සිරිසේනගේ දීප්තිය

ටිරන් කුමාර බංගගමආරච්චි

ගියවර රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ලියූ ලිපියට හොඳ සහ නරක ප්‍රතිචාර එක වගේ ලැබුණි. මේ මොහොතේ දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් කුමන හෝ හේතු මත රනිල් ආරක්ෂා කළ යුතු යැයි පිළිගන්නා මිතුරෝ රනිල්ට කැමති නැතත් රනිල් රැකිය යුතුයැයි කියන හරුපය මට නොතේරුණත් තේරුම් ගන්නටද උත්සාහ නොකරමි. කුමක් කළත් මහින්ද වන්දනා මාන කරන අය රනිල්ට එරෙහිව ලිවීම වෙනම ආතල් එකකට හරවා ගැනීම වෙනම කරුණකි. සමහරු රනිල්ගේ කල්ලියට ලිංගිකත්වය ඇමිණීම ගැනද උරණ වෙති. එය තරම් නොවෙතැයි කියති.

රනිල් වික්‍රමසිංහගේ සමරිසිකම් ගැන කතා කළේ එය රටට හානිකර නිසා මිස වෙන අදහසකින් නොවන බවද කිව යුතුය එජාපය පක්ෂයක් ලෙස විනාශවීම වෙනම වැඩකි. එහෙත් පාලන පක්ෂයක් ලෙස ඒ අය වෙනම ලෝකවල හිඳිමින් රට හප කිරීම අප කතා නොකළ යුත්තක්ද? තවත් සමහරුන්ට අනුව ඒ ලිවීම උචිත වුවත් එය මේ මොහොතේ නොකළම යුත්තකි. එසේ නම් රනිල් ගැන විග්‍රහ කළයුත්තේ ඔහුගේ චරිතාපදානය ලියන දවසකද? විශ්‍රාම සුවෙන් සිටින කාලයකද?

ඒ ගැන තවදුරටත් කතා කිරීම නොවටී. කෙටියෙන් කිවයුත්තේ රනිල් සම්බන්ධ ලිපියට ලැබුණු හොඳ සහ නරක ප්‍රතිඵල දෙකම දේශපාලනික බවය. පාට තැවරී ඇති බවය.
දැන් අලුත් මාවතකට එමු. සියල්ලෝ සියල්ල අධිකරණයට දී තැන් තැන්වල සූදු කෙළිති. ඒ රට උගසට තියාගෙනය. මේ නිසා රට විනාශ මුඛයට ඇද වැටෙන බව දෙපාර්ශ්වයම දෙවිදියකට කියති.

ඉතිරි වූ ඉතිරිය

ජනපති සිරිසේන නැටූ පිස්සුවත් සමග අනෙක් අයද පිස්සු නටන්නට පටන් ගත් අතර දැන් නිර්මාණය වී ඇත්තේ පිස්සන් කොටුවකි. සැබැවින්ම පුදුමය නම් රටේ ජනතාව මේ ප්‍රශ්නයේදී එය ජාතික ගැටලුවක් ලෙස ගෙන ඇද්ද යන්නය. මෙය දෙපිරිසකගේ තරගයක් වී ඇති අතර ඊට සහයට දෙපිරිසක් බෙදී සිටිති. ඒ දෙපිරිස මොන හේතුවකටවත් තම ප්‍රතිවාදියාට බුරුලක් නොදෙති. ජනපති සිරිසේන වෙනුවෙන් දැන් වැඩිපුරම කෑගසන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලය. මේ දේශපාලන කෑකෝ පප්පලා දේශපාලනයේ නාමයෙන් ජනපති සිරිසේන සුරුවමක් කර ඇත. එමෙන්ම ඊට දායක වන තවත් අතිරේක පිරිසක්ද ඇත. ඒ අය අතර අලුතින් පේන චරිතයක් ලෙස ගෙවිදු කුමාරතුංගද හැඳින්විය හැකිය. මේ තිදෙනාම කරනුයේ ජනපති සිරිසේනට වෙන ජාතිකත්වයක් ආරූඪ කරන්නටය. එනම් මහින්ද තෝරාගෙන ඔහු ඥානාන්විත ක්‍රියාවක් කළ බව කියන්නටය. කොටින්ම මහින්ද තෝරාගෙන තමන්ට ලෝකයක් තනා දුන් එකට ස්තුති කරන්නටය.

සිරිසේන ජනාධිපති කළ අපත වැඩ සියල්ල සපථ කරන්නටද පිරිසක් නිර්මාණය වී සිටිති. ඒ නිසා අපට සත්‍ය සොයා ගැනීම ලේසි පහසු නැත. කල්පනා කළයුත්තේ පාට පාක්ෂිකයන්ගෙන්ය. ඔවුහුද මේ දෙපිළ බඳුමය. එනම් තම පාර්ශ්වය වැරදි යැයි ඔවුහු නොපිළි ගනිති. ඊට කදිම උදාහරණය 19 වැනි සංශෝධන අනුව ජනපතිට කළ නොහැකි සියල්ල ඔහු කළේය. එසේ නම් එය හරියැයි කියන්නටද නීතිඥයෝ ඕනෑතරම් සිටිති. එය වැරදි යැයි තර්ක කරන්නටද නීතිඥයෝ එමට සිටිති. එසේ නම් මේ නීතිය උගත් අය නීතිය දෙවිදියකට අර්ථ ගන්වන්නේ කෙසේද? ජනපති හරි යැයි ද වැරදි යැයිද නීතිඥයෝ කියන්නේ කෙසේද? සම්මත නීතියක් නම් එය සම්මතය නොවේද? එකක් නොවේද? එය දෙවිදියකට අර්ථ දැක්විය හැකිද? ඒ අනුව බලන කල සාමාන්‍ය ජනතාවට දේශපාලන නායකයන් වෙනුවෙන් නීතිය වැදගත්ම වේද?

ඒ එක් අන්තයකි. ඒ හා සමානවම ඊට ඈඳෙන උගත් යැයි සම්මත කුලකයන්ද දෙපැත්ත බෙදුණි. පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදය අනුභව කරන විට තව පිරිසක් ජනපති සිරිසේන දෙන ඕනෑ දෙයක් වළඳති. එසේ නම් ජනපති සිරිසේන තමන් කළේ වරදක් යැයි සිතයිද? තමන් වරදක් කළා යැයි ඔප්පු කරනුයේ කෙසේද? අධිකරණය කුමන තීරණයක් දුන්නද තමන් එයට ගරු කරන බව කියන ජනපති සිරිසේන කාට දුන්නත් ආයේ රනිල්ට අගමැතිකම නොදෙන බවද කියන්නේය. එසේ නම් සිරිසේන පියවරක් හෝ පස්සට යතැයි කියනුයේ කෙසේද? අධිකරණයට ජනපති සිරිසේනගේ ක්‍රියාව වැරදි යැයි කිව හැකි වුවත්, ඒ තැන රනිල්ටම දිය යුතුයැයි කිව හැකිද? මේ ප්‍රශ්නය අධිකරණ තීන්දුවෙන් සමනය වේ යැයි සිතිය හැකිද?

ලාල් කාන්ත මහතා ළඟකදි ටී.වී. සාකච්ඡාවකදී අපූරු කතාවක් කීය. එනම් සිරිසේන මහින්ද පත් කළ එක හරිම කියමුකෝ. කෝ ඒත් මුකුත් කරන්න බැහැනේ. බහුතරයක් නැහැනේ, මුදල් පනතක් ගේන්න බැහැනේ යන විවිධ කතා කී අතර අවසානයේ ඉන් ජනිත වන්නේ සිරිසේන ජනපතිවරයා එය කළද වැඩක් නැති බවය. කතාව හරියටම හරිය. එහෙත් ලාල් මහතා අමතක කරන අනෙක් පැත්ත නම් ඔහුගේ පක්ෂය ඇතුළු වික්‍රමසිංහලාත්, පාර්ලිමේන්තුව රැස්වෙමින් බහුතරය ඇතැයි කියමින් එක එක විජ්ජා පෙන්නුවද ඒ අයටත් කළ හැකි දෙයක් නැති බව නේද? එසේ නම් මේ අනාථවීම හැම එක ලෙස වී නැද්ද? පසුගිය කාලයේ ජනපති සිරිසේන කීවේ ශ්‍රී ලංකා එක නැතිව කාටවත් ආණ්ඩු පිහිටුවිය නොහැකි බවය. එය අද ශ්‍රී ලංකා මන්ත්‍රීවරුද වමාරති. එහෙත් ඇත්ත නම් ශ්‍රී ලංකා එකටත්, අනෙක් පක්ෂ දෙකෙන් එකක් නැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි බවය. මෙය අර විදිහටද තර්ක කළ හැකිය. ප්‍රශ්නය එයය. 19 අනුව බෑ කිව්වද එය බැරිවූයේ කාටද? දැන් 19 ඉවත් කළ යුතු යැයි සිරිසේන කියන විට එය ඔහුද පිළිගන්නා බව පැහැදිලිය. එහෙත් ක්‍රියාත්මක නොකරති.

දෙපිල

රටේ පක්ෂ පාටට ඇලුම් කරන ජනතාව වගේම ඊට ඇලුම් කරන සිවිල් සංවිධාන, විවිධ කණ්ඩායම් බිහිවිය. කලාකරුවන් බිහිවිය. කලාකරුවන් බිහිවිය. ඒ අනුව එළිබහින අය මෙන්ම එළිනොබසින පිටුපස ක්‍රියාකාරීහුද බිහිවූහ. මීට පෙර ජනපති සිරිසේනව ක්‍රියාත්මක කළ රිමෝට් කන්ට්‍රෝලය තිබුණේ ශිරාල් ලක්තිලක අතේය. රනිල්ට ගල් ගහන තැනට ද්‍රෝහියා කිරීමේ විශාල කාර්යභාරයක් ඔහු කළා නියතය. ඔහුට තිබුණේ රනිල් සමග ගැටලුවක්ය. ඊට පළිගත හැකි හොඳම තැන සිරිසේන බව ඔහු දත් නිසා උපදේශකයකු ලෙස ඔහු මනාව සිය වැඬේ කරගත්තේය. ඊට උචිත පරිසරය රනිල් වික්‍රමසිංහද හදා දුන්නේය. ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයාට ශිරාල් කියන්නේ පරම සත්‍ය බව සිතන්නට ඇත. ඒ අනුව ඔහු මහා යෝධ පියවරක් ගත්තේය. එනම් හොටු ගැහැනි දී කැහි ගැහැනිය ගත්තේය. එසේනම් රනිල්ට ගැසූ තුරුම්පුව දැන් සිරිසේන ජනාධිපතිවරයා ගසන්නේද? නැතිනම් ඊට වෙනස්ද? එසේ නම් දැන් ඔහු ක්‍රියා කරන ආකාරය අනුව ඔහුට වැසී ඇත්තේ ශිරාල්ම නොවිය හැකි බව පැහැදිලිය. එසේ නම් මෙතරම් කඩා බිඳගෙන ගොස් ඍජුව සිටගෙන සිටින්නට ශිරාල්ට වඩා කෙරුමකුගේ උපදෙස් නොවුවමනාද? දේශපාලකයන් හැමවිටම ක්‍රියා කරන්නේ ඒ අයගේ න්‍යායාචාර්යවරු පෙන්වන මග අනුවය. රනිල් ඔහුම කෙරුම් නිසා කාගේවත් කීම නාහන අතර ඔහු ඇන්දීම ලේසි නැත. එහෙත් ඔහු සමරිසි තැනදී සියල්ල පාවා දෙන්නේය. එය රටට කෙළවන්නේ ඒ අයුරිනි. එහෙත් ජනපති සිරිසේනට එලෙස තනිව ක්‍රියා කළ නොහැකිය. එසේ නම් දැන් කල්පනා කළයුත්තේ සිරිසේන නටවන බහිරවයා කවුද යන්නය. ඒ මහින්ද නොවන බව පැහැදිලිය. දැන් සිරිසේන ජනපතිට මහින්දද ගැටලුවකි. කළහැකි දෙයක් නැතිකමට සිටී. ඔහු මෑතකදී මහින්ද ඕනෑයි නොකියයි. රනිල්ට හැර ඕනෑම අයකුට දෙනවා යැයි කීමෙන්ම ඔහු මහින්ද පත්කිරීමෙන් පරාජය වී හමාරය. එහෙත් මහින්ද රනිල් වගේම මෙය දමා නොයනු නියතය. ඔහුද ජනපති සිරිසේනට විරුද්ධව බහුතරය පෙන්වනවා සහතිකය. එසේ නම් මේ මොහොතේ ජනපති සිරිසේන කිව නොහැකි තරම් අනාථ වී ඇත. එවන් පසුබිමක ශිරාල්ගේ උපදෙස් නොපෑහේ. රනිල්ට තට්ටු කරන්න ශිරාල් හොඳමුත් දැන් මහින්දටත් තට්ටු කළහැකි උපදෙස් ජනපති සිරිසේනට අවැසිය. මෙවැනි මොහොතක නොහිතන අයට ඒ තැන ගත හැකිය. මෑතකදී සිරිසේනගේ හැසිරීම් එකවර සිහි කරන්නේ දීප්ති කුමාර ගුණරත්න පන්නයේ හැසිරීමකි. ඔහුගේ කතා සහ රටාව ඒ සමානය. ජනපතිගේ සමනළ කතාව ඉබේ උපන් කතාවක් නොවිය හැකිය. එය ජනපති සිරිසේන වෙනම තැනක ඉන්දූ වචනයකි. එය වෙනම හිතුවහොත් ඔහු වෙනස් කළ එන්නතේ ක්‍රියාකාරීත්වය කියාපාන්නකි. මීට පෙර සාරධර්ම කතා කළ සරම අඳින ජනපති සිරිසේනට සමනල්ලු මතක් විය හැකිද? මතක් නොකර එය සිරිසේන ජනාධිපතිවරයා නව දේශපාලනයේ සුන්නත් කිරීමක් බව කිව යුතුය. රනිල් ඉදිරියේ නිවට නියාලුව වසර තුනහමාරක් සිටි ජනපති සිරිසේනට මෙතරම් පිරිමිකමක් එන්නත් කළේ කවුද? අනෙකා සමතලා කොට ප්ලැට් කරන පහරදීම් කලාව පුරුදු කළේ කවුද? ඒ එක්ස් පුද්ගලයා සොයා යා යුතුය. එසේ නොවී ඉදිරියට එන අවදානම පහසුවෙන් කඩා බිඳ දැමිය නොහැකිය.

ලංකාවේ දේශපාලනය මාරම වුණේ ඔක්තෝබර් 26 වැනිදා නොව, 2015 ජනවාරි 08 වැනිදාය. කොළඹ හතේ ඉංග්‍රීසිකාර ගැහැනියකට ගමේ ගොවි මහතකු කසාද බැන්දවීමෙන් පසුවය. මේ මඟුල රැක ගන්නට කොතරම් වෙහෙසුණත් එය රැකෙන මඟුලක් නොවීය. ලංකාවේ දේශපාලනය හයිබි්‍රඞ් වුණේ එතැන් සිටය. දැන් සියල්ල දෙමුහුම්ය. එකිනෙකා තුළින් එළියට එන්නේද වෙන වෙන අයගේ ක්‍රියාවන්ය.
ලොකු අනතුරකදී දෙපැත්තටම අනතුරේ රඟ විඳීමට සිදුවේ. දැන් සිදුව ඇත්තේ එයය. එයට අහක සිටින අයද බිලිවිය හැකිය. අපි කොතරම් පරිස්සමට ගියද එන රියදුරා අපරීක්ෂාකාරී නම් කළහැකි කිසිවක් නැත. ඒ නිසා එසේ කියා මහමගට නොබැස සිටිය යුතුද? තරගය හැම පැත්තෙන්ම විවෘත වී ඇත. නීිතිඥයෝ පමණක් නොව, චින්තකයෝද දෙපිළ බෙදී සිටිති. සැවොම තමා දන්නා උපරිම ප්‍රතිකර්ම කරති. ලෙඩා මළත් බඩ සුද්දයි යනුවෙන් අවසානයේ කිව හැකිය. ඊට වැඩි ඈතක් නැති බව පැහැදිලිය.