමේ පෙර නිමිතිය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ඒකායන අරමුණ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හකුළා දැමීමය. එසේ කර 18 වැනි සංශෝධනය යළි බලාත්මක කිරීමය. එවිට මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැත.

එවැන්නක් සිදුවුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා අඩි 6ක් පොළොව යටට කෙසේ වුවත් දේශපාලන කුණු කූඩයට විසිවනු නොඅනුමානය.
මහින්ද පාර්ශ්වය තමනට පක්ෂපාතී කළු ජනමාධ්‍ය හා විවිධ පාර්ශ්වයන් සහභාගි කරගෙන 19ට පහර පිට පහර ගසනුයේ මෙම යටි අරමුණ සිත්හී සඟවාගෙනය. මහින්දලාට අනුව රටට දැන් සිදුව ඇති විපතේ මූල බීජය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. සිරිසේනගේ හීනමානය හෝ දේශපාලන කුහකත්වය ඉදිරියේ ඔවුන්ගේ දෑස් අන්ධය. දෙකන් බිහිරිය. එයද සිරිසේන දේශපාලන දංගෙඩිය කරා දක්කාගෙන යන තෙක් සිදු කෙරෙන රංගනයක් පමණි.

19ට එරෙහි මහජන මතයක් ගොඩනැංවීමට රාජපක්ෂ කල්ලිය සිය උපරිම උත්සාහය ගනී. එවැනි ජනමතයක් ගොඩනැංවුවහොත් එය ඔවුනට දේශපාලන රක්ෂණයක් වනු ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයේදී 19ට එරෙහිව සමාජගතවී ඇති කරුණු බොහොමයක් සාවද්‍ය බව දැනටමත් හෙළිවී තිබේ. එහෙත් ගොබෙල්ස් න්‍යාය අනුව 19ට එරෙහිව සෑහෙන පමණ විරුද්ධ මතයක් දැනටමත් සමාජගතව පවතී.

දේශපාලන සාක්ෂරතාව අතින් ශ්‍රී ලාංකික සමාජය දුප්පත්ය. දේශපාලනයෙන් පිටස්තරවද තත්ත්වය එසේය. විශේෂයෙන් සිංහල ගැමි ප්‍රජාවගෙන් බහුතරය අකුරු දන්නා අතර කියවීමේ හා ලිවීමේ හැකියාව ඇතිමුත් සිය දැනුම වැඩිකර ගැනීමට එම හැකියාවන් අභ්‍යාස කරන්නේ නැත. ඔවුන් සටකපට දේශපාලනඥයන්ගේ අල්ලේ නැටවෙන රූකඩ බවට පත්ව ඇත්තේද එනිසාය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි රාජපක්ෂගේ කල්ලියේ ප්‍රහාරකයන්ට අනුව 19 වැනි සංශෝධනය හිල් කූඩයකි. පාර්ලිමේන්තුවෙන් සම්මත වනුයේ එකකි. නීතිගත වනුයේ තව එකකි. දෙමළ පිටපත සිංහල පිටපතට වෙනස්ය. අධිකරණය හමුවට ඉදිරිපත් කළ පිටපත තව එකකි. මෙය සම්මත කෙරුණේද මහ රෑ යක්කු ගස් යන වෙලාවේදීය. වාද විවාදය කිරීමට අවශ්‍ය තරම් කාලයක්ද නොලැබුණේය.
මේවා අමුම අමුම කෙප්පය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනවල මේ කිසිම මැසිවිල්ලක් පැන නැගුණේ නැත. මුල් පිටපතට සංශෝධන වැඩි හරියක් ඉදිරිපත් වූයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙනි. ඔවුහු එජාපය හා සුහද කතාබහෙන් ඇතැම් වගන්ති වෙනස් කර ගත්තෝය.
එම වෙනස් කෙරුණු ඇතැම් වගන්ති යහපාලන අපේක්ෂා බිඳෙනසුලු විය. ව්‍යවස්ථා සභාවේ සංයුතිය දේශපාලනඥයන්ට බර තැබෙන තැනකට යොමු වූයේද එනිසාය. එසේ නොවන්නට කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය දැනටත් වඩා ස්වාධීන වන්නට ඉඩ තිබිණ.
දැන් මහින්ද පාක්ෂිකයන් හඬ නගනුයේ බලාපොරොත්තු වූ ආකාරයට ශක්තිමත් නොවූ 19 වැනි සංශෝධනයද විනාශ කර දැමීමටය. මෙය රටට ඉතා කාලකණ්ණි තත්ත්වයක් උදාකරලීමේ තුච්ඡ උත්සාහයක් බව කිව හැක.
එසේ වුවහොත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම නැතිවී යෑමේ අවදානකමක්ද පවතී. සියලු ස්වාධීන ආයතන නාමිකව පමණක් පවත්වාගෙන යෑමට හැකිවන සේ සියල්ල වෙනස් වනු ඇත.
මහින්ද රාජපක්ෂ සිය ජනප්‍රියත්වය අලෙවි කර ඕනෑම නීති විරෝධී මෙන්ම සදචාර විරෝධී ක්‍රියාවක් මානව හිතවාදී වෙස් මුහුණක් සහිතව ක්‍රියාවට නැංවීමේ ගජ සමතෙකි.
කිසියම් ඉදිරිගාමී පියවරක් ලෙස සැලකිය හැකි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කෙරුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූයේද මේ අයුරිණි. එහි සෝපහාසය වනුයේ 18ට අත ඉස්සූ අය අතර යහපාලනයේ නිර්මාතෘ ඇමතිවරුන්ද සිටීමය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළ නොදමන්නට කිසිසේත්ම මෙවැනි අතිභයංකර තත්ත්වයක් උදා නොවන්නේය. සිරිසේනගේ අවකල් ක්‍රියාවේ ප්‍රතිවිපාක නියතයෙන්ම ඉදිරියේදී ඔහුට භුක්ති විඳීමට සිදු වුවද මේ නිසා රටට ගෙවීමට සිදුවී ඇති වන්දියේ විශාලත්වය නිසා අපට ඉන් කාලකණ්ණි සතුටක් හෝ විඳීමට නොහැක.
මෛත්‍රී – මහින්ද පාර්ශ්ව දෙක තුළ මෝදුවෙමින් පවත්නා විරසකයක් පිළිබඳ තවත් ඉඟියක් පසුගියදා පළවිය. ශ්‍රීලනිපය වෙනුවෙන් පැවති පුවත්පත් සාකච්ඡාවකදී එස්.බී. දිසානායක ප්‍රකාශ කර සිටියේ හදිසි මැතිවරණයකට නොගොසින් නිශ්චිත කාලවකවානුව එළැඹෙන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ යෝජනාවක් ඉදිරියේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන බවයි.
ඊට පසුදිනම මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඒ තුළින් ඔහු පැහැදිලිවම කියා සිටියේ මෙය තාවකාලික භාරකාර ආණ්ඩුවක් බවත්, තම කණ්ඩායමේ නිශ්චිත අරමුණ මහ මැතිවරණයකට යෑම බවත්ය. නව ඇමති මණ්ඩලය තුළ සිය කණ්ඩායමේ අය සිටිනුයේ කිහිපදෙනකු පමණක් බවද ඔහු කියා සිටියේය.

දැන් මහින්දගේ අරමුණ ඉතා පැහැදිලිය. ඉන් පළමුවැන්න මහ මැතිවරණයක් ලබාගැනීමය. එය විශිෂ්ට ලෙස ජය ගැනීම දෙවැන්නය. පසුව 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කර 18ට යළි එතැනට ආදේශ කිරීම අවසාන ඉලක්කයයි.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය.
ඉන් ජයගතහොත් මෛත්‍රීපාල සිරිසේන නමැති දැහැටි දණ්ඩ පහසුවෙන්ම ඉවතලනු ඇත.