ගලහ රෝහල අසබඩ කඳුළු කතාව

ඡායා – ටී. නඩරාසා

මේ සැප්තැම්බර් මාසයේ සිද්ධිය සිදුවී මාස හතරකටත් කිට්ටුය. සිද්ධිය එකල මාධ්‍යහි ප්‍රධාන පුවත් මැවීය. රෝහල නැවත විවෘත කරන්නැයි මිනිස්සු උද්ඝෝෂණය කළහ. එහෙත් අදටත් රෝහල ඉබි යතුරුලාය. අප ගලහට යන්නේ නොඇරෙන රෝහල ගැන කියන්නටය. මිනිස්සුන්ට එය දැනෙන හැටි බලන්නටය.

පෙරවරු නමය දහය වනවිටත් ගලහ නගරය හිරු රැස් බිඳක පහස නොලබාම අහස් කුසද බුම්මාගෙන සිටියේය. අවට කඳු පන්තිය සමගම ගලහ නගරයටද මීදුම පතිතවෙමින් තිබුණි. වියපත් හිස් මත තලප්පාවක් නොවැරදීම බැඳ තිබීම සුලබ දසුනක් විය. යෞවනයන්ට මෙන්ම මැදිවියේ වූවන්ටත් මේ මීදුම බරපතළ ගැටලුවක් නොවූවත් වයෝවෘද්ධයන්ට මෙන්ම ළදරුවන්ට මීදුම සමග බැඳුණු සීතල ඔවුන් ලෙඩා දුකාවීමට නම් හේතුවකි.

දිළිඳු ජනතාවක්
ගලහ අවට ගම්බිම්හි වැඩි ප්‍රමාණයක් වෙසෙන්නේ දිළිඳු ගම්මුන් හා වතු කම්කරුවන්ය. ගලහ නගරය කිසියම් සාරවත් බවක් පෙන්වුවද නගරයෙන් බැහැර වූ විට මේ දිළිඳුකම් මැනවින් දැකගත හැකිය. ලෙඩ දුක්ද, දරිද්‍රතාව හා බද්ධවුණු තවත් ව්‍යසනයක් බව අමුතුවෙන් කිව යුතුද? අතමිට ඇත්තන්ට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ගත හැකිය. එවන් අවස්ථාවලදී දුප්පතාගේ පිහිටට එන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයය.
කොරාපිටට මරා සේ ගලහ දුප්පතුන්ට දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාලයෙන් ප්‍රතිකාර ගැනීමේ අවස්ථාව අවහිරය. ඒ 2018 අගෝස්තු මාසයේ සිටය. එය සිදුවන්නේද දුප්පත් මිනිසුන්ගේ සිද්ධියකිනි.

හදිසි සිද්ධිය
ගලහ දෙල්තොට වත්තේ සෙල්වදොරේ ශංකර්ගේ හා සාමිනාදන් පුවන රාණිගේ ශංකර් දුෂ්‍යන්තන් වසර එකහමාරක දරුවෙකි. ඔහු 2018.08.28 දින හදිසියේ රෝගී වේ. මාපියෝ දරුවාව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගියහ. දරුවාගේ උණ රෝගය ඉහ වහා ගොස් තිබූ බැවින් වෛද්‍යවරයා දරුවාගේ ගුද මාර්ගයෙන් ඖෂධයක්ද ලබාදී ක්ෂණිකව ගලහ රෝහලට ගෙන යන ලෙස මාපියන්ට උපදෙස් දී ඇත. ඒ අනුව මාපියෝ දරුවාව ගලහ රෝහලට රැගෙන ගියහ.

ඔවුන් රෝහලට යන අවස්ථාවේදී රෝහල භාර වෛද්‍යවරයා සිට ඇත්තේ හදිසි රිය අනතුරකට බඳුන් වූ කාන්තාවන් දෙදෙනකුට ප්‍රතිකාර කරමිනි. මේ අවස්ථාවේදී දරුවාද පරීක්ෂා කළ වෛද්‍යවරයා රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණියට උපදෙස් දී ඇත්තේ දරුවාගේ උණ රෝගී තත්ත්වය වැඩි වුවහොත් වහාම තමාට දන්වන ලෙසටය. අනතුරුව ඔහු නැවතත් කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර ඔවුන් රෝහලේ ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහලට යවා ඇත. මේ අවස්ථාවේදීම වාගේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිණිය වෛද්‍යවරයා හමුවට පැමිණ පවසා ඇත්තේ දරුවාට අසාධ්‍ය බවය. වෛද්‍යවරයා යනවිටත් දරුවා දරදඬු වී සිට ඇත.

දෙල්තොට රෝහලේ ගිලන්රථය ගෙන්වා ගැනීම සඳහා වෛද්‍යවරයා උත්සාහ කරනවිටදී මාපියන් සිය දරුවා මියගියේ යැයි සිතා මහ හඬින් කෑගසා ඇති බවද කියැවෙයි. එදින මේ අසලම ඇති හින්දු දෙවොලේ උත්සවයක් තිබී ඇති අතර ශබ්දය ඇසුණු දේවාලයේ සිටි පිරිස රෝහලට පැමිණ ප්‍රකෝපකාරී අයුරින් හැසිරී ඇතැයිද කියැවෙයි. රෝහලෙන් පොලිසියට දැනුම් දෙන ලදුව පොලිසියෙන්ද පැමිණ තිබේ. ඒ අවස්ථාව වන විට මාපියන් සිය දරුවා ත්‍රීවීල් රථයක් ගෙන්වාගෙන පේරාදෙණිය රෝහල කරා පිටත් වී ඇත. මේ අතරේ රැස්වූ පිරිස වෛද්‍යවරයාට පහරදීමට උත්සාහ කර තිබේ. ගලහ පොලිසිය මේ වනවිටත් අවට පොලිසිවලින් සහායක ඇණි කැඳවාගෙන තිබූ අතර වෛද්‍යවරයාද පොලිස් නිල ඇඳුමක් අන්දවා රෝහලෙන් පිටත් කර යවා ඇත.

ඉතුරු බිතුරු
කතාව එසේ වුවත් මෙහි ඉතුරු බිතුරු ඇති බව ඕනෑම අයකුට සිතෙයි. ඒවා ගැන සඳහන් කිරීමට පෙර ගලහදී අපට හමුවූ නම සඳහන් කළත් එය ප්‍රසිද්ධ කරන්නට එපා යැයි කියූ අයකු පැවසූ අපූරු කතාවක් ඔහුගේ වචනයෙන්ම මෙහි සටහන් කරමු.

පහෙන් පස්සේ රෝහලේ දොස්තරලා ප්‍රයිවෙට් කරන්න යනවා. දුප්පත් මිනිහකුට බෙහෙත් ටිකක් ගන්න විදියක් නෑ. දුප්පත් මිනිස්සුන්ට අපහාස කරනවා. එක වෛද්‍යවරයෙක් ඉන්නවා එයාට දුප්පත් මිනිස්සු පේන්න බෑ. ඇඟට පනිනවා. ඔය වගේ දේවල් නිසා අපිත් ඕකුන්ට ගහන්නයි හිටියේ. දෙමළු ඉස්සර වුණා. කරන්න ඕනෙ වැඩක් නිසා අපිත් සද්ද නැතිව බලා හිටියා. ඕකුන්ට ගහපු එක හොඳයි. හොඳ මිනිස්සු හිටිය නම් අපි ඕක බේරනවා. දොස්තරලා විතරක් නෙවෙයි අනෙක් සේවකයොත් එහෙමයි. ඕනෑ වෙලාවක බීගෙන. එක්කො බොන්න එළියට ගිහින්.”

මේ කතාව ගලහ රෝහල සම්බන්ධයෙන් ජාති භේදයක් නොමැතිව සිංහල, දෙමළ මුස්ලිම් ප්‍රජාව වෙසෙන ගලහ හා අවට ගම්මුන්ගේ සාමූහික ප්‍රකාශනයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ වුවද මාධ්‍යකරුවන් ලෙසින් මෙන්ම නීතිගරුක පුරවැසියන් ලෙස ප්‍රචණ්ඩත්වය අපි කිසිදු ආකාරයකින් අනුමත නොකරන වගද මෙහි සටහන් කරමු.

අලාභය ලක්ෂ 19 1/2කි.
එනිසාම මෙකී කලහකාරී සිද්ධිය නිසා ගලහ රෝහලට සිදුව ඇති හානිය රුපියල් 1956352ක් බව ගණන් බලා තිබේ. එය මෙයට සහසම්බන්ධවූවන් ඇතුළුව සමස්ත රටෙහි බදු ගෙවන ජනතාවගේ බදු මුදල් බවද අප අමතක කළ යුතු නොවේ.

කෙසේ වුවත් මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුද පැවසුවේ සිය රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සෑහෙන පිරිසක් රාජකාරියට වඩා පෞද්ගලික ප්‍රතිකාර කිරීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බවය. එසේම ගලහ රෝහලේද වෛද්‍යවරු සවස පහෙන් පසුව රෝහලෙන් බැහැරව පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුවෙන බව තමන්ට වාර්තා වී ඇති බවය.

මේ නම් සැබෑම ඇත්තකි. මේ නිලධාරීන්ට ඍජුව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට නොහැකි නිසා මිසෙක නොවේ නම් ග්‍රාමීය රෝහල්වල සැබෑ තත්ත්වය ඔවුන් නිල වශයෙන්ම ප්‍රකාශ කරනු නිසැකය. එපමණක්ද නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගලහ රෝහලට වෛද්‍යවරුන් එවීමට දක්වන අකමැත්ත ගැනද මේ නිලධාරිහු සිය නොසතුට මෙන්ම අප්‍රසාදය පළ කළහ.

සේවක හිඟය
ගලහ රෝහල ආරම්භ වනුයේ ටී.බී. ඉලංගරත්න නම් මනුසත් දේශපාලනඥයාගේ අවධියේය. එවකට කුඩා ග්‍රාමීය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වූ මෙය මේ වනවිට පිරිමි වාට්ටුවකින් හා කාන්තා වාට්ටු දෙකකින් යුත් ග්‍රාමීය රෝහලකි. එවන් රෝහලක සේවය කරනුයේ වෛද්‍යවරුන් තිදෙනකු නම් අවම වශයෙන් දෛනිකව වෛද්‍යවරුන් දෙදනකුවත් දිවා රාත්‍රියේ සේවයේ නියුතුව සිටිය යුතුය. සිද්ධිය වන අවස්ථාවේදී රෝහලේ සේවය කර ඇත්තේ එක් වෛද්‍යවරියකි. ඒ බාහිර රෝගීන් වෙනුවෙන් හා නේවාසික රෝගීන් වෙනුවෙනි. අනෙක් පැත්තෙන් රෝහලේ හෙදියන් නැතිවා සේය. නොඑසේ නම් අගෝස්තු 28 දින රෝහලට ගෙනා දරුවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණියකට නැතිනම් වින්නඹු මාතාවකගේ භාරකාරත්වයට පැමිණවීමට ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට සිදුවන්නේ නැත. මේ ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සේ ම හෙද නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින සංගම්වල ලොක්කන් බක්කන් පවසන්නේ කුමක්ද? තමන් රිසි දේශපාලනඥයන් බලයට පත්කිරීමට තටමන, කැස කවන, පෙනී සිටින මොහොත මේ ලොක්කන් බක්කන්ට සෞඛ්‍යය සේවයේ මේ සැබෑ ප්‍රශ්න ගැන කියන්න ඇත්තේ කුමක්ද? වෘත්තීය අයිතිවාසිකම් පසෙක තබා මුරගාන මොවුන්ට සෞඛ්‍ය සේවයේ සැබෑ ප්‍රශ්න නොපෙනුයේ මන්ද?

පැරණි කතාවක්
ගලහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරීත්වය එතරම් යහපත් නොවන බව සනාථ කරන තවත් සිද්ධියක් මීට පෙරදී සිදුවී තිබේ. ඒ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක විසින් රෝගී දරුවකු කැස්ස විට සිය මුවට කෙළ විසිවී යැයි දරුවාගේ භාරකරුවන්ට කළ තර්ජනයකි. එහිදී ඔවුන් වෛද්‍යවරිය දරුවාගේ මාපියන්ට සිදු කළ තර්ජනය හා දරුවා අපහසුතාවට පත්කිරීම ගැන ගලහ පොලිසියට පැමිණිල්ලක්ද කරනු ලැබ ඇතත් පසුව දෙපාර්ශ්වය සමථයකට පත්ව ඇති බවත්, ගලහ පොලිසියේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. සැබැවින්ම මේ සමථය සිදුව ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වයේ දිළඳු බව නිසා සිද්ධිය දුරදිග ගෙන යන්නට ඔවුනට තිබූ අපහසුතා හේතුවෙන් බව පොලිසියෙන්ම දැනගන්නට ලැබිණ.

ගලහ රෝහල වැසී යෑම ගැන ගලහ මෙන්ම අවට ගම්මුන්ට ඇත්තේ දුක්ගැනවිලි කන්දරාවකි.
“ලොකු අයට නම් සල්ලි තියෙනවා. අපි එදිනෙදා ජීවත් වෙන මිනිස්සු. ගලහ රෝහල අපට ලොකු වරප්‍රසාදයක්. අපේ මිනිස්සුන්ගෙත් වැරදි තිබෙනවා. දොස්තර මහත්තුරු හරි, වෙනත් සේවකයෙක් හරි වැරැද්දක් කළා නම් අපේ අයට තිබුණෙ ඉහළට පැමිණිලි කරන්න.

වතු විස්සක විතර දුප්පත් මිනිස්සුන්ට තමයි මේකෙන් පහර වැදුණෙ. හදිසියේ ලෙඩෙක් හැදුණොත් නුවර යන්න ත්‍රීවීල් එහෙකට රුපියල් දෙදාහක් විතර ගන්නවා. එසේ කීවේ ආර්. ලෝගේස්වරන්ය.

කඳුළු උණන කතා
දෙල්තොට වත්තේ ආර්. ක්‍රිෂ්ණසාමිලා කිලෝමීටර් දෙකහමාරක් දුර ගෙවා රෝහලට පැමිණිය යුතුය. ඒ ද දුෂ්කර මාර්ගයකය. ඔහු පවසන විදියට කාලෙකදි වතුවලම වෛද්‍යවරුන් සිටියත් ඒ ක්‍රමය දැන් අහෝසි වී ගොසිනි. ඒ නිසා ඔවුනටද ගලහ රෝහලට ඒමට සිදුවේ. රෝහල වැසීම ඔවුනට සිදුව ඇති විශාල පාඩුවකි.

එම්. මදාස්. කීවේ මෙවැන්නකි. මේක වැහුණහම අපිටයි පාඩුව. සල්ලි දීලා බෙහෙත් ගන්න විදියක් අපට නෑ. මහත්තුරුන්ගෙන් බැණුම් අහල හරි නිකන් බෙහෙත් ගන්න තිබුණ තැන වැහුණා. කවදා අරියිද දන්නේ නෑ.

එස්. ලෙච්චමී. අම්මා තේ වතුවලම වැඩ කර දැන් ස්ථිර රැකියාවක් නොමැතිව කුලී වැඩෙහි යෙදෙන්නියකි. රෝහල වසා දැමීම ගැන ඇයට කතා කරගත නොහැකිව කඳුළු සැලුවාය. ඇයගේ කඳුළු දුටු අසල සිටි අයකු කීවේ අපි අඩු ආදායම්ලාභීන් කියලා, ප්‍රයිවෙට් බෙහෙත් සාප්පුවෙන් ගන්න කොට දොස්තරලා සල්ලි අඩුවෙන් ගන්නේ නෑ යනුවෙනි.
සමන් රත්නායක පවසන්නේ ඔහුගේ අත්දැකීමය. මෙහෙ සීතල නිසා ළමයින්ට ලෙඩ හැදෙනවා. විශේෂයෙන් පිටිසරින් ඇවිත් දවස් දෙකක් සිටින විට ඔවුන් ලෙඩවෙනවා. රෑපානේ ලෙඩක් හැදුණහම හදිසියට යන්න තිබුණෙ ගලහ රෝහලට. ලෙඩ දුක් කොයි වෙලාවෙ හැදෙනවද කියන්න බැහැනෙ. එහෙව් වෙලාවට යන්න තිබුණ රෝහල තමයි මේ වැහුණෙ.

සදාකාලික දඬුවමක්ද?
ගලහ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 22 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව දැනගන්නට ඇත. ඔවුනට ඉදිරියේදී පොදු දේපළට හානි කිරීමේ චෝදනාව මත නඩු පැවරෙනු ඇත.

ඒ අනුව ඔවුනට නීතියෙන් දඬුවම්ද ලැබෙනු ඇත. ඒ වූ පමණින් මිනිසුන්ගේ ප්‍රශ්නය නොවිසඳේ. රෝහල විවෘත කිරීමේ ලොකුම බාධාව වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවද කියැවේ. ඔවුන් මෙම රෝහලට වෛද්‍යවරයකු ලබා නොදීම එකී ගැටලුවය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ඒ.එම්. රත්නායක පවසන්නේ රෝහල කඩිනමින් විවෘත කිරීමට තමන් මැදිහත් වී සිටින බවය. ඒ අනුව එළැඹෙන ජනවාරියේදී විවෘත කිරීමට කටයුතු කෙරෙනු ඇති බවය.

“වෙච්ච දේ වුණා කාගෙ කාගෙත් අඩුපාඩු තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එසේ කියා තවදුරටත් රෝහල වසා තැබීම නොකළ යුත්තක්. මෙයින් අපහසුවට පත්වන්නේ ප්‍රාදේශීය දිළිඳු ජනතාවයි. ඔවුන්ට මුදල් දී ප්‍රතිකාර ගන්න හැකියාවක් නෑ. ඒ නිසා රෝහල නැවත විවෘත කිරීමට දේශපාලනඥයන් විදියට අපෙත් වගකීමක් තිබෙනවා.” ඒ ඔහුගේ අදහසය.
ගලහ නගරයේ සහ අවට වතුවල මෙන්ම ගම්වලද මිනිසුන් ඇසුරේ සිට ගලහ රෝහල වැසීයෑමේ ගැටලුව ගැන කතාබහේ යෙදෙද්දී කාලය ගෙවී ගියේ අපටත් හොරෙන්ය. එනමුදු සවස හතර වෙද්දී ගලහ ප්‍රදේශයට හිරු එබී නොබැලුවෙන් තවමත් අහස් කුස සිටියේ සිය වත බුම්මාගෙනය. සොබා දහමත් ගම්මුන්ට සිදුව ඇති අසාධාරණය එනම් තවමත් ගලහ රෝහල විවෘත නොකිරීම නිසා සිය කනගාටුව දෝමනස්සය එසේ පළ කළේ යැයි ගලහෙන් පිටත් වී එන්නට බස් රථයට ගොඩවුණු අපට සිතුණි.

ගලහ රෝහල සම්බන්ධයෙන් වත්මන් විස්තර දැනගැනීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළත් එය අසාර්ථක විය.

ප්‍රශ්නය ආණ්ඩුවේ
වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය නිලධාරි
ගලහ රෝහලේ ප්‍රශ්නය තිබෙන්නේ අපේ නොවෙයි ආණ්ඩුවේ. ගලහ රෝහලේ තිබුණ අඩුපාඩුකම් නිසා තමයි ඔය ප්‍රශ්නය ඇතිවුණෙත්. රෝහලේ උපකරණ, ඇම්බියුලන්ස් වාගේ දේවල්වල අඩුපාඩුකම් නිසයි. ඒ අතින් මිනිස්සු සාධාරණයි. ඒ අඩුපාඩු හදල දෙනව නම් අපි වෛද්‍යවරු දෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. මධ්‍යම පළාතේ විතරක් නෙවෙයි වෙනත් පළාත්වලත් රෝහල්වල වෛද්‍යවරු නැත්නම් ඒකට වගකියන්න ඕනෙ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකේ ලේකම්, වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යවරුන්ගේ දැනට තිබෙන ස්ථාන මාරු ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලයි අපි ඉල්ලන්නේ. ඇයි ඒක ක්‍රියාත්මක නොකරන්නේ. අපි විරුද්ධ එය ක්‍රියාත්මක නොකරනවාටයි.