දෙවැනි නිදහස් අරගලය (II)

වික්ටර් අයිවන්

අධිකරණය විසින් ලබාදෙන ලද නිවැරදි හා නිර්භීත තීන්දුව නිසා ආණ්ඩු බලය ලැබිය යුතුව තිබුණු දේශපාලන කණ්ඩායමට නැවත ආණ්ඩු බලය ලැබී ඇතත්, ඒ මගින් ඇතිවී තිබෙන සරල වෙනස රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම හා කුණුවීම වළකන සාධකයක් ලෙස ක්‍රියාකරන්නේ නැත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබෙන වෛරසහගත විරසකය තවදුරටත් වර්ධනය වනු ඇති අතර ඒ නිසා ඇතිවන ගැටුම් රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීමේ ක්‍රියාවලිය පූර්ණ බිඳවැටීමක් දක්වා වර්ධනයවීමට හේතුවනු ඇත.

ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන එම බිඳ වැටීමට සමාන්තරව රාජ්‍යයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය, තීරණය කරන නෛතික ලේඛනය හා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද බිඳ වැටීමක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරගත් අංගවිකල තත්ත්වයකට පත්වී තිබේ.

අපට රාජ්‍යයක් අවශ්‍ය නම් අන් සියල්ලට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුතුය. එය ජනතා විමුක්ති පෙරමුණේ විසිවන සංශෝධනය හෝ අගමැති රනිල් වික්‍රමසිංහ හදමින් තිබුණු ව්‍යවස්ථාව නොව සමස්ත ක්‍රමයේ යහපත් හා ගැඹුරු ව්‍යුහමය විපර්යාසයක් ඇති කිරීමට හේතුවන මහජනයා විසින් හදන මහජන ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථා සම්පාදන හා ආණ්ඩුක්‍රම විෂයෙහි ලංකාවට තිබෙන්නේ ආඩම්බර විය හැකි ඉතිහාසයක් නොව, ලැජ්ජා විය යුතු ඉතිහාසයකි. සාමාන්‍යයෙන් ජාතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදාගන්නේ දීර්ඝකාලීන පැවැත්මක් සඳහා මිස කෙටිකාලීන පැවැත්මක් සඳහා නොවේ. ලිඛිත ව්‍යවස්ථාවක් නැති බි්‍රතාන්‍ය ආණ්ඩුක්‍රමයේ වයස අවුරුද 750කි. ඇමරිකන් ව්‍යවස්ථාවේ වයස අවුරුදු 229කි. කොතරම් පැරණි වුවත් බි්‍රතාන්‍යයන්ට සිය ආණ්ඩුක්‍රමය හෝ ඇමරිකානුවන්ට සිය ව්‍යවස්ථාව එපාවී නැත. නිදහසේ සිට ගතවී තිබෙන අවුරුදු 70ක් තුළ ලංකාව හදාගෙන තිබෙන ව්‍යවස්ථා ගණන තුනකි. දැන් අවසානයට ඇති කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ මරණ මංචකයේ වන නිසා හතරවැනි ව්‍යවස්ථාවක්ද හදාගැනීමට සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

අපකීර්තිමත් ඉතිහාසය
ලංකාව මේ දක්වා හදාගත් ව්‍යවස්ථා තුනම ව්‍යවස්ථා සම්පාදනයකදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, සම්ප්‍රදායන් හා ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන් තොරව හදාගත් ව්‍යවස්ථා ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාවට ගරු නොකිරීම හා කෙළෙසීමද ලංකාවට ආවේණික අවලස්සන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සෝල්බරි ව්‍යවස්ථාවට පදනම් වූ ඇමති මණ්ඩල කෙටුම්පත ලෙස සැලකෙන මුල් කෙටුම්පත අඩුම තරමින් විවිධ ජන කණ්ඩායම්වල නායකයන්ගේ අදහස් විමසීමකින් පවා තොරව ඩී.එස්. සේනානායකගේ උපදෙස් මත සර් අයිවර් ජෙනින්ස් විසින් කෙටුම්පත් කරන ලද්දකි. පසුව සහකාර නීති කෙටුම්පත් සම්පාදක බී.පී. පීරිස් විසින් අවසාන වශයෙන් සකස් කොට වයිට් හෝල් අධිකාරිය වෙත යවන ලද්දකි.

එසේ කිරීමෙන් පසු බි්‍රතාන්‍ය ආණ්ඩුව එය නොසලකා සුදුසු ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා සෝල්බරි කොමිසම ලංකාවට එවන ලද්දේ ඇමති මණ්ඩල කෙටුම්පතට තම අදහස් ලබා නොගත් බවට ලංකාවේ සුළු වාර්ගික නායකයන් පැමිණිලි කිරීම නිසාය. තමන් යවන ලද ව්‍යවස්ථා කෙටුම්පත නොසලකා සුදුසු ආණ්ඩුක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා ලංකාවට කොමිසමක් එවීම ඩී.එස්. සේනානායකගේ, ඇමති මණ්ඩලයේ සේ ම ලංකා ජාතික සංගමයේද බලවත් විරෝධයට හේතුවීය. කොමිසම වර්ජනය කරන්නට ඒ සියලුදෙනාම තීරණය කළෝය.

ප්‍රසිද්ධියේ කොමිසම වර්ජනය කරන අතරතුර අප්‍රසිද්ධියේ කොමිසම සමග ගනුදෙනු කිරීමේ වැදගත්කම ඩී.එස්.ට කියා දුන්නේද ඒ සඳහා මගපෙන්වනු ලැබුවේද ඔලිවර් ගුණතිලකය. ජෝන් කොතලාවල කොමිසම සමග පස්සා දොරෙන් කරන ගනුදෙනුවට සම්බන්ධ කරගනු ලැබූ ඊළඟ පුද්ගලයා විය. හොර රහසේ කරන ලද එම ප්‍රතිපත්ති විරහිත ගනුදෙනුව කොතරම් දුර දිග ගිය ගනුදෙනුවක් බවට පත්වීද කියනවා නම්, කොමිසමේ ලේකම්වරිය සිය පෙම්වතිය බවට පත්කර ගැනීමට ඔලිවර් ගුණතිලක සමත් විය. ඒ මගින් කොමිසම අල්ලේ නැටවිය හැකි තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් විය.

1962 කුමන්ත්‍රණය නිසා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔලිවර් ගුණතිලක විදේශගතවී සිටියදී ලබාගත් නිදහසට තමන් ලබාදී තිබෙන දායකත්වය පිළිබඳව ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාව ආශ්‍රයෙන්ද ජෝන් කොතලාවල 70 මැතිවරණයෙන් පසු එංගලන්තයේ ජීවත්වෙමින් සිටියදී නෙවිල් ජයවීරට ලබාදී තිබෙන දීර්ඝ සම්මුඛ සාකච්ඡාව ආශ්‍රයෙන්ද කොමිසම සමග පස්සා දොරෙන් කර තිබෙන ගනුදෙනුවේ නියම ස්වභාවය තේරුම් ගත හැකිය.

කොමිසම වෙනුවෙන් මෙහි පැමිණි සියලුදෙනාට ලංකාවේ සිටින තෙක් හොඳ ප්‍රීතිමත් නිවාඩු කාලයක් සහතික කිරීම සඳහා අවශ්‍ය බරපැන දරා තිබෙන්නේ ඩී.එස්. සේනානායකය. ඩී.එස්.ට අවශ්‍යව තිබුණේ තමන් විසින් සකස් කරවන ලද ඇමති මණ්ඩල කෙටුම්පත බරපතළ වෙනස්කම්වලට ලක් කිරීමකින් තොරව ලංකාවේ ව්‍යස්ථාව බවට පත්කිරීමය. කොතලාවල කිසියම් දිනක සෝල්බරි සාමිට පමණක් සීමාවන ලෙස පවත්වන ලද භෝජන සංග්‍රහයකදී ඩී.එස්.ගේ අභිලාෂය ඔහුට විස්තර කරදී ඔහුගේ අරමුණ සපුරා ගැනීමට ආධාර කරන්නේ නම් නිදහස් ලංකාවේ ආණ්ඩුකාර ධුරය ඔහුට පිරිනැමීමට ඩී.එස්. කැමති බව ප්‍රකාශ කර තිබේ. සෝල්බරි සාමි එහිදී කොතලාවලගේ අතට අතදී ඊට එකඟත්වය පළකරන ලද බව නෙවිල් ජයවීර විසින් ලියා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ කොටස් වශයෙන් පළවූ ලිපියේ සඳහන් වේ.

සෝල්බරි ව්‍යවස්ථාවෙන් අවුරුදු 25කට පසු 1972දී සමගි පෙරමුණු ආණ්ඩුව සම්පාදනය කරන ලද ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේද ප්‍රතිපක්ෂ සමග ඇති කරගන්නා එකඟත්වයකින් තොරව එම ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය ප්‍රයෝජනයට ගෙනය. පෙඩරල් පක්ෂය කරුණු 9ක් ඇතුළත් ලියවිල්ලක් ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. එම ලියවිල්ල සාකච්ඡාවටවත් නොගත්තේය. ඒ නිසා එම පක්ෂය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වර්ජනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. සුළු ජන කණ්ඩායම්වල ආරක්ෂාව පිණිස සෝල්බරි ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ 29 වැනි වගන්තිය ඉවත් කරන ලද්දේ සුළු ජන කණ්ඩායම්වල ආරක්ෂාව සඳහා නව විධි විධාන ඇති කිරීමෙන් තොරවය. දෙමළ ජනතාවගේ බලවත් විරෝධයට හේතුවී තිබුණු සිංහල රාජ්‍ය භාෂා පනතේ විධිවිධානද ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. 1972 ව්‍යවස්ථාව දෙමළ ජන නායකයන්ගේ බලවත් විරෝධයට හේතුවූ හා ඔවුන් තමන්ට වෙනම රාජ්‍යයක් වෙත තල්ලු කිරීමට හේතුවූ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

පළමු ජන රජ ව්‍යවස්ථාවෙන් අවුරුදු 6කට පසුව එජාප ආණ්ඩුව 1977 සම්මත කරගත් ව්‍යවස්ථාවද ප්‍රතිපක්ෂ සමග ඇති කර ගන්නා පොදු එකඟත්වයකින් ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථාවක් නොවීය. එය එජාප ආණ්ඩුව තමන්ට තිබුණ හයෙන් පහේ බලය මත පිහිටා සම්මත කරගත් ව්‍යවස්ථාවක් විය. ඒ වනවිට දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් එකට එකතු වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනගා ගෙන තිබුණු අතර එම පෙරමුණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්ව තිබුණි. 1978 ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔවුන් එකතු කරගැනීමක් හෝ ඔවුන් එකතුවීමක් හෝ සිදු නොවීය.

ව්‍යවස්ථා කෙළෙසීම
ව්‍යවස්ථාව කෙළෙසූ පළමුවැන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවන අතර එම විෂයේදී ලංකාව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. විධායකය ව්‍යවස්ථාදයකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනම විවිධ අවස්ථාවලදී තනි තනිව සේ ම සාමූහිකවද ව්‍යවස්ථාව කෙළෙසා තිබේ.

ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් ප්‍රථම ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස ඉදිරිපත් කළ පනත් දෙකම ව්‍යවස්ථාවට පටහැනි පනත් ලෙස සැලකිය හැකිය. නිදහස ලැබීමෙන් පසුව ඉන්දියානු වතු කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත යුතුව තිබුණු ප්‍රශ්නයක් විය. එහෙත් එම ප්‍රශ්නයයේදී අදාළ අණ පනත් ක්‍රියාත්මක වූයේ ලංකාවේ දීර්ඝ කාලයක් එක දිගට ජීවත්වූවන්ට ලංකාවේ පුරවැසිභාවය හිමිකර ගැනීමට කැමැත්තක් දැක්වූවද පුරවැසිභාවය ලබාගත නොහැකි ආකාරයටය. සමසමාජ ව්‍යාපාරය ඩී.එස්. තම ප්‍රධාන හතුරා ලෙස සලකන ලද අතර ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයන් තරග නොකරන ලද ආසනවලදී වතු කම්කරුවන් වාමාංශික අපේක්ෂකයන්ට සහයෝගය දීම හා මැතිවරණයෙන් එජාපයට පැහැදිලි ජයග්‍රහණයක් නොලැබී අමාරුවෙන් ආණ්ඩුවක් ගැට ගසා ගැනීමට දරන ලද උත්සාහයේදී වතුකරයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඩී.එස්. සේනානායකට ආධාර කිරීමෙන් වැළකී සිටීම ඩී.එස්.ගේ බලවත් කෝපයට හේතුවී තිබුණි. ඔහු ඒ මගින් වතු කම්කරුවන්ට පාඩමක් උගන්වනවාට අතිරේකව සමසමාජ ව්‍යාපාරය දුර්වල කිරීමටද අපේක්ෂා කළේය.

බණ්ඩාරනායක දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස නීතිගත කළ සිංහල රාජ්‍ය භාෂා පනතද ව්‍යවස්ථාවට පටහැනි පනතක් විය. මේ නීතිය අනුව දෙමළ රාජ්‍ය සේවකයන් තමන් කරන රැකියා ආරක්ෂා කරගැනීම සඳහා සිංහල ප්‍රවීණතා පරීක්ෂණයකින් සමත්වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර ඒ නිසා ලැබිය යුතු වැටුප් වර්ධක අහිමි කරනු ලැබූ තත්ත්වයක සිටි කෝඬේෂ්වරම් නමැති ලිපිකරු අධිකරණය ඉදිරියට යමින් සිංහල රාජ්‍ය භාෂා පනත සෝල්බරි ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කළේය. ඔහුගේ තර්කය පිළිගෙන දිසා අධිකරණය ඔහුට පක්ෂපාතව තීන්දුවක් දෙනු ලැබූවත් නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනාධිකරණය දිසා අධිකරණයේ තීන්දුව අහෝසි කළේය. ඉන්පසු ෆෙඩරල් පක්ෂය එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ප්‍රීවී කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලදුව ප්‍රීවී කවුන්සිලය කෝඬේෂ්වරම්ට පක්ෂව තීන්දුවක් දෙනු ලැබුවත් එම තීන්දුවෙන් පසුව හෝ දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමට හේතුවී තිබූ භාෂා ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරීමට ලංකා ආණ්ඩුව ක්‍රියා කළේ නැත.

1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට එකතු කර ඇති සංශෝධන 19න් සංශෝධන හතක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සංශෝධන ලෙස සැලකිය හැකිය. ඒ සියල්ල අතරින් එජාප ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමතවිචාරණයකින් දීර්ඝ කරගැනීමට ඉඩ ලබා දුන් හතරවැනි සංශෝධනය රටේ දේශපාලන ගමන්මග මුළුමනින් විකෘති කිරීමට හා රට ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමට හේතුවිය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදීමට හේතුවන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන නඩු තීන්දුද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හේතුවූ අධිකරණ තීන්දු ලෙස සැලකිය හැකිය. එම නඩු තීන්දුවලින් තහවුරු වූ ව්‍යවස්ථා විරෝධී සම්ප්‍රදාය සමස්ත ආණ්ඩුක්‍රමය බෙලහීන කළේය. රාජපක්ෂ පාලන කාලයේදී අගවිනිසුරු ධුරයේ සිටි ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහකිරීම සඳහා අධිකරණ නියෝග නොසලකා පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය හිතුවක්කාරී ක්‍රියාදාමයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ උල්ලංඝනය කරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පළමු පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෙස සැලකීම වැරදිය. පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින කාලයේදී අගමැතිවරුන් විසින්ද ජනාධිපති ක්‍රමයකට යාමෙන් පසු ජනාධිපතිවරුන් විසින් පමණක් නොව, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින්ද විවිධ අවස්ථාවල ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බව ඉන් පෙනී යයි. ගරා වැටෙමින් තිබුණු රාජ්‍යයේ මහා බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවන ඇතිවී තිබෙන ව්‍යවස්ථා අර්බුදය ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම යන විෂයෙහි මෙතෙක් කර තිබෙන මහා පාප කර්මයන්ට ලැබී තිබෙන ලොකු දඬුවමක් ලෙසද සැලකිය හැකිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම
ලංකාවේ රාජ්‍ය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් තිබෙන අවාසනාවන්ත තත්ත්වය තුළ අන් සියලු දේට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමේ අවශ්‍යතාව ගැන බැරෑරුම් ලෙස කල්පනා කරන හා සංවාද කරන තැනකට ලංකාව යා යුතුය. ව්‍යවස්ථා විෂය ගැන සේ ම ව්‍යවස්ථා සම්පාදන විෂය ගැනද ලංකාවේ සාමාන්‍ය ජනයාට පමණක් නොව, දේශපාලන නායකයන්ට හා උගතුන්ටද තිබෙන්නේ අල්ප දැනුමකි. ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවන තෙක්ම 19 වැනි සංශෝධනය නිසා තිබෙන්නේ බොහෝ දුරකට නාමමාත්‍රික බලයක් ඇති විධායක බලයක් නැති ජනාධිපතිවරයකු බව මහජනයා පමණක් නොව ජනාධිපතිවරණයට තරග කරන්නට උනන්දුවක් දැක්වූ ගෝඨාභය, පල්ලෙවත්ත, නාගානන්ද වැනි අය පවා නොදැන සිටියෝය. ඒ සියලුදෙනා තමන් ජනාධිපති ධුරයට පත්වී ජනාධිපතිට තිබෙන බලයෙන් රට ගොඩනගන ආකාරය ගැන බොහෝ දේ කතා කළහ. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉවත් කොට මහින්ද රාජපක්ෂට ආණ්ඩු බලය ලබාදෙන ලද්දේ 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට විධායක බලයක් නැති තත්ත්වයක් තුළ විධායක බලයක් නැති ජනාධිපති ධුරයකට තේරී පත්වී රට ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්නය මා විසින් ප්‍රසිද්ධ සංවාදයකට ලක්කරමින් තිබුණ අවස්ථාවකය.

ව්‍යවස්ථාවට අදාළ හා ව්‍යවස්ථා සම්පාදනයට අදාළ දැනුම පිළිබඳ විෂයෙහි ව්‍යවස්ථාදායකය හා රටේ නීති සම්පාදන ආයතන තිබුණේද පූර්ණ බංකොළොත් තත්ත්වයකය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් පාලන මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සකස් කළ නීති සම්පාදනය, පාර්ලිමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ව්‍යවස්ථා හා නීති සම්පාදන විෂයේදී ඇද වැටී තිබුණු බංකොළොත්භාවයේ තරම හොඳින් පෙන්නුම් කළ වැදගත් අවස්ථා දෙකක් ලෙස සැලකිය හැකිය.

අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම දැන් රටේ ඉදිරි ගමනට නැතිවම බැරි වැදගත් කොන්දේසියක් වී තිබෙන්නේ යැයි කිව හැකිය. රටට අවශ්‍ය වී තිබෙන ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හදමින් තිබුණ ව්‍යවස්ථාව ලෙස කිසිසේත්ම සැලකිය නොහැකිය. හොඳ ව්‍යවස්ථාවක් හැදීමට අවශ්‍ය කරන පරිචය හා හික්මීම රනිල් වික්‍රමසිංහට හෝ ජයම්පති වික්‍රමරත්නට නැති බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඔවුහු මනා ලෙස සනාථ කළහ. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ ජනාධිපති ක්‍රමය නැති කොට පාර්ලිමේන්තුවට බලය දෙන ක්‍රමයක් ඇති කිරීම පමණය. පාර්ලිමේන්තුවේ සේ ම සමස්ත ආයතන ක්‍රමය වෙලාගෙන තිබෙන අලසකම, දූෂණය හා පරපීඩාව තුරන් කිරීමේ දර්ශනයක් ඔවුන් හදමින් තිබූ ව්‍යවස්ථාවට නොතිබුණි. සමස්ත රාජ්‍ය දේහය වෙලාගෙන තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකි දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් වෙන කවර ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් නැති ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමට ලබාදී තිබෙන අයිතිය මුළුමනින් නැති කළ යුතුය. ඒ සමග තවමත් අවලංගු කොට නැති එම නීතිය උල්ලංඝනය කර තිබෙන සියලු මන්ත්‍රීවරුන්ට දඬුවම් කරන හා ඔවුවන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. ඒ සමග දූෂණය වළකන නව විධි විධාන සේම ඒ සඳහා අවශ්‍ය කරන නව ආයතන ක්‍රම ඇති කළ යුතුය. රනිල් වික්‍රමසිංහ ජයම්පති වික්‍රමරත්න සමග එකතු වී හදමින් තිබුණ ව්‍යවස්ථාවට එවැනි දැක්මක් නොතිබුණි. අනෙක් අතට රාජ්‍යයේ තිබෙන කුණුවීම හා බිඳ වැටීම ජයගත හැක්කේ, සමස්ත රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේද, සමාජ ක්‍රමයේද ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය විපර්යාසයකින් මිස උඩින් පල්ලෙන් කරන සරල වෙනසකින් නොවේ.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය අනුව ලංකාව මෙම ඓතිහාසික මොහොතේදී ඉල්ලා සිටිනුයේ දූෂණයෙන් කුණුවූ දේශපාලන ප්‍රඥාව හා මහජන විශ්වාසය මුළුමනින් අහිමි කරගත් තත්ත්වයකට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ හදන ආත්මාර්ථකාමී ව්‍යවස්ථාවෙන් නොව, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන නියෝජිතයන්ද සහභාගි කරගනිමින් ප්‍රධාන කොට මහජනයා විසින් හදන මහජන පරමාධිපත්‍යය බලය වර්ධනය කිරීමට හේතුවන මහජන ව්‍යවස්ථාවකි. එය දූෂණයට, නාස්තියට, අලසකමට හා පරපීඩා කාමයට ඉඩ නොතබන නීතියේ හා යුක්තියේ ආධිපත්‍යය රජකරන, රාජ්‍ය පාලනයේදී මහජන නියෝජිතයන්ගේ පාලනයකට අතිරේකව මහජනයාටද රාජ්‍ය පාලනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර ගැනීමට ඉඩදෙන ක්‍රමවේදයන් හා ව්‍යුහයන්ගෙන් යුතු නවීන මහජන රාජ්‍යයක් ගොඩනැගීමට හේතුවන ව්‍යවස්ථාවක් විය යුතුය. එසේම එය අතීතයේ සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන සොයා බලන වැඩසටහනක ආලෝකයෙන් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් විය යුතුය. තුන්වැනිව එය වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව සියල්ලන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ කැබලි වී තිබෙන සමාජය ඒකාග්‍ර කොට නූතන ජාතිය ගොඩනැගීමට හේතුවන ව්‍යවස්ථාවක් විය යුතුය. අවසාන වශයෙන් ජනමාධ්‍ය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, කර්මාන්ත, කෘෂිකර්මය, වෙළෙඳාම, බලශක්ති හා පරිසරය හා විශේෂ වශයෙන් දුප්පත් ගැමි ජනතාවද ඇතුළුව සමස්ත ජන ජීවිතයේ යහපත් හා ඵලදායි, ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ව්‍යවස්ථාවක් විය යුතුය.

දේශපාලන පක්ෂවලට තිබෙන මහජන බලය ඉක්මවා ගිය මහජන බලයක් ඇති මහජන සංවිධානවල බලමණ්ඩලයකට, මහජනයාට තිබෙන පරමාධිපත්‍යය බලය සාමකාමී ලෙසත්, ප්‍රඥාවන්ත හා නිර්මාණශීලී ලෙසත් අභ්‍යාස කරන වැඩසටහනක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට පුළුවන්කමක් තිබේද? එවැනි වැඩසටහනකට නීතියෙන් හා ජාත්‍යන්තර නීතියෙන් ඉඩක් තිබේද යන ප්‍රශ්නය ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.